මගේ හිත ඔයා ලඟ ද මං ලඟද...?



මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම....! මේ ගැන ගොඩක් දෙනෙකුට හරියටම තේරුමක් නැති නිසා ආදරණීය හිත ගැන දැනගන්න එක හොඳයි කියලා මට හිතුනා. හිත ගැන එක එක්කෙනාගෙ අදහස් විවිධාකාරයි. අද කාලේ අපි ඇසුරු කරන සමාජය වුනත් අපිව නොමඟ යවන සුළුයි මේ අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. අපි හරිම දේ දැනගෙන හිටියේ නැත්නම් තව කෙනෙකුට උනත් අපිට පාර වරද්දන්න පුලුවන් ලේසියෙන්ම. එහෙම නේද?

සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා\වසඟ වෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්‍රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?


ඒ විදියට අපි අපේ ශරීරය ගැන කළකිරුනට අපි ලේසියෙන් හිත ගැන නම් කළකිරෙන්නේ නෑ නේද? සමහරවෙලාවට නම් එහෙම කළකිරෙන දේවල් අපට ඇතිවෙනවා, උදාහරණයක් විදියට අපේ ආදරණීයයෙක් අපෙන් සමුගත්තොත් වගේ වෙලාවට, නමුත් ඒක පවතින්නේ ඉතාම සුළු මොහොතයි නේද? ඊට වඩා කෙනෙක් ලැබුන ගමන් අර හැමදේම ඉක්මනටම අමතක වෙලා යනවා. ඒකයි මම කිව්වේ! මැරුණ, පණ අදින මිනිස්සු දැකලා අපිට හිතෙනවා මේ ඇඟ නම් අපිට ඉක්මනටම කවදාහරි දාලා යන්න වෙනවා, මේ ඇඟ නම් මගේ නෙවෙයි තමයි කියලා. ඒ වුනත් අපිට හිත ගැන නම් එහෙම කවදාවත් හිතෙන්නෑ නේද?

මේ මගේ හිතමයි කියලාම තමයි හිතෙන්නේ නේද? මේ හිතට අපි ගොඩාක් ආදරය කරන්නේ කවදාවත් දාලා යයි කියන හැඟීමකින් නෙවෙයිනේ නේද! අපි ආදරණීය හිත කියනදේ ගොඩාක් සතුටින් පිළිගන්නවා, වැළඳගන්නවනේ. ඉතින් ඒක තමයි අපිට හැමදාම නොදැනීම සිද්ධ වුන වැරැද්ද. මේ තමයි අපේ ජීවිතේ අපි වුන ලොකුම රැවටීම! ඒක එහෙම වෙන්න හේතුවක් තියෙනවා, ඒ තමයි අපි අපේ හිතේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන නැති එක. එහෙම ඒ ගැන දන්නවා නම් අපි කවදාවත් මේ හිත දිහා මම, මගේ කියලා බලන්නෙ නෑ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ අපූරුවට දේශනා කරලා තියෙනවා. අපි ශරීරයේ ආදීනව දැකලා, ඒ ගැන නුවණින් මෙනෙහි කරලා ශරීරයේ අනිත්‍යය තේරුම් ගන්නවා වගේම සිතේ ක්‍රියාකාරිත්වය දිහා බලලා අනිත්‍යය ස්වභාවයත් තේරුම් ගත්තා නම් මේ මායාකාරී රැවටිල්ලට අහුවෙන්නේ නෑ.

හිත කියන දේ අපිව නියම දිශාවට වගේම වැරදි දිශාවලටත් අරන් යන්න පුලුවන්, ඒකට රුවල් ඔරුවකට වගේ එහෙමත් නැත්නම් සරුංගලයකට වගේ ඔහේ යන්න දුන්නොත්. ඒ නිසා ඒ සරුංගලයේ නූල අපි අතට අරන් යා යුතු නිවැරදි දිශාව තීරණය කරන්නා අපි ම වෙන්නෝන. ඒක කරන්න නම් සරුංගලයේ/රුවල් ඔරුවේ ක්‍රියාකාරිත්වය (Mechanism) එක ගැන අපි හොඳින් දැනගෙන ඉන්නෝන. සිතේ ක්‍රියාකාරිත්වය ගැන තවත් ලියන්න ගියොත් නම් සටහන තවත් ගොඩක් දිග වෙනවා. ඒ නිසාම මම හිතන්නේ අපි මේ හිතේ ඇත්ත ස්වභාවය(මායාකාරී රැවටිලිකාර ) හඳුනාගෙන වැඩ කළා නම් අපිට ගොඩාක් වෙලාවට ඇතිවෙන සිත් රිදීම්, මානසික තැවුල් එහෙම අඩුකරගෙන ලොකු ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න ලේසියෙන්ම පුලුවන්.

මේ වප් පෝය දවසනේ. වප් පෝය දවසේ බුදුසසුනේ ගොඩක් වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. මේ ඒ සිදුවීම්...

1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම/කඨින චීවර පූජා කිරීම

විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ), බුදුසරණ අන්තර්ජාල කලාපය

ප.ලි: අධික කාර්යබහුලකම නිසා ම කණගාටුවෙන් වුණත් පෝ දින විශේෂ සටහන වෙනුවෙන් 2011 පෙබරවාරි වල ලිව්ව පැරණි සටහනක් ආයෙම පළ කරන්න හිතුවා. (වැඩි දෙනෙක් කියවලත් නැතුව ඇති කියලා හිතනවා මං).

52 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මිලින්ද රජු පැරදවූ නාගසේන හාමුදුරුවෝ -2




කලින් සතියෙ සටහන ඉවර කළේ ග්‍රීක රජ කෙනෙක් වුණ මෙනැන්ඩර් හෙවත් මිලින්ද රජතුමා සහ සාගල නුවර රාජධානිය ගැන විස්තරයෙන් නේ. මේ දෙන්නා අතර මේ විදියට වාදයක් ඇතිවෙන්න පෙර කර්මයක් බලපෑව හැටි ගැන අපූරු කථාවකුත් තියෙනවා. හැබැයි ඒ කථාව දැනගන්න නම් මේ සටහන අන්තිම වෙනකල් ම කියවන්න වෙනවා. නාගසේන හාමුදුරුවෝ ක්‍රි.පූ 150 දී විතර හිමාල පර්වතය අසල කජංගල කියන බමුණු ග්‍රාමයේ සෝනුත්තර නම් බමුණා ට දාව තමයි උපත ලැබුවේ. මේ උප්පත්ති කථාවට සම්බන්ධ ලස්සන පුරාවෘත්තයකුත් තියෙනවා. ඒ ගැන කියන්නයි දැන් ලෑස්තිවෙන්නෙ. ඊට කලින් කියන්නෝන නාගසේන හාමුදුරුවන් ව හැඳින්වෙන්නේ ථේරවාදීන් අතර මහා දාර්ශනිකයෙක් විදියටයි කියලත්. දන්නවනේ නේද බුදුදහම හීනයානය (ථේරවාදය), මහායානය සහ තන්ත්‍රයානය විදියට ආකාර තුනකට වෙන්වෙලා තියෙනවා කියලා. ඔන්න දැන් කථාව.

මම කලිනුත් කිව්වනේ මිලින්ද රජතුමා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න විදියක් නැතුව රහතන් වහන්සේලා සාගල නුවර අත්හැරලා දාලා යන්න ගියා කියලා. මේ රහතන් වහන්සේලා වැඩියේ හිමාලයේ රක්‌න්ගල කියන පර්වතයටයි. ඒ වෙද්දිත් ඒ පර්වතයේ සියක් කෝටියක් රහතන් වහන්සේලා වැඩ සිටියා කියලා තමයි සඳහන් වෙන්නෙ. ඒ කාලේ ප්‍රකට පඬිවරයෙක් වුණ අශ්වගුප්ත රහතන් වහන්සේ මේ සියළුම රහතන් වහන්සේලා ගෙන් විමසා සිටියා කවුද මිලින්ද රජතුමා එක්ක වාදයට යන්න කැමති කියලා. ඒ හැමදෙනා ම නිහඬ වුණා, ඒ තරම් ම මිලින්ද රජතුමා ගේ තර්ක ඥාණය ප්‍රබලයි. ඊට පස්සේ අශ්වගුප්ත රහතන් වහන්සේ මේ විදියට කිව්වා. "හිමිවරුනි තවුතිසා දිව්‍යලෝකයේ වෛජයන්ත මාළිගයට නැගනහිරින් කේතුමතී නමින් විමානයක්‌ ඇත. ඒ විමානයේ මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙක්‌ වෙයි. මිළිඳු රජු හා විවාද කරන්නට හැකි පුර්ව වාසනා ගුණය ඇති එකම තැනැත්තා ඔහුය" කියලා. එතැන රැස්වෙලා හිටිය රහතන් වහන්සේලා ඒ අනූව ඍද්ධියෙන් තව්තිසාවට වැඩම කළා. බොහෝ රහතන් වහන්සේලා වඩිනවා දැක්ක ශක්‍ර දේවේන්ද්‍රයා පෙරමඟට ගිහින් උන්වහන්සේලා පැමිණි කාරණාව විමසුවා.

ඉතින් අශ්වගුප්ත රහතන් වහන්සේ මිලින්ද රජතුමා සම්බන්ධ කතා පුවත ශක්‍රයාට කිවා. එතකොට ශක්‍රයා කිව්වේ මිලින්ද රජතුමාත් කලින් ආත්මයේ තව්තිසාවේ දිව්‍යපුත්‍රයෙක් විදියට හිටියා කියලා. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා රහතන් වහන්සේලාත් එක්ක ම මහාසේන දිව්‍ය පුත්‍රයා හම්බවෙන්න ගියා. ශක්‍ර දේවේන්ද්‍රයා, මහාසේන දිව්‍ය පුත්‍රයාගේ අත් අල්ලලා තුන් වතාවක් ම මනු ලොව ඉපදෙන්න ආරාධනා කළත් මහාසේන දිව්‍ය පුත්‍රයා ඒක ප්‍රතික්ෂේප කළේ "ස්‌වාමිනි මනුෂ්‍ය ලෝකය ඉතා තියුණු වූ දුක්‌ ඇත්තේ ය." කියලායි. ඊටපස්සෙ අශ්වගුප්ත රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා "මහාසේන දිව්‍ය පුත්‍රයාණෙනි නුඹ හැර මිළිඳු රඡ්ජුරුවන්ගේ විවාදයට අභියෝග කරන්නට අන් කවරෙක්‌වත් නැත" කියලා. ඒක පිළිගන්න මහාසේන දිව්‍ය පුත්‍රයා "මම මිළිඳු රජුගේ වාදය බිඳ හෙළන්නට සමර්ථ වූයෙක්‌ මැයි" කියලා දෙව්ලොවින් චුත වෙලා සෝනුත්තර බමුණාගේ බිරිඳගේ කුස තුළ පිළිසිඳගන්නවා. මිලින්ද ප්‍රශ්නයේ කියන විදියට ඒ වෙලාවේ මහා මේඝයක් ඇතිවුණා කියලා කියනවා.

අවසානයේ මේ සෝනුත්තර බැමිණිය පුත් කුමරෙක්‌ ප්‍රසූත කරනවා වගේම ඒ කුමාරයා "නාගසේන" විදියට නම් ලැබුවා. ගොඩක් ප්‍රඥාවන්ත මේ කුමාරයා වයස අවුරුදු හතේදී ම බ්‍රාහ්මණ ශාස්‌ත්‍රය මැනවින් ප්‍රගුණ කරලා අවසන් කළා. දවසක් මේ නාගසේන කුමරුට රෝහණ කියන ධර්මධර භික්‌ෂුව මුණගැහෙනවා. රෝහණ හාමුදුරුවන් හා කතාබහ කිරීම නිසා ම ධර්මය ගැන පැහැදිලා ඒ හිමියන් ගුරු තනතුරේ තියාගෙන උතුම් පැවිදි බවට පත්වෙනවා රක්න්ගල පර්වතයට ගිහින් සියක්‌ කෝටියක්‌ රහතුන් වහන්සේලා මධ්‍යයේ. නාගසේන හාමුදුරුවෝ සිය ආචාර්යවරයාගේ අනුදැනුම පරිදි වත්තිස සේනාසනයෙහි වැඩවසන අශ්වගුප්ත හිමියන් සොයා යනවා පසු කාලෙකදි. එහිදී අශ්වගුප්ත හිමියන්ට පුරා තිස්‌ වසරක්‌ මුළුල්ලෙහි ඇප උපස්‌ථාන කරන උපාසිකාවකට අභිධර්මය දේශනා කරලා පසුව විදර්ශනා වඩමින් ඒ ආසනයෙහිම හිඳගෙන උතුම් සෝවාන් ඵලයට පත්වෙනවා. මේ බව දිවැසින් දැක්ක අශ්වගුප්ත හිමියනුත් දහස්‌ ගණන් දේවතාවෝත් සාධුකාර දැක්‌වූ බව තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සෝවාන් ඵලය ලැබීමෙන් පස්සේ නාගසේන හිමියන් කැඳවන අශ්වගුප්ත හිමියෝ අවවාද කරනවා පැලලුප් නුවරට වැඩම කරලා අශෝකාරාමයෙහි වැඩවසන ධම්මරක්‌ඛිත හිමියන්ගෙන් ත්‍රිපිටකය ඉගෙන ගන්නා ලෙසට. ඒ අනූව පාටලීපුත්‍ර සිටුවරයා ව්සින් නාගසේන හිමියන් ව පැලලුප් නුවර අශෝකාරාමයට කැඳවාගෙන යනවා. අශෝකාරාමයෙහිදී ත්‍රිපිටකය කටපාඩමින්ම ඉගෙන ගන්න නාගසේන හිමියෝ ධර්මයේ අර්ථ රසය ආස්‌වාදනය කරමින් ම එක්‌ රාත්‍රියක උතුම් වූ අරහත්භාවය සාක්ෂාත් කරගන්නවා. මේ බව දැක්‌ක බ්‍රහ්මයෝ සතුටින් අත්පොලසන් දුන්නා කියලා තමයි කියන්නේ.

ඊට පස්සේ සියක්‌ කෝටියක්‌ රහතන්වහන්සේලාගේ ආරාධනාව මත නාගසේන හිමියෝ නැවැත හිමාලය පාමුල රක්‌න්ගල පර්වතය අසලට වැඩම කරනවා. එහිදී මහා සංඝරත්නය විසින් මිළිඳු රජතුමා සමඟ වාදයට එළඹෙනන කියලා නාගසේන හාමුදුරුවන්ට ආරාධනා කරනවා. ඒ නිසා ම මිලින්ද රජතුමා ව නාගසේන හිමියන් හමුවීමට කැමැති බව දන්වලා දේවමන්ත්‍රි(ඩෙමට්‍රියස්‌) කියන ඇමැතියා හරහා පණිවිඩයක්‌ යවනවා රජමාළිගයට. මිලින්ද රඡ්ජුරුවෝ "නාගසේන" නම ඇසුණු පමණින් ම බය වෙලා ඇඟේ රෝම පවා කෙළින් වුණා කියනවා. ඊටපස්සෙ මිළිඳු රජතුමා නාගසේන හිමියන් ව හමුවීවෙන්න පන්සියයක්‌ ඇමැතියන් පිරිවරාගෙන සාගලපුර අසංඛ්‍යය විහාරයට ආවා. එතකොට නාගසේන හිමියෝ අසූදහසක්‌ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන තමයි වැඩ සිටියේ. උන්වහන්සේ ඉදිරිපිට සිටිය හතළිස්‌ දහසක්‌ භික්‍ෂූන්වහන්සේලා නාගසේන හිමියන්ට වඩා වැඩිමහලු අය වුණා වගේම පිටුපසින් සිටිය හතළිස්‌දහසක්‌ භික්‍ෂූන්වහන්සේලා උන්වහන්සේට වඩා බාල අයයි. මිළින්ද ප්‍රශ්නයෙ කියන විදියට නාගසේන හිමියන් දුටු පමණින්ම මිළිඳු රජතුමාට තමන් මේ සැරේ නම් වාදයෙන් පරදින බව දැනුනා කියනවා. මිළිඳු - නාගසේන සාකච්ඡාව ආරම්භ වෙන්නේ හින්දු දර්ශනයේ එන පුද්ගලවාදයෙන්. මිළිඳු රජතුමා උපනිෂද් වැනි දර්ශනයන් තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ, ආත්මය, පුනරුත්පත්තිය, කර්මය යනාදිය පිළිබඳව වූ ප්‍රශ්නයන් පවා නාගසේන හාමුදුරුවන්ගෙන් විමසනවා. මෙතනදි නාගසේන හාමුදුරුවෝ මිලින්ද රජතුමා ගේ තර්කය, විතර්කයෙන්ම පරාජය කිරීමට උත්සාහ කරනවාට වඩා මතභේදයට තුඩුදුන් කරුණු උපමා රූපක භාවිත කරමින් විසඳන්න තමයි උත්සහ කරන්නේ. ශරීරය සහ රථය සම්බන්ධ උපමාව මේකට හොඳ උදාහරණයක්. ("ස්‌වාමීනි ඔබ වහන්සේගේ නම කුමක්‌ද?" යනුවෙන් තමයි සාකච්ඡාව ආරම්භ වෙන්නේ. ඊට පිළිතුරු විදියට නාගසේන හිමියන් "මහ රජාණෙනි, නාගසේන යන නමින් මට ආමන්ත්‍රණය කෙරෙති. එතකුදු වූවත් එය සංඥා මාත්‍රයකි.... ආදි වශයෙන් ආත්මවාදය පටන්ගන්නවා ). මේ දෙදෙනා අතර ඇතිවුණ එක සංවාදයක් තමයි මේ.

මිළිඳු රජතුමා - මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ අහන්න ඕන.

නාගසේන හිමියන් - හොඳයි අහන්න

මිළිඳු රජතුමා - මම ඒක ඇසුවා

නාගසේන හිමියන් - මම ඒකට උත්තර දුන්නා.

මිළිඳු රජතුමා - මොකක්‌ද ඔබ වහන්සේ දීපු උත්තරය?

නාගසේන හිමියන් - මොකක්‌ද ඔබ ඇසූ ප්‍රශ්නය?

පළමු දින සාකච්ඡාවෙන් සතුටු වූන රජතුමා දෙවැනි දින පටන් නාගසේන හිමියන් ව තම මාළිගාවට වැඩමවනවා ධර්ම සාකච්ඡාවට. මිලින්ද රඡ්ජුරුවෝ නාගසේන හිමියන්ගෙන් සියලුම ප්‍රශ්න විචාරලා ඒවාට ලැබුණු පිළිතුරුවලින් බෙහෙවින් සතුටට පත්වෙලා අවසානයේ මේ විදියට ප්‍රකාශ කරනවා. "සාධු සාධු නාගසේන හිමියනි. බොහෝ ප්‍රශ්න නුඹවහන්සේ විසින් විසඳන ලද්දේය. මේ ගෞතම බුදුන්ගේ ශාසනයේ ධර්ම සේනාධිපතිවූ සැරියුත් හිමියන් හැර මෙලෙස දහම් ගැටළු විසඳීමට සමර්ථ වූ අන් අයෙක්‌ නොමැත. නාගසේන හිමියනි බොහෝ ප්‍රශ්න විචාරා මම නුඹවහන්සේ වෙහෙසට පත් කළෙමි මට සමාවුව මැනවයි" කියලා.

අන්තිමේට රජතුමා බොහෝ ධනය වියදම් කරලා "මිළිඳු" නමින් විහාරයක්‌ කරවලා නාගසේන හිමියන් ඇතුලු සියක් කෝටියක්‌ රහතන්වහන්සේලාට සිවුපසය ලබාදී පසුව සිය වැඩිමහලු පුතුට රජකම භාරදීලා බුදුසසුනේ පැවිදි ව විදසුන් වඩා උතුම් අරහත් බව සාක්ෂාත් කරනවා.

ඔය විදිහට නාගසේන හාමුදුරුවන්ටයි, මිළිඳු රජතුමාටයි හැකියාවක් ආවයි කියන්නේ පසුගිය භවයක කරපු පින් වැඩක් නිසා කියලා තමයි සඳහන් වෙන්නෙ. දෙන්නාම ඒ කාලේ මහණ වෙලායි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ නාගසේන හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ, මිළිඳු රජතුමා පොඩි හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ දවසක් බෝ මළුව අතුගාලා කුණු ටික එක තැනකට එකතු කරලා, ඒ ටික අස් කරන්න කියලා පොඩි හාමුදුරුවන්ට කියලා තියෙනවා. ඒ වුණත් අමතක වීමකින්දෝ පොඩි හාමුදුරුවෝ වැඩේ කරලා නැහැ. මේක නිසා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට ඉදලෙන් පහරක් ගහලා තියෙනවා.

මේ හින්දා නිසා පොඩි හාමුදුරුවෝ කුණු අස් කරන ගමන් ප්‍රාර්ථනා කළා "ලොකු හාමුදුරුවෝ මට ගැහුවා, ඒක නිසා මේ කුණු අස් කරන පිනෙන් මට ලබන ආත්මෙක ප්‍රශ්න අහලා ලොකු හාමුදුරුවෝ පරද්දන්න හැකියාව ලැබෙන විදියට නිවන් දක්‌නා තුරා උපනූපන් ජාතියෙහි තමාට තේජස්‌ ඇතිවේවා, වාදයෙහි සමත්කම් ඇතිවේවා කියලා ප්‍රර්ථනා කරනවා". මේ බව ඇහුණ ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි හාමුදුරුවෝ කුණු අස් කරලා එහෙම හිතුවා නම් බෝමළුව අතු ගෑව මට ඊට වඩා පිනක් තියෙනවානේ කියලා අර විදිහට පොඩි හාමුදුරුවෝ ප්‍රශ්න අහලා මාව පරද්දන්න එද්දී එයාව පරද්දන්න මට හැකියාව ලැබෙන්න කියලත් විමසන ප්‍රශ්නවලට කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දීමේ හැකියාව තමාටද ලැබේවායි කියලා හිතනවා. ඔන්න ඔය විදියට තමයි නාගසේන හාමුදුරුවන්ට, මිලින්ද රජතුමා ව පරද්දන්න හැකියාව ලැබිලා තියෙන්නෙ.

පසුවදන: අපදාන පාලියේ පුබ්බකම්ම පිලෝතිකාපදානය කියන්නේ සම්බුදු සිරිතේ සිදුවීම් එකොළහක හේතුව පූර්ව අකුසල කර්ම ගැන කියවෙන, බුදුරජාණන් වහන්සේ හිමාලයේ මනරම් ගල් තලාවක් මතුයෙහි හිඳ බොහෝ භික්‍ෂූන් වහන්සේට දේශනා කළ සම්බුද්ධ දේශනාවක්. එයට අනුව ඒ අවස්ථා එකොළහට හේතු වුණේ බුදුරදුන් පූර්ව ජාතීන් හිදී කරන ලද අකුසල් කර්මයන්. නමුත් මිලින්ද ප්‍රශ්නයට අනුව නම් බුදුරදුන්ට අකුසල කර්ම විපාක දීමක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නෙ. මිලින්ද ප්‍රශ්නයෙහි මිලිඳු රජු හා නාගසේන තෙරුන්වහන්සේ අතර ඇතිවන සංවාදයෙක්හිදී රජු විසින් “බුදුරදුන් සර්වඥතාඤාණයෙන් කර්මක්‍ෂය කොට බුදු බව ලැබුයේ නම් අකුසල කර්ම හේතුවෙන් පාදයෙහි ගල් පතුරක් වැදී තැලීම හා ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම කෙසේ සිදුවිය හැකිදැයි විමසනවා. එයට පිළිතුරු දෙන නාගසේන මහ රහතන් වහන්සේ සියලු දුක්ඛ කර්ම හේතුවෙන්ම නූපදින බව තමයි වදාරන්නේ. අනුන්ගේ ක්‍රියා නිසාත් එහෙම දේවල් වෙන්න පුළුවන් කියලයි මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වෙන්නෙ. එහෙම බැලුවම මිලින්ද ප්‍රශ්නය කියන පොතේ අන්තර්ගතය ගැනත් පොඩි ගැටළුවක් තියෙනවා.....

ප.ලි: ඔන්න ගොඩක් දෙනාගේ ඉල්ලීම අනූව සතියක් පරක්කු කරන්නෙ නැතුව ඉක්මනට ම දැම්මා, වැඩත් වැඩි එකේ අඩුපාඩු එහෙමත් ඇති, තිබුණොත් කියන්න! තවත් මේ ගැන කියවන්න කැමති නම් මෙතනින් යන්න. මේ සටහන ලියන්න, දිවයින පත්තරේ චතුර පමුණුව සහ සී. කේ අත්තනායක මහත්වරු ලිව්ව ලිපි දෙකකුත් උදව් වුණා.

38 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මිලින්ද රජු පැරදවූ නාගසේන හාමුදුරුවෝ....


මිලින්ද-නාගසේන ප්‍රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 දී බලයට පත්වෙන්නෙ එවකට ඉන්දියාව පාලනය කරමින් හිටිය නන්ද රාජ වංශය පරාජය කරලයි. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවත්, මධ්‍යම හා දකුණු ඉන්දියාව හා බටහිර දෙසටත් බලය පතුරවන්න චන්ද්‍රගුප්ත රජතුමා සමත් වෙනවා. වර්තමාන පැට්නා හෙවත් පාටලීපුත්‍රය අගනුවර කරගෙන දුර්ධාරා කුමරියත් සමඟ විවාහ වුණ ජෛන ආගමිකයෙක් වෙන චන්ද්‍රගුප්ත රජතුමා ජෛන ආගමට බොහෝ සෙයින් අනුග්‍රහ දක්වනවා. වියපත් වීමත් එක්ක ම චන්ද්‍රගුප්ත රජතුමා තම රජකම සහ රාජ්‍යය පුත්‍රයා වුණ බින්දුසාර ට පවරා දීලා ජෛන පූජකයන් සමඟ එක් වෙනවා. පසු කාලෙක චන්ද්‍රගුප්ත රජතුමා ආචාර්ය භද්‍රබාහුගේ ශිෂ්‍යයෙකු බවට පත්වෙලා අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිළිවෙතක් අනුගමනය කරමින් කර්ණාටක ප්‍රාන්තයේ බේලගොල ආශ්‍රමයේ දී මරණයට පත්වෙනවා.

චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ ක්‍රි.පු. 298 දී රජකමට පත්වෙන දෙවිසි වියැති බින්දුසාර රජතුමා රාජ්‍යය තවත් පුළුල් කරනවා. මේ කාලේ වෙද්දි මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාත් බටහිරින් වර්තමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් කියන පළාත් සහ ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ දක්වා පුළුල් වෙනවා. හිතාගන්නකෝ කොයිතරම් ලොකු ඇතිද කියලා මේ අධිරාජ්‍යය... පහල තියෙන සිතියම බලන්නකෝ, තද නිල් පාටින් දක්වලා තියෙන්නෙ මෞර්ය අධිරාජ්‍යයට අයිති ප්‍රදේශය.(අශෝක අධිරාජ්‍යයා ගෙනුත් පස්සෙ ) සිතියමේ හැටියට ඉන්දියාවේ දකුණු ප්‍රදේශය, ඒ කියන්නේ චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව මෞර්ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන රාජ්‍යයන් විදියට තමයි දක්වලා තියෙන්නෙ. (හැබැයි ලංකාව ඇත්තට ම ඒ කාලේ එහෙම කප්පම් දුන්නද කියලා හරියටම හොයාගන්න බැරිවුණා!). මෞර්ය අධිරාජ්‍යයා සතුව පැවති බලසම්පන්න හමුදාව එහි පුළුල් ව්‍යාප්තිය සඳහා මහත් රුකුලක් වුණා කියලා තමයි කියන්නෙ. මෙගස්තිනිස් නම් ග්‍රීක ජාතික දේශාටකයාගේ වාර්තාවන්ට අනුව මෙම හමුදාව 600,000 පමණ වූ භට පිරිසකගෙන්, 30 000 පමණ වූ යුධ අශ්වයින්ගෙන්, 9000 පමණ වූ යුධ ඇතුන්ගෙන් ද සමන්විත වෙලා තියෙනවා වගේ ම මුළු අධිරාජ්‍යයම ආවරණය වන පරිදි පැවති පුළුල් ඔත්තු සේවා ජාලයකුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. බින්දුසාර රජතුමාගේ පුතුන් දෙදෙනා වූණ සුසිම සහ අශෝක, තක්ෂිලා සහ උජෙයින් කියන නගර වල යාපා ‍පදවි දැරුවා. (සිතියම බලන්න). ආගම් ගැන කියනවනම් බින්දුසාර රජතුමා අනුග්‍රය දැක්වුවේ ආජීවක දහමටයි. ක්‍රි.පු. 272 දි බින්දුසාර අධිරාජ්‍යයා මියයෑමෙන් අනතුරුව අනුප්‍රප්තිකයා විදියට ඊළඟට රජවෙන්නෙ බින්දුසාර රජතුමාගේ පුත්‍රයෙක් වුණ අශෝක කුමාරයයි.

කෞටිල්‍ය පඩිවරයා විසින් රචිත "අර්ථශාස්ත්‍රයෙහි” සඳහන් වන විදියට අශෝක මෞර්ය අධිරාජ්‍යයාගේ පාලනය ඒකාධිපතිවාදී ස්වරූපයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ. චණ්ඩාශෝක කියලා කුප්‍රසිද්ධ වෙන්නත් හේතුව ඒක ම වෙන්න ඕන. ඒ වෙනකොටත් මෞර්ය අධිරාජ්‍යයට යටත් නොවුණු කාලිංග දේශය යටත් කරගැනීමේ සටනින් ජයග්‍රහණය කරන්න අශෝක අධිරාජයා සමත් වුණත් යුධ බිමෙන් නොනවත්වා ඇහෙන තුවාල වූවන්ගේ වේදනා හඬවල්, මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඬවල් රජතුමාගේ හිත කම්පනයට ලක් කරනවා. ඒ කාලේ තමයි රජ මාලිගාව ඉදිරිපිටින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ සන්සුන් ඉරියව් දැකලා පැහැදෙන්නෙ. ඒ ගැන රසවත් කථාවකුත් තියෙනවානේ. අහලා තියෙනවද මන්දා. අශෝක රජතුමා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව මාළිගයට වැඩම කරවලා, තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධනා කළා. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්තා. අශෝක අධිරාජයත් නිහතමානී විදියට පහත් අසුනකින් හිඳගත්තා. ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක් නිසා රජතුමා අහන ප්‍රශ්න වලට පහසුවෙන් උත්තර දෙන්නත් උන්වහන්සේ ට හැකියාව ලැබුණා. ඒ වගේ ම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ “ අප්පමාදෝ අමතපදං” යන ගාථාව මුල් කර ගෙන රජතුමාට ධර්මය දේශනා කරනවා. ධ‍්රමය කෙරේ පැහැදුණ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්තා වගේ ම ධාර්මික රජ කෙනෙක් බවටත් පත් වුණා.


ධර්මාශෝක රජතුමාගෙන් බුදුදහමට වුණ අනුග්‍රහයන් විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා, හැමෝම දන්න නිසා. ධර්මාශෝක රජතුමා ක්‍රි.පූ 232 දී මරණයට පත්වෙනවා. ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ රජකම උරුම වෙලා තිබුණ තීවර, කුණාල, ජලෞක කියන පුත් කුමාරවරුන්ට හරියට මේ සුවිසල් රාජ්‍යය පාලනය කරගන්න බැරිවෙනවා. ඒ නිසා ම රාජ්‍යය අස්ථාවර බවට පත්වෙනවා. මේ අර්බුදය දැනගත්ත පුෂ්පමිත්‍ර නම් සෙනවියා, ඒ කාලේ රජකළ ධර්මාශෝක මුණුපුරකු වූ බ්‍රැහැත්රථ මරා දාලා මෞර්ය වංශය සම්පූර්ණයෙන් ඉතිහාසයට එක්‌ කරනවා. මේ නිසාම දඹදිව රාජ්‍යය කෑලි කෑලිවලට කැඩිලා ගිහිල්ලා කුඩා රාජ්‍යයන් ගණනාවකට වෙන වෙනවා. මුලින් කිව්වා මතකද ධර්මාශෝක රජතුමාගේ සීයා වෙන චන්ද්‍රගුප්ත රජතුමා, මැසිඩෝනියානු ප්‍රදේශත් යටත් කරගත්තා කියලා. මෙහිදී චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පැරදිලා පලා ගියේ ග්‍රීකයන්. මෞර්ය රාජ්‍යය අස්ථාවරයි කියලා දැනගත්ත ග්‍රීකයනුත් මේ රාජ්‍යය ට බැල්ම හෙලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රි.පූ 200 දි විතර යුතෙමඩස්‌ කියන ග්‍රීක රජතුමා වර්තමාන ඇෆ්ගනිස්‌තානයේ කොටසක්‌ අල්ලාගෙන පාලනය කරන්න පටන්ගත්තා. ඉන්පසු රජවුණ යුක්‍රටඩීස්‌ රජු සාගල නුවරත් යටත් කරගෙන වයඹ දිග ඉන්දියාව පාලනය කළා. එයින් පස්සේ සාගල නුවර රජකමට පත්වුණේ මිනෙන්ඩර්(මෙනැන්ඩර්) නමින් ප්‍රකට වූණ මිළිඳු රජතුමා. මේ සාගල නුවර කියන්නෙ වර්තමාන පකිස්‌තානයේ සියල්කොට්‌ නගරය තියෙන ප්‍රදේශයටයි. මේ සාගලපුරය ඉතාම සශ්‍රීක රාජ්‍යයක්‌ වුණා වගේම සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් වුණ වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ ආලකමන්දා දිව්‍යපුරයට තමයි සමාන කරලා හඳුන්වන්නෙ. ඒ තරම් දියුණු, සශ්‍රීක නගරයක්. මේ මිළිඳු රජතුමා අවුරුදු 20 ක්‌ සාගල පුරවරයේ රාජ්‍යය පාලනය කළා. ඒ අතරතුරේදි තමයි මේ මිලින්ද-නාගසේන ප්‍රශ්නය ඇතිවෙන්නෙ.

ඉතා පණ්‌ඩිත ප්‍රඥවක්‌ ඇති සියලු කටයුත්තෙයි දක්‍ෂ මිළිඳු රජතුමා සමඟ වාදයට එළැඹීම අපහසු වූ රහතන් වහන්සේලා පවා සාගල පුරවරය හැර ගියා කියලා තමයි කියන්නේ. මිලින්ද රජතුමා ඒ තරම් ම නුවණැති කෙනෙක්. ඉතින් බොහෝ රහතන් වහන්සේලාට වාද කරලා පරාජයට පත් කරන්න බැරි වුණ මිලින්ද රජතුමා ව නාගසේන හාමුදුරුවෝ පරාජය කළේ කොහොමද කියලා ලබන සතියේ කියවමු එහෙනම්. කතාව කියවන්න කලින් ඒ කාලේ වටාපිටාව දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණ නිසා තමයි මේ විස්තර ටික දැම්මේ.

ප.ලි: ඉදිරි මාස දෙක හරිම කාර්යබහුල වෙන ලකුණු තියෙන නිසා පෝස්ට් දානකොට ටිකක් ටිකක් පරක්කු වේවි සමහරවිට!!!! උදව් කළා විකිපීඩියාව සහ හොඳ ඔක්කොම කියන අඩවියත්...

63 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නගර අසූහතරදාහක් අතරේ වහළෙන් වහළෙට පැන පැන යන කුකුළෙක්...



කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ. ඉතින් මේ විනාශයෙන් සුළු පිරිසක් ඉතුරු වුණා කියලා මම කලින් කිව්වනේ, ඒ අය තමන්ගේ ආයුෂ අවුරුදු 80,000 ක් වෙනකල් වර්ධනය කරගත්තේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ.

මේ ඉතුරු වුණ පිරිස හරීම ප්‍රඥාවන්ත කොටසක්. ඒ අය මේ විනාශයෙන් පස්සෙ හුදෙකලා තැන්වලට ගිහිල්ලා කල්පනා කළා ඇයි මෙහෙම වුණේ කියලා. ඊට පස්සෙ ඒ අය මේ විදියට කල්පනා කරනවා. "අපි කිසිවකු නොමරමු, කිසිවෙක් අප නොමරත්වා! අපි තණ ලැහැප්වලට හෝ පඳුරු වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගස්වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගංගා මැද දූපත වලට හෝ කඳුමුදුන් වලට හෝ පැමිණ වනයෙහිවූ අල, මුල් පලවැල කා ජීවත් වන්නෙමු නම් යහපතැයි" එහෙම හිතලා ධාර්මික ව ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ම ඔවුන් තුළ කුසල් ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. අකුසල්, පව් දවසින් දවසම දුරුකරගන්නවා. ඒ නිසා ම ඒ අයගේ ආයුෂ, වර්ණය වැඩෙන්න පටන් ගන්නවා. කාලයක් ගියා ම මේ අයගේ පරමායුෂ අවුරුදු විස්ස දක්වා වැඩිවෙනවා. මේ විදියට කුසල ධර්මයන් පුරුදු කරගෙන අකුසල ධර්මයන් නැතිකරමින් තමන්ගේ ආයුෂ අවුරුදු දහස , විසිදහස, හතළිස්දහස අන්තිමේට අවුරුදු අසූදහස දක්වා ම වැඩිවෙනවා.

මිනිස්සුන්ට අවුරුදු 80,000ක් ආයුෂ ඇති කාලයේ දී ඒ අය කායික රෝගාබාධ වලින් තොරයි. කුසගින්න, නිදිමත සහ වයසට යෑම විතරයි ඒ අයට පවතින ආබාධ හැටියට කියන්නේ. ඒ කාලයේ දඹදිව අතිශයින් ම සමෘද්ධි සම්පන්නයි. සශ්‍රීකයි. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි එකිනෙකට සම්බන්ධ වෙලා තමයි පවතින්නෙ. මේ සියළු රාජධානි පාලනය කරන්නේ කේතුමතී රාජධානිය ප්‍රධාන කොටගෙන වාසය කරන සංඛ කියන සක්විති රජතුමා. දඬුවමකින් තොරව ඉතා ම ධාර්මික විදියට තමයි රජතුමා රාජ්‍යය පාලනය කරන්නේ. ඒ කාලෙදි දඹදිව් තලය කොයිතරම් මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියාද කියනවානම් හරියට බට(උණ) කැලයක් වගේ හැමතැනකම මිනිස්සු හිටියා. හැම තැනක් ම ජනාවාස වෙලයි තිබුණේ. තවත් උපමාවක් කියනවා. නගර අසූහාරදහසකින් යුක්ත කේතුමතී රාජධානියේ එක කෙළවරකින් කුකුළෙක් වහළයකට නැග්ගොත් ඒ කුකුළාට කිසි ම කරදරයක් නැතුව වහළෙන් වහලෙට පනිමින් බිමට බහින්නෙ නැතුව ම නගර අසූහාරදහස හරහා ගිහින් එහා කෙළවරෙන් බිමට බහින්න පුළුවන් කියනවා. හරිම අපූරුයි නේද!

ඒ කාලෙදි තමයි මෛත්‍රී බෝසතාණන් කේතුමතී නුවර පහලවෙන්නේ. ඒ වෙද්දි සන්තුසිත දිව්‍යරාජයා නමින් තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරන මෛත්‍රී බෝසතාණන්ට මහා බ්‍රහ්මයා ඇවිත් "කාලෝ අයං තේ මහාවීරෝ.." ආදී වශයෙන් ආරාධනා කරනවා. මෛත්‍රී බෝසතාණන් පස්මහ බැලුම් බලලා දඹදිව කේතුමතී නම් රාජධානිය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුසින් මෙලොවට බිහි වෙලා නා ගසක් බෝධි වෘක්ෂය බවට පත්කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරනවා. බොහෝ සංඝයා පිරිවරාගෙන ලෝසතුන්ට ධර්මය දේශනා කරනවා. මෛත්‍රී බුදුන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් විදියට තමයි සැලකෙන්නෙ. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. අනිත් කොටස තමයි වීර්යාධික බුදුවරු. මේ බුදුවරු එකිනෙකට වෙනස් වෙන්නෙ බුද්ධත්වය සඳහා පෙරුම් පුරන කාල ප්‍රමාණය අනුවයි. සමහරු කියනවා මෛත්‍රී බුදුන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක් විදියට, අභිධර්මයේ සමහර කොටස් එක්ක ගලපලා බලද්දි මෛත්‍රී බුදුන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් වීමත් එක්ක හොඳින් ගැලපිලා යනවා.

ඒ කාලෙදිම සංඛ කියන සක්විති රජතුමත් මහා පනාද කියන පෙර රජෙක් විසින් කරවන ලද ගංගා නදියේ ගිලී තිබුණු ප්‍රාසාදයක් මතුකරගෙන එහි කලක් වාසය කරලා ඒ ප්‍රාසාදය දුගී, මගී යාචකාදීන්ට දන්දීම පිණිස වෙන්කරලා ගිහිගෙයින් නික්මිලා මෛත්‍රී බුදුන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා දමලා සිවුරු පොරවාගෙන ශාසනයට ඇතුළු වෙනවා. ඊටපස්සෙ උත්සහයෙන් ම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ අර්හත් බවට පත්වෙනවා. ඔය විදියට තමයි මෛත්‍රී බුදුන් වහන්සේ ගේ පහලවීම සිද්ධවෙන්නෙ. ඒ සඳහා තව ගොඩාක් කල් තියෙනවා නේද හිතාගන්නත් බැරි තරම්! ඉතින් අපි මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවාද නැත්තම් මේ ආත්මයේදී ම අවබෝධයක් කරා යනවාද කියන එක තම තම නැණ පමණින් තේරුම් ගන්න එක කියවන ඔබට බාරයි. මම කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනතුර පෙන්වා දීම පමණයි. සම්පූර්ණ සටහන් මාලාව කියවන්න ඕනෙ නම්





ප.ලි: අදින් මේ ලිපි පෙළ සමාප්තයි. ඔයාලා මේ සති කිහිපයක් තිස්සේ කියෙව්වේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ තුන්වෙනි කොටසට අයිති චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් කොටසක්. මුලින් ම මේ කියන්නේ සූත්‍ර දේශනාවක් කියලා කිව්වනම් සමහරු නොකියවා යන්නත් තිබුණා, ඒකයි මුලින් නොකිව්වේ. උතුම් ශ්‍රී සද්ධර්මය සහ හසිතගේ ආගිය කතා බ්ලොගයත් මේ සටහන ලියන්න උපකාර වුණා. ඒ හැමෝටම පින්! අවුරුදු දෙදහස පන්සියයකට කලින් මේ දේවල් තම නුවණින් ම අවබෝධ කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් නම් ආශ්චර්යයවත් ද!

54 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අවුරුදු පහෙන් විවාහ වෙන ගෑණු ළමයි...



කලින් සටහනේ දි දැනගත්තනේ කොහොමද මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 1000 කට අඩුවුණේ කියලා. සොරකම් කරන්න පටන් අරන්, ප්‍රාණඝාතය කරලා ඒවයින් බේරෙන්න බොරු කියලා, කේලාම් කියලා වගේ එක එක විදියේ පව් වැඩ කරලා තමයි ඒ විදියට ආයුෂ අඩු වුණේ. හැබැයි ඉතින් මේක ක්ෂණික ව සිදුවුණ දෙයක් නම් නෙවෙයි, අවුරුදු කෝටි ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වුණ දෙයක්. එහෙනම් අද කියන්න යන්නේ ඒ ඉතිරි ටික. අපි නැවැත්තුවේ තද ආශාව, ක්‍රෝධය වගේ හැඟීම් නිසා ආයුෂ අවුරුදු දාහකට අඩුවුණ තැනින් නේ. 

ඊට පස්සේ ඒ කාලේ මිනිස්සු අතර මිථ්‍යාදෘෂ්ඨිය ප්‍රබල වශයෙන් පැතිරිලා ගියා. මෙතනදි මිථ්‍යාදෘෂ්ඨිය විදියට අදහස් කළේ ක්‍රියාවන් වල විපාක නැහැ, පව් පින් නැහැ, මරණින් පසු පුනර්භවයක් නැහැ, මව්පියන්ට සැලකීමෙන් වැඩක් නැහැ, තෙරුවන් නැහැ වගේ දේවල්. ඒ නිසා ම ආයුෂ අවුරුදු පන්සියය දක්වා අඩුවුණා. ආයුෂ වසර පන්සියයක් වුණ මිනිස්සු අතරෙත් අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්ම වගේ දේවල් පැතිරිලා ගියා. ඉතින් ඒ නිසා ආයුෂ ආයෙත් දෙසියපනහ දක්වා අඩුවුණා. මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව කියන වැරදි නිසා ආයුෂ දෙසිඅය පනහක් වුණ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු සියය දක්වා ම අඩුවුණා. මේ වැරදි දේවල්, පාපි ක්‍රියා දිගින් දිගටම අඩුවක් නැතුව ම ලෝකය පුරා ම සිද්ධ වෙද්දි තවත් කාලයක් ගිහින් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහයක් වෙන කාලයක් ඉදිරියට එනවා. ඒ කියන්නේ කෙනෙකුගේ පරමායුෂ අවුරුදු දහයක් විතරයි. ඒ කාලේ අවුරුදු පහක ගැහැණු ළමයෙක් විවාහයට සුදුසුයි කියලයි සලකන්නේ. අවුරුදු පහක් වෙද්දි කාන්තාවක් සැමියෙක් ලබාගන්න තරම් කායික ව මානසික ව වැඩිලා ඉන්නවා. ඒ කාලේ වෙද්දි ගිතෙල්, වෙඞරු, තල තෙල්, මී, සකුරු, ලුණු කියන ආහාර/රසකාරක වල රසය අතුරුදහන් වෙනවා ලෝකයෙන්. ඒ කියන්නේ ඒවයේ ප්‍රණීත රසය නැතිවෙනවා ඒ කාලේ වෙද්දි. ඒ වගේ ම දස අකුසල් වේගයෙන් පැතිරිලා යනවා. අඩුම තරමේ කුසලයක්/ පිනක් ගැන වචනයකවත් අහන්න ලැබෙන්නෙ නෑ ඒ කාලේ මිනිස්සුන්ට.

මේ දස අවුරුදු කාලසීමාවේදි ඒ මිනිස්සුන්ට ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) වගේ හැඟිම් උත්සන්න වෙනවා. ඒත් එක්ක ම තීරණාත්මක සතියක්, එහෙමත් නැත්තම් දින හතක් උදාවෙනවා මිනිස්සුන්ට. ඒ සතියෙදි මිනිස්සුන්ට ඇතිවෙනවා මිග චිත්තය කියන සිත. ඒ කියන්නේ දඩයක්කාරයෙකුට මුවෙක් දැක්කම මරන්න ඕන කියලා ඇතිවෙන හිත වගේ දෙයක්. මිනිස්සු ඒ සතිය මුළුල්ලේ ම එකිනෙකා ඇණ කොටාගෙන මරාගන්නවා. බිරිඳ, සැමියාවත් සැමියා බිරිඳ වත්, දෙමව්පියෝ දරුවන් වත් දරුවෝ දෙමව්පියන්වත් හඳුනාගන්නෙ නැතිව එකිනෙකා මරාගන්නවා. ඒ අයට තව කෙනෙක් මරන්න ඕන කියලා හිතද්දි ආයුධ අතට ලැබෙන කාලයක් තමයි ඒ. මේ සතියෙන් පස්සෙ ලෝකයේ ජීවත් වෙලා හිටිය බොහෝ දෙනා මරණයට පත්වෙනවා. පෙර ආත්ම වල කුසල් වඩලා තිබුණ ඉතා ම සුළු පිරිසක් විතරක් ජීවිත බේරාගන්නවා. 

මේ ඉතුරුවෙන පිරිස කොහොමද තමන්ගේ ආයුෂ අවුරුදු 80,000 දක්වා නැවත වර්ධනය කරගන්නේ, මෛත්‍රී බුදුන් වහන්සේගේ පහළවීම කොහොමද කියන කොටස තමයි ඊළඟ සටහනෙන් කියන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මේ සටහන් පෙළ කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවා නම් පහත සබැඳි වලින් ගිහින් පිළිවෙලින් කියවන්නත් පුළුවන්.…

1. සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද?
 
2. අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2
 
3. සොරකම් කරන්න කරන්න සල්ලි දෙන රජතුමා...!

63 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සොරකම් කරන්න කරන්න සල්ලි දෙන රජතුමා...!



ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරලොවක් තියෙනවද නැද්ද, අපි කරන කියන දේවල් වල විපාක තියෙනවද, මරණයෙන් පස්සෙ අපිට මොකද වෙන්නෙ කියන එක. එහෙම වෙනවා නම් කෝ ඒවට සාක්ෂි? මේ ප්‍රශ්නය ම ඒ කාලේ හිටිය පායාසි කියන උප රජතුමාටත් ඇතිවුණා. ඒ ගැන විමසුවා ම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අපූරු උපමාවක් කියනවා. අපරාධ කළ කෙනෙක් රාජපුරුෂයන්ට අහුවෙලා රජතුමා හිසා ගසා දැමීම නියම කලාට පස්සෙ ඒ කෙනා රාජපුරුෂයන්ට කිව්වොත් "අසවල් තැන මම දන්නා කියන අය ඉන්නවා, මම ඒ අයට කියලා එන්නම් අපරාධ කිරීමේ විපාක ගැන" කියලා, රාජපුරුෂයෝ ඒකට ඉඩදෙන්නෙ නැහැ, කවුරුත් නොදැනීම ඔහු දුකට(මරණයට) පත්වෙනවා කියලා, අන්න ඒ වගේ තමයි අකුසල් කළ අයත් දුක් විඳිනවා සතර අපායේ, හැබැයි කවුරුවත් දන්නෙ නැහැ, කාටවත් ඒ ගැන කියන්න ඉඩක් ලැබෙන්නෙත් නැහැ....

ගොඩාක් ඉස්සර කාලෙක ඉතා ම ධාර්මික, ලෝකයට ම අධිපති වුණ දළ්හනෙමි කියලා සක්විති රජකෙනෙක් හිටියා. මේ රජතුමාට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය, පරිණායක රත්නය විදියට මාණික්‍යරත්නයන් හතකුත් තිබුණා. මේ මාණික්‍යරත්නයන් හත ගැන විස්තර වශයෙන් දැනගන්න කැමති නම් කලින් සතියක තිබුණ අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සටහන කියවන්න. දළ්හනෙමි රජතුමා ට දිව්‍ය ශරීර හා සමාන ශරීරයන්ගෙන් යුතු පුත්තු දහසක් දෙනා හිටියා. රජතුමා ධාර්මික ව රාජ්‍ය පාලනය කළ නිසා ම සමගියෙන්, දඬුවම් දීමක් නැතුව ම කාලය ගෙවන්න පුළුවන් වුණා. රජතුමා සුව සේ බොහෝ කාලයක් රාජ්‍යය විචාරීමෙන් අනතුරුව එක දවසක් කෙනෙකුට කතාකරලා කියනවා "පින්වත, දිව්‍ය චක්‍රරත්නය තිබූ තැනින් යම් සෙලවීමක් දුටුවොත් කියන්න" කියලා. ඊට පස්සෙ තවත් බොහෝ කාලයක් ගියා ම මේ චක්‍රරත්නය තිබුණ තැනින් සෙලවුණා. මේක දැක්ක අදාල කෙනා ඒ බව රජතුමාට ගිහින් කිව්වා. ඊටපස්සෙ දළ්හනෙමි රජතුමා, තමන්ගේ වැඩිමහළු පුත්‍රයා ව රජකමට පත්කරලා, කෙස් රැවුළු කපලා, සිවුරු පෙරවාගෙන ගිහිගෙයින් නික්මිලා තාපසයෙක් බවට පත්වුණා. රජතුමා තාපස බවට පත්වෙලා දවස් හතකින් චක්‍රරත්නය අතුරුදන් වුණා. මේ බව දැක්ක අලුතින් පත්වුණ රජතුමා ගිහින් තමන්ගේ පිය රජතුමා වුණ තාපසයාට මේ බව කිව්වා. එතකොට තාපසතුමා "පුතණුවෙනි, මේ චක්‍රරත්නය ඔබට පිය උරුමයෙන් ලැබුණු දෙයක් නොවෙයි, එනිසා ශෝක නොකරන්න, වහා ම උතුම් සක්විති වත් සම්පූර්ණ කරන්න" කියලා උපදෙස් දෙනවා. මේ සක්විති වත් මොනවද කියලා දැනගන්න ඕන නම් ඔයාලට සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද? සටහන කියවන්න ම වෙනවා. ඉතින් පුත්‍ර රජතුමා මේ අවවාදය ඒ ආකාරයෙන් ම පිළි අරගෙන සක්විති වත් සම්පූර්ණ කළා ට පස්සේ චක්‍රරත්නය ඇතුළු මාණික්‍යරත්න පහළ වෙලා ඒ රජතුමාටත් ලෝකයේ ම ඉන්න පාලකයෝ අවනත වෙනවා කලින් වගේ ම.

මේ විදියට සක්විති රජවරුන් සත්දෙනෙක් එකදිගට පහල වෙනවා. සත්වෙනි සක්විති රජතුමාත් තමන්ගේ වැඩිමහල් පුත්‍රයා ව රජකමේ පිහිටුවලා ගිහිගෙයින් නික්මෙනවා වගේ ම දවස් හතකින් චක්‍රරත්නය අතුරුදහන් වෙනවා. ඒත් මේ රජතුමා ඒ බව විමසන්න පිය රජතුමා වෙන තාපසයා ළඟට යන්නෙ නැහැ. සක්විති වත් අනුගමනය කරන්නෙත් නැහැ, තමන්ගේ මතය අනුව තමයි රට පාලනය කරන්නෙ. ඉතින් මේ රට දවසින් දවස පරිහානියට යද්දි වැසියෝ ඇවිත් කියනවා, රජතුමා සක්විති වත් අනුගමනය නොකරන හින්දා තමයි මෙහෙම රට පිරිහෙන්නෙ කියලා. එතකොට රජතුමා වැසියන්ගෙන් විමසලා දැනගන්නවා මොනවද සක්විති වත් කියලා. ඊටපස්සෙ රජතුමා සක්විති වත් පිළිපදිනවා එකක් හැර. ඒ තමයි දුප්පතුන්ට ධනය දිය යුතුයි කියන එක. දුප්පතුන් ට ධනය ලබා නොදීමෙන් දිළිඳු බව රට පුරා ම වේගයෙන් පැතිරිලා යනවා. මේකේ උච්ඡතම අවස්ථාවෙදි එක්තරා පුද්ගලයෙක් තව කෙනෙකුගෙන් නුදුන් ධනය සොරකම් කරන්න පටන් ගන්නවා. රාජපුරුෂයන්ට අහුවෙන මේ පුද්ගලයා ව රජතුමා ඉදිරියට ගෙන්නලා අහනවා ඇයි සොරකම් කළේ කියලා. එතකොට ඒ පුද්ගලයා කියනවා ජීවත්වෙන්න විදියක් නැතිනිසා සොරකම් කලා කියලා, රජතුමා මේ කෙනා කෙරෙහි අනුකම්පාවෙන් ජීවත් වෙන්න ධනය දෙනවා.

එතකොට මිනිස්සුන්ට අදහසක් ඇතිවෙනවා සොරකම් කරන අයට රජතුමා ධනය දෙනවා කියලා, ඉතින් නැවතත් රටේ සොරකම් ඉහල යනවා. ඒ වෙද්දි රජතුමා තේරුම් ගන්නවා සොරකම් කරන අයට මා විසින් ධනය දෙන නිසා ම රටේ සොරකම පැතිරෙනවා කියලා. ඊටපස්සෙ රජතුමා රාජපුරුෂයන්ට අණ කරනවා සොරකම් කරන අය අල්ලාගෙන දෑත් පිටුපසට කරලා බැඳලා, හිස මුඩු කරලා, වද බෙර හඬ මැදින් විදි හරහා නුවර දකුණු වාසල් දොරින් එළියට අරන් ගිහින් නැවත සොරකම් නොකරන ලෙසට හිස ගසා දාන්න කියලා. එහෙම දඬුවම් දෙන්න පටන් ගත්තත් රජතුමා දිළින්දන්ට ධනය නොදෙන නිසා ම තවදුරටත් රටේ සොරකම පැතිරෙනවා, ඒත් එක්ක ම ප්‍රාණඝාතයත් වැඩිවෙනවා. ඒත් එක්ක ම ඒ අයගේ ආයුෂ, වර්ණය පිරිහෙන්න පටන් ගන්නවා. ඒ අයගේ දරු පරම්පරාවේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 40,000 දක්වා අඩුවෙනවා.

මේ විදියට ප්‍රාණඝාතය වැඩිවෙද්දි එයින් ගැලවෙන්න බොරු කියන්න මිනිස්සු පටන් ගන්නවා. මේ බොරු කියන එක වැඩි වුණ කාලෙදි නැවතත් ආයුෂ, වර්ණය පිරිහෙන්න පටන් ගන්නවා. ඊළඟ පරම්පරාවේ ආයුෂ අවු 40,000 ඉඳන් 20,000 දක්වා අඩුවෙනවා ඒ නිසා ම. බොරු කීම වැඩි වුණාට පස්සෙ ඒත් එක්ක ම කේලාම් කියන එක වැඩිවෙන්න පටන්ගන්නවා. කේලාම් කීමේ ආදීනවයක් විදියට නැවතත් සත්වයාගේ ආයුෂ, වර්ණය පිරිහිලා ආයුෂය අවුරුදු 10,000 ක් තරමට අඩුවෙනවා. මේ අතරෙදි පරදාර සේවනය, ඒ කියන්නේ විවාහක සැමියා හෝ බිරිඳ වෙනත් කාන්තාවන්/ පුරුෂයන් සොයාගෙන යෑම වැඩිවෙලා ඒ හේතුවෙන් ම සත්වයාගේ ආයුෂ අවුරුදු පන්දහස-දෙදහස් පන්සියය තරමට ම අඩුවෙනවා. දෙදහස් පන්සියයක් ආයුෂ තියෙන සත්වයා තුළ ඇතිවෙනවා තද ආශාව- ක්‍රෝධය. මේ හැඟීම් අතිශයින් පැතිරිලා ගියා ම මේ ආයුෂ නැවතත් අවුරුදු දහසක් දක්වා අඩුවෙනවා. ඔය විදියට ඒ කාලේ අවුරුදු 80,000ක් වෙලා තිබුණ මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවුරුදු දහස කරා ළඟා වෙනවා මිනිස්සු තුළ ම තිබුණ ළාමක හැඟීම් උත්සන්න වීම හින්දා ම. අද කාලේ අපි තුළත් තියෙන්නෙ ඔට විදියට සසර පුරාවට ම අපි පුරුදු කරගෙන ආව හොඳ/ නරක පුරුදු තමයි.

ඔන්න පොරොන්දු වුණ විදියටම මිනිස් ආයුෂ ගැන සටහන් පෙළ පටන් ගත්තා. ඊළඟට ලියැවෙන්නෙ මිනිස් ආයුෂ අවුරුදු දහයකට අඩුවෙලා අවුරුදු පහක කෙනෙක් විවාහ වෙන කාලය ගැනයි. වම් පැත්තේ උඩ කෙළවරේ පූංචි poll එකකුත් දැම්මා, වෙලාවක් තියෙනවා නම් එතනත් ඔබලා යන්න! එතකොට මට ලේසියි ඔබේ කැමැත්ත ගැනත් දැනගන්න.....

39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මොළයට පොඩි ව්‍යායාමයක්! පරෙවි කතා, කාර් කතා ඇතුළු තවත් කතා....



මේ ඊයේ පෙරේදා දවසක මට තිබුණා පොඩි IQ ජාතියේ ටෙස්ට් එකක්. ඒකේ ප්‍රතිඵල නම් එද්දි තව සතියක් විතර යයි. ඉතින් මේ අපූරු වීක් එන්ඩ් එකේ මොළයට පොඩි ව්‍යායාමයකටත් එක්ක, (ඔන්න මොළේට වද දෙන්න කැමති නෑ කියන්න බෑ...) මේ කතන්දර ටික කියවන්නකෝ. කියවලා කියවලා කියවලා හිතලා හිතලා හිතලා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයන්න එහෙනම්..

ප්‍රශ්න අංක එක

ඔන්න පරෙවියො ඇතිකරන මනුස්සයෙක් ඉන්නවා. ඔය මනුස්සයා හවසට පරෙවියො ටික කූඩුවට දාන්න ගියා ම සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට මැදිවෙනවා. එක පරෙවියෙක් එක කූඩුවකට ගානේ දැම්මොත් පරෙවියෙක් ඉතුරු වෙනවා. පරෙවියෝ දෙන්නෙක් එක කූඩුවකට ගානේ දැම්මොත් කූඩුවක් ඉතුරුවෙනවා. එහෙනම් කියන්නකෝ එතන ඉන්න පරෙවියෝ සහ තියෙන කූඩු ප්‍රමාණය? (පරෙවියන් සියල්ල එක කූඩුවකට නොදමන බව කාරුණික ව සලකන්න!)

ප්‍රශ්න අංක දෙක

ඔන්න දවසක් තාත්තායි පුතායි කාර් එකේ ගමනක් යනවා. හදිසියේ ම අනතුරක් වෙලා දෙන්නටම තුවාල වෙනවා. රෝහලට අරන් යන අතරෙදි තාත්තා මියයනවා. පුතා ව ඇතුළුකරනවා ශල්‍යාගාරයට සැත්කමකට. හොඳට ම වයසක අබල දුබල සර්ජන් හෙමීට හෙමීට ලෙඩා ළඟට ඇවිත් බයවෙලා වගේ කියනවා "මේ මගේ පුතානේ, මට බෑ මේක කරන්න" කියලා! කොහොමද මෙහෙම වෙන්නෙ? වෙන්න පුළුවන්ද ඇත්තටම?

ප්‍රශ්න අංක තුන

හමුදා සෙබළු දෙන්නෙක් ඔන්න තමන්ගේ බැරැක්කයට වෙලා සතුරු හමුදා නිරීක්ෂණය කරමින් ඉන්නවා. හැබැයි සද්ද නැතුව. එක්කෙනෙක් පාර දිගේ ඉහළ පැත්ත බලාගෙන ඉන්නවා, ඒ කියන්නේ නැගෙනහිර දිශාව. අනිත් එක්කෙනා ඊට විරුද්ධ පැත්ත, ඒ කියන්නේ පාරෙ පහළ කෙළවර, බස්නාහිර දිශාව බලාගෙන ඉන්නවා. හදිස්සියේ ම එක සෙබලෙක් නිරීක්ෂණය කරන එක පැත්තකට දාලා අනිකාගෙන් සැරෙන් වගේ අහනවා "උඹ මොකද හිනාවෙන්නේ? මටද? " කියලා! කොහොමද මෙහෙම වෙන්නෙ? වෙන්න පුළුවන්ද ඇත්තටම? දන්න කෙනෙක් කියන්න!

ප්‍රශ්න අංක හතර

ඔන්න ගෑණු ළමයි දෙන්නෙක් එක ම දවසේ එක ම විභාගයට ඉල්ලුම්පත් දෙකක් දානවා. දෙන්නට ම එකම දවසේ එක ම තැන එක ම වෙලාවට තමයි විභාගෙ තියෙන්නෙ. මේ දෙන්නා ම රූපයෙන් එක ම සමානයි, ශරීර ප්‍රමාණත් එක වගේ. එක ම අම්ම්ගේ තාත්තගෙත්. දොර ළඟ ඉන්න ආරක්ෂක නිළධාරියා අහනවා ඔයාලා twins ලා ද කියලා. දෙන්නම එක සැරේ කියනවා නෑ... කියලා. කොහොමද මෙහෙම වෙන්නෙ? (ලෝකයේ එක වගේ හත්දෙනෙක් නොමැති බව සලකන්න!)

ප්‍රශ්න අංක පහ

ඔන්න ඔයාට ලැබෙනවා රන් කුට්ටි අටක්. මේ අතරින් එකක් තියෙනවා ව්‍යාජ එකක්. ඒක ටිකක් විතර අනිත්වාට වඩා බර වැඩියි. බැලූ බැල්මට ම හැම එකක් ම සමානයි හැම අතින් ම. ඔයාට ලැබෙනවා තරාදියක්. අර පඩි දාන වර්ගයේ එකක්. මේ තරාදිය දෙපාරක් විතරක් භාවිතා කරලා කොහොමද හරියට ම ව්‍යාජ රන් කුට්ටිය හඳුනාගන්නේ?

ප.ලි: තවත් ප්‍රශ්න නම් තියෙනවා, ඒවා වෙන දවසක දාන්නම්. නිවැරදි පිළිතුරු විතරක් පළකරන්නේ නැහැ ඔන්න දැන් ම . මිනිස්සුන්ගේ ආයුෂ සහ මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන ලිපි පෙළ ලබන සතියේ ඉඳන් එකදිගටම දාන්න තමයි හිතාගෙන ඉන්නේ....


60 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !