අම්මට කොයිතරම් ආදරේද... ගොඩාක්! හැබැයි පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා....


ඇත්තට ම අපි අම්මට, තාත්තට (අප්පච්චිට) කොයිතරම් ආදරෙයිද? අපේ හිතේ ඒ දෙන්නා ගැන තියෙන ආදරය, ගෞරවය ගැන කෙළවරක් අපිට හිතාගන්න බැහැ. අපි මව්කුසට ආව දවසේ ඉඳලා, අපි මේ ලෝකෙ එළිය දකිනකල් ම අම්මා කොයිතරම් පරෙස්සම් වෙනවා ඇතිද? අප්පච්චි, අම්ම ව කොයිතරම් පරෙස්සම් කරනවා ඇතිද? අපි ඉපදුනාට පස්සෙ ලස්සන මලක් පරෙස්සම් කරනවා වගේ, අඩුම තරමේ මැස්සෙක්, මදුරුවෙක් වත් ඇඟේ වහන්නෙ නැතිවෙන්න අපි ව බලාගන්නවා. ඒ අතරේ අපිට ලෙඩක් දුකක් හැදුණොත් දිවා රෑ නොබලා වෙහෙස වෙලා අපි ව සනීප කරනවා. ඇවිදගන්න පුළුවන් වෙන කාලේ ඉඳන් වගේ ම ඊළඟට හොඳ අධ්‍යාපනයක් දීලා, තව හොඳ විවාහයකුත් කරලා දීලා විතරක් එයාලා නවතින්නෙ නැහැ. සමහර වෙලාවට දරුවොන් ගේ දරුවොත් බලාගන්නෙ ඒ අය. බලාගෙන ගියා ම දෙමව්පියෝ අපිට කොයිතරම් නම් උපකාර කරනවද? හැබැයි අපි මොහොතකටවත් හිතුවද ඒ කළ උදව් වලට ප්‍රති උපකාර කරන්නෙ කොහොමද කියලා? සමහරු කියයි වයසට ගියා ම කන්න බොන්න දීලා ලෙඩට බෙහෙත් අරන් දීලා බලාගන්නවා කියලා. තව කියයි උපන්දිනේට/ අවුරුද්දට තෑගි බෝග දීලා කියලා... ඔව්! හරි. ඒවා ගොඩක් හොඳ සිරිත්. හැබැයි එහෙම කළ පමණින් අපිට ප්‍රති උපකාර කරලා සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? හැබැයි ඒකට ඔව් හරි නෑ හරි පිළිතුර ලැබෙන්නෙ අපේ දැනුමේ හැටියටයි. අන්න එතැන තමයි ගැටළුව තියෙන්නෙ අපි හරියටම හරි ද කියලා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, යම් දරුවෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්නා තමන්ගේ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් පුරාවටම ඇප උපස්ථාන කළත්... ඒ දරුවා, දෙමාව්පියන් උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් උදව්කරනව. කන්න බොන්න දෙමින් සලකනව. ඒ දෙමව්පියෝ මළ පහ කිරීම් පවා කරන්නෙ උරහිස් මත්තේ ඉඳගෙනම යි. මේ ආකාරයෙන් දෙමාපියන්ට සැළකුවා වුනත්, ඒ දෙමාපියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වලා අවසන් කරන්න ලැබෙන්නේ නෑ කියල.

ඇත්තටම බැලුවොත් අපි දෙමව්පියන් ට අපි ණයගැතියි නේද. එතකොට අපිට ප්‍රති උපකාර කරන්න/ ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් ඒ මොකක්ද? ඒක තමයි මම මේ කියන්න යන්නේ. අපිට පුළුවන් නම් ශීලයක පිහිටලා නැති දෙමව්පියන් ව ශීලයේ පිහිටුවන්න, ඒක දෙමව්පියන්ට කරන්න පුළුවන් ලොකු උපකාරයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. පන්සිල් සමාදන් වෙලා ඒවා ආරක්ෂා කරන්න දෙමව්පියන් ව උත්සහ කරවන්න පුළුවන් නම්, එහෙමත් නැත්තම් උතුම් අටසිල් හී පිහිටුවන්න/ මාර්ගය පෙන්නලා දෙන්න පුළුවන් නම් ඒක ඒ අයට කරලා දෙන ලොකු ම උදව්වක්.

බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝයා ගැන ශ්‍රද්ධාවක් නැති දෙමව්පියන් ට ශ්‍රද්ධාව ඇතිකරගන්න උදව් කරන්න පුළුවන් නම්! ඒකත් ලොකු උපකාරයක්. ඒ වගේම, දෙමාපියන් දන් පැන් දෙන්න පොළඹවනවා නම්, දන් පැන් දෙන්න දෙමාපියන් උනන්දු කරනවා නම්, අන්න ඒකත් දෙමාපියන්ට කරන ලොකුම උපකාරයක්. ලෝභය දුරුකරන්න, අත්හැරීම කියන ගුණය වැඩිදියුණු කරගන්න උපකාර කරන්න කරන්නෝන. ඒක ඒ අයට ලොකු ලැබීමක්. ප්‍රඥාව මෙහෙයවන්නෙ නැති දෙමව්පියන්ට ප්‍රඥාව මෙහෙයවන්න උදව් කරන්න අපිට පුළුවන් නම් තමයි ඇත්තට ම අපි දෙමව්පියන්ට ආදරේ අය වෙන්නෙ. ධර්මය ගැන දැනුම අඩු දෙමව්පියන් ව දහම් දැනුමේ පිහිටුවන්න අපි උත්සහවත් වෙන්න ඕන. ඒ අයවත් දහමේ හැසිරෙන්න පොළඹවන්න ඕන.

එ නිසා අපි හැමෝම අපිට ගොඩක් උපකාර කල, අපිට ප්‍රමාණ රහිත වූ උපකාර කළ, අපේ දෙමාපියන්ට උපකාර කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් දෙමාපියන් කෙරෙහි ඉතාම කරුණාවෙන්, ඉතාම ගෞරවයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, ඒ සැබෑම උපකාරය කරන්නෝන. සැබෑ උපකාරය තමයි ඒ. දෙමාපියන් තෙරුවන් කෙරෙහි සමාදන් කරවල, තෙරුවන් කෙරෙහි දෙමාපියන් තුළ ප්‍රසාදය උපදවල දෙන්න අපි මහන්සි ගන්න ඕන. සිල්වත් ජීවිතයක් ගත කරන්න දෙමව්පියන්ට උදව් කරන්න ඕනෙ. ඒ වගේම දෙමාපියන් තුළ මසුරුකම දුරුවෙන ආකාරයට, දන් පැන් දීම පිළිබඳව උනන්දුව ඇතිකරවන්න ඕන. කැමැත්ත උපදවල දෙන්න ඕන.

ඒ විදිහට දෙමාපියන්ට මේ ජීවිතය වාසනාවන්ත කරගන්න කියලා දුන්නොත්, දරුවන් විදිහට දෙමාපියන්ට ඇත්ත ම උපකාරය කළ අය බවට පත්වෙනව. ණය ගෙව්ව අය බවට පත්වෙනවා. මේ විදිහට අපි දෙමාපියන්ට උපකාර කළොත්, එමඟින් අපේ ජීවිතයටත් විශාල පිනක් රැස්වෙනව. ඒ විදියට බැලුව ම අපිත් යහපත කරගෙන, දෙමාපියන්ටත් සැබෑම යහපත උපදවල දෙන්න තරම් හැකියාව අපට ලැබෙනවා. හැබැයි ඉතින් මේක කරන්න බෑ අපි මේ මාර්ගයේ යන්නෙ නැතුව. අර කවියකුත් තියෙන්නෙ "ඔවා දෙනු පර හට, තමා සම්මතෙහි පිහිටා සිට" කියලා. ඒ නිසා අපි මේ මාර්ගයේ ගමන් නොකර එහෙම දෙමව්පියන්ට උදව් කරන්නත් අමාරුයි. …කිසිම දෙයක් නොදන්න, නොතේරෙන අය විදියට මේ ලෝකෙට ආව අපි ට දෙමව්පියන්ගේ උපකාර නොලැබුණා නම් අපි අසරණ වෙනවා. නමුත් අපේ දෙමව්පියන් අපි ව එහෙම අසරණ කළේ නැති නිසා ම අපෙත් යුතුකම තමයි එයාලවත් අසරණ නොකරන එක. ඒකට අපිට කරන්න පුළුවන් දේ තමයි කලින් කිව්වෙ. එහෙම අපිට කරන්න බැරිවුණොත් එයාලා සසරේ අසරණ වෙන්නත් පුළුවන් නේද? ඒ හින්දා දෙමව්පියන් ව ශ්‍රද්ධාවේ, ශීලයේ, දම් දැනුමේ, දන්දීමේ, ප්‍රඥාවේ පිහිටුවන්න අද ම හිතාගන්න.

මේ දේ දේශනා කරලා ඒක බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් ම සනාථ කළා. ගිහි කාලයේ තමන් වහන්සේ ගේ උපතින් දින 07කට පස්සෙ කළුරිය කළ මව වුණ මහා මායා දේවිය ඒ වෙද්දි හිටියේ තුසිත දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍යරාජයා විදියට උපත ලබලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ව ගෙවුණු සත් වෙනි වස් කාලයේ දි තව්තිසාවට වැඩම කරලා මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කරනවා. එයින් ම මාතෘ දිව්‍යරාජයා සෝවාන් ඵලයට පත්වෙනවා. ඒ වගේ ම පිය රජතුමා වුණ සුද්ධෝදන රජතුමා මරණ මංචකයේ ඉද්දි බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කරලා සුද්ධෝදන රජතුමාට ධර්මය දේශනා කරනවා. එහිදී සුද්ධෝදන රජතුමා උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කරගෙන පිරිනිවන් පානවා. ඒ විදියට තමයි බුදුරජාණන් වහන්සේ සිය මව්පියන්ට කෘතගුණ සැලකුවේ.

බුදු සසුනේ වැඩ සිටිය උතුම් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටිය ප්‍රඥාවන්තයන් අතරින් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු රේවත, චුන්ද, චාලා, උපචාලා, සිසුපචාලා ආදී සහෝදර සහෝදරියන් සත්දෙනා ම බුදු සසුනේ උතුම් දායාදය ලබාගෙන හිටියත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පරිනිර්වාණයට ළං වෙද්දිත් ඒ අයගේ මව වුණ සාරි බැමිණිය හිටියේ තවමත් බ්‍රහ්මයා වන්දනා කරමින් මිථ්‍යාදෘෂ්ඨික ව. මේ බව දැනගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ගෙන් අවසර ලබාගන්නවා තමන්ගේ උපන් ගමේදී පිරිනිවන් පාන්නට. දැඩි ලෙස රෝගාතුර වුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ බාල සොයුරු චුන්ද ස්වාමින් වහන්සේ සමඟින් උපන් ගම වුණ නාලක ගමට වැඩම කරලා නිවසට වඩිනව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගේ අර්හත්වය ගැන නොදන්නා සාරි බැමිණිය, බුදු පුතුන්ට නිග්‍රහ කරන ගමන් ම තමන්ගේ පුත්‍රයා වුණ නිසා ම රෝගාතුර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ට නිවසේ ප්‍රත්‍ය පහසුකම් දෙනවා. එදා මධ්‍යම රාත්‍රියේ සතර දිශාවෙන් මහා එළි හතරක් ඇවිල්ලා ආයෙත් ගියා. ඉතින් සාරි බැමිණිය අහනවා පුතණුවනි මොනවද ඒ මහා එළි හතරක් ආවේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඒ තමයි මට උපස්ථාන කරන්න ආව සතරවරම් දෙවිවරු. ඒ අයව මම හරවලා යැව්වා, මට උපස්ථානයට භික්ෂූන් වැඩ ඉන්න බව කියලා. තවත් රෑ වෙද්දි ඊටත් වඩා ප්‍රභාමත් එළියක් ඇවිත් ගියා. ආයෙමත් සාරි බැමිණිය අහනවා මොකක්ද පුතණුවනි ඒ මහා එළිය කියලා කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව ශක්‍ර දේවේන්ද්‍රයා කියලා.

මධ්‍යම රාත්‍රිය වෙද්දි පළාත ම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් නිවසට ඇවිත් ගියා. සාරි බැමිණිය අහනවා මොකක්ද ඒ එළිය කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව මහා බ්‍රහ්මයා කියලා. ඒක ඇහුව සාරි බැමිණිය හිතනවා මම ගෞරවයෙන් මෙච්චරකල් වැඳ වැඳ හිටිය මහා බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනවා නේ, මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් නේ කියලා. ඇගේ මිථ්‍යාදෘෂ්ඨිය/මානය එයින් ම දුරු වෙනවා. ඊටපස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් කරමින් ම පිරිනිවන් පානවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ බිව් මව්කිරි වලට කෘතගුණ දැක්වූ විදියයි.

කැමතිද දැනගන්න අපිට මේ තාක් සසරේ කොයිතරම් අම්මලා, තාත්තලා ඉඳලා තියෙනවද කියලා දැනගන්න... කැමතියි නේද? ඒ කාලේ මිනිස්සුත් ඒක දැනගන්න කැමතිවෙලා තියෙනවා අපි වගේ ම. ඒ නිසා ම වරක් බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා පොළවේ තියෙන ගල් කැට එක බැගින් අරගෙන ඒ එකක් එකක් ගානේ, "මේ ගල් කැටය මේ ජීවිතේ අම්මා වෙනුවෙන්... මේ ගල් කැටේ කලින් ජීවිතේ අම්මා වෙනුවෙන්... " කියලා වෙන්කරගෙන යද්දි ලෝකෙම තියෙන ගල් කැට ප්‍රමාණය ඉවර වුණත් සසර පුරාවට ම අපිට ඉඳලා තියෙන මව්වරු ප්‍රමාණය කෙළවරක් නැහැ. ඒ වගේ ම පොඩි කොටු කැබලි අරගෙන කෑල්ල කෑල්ල කඩලා "මේ ගල් කැටය මේ ජීවිතේ අප්පච්චි වෙනුවෙන්... මේ ගල් කැටේ කලින් ජීවිතේ අප්පච්චි වෙනුවෙන්..." විදියට වෙන් කරගෙන යද්දි කෝටු කෑලි ප්‍රමාණය ඉවරවුණත් සසරේ හිටිය පියවරු නම් නිමක් නෑ කියලා දේශනා කරනවා.

පසුවදන: මේ ටික දවසකට කලින් පටන් ගත්ත ආයුෂ ගැන ලියැවෙන විශේෂ සටහන් මාලාවේ කොටසක් නෙවෙයි. බිනර පුන් පෝය දවස වෙනුවෙනුයි මේ සටහන. මේ ගැන ලියන්න ගොඩක් කලින් හිතාගෙන හිටියත් දවසින් දවස කල් ගිහින් අද තමයි ලියැවුණේ...පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින් වහන්සේ ගේ දේශනාවකුත් උදව් කරගත්තා මේක ලියන්න. පින්තූරේ ගත්තේ හසිත ගේ බ්ලොග් එකෙන්! කොහොමද අළුත් ඇඳුම? වැඩ ඉවරත් නෑ ඒකේ. ඒ නිසා අඩුපාඩු ත් කියන්න. අකුරු එහෙම... 

39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2


කලින් සටහන බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ. අද ඉතුරු මාණික්‍යරත්නයන් ගැන විස්තර කියන්න කලින් පුංචි කතාවක් කියන්නයි යන්නෙ. දවසක් ගෞතම බුදුරජාණන් වහන්සේ යි අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේයි පා ගමනින් වඩිද්දි බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙලා පාර හරහට යන කඩි රැලක් දැකලා මෙහෙම කියනවා. "ආනන්දය මේ කඩි රැළේ කඩි අතරින් පෙර භවයක සක්විති රජ බවට පත් නොවුණු එක ම කඩියෙක්වත් නැහැ". ඉතින් එතකොට හිතාගන්නකෝ සක්විති රජකම කියන්නෙ මොනවගේ දෙයක්ද කියලා... සක්විති රජවුණත් ඒ පුද්ගලයා ට මාර්ග ඵල අවබෝධ කරගන්න බැරිවුණොත් සතර අපායෙන් ගැලවීමක් නෑ නේද...

එදා අපි චක්‍රරත්නය ගැන දැනගත්තානේ. ඊළඟට තියෙන්නෙ හස්තිරත්නය. ඒ කියන්නේ ඇත් රාජයෙක්. නිකම් ම නිකම් ඇත් රාජයෙක් නෙවෙයි ඇත්තුන්ගෙත් උසස් ම කුලය වෙන උපෝසථ වර්ගයේ ඇතෙක්. ඊළඟට අශ්වරත්නය. මේ අශ්වයා අයිති වෙන්නෙත් අශ්වයන්ගේ උසස් ම කුලය වෙන අජානීය කුලයටයි. මේ ඇතාටත් අශ්වයාටත් අහසින් ගමන් කරන්න පුළුවන්. එයාලගේ වේගය ගැන කියනවා නම් රජතුමාට, උදේ නැඟිටලා අශ්වයාගේ හරි ඇතාගේ හරි පිට උඩ නැඟලා තමන්ගේ සියළු රාජ්‍යයන් දැකබලාගෙන ලෝකෙ වටේ ම ගිහින් උදේ කෑමට කලින් නැවතත් රජ මාළිගයට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තවත් විශ්මිත දෙයක් තමයි මේ අශ්වයාටත් ඇතාටත් රජතුමා හිතන දේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ රජතුමාට යන්න ඕන තැන විතරක් හිතුවා නම් ඇති...

මාණික්‍යරත්නය කියන්නේ ඊළඟ එක. මේ නම් ඇත්තට ම මැණිකක්. මේ මැණික යොදුන් ගණනාවක් ඈතට එළිය විහිදුවනවා. අවශ්‍ය නම් මුළු රාජධානිය ම රාත්‍රියට හිරු පෑයූවා වගේ ආලෝකවත් කරන්න මේ මැණිකට හැකියාව තියෙනවා. උදාහරණයකට කියනවා නම් මේ මැණික රජ මාළිගයේ වහළයේ සවි කළොත් රාත්‍රියේ, මිනිස්සු නැඟිටලා වැඩපලට යන්න ලෑස්තිවෙනවා, ගොවියෝ උදළු අරගෙන කුඹුරු වලට යන්න සූදානම් වෙනවා කියනවා උදේ හිරු පායලා කියලා හිතලා...ඊළඟට ස්ත්‍රීරත්නය. මේ කියන්නෙ නම් රජතුමාගේ බිසව ගැන කියලා හිතාගන්න පුළුවන්නේ. ඇය තමයි ඒ කාලයේ ඉන්න රූමත් ම කාන්තාව වගේ ම නුවණැති ම කාන්තාවත්. රජතුමාට පසු ව නිදන රජතුමාට පෙර අවදි වෙන, මුඛයෙන් මහනෙල් මල් සුවඳ වහනය වෙන ඇය සෑම අතින් ම රජතුමාගේ කටයුතු සොයා බලා සැප පහසුව සදනවා. ඒ සැප පහසුව කොයිතරම් ද කියනවා නම් ශීත කාලයට ඇය උණුසුම් වෙලා, උණුසුම් කාලයට ඇය සිසිල් වෙලා රජතුමා ගේ සුඛ විහරණය සලසනවා.

ගෘහපතිරත්නය තමයි ඊළඟට. ගෘහපතිරත්නය කියලා කියන්නෙ රජතුමාට මැනවින් අර්ථය කියාදෙන අනුශාසනා කරන යහපතෙහි පිහිටුවන, නිධාන දකින ඇසක් තියෙන ගෘහපතියෙක් රජතුමාට ඉන්නවා. මේ නිධාන දකින ඇස පරීක්ෂා කරන්න රජතුමා දවසක් මුහුද මැදින් යන ගමනේ දි නිධානයක් මතුකරලා දෙන්න කියලා ගෘහපතියාගෙන් ඉල්ලනවා. මුහුද මැද තියෙන ධනය පවා දකින්න පුළුවන් ගෘහපතියා ඒ වෙලාවෙ ම මුහුද මැද තියෙන නිධානයක් මතුකරලා දෙනවා රජතුමාට. පරිණායක රත්නය කියලා කියන්නේ රජතුමාගේ පුත්‍ර රත්නයට. මේ පුත්‍රයා තමයි රජතුමාට පස්සේ රජකමට උරුමකම් කියන්නේ. මනා බුද්ධියකින් යුතු, රජතුමාගේ අභිප්‍රායයන් එලෙස ම ඉටු කරන්නට හැකි, පරිවාර සේනා සහිත, අනුන් ගේ සිත් දකින්නට හැකි බලවත් පද්ගලයෙක් විදියට තමයි සඳහන් වෙන්නෙත්.

ඒ වගේ ම ඒ කාලයේ ලෝකයේ ඉන්න ලස්සන ම පුරුෂයා, නිරෝගී ම පුරුෂයා වගේ කරුණු හතරකිනුත් සක්විති රජතුමා යුක්ත වෙනවා. ඒ වුණත් මොන තරම් සැප සම්පත් වින්දත් ආයුෂ අවසාන වුණා ම හැමෝම වගේ සක්විති රජතුමාත් මරණයට පත් වෙනවා. එහෙම මරණයෙන් පස්සෙ දිව්‍ය ලෝකෙ තමයි උපදින්නෙ. හැබැයි අනිත් දෙවිවරුන්ට වඩා කරුණු දහයක් ඉදියෙන්. ඒවා තමයි...

1. දිව්‍යමය වූ ආයුෂ
2. දිව්‍යමය වූ වර්ණය
3. දිව්‍යමය වූ සැපය
4. දිව්‍යමය වූ පිරිවර(බල)
5. දිව්‍යමය වූ අධිපතිභාවය
6. දිව්‍යමය වූ රූපය
7. දිව්‍යමය වූ ශබ්දය
8. දිව්‍යමය වූ ගන්ධය
9. දිව්‍යමය වූ රසය
10. දිව්‍යමය වූ ස්පර්ෂය

මේ විදියට ඉතා ම දීර්ඝ කාලයක් දිව්‍ය සැප විඳින සක්විති රජතුමා, අවසානයේ පින් ඉවර වුණා ම නැවතත් සතර අපායට (නරකය, තිරිසන්, ප්‍රේත, අසුර ) ඇද වැටීමේ හැකියාව තියෙනවා, මාර්ග ඵල අවබෝධ කරගෙන හිටියෙ නැත්තම්. ඒක ම තමයි අර මුලින් කිව්ව කඩි රැලටත් වෙලා තිබුණේ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ථූපාර්භ පුද්ගලයන් අතරින්, ඒ කියන්නෙ මරණින් පස්සේ ස්ථූප තනවලා වැඳුම් පිඳුම් වලට සුදුසු කෙනෙක් හැටියටත් මේ සක්විති රජතුමා ව.

පසුවදන: ලබන සතියේ ඉඳන් බ්ලොග් එකට අළුත් ඇඳුමක් අන්දවන්නත් හිතාගෙන ඉන්නවා. බලමුකො ඈ....

36 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද?


ඒ කාලේ දඹදිව තිබුණ රජ සිරිත තමයි අළුතින් කුමාරයෙක්/ කුමරියක් ඉපදිලා ටික දවසකින් උත්සවයක් පවත්වන එක නමක් තියන්න. ඒකට ආරාධනා ලැබෙන්නෙත් බොහෝ උගත් වියත් බ්‍රාහ්මණයන්ටයි. ඉතින් බෝසතාණන් වහන්සේත් තුසිත දිව්‍යලෝකයෙන් චුත වෙලා මහා මායා දේවියගේ කුසින් ඉපදුණාට පස්සෙ සුද්ධෝදන පිය රජතුමාත් කුමාරයාට නමක් තියන්න උත්සවයක් සූදානම් කළා. මේ උත්සවයට බ්‍රාහ්මණයන් 108 දෙනෙක් ඇවිත් හිටියා. මේ හැමෝම කුමාරයාගෙ අංග ලක්ෂණ පරීක්ෂා කරලා කිව්වේ මේ කුමාරයා අනාගතයේදි රජ වුණොත් සක්විති රජ වෙන බවත් එහෙම නැතිනම් මහණ වුණොත් උතුම් ශාස්තෲ කෙනෙක් වෙනවා කියලයි. ඊට එහා කතන්දරේ හැමෝම දන්නවනේ. අද කියන්න යන්නෙ කවුද මේ සක්විති රජ කෙනෙක් කියලා කියන්නෙ කියලයි.

අර මුලින් ම සිද්ධියේදි බ්‍රාහ්මණයෝ කොහොමද හරියටම කිව්වේ අරවගේ අනාවැකි දෙකක්? එහෙම කිව්වේ කුමාරයා ගේ අංග ලක්ෂණ එහෙමත් නැත්තම් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරලයි. මහා පුරුෂ ලක්ෂණ 32ක් කුමාරයාගෙන් දකින්න ලැබුණු නිසා තමයි ඒ බව හරියට ම කිව්වේ. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වගේම සක්විති රජ කෙනෙකුටත් මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටනවා. එතකොට කොහොමද සාමාන්‍ය රජ කෙනෙකුගෙන් සක්විති රජ කෙනෙක් වෙනස් වෙන්නෙ? සක්විති රජ බවට පත්වෙන්න නම් මහා පින් බලයක් තියෙන්න ඕන. ඒ වගේ ම රජ කෙනෙක් සක්විති වත් සම්පූර්ණ කළාට පස්සෙ තමයි සක්විති රජ කෙනෙක් බවට පත්වෙන්නෙ. එතකොට මොනවද මේ සක්විති වත් එහෙමත් නැත්තම් පුරන්න ඕන චාරිත්‍ර? ඒවා තමයි...

(1). "ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කළයුතු ය"

(2). "බලසෙනගද, ධාර්මික ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණ ගෘහපතීන්ද, සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්‍ෂා පිළියෙල කළයුතු ය"

(3). "නිගම ජනපද වාසීන්ද, මහණ බමුණන්ද, සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්‍ෂා කළයුතු ය".

(4). "සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කළයුතු ය"

(5). "සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය ලබාදීම කළයුතු ය"

(6). "සිය රටෙහි රාගාදිය දමනය කළ, සමනය කළ, විනාශ කළ යම් මහණ බමුණෙක් වෙත්ද, ඔවුන් කරා කලින් කල පැමිණ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුය. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුය"

මේ සක්විති වත් සම්පූර්ණ කරනවාත් සමඟ ම රජතුමාට මාණික්‍යරත්න හතක් පහල වෙනවා. ඒ වගේ ම සක්විති රජතුමාට ම සුවිශේෂ වුණ ලක්ෂණ හතරකුත් තියෙනවා. මෙහිදී මාණික්‍යරත්න කියන්නෙ මැණික් ම නෙවෙයි, ඒ හා සමාන වටිනා දේවල් කියන අදහසින්. මේ මාණික්‍යරත්න හත තමයි චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය සහ පරිණායක රත්නය. මේවා මොනවද කියලත් මම කෙටියෙන් කියන්නම්කෝ.

චක්‍රරත්නය කියලා කියන්නෙ කරකැවෙන මැණිකක් වගේ දෙයක් කියලයි කියන්නෙ. මේ චක්‍රරත්නය පහළ වුණාට පස්සෙ රජතුමා සිල් සමාදන් වෙලා චක්‍රරත්නයට පැන් වඩනවා. එතකොට චක්‍රරත්නය කරකැවෙමින් ගමන් කරන්න පටන්ගන්නවා. ඒත් එක්ක ම රජතුමා තමන්ගේ චතුරංගනී සේනාවත් එක්ක මැණික පසුපස ගමන් කරනවා. මේ චක්‍රරත්නය උතුරු දිශාවට ගමන් කරනවා නම් ඒ දිශාවේ ඉන්න රජවරු ඇවිත් සක්විති රජතුමාට මෙහෙම කියනවා "මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි" කියලා. එතකොට රජතුමා මේ විදියට අවවාද කරනවා. "ප්‍රාණවධ නොකළ යුතුයි. හොරකම් නොකළ යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්" ආදී වශයෙන්. ඉතින් රජවරු ඒ අවවාද පිළිගන්නවා. ඒ අනූව රාජ්‍ය පාලනය කරනවා. මේ විදියට ම අනිත් දිශාවන් වල ඉන්න රජවරුත් සක්විති රජතුමාට අවනත වෙනවා මේ චක්‍රරත්නයේ ආනුභාවයෙන්. අවසානයේ සාගරය මායිම් කරලා තියෙන මේ මුළු භූමිය ම සක්විති රජතුමාගේ අණසකට යටත් කරලා චක්‍රරත්නය නැවතත් සක්විති රජතුමාගේ මාළිගාවට ම එනවා.

එකදිගට ම ලියාගෙන ගියොත් කියවන්නත් එපාවෙයි කියලා හිතුණ නිසා කොටස් දෙකකට කඩනවා ඔන්න. ඉතිරි ටික ඊළඟ කොටසින්. අද ඉඳන් මේ ඇරඹෙන්නෙ විශේෂ සටහන් මාලාවක්. මේ ඒකේ පළමුවෙනි කොටස. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු දහයකට අඩු වෙලා ආයෙත් ආයුෂ අවුරුදු 80,000 ක් දක්වා වැඩිවෙන මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන දැනගන්න පුළුවන් ලාහිරු දහසක් දිලී...එක්ක දිගටම රැඳිලා හිටියොත්! මේ සටහන ලියන්න මනසේ ඇදි සිතුවම් සහ උතුම් ශ්‍රී සද්ධර්මය …අඩවි ත් උදව් වුණා. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරන ගමන් ම ආරාධනය මේ සමඟ දිගටම රැඳී ඉන්නයි...
 

43 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්... ?


සිතක සංකල්පනා ලියන මධුරංග ට වගේ ම මටත් මේ දවස් වල ස්ට්‍රෙස් එක ටිකක් තියෙනවා. ඒකට හේතුව දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එක, ඉවර වෙන්න ළඟ හින්දා. අන්තිම හරිය කොහොමද කරන්නෝන කියලා සෙනඟ පිරුණු බස් එකේ ඉඳගෙන කල්පනා කරමින් යද්දි මගේ දැහැන බිඳුණේ බස් එකේ දාලා තිබුණ රේඩියෝවේ අයියා කියෙව්ව එක පත්තර සිරස්තලයක් ඇහිලා. ඒක අහලා ලොකු කළකිරීමක් ඇතිවුණා අපි වගේ මිනිස්සු ගැන වගේ ම අපේ රට ගැනත්. මේ ඇවිල්ලා පහුගිය සතිය හමාර පුරා ම විකාශනය වුණ, ගොඩක් දෙනා උනන්දුවෙන් බැලුව ප්‍රසිද්ධ නාටකයක අවසාන ජවනිකාව කියලයි මට හිතුණේ. මේකෙත් ගොඩක් නාට්‍යය වල වගේ ම වීරයෝ, දුෂ්ඨයෝ, කුඩුකාරයෝ, මං පහරන්නෝ, බේබද්දෝ, බේබදු යාළුවෝ... තව ළදරුවෝ, කුලියට කහින්නෝ, කුලියට අඬන්නෝ, කඩේ යන්නෝ, ගොට්ට අල්ලන්නෝ, ප්‍රසිද්ධ විහිළුකාරයෝ, මෝඩයෝ, ගොන්නු, මී හරක්, බූරුවෝ වගේ ම අහිංසකයොත් හිටියා. දැන් හැමෝම බලයි මොකක්ද මේ අපි නොදන්න නාට්‍යය කියලා නේද? හැබැයි ඒ ගැන මම පොඩ්ඩක්වත් කියන්නෙ නෑ, පොඩ්ඩක් පහළට ගිහින් ම බලන්නකෝ!

~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
තව ටිකයි ඈ....
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~




මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි යුධ හමුදා මේජර්වරයා, අද දිවුරුම් පෙත්සමක් මඟින් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව තමයි මං ඇහුව නිව්ස් එක....අර සමෘද්ධි නිළධාරියා තමන් විසින් ම ගස් බැඳගත්තා වගේ වැඩක් ද එතකොට වෙලා තියෙන්නෙ? දන්න කෙනෙක් මටත් කියන්ඩෝ!!!


කැමති කෙනෙක් සැකයි මට ඔබේ කුමරි බඹසර... සබැඳියෙන් ගිහින් සින්දුවත් අහල ම ගියාට පාඩුවක් වෙන එකක් නෑ මං හිතන්නෙ...

22 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා …



Using කොළඹ කෙල්ලො ;

ඇස් කරකවයි ඇස් කොණින් බලයි
ඇස් ලොකු කරයි හොරැහිනුත් බලයි
ඇස් පියවමින් සැරින් සැරේ අහක බලයි
ඒ මදිවාට දොර කවුළුවෙන් එළිය බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....

බසයේ බිම ඉරි අඳියි
බොරු කැස්සකුත් තිබෙයි
සැරින් සැරේ පා විහිදයි
සුසුම් හෙලයි තොල් පෙරළයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ....

බඩ අල්ලයි සාරිය ද හදයි
සමහරු බ්ලව්සය ද හදයි
ඒ අතරින් නාභිය දක්වයි
තව එක එක දේ පෙන්නයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බොරු ලැජ්ජාවක් පෙන්නයි
ඒ අස්සෙම ඉඟ පද්දයි නටවයි
තව තව ඒවත් වද්දයි නටවයි
ගෙල වට බැඳි මාලයත් හදයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

පොඩි හොර නින්දකුත් තියෙයි
හදිසියේ ඇහැරී පෝං එකත් ඔබයි
කෝල් ගනියි අම්මේ මං එනවා කියයි
කොණ්ඩය පීරයි වරලස ලිහා බඳියි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බස් එක නිතරම සැර බ්‍රේක් ගසයි
බොරුවට සැණෙකින් මා හා හැප්පෙයි
කලබලෙන් වගේ මගේ අත හැප්පෙයි
වැරදිලා වගේ අත උඩින් අතක් තියයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බහින්නට වගේ දොර ළඟටම යයි
ඇඳිවත අල්ලා ආපසු හැරී බලයි
ඇස් මුළුමනින් වසයි අඩක් වසයි
පිටුපස හැරෙමින් ආපහුත් බලයි
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

බස් එකකින් යන එන එක මේතරමට
අමාරු ඇතියි කියලා නෑ මං හිතුවේ
කොළඹ රටේ කෙල්ලො වසයි
සැණෙන් කොල්ලො දපනෙ වැටෙයි
උන් හොම්බෙන් යන වෙලාව
දන්නෙම නෑ කවුරුවත් ම
කෙල්ලො කොක් හඬලති එතකොට
අම්මා කොළඹ රටේ වග කිව්වත් මට
හිතුණෙම නෑ ඇත්තක් බව දකිනකල් ම
ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා
අහුවෙන්නෑ මං අහුවෙන්නෑ...

පසුවදන : ඊයේට ට්‍රේනින් ඇවිත් හරියටම මාසයයි. පැයක් හමාරක් බස් එකේ හිටගෙන ඉඳගෙන යන එනකොට දැක්ක දේවල් නෙවෙයි කියලා මං කියන්නෑ ඔන්න....

32 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ෆන් එක නිරතුරු මතකෙට එන්නෙ- නොදැනිම වයසත් ගෙවිලා යන්නේ.....


ගොඩාක් පින් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් ඉද්දී එක දවසක් උදේ ඒ දිව්‍යාංගනාව ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඒක නොදන්න දිව්‍ය පුත්‍රයා උදේ වරුව තිස්සෙ ඇයව හෙව්වා. ඒ අතර කාලයේදි ඒ දිව්‍යාංගනාව මිනිස් ලොව කාන්තාවක් විදියට ඉපදිලා විවාහ වෙලා දරුවෝ කිහිපදෙනෙකුත් බිහි කරලා නැවතත් ගොඩාක් පින්දහම් කරලා වසර හැත්තෑ ගණනක් ආයුෂ විඳලා පෙර රූපයෙන් ම දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් විදියට ඉපදුණා. දිව්‍යාංගනාව සොයමින් හිටිය ඒ දිව්‍ය පුත්‍රයාට සවස් වරුවේ අර දිව්‍යාංගනාව හම්බ වුණා. ඊටපස්සෙ දිව්‍ය පුත්‍රයා ඇගෙන් අහනවා මම දවස පුරා ම ඔබව හෙව්වා, උදේ වරුවේ ඉඳන් ඔබ කොහෙද ගියේ කියලා?

මේ කතාව ප්‍රබන්ධයක් නම් නෙවෙයි. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකයක දිනයක් මිනිස් ලොව දිනයකට සමාන වෙන්නෙ නැති නිසා. උදාහරණයකට කිව්වොත් ශක්‍ර දෙවියන්ගේ අධිපති භාවය තියෙන දිව්‍ය ලෝක වෙන චාතුම්මහාරාජිකයේ දිනයක් කියන්නේ මිනිස් ලෝකයේ අවුරුදු වලින් නම් 50 ක්. තව්තිසාවේ දිනයක් කියන්නෙ මිනිස් ලොව අවුරුදු 100 ක්. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ දිව්‍ය ලෝක වලට තාම දවස් කිහිපයයි. මීට වඩා සැප තියෙන, ආයුෂ තියෙන, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තවමත් දිනයක් විතරක් ගතවෙලා තියෙන දිව්‍ය ලෝකත් තියෙනවා. අපි කරන පින් වලට සැප විපාක දෙන දිව්‍ය ලෝක වල ආයුෂ ඔය වගේ වුණාට අපි කරන පව් වලට දුක් විපාක දෙන එක තැනක් තමයි නිරය කියන්නෙ. එතැන ආයුෂ මීටත් වැඩියි. සත්තුන්ට(මිනිස්සුත් ඇතුළු ව ) වධහිංසා කරන, ප්‍රාණඝාතය කරන අය ඉපදෙන සංජීවය කියන නරකයේ ආයුෂ අවුරුදු 500ක්. ඒකේ අවුරුද්දක් කියන්නෙ මිනිස් අවුරුදු වලින් නම් 900,000 ක්.

ඇත්තටම මම කියන්න හැදුවේ මේ ඉලක්කම්, සංඛ්‍යාලේඛන නෙවෙයි. අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් තේරෙනවා අපිට ජීවත් වෙන්න ඉතිරිවෙලා තියෙන්නෙ කොයිතරම් සුළු කාලයක්ද කියලා. සමහර අය ඉන්නවා මේ ලෝකෙ එළිය දකින්නෙ ම නැතුව මව් කුසේදිම කළලයක් කාලෙදි ම මැරිලා යනවා. තවත් සමහරු ඉපදෙද්දි මැරෙනවා. තවත් අය පුංචි කාලෙදි ම මැරෙනවා. තව සමහරු තරුණ වයසෙදි මැරිලා යනවා. තවත් කොටසක් මැදි වියේදි මැරිලා යන අතරෙදි සුළු පිරිසක් විතරක් ඉන්නවා පරමායුෂ විඳල ම මැරෙන.

ඒ විදියට බලද්දි අපි ටිකක් වාසනාවන්තයි. හේතුව මුල් අවධි කිහිපය ම අපි පහුකරලයි ඉන්නෙ. නමුත් අපි කාටහරි කියන්න පුළුවන්ද අපි තරුණ වයසෙදි හරි මැදි වයසකදි හරි නොමැරෙයි කියලා? ඇත්ත ම කතාව නම් බෑ කියන එකයි. නොමැරී ඉන්න අපි කාටවත් ම බැහැනේ. එතකොට අපි මොනවද කරන්න ඕන? භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආයුෂ ගැන අපූරු උපමාවක් වදාළා.

“පින්වත් මහණෙනි, හොඳට හයිය හත්තිය තියෙන දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් නුවර හතරමං හන්දියකට එනවා. පුළුවන් තරම් වෙර දාල එකම වෙලාවට ඊතල හතරක් හතර දිශාවට විදිනවා. තවත් පුරුෂයෙක් මේ ඊතල හතර ම බිමට වැටෙන්න නො දී අල්ලගන්නව නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන ඔබ මොකද හිතන්නේ?” කියල බුදු සමිඳුන් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා".

“අනේ ස්වාමීනි, එක ම වෙලාවේ දී හතර දිශාවට විදින ඊතල හතර ම බිම වැටෙන්න නො දී අල්ලා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන හිතන්නවත් බෑ.” කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, “පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ ඉර හඳ දෙක ගමන් කරනවා. මේ ඉර හඳ ගමන් කරනවට වැඩිය වේගෙන් ඒවාට අධිගෘහිත දෙවියන් ගමන් කරනවා. පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ උපන් මනුස්සයාගේ ජීවිතේ ගෙවිලා යනවා.”


ඔන්න ඔය විදියටයි උන්වහන්සේ වදාළේ. ඒ නිසා ඇත්තට ම බැලුවොත් මරණය කියන දේ අපි අතේ තියාගෙන වගෙයි ඉන්නෙ. ඒ තරමට පැහැදිලි දෙයක්. අපි ඉදිරියෙදි ධර්මය කියන දේ තවත් අවබෝධ කරන්න පුළුවන් දෙවියන් අතර ඉපදෙනවද නැත්තම් ලේසියෙන් ගොඩ එන්න බැරි නිරයට වැටිලා දුක් විඳිනවද කියන දේ තීරණය කරන්නෙත් අපිමයි. ඒ නිසා ධර්මය අහන්න, අවබෝධ කරන්න උත්සහ කරන එක කවදාවත් ඉස්සරහට කල් දාන්න එපා. පුංචි කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ ඉන්න කාලේ සැවැත් නුවර හිටියා කියනවා මිනිස්සු කෝටි හතක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ ඉඳලත්, උන් වහන්සේගෙන් ම බණ අහන්න හැකියාව තිබිලත් ඒ අය අතරින් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වුණේ කෝටි පහකට විතරයි. එතකොට ඉතිරි කෝටි දෙක??? ප්‍රශ්නයක් නේද? ඒ අයට ඒ සඳහා එක්කෝ පින තිබිලා නෑ, එහෙමත් නැත්තම් නුවණ තිබිලා නෑ. එහෙමත් නැත්තම් වෙන වෙන දෘෂ්ඨි වලින් (මතවාද ) හිත වැහිලා ගිහින් තියෙන්න ඇති. ඒ සැවැත් නුවර හිටිය මිනිස්සු විතරයි. එතකොට ඉන්දියාවේ, ලෝකෙ පුරා හිටිය මිනිස්සුන්ට මොකද ධර්මය අවබෝධ කරන්න බැරිවුණේ. ඒත් හේතුව ඒකම තමයි. ඒ කාලේ අපි සතෙක් වෙලා එහෙම ඉපදිලා හිටියනම් ඒත් ඒ ධර්මය අවබෝධ කරන්න බැහැ.

ඒ කාලෙත් එහෙම නම් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව නැති මේ කාලෙ ගැන මොන කතාද ? එතකොට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාගෙන ඉන්න අයට???????? ඒ තත්වයට ම මුහුණ පාන්න වෙන එකක් නෑ කියල කියන්න කාටද පුළුවන්? නිරයේ ඉපදිලා හිටියොත්, ප්‍රේතයෙක් වෙලා ඉපදිලා හිටියොත්, තිරිසනෙක් වෙලා ඉපදිලා හිටියොත් එහෙමත් නැත්තම් වාසනාවකට හරි මනුස්සයෙක් වෙලා ලෝකෙ එහා කෙළවරේ ඉපදුණොත්! ඒ නිසා අනාගතය ගැන අපිට හරියටම කියන්න නැහැ. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය සුරක්ෂිත ව තාමත් තියෙන මේ කාලයෙදිමයි අපි අවබෝධය සඳහා උත්සහ කරන්න ඕන. ඒ නිසා අපිමයි මනස මෙහෙයවිය යුත්තේ. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපි නතර වෙලා හිටියට කාලය කියන දේ නතර වෙන්නෙ නැහැ.

අපිට මේ දේවල් නොහිතුණා කියලා දුක්වෙන්න ඕන නැහැ. ඒකට කරන්න තියෙන්නෙ නුවණ දියුණු කරගන්න එකයි. නුවණ දියුණු වෙන්න නම් බුද්ධ දේශනා අහන්න, කියවන්න ඕන. ඒ බුද්ධ දේශනා නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නෝන. තියුණු නුවණක් ලැබෙන්නෙ එතකොටයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම ම මුල් කරගෙන පින් දහම් කරල කුසල් වඩාගන්නවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්. (ඒ කියන්නෙ, අපි මොනවහරි පිනක් සිද්ධ කළා ම "මේ පින උතුම් වූ ධර්මාවබෝධය සඳහා මට උපකාර වේවා " කියලා හිතන්න! ). තමන්ගේ හිත කියන දේ නෙවෙයි, මේ ධර්මය ම විශ්වාස කරගන්න. මේ ධර්මයේ ගුණයක් තමයි සන්දිට්ඨික බව. මේක අකාලික දහමක්. ඕපනයිකයි. තමා තුළින් දැකිය හැකියි. ඒ නිසා මේ ධර්මය සත්‍යයක් කියල අවබෝධයෙන් ම දහම් මඟ අනුගමනය කරන්න.

පසුවදන 1: පින කියන දේට මහා ලොකුවට මුදල් වියදම් වෙන්නෙ නෑ. කාලා අතසෝදනකොට "මේ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා" කියලා හිතුවාත් ඒකත් පිනක්. දිව්‍යලෝක සහ අපාය ගැන තවත් කියවන්න කැමති අය ඉන්නවනම් දේවදූත සූත්‍රය සහ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ 'ප්‍රේත වත්ථු විමාන වත්ථු' කියවන්න.

පසුවදන 2: ඔපීසියෙ පැයක විතර පොඩි නිවාඩුවක් ලැබුණ වෙලාවේ ලිව්වෙ. උදව් කළා මහාමේඝ. බ්ලොගෙ අකුරු ලොකු කරන්න කියලා යෝජනාවක් තියෙනවා. අකුරු කියවන්න අමාරුද කියලත් පොඩ්ඩක් කියලා යන්න අමතක කරන්නෙපා.


43 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලැබෙන Email, Desktop එකට ම ගෙන්නා ගන්න... (Gmail)



Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට එන ඊමේල් එකක් කියවන්න නම් අපිට ඊමේල් ගිණුමට ලොග් වෙන්න වෙනවනෙ. හැබැයි ඉතින් අපි මොනාහරි වැඩක් කරමින් ඉද්දි සැරින් සැරේ ඊමේල් බලන්න යන එක කරදර වැඩක්නේ. ඉතින් Gmail Notifier ඒකට හොඳ විසඳුමක් දෙනවා.

මේක පාවිච්චි කිරීමේදි විශේෂ වාසි කිහිපයක් ම තියෙනවා ලැබෙන. එකක් තමයි සැරින් සැරේ ලොග් වෙන්න ඕන නැතිවීම. කියවන්න ඕන වෙන්නෙ නැති ඒවා ඒ වෙලාවෙම නොබලා ඉන්න පුළුවන්. තව ඒ ලින්ක් එක මඟින් ඊමේල් එකට reply කරන්නත් පුළුවන්. ඒ වගේම gmail ගිණුම් කිහිපයක් තියෙන කෙනෙකුට වුණත් හරිම පහසුවක් මේක.



මෘදුකාංගය බාගත කරගෙන සාමාන්‍ය විදියට ස්ථාපනය කරගෙන යන්න. එතකොට පහතින් වගේ වින්ඩෝ එකක් ලැබේවි, රූපයේ විදියට ටික් දෙක ම දාන්න. Run on start-up කියන එකෙන් වෙන්නෙ අපි Windows වලට ලොග් වෙද්දි ම මේ Gmail Notifier එක විවෘත වෙන එක. Use for outgoing mail තේරීමෙන් වෙන්නෙ ආව ඊමේල් එකට reply කරන්න අවශ්‍ය පහසුකම ලබා දීමයි. ඊටපස්සෙ ඊමේල් ලිපිනය සහ මුරපදය ඉල්ලනවා අපෙන්. ඒකත් දුන්නට පස්සෙ වැඩේ හරි.



දැන් ඔයාලට system tray එකේ දකින්න පුළුවන් Gmail icon එක. ඒ මත Right-click කළාට පස්සෙ ඔයාලට පුළුවන් අවශ්‍ය වෙනස්කම් කරගන්න. බලන්නකෝ වැඩේ ලේසියිද කියලා....

පසුවදන : සමහර වෙලාවට connection error එකක් එන්න පුළුවන්. ඒ HTTPS secure encryption නිසා. බැරිවෙලාවත් එහෙම වුණොත් මේ .zip file එක බාගත කරගෙන notifier_https.reg file එක විවෘත කරලා Confirm කරන්න. එතකොට ඒ ගැටළුවත් හරි....

37 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !