කලින් සතියෙ සටහන ඉවර කළේ ග්‍රීක රජ කෙනෙක් වුණ මෙනැන්ඩර් හෙවත් මිලින්ද රජතුමා සහ සාගල නුවර රාජධානිය ගැන විස්තරයෙන් නේ. මේ දෙන්නා අතර මේ විදියට වාදයක් ඇතිවෙන්න පෙර කර්මයක් බලපෑව හැටි ගැන අපූරු කථාවකුත් තියෙනවා. හැබැයි ඒ කථාව දැනගන්න නම් මේ සටහන අන්තිම වෙනකල් ම කියවන්න වෙනවා. නාගසේන හාමුදුරුවෝ ක්‍රි.පූ 150 දී විතර හිමාල පර්වතය අසල කජංගල කියන බමුණු ග්‍රාමයේ සෝනුත්තර නම් බමුණා ට දාව තමයි උපත ලැබුවේ. මේ උප්පත්ති කථාවට සම්බන්ධ ලස්සන පුරාවෘත්තයකුත් තියෙනවා. ඒ ගැන කියන්නයි දැන් ලෑස්තිවෙන්නෙ. ඊට කලින් කියන්නෝන නාගසේන හාමුදුරුවන් ව හැඳින්වෙන්නේ ථේරවාදීන් අතර මහා දාර්ශනිකයෙක් විදියටයි කියලත්. දන්නවනේ නේද බුදුදහම හීනයානය (ථේරවාදය), මහායානය සහ තන්ත්‍රයානය විදියට ආකාර තුනකට වෙන්වෙලා තියෙනවා කියලා. ඔන්න දැන් කථාව.
මම කලිනුත් කිව්වනේ මිලින්ද රජතුමා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න විදියක් නැතුව රහතන් වහන්සේලා සාගල නුවර අත්හැරලා දාලා යන්න ගියා කියලා. මේ රහතන් වහන්සේලා වැඩියේ හිමාලයේ රක්‌න්ගල කියන පර්වතයටයි. ඒ වෙද්දිත් ඒ පර්වතයේ සියක් කෝටියක් රහතන් වහන්සේලා වැඩ සිටියා කියලා තමයි සඳහන් වෙන්නෙ. ඒ කාලේ ප්‍රකට පඬිවරයෙක් වුණ අශ්වගුප්ත රහතන් වහන්සේ මේ සියළුම රහතන් වහන්සේලා ගෙන් විමසා සිටියා කවුද මිලින්ද රජතුමා එක්ක වාදයට යන්න කැමති කියලා. ඒ හැමදෙනා ම නිහඬ වුණා, ඒ තරම් ම මිලින්ද රජතුමා ගේ තර්ක ඥාණය ප්‍රබලයි. ඊට පස්සේ අශ්වගුප්ත රහතන් වහන්සේ මේ විදියට කිව්වා. "හිමිවරුනි තවුතිසා දිව්‍යලෝකයේ වෛජයන්ත මාළිගයට නැගනහිරින් කේතුමතී නමින් විමානයක් ඇත. ඒ විමානයේ මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙක් වෙයි. මිළිඳු රජු හා විවාද කරන්නට හැකි පුර්ව වාසනා ගුණය ඇති එකම තැනැත්තා ඔහුය" කියලා. එතැන රැස්වෙලා හිටිය රහතන් වහන්සේලා ඒ අනූව ඍද්ධියෙන් තව්තිසාවට වැඩම කළා. බොහෝ රහතන් වහන්සේලා වඩිනවා දැක්ක ශක්‍ර දේවේන්ද්‍රයා පෙරමඟට ගිහින් උන්වහන්සේලා පැමිණි කාරණාව විමසුවා.
ඉතින් අශ්වගුප්ත රහතන් වහන්සේ මිලින්ද රජතුමා සම්බන්ධ කතා පුවත ශක්‍රයාට කිවා. එතකොට ශක්‍රයා කිව්වේ මිලින්ද රජතුමාත් කලින් ආත්මයේ තව්තිසාවේ දිව්‍යපුත්‍රයෙක් විදියට හිටියා කියලා. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා රහතන් වහන්සේලාත් එක්ක ම මහාසේන දිව්‍ය පුත්‍රයා හම්බවෙන්න ගියා. ශක්‍ර දේවේන්ද්‍රයා, මහාසේන දිව්‍ය පුත්‍රයාගේ අත් අල්ලලා තුන් වතාවක් ම මනු ලොව ඉපදෙන්න ආරාධනා කළත් මහාසේන දිව්‍ය පුත්‍රයා ඒක ප්‍රතික්ෂේප කළේ "ස්‌වාමිනි මනුෂ්‍ය ලෝකය ඉතා තියුණු වූ දුක් ඇත්තේ ය." කියලායි. ඊටපස්සෙ අශ්වගුප්ත රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා "මහාසේන දිව්‍ය පුත්‍රයාණෙනි නුඹ හැර මිළිඳු රඡ්ජුරුවන්ගේ විවාදයට අභියෝග කරන්නට අන් කවරෙක්‌වත් නැත" කියලා. ඒක පිළිගන්න මහාසේන දිව්‍ය පුත්‍රයා "මම මිළිඳු රජුගේ වාදය බිඳ හෙළන්නට සමර්ථ වූයෙක් මැයි" කියලා දෙව්ලොවින් චුත වෙලා සෝනුත්තර බමුණාගේ බිරිඳගේ කුස තුළ පිළිසිඳගන්නවා. මිලින්ද ප්‍රශ්නයේ කියන විදියට ඒ වෙලාවේ මහා මේඝයක් ඇතිවුණා කියලා කියනවා.
අවසානයේ මේ සෝනුත්තර බැමිණිය පුත් කුමරෙක් ප්‍රසූත කරනවා වගේම ඒ කුමාරයා "නාගසේන" විදියට නම් ලැබුවා. ගොඩක් ප්‍රඥාවන්ත මේ කුමාරයා වයස අවුරුදු හතේදී ම බ්‍රාහ්මණ ශාස්‌ත්‍රය මැනවින් ප්‍රගුණ කරලා අවසන් කළා. දවසක් මේ නාගසේන කුමරුට රෝහණ කියන ධර්මධර භික්‌ෂුව මුණගැහෙනවා. රෝහණ හාමුදුරුවන් හා කතාබහ කිරීම නිසා ම ධර්මය ගැන පැහැදිලා ඒ හිමියන් ගුරු තනතුරේ තියාගෙන උතුම් පැවිදි බවට පත්වෙනවා රක්න්ගල පර්වතයට ගිහින් සියක් කෝටියක් රහතුන් වහන්සේලා මධ්‍යයේ. නාගසේන හාමුදුරුවෝ සිය ආචාර්යවරයාගේ අනුදැනුම පරිදි වත්තිස සේනාසනයෙහි වැඩවසන අශ්වගුප්ත හිමියන් සොයා යනවා පසු කාලෙකදි. එහිදී අශ්වගුප්ත හිමියන්ට පුරා තිස් වසරක් මුළුල්ලෙහි ඇප උපස්‌ථාන කරන උපාසිකාවකට අභිධර්මය දේශනා කරලා පසුව විදර්ශනා වඩමින් ඒ ආසනයෙහිම හිඳගෙන උතුම් සෝවාන් ඵලයට පත්වෙනවා. මේ බව දිවැසින් දැක්ක අශ්වගුප්ත හිමියනුත් දහස් ගණන් දේවතාවෝත් සාධුකාර දැක්‌වූ බව තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සෝවාන් ඵලය ලැබීමෙන් පස්සේ නාගසේන හිමියන් කැඳවන අශ්වගුප්ත හිමියෝ අවවාද කරනවා පැලලුප් නුවරට වැඩම කරලා අශෝකාරාමයෙහි වැඩවසන ධම්මරක්‌ඛිත හිමියන්ගෙන් ත්‍රිපිටකය ඉගෙන ගන්නා ලෙසට. ඒ අනූව පාටලීපුත්‍ර සිටුවරයා ව්සින් නාගසේන හිමියන් ව පැලලුප් නුවර අශෝකාරාමයට කැඳවාගෙන යනවා. අශෝකාරාමයෙහිදී ත්‍රිපිටකය කටපාඩමින්ම ඉගෙන ගන්න නාගසේන හිමියෝ ධර්මයේ අර්ථ රසය ආස්‌වාදනය කරමින් ම එක් රාත්‍රියක උතුම් වූ අරහත්භාවය සාක්ෂාත් කරගන්නවා. මේ බව දැක්‌ක බ්‍රහ්මයෝ සතුටින් අත්පොලසන් දුන්නා කියලා තමයි කියන්නේ.
ඊට පස්සේ සියක් කෝටියක් රහතන්වහන්සේලාගේ ආරාධනාව මත නාගසේන හිමියෝ නැවැත හිමාලය පාමුල රක්න්ගල පර්වතය අසලට වැඩම කරනවා. එහිදී මහා සංඝරත්නය විසින් මිළිඳු රජතුමා සමඟ වාදයට එළඹෙනන කියලා නාගසේන හාමුදුරුවන්ට ආරාධනා කරනවා. ඒ නිසා ම මිලින්ද රජතුමා ව නාගසේන හිමියන් හමුවීමට කැමැති බව දන්වලා දේවමන්ත්‍රි(ඩෙමට්‍රියස්) කියන ඇමැතියා හරහා පණිවිඩයක් යවනවා රජමාළිගයට. මිලින්ද රඡ්ජුරුවෝ "නාගසේන" නම ඇසුණු පමණින් ම බය වෙලා ඇඟේ රෝම පවා කෙළින් වුණා කියනවා. ඊටපස්සෙ මිළිඳු රජතුමා නාගසේන හිමියන් ව හමුවීවෙන්න පන්සියයක් ඇමැතියන් පිරිවරාගෙන සාගලපුර අසංඛ්‍යය විහාරයට ආවා. එතකොට නාගසේන හිමියෝ අසූදහසක් භික්‍ෂු සංඝයා පිරිවරාගෙන තමයි වැඩ සිටියේ. උන්වහන්සේ ඉදිරිපිට සිටිය හතළිස් දහසක් භික්‍ෂූන්වහන්සේලා නාගසේන හිමියන්ට වඩා වැඩිමහලු අය වුණා වගේම පිටුපසින් සිටිය හතළිස්‌දහසක් භික්‍ෂූන්වහන්සේලා උන්වහන්සේට වඩා බාල අයයි. මිළින්ද ප්‍රශ්නයෙ කියන විදියට නාගසේන හිමියන් දුටු පමණින්ම මිළිඳු රජතුමාට තමන් මේ සැරේ නම් වාදයෙන් පරදින බව දැනුනා කියනවා. මිළිඳු - නාගසේන සාකච්ඡාව ආරම්භ වෙන්නේ හින්දු දර්ශනයේ එන පුද්ගලවාදයෙන්. මිළිඳු රජතුමා උපනිෂද් වැනි දර්ශනයන් තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ, ආත්මය, පුනරුත්පත්තිය, කර්මය යනාදිය පිළිබඳව වූ ප්‍රශ්නයන් පවා නාගසේන හාමුදුරුවන්ගෙන් විමසනවා. මෙතනදි නාගසේන හාමුදුරුවෝ මිලින්ද රජතුමා ගේ තර්කය, විතර්කයෙන්ම පරාජය කිරීමට උත්සාහ කරනවාට වඩා මතභේදයට තුඩුදුන් කරුණු උපමා රූපක භාවිත කරමින් විසඳන්න තමයි උත්සහ කරන්නේ. ශරීරය සහ රථය සම්බන්ධ උපමාව මේකට හොඳ උදාහරණයක්. ("ස්‌වාමීනි ඔබ වහන්සේගේ නම කුමක්‌ද?" යනුවෙන් තමයි සාකච්ඡාව ආරම්භ වෙන්නේ. ඊට පිළිතුරු විදියට නාගසේන හිමියන් "මහ රජාණෙනි, නාගසේන යන නමින් මට ආමන්ත්‍රණය කෙරෙති. එතකුදු වූවත් එය සංඥා මාත්‍රයකි.... ආදි වශයෙන් ආත්මවාදය පටන්ගන්නවා ). මේ දෙදෙනා අතර ඇතිවුණ එක සංවාදයක් තමයි මේ.
මිළිඳු රජතුමා - මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන.
නාගසේන හිමියන් - හොඳයි අහන්න
මිළිඳු රජතුමා - මම ඒක ඇසුවා
නාගසේන හිමියන් - මම ඒකට උත්තර දුන්නා.
මිළිඳු රජතුමා - මොකක්‌ද ඔබ වහන්සේ දීපු උත්තරය?
නාගසේන හිමියන් - මොකක්‌ද ඔබ ඇසූ ප්‍රශ්නය?
පළමු දින සාකච්ඡාවෙන් සතුටු වූන රජතුමා දෙවැනි දින පටන් නාගසේන හිමියන් ව තම මාළිගාවට වැඩමවනවා ධර්ම සාකච්ඡාවට. මිලින්ද රඡ්ජුරුවෝ නාගසේන හිමියන්ගෙන් සියලුම ප්‍රශ්න විචාරලා ඒවාට ලැබුණු පිළිතුරුවලින් බෙහෙවින් සතුටට පත්වෙලා අවසානයේ මේ විදියට ප්‍රකාශ කරනවා. "සාධු සාධු නාගසේන හිමියනි. බොහෝ ප්‍රශ්න නුඹවහන්සේ විසින් විසඳන ලද්දේය. මේ ගෞතම බුදුන්ගේ ශාසනයේ ධර්ම සේනාධිපතිවූ සැරියුත් හිමියන් හැර මෙලෙස දහම් ගැටළු විසඳීමට සමර්ථ වූ අන් අයෙක් නොමැත. නාගසේන හිමියනි බොහෝ ප්‍රශ්න විචාරා මම නුඹවහන්සේ වෙහෙසට පත් කළෙමි මට සමාවුව මැනවයි" කියලා.
අන්තිමේට රජතුමා බොහෝ ධනය වියදම් කරලා "මිළිඳු" නමින් විහාරයක් කරවලා නාගසේන හිමියන් ඇතුලු සියක් කෝටියක් රහතන්වහන්සේලාට සිවුපසය ලබාදී පසුව සිය වැඩිමහලු පුතුට රජකම භාරදීලා බුදුසසුනේ පැවිදි ව විදසුන් වඩා උතුම් අරහත් බව සාක්ෂාත් කරනවා.
ඔය විදිහට නාගසේන හාමුදුරුවන්ටයි, මිළිඳු රජතුමාටයි හැකියාවක් ආවයි කියන්නේ පසුගිය භවයක කරපු පින් වැඩක් නිසා කියලා තමයි සඳහන් වෙන්නෙ. දෙන්නාම ඒ කාලේ මහණ වෙලායි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ නාගසේන හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ, මිළිඳු රජතුමා පොඩි හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ දවසක් බෝ මළුව අතුගාලා කුණු ටික එක තැනකට එකතු කරලා, ඒ ටික අස් කරන්න කියලා පොඩි හාමුදුරුවන්ට කියලා තියෙනවා. ඒ වුණත් අමතක වීමකින්දෝ පොඩි හාමුදුරුවෝ වැඩේ කරලා නැහැ. මේක නිසා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට ඉදලෙන් පහරක් ගහලා තියෙනවා.
මේ හින්දා නිසා පොඩි හාමුදුරුවෝ කුණු අස් කරන ගමන් ප්‍රාර්ථනා කළා "ලොකු හාමුදුරුවෝ මට ගැහුවා, ඒක නිසා මේ කුණු අස් කරන පිනෙන් මට ලබන ආත්මෙක ප්‍රශ්න අහලා ලොකු හාමුදුරුවෝ පරද්දන්න හැකියාව ලැබෙන විදියට නිවන් දක්‌නා තුරා උපනූපන් ජාතියෙහි තමාට තේජස් ඇතිවේවා, වාදයෙහි සමත්කම් ඇතිවේවා කියලා ප්‍රර්ථනා කරනවා". මේ බව ඇහුණ ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි හාමුදුරුවෝ කුණු අස් කරලා එහෙම හිතුවා නම් බෝමළුව අතු ගෑව මට ඊට වඩා පිනක් තියෙනවානේ කියලා අර විදිහට පොඩි හාමුදුරුවෝ ප්‍රශ්න අහලා මාව පරද්දන්න එද්දී එයාව පරද්දන්න මට හැකියාව ලැබෙන්න කියලත් විමසන ප්‍රශ්නවලට කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දීමේ හැකියාව තමාටද ලැබේවායි කියලා හිතනවා. ඔන්න ඔය විදියට තමයි නාගසේන හාමුදුරුවන්ට, මිලින්ද රජතුමා ව පරද්දන්න හැකියාව ලැබිලා තියෙන්නෙ.
පසුවදන: අපදාන පාලියේ පුබ්බකම්ම පිලෝතිකාපදානය කියන්නේ සම්බුදු සිරිතේ සිදුවීම් එකොළහක හේතුව පූර්ව අකුසල කර්ම ගැන කියවෙන, බුදුරජාණන් වහන්සේ හිමාලයේ මනරම් ගල් තලාවක් මතුයෙහි හිඳ බොහෝ භික්‍ෂූන් වහන්සේට දේශනා කළ සම්බුද්ධ දේශනාවක්. එයට අනුව ඒ අවස්ථා එකොළහට හේතු වුණේ බුදුරදුන් පූර්ව ජාතීන් හිදී කරන ලද අකුසල් කර්මයන්. නමුත් මිලින්ද ප්‍රශ්නයට අනුව නම් බුදුරදුන්ට අකුසල කර්ම විපාක දීමක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නෙ. මිලින්ද ප්‍රශ්නයෙහි මිලිඳු රජු හා නාගසේන තෙරුන්වහන්සේ අතර ඇතිවන සංවාදයෙක්හිදී රජු විසින් “බුදුරදුන් සර්වඥතාඤාණයෙන් කර්මක්‍ෂය කොට බුදු බව ලැබුයේ නම් අකුසල කර්ම හේතුවෙන් පාදයෙහි ගල් පතුරක් වැදී තැලීම හා ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම කෙසේ සිදුවිය හැකිදැයි විමසනවා. එයට පිළිතුරු දෙන නාගසේන මහ රහතන් වහන්සේ සියලු දුක්ඛ කර්ම හේතුවෙන්ම නූපදින බව තමයි වදාරන්නේ. අනුන්ගේ ක්‍රියා නිසාත් එහෙම දේවල් වෙන්න පුළුවන් කියලයි මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වෙන්නෙ. එහෙම බැලුවම මිලින්ද ප්‍රශ්නය කියන පොතේ අන්තර්ගතය ගැනත් පොඩි ගැටළුවක් තියෙනවා.....
ප.ලි: ඔන්න ගොඩක් දෙනාගේ ඉල්ලීම අනූව සතියක් පරක්කු කරන්නෙ නැතුව ඉක්මනට ම දැම්මා, වැඩත් වැඩි එකේ අඩුපාඩු එහෙමත් ඇති, තිබුණොත් කියන්න! තවත් මේ ගැන කියවන්න කැමති නම් මෙතනින් යන්න. මේ සටහන ලියන්න, දිවයින පත්තරේ චතුර පමුණුව සහ සී. කේ අත්තනායක මහත්වරු ලිව්ව ලිපි දෙකකුත් උදව් වුණා.
අපූරුයි අපූරුයි ලහිරු.. ඇත්තටම මේ කරන වැඩේ හුගාක් පින් සිද්ද වෙන වැඩක්.. අද ලිපියෙත් නොදන්න කරුණු බොහොමයි..
ReplyDeleteදිගටම කරගෙන යන්න
හාමුදුරුවෝ හා රජතුමා අතර දෙබස් ටික කොහේ හරි කියෙව්ව මේ ලඟදි.. කොහෙද කියල මතක නෑ
දෙබස් නම් තිබුණා, ඒත් ඒවා ටිකක් ගැඹුරු වැඩියි වගේ කියලා හිතුණ නිසා දැම්මෙ නැහැ..
Deleteමේ කතාව මුලදිම කිව්වා වගේ මම නම් මේ කතාව අහලම නෑ..
ReplyDeleteලහිරුට ගොඩක් පින් මේ කතාව ලිව්වට !
දැන් අවුල හරිද...
Deleteමිතුර, නාගසේන කතාවස්තුව අභිධර්මයේ එන, ව්චක්ෂණ, ආත්මවාදය පරාජය කරවන දාර්ශනික කතිතාවකි. එවැන්නක් නොඇසු නොබැලූ ඇස් කන් කුමකටද?
Deleteකතාවක් උනාට බෞද්ධ සාහිත්‍යය ගැන හොද දැනුමක් ලැබෙනවා.හරියටම ඉතින් ඕවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නෑනේ.කතාවනම් හරිම අපූරුයි.
ReplyDeleteඵෛතිහාසික මූලාශ්‍ර තමයි මේවා...
Deleteහරිම රසවත් කතාවක්.
ReplyDeleteහැබැයි මම අහල තියෙනවා බුදු හාමුදුරුවන්ගේ කකුලේ අර ගල් පතුර වැදිලා තුවාල වුනේ පෙර ආත්මෙක පොඩි ළමයෙක වෙලා ඉන්නකොට පසේ බුදු කෙනෙක්ට ගලකින් පහර දුන්න නිසා කියල.
පත්තරේකින් තමා දැක්කේ.
ඔව්, ඒක හරි. නමුත් මිලින්ද ප්‍රශ්නයේ දැක්වෙන්නේ ඒක වෙනත් විදියකට. ඒකයි ගැටළුව.
Deleteබොහොම පිං ලහිරු නියමයි දිගටම ලියන්න මේවගේ
ReplyDelete:)
Deleteඅඩුපාඩු නැත. තවත් ඔවැනි කතාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
ReplyDeleteබලමු ඉස්සරහට!!!
Deleteමේ ගැන වැඩි විස්තර දැනගන්න තිබුන ඕනකම ලින්ක් එකෙන් සපුරාගන්න පුළුවන්. බොහොම වටින ලිපියක් මලේ.
ReplyDeleteස්තූතියි අයියේ...
Deleteමට වාද කරලා දිනන්න හැකියාව තියනවලු ඕන කෙනෙක් එක්ක..යාළුවො තමා කියන්නේ..:) මිලිදු රජතුමා ඉද්දි හිටියනම් යන්න තිබුනා :):)
ReplyDeleteඅපූරුයි කතාව..
ජය වේවා ලහිරු අයියේ :)
ඒ කාලේ ඉඳලා එන පුහුණුවක් තියනවද දන්නෙත් නෑනේ :)
Deleteඑහෙනම් කට කතුර වගේ ඇති :)
Deleteමිලින්ද ප්‍රශ්නය කියල එකක් අහලා තිබ්බට ඒක මෙහෙම දෙයක් නිසා වුනා කියලා අහලා තිබ්බේ නෑනේ.
ReplyDeleteඒකනේ!
Deleteමල් මසුරන් ලිපියක්! පින් ඔබට!!
ReplyDelete//තන්ත්‍රයානය//
ඒ කියන්නේ මොකක් ද ලහිරු? මං ඇහුවෙත් අද!! අනිත් කොටස් දෙක නම් අහල තිබුනා. මේ බ්ලොග් එකේ තියනවා ද ඒ ගැන අඩංගු ලිපියක්..? මට තවම පැරණි ලිපි ඔක්කොම බලන්න උනේ නෑ.
මහායාන බුදුසමයෙන් ම බිහි වූ සේ සැලකෙන තන්ත්‍රයානය මන්ත්‍ර, ධාරණී, යෝග සමාධි ආදී අංශ වලින් සමන්විත එකක් වගේ ම බුදුසමය දැඩි භක්තිවාදයකට නැඹුරු කල තන්ත්‍රයානික බුදුසමය විවිධ මුද්‍රා භාවිතා කරමින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට මග පාදලා තියෙනවා. මම දන්න විදියට නේපාලයේ ගොඩක් ම තියෙන්නෙ මේ තන්ත්‍රයානය. වැඩි විස්තර දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න....
Deleteස්තුතියි යාළුවා!! මේ ඔස්සේ හොයාගෙන ගියාම "වෙද ගෙදර" (wedagedara) බ්ලොග් එකේ විස්තරයක් තිබුනා මේ ගැන. 2011/ අගෝස්තු/08 ලිපියේ අවසානයට කිට්ටුව.
Deleteනොදන්න කරුණු දැනගත්තා. වැදගත් ලිපියක්.
ReplyDeleteලහිරු මේ ලිපි පෙල ලියන්න හිතන් ඉන්න විදිහ ගැන ටිකක් කියන්නකෝ..
ReplyDeleteම්ම්ම්.. එහෙම විශේෂ විදියක් නම් නෑ අක්කේ, හැබැයි මිලින්ද ප්‍රශ්නය ලිපි පෙළ නම් මෙතනින් ඉවරයි. ඉස්සරහටත් මේ වගේ කථා කිහිපයක් ලියන්න හිතාගෙන ඉන්නවා.ඇයි අක්කේ එහෙම ඇහුවේ?
Deleteකොහෙන්ද අප්පේ මේවා හොයා ගත්තේ...වැදගත් ලිපියක් යාලුවේ...............
ReplyDeleteසොයන්නාට සම්බ වේ කියනවනේ...
Deleteතන්ත්‍රයානය ගැන නම් එච්චර අහල නෑ.ඒ ගැනත් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.
ReplyDeleteමමත් ඒ ගැන ලොකු දෙයක් නම් දන්නෙ නැහැ, හැබැයි මම දන්න ටික උඩ කමෙන්ටුවකින් කිව්වා, පොඩ්ඩක් ගිහින් බලන්නකෝ!
Deleteවෙනදා වගෙම ආසාවෙන් කියෙව්වෙ බං හරිම අපුරුයි අපෙ ඉතිහාස කතා කියවනකොට හිතට මාර හැගිමක් එනවා
ReplyDeleteහැබැයි ආයෙ ටික වෙලාවකින් නැතිවෙනවා නේද :)
Deleteමිළිඳු නාගසේන පුවත අප අතරට අරන් ආපු එක ලොකු දෙයක් අයියා. කලින් පෝස්ට් එකේ දාලා තිබුණු ලින්ක් එකක් නිසා මම ඒ පොත ඩවුන්ලෝඩ් කරගෙන කියවන්නත් පටන් ගත්තා :)
ReplyDeleteඔව්, ඒ පොතේ හැමදේම විස්තර ඇතුව තියෙනවනේ. ඇනෝ කෙනෙක් තමයි ලින්ක් එක දාලා තිබුණේ!
Deleteකලින් පෝස්ට් එක කියෙවුවම කතාවෙ ඉතුරු ටිකත් දැනගන්න ආසාවෙන් හිටියෙ.ඒත් පහුගිය ටිකේ විවේකයක් තිබ්බෙ නැති නිසා කියවන්න ටිකක් කල් ගියා. කොහොම උනත් දැනගෙන හිටියෙ නැති කරුණු දැනගන්න ලැබුන වටින පෝස්ට් එකක් ලහිරු...
ReplyDeleteඔයා කවුරු උනත් ලොකු පිනක් කරගන්නවා..... තෙරුවන් සරණයි.....
ReplyDeleteගොඩක් පින්.
ReplyDeleteස්තූතියි.. ආසාවෙන් කියෙවවා
ReplyDelete