පසේබුදුවරුන් ගැන සිත පහදා ගන්නේ....


බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි උන්වහන්සේ අතීතයේ වැඩ විසූ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර ලෝකයට හෙළිදරව් කළේ.

ඔයාලා දන්නවනේ මේ යුගය හඳුන්වන්නෙ මහා භද්‍ර කල්පය කියලා. ඒකට හේතුව උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ යුගයේ පහළ වෙන නිසයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව තමයි තිබුණේ. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. දැන් කාලේ ඉතින් පරමායුෂ 60-70ක් විතර නේ.

ජම්බුද්වීපය හෙවත් …ඉන්දියාවේ පමණයි මේ උතුමන් වහන්සේලා පහළ වෙන්නෙ. එයිනුත් ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වෙනවා. ඒ කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කල් තියෙනවනේ. ඒ නිසා කවුරුහරි කියනවා/හිතනවා නම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා බැහැර කරන්නෝන ඒ අදහස. මොකද දන්නවද, අපි ඒ කාලේ වෙද්දි මොන විදියේ උපතක ඉඳීද දන්නෙ නැහැනේ. තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙලා දුගතියේ හිටියොත් එහෙම??? මීට කලින් තිබුණ බුද්ධ ශාසන වලත් අපි ඉන්න ඇතිනේ. ඒත් අපිට ධර්මය අවබෝධ වුණේ නැහැනේ. ඉතින් අපි කොහොමද නොදකින අනාගතයක් ගැන විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ ආත්මයේදී ම පටන් ගන්න අවබෝධය ලබන්න, කල් දාන්න එපා. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා මම....

සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ ම විතරයි. ඒ වගේම බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වෙනවා, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ හෙවත් ‘පසේබුදුරජාණන් වහන්සේලා' යනුවෙන්. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම් ලෝකයේ නැති කාලයකයි. නමුත් උන්වහන්සේලා සාමාන්‍ය මිනිසුන් හා ගැටීමක් නැහැ. පිටතින් බලා කෙනෙකුට හඳුනාගන්නත් බැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවෙන්නට සුළු කලකට කලින් ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා.

ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවූ ජේතවනාරාමයෙයි. ධර්ම භාණ්ඩාගාරික වුණ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සෙ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අදහසක් ඇතිවුණා. "බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන වගේ ම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන අපට බොහෝ කරුණු කියාදීලා තියෙනවා, නමුත් පසේබුදුරජාණන් වහන්සේලා ගැන වැඩිය කරුණු වදාරලා නැතිනිසා ඒ ගැන විමසන්න ඕන" කියලා. මෙහෙම හිතුව ආනන්ද ස්වාමින් වහන්සෙ, භාවනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පසේබුදුරජාණන් වහන්සේලා ගැන විමසනවා. ඒ වෙලාවෙදි තමයි කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබුණ මේ කාරණා ඉස්මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ විසින් ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කරන්නෙ. පාලියෙන් ඛග්ග කියලා කියන්නෙ කඩුවට, විසාණ කියලා කියන්නෙ අඟ ට. කඩුවක් වගේ අඟක් තියෙන නිසා ම කඟවේණාට ඛග්ගවිසාණ කියලා කියනවා. කඟවේණා කියලා කියන්නෙ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණා වගේ හුදෙකලාවේ හැසිරුණ පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ දේශනාවෙන් විස්තර වෙනවා. මේ උතුම් දේශනාව අඩංගු වෙන්නෙ සුත්ත නිපාතයේ. ගාථා හැටගණනකින් සහ ඒ හැම එකකටම අයත් වුණ නිධාන කථාවකින් සුන්දර වූ පසේබුදුරජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන විස්තර වෙනවා. ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් තමයි ඒ. (ඒ ගැන කියවන්න පහළින් සබැඳිය දාන්නම් ).

ඛග්ගවිසාණ සූත්‍රයේදී වගේ ම ඉසිගිලි සූත්‍රයේදිත් මේ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර වශයෙන් සඳහන් වෙනවා. අහලා තියෙනවා නේද ඉසිගිලි සූත්‍රය. පිරිත් පොතේ තියෙනවා ඔන්න. මේ ඉසිගිලි සූත්‍රය, ඉසිගිලි පර්වතය මුල්කරගෙනයි දේශනා කරන්නේ. පසේබුදුවරයන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටිය තැනක් තමයි මේ ඉසිගිලි පව්ව. ඒ කාලේ මිනිසුන් දකිනවා ඉසිවරුන්(පසේබුදුවරයන් වහන්සේලා ) පර්වතය තරණය කරනවා, නමුත් ඊටපස්සෙ දකින්න නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මේ පර්වතය නම් ඉසිවරුන් ගිලගන්න එකක් තමයි කියලා. ඒ නිසා පර්වතය ඉසිගිලි නමින් හඳුන්වන්න පටන්ගත්තා. මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේදී පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් ගැන නම් වලින් ම විස්තර වෙනවා.

අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි. එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් වෙවෙයි. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයක්. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට තමයි අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව. ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා දෙව්දතුන් තමන්ගේ සියළු පව් නිරයේදී ගෙවා දැමීමෙන් අනතුරුව අවසානයේ පසේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානවා කියලා. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය"

පසු වදන : අද අධි බිනර පෝය දවස. පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ සටහන ලිව්වෙ චිත්‍රක සොහොයුරා ගේ ඉල්ලීමක් අනූවයි. මේ සඳහා තණ්හා සැඩපහර තරණය, Dhamma Medicine, දිනමිණ, සිංහලයා උදව් වුණා. කැමති අය ඉන්නවා නම් තවත් මේ ගැන විස්තර දැනගන්න පහත සබැඳි වලට යන්න. ලොකු සතුටක් තියෙනවා ලංකාවට වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා නිසා සතුන් බොහෝ දෙනෙකුට අභය දානය ලැබුණ එක ගැන. මේ කිව්වේ මුන්නේස්වරම් කාලි කෝවිලේ බිලි පූජාව ගැන. ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදයටත් වසර 139ක් පිරෙනවා. 1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී ත්මයි මෙම සුප්‍රසිද්ධ විවාදය පැවැත්වුණේ.

ඉසිගිලි සූත්‍රය කියවන්න

ඛග්ගවිසාණ සූත්‍රය කියවන්න (pdf බාගත කරගන්න )


44 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අලි ජරමරේ : ජූල් මුත්තගෙ කතා...


ඉස්සර කාලෙ අපෙ ගම්වල පොදු වැඩ විතරක් නෙවෙයි පුද්ගලික වැඩක් වුණත් කෙරුණේ ශ්‍රමදාන ක්‍රමේට. මේත් ඒ වගේ දවසක්. වැවේ සොරොව්ව අළුත්වැඩියා කරලා ඇළ ශුද්ධ කරන එක මහා ශ්‍රමදානයක් විදියට පටන් අරගෙනයි තිබුණෙ. ගමේ ප්‍රභූවරු, වැඩිහිටියෝ, කොල්ලො කුරුට්ටො විතරක් නෙවෙයි බවලත් උදවියත් මේ වැඩේට එකතු වෙලා හිටියෙ.

එක කට්ටියක් වැඩ කරනවා. ඒ අයට මහන්සි දැනුනම තව කට්ටියක් වැඩ පටන් ගන්නවා. කලින් වැඩ කරපු අය විවේක ගන්නවා. විවේක ගන්න අයට පුළුවනි වෑවර ගෙඩියක් බොන්න, එහෙමත් නැත්තම් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්ප්යක් බොන්න. එහෙම කාලා බීලා ඉවරවෙලා බුලත් විටක් හපන ගමන් පටන් ගන්නවා කයිවාරුව.

ජූල් මුත්තා වගේ අයගෙ වටිනාකම තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. මහන්සිය යන්නත් එක්කලා ජූල් මුත්තාගෙ කතාවක් අහන්න තිබුණානම් හොඳයි කියලා හැමෝටම හිතුණා. ඔන්න එතකොටම තමයි බුෂ් කෝට් එකයි කොටු සරමයි ඇඳගෙන කරට තුවායකුත් දාගෙන බස්තමෙන් බිමට ඇන ඇන ජූල් මුත්තා ඈතින් එනවා පෙනුණේ. "මුත්තේ, මෙහෙ වරෙන්කො බං උඹ එනකල් අපි කොච්චර වෙලා බලං හිටියද". මුත්තා එන දිහාව බලාගෙන එහෙම කිව්වෙ විලිසොං කොලුවා. ජූල් මුත්තත් දනි පනි ගාලා බොහොම අමාරුවෙන් වෑකණ්ඩියට නැගගත්තා. ඊටපස්සෙ ගමන් මහන්සිය යන්නත් එක්කලා සියඹලා ගහ යටින් ඈඳිගත්තා.

"මුත්තේ, උඹ මොකො බං මෙච්චර පරක්කු වුණේ?" එහෙම ඇහුවේ බස්තියං දාස ගේ කොලුවා. ඒත් මුත්තා නෙවෙයි කට හෙල්ලුවෙ. බුලත් මඩිස්සලේ ළඟට ඇදලා අරන් විටක් එහෙම කාලා තොල් දෙක ඇඟිලි වලට තද කරගෙන කෙළ පාරක් එහෙමත් ගැහුවා. "මුත්තේ, අපි මේ පාරට තාර දාන්නයි යන්නෙ. එතකොට වෑකණ්ඩිය උඩින් වාහනයක් වුණත් අරන් ගියෑකි." එහෙම කිව්වෙ උඩහ කොරටුවෙ සිරියා. "ඔව් ඔව් උඹට වාහන එළවන්න පුළුවන් නම් යස අගේට මේ පාරෙන් ලොකු දූලැයි ගෙදර වාහනයක් එලවගෙන ගියෑකි." ගල් ඇඩ්ඩියගෙ පුතා එහෙම කිව්වෙ ඔලොක්කුවට වගේ වුණත් "ඇයි උඹලා හිතන්නෙ මට සුක්කානම හුරු නෑ කියලද?" ටිකක් කේන්තියෙන් වගේ මුත්තා ඇහුවා. "අනේ උඹයි මමයි දන්න වාහන එළවිල්ල". ඒක අහගෙන හිටිය කවුදෝ කෙනෙක් එහෙම කිව්වා.

"මොනවා බොල ඔන්න එහෙනම් අහගනිල්ලා". මුත්තා රැල් බුරුල් ඇරලා කට හදාගත්තා. "ඒ කාලෙ මං හොඳ ඉලංදාරියා. කරකාර බැඳලත් නෑ මයෙ හිතේ. අපේ මස්සිනාට, නංගි බැඳලා හිටිය අන්දිරිස් ට කම්මලක් තිබුණා වීරවිල දිහාවේ. මමත් වැඩක් නැති කාලෙට ඔය කම්මලට ගිහින් ඉන්නවා. ඒ කාලෙ මට ඔය වාහන දැක්කිල්ල බෑ. ඒක මම ඉගෙනගත්තෙ ඔය කම්මලේ ඉන්දැද්දි. සුක්කානම හුරු වුණාට පස්සෙ දවසක මට යන්න වුණා වැල්ලවායට මස්සිනාගෙ වැඩකට, මොකක් හරි වාහන පළහිලව්වකට. පාරෙ බස් තිබුණ කාලයක්යැ. යන්න වාහනේකට කියලා තිබුණේ නයිං ඉලවොං ලොරියක්. ඔය ලොරියෙන් වැල්ලවායට ගිහින් වැඩේ ඉවරවෙලා ආයෙ වැල්ලවායෙන් පිටත් වෙද්දි රෑ නමයට දහයට විතර තියෙන්න ඇති".

"ඒ කාලෙ නමයට දහයට මනුස්සයෙක් පාරට බහින්නෙ නෑ, මොකද කන්කොටා ඉන්නවා මඟ. ඒ තනි අලියා වස නපුරා. හැබැයි මං අලි මන්තරත් ටිකක් ටිකක් දන්න නිසා එච්චර බයක් හිතුණෙ නෑ. දැන් මම පාරෙ එන ගමන්, බලු බල්ලෙක් නෑ පාරෙ. මැදකැටියෙ වැලමිටි වංගුවට එනකල් කිසිම වාහනයක් හම්බ වුණෙ නැහැ. වැලමිටි වංගුවේදි ආව ට්‍රැක්ටරයක් මට කියාගෙන ගියා ඉස්සරහ කන්කොටා ඉන්නවා පරෙස්සමෙන් කියලා. හරියටම ඔය කිව්ව වංගුවේ ඉඳලා පැන්නෙ නැතෑ කන්කොටා පාරට. ඒ වෙනකොට මම ඌව පහුකරලා. මම පාගනවා, ඌ පස්සෙන් එලෝනවා. මම පාගනවා, ඌ එලෝනවා. මම පාගනවා, ඌ එලෝනවා....දැන් ඩීසලුත් ඉවරයි වගේ. මම තව පාගනවා. මූත් අරින්නෙ නෑ, පස්සෙන් එලවනවා"

"දැන් මොකද කරන්නෙ, මූ හැතැම්ම දහයක් පහළොවක් මගෙ පස්සෙන් එළවලා තියෙනවා. කරන්න ම දෙයක් නෑ, මූත් එනවා අස්සයා වගේ. කොච්චර පෑගුවත් මූ දැන් හොඳටම ලොරියට කිට්ටු වෙලා. දැන් ලොරියයි ඌයි ඔහොම මෙහෙම. ලොරියෙ පස්සෙ දොර වහලා තිබුණෙත් නෑ, ඇතුළෙ බඩුමුට්ටු මුකුත් තිබුණෙත් නෑ. මට ආවා හොඳ අදහසක්. හිටපන්කො උඹට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා ගැහුවා හොඳවයින් බෙරේක් පාරක්. දඩෝං ගාලා සද්දෙකුත් ආවා. අලියා ලොරිය ඇතුළේ. මොකෝ අලියට බෙරේක් නෑනේ. ටක් ගාලා ලොරිය නවත්තලා ඇවිත් දොර වහලා දැම්මා. කන්කොටා ලොරිය ඇතුළෙ දැන්. මම ඌව සත්තු වත්තට ගෙනත් දාලා ඒකෙන් ගාණකුත් කොටාගෙන තමයි නතරවුණේ"

පසුවදන: පි. උභයරත්නගෙ අදහසක් මම අකුරු කෙරුවා. ඉස්සරහට ජූල් මුත්තගේ කතා අහන්න ලැබෙයි ඔන්න දිගටම වගේ.... …

27 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ....


මේ දවස් ටිකේදි කරන්න ලැබුණ ප්‍රොජෙක්ට් එකේ මගේ කොටස දඩ බඩ ගාලා ඉවර කරලා නිවාඩු පාඩුවේ ඉන්න ගමන් කරන්න දේකුත් නෑනෙ කියලා කල්පනා කරකර ඉද්දි (ඇත්තටම හිත හිත ඉන්නෙ හවස කොහොමද ටිකක් කලින් ඔපීසියෙන් පනින්නෙ කියලා ගෙදර යන්න! ) කැම්පස් එකේ එක වසර ඉද්දි වුණ සිද්ධියකුයි අපේ සැට් එක පිරිතකට ගිහින් වුණ සිද්ධියකුත් මතක් වුණා. එක වසර සිද්ධිය නම් මතක් වුණේ මධුරංග ගේ හා හොඳයි හොඳයි කියවද්දි.

ඒ දවස් වල දවල් කාලෙදි ලැබ්(පරිගණක ) වල ෆේස්බුක්, යූ ටියුබ් එහෙම බ්ලොක් කරලා තිබුණෙ නැහැ. ඉතින් ඕන කෙනෙකුට ඕන හැටියකට ෆේස්බුක්, යූ ටියුබ් යන්න ඉඩකඩ තිබුණා. පස්සෙ කාලෙක තමයි ශිෂ්‍යයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන කියල පෙ.ව 8-4 කාලයේ ඕවා බ්ලොක් කළේ. සිස්සයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වුණාද නැද්ද නම් කියන්න දන්නෑ හැබැයි... මෙන්න කතාව. අපේ ඩිපාට්මන්ට් එකේ සාමාන්‍යයෙන් ලැබ් දෙකක් පාවිච්චි කරනවා. ඔන්න දවසක් ලෙක්චර් එකක් නැති වෙලාවක අපි ලැබ් එකට ගිහින් ෆේස්බුක් චැට් එකක් එහෙම දාගෙන ඉන්නකොට එක සැරේටම මට එහා පැත්තෙ ඉන්න එකා මවුස් එක එහාට මෙහාට කරකව කරකවා උඩ පැන පැන දඟලනවා, එකම ජංජාලයයි. බැලින්නම් ඌත් එක්ක චැට් කරකර හිටිය එකා (ඌ හිටියෙ අනිත් ලැබ් එකේ ) මිනිහට ලින්ක් එකක් එවලා. මිනිහත් ක්ලික් කරලා. ඒකෙන් අභ්‍යාස වීඩියෝ එකක් (ඇනිමේෂන් එකක් ද මන්දා හරියටම මතක නෑ) ලෝඩ් වෙලා ස්ක්‍රීන් එක පුරා එහෙ මෙහෙ දුවනවා. ඒක ක්ලෝස් කරන්න ඒ ඇප්ලිකේෂන් එක අල්ලන්න තමයි මිනිහා මවුස් එක අරන් දැඟලුවේ. අන්තිමේට යූ පී එස් එකට ඇනලා රී ස්ටාට් කරගෙන තමයි වැඩේ නතර කරගත්තෙ. දැන් මිනිහට වස ලැජ්ජාවයි. හැමෝම දැනගත්තනෙ සීන් එක.

හැබැයි මිනිහත් ඇතෑරියෙ නැහැ නෙට් එකේ සර්ච් කරලා හොයාගත්තා ලින්ක් එකක්. පස්සෙ දවසක ආයෙම එදා අර ලින්ක් එක එව්ව යාළුවා එහා ලැබ් එකේ ඉඳන් මූත් එක්ක චැට් කරකර ඉද්දි ෂේප් එකේ කලින් අර හොයාගත්ත ලින්ක් එක යවලා. අර යාළුවත් අපරාදෙ කියන්න බෑ ක්ලික් කරලා. සාමාන්‍යයෙන් ලැබ් එකේ මැෂින් වල සවුන්ඩ් ඩිසේබල් කරලනෙ තියෙන්නෙ. මොකක් හරි හේතුවකට ඒ මැෂින් එකේ සවුන්ඩ් එනේබල් වෙලා තමයි තිබිලා තියෙන්නෙ. ඔන්න දැන් අර ලින්ක් එක ඒ ලැබ් එකෙත් කලින් වුණා වගේ ම ස්ක්‍රීන් එක පුරා දුවනවලු. ඒක ක්ලෝස් කරගන්න බැරිම තැන කලබලේට මිනිහා මොනිටරේ ඕෆ් කරලා. එතකොට ඔන්න රූප නෑනේ. සද්දෙ එනවලු ඌ........හ්, ආ.......හ්, ම්......හ්, ඈ...හ් වගේ සද්ද ලැබ් එක පුරා පැතිරිලා යනවලු. හැමෝම ඉන්න තැන් වලින් එබි එබී බලනවලු. අන්තිමේට කොහොමහරි යූ පී එස් එකට ඇනලා මැෂිම ඕෆ් කරගෙන, එළියට ඇවිත් ගොඩාක් දෙනා ව මතක් කලා ලු. ෆස්ට් ඉයර් ඉඳන් ෆෝත් ඉයර් දක්වා හැමෝම නැඟිට නැඟිට තමන් දිහා බලද්දි මිනිහට මොනවගේ හැඟීමක් එන්න ඇතිද... ඒ දවස් වල අපිට එච්චර තේරුමක් නෑනේ ඔය එක එකා එවන ලින්ක් ක්ලික් කරන්න හොඳ නෑ කියලා.

දෙවනි කතාව නම් ළඟදි වුණ එකක්. අපේ එකෙක් ගෙ ගෙදරක පිරිත් කියනවා කියලා අපිටත් එන්න කිව්වා. අපිත් ඉතින් කලින් දවසෙ ම ගිහින් පිරිත් කොටුව එහෙම ගහලා, එක එක වැඩ කරලා රෑ වෙද්දි පිරිත් අහන්නත් ලෑස්තියි කට්ටිය. හැබැයි කලින් වැඩ කරපු මහන්සියට හැමෝටම වගෙ නිදිමතයි. ඉතින් කට්ටිය කතාවුණා සැරින්සැරේ මාරුවෙන් මාරුවට නිදාගමු කියලා. එකක් හැමෝටම නිදාගන්න ඉඩත් නැහැ. අනිත් එක අපි හැමෝම එක සැරේ නැතිවුණොත් අනිත් අයට සැක හිතෙනවනෙ. මමත් ඇතුළු පහක් විතර ඉස්සරවෙලා ම ගියා නිදාගන්න, ඊට පස්සෙ 1ට විතර නැඟිටලා අනිත් අයට ඉඩ දුන්නා නිදාගන්න කියලා. පිරිත් ගෙවල් වල සැරින් සැරේ ඔය කෝපි, බිස්කට්, කේක්, දොදොල්, කෙසෙල් වගේ ජාති එනවනෙ පිරිත් අහන අයට කන්න. අපි ඉතින් ඒවා වට කිහිපයක් ඉවර කරලා, පාන්දර 5ට විතර නිදාගෙන ඉන්න වුන් පව් නෙ කියලා හිතලා අපි කිව්වා ඒවා අල්ලන්න ආව මල්ලිලාට කිව්වා නිදාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා උන්ටත් දෙන්න කියලා. මල්ලිලා දන්නෙ නෑනෙ නිදාගෙන ඉන්න තැන. අපි ගිහින් කකුලෙන් ඇදලා ඇහැරෙව්වා. මල්ලිලා ටිකත් ඉන්නවා ට්‍රේ ටිකත් අල්ලගෙන ඇඳවල් වටේට. ඔන්න ඉස්සරවෙලා ම ඉන්න එකා කෙඳිරි ගගා නැගිට්ටා. ට්‍රේ ටික දැක්ක විතරයි සාදු සාදු කියලා ට්‍රේ ඔක්කොටම වැන්දා, මේක දැක්ක ඇහැරෙමින් හිටිය වුන් සෙට් එකත් පෝලිමට සාදු කිය කිය ට්‍රේ වලට වඳිනවා. මුන් හිතලා තියෙන්නෙ පිරිකර ගෙනත් අතගස්සවන්න කියලා. එදා උදේ ඉඳන් පිරිත් කෙසේ වෙතත් හැමෝටම හිනා වෙලා කෙළවරක් නැහැ.

48 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලණු කෑවද ? sms යැව්වද....


දවසින් දවස හරි ඉක්මනට වෙනස් වෙන ලෝකෙ හැමදාම වගේ එක එක විදියෙ විවිධාකාර දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවානේ. මේත් ඒ විදියේ මිතුරන් කිහිප දෙනෙක් ගෙන් ම මට ආව sms එකක්. සිංග්ලිෂ් වලින් තිබුණෙ, මම සිංහලට පරිවර්තනය කළා. ඔන්න මෙහෙමයි තිබුණේ... [(පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි ) "බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සත්‍යයි". මේ උතුම් සත්‍යයේ බලයෙන් ඔබගේ හැම දුක් කරදරයක් ම නැති වේවා! බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සත්‍යයි... හිතේ විශ්වාසයෙන් මේ sms එක නවදෙනෙකුට යවන්න. පැය 48ක් ඇතුළත සුබ දෙයක් අහන්න ලැබෙයි.

ඔහොම තමයි තිබුණේ. මේක දැක්ක ම එක සැරේටම මට දැනුනේ දුකක්. මම දන්නෙ නැහැ මේකට පූජ්‍ය කොළොන්නාවේ සුමංගල ස්වාමින් වහන්සේ සම්බන්ධ වුණේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට සම්බන්ධයක් නැතුවත් ඇති. අපි ස්කෝලේ යන දවස් වල මතකයි මේ වගේ ලියුම් එහෙමත් හම්බවෙනවා. "මේ ලියුම තව හත්දෙනෙකුට ලියලා යවන්න. මේක ගණන් නොගෙන මේ ලියුම ඉරලා විසිකරපු කෙනෙකුට නයෙක් දෂ්ඨ කරලා තියෙනවා. ඉරලා විසි කරපු කෙනෙක් හදිසියෙ මැරිලත් තියෙනවා වගේ කියලා. මට මතක් වුණේ ඒ වගේ දෙයක්. ඒ කතන්දර කොහොම වුණත් මෑත කාලීන ව බහුල ව දකින්න ලැබෙන දෙයක් තමයි බුදුදහම සම්බන්ධයෙන් මිත්‍යා විශ්වාස ඉතාම වේගයෙන් පැතිරිලා යනවා කියන එක. ඒ වගේ ම තමයි සමහරු ඉතා ම ඉක්මනට ඒවට අහුවෙනවාත් කියන එක.

"බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සත්‍යයි". මේ උතුම් සත්‍යයේ බලයෙන් ඔබගේ හැම දුක් කරදරයක් ම නැති වේවා! කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් කොයිතරම් හොඳයිද... හැබැයි ඒ අනුසාරයෙන් sms හැමෝටම යවන එක, නැත්තම් පැය 48ක් ඇතුළත ප්‍රතිඵල ලැබෙනවා වගේ බාල දේවල් සමාජයේ පතුරුවන එක කොයිතරම් නම් වැරදිද. ඒ වගේ ම මේ වගේ ආගමික විශ්වාස වලින් කවුරුහරි වාණිජ පරමාර්ථ(ජංගම දුරකථන සමාගම් පොහොසත් කරන්න හදන එක ) ඉටුකරගන්න හදන එකත් නින්දිත වැඩක්.

මේවගේ දේවල් සමාජයෙන් අයින් කරන්න අමාරු වුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ධර්මය පිළිබඳ, සංඝරත්නය පිළිබඳ ව පුංචි හරි ශ්‍රද්ධාවක් පිහිටලා තිබුණෙ නැත්තම් කවුරු වුණත් නොදැනිම මේ වගේ දේවල් වලට අහුවෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම සිහියෙන් කල්පනාවෙන් වැඩ කරන්නෝන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ......

පසුවදන : සමහරවිට මට වඩා වෙනස් අදහසක් ඔයාලට තියෙන්නත් පුළුවන්, ඒ නිසා ඔයාගෙ අදහසත් කියලා ම යන්න. මොකද මට වඩා වෙනස් විදියකට ඔයා දකිනවා වෙන්නත් පුළුවන් නේ!

72 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කෙනෙකුට වෙන්න පුළුවන් නම් __________ වගේ.....



පුංචි ම පුංචි බිළිඳියක්, දැරියක්, යුවතියක්, බිරිඳක්, මවක් වගේ එක එක විදියේ කඩයිම් කාන්තාවක් විසින් පසුකරනවා තමන් ගේ ජීවිත කාලයේ දී. සාමාන්‍යයෙන් අපි ජිවිතේ මුල් ම කාන්තාව විදියට සමීප ව දැනහඳුනාගන්නේ අපේ අම්මා ව. ඊට පස්සේ සොයුරියන්, මිතුරියන් වගේ එක එක කාන්තා චරිත අපිට අපේ ජීවිතයෙදි හම්බවෙනවා. හැබැයි අපි මොහොතකටවත් හිතුවෙ නැහැ නේද ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියන්නෙ කවුද කියලා. විවාදයක් නැහැ අපිට දැනට ජීවමාන ව ම ඉන්න ශ්‍රේෂ්ඨතම කාන්තාව අපේ අම්මා. කෙනෙකුට, අම්මා තමන්ගෙන් වෙන්වුණාට පස්සෙ බිරිඳ තමයි ඒ තැනට පත්වෙන්න ඊළඟට සුදුසු ම කෙනා. ඒ කියන්නෙ ඇයට පුළුවන් නම් මාතෘ භාර්යාවක් වෙන්න එහෙමත් නැත්තම් දාසි භාර්යාවක් හෝ ස්නේහවන්ත මිතුරියක් වෙන්න ඇය ඒ තැනට සුදුසු වෙනවා. අද කියන්න යන්නෙ සසර පුරාවට ම මේ හැම භූමිකාවක් ම රඟ දැක්වූ ශ්‍රේෂ්ඨ කාන්තාවක් ගැනයි. ඇය යශෝධරාව.

වෙනත් හැඳින්වීමක් කරනවා නම් සිදුහත් කුමාරයා මේ ලෝකෙට ජනිත වෙද්දි ම ඒත් එක්ක ම තවත් උපත් පහක් සිද්ධ වුණා. ඡන්න ඇමතියා, කාළුදායි ඇමතිවරයා, යශෝධරාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ කන්ථක අශ්වයා තමයි ඒ. එයින් එක උපතක් වුණ යශෝධරාව, සුප්‍රබුද්ධ පියරජතුමන්ට දාව අමිතා දේවියගේ කුසින් දෙව්දහ නුවරදී උපත ලැබුවා. වයස අවුරුදු 16 දී සිදුහත් කුමාරයා සමඟ විවාහ වෙන යශෝධරාව එතැන් පටන් අසීමිත ස්වාමි භක්තියෙන් වාසය කළා, වයස අවුරුදු 29 දී සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන තෙක් ම. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සෙ කිඹුල්වත් නුවරට වැඩම කළා ම හැමෝම උන්වහන්සේ බැහැ දකින්න ආවත් යශෝධරාව නම් පැමිණියේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා සුද්ධෝදන රජතුමාගෙන් යශෝධරාව ගැන. එතකොට සුද්ධෝදන රජතුමා පිළිතුරු දෙනවා "ස්වාමිනි ඔබ වහන්සේ ගිහිගෙයින් නික්මුණු දා පටන් ඇය ඔබ වහන්සේ අනුගමනය කළා. සියළු කණකර රන් ආභරණ අතහැරියා, දිනකට එක් වේලක් පමණක් ආහාර ගත්තා, කසාවත් ඇන්දා, සියළු සුඛ විහරණයන් අතහැරියා, කොටින් ම අද වෙන තෙක් ඇය උඩුමහලින් බිමට බැස්සෙ නැහැ " යනාදි වශයෙන්.


තථාගතයන් වහන්සේ මහත් වූ අනුකම්පාවෙන් ම යශෝධරාව වාසය කළ මාළිගයේ මතු මහළට වැඩම කරනවා. තමන් ව සොයාගෙන වඩින බුදුරජාණන් වහන්සේ දකින යශෝධරාව උන්වහන්සේ ගේ දෙපා මුළ වැඳ වැටිලා හඬා වැළපෙනවා. මේ සියළු වැළපීම් අවසන් වෙනතෙක් ඉඳලා බුදුරජාණන් වහන්සේ ඇයට සඳ කිඳුරු ජාතකය දේශනා කරනවා මේ විදියටම අතීතයේදිත් තමන්ට ඉතාමත් භක්තිමත් ව ප්‍රිය බිරිඳක් ව සිටියා යනුවෙන්. ඔය කාලයේ දී තමයි රාහුල පුතු පිය දායාදය ඉල්ලාගන්න කියලා බුදුරදුන් වෙත යවන්නේ. ඊටත් කලින් තමයි යශෝධරාව, බුදුහිමියන් ඈත කිඹුල්වතේ වඩිද්දි රාහුල පුතුට බුදුහිමියන් ගැන විස්තර කරලා අපූරුවට නරසීහ ගාථා ගයන්නෙත්.

ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියදෙනෙක් එක්ක පසුකාලයේ දී උතුම් වූ පැවිද්ද ලබාගන්නා යශෝධරාව කෙටිකලකින් ම සියළු කෙලෙසුන් කෙරෙන් මිදිලා උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කරනවා. කාලයක් ගතවුණා ම යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ කල්පනා කරනවා සාරිපුත්ත, මොග්ගල්ලාන, නන්ද, රාහුල, ප්‍රජාපතී ආදී රහතන් වහන්සේලා/ රහත් මෙහෙණින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පෑවා, ඉතින් තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ ඉද්දී ම පිරිනිවන් පාන්නට ඕන කියලා. ඉතින් යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජීවිතයේ අවසන් භාගයටයි ඇවිත් ඉන්නෙ, මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සසර පුරාවටම ඔබ වහන්සේ සමඟින් මමත් සෙවණැල්ල සේ පැමිණියා. එහිදී මගෙන් ඔබ වහන්සේට වරදක් වූයේ නම් සමාව දෙන සේක්වා " ආදී වශයෙන් ප්‍රකාශ කළා.

එවිට තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා "ඔබ බුද්ධ ශාසනයේ අනුශාසනා අනුව ම කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන අවබෝධ කළ කෙනෙක්දැයි කියා මේ රැස් ව සිටින පිරිසට අල්පමාත්‍ර හෝ සැකයක් ඇති නොවන්නට ඍද්ධි ප්‍රාතිහාර්යය පා පෙන්වන්න" කියා. එවිට යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ "මහා වීරයන් වහන්ස, ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් යුත් මම යශෝධරා වෙමි. ගිහිගෙයි ඔබ වහන්සේගේ බිරිඳ ව සිටියෙමි, තවද එක් ලක්ෂ අනූ සහසක් කාන්තාවන්ට නායිකා ව සිටියෙමි. මේ ලෝකයේ සුන්දරත්වය අතින් තථාගතයන් වහන්සේ හැරුණු කොට රූපයෙන් අග්‍ර වූයේ මමයි" ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය සිරුර සක්වල, ඇත්, අස්, පර්වත්, හිරු, සඳු පියුම් ආදී වශයෙන් කොටගෙන මහත් වූ ප්‍රාතිහාර්යය දක්වනවා.

ඊළඟට බ්‍රහ්මරාජයෙකුගේ වෙස් ගෙන අනිත්‍ය ධර්මය දේශනා කරනවා. ඒත් එක්කම මේ වගේ උදානයක් කරනවා. "මහා මුනීන්ද්‍රයන් වහන්ස, මම දිවැසින් ද දිව්‍ය ශ්‍රවණයෙන් ද අනුන්ගේ සිත් දක්නා නුවණින් ද පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණින් ද යුක්ත වූ ක්ෂීණාශ්‍රව තැනැත්තියක් වෙමි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සතර පටිසම්භිදා ඥාණ බුදුසසුන තුළ ලැබූවෙමි. ඒ නිසා මහාවීරයන් වහන්ස මම බොහෝ පින් රැස්කරගත්තෙමි. මා විසින් අනාචාරය දුරු කොට ඔබ වහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජා කළා. කල්ප දහස් ගණන් ඔබ වහන්සේ පාරමිතා පුරද්දී මම ඔබ වහන්සේට බිරිඳ වෙලා සිටියා. ඒ බොහෝ අවස්ථා වලදී මාව දන් දුන්නා, නමුත් ඒ කිසිම අවස්ථාවකදී වත් මම තරහා සිතක් ඇතිකරගත්තේ නැහැ. යක්ෂ රාක්ෂයන්ට මාව දන් දෙද්දී නපුරු සිතක් ඇතිකරගත්තේ නැහැ. සිංහයන්ගෙන්, ව්‍යාඝ්‍රයන්ගෙන් උවදුරු ඇති වූ අවස්ථා වල මම ඔබ වහන්සේ වෙනුවෙන් ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා. ඔබ වහන්සේ සසර පුරා පාරමිතා පුරන විට යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ඇති සියළු වස්ත්‍ර, ආභරණ ඔබ වහන්සේ ඉදිරියේ තබා ස්වාමිනි මෙයත් පූජා කරන්නැයි කියා තිබෙනවා. දරුවන්, මුතු මැණික්, ධන ධාන්‍ය, කෙත්වතු, දැසි දස්සන් ආදිය පරිත්‍යාග කරද්දි ඒ හැමදේටම මම එකඟ වුණා. කිසිදු දොම්නසක් ඇතිකරගත්තේ නැහැ. ඔබ වහන්සේ බුද්ධත්වය පතා පාරමී පුරද්දි ඒ නිසා බොහෝ ගැහැට වින්දත් කිසිදා ඔඅබ වහන්සේ කෙරෙහි තරහා සිතක් ඇතිකරගත්තේ නැහැ. "

මේ විදියට යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ තමන්ගේ ජීවිත කථාව විස්තර කරමින්, තමන් උතුම් වූ නිවන මේ බුදු සසුනෙහිදීම ලබා ගත් බව පසක් කරමින් පිරිනිවන් පෑවා. තම දරුවන් වූ ජාලිය, කෘෂ්ණජිනා දන් දෙනවිටත් එය දරාගත් යශෝධරාව, බ්‍රහ්මදත්ත රජුගේ හී පහරින් මරුමුවට පත් තම හිමි සඳකිඳුරාට නැවත ජීවිතය ලබාගන්නට සත්‍යක්‍රියා කරන යශෝධරාව ඇත්තෙන් ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇය හා නූතන කාන්තාව සමකර බැලීමෙන් වැඩක් නැති වුණත් මෙයින් ගන්න තියෙන පාඩම් නම් බොහෝමයි....

පසුවදන : පූජාවලියෙ නම් තියෙන්නෙ "මෙසේ යශෝධරා දේවිය, කන්ථක නම් අශ්වරාජයා, ඡන්න නම් අමාත්‍යවරයා ය, අනඳ මහ තෙරුන් වහන්සේ ය, කාළුදායි නම් අමාත්‍යාණෝ ය, සතර මහා නිධාන ය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය, යන මේ වස්තු සත එක දා ම උපන." කියලයි. බ්ලොග් සටහන සකස් කළේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් තිබුණ බුදුසරණ පත්තරෙනුයි. පින්තූරෙ ගත්තේ දුකා අයියගෙ බ්ලොගෙන්!

සිංහල තේරුමත් එක්කම අපූරු නරසීහ ගාථා අහන්න මෙතනින් . කොයිතරම් විචිත්‍රවත් හැඟීමක් එනවද කියලා අහලා ම බලන්න .......

36 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මහින්ද චින්තනය තුළ රජයේ සේවකයා ශක්‌තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වාගේම සේවා තත්ත්වය වර්ධනය කිරීමටත්...


පහුගිය ටිකේ මේ ගැන මොනවහරි ලියන්න ඕන කියලා හිතුවත් දවසින් දවස කල් ගියා මේ ගැන ලියන එක. රාජ් අයියා ලියලා තිබුණ සටහන කියෙව්ව ම මටත් හිතුණා ඔය සම්බන්ධයෙන් මම දන්න සිද්ධි දෙකකුත් ලියලා දාන්න. රාජ්‍ය සේවය සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය මොනවගේ එකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පහුගිය දශක කිහිපය ඇතුළත ඒක කොයි විදියටද ගරා වැටුණේ, ඒ ගරා වැටීම සිද්ධ වුණේ ලක්ෂ 13ක් විතර වෙන රජයේ සේවකයාගේ කොන්ද උඩින් කියන දේ කශේරුකාවක් රහිත ගොඩක් දෙනෙකුට නොතේරුණත් ඒක තේරුණ කිහිපදෙනාටත් වුණේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඉන්න එක විතරයි. හැබැයි කණගාටුවට කරුණ වෙන්නෙ බහුතරයක් රටේ මිනිස්සු "ලබ්බට තියන අතමයි පුහුලටත් තියන්නෙ " කියන දේ තේරුම් නොගන්න එක.

මේ පළමුවෙනි සිද්ධිය... මේක සිද්ධ වෙලා දැනට මාසයක් විතර ඇති. වුණේ කෑගල්ල පැත්තේ තියෙන, මියගිය ප්‍රසිද්ධ රාජ්‍ය නායකයෙකුගේ නමක් සහිත මධ්‍ය මහා විද්‍යාලයක. ප්‍රධාන චරිතය වුණේ විසුරුවා හැරලා තියෙන පළාත් සභාවක හිටපු ප්‍රධාන ඇමතිවරයෙක්. ඒ පුද්ගලයා ආවේ විවෘත කිරීමකට හෝ මුල්ගල් තැබීමකට. මේ සිද්ධිය වෙන දවසේ එතැනට රැස්වෙලා හිටියා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ආචාර්ය මණ්ඩලය වගේ ම දෙමව්පියනුත්. පාසලේ ප්‍රධානියා විදියට හිටියෙ තරමක් වියපත් විදුහල්පතිවරියක්. ප්‍රධාන අමුත්තා විදුහලට ආවා ම ආයතනයේ ප්‍රධානියා විසින් සාමාන්‍යයෙන් අතට අත දීලා හෝ ආයුබෝවන් කියලා පිළිගන්න එක සිරිතනේ. ඒ වෙනුවට මේ විදුහල්පතිවරිය කළේ අදාළ ප්‍රධාන ආරාධිතයා එද්දි ක්ෂණිකව ම දණගහලා වැන්ද එකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ආචාර්ය මණ්ඩලය වගේ ම දෙමව්පියනුත් මුහුණට මුහුණ බලාගත්තා. හැමෝටම මොනවා හිතෙන්න ඇතිද? කෙනෙකුට කියන්න පුළුවන් සමහරවිට විදුහල්පතිවරිය ප්‍රධාන ආරාධිතයාට වඩා වයසින් අඩු නිසා හෝ ප්‍රධාන ආරාධිතයා බොහෝ ගුණයහපත් නිසා වඳින්න ඇති කියලා. දෙවෙනි කාරණය කෙසේ වෙතත් පලමුවෙනි කාරණය නම් එහෙම වයසින් අඩු බවක් නම් නැහැ කියන එකයි. උගත්කමක් කෙසේවෙතත් සාමාන්‍ය බුද්ධිමත් කමක් තියෙන කෙනෙකුට මේකේ සැඟවිලා තියෙන යටි අරුත නම් තේරුම් ගන්න ඒ තරම් අපහසු වෙන එකක් නැහැ.

මේ දෙවෙනි සිද්ධිය... පහුගිය දවස්වල උපාධිධාරීන් පිරිසකට තොරතුරු තාක්ෂණ ගුරු පත්වීම් දුන්නානෙ. මේ එක ගුරුවරයෙකුට පසුගිය දවසක් දුරකථන ඇමතුමක් ඇවිත් තියෙනවා "තමුන් xxx ආසනයේ තොරතුරු තාක්ෂණ ගුරු පත්වීම ලැබුණ xය්z නේද? එහෙනම් yy දවසේ 10 ට abcd තුමාගේ කැන්වසින් යන්න අනිවාර්යයෙන් එන්න ඕන" කියලා. ඔය කියන පුද්ගලයා සමහරවිට abcd තුමාගේ ලිස්ට් එකෙන් යන්න ඇති. නමුත් ගුරුවරයෙකුට මෙහෙම ඇඟිල්ල දිගු කරලා කියන්න තරම් අද දේශපාලනඥයා (වටේ ඉන්න හෙංචයියෝ ) සාපේක්ෂව කොයිතරම් ශක්තිමත් වෙලා ද? ඒක ඇත්තටම ගැටළුවක්.

කොහොමත් කවුරුත් මේවට විරුද්ධව කතාකරන්න යන්නෙ නැත්තේ කළුගලේ ඔලුව ගහගත්තම තුවාල වෙන්නෙ තමන්ටමයි කියලා දන්න නිසා ම වගේ ම අහක යන නයි ඇදලා අරන් ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියන්න ඕන කමක් නැති හින්ද වෙන්නෝන. කොහොමත් ඉදිරියේදී මේ තත්වය තවදුරටත් වැඩිවීමක් මිසක් අඩුවීමක් නම් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ. …කිසියම් ආයතනයක විනය කියන දේ පිරිහුණාට පස්සෙ එතැන පාලනයක් නැහැනේ. රට කියන ආයතනය වුණත් මීට වැඩි වෙනසක් නැහැ.


පසුවදන : ඔන්න මාසයක් විතර තිස්සෙ තිබුණ මගේ කාර්යබහුල සමය නිමාවුණා. ට්‍රේනින් යන්න තව මාසයක් හමාරක් තිබුණත් ලෙක්චරර්ස්ලගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අපිත් තීරණයක් ගත්තා දැන් ම ට්‍රේනින් යන්න. ඉතින් හැමතැනටම CV යවලා යවලා ඇතිවෙලා හිටියෙ(කවුරුත් එන්න කියන්නෙ නැහැනේ.) පළවෙනි සතියෙ දෙකේ හිටියෙ පුදුමාකාර පීඩනයකින්. අනිත් හැමෝටම ඉන්ටර්විව් කතාකරද්දි මට විතරක් එහෙම නැහැ. එතකොට යාළුවෙක් කියනවා ෆෝන් එකට ගොඩක් වෙලාවට කෝල්ස් ගන්න අමාරුයි කියලා. ඊට පස්සෙ ෆෝන් එක මාරුකළා. ෆෝන් එකේ අවුලක් තිබිලද මන්දා ඔන්න ඊට පස්සෙ මටත් ආවා ඇමතුම් ඉන්ටර්විව් වලට එන්න කියලා. (ඒ දවස්වල දවල් ටොයිලට් එකට ගියත් යන්නෙ ෆෝන් එක අරගෙන, ඇයි ඉන්ටර්විව් එකකට කෝල් එකක් හෙම ආවොත්... )ගොඩක් ආයතන අද හවස කතාකරලා කියනවා හෙට එන්න කියලා(ඒවයෙ HR වල ඉන්නෙ නම් මහ පිස්සෝ).

ඒ මදිවට අවුරුදු තුනහමාරක් තිස්සෙ ඉගෙනගත්ත ඒවා දවස් කිහිපයකින් පාඩම් කරන්න වුණා ම දැනෙන සතුට... අතෑරියෙ නැහැ, කොහොමහරි නිදිමරාගෙන පාඩම් කළා. ඊට පස්සෙ පාන්දර 2-3ට නැඟිටලා ලෑස්තිවෙලා කොළඹ එනවා. ඉන්ටර්විව් වලින් පස්සෙ හැමෝම කියන්නෙ පස්සෙ දන්වන්නම් කියලා. ඊට පස්සෙ ආයෙ ගෙදර එනවා. ඔහොම ගිහින් අන්තිමේට තුන්වෙනි ඉන්ටර්විව් එක යන්තම් ගොඩදාගත්තා. Final exam එකට නිවාඩුත් දෙන්නම් කිව්ව නිසා academic වැඩ වලට කරදරයක් වෙන එකක් නැතිවේවි. ඔන්න දැන් මමත් රස්සාවක් කරන්න යන්නෙ. ලබන සඳුදා තමයි ඉස්සරවෙලා ම යන්න තියෙන්නෙ ඕං (දැන් මමත් Trainee Software Engineer කෙනෙක්!)


සන්තෝසෙටත් එක්ක කමු ද කේක් කෑල්ලක් එහෙනම් ...

46 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය උතුම් මැණික...


සාමාන්‍යයෙන් අපි කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම ගැනනේ. රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුටක්/ ආශ්වාදයක් ලැබීම ආදී දේ ගැන තමයි අපි සාමාන්‍යයෙන් ජීවිත කාලය ඇතුළත මහන්සි වෙන්නෙ. ඒ අය අතරට මේ කියවන ඔබත් ලියන මමත් අඩුවැඩි විදියට ඇතුළත්. කෙටියෙන් ම කියනවනම් ගිහි පැවිදි බොහෝ දෙනා කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. ඒ අතරෙදි කෙනෙක් පව් කරලා සතර අපායට යන අතරතුර තවත් කෙනෙක් පින් රැස් කරලා සුගතියට යනවා. මෙහෙම වෙන හැටි, මේ චක්‍රය ලෝකයට එළිදරව් කරන්නෙ උතුම් වූ බුදුවරයෙක් ම විතරයි. ඒ නිසා මේ සටහන ඇයි බුදුවරයෙක් ලෝකයට පහළ වෙන්නෙ කියන එක ගැනයි කියන්නයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් එය මැනවින්, පැහැදිලි වෙනවා. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට උන්වහන්සේ පාවිච්චි කළා විශේෂ නමක්. ඒ තමයි ධර්ම චක්‍රය. පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පවත්වා වදාළා. එය ලෝකයේ ශ්‍රමණයකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයකුට හෝ කිසිවෙකුට හෝ නැවත වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙනුයේ චතුරාර්ය සත්‍ය ධර්මය යි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන ශ්‍රාවකයෙක් සිටියා. ඒ තමයි උතුම් වූ රහතන් වහන්සේලා අතුරින් අග්‍ර ම වෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස භාග්‍යවතුන්වහන්සේ ම හඳුන්වා දී තිබුණා.

ධම්මචක්කපවත්තන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම යි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන් පළමුවෙන්ම සෝතාපන්න වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගන්න ලැබුණා ඒ පස්වග හිමිවරුන්ටත්. ඒ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙන්.

ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන අනිකුත් ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ බිහිවුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘මහණෙනි, ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කර ගන්නට නොහැකි වීමෙන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අප දැන් අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා. එනිසා පින්වත් මහණෙනි, ධර්ම චාරිකාවේ වඩින්න. දෙනමක් එක මඟ වඩින්න එපා. ධර්ම චාරිකාවේ යෙදිලා මුල, මැද, අග කල්‍යාණ වූ මනා ප්‍රකාශයෙන් යුක්ත වූ අර්ථ සහිත වූ පිරිසුදු නිවන්මඟ දේශනා කරන්න. මෙයයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කළ අනුශාසනාව. රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා.

එයින් අපට පැහැදිලියි, චතුරාර්ය සත්‍ය දේශනා කරගෙන යාමෙන් පමණයි, මේ ධර්මය අවබෝධ කර ගන්නා ශ්‍රාවකයන් පහළ වන්නේ කියා. එම ධර්මය දේශනා කළේ නැත්නම් අවබෝධ කර ගන්න හැකියාව තිබෙන අයත් පිරිහිලා යන්න පුළුවන් බව. බුදුන් වහන්සේගේ අනුශාසනාවේ සඳහන් වනවා ඉතාම පැහැදිලි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසම බව. වෙන කිසිම දෙයක් සඳහා බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වන්නේ් නැහැ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශාසනයේ තමයි පළමු වන, දෙවන, තුන්වන, හතරවන ශ්‍රමණයන් සිටින්නේ. බාහිර සියලු ශාසන ශ්‍රමණයන්ගේන් හිස්, ශ්‍රමණයෝ නැහැ කියලා. මෙහි පළමු ශ්‍රමණයා කිව්වේ සෝතාපන්න වූ තැනැත්තාටයි. දෙවැනි ශ්‍රමණයා ලෙස සඳහන් කළේ සකෘදාගාමි වූ තැනැත්තාටයි. තුන්වැනි ශ්‍රමණයා අනාගාමි වූ තැනැත්තායි. හතරවැනි ශ්‍රමණයා රහතන් වහන්සේ යි. එහෙම නම් පැහැදිලි යි මේ සියලු මාර්ගඵල ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මිස වෙන කිසිම දෙයකින් නොවන බව. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කිරීමට පමණයි.

ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සීල, සමාධි යන ප්‍රතිපත්ති මේ ලොකේ සොයාගන්නට නැතිතරම්. එයට හේතුව තමයි සීලය කියන්නේ ආර්ය මාර්ගයේ මාර්ග අංගයක් වීම. සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පමණයි පරිපූර්ණ දේශනාවක් කරන්නේ. බුදුවරු ලොව පහළ වී නැති කාලවලදී සීලය හැටියට ලොව තිබූ ප්‍රතිපත්ති දීඝ නිකායේ දේශනාවල සඳහන් වෙනවා. අවුරුදු ගණන් කතා නොකර සිටීම, පිණ්ඩපාතයේ වැඩිය විට ගැබිණි මවු දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, කිරිදෙන මවක් දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, දානය පූජා කරන ස්ථානයේ බල්ලන් වැනි සතුන් සිටියොත් ඒ දානය ප්‍රතික්ෂේප කිරීම වැනි ප්‍රතිපත්ති තමයි, බුදුරදුන්ට පෙර යුගයේ සීලය යනුවෙන් හඳුන්වා තිබුණේ.

භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වනවිට මනාකොට සීලය ගැන දන්නා කෙනෙක් ලෝකයේ සිටියේ නැහැ. එයින් පැහැදිලියි අබුද්ධෝත්පත්ති කල සීලය ප්‍රකාශ නොවන කාලයක් බව. බුද්ධ කාලයේ ලැබෙන දුර්ලභම දේ තමයි දිගින් දිගටම යන සංසාරේ ගමන් කරන සත්ත්වයාට සතර අපායේ වැටි වැටී ගමන් කරන සත්ත්වයාට එයින් මිදිලා නිවන් මඟට පැමිණිලා සදාකාලික රැකරණය ලබන්න පුළුවන් වීම. මෙය ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.

කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා.

තවමත් අපිට උතුම් වූ ශ්‍රී සද්ධර්මය තිබෙන නිසා තවමත් කෙනෙකුට සසරින් එතෙර වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී එයින් ප්‍රයෝජන ගැනීමට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් මේ උතුම් නිකිණි පෝය දවසේ ඇතිකරගනිමු!!!

නිකිණි පුර පසළොස්වක පෝය දිනය, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම වගේ කරුණු නිසා අපට වැදගත් වෙනවා.(E කොළම)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ ගේ දේශනාවක් ඇසුරින් තමයි මේ සටහන.

පසුවදන: කොයිතරම් බිසී වෙලා හිටියත් පෝ දින විශේෂ සටහන නොදා ඉන්නෙ කොහොමද? ඒ වුණත් අයෙමත් සති කිහිපයක විරාමයක් ගන්නවා මං !!!!

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !