මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???


කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින් අවකාශයට වෙලා පාවෙමින් ඉන්නවා අන්තරාභවයක ආයෙත් ඉපදීමක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බයෙක් විදියට කියලා. තවත් සමහරු කියනවා මැරුණට පස්සේ ඒ කෙනාගේ ආත්මය විශේෂිත ස්ථානයකට ගමන් කරනවා, ආයෙත් මේ ලෝකේ ඉපදීමක් නම් නැහැ කියලා. ඔය වගේ විවිධ අදහස් අහන්න ලැබෙනවනේ. හැබැයි මත ගොඩක් තිබුණට ඒ හැම එකක් ම හරි වෙන්නත් බැහැනේ. නිවැරදි වෙන්න පුළුවන් ඒ අතරින් එකකට විතරයිනේ, එතකොට අනිත් ඒවා ඔක්කොම වැරදි වෙන්න ඕන. ඉතින් මේ උත්සහය හරි ම දේ මොකක්ද කියලා හොයාගෙන යන්නයි. පුළුවන් තරම් සරල ව ලියන්න තමයි මම උත්සහ කළේ. ඒ නිසා අන්තිම වෙනකල් ම කියවගෙන යන්න, එතකොට ප්‍රමාණවත් අවබෝධයක් ලැබේවි.


කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, ඒ අන්තර්භවය හෙවත් අන්තරාභවය කියන එක ගොඩක් ජනප්‍රිය අදහසක්. ඒ වගේ ම ගොඩක් පැරණි එකක්. හරියටම කියනවනම් අවුරුදු 2300 ක් පැරණියි. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන කාලාශෝක රජතුමාගේ කාලයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් රේවත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව සිදුකළා. ඒකෙදි දස වස්තුව බුදු සසුනට අකැපයි කියලා තීරණය කරලා ඒ දස වස්තුව පිළිගත්ත භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක නමින් හැඳින්වුණ භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් ධර්ම සංගායනාවකුත් පැවැත්වූවා. විශාල පිරිස් පවා අනුගාමිකයන් විදියට හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය, තවත් අනු නිකාය 17 කට කැඩිලා ගියා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය නිකාය කොටස් දෙක තමා මේ මනුලොව ඉපදෙන අයට අන්තරාභවයක් තිබේය කියලා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.


දැන් බලමුකෝ මේ අන්තරාභවය කියලා ඒ අය අදහස් කරන්නේ මොකක්ද කියලා. මරණයෙන් පස්සෙ දෙව්ලොවට, සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ අයට අන්තරාභවයක් කියලා දෙයක් නැහැ. ඒ වුණත් මිනිස් ලොව උපදින්න ඉන්න අය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාමකයෙන් විතරක් ඉන්න ගමන් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් හෝ ඊටත් වැඩිය කාලයක් ඉන්නවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. ඒ අතරෙදි සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් ප්‍රතිසන්ධියක් හෙවත් උපතක් ලබාගන්නවා. ඒක තමයි අන්තරාභවය ගැන තියෙන ප්‍රකට ම පිළිගැනීම. මේ අදහස දිගින් දිගට ම ඇවිත් ධර්මාශෝක රජතුමාගේ කාලයෙත් මේ අදහස පැතිරුණා. ඒ නිසා ම ඒ කාලයෙදි පැවැත්වුණ තුන්වෙනි ධර්ම සංගායනාවටත් මේ අදහස ඇතුළත් වුණා. ඒකෙදි මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ නිවැරදි ව මේ ප්‍රශ්නය විසඳනවා වගේ ම ඒක අන්තරාභව වාදය විදියට ඒ කාලේ රචනා වුණ කතාවත්ථු ප‍්‍රකරණය කියන ග්‍රන්ථයටත් ඇතුළත් වෙනවා.

අන්තරාභවයේදී විස්තර වෙන විදියට මැරුණට පස්සෙ රූපයක් නෑ, නාම කයක් විතරයිනේ. ඒ කියන්නෙ සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවත් කියනවා. හැබැයි ගැටළුව තමයි රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද, ගන්ධය ආඝ‍්‍රාණය කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට අන්තරාභවිකයා බලා ඉන්නව කියනවා හොඳ මවුපිය දෙදෙනෙක් ප්‍රතිසන්ධිය හෙවත් උපත සඳහා. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ව, අංග විකලව, පහත් කුලයන් වල මිනිස්සු උපදින්න හේතුවක් නැහැනේ. තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එතකොට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය. අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙමේ විදියට සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා ඉන්නවා කියන එකත් එතකොට ප්‍රශ්නාර්ථයක් විතරයි තවත්.


ගන්ධබ්බයා කියන වචනයත් ගොඩාක් භාවිතා වෙන වචනයක්, එහි නිවැරදි තේරුම දැන හෝ නොදැන. ගන්ධබ්බ කියන වචනය ධර්මයේ එක එක තැන් වල විවිධ අර්ථ ඇතුව කියැවෙනවා. උදාහරණය විදියට මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙන 'ගන්ධබ්බ' කියන වචනය, මරණයෙන් අනතුරුව උපතක් ලබා ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි අදහස් කරන්නෙ. ඒ අනුව රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයනුත් නැවත උත්පත්තිය ලබන නිසා ගන්ධබ්බ නම් වෙනවා. ඒ කියන්නේ දැන් ජීවත්ව සිටින අපිවත් ගන්ධබ්බ කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. මහ පිරිතේ අඩංගු ආටානාටිය සූත්‍රයේ එක්තරා තැනක තියෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා විදියට. මෙතනදි අදහස් කරන්නේ චාතුර් මහාරාජික දිව්‍ය ලෝකයට අයිති වීණා වාදනය කරන දිව්‍ය පිරිසක්. මේ විදියට එක එක තැන් වල දැක්වෙන තේරුම එකිනෙකට වෙනස්.

ඊළඟ අහසේ පාවෙමින් ඉන්නවා කියන අවස්ථාව ගැන කියනවා නම් එහෙම ඉන්න එක ම කොට්ඨාසය ප්‍රේතයන් වර්ගයක් විතරයි. ඕපපාතික ව හෙවත් ඉබේ ම පහළ වෙන මේ ප්‍රේතයන් ව සාමාන්‍ය පුද්ගලයන්ට දකින්න හැකියාවක් නැහැ. ඒ වගේ ම ඒ ප්‍රේතයන් ඒ විදියට අවකාශයේ රැඳී ඉන්නෙ ඍද්ධි බලයකින් නෙවෙයි, ඒකට කියන්නේ කර්මවිපාකජසෘද්ධිය කියලයි. ඒ කියන්නේ ඒකත් කර්ම විපාකයක් නිසා ලැබෙන දෙයකුයි. ඒ වගේ ම කෙනෙකුට හිතෙන්න පුලුවන්, ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ කියලා ? කෙනෙකුගේ උපත, මරණය සිද්ධවෙන්නේ කර්ම විපාකයට අනුවමයි. ඒ අනුව කෙනෙක් මරණයට පත්වෙද්දි ඒ පුද්ගලයාට ඉපදීම පිණිස මව්කුසක් හෝ වෙනයම් තැනක් සැකසිලා ඉවරයි තමන්ට හිමි කර්මය අනුව.


කෙටියෙන් ම කියනව නම් පුද්ගලයෙක් මැරුණට පස්සේ, ශක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා ගිහින් ඉවරයි. ඒ කියන්නේ ක්ෂණිකව ම. මේ විදියට තමයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ඒ නිසා මේ වෙනකල් වැරදි අදහසක් එහෙම හිතේ තියාගෙන හිටියනම් ඔන්න දැන් ඒක අතාරින්න කාලය. අද ඉල් පුර පෝය දවසනේ. ඉල් පෝය දවසෙදි සිදුවුණ වැදගත් සිදුවීම් තමයි මේ.


  • මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම
  • ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යැවීම
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරවීම
  • තව්තිසා දෙව් ලොව සිට මිනිස්‌ ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහණය දේශනා කිරීම
  • සැරියුත් මහරහතන්ගේ පිරිනිවන් පෑම
  • පසුවස්‌ පවාරණය
  • කඨින චීවර පූජා කළ හැකි චීවර මාසයේ අවසාන දිනය

පසුවදන : සටහන ටිකක් බරපතල වැඩි ද මන්දා, හැබැයි ඉවසීමෙන් කියෙව්වොත් නම් යමක් තේරුම් ගන්නත් පුළුවන්. මේ සටහන ලියන්න ආලෝකෝ උදපාදි සඟරාවේ, පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ සමඟ තිබුණ සාකච්ඡාවක් උදව් වුණා වගේ ම පෝය ගැන විස්තර ගත්තේ Express Puwath අඩවියෙන්. පින්තූරය ගත්තේ මෙතනින්

79 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇසිල්ලකින් කාන්තාවක් වුණ සොරෙය්‍ය සිටුවරයා...


කර්ම විපාක කියලා කියන්නෙ අපි හැමෝටම භේදයකින් තොරව ම අපි කරන කියන හිතන දේවලට අනුව අත්විඳින්න වෙන දෙයක්නේ. ඒක බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලා ට පවා පොදු වුණ දෙයක්. අපි කරන හොඳ වැඩ වලට පින් එකතු වෙනවා වගේ ම නරක දේවලට ඒ හා සමානව ම පව් ත් රැස්වෙනවා. අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් බලවත් වෙලා තියෙන තරමට පව් වල විපාක බලවත් වෙන්නෙ නැහැ. හැබැයි අර පින් දුර්වල වුණ ගමන් ම පව් වල විපාක ප්‍රබල වෙනවා. ඒකනේ සමහර අය කියන්නේ සමහරක් අය කොයිතරම් නරක වැඩ කළත් එයාලට කිසි ම කරදරයක් නැහැ, සැපෙන් ඉන්නවා. අපිට තමයි ඔක්කොම කරදර කියලා. අද කතාව, තමන්ගේ අකුසල සිතිවිල්ලක් ඒ වෙලාවෙම විපාක ලබාදුන්න සොරෙය්‍ය සිටුවරයා ගැනයි.

සැවැත් නුවර සමීපයෙහි සොරෙය්‍ය කියන නගරයේ සොරෙය්‍ය නමින් සිටුවරයෙක් වාසය කළා. විවාහ වුණ බිරිඳට වාසනාවන්ත දරු දෙදෙනෙකුත් ලැබුණා. පියෙකු වුණ සිටුවරයා තම බිරියට ද දරුවන්ට ද යුතුකම් නොපරිහෙළා ඉටුකරන්නත් අමතක කළේ නැහැ.



දවසක් යහළු පිරිවරත් සමග සිටුවරයා නාන්නට ගංඟාවකට යන්න කල්පනා කරලා අවශ්‍ය දෑ සූදානම් කරගෙන ඒ සඳහා පිටත් වුණා. ගංගාව ආසන්නයට ළං වෙද්දී ගඟෙහි පැන් පහසු වෙමින් සිටිය මහා කච්චායන රහතන් වහන්සේ ස්නානය අවසන් කරලා ගොඩට ඇවිත් පිඩු සිඟා වඩින්නට සිවුරු පොරවමින් තමයි හිටියේ. කච්චායන තෙරුන් කියලා කියන්නේ ඒ කාලේ මහතෙරුන් අතර වැඩසිටිය රූපයෙන් අග්‍ර ම තෙරුන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට බැබළෙන රන්වන් ශරීරයක් තිබුණා. උන්වහන්සේ චීවරය සකසා පොරවමින් ඉද්දි සොරෙය්‍ය සිටුවරයා උන්වහන්සේගේ රන්වන් සිරුර ක්ෂණික ව දැක්කා. එවිට සොරෙය්‍ය සිටුවරයාට එක්වරම සිතිවිලි දෙකක් පහළ වුණා. පළමු සිතිවිල්ල, අනේ මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම් කෙතරම් අගනේ ද යනුවෙනුත් දෙවැනි සිතිවිල්ල විදියට මගේ භාර්යාව මේ වැනි රන්වන් ශරීර වර්ණයෙන් යුතු වූවා නම් කෙතරම් අගනේද කියලත්.

මේ උමතු සිතිවිල්ලකි නිසා ම සොරෙය්‍ය සිටුවරයා ක්ෂණිකව ම ලිංග විපර්යාසයකට බඳුන් වුණා. ඔහුගේ පිරිමි බව අතුරුදන් වෙලා කාන්තාවක් බවට හැරුණා. ඒ බව තේරුණ සොරෙය්‍ය සිටුවරයා අතිශයින්ම ලජ්ජාවට පත්වෙලා තම යහළු පිරිවරට නොදැනෙන්නට පලා ගියා. පලා ගිය ඇය(කලින් සොරෙය්‍ය සිටුවරයා) තක්සලා නුවරට යන පාරට ඇවිත් එහිදී වෙළෙඳ කණ්ඩායමක් හමු වෙලා ඒ පසු පස තක්සලා නුවර කරා ගමන් කරන්නට පටන් ගත්තා. නාන්නට පැමිණි යාළුවෝ තම මිත්‍රයා එහි නැහැ කියලා දැකලා ගඟේ ගිලිලා මැරුණා කියලා හිතලා ඥාතින් එක්ක එකතුවෙලා ශෝක වෙලා දන් පැන් පිරිනමලා පින් පැමිණුවා.

තක්සලා නුවරට යන ඇය(කලින් සොරෙය්‍ය සිටුවරයා) එහි සිටුපුත්‍රයාත් එක්ක විවාහ වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට දරුවන් දෙන්නෙකුත් බිහිකරනවා. පියෙකු ලෙස දරුවන් දෙන්නෙක් ලද සොරෙය්‍ය සිටුවරයා මවක් ලෙසත් දරුවන් දෙන්නෙක් ලබනවා. දවසක් ඇය තම මැදුරේ උඩුමහලේ කවුළුවකින් පාර දෙස බලාගෙන ඉද්දි අතීතයේ තමා සමඟ දිය නාන්නට ගංඟාවට ගිය තමන්ගේ සමීප මිත්‍රයෙක් පාරේ යනවා දැකලා දාසියක් යවලා මැදුරට ගෙන්වාගෙන බොහෝ සත්කාර කරනවා 

එවිට ඒ කෙනා අහනවා තමන්ට මේ විදියට සංග්‍රහ කරන්නේ ඇයි?, මීට පෙර තමා හඳුනනවාද? යනාදි වශයෙන් ප්‍රශ්න ගොඩක්. එවිට ඇය කියනවා, "මිත්‍රය ඔබ මම හොඳින් හඳුනමි. ඔබ සොරෙය්‍ය නුවර වැසියෙකු නෙවේද?" ආදි වශයෙන්. එසේය සොඳුර කියලා පිළිතුරු දෙන මිත්‍රයාට තම කලින් නිවසේ තොරතුරු සියල්ල නොවලහා කියල ඇය සොරොය්‍ය සිටුවරයා පිළිබඳවත් විමසනවා. එතකොට යාළුවා කියනවා ඔහු මිය ගිහින් බොහෝ කල් කියලා. එවිට ඇය ඒ සිටුපුත්‍රයා තමා බව හඳුන්වලා දෙනවා. මේ හමුවීමෙන් විස්මයට පත්වෙන මිත්‍රයා ඇයගෙන් තවදුරටත් තොරතුරු විමසනවා. එවිට එම අතීත සිදුවීම මුල සිට අග දක්වා ඇය කියන ඇය, දැන් තමාට නැවත පිරිමියෙකු වෙලා සොරෙය්‍ය නගරට යා යුතු බවත් ඒ සඳහා කච්චායන මහ රහතන් වහන්සේ හමු වෙලා පාපොච්චාරණයක් කොට සමාව ගත යුතු බවත් ඒ සඳහා මහා කච්චායන රහතන් වහන්සේ තම නිවසට දානය සඳහා වඩමවා දෙන්නැයි බැගෑපත්ව ඇය තමගේ මිතුරාගෙන් ඉල්ලා සිටිනවා.

ඇයට සිදුව ඇති ඇබැද්දිය තේරුම් ගත්ත මිත්‍රයා මහා කච්චායන රහතන් වහන්සේ හමුවෙලා එම නිවසේ පසුදින දානයට වඩින්නට ආරාධනා කරනවා. උන්වහන්සේ ආරාධනාව පිළිගෙන පසුදින ඇගේ නිවසට වැඩම කළ කරනවා. ඇය උන්වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා උන්වහන්සේ වෙතින් සමාව භජනය කළාය. ඇය තෙරුන් වහන්සේට තෙරුන් වහන්සේට සිදුවූ සියල්ල පාපොච්චාරණය කළා. කච්චායන මහ රහතන් වහන්සේ, තමන් හේතුකොට ගෙන සොරෙය්‍ය සිටුවරයා තුළ හටගත්ත රාගසිතිවිලි වලට සමාව දෙනවා. ඒත් එක්ක ම ඇය නැවත වරක් පිරිමියෙකු බවට පත් වෙනවා.

සොරෙය්‍ය සිටුවරයාට අකුසල කර්මය හේතුවෙන් එකම භවයෙක චරිත තුනක් විදියට හැසිරෙන්නට සිද්ධවුණා. ඒ පියෙකු, මවක ලෙස හා නැවත පියෙකු ලෙස. ඒ බව මෙනෙහි කරන සොරෙය්‍ය සිටුවරයා සංසාරයේ කිසිදා මේ විදියට විප්‍රකාරයට පත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් මහා කච්චායන රහතන් වහන්සේ වෙතින් පැවිදි වෙන්නට ආයාචනා කරනවා. දරුවන් සිප වැළඳ පියාට භාර දුන්න සොරෙය්‍ය සිටුවරයා, තෙරුන් වහන්සේ ළඟ පැවිදි බව ලබලා සොරෙය්‍ය තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණා. මේ තොරතුරු ඇහුව බොහෝ දෙනා උන්වහන්සේ වෙතට ඇවිත්ජීවිත ගණනක සංකීර්ණත්වය විමසන්න පටන්ගත්තා. ඒ අතර තවත් අය ඇහුවේ පියෙකු ලෙස ලද දරුවන් දෙදෙනා හා මවක ලෙස ලද දරුවන් අතරින් වඩා සෙනෙහවන්ත කවර දරුවන් දෙදෙනාටද කියා. සොරෙය්‍ය තෙරුන් වහන්සේ කියා සිටියේ තමන්ගේ කුසෙහි උපන් දරු දෙදෙනාට වඩා සෙනෙහෙබර බවයි. බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයට මේ විදියට පිළිතුරු දුන් උන්වහන්සේ තවත් කල් යද්දි, කිසිවෙකුට හෝ සෙනෙහෙවන්ත නැතැයි කියන්නට පටන් ගත්තා. මිනිස්සු බුදුරජාණන් වහන්සේ හමුවෙලා සොරෙය්‍ය තෙරුන් බොරු කියති’යි කියලා පැමිණිලි කරන්න පටන්ගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ සොරෙය්‍ය තෙරුන් වහන්සේ මාර්ග ඤාණ උපදවා ගත් වේලෙහි පටන් කිසිවකු කෙරෙහි ස්නේහයක් හෝ බැඳීමක් නැහැ කියලයි.

රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ගුණධර්ම වලින් පරිපූර්ණ කෙනෙක්. ඉතින් ඒ වගේ අය හේතු කරගෙන සිදුවෙන කර්ම වල විපාක(පින්/පව් ) හරි ම ප්‍රබලයි. ඒකයි ක්ෂණික ව සිටුවරයාට තමන්ගේ සිතුවිල්ල විපාක දෙන්න ඇත්තේ. ඒ වගේ ම තමයි දැන් කාලෙ වුණත් ගුණ දහම් වලින් වැඩි අය මූලික කරගෙන සිද්ධ වෙන කර්ම වල විපාක ප්‍රබලයි. ඒ නිසා කෙනෙකුට චෝදනා කරද්දි වුණත් පරෙස්සමෙන්.....

ප.ලි: මේ කතාව ආයෙමත් මතක් වුණේ අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ බුදුසරණ පත්තරේට ලියලා තිබුණ ලිපියක් දැකලයි. මේ දවස් වල හොඳටම කාර්යයබහුලයි. කැම්පස් ස්ට්‍රයික් කාලේ අපි ට්‍රේනින් පටන් ගත්ත නිසා දැන් ලෙක්චර්ස් සති අන්තෙට දාලා. සතියේ දවස් පහේ ම ඔපීසියේ වැඩ. සිකුරාදා රෑ කැම්පස් යනවා, ඉරිදා රෑ වෙලා ආයෙ වැඩට එනවා. සතියෙ මැද එසයිමන්ට් එහෙමත් එනවා අපරාදේ කියන්න බෑ!!! ඒ මදිවට තව සති දෙකකින් විභාගේ පටන් ගන්නවා. ඒකත් සති අන්ත වල තියෙන්නෙ. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන එකක් නම් නැහැ ජනේරුව වෙනකල් ම. අහිතක් හිතන්න එපා ඔන්න!!!!!
 
කර්ම විපාක ගැන තවත් කියවන්න කැමති නම් මේ pdf එක බාගත කරගෙන කියවන්න.

46 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !