ගුටි කෑමෙන් ඉගෙන ගැනීම හෙවත් පළමු පාඩම...!



අම්මෝ... ගුටි කන ඒව නම් මතක් කරන්න එපා කියලා ගොඩක් අය කියයි. මොකද සමහරු කියනවනේ කෑමෙන් කෑම හොඳම කෑම ගුටි කෑම කියලා. හොඳ හොඳ හෝටල් වලින් කාලා තියෙන අය නම් මේ ගැන දන්නවා. හැබැයි ඉතින් ඉකෝලේ කාලේ එහෙම මතක් වෙලා හිනා යන වෙලාවල් එහෙම අප්‍රමාණයි. ගුටි කන එකෙත් වර්ග කීපයක් ම තියෙනවනේ. එකක් තමයි ගෙදරින් ගුටි කෑම. ඒ නම් ආදරේට ලු. ස්කෝලෙදි ගහන්නේ අපිව හදන්නලු. හැබැයි ඉතින් සමාජයෙන් අපි ව හදන්න කලින් ස්කෝලෙන් හරි ගෙදරි හරි හැදෙන එක තමයි හොඳම දේ මට හිතෙන විදියට!!!

හැබැයි මට නම් මතක ඇති කාලෙක අම්මා එක සැරයක් ගහලා තියෙනවා, මම සෙල්ලම් කරන්න යාළුවෙක් ගේ ගෙදර ගිහින් අම්මා කතාකලා ම ආවේ නෑ කියලා දර කෑල්ලකින්ම සැලකුවා. ( හිකිස්... අම්මා එතකොට දර කප කප හිටියේ!) අප්පච්චිත් එක සැරයක් ටොක්කක් ඇන්නා මතකයි. ඊට වඩා නම් කාලා නෑ. දෙවෙනි වර්ගේ තමයි ස්කෝලෙන් ගුටි කෑම. ඒ නම් ඉතින් අණ්ඩපාල වැඩ කරලා තමයි. ඒක නම් ඕන තරම්! ඒකටත් මරු මරු වැඩ තියෙනවා. සමහරු කිව්වා ඒ කාලේ කොන්ඩ ගහක් අතේ තියාගෙන ගුටි කෑවම රිදෙන්නේ නෑලු, ඒ නිසා සමහරු එහෙමත් කලා, සමහර වේලාවට ගුටි කනවා කියලා හොඳටම ෂුවර් උනා ම පොත් එහෙම කලිසම අස්සේ දාගෙන යන වෙලාවල් එහෙමත් නැත්තෙම නෑ. අතට, කණට, පස්සට කන ගුටි වලින් මම දන්න විදියට හොඳට ම රිදෙන්නේ අත අනිත් පැත්ත හරවලා, ඒ කියන්නේ පිටි අල්ලේ ඇඟිලි වලට ගැහුවා ම තමයි.(වෙනත් අත්දැකීම් ඇත්තෝ නිවැරදි කරත්වා...)

ඊළඟ ජාතිය තමයි වටෙන් පිටින් ගුටි කන එක. ස්කෝලේ කාලේ තමයි මේවා නම් ගොඩාක් ම වැඩි. ගොඩාක් ම ගෑණු ළමයින්ගේ කේස් තමයි මේවට හේතු වෙන්නේ. ඊට අමතරව ඔය ඩයල් එකේ අවුල් හින්දත් ඕනේ තරම් වලි යනවා. ඕකේ මරු ම වැඩෙ තමයි අන්තිමට වලියකදි ගුටි කන්නේ කොහේවත් යන අහිංසකයෙක් වෙන එක. හොයාගෙන යද්දි කිසි ම සම්බන්ධයක් නෑ ඒ වලියට... දැන් නම් පිහි, බයිසිකල් චේන් එහෙම අනිවාර්යයි ස්කෝලේ යද්දි මම හිතන්නේ පොත් වලට අමතරව!

ඒකෙන් මේකෙන් කියන්න ආව කතාව අමතක උනානේ... ඊයේ පෙරේදා දවසක අපේ කැම්පස් එකේ තිබ්බ ෆන්ෂන් එකකට ආවා මහාචාර්ය සරත් කොටගම මහත්තයා. ගොඩාක් අය දන්නේ අර "සිරිලක කුරුල්ලෝ" කියලා පොතක් ලිව්ව කෙනා කිව්ව ම. එතුමා කිව්ව කතාවක් තමයි මගේ හිතට වැදුනේ. ඔහු කියනවා දැන් කාලේ පොඩි උන් ඉපදෙද්දිම ගුටි කාලා ලු පළවෙනි පාඩම ඉගෙන ගන්නේ. ඒ වෙන්නේ මෙහෙමයි. දැන් කාලේ ගොඩක් අම්මලා කැමති සිසේරියන් සැත්කමකින් දරුවා උපද්දවන්නනේ. ඒකටත් හේතු ඇති ඉතින් වේදනාව අඩුකම වගේ ඒවා. ඒ ගැන නම් වැඩිවිස්තර මම දන්නේ නෑ.


දන්න කාගෙන්හරි අහගන්න එක තමයි හොඳම! සිසේරියන් කියන්නේ අර බඩේ හරස් අතට කැපුමක් කරලා ගර්භාෂය විවෘත කරලා දරුවා එලිය ගන්න ඒකනේ. හැබැයි ඔය වෙද්දි දරුවා සම්පූර්ණයෙන් ම එළියට එන්න සූදානම් නෑ, හරියට බලෙන් එළියට ගන්නවා වගේ වැඩක් ඒක. ස්වභාවික විදියට එද්දි මම දන්න විදියට දරුවාට යම් දැනීමක් තියෙනවා සිදුවෙන වෙනස්කම් ගැන. සාමාන්‍යයෙන් දරුවෙක් බිහි වුණා ම ඉස්සර වෙලා ම ඉගෙන ගන්නේ අඬන්නනේ. ඉතින් අර සිසේරියන් සැත්කමකින් එළියට ගත්ත දරුවා අඬන්නේ නැතිලු සාමාන්‍යයෙන්. ඒ නිසා ඉතින් ඩොක්ටර් දරුවා අරන් ඉස්සරවෙලා ම නර්ස් අතට දෙනවලු. නර්ස් කරන්නේ පොඩ්ඩගේ කකුල් දෙකෙන් අල්ලලා අනිත් පැත්ත හරවලා පිටට ගහන එකලු. එතකොට ලු අඬන්නේ පොඩි මෑන්. ඔන්න ඔය විදියට තමයි දැන් ඉපදෙන පුංචි එවුන් ගුටි කාලා ම වැඩ අල්ලන්නේ.

මේ කතාවේ මතුපිට අර්ථය මෙහෙම උනාට මට නම් හිතෙන විදියට ගොඩාක් ගැඹුරු තේරුමක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. පොඩ්ඩක් නිවි සැනසීලේ හිතලා බලන්නකෝ ඔයාලටත් එහෙම හිතෙනවද කියලා.

ඒ වගේ ම මේ 2011 අවුරුද්දට දාන අන්තිම පෝස්ට් එක වේවි මේක. ලබන 2012 අවුරුද්ද සුබ එකක් වෙන්න, හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ඨ කරගන්න උත්සහ කරන වසරක් වෙන්න කියලයි මම නම් හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ!!! ලබන අවුරුද්ද මගෙත් බලාපොරොත්තු ගොඩක් තියෙන අවුරුද්දක්, ඒ මොකද දන්නවද... ලබන අවුරුද්දෙ කැම්පස් එකෙන් අවුට් වෙන්න ට්‍රේනින් යන්න තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය ජීවිතේ පටන් ගන්නෝන(ඒකට IT කොම්පැණියක් හොයාගන්නත් ඕන!!!). ඒත් එක්කම මගේ ජීවිතේට හැමදාම ආදරණීය හීන මවන මගේ සුදු මැණික එක්ක ජීවිතේ පුංචි සොඳුරු වෙනසක් කරන්නත් නැවුම් බලාපොරොත්තුවක් හිතේ කොනක තියෙනවා. ඒ ඔක්කොම දේවල් හිතේ තියාගෙන ම ඔන්න මමත් යනවා එහෙනම්....


හැමෝටම සුබ නව වසරක් වේවා........

11 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කොළඹ ටවුන් එක ඉස්සර... ෆොටෝ ටිකක්!


දැන් කාලේ කොළඹ ටවුන් එකේ ඉන්න සෙනඟයි වාහන කන්දරාවයි අතරේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වුනාට ඉස්සර කාලේ කොහොම තියෙන්න ඇතිද? ඉස්සර කාලේ කිව්වේ දැනට අවුරුදු 150 කට 200 කට කලින්. හිතාගන්න පුළුවන්ද? හිතාගන්න අමාරු නම් මේ ෆොටෝ ටික බලන්නකෝ, මට ඊමේල් එකකින් හම්බවුනේ, තරමක් දුර්ලභයි කියලා හිතුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ කොහොමද කියලා...


මෙතනදි තමයි ප්‍රින්ස් වීදිය සහ යෝක් වීදිය හමුවෙන්නේ, ගෆූර් බිල්ඩින් එක සහ ග්‍රින්ඩ්ලේස් බැංකුව තමයි වම් පැත්තේ තියෙන්නේ. බ්‍රිස්ටල් සහ YMBA බිල්ඩින් තමයි දකුණු පැත්තේ තියෙන්නේ. ගහ ළඟ තියෙන්නේ ප්‍රසිද්ධ කාර්ගිල්ස් සාප්පුව. ඔය වින්ටේජ් කාර් එහෙමත් නවත්තලා තියෙන්නේ...

මේ තමයි බේරේ වැව. 1900 ගණන් වල බේරේ වැව හෙක්ටයාර් 165ක් පුරා පැතිරිලා තිබුණත් දැන්නම් හෙක්ටයාර් 65ක් විතර තමයි තියෙන්නේ.


මේ කොළඹ නගරය, ෆොටෝ එක අරන් තියෙන්නේ ජනාධිපති මාවතේ, ඉස්සර නම් Queens Street එකේ ඉඳන්. බැක්ග්‍රවුන්ඩ් එකෙන් පේන්නේ බේරේ වැව සහ ගෝල්ෆේස් හෝටලය. 1505දී පෘතුගීසීනුත් 1656 දි ලන්දේසීනුත් 1815 දී ඉංග්‍රීසීනුත් අග නගරය කරගත්තේ ලේසියෙන් ම කුළුබඩු, මුතු, මැණික්, අලි කොළඹ වරාය හරහා ලේසියෙන් ම අපනයනය කරන්න පුළුවන් නිසයි.


මේ තමයි 1800 ගණන්වල ගාලු මුවදොර පිටිය...


1800 ගණන්වල තිබුණ හවුස් බෝට් එකක් තමයි මේ ඇල මාර්ග වල තිබුණ...


මේ තමයි කොල්ලුපිටියේ තිබුණ සුප්‍රසිද්ධ නුග ගස...



මේ ටවුන්හෝල් එක, අඳුරාගන්න පුළුවන්ද බලන්න...



1800 ගණන් වලදි ගාලු මුවදොර හෝටලය තිබිලා තියෙන්නේ මෙහෙමයි...


මේ වරාය තියෙන චැතැම් වීදිය...


මේ ඉහළ චැතැම් වීදීය, වරායට භාණ්ඩ ප්‍රවාහනයට පාවිච්චි කලේ කරත්ත නිසයි මේ කරත්ත ගොඩාක් තියෙන්නේ!


මේ රේස් කෝස් පිටිය ළඟ තිබුණ ආණ්ඩුකාරයාගේ නිල නිවසයි...


මේ ගෝල්ෆේස් හෝටලය ඉදිරිපසින් පෙනුමයි... දකුණු පැත්තෙන් තියෙන්නේ ගාලු පාර.


මේ යුනියන් ප්ලේස්...

15 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට...



සොච්චම් පඩියකට වහල්ලු වගේ තමන්ගේ ශ්‍රමය ඈ කැප කරන්නේ මහා මාළිගාවක් හදන්න නම් නෙවෙයි. එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා සාගරය තරම් අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසාමයි ඈ අඬන්නේ නැතුව ඉන්නේ, නැතුව මැෂිමකට වගේ හැඟීම් දැනීම් නැතුව නම් නෙවෙයි! ඒ සාගරේ සැරින් සැරේ හමන කුණාටු හරියට ඇගේ හදවතින් නික්මෙන බලාපොරොත්තු සහගත සුසුම් කිව්වොත් වැරදි නෑ මම හිතන්නේ...

ඊයේ පෙරේදා දවසක හොස්ටල් එකට විකුණන්න ගෙනාව සඟරාවක (කැම්පස් එකේ ම යාළුවෝ වගයක් හදන සඟරාවක්!) තිබුණ අපූරු සින්දුවක් දැකලා තමයි මේ දේවල් හිතුණේ. සින්දුව තමයි සුනිල් එදිරිසිංහයන් කියන "රෑ වැඩ මුරය අවසන් වන කණිසමට..." ටිකක් පරණ සින්දුවක් වගේම ගොඩක් අය අහලත් ඇති මේ සින්දුව.

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹේ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

ලෝකේ ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ට උදෑසනක් කියන්නේ කුරුල්ලෝ කෑගහන, මල් පිපෙන සුන්දර වෙලාවක් වුනත් මේ යුවතියන් වැඩ ඉවරවෙලා රෑ බෝ වෙන ජාමේ එළියට බහින්නේ පරවුණු මල් වගේ තැලිලා පොඩිවෙලා. යන්තම් ජීවිතේ ගැට ගහගන්න ඕන කරන පුංචි බලාපොරොත්තුවක් විතරක් හිතේ ගුලි කරගෙන උදේ ඉඳන් රෑ වෙනකල් මහන මැෂිම කරකවන ඔවුන් දවස අන්තිම වෙද්දි හෙම්බත් වෙනවා. ඒ වගේ ම තමයි හැමදාමත් උදේට ඉර පායලා හවසට ඉර බැහැලා යන්නේ තවත් අඳුරු දවසක් මතකයන් ජීවිතේට එකතු කරමිනුයි!

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

…ඉස්කෝලේ ගිහින් ඉවර වුන ගමන් ම ඇඟලුම් කම්හලට එන අහිංසක මල් කැකුළු වගේ තරුණියන් සොච්චම් පඩියකට රෑ එලි වෙනකල් ම දෑත් වල කරගැට එනකල් ම මහන මැෂිමට තමන්ගේ යෞවනය දියකරල දාන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා ම මිසක් ආසාවකට නම් නෙවෙයි. ගොඩක් කෙල්ලෝ ගමේ ඉන්න දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ ජීවත් කරන්නෙත් ඔය මැෂිම කරකවලා තමයි. ඒ නිසාමද මන්දා ඇගේ හිත මහ හයියෙන් හඬනවා කියලයි පද රචකයා කියන්නේ.

නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් විදියට අපේ රටට ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලේ දි හඳුන්වා දුන්න ඇඟලුම් කම්හල් සංකල්පය නිසා ම සෘජු හා වක්‍ර ප්‍රතිඵල රාශියක් ලැබුණා. ඒකේ වාසි වගේ ම අවාසිත් නැත්තේ ම නෑ. ඉස්කෝලේ ගිහින් කැම්පස් යන්න රිසාල්ට්ස් මදි වෙලා හෝ දුප්පත් කම නිසා ම ඉහළට ඉගෙන ගන්න බැරිවෙන කෙල්ලොන්ට අන්තිමේට පිහිට වෙන්නේ ටවුන් එකේ තියෙන ඇඟලුම් කම්හල ම තමයි. නැත්තම් ඔය කෙල්ලෝ මහ පාරේ තමයි කියලයි මටනම් හිතෙන්නේ. සිහින ගොඩාක් මවලා අහසේ මාලිඟා හදන්න පෙරුම් පුරාගෙන ටවුන් එකේ ඇඟලුම් කම්හලට රැකියාවට එන කෙල්ලෝ අන්තිමේට කුකුල් කූඩු වගේ බෝඩිම් වල, හරියට කෑමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ගෙවන ජීවිතේ හරියට මිහිපිට අපායක් වගේ. සමහර වෙලාවට සමහර කෙල්ලෝ හොරුන් ට කුඩුකාරයන් ට අහුවෙලා දුක් විඳින්නේ නොදැනුවත්කම නිසාම ද මන්දා. සමහර වෙලාවට අඩු වැටුපකට ශ්‍රමය විකුණනවා මදිවාට කෙල්ලන්ට තමන්ගේ සිරුර පූජා කරන්න වෙන්නෙත් ඔය පවතින කටුක පරිසරය නිසාද කියලත් වෙලාවකට හිතෙනවා.

ඔය දේවල් දැක්ක බන්දුල නානායක්කාරවසම් කියන විශිෂ්ඨ ගණයේ පද රචකයාගේ තෙළි තුඩින් නිමවුණු, රෝහණ වීරසිංහයන්ගේ අපූරු සංගීතයෙන් හැඩගැන්වුණු සුනිල් එදිරිසිංහයන්ගේ අපූරු කටහඬ මේ ගීතයට චමත්කාරයක් එක් කරනවා.

දැන් නම් පිටරට ආයෝජකයන්ට පින් සිද්ධ වෙන්න යහපත් ජීවන තත්වයක් තියෙන ඇඟලුම් කම්හල් අපේ රටෙත් තියෙනවා. එහෙම පහසුකම් වැඩ කරන අයට දුන්නේ නැත්තම් තමන්ගේ ඇඟළුම් ඇණවුම් ඒ ආයෝජකයන් ප්‍රතික්ෂේප කරන නිසාම තමයි එහෙම වෙලා තියෙන්නේ. ඉස්සර ටැප් එකෙන් වතුර බොන්න තිබුණු කම්හල් වල දැන් හොට් වෝටර්, කූල් වෝටර් පහසුකම්, ඉයර් ප්ලග්ස් තියෙන්නේ ඒ නිසාම තමයි. වටපිටේ ලස්සනට මල් වවලා තියෙන්නෙත් ඒ නිසාමයි. ඒ වුනත් ඒ පහසුකම් හැම තැනම ව්‍යාප්ත වෙලා නෑ කියන එකත් පිළිගන්න ඕන...ගොඩක්දෙනා පිලිගන්න අකමැති යථාර්තයක් තමයි ඇඟළුම් සේවිකාවොත් මේ රටේ කොටසක් කියන එක. සමහරවිට ඒ අය උගත් කමින් අඩු ඇති . නමුත් ඒ අයත් මිනිස්සු බව අමතක කරන්න නරකයි...

video

15 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලාබයි...ලාබයි... කාබයිඩ් එක්ක පළතුරු ලාබයි.....!




ටවුන් එකේ පේමන්ට් එකක ඇවිදගෙන යනගමන් බැරිවෙලාවත් පළතුරු ලෑල්ලක් දිහා බැලුවොත් ඇති , ඒ ලෑල්ලේ තියෙන පළතුරු දෙක තුනක් ෂොපින් එකකට දාලා දෙන මට්ටමට අපේ වෙළෙන්දෝ දියුණුයි දැන්. ඒ එයාලා අපේ පෝෂණය ගැන ගොඩාක් උනන්දු නිසාද කියලා කියන්න නම් මම දන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිරෝගී කෙනෙක් දවසකට පළතුරු 300g-400g වත් කෑමට ගන්නේ නැත්තම් හරිම වැරදියි කියලා! පළතුරු වෙළෙන්දෝ පැත්තකින් තියමුකෝ, මේ එළවළු වෙළෙන්දෝ එක්ක නම් මට හරිම තරහයි ඊයේ පෙරේදා දවසක ඉඳන් , ඒ මොකද දන්නවද? ඊයේ පෙරේදා දවසක අපේ ගෙදරට ගෙනාව තක්කාලි ගෙඩි වලටත් මේ මිනිස්සු රසායනික(කාබයිඩ්) දාලානේ. හොයාගත්තේ කොහොමද කියලා පස්සේ කියන්නම්කෝ... හැබැයි ඔයාලා දන්නවනේ මේ කාබයිඩ් කියන රසායනිකය අහිතකර එකක් කියලා. බලමු මේ කාබයිඩ් කියන්නේ මොකක්ද කියලා!

කාබයිඩ් කියන්නේ CaC2 කියන රසායනික සංයෝගය. සාමාන්‍යයෙන් මේ කාබයිඩ් පළතුරු/එළවළු වලට එකතු කරන්නේ ජලයත් එක්ක එකතු කරලා. එතකොට සිද්ධ වෙන්නේ මේ රසායනික ප්‍රතික්‍රියාව,
CaC2+ H2O --> Ca(OH)2 + C2H2

ඒකේ ප්‍රතිඵලයක් විදියට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇසිටලීන් වායුව නිකුත් වෙනවා. කලින් සඳහන් කල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පළතුරු ලෙල්ල මත තැන්පත් වෙනවා වගේම ලෙල්ල ඇතුලට වුනත් කාන්දු වෙන්න ඉඩ තියෙනවා. හිතන්නකෝ ඇපල් වගේ පළතුරකට කාබයිඩ් වලින් වෙන හානිය!! ඊට අමතරව බැරලෝහ (ආසනික්, කැඩ්මියම්... ) වගේ දේවලුත් මේවා කන අපේ ඇඟ ඇතුළට ඇතුළු වීමේ අවදානම තියෙනවා. මේ බැරලෝහ කියන්නේ උග්‍ර විෂ කියලා හිතාගන්නකෝ ඒ ගැන ලොකු දැනුමක් නැත්තම්. මේ බැර ලෝහ නිසා අක්මාගත රෝග, වකුගඩු රෝග, පෙනහළු රෝග, සමේ රෝග… වගේ රෝග හටගැනීමේ හැකියාවක් තියෙනවා. හා හා.. බයවෙන්නෙපා පළතුරු ගෙඩියක් දෙකක් කෑවට මෙහෙම වෙන්නේ නෑ, ඒකට කාලයක් යනවා!!!

දැන් බලමු පළතුරු/එළවළු වලට කාබයිඩ් දැම්මාම මොනාද වෙන්නේ කියලා. මතකයිනේ මම කිව්වා කාබයිඩ් වලට ජලය එකතු කලා ම ඇසිටලීන් වායුව නිකුත් වෙනවා කියලා! ඔය ඇසිටලීන් වායුවෙන් වෙන්නේ අදාළ පළතුරු/එළවළු වල ලෙල්ල වර්ණවත් වෙන එක තමයි. ගෙඩියේ ඉදීමට/පැසීමට මේකෙන් බලපෑමක් නැහැ. කහ පාට වෙලා නිසා ඉදිලා ඇති කියලා හිතලා අපිත් ගන්නවා, ඒත් ගෙදර ගිහින් බැලුවම ඉදිලා නෑ! ඉදීමට/පැසීමට බලපාන්නේ එතිලීන් කියන වායුව. ඒ මඟින් ස්වාභාවික ව සිද්ධ වෙන, පළතුරේ ඇති අම්ලය හා පිෂ්ඨය, සුක්‍රෝස්(සීනී) බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය උත්තේජනය කරන එකයි කෙරෙන්නේ. මතකද අපේ පැරැන්නෝ කෙසෙල් ඉදවන්න වලකට කොළ ජාති එක්ක කෙසෙල් කැන දාලා දුම් ගහනවා. ඒකෙදි වෙන්නේ මේ බූව සහිත කොල වර්ග රත් වෙද්දි එතිලීන් වායුව නිකුත් වීමයි, එතකොට මම අර ඉහලින් කිව්ව ක්‍රියාවලිය උත්තේජනය වෙලා කෙසෙල් ඉක්මනට ඉදෙනවා.


හරි විදියට බැලුවොත් නම් 1993 අංක 788/7 දරන අහාර පනත අනූව කාබයිඩ් වලින් පලතුරු ඉදවන එක නම් සපුරා තහනම්. ඒ වුනාට අපේ අයියලා ඕවා බලන්නේ නෑනේ, පැහිලා නැති පළතුරු වුනත් විකුණාගන්න තත්වෙට පත් කරගන්න ලේසි ක්‍රමේ නේ. දැන් කියන්නම්කෝ කොහොමද මේ කාබයිඩ් සහිත පලතුරු හඳුනාගන්නේ කියලා. ලේසිම නති වුනත් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් අමාරුත් නෑ. සාමාන්‍යයෙන් පලතුරු ඉදෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ කියන්නේ නැට්ට ළඟ ඉඳන් පහලටනේ. මතක් කරගන්නකෝ කෙසෙල් කැනක්, අඹ ගෙඩියක් එහෙම... ඔය කියන පළතුරු ගෙඩිය/කැන පුරා ම ඒකාකාරී ව ඉදිලා තියෙනවා නම්, එහෙමත් නැත්තම් තැනින් තැන ඉදිලා තියෙනවා නම් ඔන්න කාබයිඩ් ගෙඩියක්!!!!

එහෙම කියලා පලතුරු නොකා එහෙම ඉන්න එපා හොඳද... මම කියන්නේ කාබයිඩ් ගෙඩි කන්න එපා කියලයි, ඒ නිසා පරෙස්සම් වෙන්න, සල්ලි දීලා ලෙඩ ගන්න එපා! ඒ නිසා අද ඉඳලා පළතුරු/එළවළු ගන්නකොට සැලකිලිමත් වෙන්න අමතක කරන්නෙපා!

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හොඳම යාළුවෝ (ගැහැණු/පිරිමී…) වෙන්න පුළුවන් කාටද????



යාළුවෝ...මාළුවෝ අපි හැමෝටම ඉන්නවනේ. ඒ වුනත් විශ්වාසවන්ත යාළුවෝ ඉන්නේ කීදෙනාද නේද? එහෙම යාළුවෝ නම් ඉන්නේ බොහොම ටික දෙනයි. තව සමහරු පණ දෙන්න වගේ ඉන්නවා, මොනාහරි සිද්ධියක් වුණා ම තමයි එයාලගේ යාළුකම තේරෙන්නේ. හරියට කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ! ඇයි තව සමහරු ඉන්නවා අපේ හැමදේම අහගෙන ඉඳලා රට වටේ පතුරවන අය...අපි හැමෝටම ඔය වගේ අය අඩු වැඩි වශ්යෙන් ඉන්නවා. අද කතාව කියන්න යන්නෙත් මේ අපූරු යාළුකම ගැන. අපිට ඉන්න යාළුවන්ගෙන් හොඳම යාළුවෝ වෙන්නෙ පිරිමි අයද ගැහැණු අයද?? ලොකු ප්‍රශ්නයක් නේද? එහෙනම් කියවලා බලන්නකෝ මේ කතාව...

ඔන්න දවසක් බිරිඳට රාත්‍රියේ ගෙදර එන්න බැරිවෙලා. පහුවෙනිදා බිරිඳ ගෙදර ආවා ම සැමියා අහලා ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. ඇය කියලා ඊයේ රෑ හිටියේ ඇගේ මිතුරියකගේ ගෙදරක කියලා. ඉතින් සැමියා ඇගේ හොඳම මිතුරියන් කියලා දන්න දහදෙනෙකුට කෝල් කරලා අහලා ඒ ගැන. ඒ හැමෝම කියලා තියෙන්නේ ඇය ඔවුන්ගේ ගෙදර හිටියේ නෑ කියලා.

එතනින් ඒ කතාව ඉවරයි. ඔන්න තවත් දවසක සැමියාට රෑ ගෙදර එන්න බැරිවෙලා. පහුවෙනිදා ඔහු ගෙදර ආවා ම සුපුරුදු පරිදි බිරිඳ අහලා ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. සැමියත් කියලා එයාගේ හොඳම යාළුවෙක්ගේ ගෙදර හිටියේ කියලා. ඉතින් බිරිඳත් මේක අහලා සැමියාගේ හොඳම යාළුවෝ කියලා දන්න දහ දෙනෙකුට කෝල් කරලා අහලා මේ ගැන. ඒ දහදෙනාගෙන් පස්දෙනෙක් ම කියලා තියෙන්නේ ඇගේ සැමියා ඊයේ රෑ හිටියේ ඔවුන් එක්කමයි කියලා. අනිත් අය පස්දෙනා කියලා ඇගේ සැමියා ඊයේ රෑ ඉඳන් තාමත් ඉන්නේ එයාලා එක්කමයි කියලා...........

මේ මට ඊමේල් එකකින් ආව කතාවක්. අපූරුයි නේද එක එක්කෙනාගේ යාළුකම් වල තරම! ඔයාලාට නම් මේ ගැන හොඳ හොඳ අදහස් ඇති මේ ගැන, ඉතින් ඒවා පහළින් සටහන් කරලා යන්න අමතක කරන්නෙපා.....

16 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කැළණිතිස්ස රජතුමා සහ උණුතෙල් කටාරම...



අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.

කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහන වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා රහතන් වහන්සේ නමක් පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර රහතන් වහන්සේ ගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.

මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි මැස්සෙක් එක්ක කිරි මුට්ටියක් උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....

අපි නොසැලකිල්ලෙන් කරන පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනා ම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නෑ අපි කාටවත් ම....එහෙම නේද? ඔයාලට හිතෙන්නේ මොනාද කියලත් කියලා ම යන්නකෝ කැමති නම් පහළින්!!!

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දැන් කාලේ ඉන්න බුද්ධිමත් පොඩ්ඩෝ...!




මේ කතාව මම පත්තරේක දැක්ක එකක්. ඒත් ටිකක් විතර වෙනස් අත්දැකීමක් වේවී දෝ කියලා හිතුන නිසා ලියන්න හිතුවා. අපි පොඩි කාලේ හැසිරීමයි, දැන් කාලේ ඉන්න පොඩි වුන්ගේ හැසිරීමයි බලද්දි ලොකු වෙනසක් දැනෙනවා නේද... සමහරුන්ට හිතෙයි දැන් කාලේ ඉන්න එවුන් නම් ගන්න දෙයක් නෑ කියලා, ඒත් සමහරුන්ට නම් ඒක ගානක් නෑ. මට නම් හිතෙන විදියට ඒක තමයි පරම්පරා ඝට්ටනය කියලා කියන්නේ. මොකද අපි පොඩිකාලේ ඉද්දී අපේ වැඩිහිටියොත් එයාලගේ ළමාවිය අපෙත් එක්ක සංසන්දනය කරලා එහෙම ම කියන්න ඇති. ඒ නිසා ම අපිත් එහෙම කියනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ. කොහොම උනත් මට හිතෙන තව දෙයක් තමයි අපිත් එක්ක බලද්දි දැන් ඉන්න පුංචි ළමයි වයසටත් වඩා බුද්ධිමත් කියලා. ඔයාලා මොනවද හිතන්නේ ඒ ගැන? ම්ම්ම්.... වැල්වටාරම් ඇති වගේ නේද.. කතාව කියවලා ම ඉමුකෝ එහෙනම්!

මේ ඇමෙරිකන් කතාවක්. ඔන්න එක අම්මා කෙනෙක් තමන්ගේ පුංචි පුතණ්ඩියාවත් වාහනේට දාගෙන තමන්ගේ යාළුවෙක්ගේ ගෙදර යන්න පිටත්වුනා. පුත්‍රයා මග දිගට තොරතෝංචියක් නැතුව කතාව. කියවනවා කියවනවා ඉවරයක් නැතුව ම. දන්නවනේ පොඩි අය කියවන්න ගියා ම කටට බ්‍රේක් නෑනේ. ඔන්න පුතා අම්මාගෙන් මේ විදියේ ප්‍රශ්නයක් අහනවා. "අම්මේ අම්මේ... අම්මගේ වයස කීයද ?" පුතා... ඔයා දැනගන්නෝන ගෑණු අයගෙන් වයස අහන එක හොඳ පුරුද්දක් නෙවෙයි, ඔන්න අම්මා පොඩි එකාට ඒ ගැන දේශනාවක් දෙනවා. ඒක ඉවර උන ගමන් ම තව ප්‍රශ්නයක්. "අම්මේ අම්මේ... අම්මගේ බර කීයද? " පුතා... ඔයාට මොකටද ඕවා..?? අම්මා ටිකක් විතර දෝස්මුරයක් දැම්මා.. පොඩ්ඩා ටික වෙලාවක් යනකල් සද්ද නෑ.. පොඩි එකාට ප්‍රශ්න නම් හිතේ තෙරපෙනවා. ඒත් අහන්න විදියක් නෑනේ. ඔන්න ටික වෙලාවකින් ආයෙත් ප්‍රශ්නයක්. "අම්මේ අම්මේ... අම්මා තාත්තාගෙන් ඩිවෝස් වුනේ ඇයි?? " ඒ සැරේ නම් අම්මාට ලෙල්ලටම තද වුනා. "පුතා.. ඔයාට ඕන දේත් තියෙනවා, එපා දේත් තියෙනවා හොඳද, වයසේ හැටියට හැදෙන්න..." අම්මා ඒ ටික කිව්ව ස්වරෙට පොඩි එකාට ප්‍රශ්න අහන්න තියා කතා කරන්නවත් බය හිතුනා. ඒත් අහන්න ප්‍රශ්න නම් කෝටියයි.

ඔන්න ඔයින් මෙයින් අම්මා යාළුවාගේ ගෙදරටත් ආවා ඔන්න. එහෙත් හිටියා ඒ වයසෙම පොඩ්ඩෙක්. මුලින් මුලින් ඇඹරි ඇඹරි ඉඳලා කොල්ලෝ දෙන්නා සෙට් වුනා සෙල්ලමට, දැන් ගජ යාළුවෝ. ඒ අතරේ එක්කෙනෙක් වාහනේ එද්දි වුන සිද්ධිය අකුරක් නෑර යාළුවට කිව්වා. අනිත් පොඩි එකා කිව්වලු "අයියෝ මම නම් ඕවා දැනගෙන ගොඩාක් කල්, ඒක හරි සිම්පල්නේ" අනිත් එක්කෙනාට හිතුනලු මූ නම් මාර වැඩ්ඩෙක්නේ කියලා. "අම්මගේ ඩ්‍රයිවින් ලයිසන් එකේ ඔය සේරම විස්තර තියෙනවනේ " ඔන්න වැඩේ කරන හැටි කියලත් දුන්නා යාළුවට. ඉතින් මේ පොඩ්ඩත් අම්මා ටිකක් එහෙට මෙහෙට වෙනකල් ඉඳලා ඩ්‍රයිවින් ලයිසන් එක අරන් ඔක්කොම විස්තර බලාගත්තා. ඔන්න දැන් දෙන්නා ආපහු යනගමන්. දැන් ඉතින් අම්මාගේ මූඩ් එක හොඳයිනේ. පොඩ්ඩගේ කටට ආයෙත් පණ ආවා. මෙන්න ඇතිවුන දෙබස...



පුතා: මම අම්මාගේ වයස දන්නවා.. !(කොල්ලත් වැඩ්ඩා වගේ කියනවා!)
අම්මා : හා.. කියන්න බලන්න එහෙනම්.
පුතා : 33 යි. හරිද? මම අම්මගේ බරත් දන්නවා!
අම්මා : හා.. කියන්න බලන්න.
පුතා : කිලෝ 65යි නේ! තාත්තා අම්මාගෙන් ඩිවෝස් වුනේ ඇයි කියලත් මම දන්නවා!
අම්මා : ඒ මොකද?
පුතා : අම්මා sex ෆේල්. අම්මාට sex වලට තියෙන්නේ F එකක්!!!!

දැන් කාලේ ඉන්න එවුන් හැදිලා තියෙන හැටි නේද! අපි වුනත් පොඩි අය එක්ක වැඩ කරනකොට කොයිතරම් නම් හිතන්නෝනද නේද!!! (උඩ ෆොටෝ එක හෙමීට බැලුවොත් ඔයාලටත් පෙනේවි sex වලට F කියලා! ). යනගමන් මොනාහරි කියාගෙන ම යන්න!

12 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !