ධර්මය සොරකම් කරන්නට ආ නිඝණ්ඨනාථපුත්ත ගෝලයා...


තවත් කෙනෙකුට කීර්ති, ප්‍රශංසා , ලාභ සත්කාර ලැබෙද්දි සමහර අයට ඉවසන්න අමාරුයිනේ. අනිත් අයට වැඩියෙන් ලැබෙනවා කියන්නේ තමන්ට ට ලැබෙන දේවල් අඩුවෙනවා කියන එකනේ. ඉතින් ඒක එයාලට ඇහැට කටු අනිනවා වගේ වැඩක්. මේ තත්වේ දැන් වගේ ම ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ භාරතයේ පහල වෙන්නට කලින් විවිධ ආගම්, ශාස්තෲවරු සියගණනක් ඉන්දියාවේ හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටිය ඉන්දියාවේ විවිධ සාධක මත මේ ආගම්, දර්ශන, මතවාද වලට මිනිස්සු බෙදිලායි හිටියේ. බොහෝදෙනා උපත, මුදල, සමාජ තත්වය වගේ සාධක මත ආගම් අදහනකොට ස්වල්පයක් දෙනා විතරක් සාමාන්‍ය පොදු රාමුවෙන් ඉවතට ගිහින් ජීවිතයේ හරය, මරණය, මරණින් මතු ජීවිතය වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විෂය නොවන කාරණා ගැන හොයන්න පටන් ගත්තා. මේ නිසා සමාජයේ ආගමික ඒකාධිකාරය තනිවම හැසිරු ව බ්‍රාහ්මණයන් ට අභියෝග කරමින් පෙර නොසිටිය තාපසයෝ, පරිබ්‍රාජකයෝ, නිඝන්ඨයෝ, ආජීවකයෝ වගේ ආගමික කොටස් බිහිවුණා. මේ විකල්ප සිය ගණනක් අතරින් ප්‍රබලව ම ඉස්මතු වුණ මතවාද කිහිපය ඉදිරිපත් කළ කිහිපදෙනා ෂඩ් ශාස්තෘවරු විදියට අතරින් ප්‍රචලිත වුණා. නිඝණ්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීර, පූර්ණ කස්සප, අජිත කේසකම්බල, සංජය බෙල්ලඨ්ඨපුත්ත ඒ අතරින් කිහිපදෙනෙක්. අද කියන්න යන කථාව නිඝන්ඨනාථපුත්ත තුමා සම්බන්ධ කතන්දරයක්.

ඒ කාලේ ඉන්දියාව පුරා ම බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය පැතිරෙන්න පටන් ගත්තා පෙර නොවූ විරූ, සාමාන්‍ය මිනිස්සුන්ගේ නුවණට ගෝචර වෙන විදියෙ ධර්මයක් දේශනා කරනවා කියලා. රජවරුන්ගේ ඉඳන් පහළ ම කුල වල මිනිස්සුන්ටත් මේ ධර්මයේ දොර ඇරිලා තියෙනවා වගේ ම එයින් අත්දුටු ප්‍රතිඵල ලබාගත්ත අය ඉන්නවා කියන එකත් හැමතැනම පැතිරිලා ගියා. ඒක ඇහුව මිනිස්සු බොහෝදෙනෙක් තමන් එතෙක් වන්දනා කරමින් හිටිය ශාස්තෲවරු අත්හැරලා දාලා ජේතවනාරාමය පැත්තට ඇදෙන්න පටන් ගත්තා. ඒකෙන් වුණේ ඒ තරම් කාලයක් මිනිස්සුන්ගේ ලාභ සත්කාර මැද්දේ යෙහෙන් වැජඹුණ ශාස්තෲවරුන් ට ලැබුණ සත්කාර, සම්මාන ක්‍රමයෙන් අඩුවුණ එකයි. මේ බව හොඳින් ම අවබෝධ වුණ නිඝන්ඨනාථපුත්ත තුමා තමන්ගේ හොඳ ම ගෝලයා වුණ සුසීම ව කැඳවලා මේ විදියට කිව්වා. "සුසීම, ජේතවනාරාමයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ වෙතට දවසින් දවස මිනිස්සු ඇදිලා යනවා. උන්වහන්සේ කියන දේවල් වල මොනවා නමුත් විශේෂත්වයක් ඇති නිසා තමයි මිනිස්සු ඇදිලා යනවා ඇත්තේ, ඒ නිසා යන්න ගිහින් උන්වහන්සේ දේශනා කරන්නේ මොනවද කියලා දැනගෙන එන්න, ඊට පස්සෙ අපිත් ඒ දේවල් දේශනා කරමු. එතකොට ආයෙත් මිනිස්සු අපි කරා ඇදිලා ඒවි". මේක ඉස්මුදුනින් ම පිළිගත්ත සුසීම, ජේතවනාරාමයට ගිහින් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ, සුසීම ගේ අරමුණ දැනගත්තත් බුදු සසුනේ පැවිදි කළා වෙනසක් පෙන්නන්නේ නැතුවම. සුසීමත් අනිත් භික්ෂූන් වහන්සේලා වගේ ම ධර්මය අහනවා, පාඩම් කරගන්නවා, හැබැයි අවබෝධ කරන අදහසින් නම් නෙවෙයි, හොරකම් කරන අදහසින්. ටික කාලයක් මෙහෙම ගතවෙලා ගියා. කාලයක් තිස්සෙ සුසීම ස්වාමින් වහන්සේ දකිනවා බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා ඇවිත් වන්දනා කරලා තමන්ගේ අර්හත්වය ප්‍රකාශ කරලා නැවත වඩිනවා. ඒ විදියට ආපසු වඩින භික්ෂූන් වහන්සේලා කරා ගිහින් සුසීම භික්ෂුව අහනවා "ඔබ වහන්සේලා ඇත්තට ම අර්හත් ද?" උන් වහන්සේලා ඔව් කියලා පිළිතුරු දෙනවා. එතකොට සුසීම භික්ෂුව කියනවා "එහෙනම් අහසින් වැඩම කරලා පෙන්වන්න, ජලයේ ඇවිදලා පෙන්වන්න, පොළවේ කිමිදිලා පෙන්වන්න, බොහෝ දෙනෙක් වගේ පෙනී සිටින්න" ආදී වශයෙන්. එතකොට ඒ රහතන් වහන්සේලා කියනවා "තමන් වහන්සේලාට එහෙම හැකියාවක් නැහැ" කියලා. හැමදාම වගේ මෙහෙම අහද්දි සුසීම භික්ෂුවට මේක ගැටළුවක් වුණා. මොකද මීට කලින් රහතන් වහන්සේලා ගැන සුසීම අහලා තිබුණේ වෙනස් දේවල් නිසා.

සුසීම භික්ෂුව ගියා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න. ඇහුවා මේ වෙනසට හේතුව මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා සුසීම ට ධර්මය දේශනා කළා. ඒ සැරේ සුසීම ධර්මය ඇහුවේ හොරකම් කරන අදහසින් නෙවෙයි, තමන්ගේ ගැටළුව නිරාකරණය කරගන්න අදහසින්. ඒ නිසා ම සුසීම භික්ෂුවට ධර්මය අවබෝධ වුණා. මොකක්ද හරි වැරදි කියලා අවබෝධ වුණා. …සුසීම භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගෙන් සමාව ඉල්ලා සිටියා ධර්මය හොරකම් කරන්න ආව එක වෙනුවෙන්. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා සුසීම භික්ෂුවට. 
දැන් කියන්න යන්නෙ කොහොමද මේ රහතන් වහන්සේලා විවිධාකාර වෙන්නෙ කියන එකයි. අරහත් කියන එකේ අර්ථයත් කළ යුතු සියල්ල නිමකළා කියන අදහසයි. රහතන් වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. උන්වහන්සේලා ප්‍රඥාව තුළ අග්‍රයි. ප්‍රඥාවෙන් සියල්ල කෙළවර කරලයි ඉන්නෙ. උන්වහන්සේලා සමාධිය උපදවා ගන්නේ රූපාවචර ධ්‍යාන තුළ, ඒ කියන්නෙ ප්‍රථම, දෙවන, තුන්වන සහ හතරවන ධ්‍යාන තුලයි. ඉන් එහාට අරූපාවචර ධ්‍යාන දක්වා සිත/ සමාධිය දියුණු කරන්නෙ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ට අරූපාවචර ධ්‍යාන උපදවා ගෙන එමඟින් කළහැකි ඍද්ධි ප්‍රාතිහාර්යය දැක්වීමේ හැකියාවක් උන් වහන්සේලාට නැහැ. අනිත් කොටස තමයි උභතොභාග විමුක්ත රහතන් වහන්සේලා. උභතොභාග කියන වචනයෙන් අදහස් කරන්නේ ප්‍රඥාවෙන් වගේ ම සමාධියෙනුත් අග්‍රයි කියන එකයි. උන්වහන්සේලා රූපාවචර ධ්‍යාන වලින් නොනැවතී අරූපාවචර ධ්‍යාන දක්වා ම ඒ කියන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම සිත/ සමාධිය දියුණු කරනවා. ඒ අනූව තමයි උන්වහන්සේලාට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ හැකියාව ලැබෙන්නෙ.

වැදගත් ම දේ තමයි මාර්ගඵල ලාභියෙක් ඒ බව තවත් කෙනෙකුට මේ විදියට කියයි ද කියන එක? සාමාන්‍ය පිළිගැනීම නම් එහෙම කියන්නෙ නැහැ කියන එකනේ. ඒක එහෙම වුණත් එහෙම නොවුණු අවස්ථා බුදුසසුනේ දකින්න තියෙනවා. එක අවස්ථාවක් තමයි නන්ද මාතා උපාසිකාව, ඇයගේ නිවෙසට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වැඩම කළ අවස්ථාවක උන් වහන්සේලා ප්‍රණීත දානයෙන් සන්තර්පණය කළ නන්දමාතාව දානය අවසන තමා තුළ විද්‍යමාන වන ආශ්චර්ය අද්භූත කරුණු හතක් පැවසුවා. එයින් සවැන්න වූණේ තමන්ට පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි යන ධ්‍යානයන්ට කැමැති තාක් කාලයක් සමවැද සිටිය හැකි බව. සත් වැන්න වූයේ තමා අනාගාමි බවට පත් වූ බව(නන්දමාතු සූත්‍රය). තවත් අවස්ථාවක් තමයි විශාලා නුවර වාසි උග්ග ගෘහපති ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් සමන්විත බව දේශනා කරන අවස්ථාව. එතනදිත් අවසන් කාරණාව විදියට උග්ග ගෘහපතියා කියන්නේ තමන් අනාගාමි බව. මේ වගේ අවස්ථා කිහිපයක් ම දකින්න පුළුවනි. මේ වගේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ මගපල ලාභී ආර්ය ශ්‍රාවකයන් සුදුසු අවස්ථාවන් වලදී කැමැති නම් යහපත සලකා තමන් ලබා ඇති මාර්ගඵල අන්‍යයන්ට හෙළිකරන බව. හැබැයි ඉතින් මේ ධර්මතාව තම වාසියට හරවාගන්න සමහර කපටියො බොරුවෙන් වංචාවෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන අවස්ථා ඕන තරම් අහන්න දකින්න පුළුවන් නේද? ඒ වගේ අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඒ අයට ගර්හා කළේ "නොහික්මුණු දුස්සීල භික්‍ෂුව යම් හෙයකින් රට වැසියාගේ පිඬු වළඳන්නේ ද, ඊට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යකඩ ගුළියක් අනුභව කළා නම් උතුම් වේ" කියලයි. ඒ වගේ ම සිව්වන පාරාජිකාව භික්ෂූන් ට පැනෙව්වෙත් (යම් භික්‍ෂුවක් තමා කෙරෙහි නැති උතුම් මිනිස් දහම් (ධ්‍යාන, මාර්ගඵල ආදි) ඇතැ යි කියන්නේ ද ඒ භික්‍ෂුව පාරාජිකාවට පත් වේ) ඒ නිසාමයි.

පසුවදන: රේඩියෝ එකේ ධර්ම දේශනාවකින් තමයි බොහෝ කරුණු දැනගත්තේ. කාටහරි හැකියාවක් තියෙනවානම් ශ්‍රද්ධා ගුවන්විදුලියට සවන් දෙන්න, ඒක කාලය අපතේ යැවීමක් වෙන එකක් නැහැ. 89.1-89.3 සංඛ්‍යාත පරාසයේ තමයි සවන් දෙන්න පුළුවන්. හිතට රාගය, තරහ හරි මුලාවේ වැටෙන දෙයක් අහන්න ලැබෙන්නෙ නැහැ කියලා සහතික වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් සවන් දෙනවනම් මේ සබැඳියෙන් යන්න. (උදේ 10.30-17.00 සහ සවස 19.30-21.00 විකාශන කාලය ). වෙළඳ දැන්වීම් වලින් තොර ධර්මය බෙදාහැරීම පිණිස ම කැපවුණ ගුවන් විදුලි කළණ මිතුරෙක්! නමස්කාර බ්ලොග් අඩවියටත් විශේෂ ස්තූතිය....

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මිනී මස් වැළඳූ භික්ෂුවක්...


ඒ කාලේ බරණැස් නුවර වාසය කළ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් අසනීප වෙලා ඒ වෙනුවෙන් විරේක බෙහෙතක් වළඳමින් හිටියා. මේ විරේක බෙහෙත වැලඳුව නිසා ම උන්වහන්සේ ට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය දැනුණා. සුප්පිය උපාසක තුමත් සුප්පියා උපාසිකාවත් වාසය කළේ මේ බරණැස් නගරයේමයි. මේ දෙදෙනා ම සෝවාන් ඵලයට පත් වුණ දෙන්නෙක්. මේ දෙන්නගෙ නිතර තිබුණ පුරුද්දක් තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න නිතර විහාරයට යන එක. විහාරයට ගිහින් ගිලන් භික්ෂූන් වහන්සේලා ගේ කුටියක් පාසා ගිහින් සුවදුක් විචාරන එක වගේ ම උවමනා බෙහෙත් වර්ග සපයන එක බොහොම කැමැත්තෙන් කළා. "ස්වාමිනී, ගිලන් වී සිටින්නේ කවර භික්ෂුව ද? ගෙනැවිත් දියයුත්තේ කවර නම් දෙයක් ද?" කියලා වෙනදා වගේ ම එදත් සුප්පියා උපාසිකාව විමසුවා. එතකොට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය තිබුණ භික්ෂුව, මේ විදියට කිව්වා. "පින්වත් නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක් වළඳන ලද්දෙමි. මා හට මස් ව්‍යංජනයක් ලැබුණොත් ප්‍රයෝජනවත් ය."

ඒ බව ඇහුව සුප්පියා උපාසිකාව "ආර්යන් වහන්ස මැනවි, එය ඔබවහන්සේ හට ගෙනෙනු ලබන්නේ ය." යනුවෙන් පවසලා වහා නිවසට ගිහින් සේවකයෙක් යැව්වා කඩපිලට, විකිණීමට තියෙන මසක් සොයාගෙන එන්න. ඒ වුණත් මුළු බරණැස් නුවර පුරා ම ඇවිදලත් කිසිම මසක් හොයාගන්න බැරිවුණ සේවකයා හිස් අතින් ම සුප්පියා උපාසිකාව හම්බවෙලා මේ විදියට කිව්වා. "ආර්යාවෙනි, වෙළඳපොළේ විකිණීමට කිසිදු මසක් නැත, අද සතුන් නොමරන මාඝාත දිනයයි". ඒක ඇහුව සුප්පියා උපාසිකාව මේ විදියට හිතනවා. "ඒ ගිලන් වූ භික්ෂුවට මස් ව්‍යංජනය නොලැබුණෝතින් අසනීපය වැඩිවන්නට පුළුවනි. ඇතැම් විට ඒ අසනීපයෙන් ම අපවත් වන්නටත් පුළුවනි, ඇරත් මා යමක් දෙන බව පොරොන්දු වී එය නොයවන්නේ නම් මා හට එය නුසුදුසුය". ඊට පස්සේ මස් කපන පිහිය ගත්ත සුප්පියා උපාසිකාව තමන්ගේ කලවයෙන් කොටසක් කපලා දාසියට දුන්නා. "එම්බා කෙල්ල, මේ මස හොඳින් දුරුමිරිස් දමා පිස අසවල් වෙහෙරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න, යමෙක් මා ගැන විමසත් නම් අසනීප බව පවසන්න". එහෙම කියලා සුප්පියා උපාසිකාව තමන්ගේ කලවය රෙද්දකින් ඔතාගෙන කාමරයට ගිහින් වැතිරිලා හිටියා. නිවසට ආව සුප්පිය උපාසකතුමා, කාමරයට වැදී සිටින සුප්පියා උපාසිකාව දැකලා ඒ ඇයි කියලා විමසනවා. තමන්ට අසනීප බව කියන සුප්පියාව සිදුවුණ සියළුම දේවල් සුප්පිය උපාසකතුමාට කියනවා. මේ බව ඇහුව සුප්පිය උපාසකතුමා "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, සුප්පියාව බුදු සසුන කෙරේ පරිපූර්ණ ශ්‍රද්ධා ඇත්තීයකි. තමන්ගේ මස පවා දන් දෙන මැයට නොදිය නොහැක්කක් නම් නැත " කියලා බොහෝම සතුටු හිතුණා. ඊටපස්සෙ සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් වන්දනා කරලා පසුදින දානයට ආරාධනා කරනවා.

දානය පිරිසිදු ව පිළියෙළ කරලා ඒ බව බුදුරජාණන් වහන්සේ ට දැන්වූවා ම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සුප්පිය උපාසකතුමාගේ නිවසට වඩිනවා. වැඩම කළාට පස්සේ උන්වහන්සේ එදා දකින්නට හිටියෙ නැති සුප්පියාව ගැන විමසනවා. එතකොට සුප්පිය උපාසකතුමා "ස්වාමිනි, ඈ ගිලන් ව සිටින්නී ය. " කියලා පිළිතුරු දෙනවා. එසේ වී ඇය මෙහි පැමිණේවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. "ස්වාමිනි, ඇයට පැමිණීමට නොහැකිය" කියලා පවසනවා. "එසේ වී නම් ඇය ඔසවාගෙන එන්න" බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට සුප්පිය උපාසකතුමා ගිහින් ඇය ව ඔසවාගෙන එනවා. සුප්පියාව බුදුරජාණන් වහන්සේ දකිනවාත් එක්කම ඇගේ තුවාලය මසින් වැහිලා ගිහින් සම්පූර්ණයෙන් ම සුවපත් වුණා. "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, භාග්‍යවතුන් වහන්සේ දකිනවාත් එක්කම මේ සා මහත් වූ තුවාලය සැණින් මසින් පිරී ගොස් කැළැල් මැකී ගොස් සුවපත් වූයේය... " කියලා දෙදෙනා ම සතුටු වෙනවා. සතුටු වෙලා දන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ දානය පිළි අරගෙන ධර්ම කතාවෙන් සතුටු කරලා විහාරයට වැඩියා. ඊටපස්සෙ මේ කාරණය හින්දා ම භික්ෂු සංඝයා රැස් කරනවා. 

"පින්වත් මහණෙනි, සුප්පියා උපාසිකාවගෙන් මස් ව්‍යංජනයක් ඉල්ලුවේ කවර භික්ෂුව ද? " බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වෙතින් විමසනවා. "ස්වාමිනි ඒ මා විසිනුයි". මස් ඉල්ලූ භික්ෂුව ඉදිරිපත් වුණා.

"පින්වත් භික්ෂුව, ඒ මස ඔබට ලැබුණේද?"

"එසේ ය ස්වාමිනි, මා හට ඒ මස ලැබුණේය. "

"පින්වත් භික්ෂුව ඔබ ඒ මස වැළඳුවේද? "

"එසේ ය ස්වාමිනි, මවිසින් ඒ මස වැළඳූයෙමි. "

"පින්වත් භික්ෂුව, ඒ කවර මසක්දැයි ඔබ විසින් විමසන ලද්දේ ද?"

"නැත ස්වාමිනි, නොවිමසුවෙමි."
එවිට බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් එහි දොස් දක්වලා මේ විදියට දේශනා කළා. "හිස් පුරුෂය, ඔබ විසින් විමසනු නොලැබ කෙසේ නම් ඒ මස වැළඳුවේද? හිස් පුරුෂය ඔබ විසින් වළඳා තිබෙන්නෙ මනුෂ්‍ය මාංශයකි. හිස් පුරුෂය, මෙය වනාහී නොපැහැදුනවුන් පැහැදීම පිණිස හෝ පැහැදුනවුන් වඩා පැහැදීම පිණිස ද හේතු නොවේ....පින්වත් මහණෙනි, බලවත් ලෙස ශ්‍රද්ධාව පිහිටුවා ගත් බලවත් ප්‍රසාදය ඇති ජනයා තමන්ගේ මස පවා පුදන ලද්දේ වෙයි. පින්වත් මහණෙනි, මිනී මස් නොවැළඳිය යුතු ය. මිනී මස් වළඳන්නේ නම් එයින් ම ඒ භික්ෂුව 'ථුල්ලච්චය' ආපත්තිය සිදුවේ. " ('ථුල්ලච්චය' ආපත්තිය කියන්නේ විශාල වරදක් සිදුවුණාට පස්සෙ එය සංඝයා හමුවේ ආරෝචනය කොට නැවත නොකරන බවට පොරොන්දු වී සංවර වන ඇවතක්.) පින්වත් මහණෙනි, නොවිමසා මස් නොවැළඳිය යුතු ය. යමෙක් නොවිමසා මස් වළඳන්නේ නම් දුක්කට ආපත්තිය සිදුවේ. (දුක්කට ආපත්තිය කියන්නේ නොකළයුතු දෙයක් කිරීමේ වරදට හසුවීමයි. නැවත එය නොකරන බවට පොරොන්දු වී සංවර වීය යුතු ඇවතක්).

ඔන්න ඔය විදියට තමයි බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳීම ගැන භික්ෂූන් වහන්සේලා ට විනය නීති පැනෙව්වේ. මේ වගේ ම බලු, සර්ප, සිංහ, දිවි, වලස් වගේ තවත් මස් වර්ග දහයක් වෙනුවෙන් විනය නීති පනවලා තියෙනවා තහනම් කරලා. මේ විස්තර සඳහන් වෙන්නෙ මහාවග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධය කියන කොටසේ. උපුටා ගත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' පොතෙන්....

33 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !