භික්ෂුව සහ දේශපාලනය....

පසුගිය දවසක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගේන්න සූදානම් වෙන පූජ්‍ය පක්ෂයට දේශපාලනය තහනම් කරන අදහස ගැන සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණා නේ. මේකෙන් ගොඩක් ම කලබල වෙලා තියෙන්නෙ ධර්ම රාජ්‍ය සංකල්පයෙන් දේශපාලනයට පිවිසුණ ජාතික හෙළ උරුමයනේ. ඒ අය රට පුරා අදහස් විමසමින් සහ ජනතාව දැනුවත් කරමින් යනවා කියලා පත්තර වලත් තිබුණා. ඇත්තටම භික්ෂූන් වහන්සේලා ට දේශපාලනය සුදුසු ද? එක එක්කෙනාට මේ ගැන විවිධ අදහස් තියෙනවා, සමහරු කියනවා ඒක එහෙම වෙන්නෝන, සමහරු කියනවා එහෙම නෙවෙයි කියලා. මේ කාරණය ධර්මයේ විස්තර වෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්නයි ලෑස්තිය. ථේර ථේරී ගාථා වල තමයි මේ විස්තරය සඳහන් වෙන්නෙ. ථේර ථේරී ගාථා කියන්නේ උතුම් රහතන් වහන්සේලා/ රහත් මෙහෙණින් වහන්සේලා ගේ උදාන වාක්‍ය, දෙසුම් වගේ දේවල් අඩංගු වෙන කොටසක්. සංයුක්ත නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයත් මේ කාරණය ගැන විස්තර ඇතුව සඳහන් කරන සූත්‍ර දේශනාවක්. කියවලා බලන්නකෝ මේ ගැන...

පණ්ඩරගොත්ත නමින් තාපසයෙක් හිටිය. ඒ තාපසයට දැකගන්ට ලැබුණ පැහැදීම ඇති කරවන බොහෝ භික්ෂූන් වහන්සේලාව. උන්වහන්සේලාගේ ඉඳුරන් හරිම ශාන්තයි. සිත් දියුණු කරල තියෙන්නෙ. ඒ ගැන ඵුස්ස නම් රහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

  • මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු මැනව. අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා කුමකට කැමති වේවිද? ඉලක්කය කුමක් වේවිද? මොන වගේ ආකල්ප වලින් යුක්ත වේවිද?
  • පින්වත් පණ්ඩර තාපසය, එහෙම නම්, මම කියන දේ අහන්න. අනාගතයේ සිදුවන දේ මම කියන්නම්. හොඳින් මතක තියාගන්න.
  • අනාගතයේ ඇති වන භික්ෂූන් වහන්සේලා, බොහෝ විට කරන්නේ ක්‍රෝධ කරන එක. පළිගන්න එක. ඇති ගුණ මකන එක. මාන්නයෙන් ඉදිමිලා නැති ගුණ හුවා දක්වන එක. ඉරිසියාවෙන් ඉඳගෙන වාදවිවාද කරන එක.
  • ගැඹුරු ධර්මය දන්න බවට මාන්නයෙන් හිතාගෙන වටපිටාවේ දුවන එක විතරයි ඒ ගොල්ල කරන්නේ. චපල සිත් ඇති ඒ උදවිය සද්ධර්මය කෙරෙහිත් ගෞරවයක් නෑ. ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නෑ.
  • අනාගත ලෝකයේ මේ විදිහට බොහෝ ආදීනව පහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මය වදාළේ ඉතා පිරිසිදු ලෙස. එහෙත් නොයෙක් මිථ්‍යා මත වලින් මේ ධර්මය කිළිටි කරල දානවා.
  • අනාගතයේ බලවත් වෙන්නේ ඒ භික්ෂූන් තමයි. ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා. එහෙත් ගුණයෙන් හීනයි. දහම තුළ විශාරද නෑ. සද්ධර්මය දන්නෙත් නෑ. කටවාචාලකම විතරයි තියෙන්නෙ.
  • සංඝයා අතර වැඩසිටිනවා ගුණවත් භික්ෂූන් වහන්සේලා. ධර්මාවබෝධයත් තියෙනව. ලැජ්ජා බයත් තියෙනව. ඒ යහපත් භික්ෂූන් වහන්සේලාව වැඩකට නැති උදවිය වාගේ දුර්වල වෙලා යනවා.
  • ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නේ, ඒ ගොල්ල රන් රිදී කෙත් වතු එළු බැටලුවන් දැසි දස්සන් පිළි ගන්නවා.
  • ඔවුන්ට නුවණක් නෑ. සීලෙකුත් නෑ. සමාධියකුත් නෑ. මාන්නෙන් යුතුව හඬ උස්කරල කතා කර කර ඉන්නවා. සතුන් වගේ කෝලාහලවලට ඇලෙනවා.
  • අනාගත භික්ෂූන් වහන්සේලා නිල්පාට සිවුරු පොරෝගෙන උඩඟු කමින් කුහක කමින් චාටු බස් කිය කියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදිහට පෙනී සිටිනවා.
  • අනාගත භික්ෂූන් වහන්සේලා සුදුපාට සිවුරුත් පොරව ගන්නවා. හොඳට තෙල් ගාල කොණ්ඩෙ පීරනවා. ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා.
  • ඔවුන් ගිජු වන්නේ, සුදු පාට වස්ත්‍රයටයි. විමුක්තියට පත් සිතින් යුතු රහතන් වහන්සේලා පඬු ගසා පොරවන ලද පිළිකුල් රහිත වූ “අරහත් ධජය” නම් වූ කසාවත ඔවුන් පිළිකුල් කරනවා.
  • ඔවුන් ලාභයටමයි කැමති වන්නෙ. කම්මැලියි. කිසි වීරියක් නෑ. ඈත දුර වන සෙනසුන්වල හුදෙකලාවේ භාවනා කරන්ට ඔවුන්ට හැකියාවක් නෑ. ගම්වල පන්සල්වලට වෙලා කල් ගත කරනවා.
  • ඔවුන් ජීවත් වෙන්නෙ මිථ්‍යා ආජීවයෙන්. ඔවුන්ට යම්කිසි ආදායමක් ලැබෙනව නම්, තමන්ගේ ශිෂ්‍යයන්ව පුරුදු කරවන්නෙත් කිසියම් ආදායමක් ලැබෙන ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා...ජීවිතයකටයි. සංවර වෙන්න නොවෙයි.
  • යම් භික්ෂුවකට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්නෙ නැත්නම්, ඔහුට කිසිම පිළිගැනීමක් නැතිව යනව. ආදායම් නැති, සුපේෂල, ප්‍රඥාවන්ත භික්ෂූන් සිටින නමුත්, කවුරුත් උන්වහන්සේලා ඇසුරු කරන්නේ නෑ.
  • තමන්ගේ ධජය තමයි සිවුර. කලුනුග පොතු වලින් යුතු කහටින් පඬු ගහලයි, ඒ සිවුරු පිළියෙල කරන්නේ. නමුත් කසාවතට ගරහල අන්‍යාගමිකයන්ගේ සංකේතය වන සුදු වස්ත්‍ර දරාගන්නවා.
  • කසාවත ගැන ඔවුන්ගේ ගෞරවය නැතිවෙලා ගියාම, චීවර ප්‍රත්‍යවේක්ෂාවත් ඔවුන් අත්හැරල දානවා.
  • විස සහිත හුලකින් පහර කාළ, දුක් පීඩා විඳ විඳ හිටියත් ඒ ඡද්දන්ත හස්ති රාජයා පවා කටුක පීඩා අභියස, නොසිතිය හැකිතරම් වේදනා ලැබෙද්දිත්, මේ උතුම් කසාවතට ගෞරව කළා.
  • එදා ඒ ඡද්දන්ත හස්ති රාජයා, පඬු ගහල සකසපු අරහත් ධජය දැකල ඒ සැණින්ම මෙන්න මේ ගාථාවන් කියන්න පටන් ගත්තා.
  • කෙලෙස් ඉවත් නොකළ කෙනෙක්, ඉන්ද්‍රිය දමනයක් නැති කෙනෙක්, සත්‍යයෙන් තොර කෙනෙක්, සිවුරු දරාගෙන හිටියත්, ඇත්තෙන්ම ඒ තැනැත්තා සිවුරට සුදුස්සෙක් නොවෙයි.
  • කෙලෙස් ඉවත් කරපු කෙනෙක්, සිල්වත් වෙලා, සමාහිත සිත් ඇතිව, ඉන්ද්‍රිය දමනයත් ඇතිව, සත්‍යයෙන්ද යුක්තව නම් සිවුරු දරාගෙන ඉන්නෙ, ඇත්තෙන්ම එයාට මයි සිවුරු සුදුසු.
  • සීලයක් නැති, ප්‍රඥාවක් නැති, සිතට එන එන දේ කරන කියන, අවුල් වී ගිය සිත් ඇති කුසල් දහම් නැති කෙනෙකුට මේ සිවුර නම් ගැලපෙන්නෙ නෑ.
  • ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා, සිත සමාහිත කරගෙන, පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නෙ, එයා ඒකාන්තයෙන්ම කසාවතට සුදුස්සෙක්.
  • කෙනෙක් උඩඟු නම්, මාන්නයෙන් ඉදිමිලා නම්, අවබෝධ ඥානයක් නැති නම්, සීලයකුත් නැති නම්, එයාට ගැලපෙන්නේ සුදු වස්ත්‍රයක් තමයි. කසාවත් මොනවටද?
  • අනාගත භික්ෂූන් මෙන්ම භික්ෂුණීන්, දුෂ්ට සිතින් ඉඳගෙන, අගෞරවයෙන් තමයි කල් යවන්නෙ. මෛත්‍රී සිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත් ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා.
  • සිල්වත් තෙරුන් වහන්සේලා, ඒ නුවණ නැති, දුස්සීල, ඉඳුරන් දමනයක් නැනි, සිතට එන එන දේ කරන, අඥානයව හික්මවන්ට මහන්සි ගත්තද, ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ.
  • ඒගොල්ල හැදෙන්නෙ අන්න ඒ විදිහටයි. ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් නෑ. උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නෑ. රථාචාරියාට කීකරු නැති අශ්වයන් වගේ.
  • යහපත් භික්ෂූන්ගේත්, භික්ෂුණීන්ගේත් කාලය අවසන් වෙලා යනකොට අනාගතයේ පහළ වන්නේ ඔය ආකාර වත්පිළිවෙත් තමයි.
  • අනාගතයේදී මේ භයානක තත්වය ඇති වෙන්නෙ. ඒක සිද්ධ වෙන්න කලින්, ධර්මයට කීකරුව මෘදු සිත් ඇතිව මාන්නයක් නැතිව, ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්ට ඕන.
  • මෛත්‍රී සිත් ඇති කරගන්ට ඕන. කරුණාවන්ත ජීවිතයක් ගෙවන්ට ඕන. සිල්වත් වෙලා සංවරයෙන් යුක්තව පටන් ගත් වීරිය පවත්වන්ට ඕන. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්ට ඕන. වීරියෙන් වාසය කරන්ට ඕන.
  • ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වීම භයානක දෙයක් වශයෙන් දකින්ට ඕන. අප්‍රමාදය කෙම්බිමක් වශයෙන් දකින්ට ඕන. ඒ අමා නිවන ස්පර්ශ කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම වඩන්න ඕන.
මේ වනාහී ආයුෂ්මත් ඵුස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මයේ සඳහන් වෙන විදියට මේ ශාසනය සුරක්ෂිත ව පවතින්නෙ වසර දහසක් යනතෙක් පමණයි කියලයි කියන්නෙ. අටුවා ග්‍රන්ථ වල තමයි සඳහන් වෙන්නෙ ශාසනය වසර පන්දහසක් තරම් කාලයක් පවතිනවා කියලා. අටුවා ග්‍රන්ථ කියන්නෙ ගැඹුරු දහම් කොටස් සරල විදියට පැහැදිලි කරන්න දේශීය අටුවාචාරීන් ලිව්ව පොත්. කාලයක් ගියා ම භික්ෂූන් වහන්සේලා පිරිහිලා අන්තිමට සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන කාසාවකණ්ඨක තත්වයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

උපුටා ගැනීම: (ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා... පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ )


39 comments:

  1. දේශපාලනය කරද්දී සතර අගතියට පත්වෙන්න භික්ෂුවට සිදුවෙනවා. දැන දැනම අගතියට පත් වෙන්න ඕනේ නැහැනේ. ඒ වගේමයි මැති සබය දම් සබයක් කරන්න ගිය භික්ෂූන් වහන්සේලාට අවසානයේ වුනේ මොකක්ද කියලා හැමෝම දන්නවානේ.

    …මම දන්නා තරමින් තායිලන්තයේ භික්ෂූන් වහන්සේලාට ඡන්ද බලය අහිමියි. කවුරුන් හරි තාවකාලික පැවිද්දට පත්වෙනවා ඒ කාලසීමාව තුළ ඔහුටත් ඡන්ද බලය අහිමියි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක ඇත්ත! සතර අගතියට පත්වෙනවා. ඔවුන් ගෙනෙන තර්කය තමයි දේශපාලනයෙන් ඔවුන් පාරාජිකාවට පත්වෙන්නෙ නැහැ කියන එක. විහිළු තමයි මේවා. තායිලන්තයේ කතාව ඇත්ත. ඔවුන්ට ඡන්ද බලය හිමි නැහැ!

      Delete
  2. හ්ම්ම් හැමදේම අනිත්යනම් සාසනේ විතරක් එකෙන් බේරෙන එකක් නැහැ නේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකනම් ඇත්ත තමයි. ඒත් අපි ඊට කලින් අපේ මාර්ගය හදාගන්න ඕන නේද අක්කෙ?

      Delete
  3. රාජ්‍ය පාලනයට භික්ෂූන් අනුසාසනාකලාට මොකෝ එතනිනුත්එහාට යනෙකනේවැඩේ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ සීමාව දැනගෙන කවුරුත් වැඩ කරන්නෝන සහෝ!

      Delete
  4. නිකමට හිතල බලන්න දැන් දේශපාලනයට ඇවිල්ල ඉන්න භික්ෂූන් නිසා ඔවුන්ටත් අපිටත් වෙලා තියන හොඳක් තියනවද කියල. මේගොල්ලගෙ සිවුර විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියෙ, අපිට හොඳක් කෙසේ වෙතත් නරකක් වෙලා නම් නැහැ, ඒත් ඒ අයට නම් වෙලා තියෙන්නෙ නරකක් ම තමයි නේද ?

      Delete
  5. හාමුදුරුවරුන්ට ඇත්තටම රටට සේවයක් කරන්න ඕනි නම් කරන්න තියෙන ලොකුම සේවය තමන්ගේ මනස දියුණු කරගන්න ගමන් ගිහියන්ටත් මනස දියුණු කරගන්න උපකාර කරන එක මිසක් පාර්ලිමේන්තුවට යන එක නෙවෙයි..
    හාමුදුරුවරු පක්ෂ පාට වලට බෙදිලා ඉන්න ගත්තම තමා රට,ජාතිය,ආගම විනාශ වෙන්නේ.නැතුව ජන්දේ ඉල්ලන්නේ නැතුව ඉඳලා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. //හාමුදුරුවරුන්ට ඇත්තටම රටට සේවයක් කරන්න ඕනි නම් කරන්න තියෙන ලොකුම සේවය තමන්ගේ මනස දියුණු කරගන්න ගමන් ගිහියන්ටත් මනස දියුණු කරගන්න උපකාර කරන එක මිසක් පාර්ලිමේන්තුවට යන එක නෙවෙයි..

      කියන්න ඕන දේ තිතටම කියලා තියෙනවා....

      Delete
  6. ලහිරු තමන්ගෙ අදහස් දාන්නැතුව සුත්‍රෙය් තියන කරුණු ටික උපුටා පෝස්ටුව පල කිරීම ගැන ස්තුතියි...
    රට ජාතිය ආගම බේර ගන්න හාමුදුරුවරු ඉන්න ඕන නෑ කියන මතය තමා මම නම් දරන්නෙ..ධර්මය ආරක්ෂා කරන්නා ධර්මය විසින් රකිනු ලබනවා යන්න මම ගොඩක් විශ්වාස කරනවා...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස් දැම්මෙ නැත්තෙ ඇත්තටම අපි ඔය ගැන විවාද කරලා වැඩක් නැති නිසා. මොකද හැමකෙනාට ම අඩු වැඩි වශයෙන් ලැබෙන්නෙ තමන් වපුරන දේ ම විතරක් නිසා!

      Delete
  7. නියමයි..... කාලීනයි.....

    ReplyDelete
  8. රාජ්‍ය පාලනයට අනුසාසනා දීමයි රාජ්‍ය පාලනයට හවුල් වීමයි අතර ලොකු වෙනසක් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. බලයට ඔය ඔක්කොම යටයි මලේ, හැමදේම වැහිලා යනවා ඒකෙන්!

      Delete
  9. භික්ෂුන් වහන්සේලට විතරක්ම නෙමෙයි කිසිම පැවදි කෙනෙක්ට දේශපාලනය කැප නෑ. ජනතාව යහ මඟට ගන්න බලය තියෙන්ඩ ඕනම නෑ. ඔය ඒ කාලෙත් හාමුදුරුවරු හිටියේ ... රජතුමාට හිටන් උපදෙස් අනුසාශනා එහෙමත් දුන්නේ. ඒ බලේ ඉදලා යෑ.

    ඒ අයට ධර්මේ බලය විතරක්ම හොදටම ඇති... වෙන බල ඕන නෑ. ධර්මේ බලේ ඔය හැම ලෞකික බලේකටම වඩා බලවත් නේ !!!

    අර කිව්වත් වගේ හමදේම අන්ත්‍ය එකේ සාසනේට විතරක් ඒක බල නොපායි කියලා හිතන්ඩ බෑ යාළුවා !!!!

    ReplyDelete
    Replies
    1. මේ තරම් පොඩි දෙයක්වත් ඒ අයට තේරුම් ගන්න බැරිවීම හරි ඒ ගැන ඕනකමක් නැතිවීම හරි ගැන තමයි කණගාටු...

      Delete
  10. ගිහියෝ සියයක් ගත්තොත් එක්කෙනෙක් අන්තිම නරකයි, අනූනමයක් හොඳයි . ඒ වගෙම තමා හාමුදුරුවෝ සීයයක් ගත්තොත් එක්කෙනෙක් හොඳයි... අනූනමයක් අන්තිම නරකයි . ඕක නේද ? සැබැ තත්වේ . 'අපියි ඒහෙම කරගත්තේ . තියෙන හොඳම එක 'පූජා' කරල තව දනගහලත් වඳිනවනේ'. කාළකන්නී!!. ඕකූන් ව 'පාර්ලීමේන්තූ' නෙමේ අරින්න තියෙන්නේ ... "ටොනික්" පියනක් තට්ටෙට තියල පාරක් ගහන්න ඕනැ ඇතුලට බහින්න .නිවන් සුව නියතයි ..'පොඩිනම'

    ReplyDelete
    Replies
    1. භයානක අදහසක් නේ... ඒ අය නිසා අපි අකුසල් රැස් කරගන්න ඕන නැහැ කියන එකයි මගේ හැඟීම නම්!

      Delete
  11. ගිහියෝ සියයක් ගත්තොත් එක්කෙනෙක් අන්තිම නරකයි, අනූනමයක් හොඳයි . ඒ වගෙම තමා හාමුදුරුවෝ සීයයක් ගත්තොත් එක්කෙනෙක් හොඳයි... අනූනමයක් අන්තිම නරකයි . ඕක නේද ? සැබැ තත්වේ . 'අපියි ඒහෙම කරගත්තේ . තියෙන හොඳම එක 'පූජා' කරල තව දනගහලත් වඳිනවනේ'. කාළකන්නී!!. ඕකූන් ව 'පාර්ලීමේන්තූ' නෙමේ අරින්න තියෙන්නේ ... "ටොනික්" පියනක් තට්ටෙට තියල පාරක් ගහන්න ඕනැ ඇතුලට බහින්න .නිවන් සුව නියතයි ..'පොඩිනම'

    ReplyDelete
  12. රට හදන්න කියලා පාර්ලිමේන්තු යන හාමුදුරුගොල්ල කරන කියන වැඩ දැක්කම නම්... ඒ ගැන කතාවත් කරන්න හිතෙන්න නෑ ඇත්තටම

    ReplyDelete
    Replies
    1. රට හදනවාට වඩා කරන්න වැඩ ගොඩක් තියන බවයි පෙනෙන්නේ!

      Delete
  13. සිවුර කැහැපොට ගහගෙන අන්‍යමතධාරීන්ත විරුද්ධව සෙනඟව උසිගන්නන එක ගැනත් කියන්ඩකෝ...

    ReplyDelete
    Replies
    1. ඒක තවත් පැත්තක් තමයි, ඒ ගැන කියන්න වෙන ම පෝස්ටුවක් ඕනවෙයි වගේ!

      Delete
  14. නියමයි..මට දහම් පාසලේදී උගන්නන්න හොඳ මාතෘකාවක්. දැනුවත් කිරීමට ස්තුති යාළුවා...

    ReplyDelete
    Replies
    1. මේවා උගන්නන්න ගිහින් දහම් පාසල ඉගැන්නිල්ල නතර කොරන්න වේවිද දන්නේ නෑ..:ඩී

      Delete
  15. කලින් දැක්කාම ශ්‍රද්ධාව ඇති වුනේ මේ ස්වාමින්වහන්සේලා නිසා ඒත් දාන්නම් ඇති වෙන්නේ පිළිකුලක් හා කෙන්තියාක්.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙනවා නම් වැරැද්ද අපෙයි සහෝ.. මොකද මහා සංඝයා කියන්නෙ ඔය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයිනේ. ඒ එක්කෙනා දෙන්නා නිසා අපි හිත අපහදවා ගන්නවා නම් ඒක අපි අපිටම කරගන්න ලොකු පාඩුවක්!

      Delete
    2. නෑ නෑ මම අදහස් කලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ස්වාමින්වහන්සේලා ගැන විතරයි.. පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාමීන්වහන්සේලාට වැඩ ඈත ගමක ජිවත් වෙන ස්වාමින්වහන්සේලා ගමට සාසේනෙට වැඩක් කරනවා.

      Delete
    3. @ අසර්, ලහිරු

      මම අහල තියෙන විදියටනම් භික්ෂුන්ට දේශපාලනය අකැප නෑ. නමුත් එහිදී ඔව්නුගෙ වගකීම වන්නේ රාජ්‍යපාලනයට අවවාද අනුශාශනා කිරීමේ වගකීමයි. ඒ අනුව අද ලoකාවෙ සමහරක් හාමුදුරුවරු කරන දේවල්නම් අනුමත කරන්න බෑ තමයි

      ඒත් ළහිරු මේ සාකච්චාව යන විදිය බැලුවම මේ මාතෘකාවට කෙලින්ම අදාල නැතිඋනත්, තවත් දෙයක් මතක් නොකලොත් ගොඩක් අය නොදන්න කමට පව් පුරවගන්නව නේද?

      මන් දන්න විදියටනම් සාමාන්‍ය ගිහි දුශ්ශීලයාට වඩා පව් කරන ශ්‍රමණ දුශ්ශීලයෙකුට උනත් ගරු සත්කාර කලයුතුයි. ඒකට හේතුව අතිශ්යින්ම දුශ්ශීල වූ ශ්‍රමණයෙකු සතුව උවත් සාමාණ්ය පැවදි දුශ්ශීලයෙකු සතුව තවමත් ඉතිරිව පවතින ගුණ 10ක් තියෙනවනෙ. ලිOග අන්තර්ධාන සමය වනවිට සිටින අතිශයින්ම දුශ්ශීල බුදුසසුනේ පැවිදි කෙනෙකුට උනත් දෙන දානය මහත් පල මහානිශOශ වෙන්නෙ ඒ නිසයි. ඒ ගුණ දහය මෙහෙමයි.

      මේ සාශනයේ ශ්‍රමණ දුශ්ශිලයන් පවා ගෘහස්ථ දුශ්ශිලයන්ට වඩා,


      බුදු රජානන්වහන්සේ කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි.
      ධර්මය කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි.සබ්‍රහ්ම චාරී (තමාහා සමාන) සංඝයා කෙරේ ගෞරව ඇත්තේ වෙයි.
      ඇවැත් උදෙසා සිල්වත් වීමට විර්‍ය කරන්නේ වෙයි.
      (බොහෝ ඇසීමි ඇතිවෙයි
      පිරිසක් මැදට ගියද භික්ෂුවක්ය යන හැගීම නිසා මනා සිහිය උපදවයි
      අවමානයට ලක් වේය යන බයින් කය සංවර කරයි.
      අවමානයට ලක් වේය යන බයින් වචනය සංවර කරයි.
      ඔහුගේ සිත භාවනාභිමුඛ වෙයි.
      ඔහු භික්ෂුන් හා ඇසුර ඇත්තේ වෙයි.
      මෙම භික්ෂුව පවිකලද එලිපිට පවි නොකරයි.
      ලැජ්ජා භයින් යුතු වෙයි.


      ඒ නිසා මේ සාකච්චාවෙදි කිසිම කෙනෙක් මහා සOඝයා පරපුර නියෝජනය දුසිල්වත් හාමුදුරුවරුන් ගැන උනත් කිලිටි සිතක් ඇතිකර නොගෙන ඉන්න එකනම් නුවණට හුරුයි. ඒත් එහෙම කළායින් ඒ අය කරන දේවල් අනුමත කරනව වෙන්නෙ නම් නෑ

      Delete
    4. ස්තූතියි මේ තරම් විස්තරයක් එකතු කළාට...ඇත්ත, ඔයා කියන කථාව හරි. අනිත් එක අපි සංඝයා විවේචනයත් නොකළ යුතු දෙයක්. නමුත් රාජ්‍ය අනුශාසනාව කියන දේ වැරදි විදියටයි උන්වහන්සේලා තේරුම් අරන් ඉන්නෙ නේද? අනිත් එක සමහරු නිසා සාරිපුත්ත, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන මහා සංඝයා ගැන අපි හිත අපහදවා ගන්න ඕන නැහැ!

      Delete
  16. දවසින් දවස පිරිහෙන සමාජයේ සංසාර ගමන යන භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපයනුත් පිරිහෙන ඒක වලක්වන්න බැරිවේවි. කොහොම හරි මේ ලෝකේ ටික ටක අගාධයට යන ඒක වලක්වන්න කාටවත් බැරි වෙයි එදාට පෘටග්ජනයට කර කියාගන්න දෙයක් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් ඒ සඳහා අපි ලෑස්ති වෙන්න ඕන සහෝ ඒකට. අපි අපේ ගැලවීම සඳහා තියෙන මාර්ගය හොයාගෙන ඒ මඟේ යන්න ඕන පෘතග්ජනයන් නොවී, අඩුම තරමින් ආර්ය ශ්‍රාවකයෙක්වත් වෙලා...

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !