භික්ෂුව සහ දේශපාලනය....


පසුගිය දවසක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගේන්න සූදානම් වෙන පූජ්‍ය පක්ෂයට දේශපාලනය තහනම් කරන අදහස ගැන සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණා නේ. මේකෙන් ගොඩක් ම කලබල වෙලා තියෙන්නෙ ධර්ම රාජ්‍ය සංකල්පයෙන් දේශපාලනයට පිවිසුණ ජාතික හෙළ උරුමයනේ. ඒ අය රට පුරා අදහස් විමසමින් සහ ජනතාව දැනුවත් කරමින් යනවා කියලා පත්තර වලත් තිබුණා. ඇත්තටම භික්ෂූන් වහන්සේලා ට දේශපාලනය සුදුසු ද? එක එක්කෙනාට මේ ගැන විවිධ අදහස් තියෙනවා, සමහරු කියනවා ඒක එහෙම වෙන්නෝන, සමහරු කියනවා එහෙම නෙවෙයි කියලා. මේ කාරණය ධර්මයේ විස්තර වෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්නයි ලෑස්තිය. ථේර ථේරී ගාථා වල තමයි මේ විස්තරය සඳහන් වෙන්නෙ. ථේර ථේරී ගාථා කියන්නේ උතුම් රහතන් වහන්සේලා/ රහත් මෙහෙණින් වහන්සේලා ගේ උදාන වාක්‍ය, දෙසුම් වගේ දේවල් අඩංගු වෙන කොටසක්. සංයුක්ත නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයත් මේ කාරණය ගැන විස්තර ඇතුව සඳහන් කරන සූත්‍ර දේශනාවක්. කියවලා බලන්නකෝ මේ ගැන...

පණ්ඩරගොත්ත නමින් තාපසයෙක් හිටිය. ඒ තාපසයට දැකගන්ට ලැබුණ පැහැදීම ඇති කරවන බොහෝ භික්ෂූන් වහන්සේලාව. උන්වහන්සේලාගේ ඉඳුරන් හරිම ශාන්තයි. සිත් දියුණු කරල තියෙන්නෙ. ඒ ගැන ඵුස්ස නම් රහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

  • මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු මැනව. අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා කුමකට කැමති වේවිද? ඉලක්කය කුමක් වේවිද? මොන වගේ ආකල්ප වලින් යුක්ත වේවිද?
  • පින්වත් පණ්ඩර තාපසය, එහෙම නම්, මම කියන දේ අහන්න. අනාගතයේ සිදුවන දේ මම කියන්නම්. හොඳින් මතක තියාගන්න.
  • අනාගතයේ ඇති වන භික්ෂූන් වහන්සේලා, බොහෝ විට කරන්නේ ක්‍රෝධ කරන එක. පළිගන්න එක. ඇති ගුණ මකන එක. මාන්නයෙන් ඉදිමිලා නැති ගුණ හුවා දක්වන එක. ඉරිසියාවෙන් ඉඳගෙන වාදවිවාද කරන එක.
  • ගැඹුරු ධර්මය දන්න බවට මාන්නයෙන් හිතාගෙන වටපිටාවේ දුවන එක විතරයි ඒ ගොල්ල කරන්නේ. චපල සිත් ඇති ඒ උදවිය සද්ධර්මය කෙරෙහිත් ගෞරවයක් නෑ. ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නෑ.
  • අනාගත ලෝකයේ මේ විදිහට බොහෝ ආදීනව පහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මය වදාළේ ඉතා පිරිසිදු ලෙස. එහෙත් නොයෙක් මිථ්‍යා මත වලින් මේ ධර්මය කිළිටි කරල දානවා.
  • අනාගතයේ බලවත් වෙන්නේ ඒ භික්ෂූන් තමයි. ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා. එහෙත් ගුණයෙන් හීනයි. දහම තුළ විශාරද නෑ. සද්ධර්මය දන්නෙත් නෑ. කටවාචාලකම විතරයි තියෙන්නෙ.
  • සංඝයා අතර වැඩසිටිනවා ගුණවත් භික්ෂූන් වහන්සේලා. ධර්මාවබෝධයත් තියෙනව. ලැජ්ජා බයත් තියෙනව. ඒ යහපත් භික්ෂූන් වහන්සේලාව වැඩකට නැති උදවිය වාගේ දුර්වල වෙලා යනවා.
  • ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නේ, ඒ ගොල්ල රන් රිදී කෙත් වතු එළු බැටලුවන් දැසි දස්සන් පිළි ගන්නවා.
  • ඔවුන්ට නුවණක් නෑ. සීලෙකුත් නෑ. සමාධියකුත් නෑ. මාන්නෙන් යුතුව හඬ උස්කරල කතා කර කර ඉන්නවා. සතුන් වගේ කෝලාහලවලට ඇලෙනවා.
  • අනාගත භික්ෂූන් වහන්සේලා නිල්පාට සිවුරු පොරෝගෙන උඩඟු කමින් කුහක කමින් චාටු බස් කිය කියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදිහට පෙනී සිටිනවා.
  • අනාගත භික්ෂූන් වහන්සේලා සුදුපාට සිවුරුත් පොරව ගන්නවා. හොඳට තෙල් ගාල කොණ්ඩෙ පීරනවා. ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා.
  • ඔවුන් ගිජු වන්නේ, සුදු පාට වස්ත්‍රයටයි. විමුක්තියට පත් සිතින් යුතු රහතන් වහන්සේලා පඬු ගසා පොරවන ලද පිළිකුල් රහිත වූ “අරහත් ධජය” නම් වූ කසාවත ඔවුන් පිළිකුල් කරනවා.
  • ඔවුන් ලාභයටමයි කැමති වන්නෙ. කම්මැලියි. කිසි වීරියක් නෑ. ඈත දුර වන සෙනසුන්වල හුදෙකලාවේ භාවනා කරන්ට ඔවුන්ට හැකියාවක් නෑ. ගම්වල පන්සල්වලට වෙලා කල් ගත කරනවා.
  • ඔවුන් ජීවත් වෙන්නෙ මිථ්‍යා ආජීවයෙන්. ඔවුන්ට යම්කිසි ආදායමක් ලැබෙනව නම්, තමන්ගේ ශිෂ්‍යයන්ව පුරුදු කරවන්නෙත් කිසියම් ආදායමක් ලැබෙන ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා...ජීවිතයකටයි. සංවර වෙන්න නොවෙයි.
  • යම් භික්ෂුවකට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්නෙ නැත්නම්, ඔහුට කිසිම පිළිගැනීමක් නැතිව යනව. ආදායම් නැති, සුපේෂල, ප්‍රඥාවන්ත භික්ෂූන් සිටින නමුත්, කවුරුත් උන්වහන්සේලා ඇසුරු කරන්නේ නෑ.
  • තමන්ගේ ධජය තමයි සිවුර. කලුනුග පොතු වලින් යුතු කහටින් පඬු ගහලයි, ඒ සිවුරු පිළියෙල කරන්නේ. නමුත් කසාවතට ගරහල අන්‍යාගමිකයන්ගේ සංකේතය වන සුදු වස්ත්‍ර දරාගන්නවා.
  • කසාවත ගැන ඔවුන්ගේ ගෞරවය නැතිවෙලා ගියාම, චීවර ප්‍රත්‍යවේක්ෂාවත් ඔවුන් අත්හැරල දානවා.
  • විස සහිත හුලකින් පහර කාළ, දුක් පීඩා විඳ විඳ හිටියත් ඒ ඡද්දන්ත හස්ති රාජයා පවා කටුක පීඩා අභියස, නොසිතිය හැකිතරම් වේදනා ලැබෙද්දිත්, මේ උතුම් කසාවතට ගෞරව කළා.
  • එදා ඒ ඡද්දන්ත හස්ති රාජයා, පඬු ගහල සකසපු අරහත් ධජය දැකල ඒ සැණින්ම මෙන්න මේ ගාථාවන් කියන්න පටන් ගත්තා.
  • කෙලෙස් ඉවත් නොකළ කෙනෙක්, ඉන්ද්‍රිය දමනයක් නැති කෙනෙක්, සත්‍යයෙන් තොර කෙනෙක්, සිවුරු දරාගෙන හිටියත්, ඇත්තෙන්ම ඒ තැනැත්තා සිවුරට සුදුස්සෙක් නොවෙයි.
  • කෙලෙස් ඉවත් කරපු කෙනෙක්, සිල්වත් වෙලා, සමාහිත සිත් ඇතිව, ඉන්ද්‍රිය දමනයත් ඇතිව, සත්‍යයෙන්ද යුක්තව නම් සිවුරු දරාගෙන ඉන්නෙ, ඇත්තෙන්ම එයාට මයි සිවුරු සුදුසු.
  • සීලයක් නැති, ප්‍රඥාවක් නැති, සිතට එන එන දේ කරන කියන, අවුල් වී ගිය සිත් ඇති කුසල් දහම් නැති කෙනෙකුට මේ සිවුර නම් ගැලපෙන්නෙ නෑ.
  • ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා, සිත සමාහිත කරගෙන, පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නෙ, එයා ඒකාන්තයෙන්ම කසාවතට සුදුස්සෙක්.
  • කෙනෙක් උඩඟු නම්, මාන්නයෙන් ඉදිමිලා නම්, අවබෝධ ඥානයක් නැති නම්, සීලයකුත් නැති නම්, එයාට ගැලපෙන්නේ සුදු වස්ත්‍රයක් තමයි. කසාවත් මොනවටද?
  • අනාගත භික්ෂූන් මෙන්ම භික්ෂුණීන්, දුෂ්ට සිතින් ඉඳගෙන, අගෞරවයෙන් තමයි කල් යවන්නෙ. මෛත්‍රී සිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත් ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා.
  • සිල්වත් තෙරුන් වහන්සේලා, ඒ නුවණ නැති, දුස්සීල, ඉඳුරන් දමනයක් නැනි, සිතට එන එන දේ කරන, අඥානයව හික්මවන්ට මහන්සි ගත්තද, ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ.
  • ඒගොල්ල හැදෙන්නෙ අන්න ඒ විදිහටයි. ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් නෑ. උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නෑ. රථාචාරියාට කීකරු නැති අශ්වයන් වගේ.
  • යහපත් භික්ෂූන්ගේත්, භික්ෂුණීන්ගේත් කාලය අවසන් වෙලා යනකොට අනාගතයේ පහළ වන්නේ ඔය ආකාර වත්පිළිවෙත් තමයි.
  • අනාගතයේදී මේ භයානක තත්වය ඇති වෙන්නෙ. ඒක සිද්ධ වෙන්න කලින්, ධර්මයට කීකරුව මෘදු සිත් ඇතිව මාන්නයක් නැතිව, ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්ට ඕන.
  • මෛත්‍රී සිත් ඇති කරගන්ට ඕන. කරුණාවන්ත ජීවිතයක් ගෙවන්ට ඕන. සිල්වත් වෙලා සංවරයෙන් යුක්තව පටන් ගත් වීරිය පවත්වන්ට ඕන. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්ට ඕන. වීරියෙන් වාසය කරන්ට ඕන.
  • ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වීම භයානක දෙයක් වශයෙන් දකින්ට ඕන. අප්‍රමාදය කෙම්බිමක් වශයෙන් දකින්ට ඕන. ඒ අමා නිවන ස්පර්ශ කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම වඩන්න ඕන.
මේ වනාහී ආයුෂ්මත් ඵුස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මයේ සඳහන් වෙන විදියට මේ ශාසනය සුරක්ෂිත ව පවතින්නෙ වසර දහසක් යනතෙක් පමණයි කියලයි කියන්නෙ. අටුවා ග්‍රන්ථ වල තමයි සඳහන් වෙන්නෙ ශාසනය වසර පන්දහසක් තරම් කාලයක් පවතිනවා කියලා. අටුවා ග්‍රන්ථ කියන්නෙ ගැඹුරු දහම් කොටස් සරල විදියට පැහැදිලි කරන්න දේශීය අටුවාචාරීන් ලිව්ව පොත්. කාලයක් ගියා ම භික්ෂූන් වහන්සේලා පිරිහිලා අන්තිමට සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන කාසාවකණ්ඨක තත්වයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

උපුටා ගැනීම: (ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා... පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ )


39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නැනෝ තත්පරේට වෙලාව කියන පරමාණුක ඔරලෝසු...




මොනවද මේ පරමාණුක ඔරලෝසු එහෙමත් නැත්තම් Atomic Clocks කියලා කියන්නෙ? ඒ ගැන කතාකරන්න කලින්, ඔරලෝසු ගැන කිව්වම මතක්වෙනවනේ නොයෙක් ජාතියෙ ඒවා නේද? අතේ බඳින ඒවා, බිත්තියෙ එල්ලන ඒවා, වයින් කරන ඒවා, බැටරි තියෙන ඒවා, එලාම් ඔරලෝසු, ඔරලෝසු කණු වල තියෙන විශාල ප්‍රමාණයේ ඒවා... වගේ. හැමෝටම මතක ඇතිනේද ඉස්සර පරණ ගෙවල් වල තිබුණා බට්ටා ඔරලෝසු. අර හැම පැයකටම සැරයක් කෑගහන්නෙ. ඒවායේ කාලය ගණනය කරන්නෙ සාමාන්‍යයෙන් ඒකේ මැද ඉන්න බට්ටා එහෙමත් නැත්තම් අවලම්බයේ දෝලනය මුල් කරගෙනයි. අපේ සාමාන්‍ය එදිනෙදා ගෙදරදොර වැඩකටයුතු වලට ප්‍රමාණවත් තරමේ නිවැරදි බවක් පෙන්වන ඔරලෝසුව මුලින් ම නිර්මාණය කලේ ක්‍රි.ව 1656 දී ක්‍රිස්ටියන් හයිජින් කියන පුද්ගලයා.

අපේ ගෙවල් වල දැන් තියෙන ජාතියෙ ඔරලෝසු වල තාක්ෂණය ආරම්භ වුණේ ක්වාට්ස් කියන පාෂාණයේ එහෙමත් නැත්තම් පළිඟු කියලා හැමෝම කියන පාෂාණයේ අනුනාද සංඛ්‍යාතය මුල් කරගෙනයි. ඒ වුණාට දැන් නම් ඒ පලිඟුව වෙනුවට යොදාගන්නෙ ආදේශක තමයි. මේ ක්වාට්ස් ඔරලෝසු වල කාල ගණනයේ නිරවද්‍යතාවය ගත්තොත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී මාසයකට තත් 15 ඉඳන් අවුරුද්දකට තත් 10 දක්වා විචලනයක් දකින්න පුළුවන්. සාමාන්‍ය අවලම්බ ඔරලෝසු වලට වඩා නිවැරදිව කාලය ගණනය කරන මේ ඔරලෝසුව නිර්මාණය කළේ කැනේඩියානු ජාතික සන්නිවේදන මැවිසුරෙක් වෙන වොරන් මැරිසන් විසින්.


ඔන්න දැන් අපි අපේ මාතෘකාවට එන්නයි හදන්නෙ. පරමාණුක ඔරලෝසු. උඩ රූපයේ තියෙන්නෙ නවීනතම පරමාණුක ඔරලෝසුවක්. මේ පරමාණුක ඔරලෝසු නිපදවන්න යොදාගෙන තියෙන්නෙ පරමාණුක ක්‍රමාංකය 133ක් වෙන සීසියම් කියන මූලද්‍රව්‍යය. සීසියම් පළමුවෙනි කාණ්ඩයේ සක්‍රීය ලෝහයක්. ඔය පළමුවෙනි කාණ්ඩයේ ලෝහ වතුරට එහෙම දාලා ටැස් කරලා තියෙන අය එහෙම ඇතිනෙ! (මමත් එකෙක්!).

එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යය එකසිය ගාණක් තියෙද්දි ඇයි සීසියම් ම මේ සඳහා තෝරගත්තේ කියලා. ඇත්ත. මටත් එහෙම හිතුණා. ඒකට හේතුව තමයි අනෙක් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂ ව කාල ගණන ක්‍රියාවලියේදි සීසියම් මූලද්‍රව්‍යය අසාමාන්‍යය නිවැරදි බවක් පෙන්වීම. පරමාණුක ඔරලෝසුවේ යාන්ත්‍රණය ටිකක් විතර සංකීර්ණ වුණත් ඒකෙදි භාවිතා වෙන න්‍යාය නම් සරල එකක්. විද්‍යාත්මක ව තත්පරය අර්ථ දක්වලා තියෙන්නෙත් මූලද්‍රව්‍යයක අර්ධ ආයුකාලය සැලකිල්ලට අරන් නේ (1 second = 9,192, 631,770 cycles of the standard Cs-133 transition). ඉතින් මේකේ භාවිතා කරන න්‍යාය තමයි සීසියම් ලෝහය එහි ශක්ති මට්ටම් දෙකක් අතර සංක්‍රමණය වීමට ගතවෙන කාලය මැනීම කියන දේ. මේ සඳහා සීසියම් පරමාණුව ක්ෂුද්‍ර තරංග වලට නිරාවරනය කරනවා ඒවායේ අනුනාද සංඛ්‍යාතයට ළඟා වෙනකල්. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකයි මම කිව්වෙ සරලයි වගේම සංකීර්ණයි කියලා. මේ පරමාණුක ඔරලෝසු වල නිරවද්‍යතාවය ගැන කියනවා නම් දවසකට නැනෝ තත්පර 0.1ක් හෝ අවුරුදු 1,400,000 කට වරක් තත්පරයක් වෙනස් වීමේ හැකියාව තියෙනවා. හිතන්නත් අමාරු තරමේ නිවැරදි බවක් නේද? මේ කියන පරමාණුක ඔරලෝසුවේ අයිතිය එහෙමත් නැත්තම් පේටන්ට් බලපත්‍රය තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ වල බෝල්ඩර් කියන නගරයේ පිහිටලා තියෙන National Institute of Standards and Technology එකට තමයි.


මේ පරමාණුක ඔරලෝසුවක අභ්‍යන්තර ක්‍රියාවලියක් රූපයේ තියෙන්නෙ. කෙනෙකුට හිතෙන්න පුලුවන් තවත් ප්‍රශ්නයක් තමයි ඇයි මේතරම් දුරකට නිවැරදි ව කාලය ගණනය කරන්නේ කියලා? ලංකාව වගේ පුංචි රටකට ඒකේ වැදගත්කම ලොකුවට නොදැනුනාට ලෝකය පුරා සන්නිවේදන කටයුතු, ආරක්ෂක කටයුතු, මූල්‍ය කටයුතු වලට මේ නිරවද්‍ය වෙලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ලෝකය පුරා ම සන්නිවේදන කටයුතු දැන් සිද්ධ කරන්නෙ චන්ද්‍රිකා (නෝනා නෙවෙයි ඈ... ) ආධාරයෙන් නේ. ඒ චන්ද්‍රිකා මඟින් ලබාගන්න තොරතුරු පොළවට ලබාගන්නේ GPS Receivers මඟිනුයි. සමාන්‍යයෙන් යම් තොරතුරක් නිවැරදිව ලබාගන්න චන්ද්‍රිකා තුනක වත් දත්ත ඕන කරනවා. ඒ ඇයි කියලා මම කියන්නෙ නැහැ. (පෘථිවිය ආසන්න වශයෙන් ගෝලයක් නෙ. එහෙනම් හිතාගන්න පුළුවන් නේද ඒ ඇයි කියලා? ). මෙහිදී දත්ත ලබාගන්න චන්ද්‍රිකා ගණන වැඩිවෙන්න වෙන්න දත්තයේ නිරවද්‍ය බව ඉහළ යනවා. මේ චන්ද්‍රිකා භ්‍රමණය වෙන්නෙ පොළවට කිලෝමීටර දහස් ගණනක් ඈතින් නෙ. එතකොට ඒ එවන දත්තයක් ඒ දුර තරණය කිරීමේදී යම් කාලයක් ගන්නවනෙ. එතකොට චන්ද්‍රිකාව තොරතුරු ලබාගත්ත වෙලාවයි අපි ඒක ගන්න වෙලාවයි අතර පොඩි අන්තරයක් තියෙනවනේ නේද? එහෙම වුණා ම තොරතුරේ නිවැරදි බව ගැන ගැටළු ඇතිවෙනවා බොහෝවිට. මේ දෝෂය අවම කරගන්න තමයි පරමාණුක ඔරලෝසු වලින් නිවැරදි ව වෙලාව ගණනය කරන්නේ. ඒ කියන්නෙ චන්ද්‍රිකාවේ වෙලාවයි GPS Receiver වල වෙලාවයි එකටම යාවත්කාලීන වුණා ම අර මුලින් කියන දෝෂය මඟහැරෙනවා.

මේ පරමාණුක ඔරලෝසුවක් සාමාන්‍යයෙන් ලංකා මුදලින් රුපියල් මිලියන 15 ක් විතර වෙන හින්දා ඇමති කෙනෙකුට වගේ කෙනෙකුට ඇරෙන්න ලේසියෙන් කාටවත් ගෙදර පාවිච්චියට නම් ගන්න අමාරුයි.


ලංකාවෙත් පාවිච්චි කරනවා මේ ඔරලෝසු. ඒ රුබීඩියම් පරමාණුක ඔරලෝසුවක්. සීසියම් පරමාණුක ඔරලෝසුව වගේම තමයි, වෙනසක් නැහැ. සීසියම් පරමාණුක ඔරලෝසුවේ පේටන්ට් අයිතිය තියෙන්නෙ ඇමරිකාවට හින්දා (ඔරලෝසු ඕන අය ගන්න ඕන ඇමරිකාවෙන්) චීන්නුත් අතෑරියෙ නැහැ රුබීඩියම් කියන මූලද්‍රව්‍යය අරගෙන එයාලත් හැදුවා එකක්. අපේ රටේ සම්මත වෙලාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 35 දරණ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතට අනුව කාලය හා සංඛ්‍යානය පිළිබඳ ජාතික ප්‍රමිතීන් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට අයත්වන ජාතික මිනුම් විද්‍යාගාරය තුල පවත්වාගෙන යනවා. ජාත්‍යන්තර සම්මත වේලාව (Coordinated Universal Time - UTC) කියන්නෙ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ 2011වසරේ සිට ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාමට නියමිත කාල පරිමාණයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සම්මත කාලය, ජාත්‍යන්තර සම්මත වේලාවට වඩා පැය 5කුත් මිනිත්තු 30ක් ඉදිරියෙන් ස්ථාපිත කරලා තියෙනවා. (සමහරු ඕක කාලෙකට ඉස්සරහට පස්සට කරකවනවනෙ.. )

ජාත්‍යන්තර සම්මත වේලාව (UTC) ගැන කියනවා නම් කාලය සඳහා නෛතික පදනම ලෙස ප්‍රංශයේ පිහිටි කිරුම් හා මිනුම් පිළිබඳ ජාත්‍යන්තර කාර්යාංශය (BIPM) මගින් හදුන්වා දුන්න දෙයක්. මෙහිදී කාලය පිළිබඳ මිනුම් ලබා ගැනීම සඳහා, ලෝකය පුරා ස්ථාපිත කර ඇති කාලය පිළිබඳ මිනුම් විද්‍යාගාරවල පරමාණුක ඔරලෝසු මගින් ලබා ගන්නා දත්ත සමායෝජනය කිරීමක් තමයි වෙන්නෙ.

ප.ලි: මේ දවස් වල Non-Academic staff වැඩ වර්ජනය නිසා ලෙක්චර්ස් යන්නෙ හරිම අසීරුවෙන්. එයාලා හොස්ටල් එකට එන වතුර ලයින් එක වහලා නිසා බොන්න/ නාන්න වතුරත් නැහැ, ඒ නිසා කැන්ටින් එකේ කෑමත් නැහැ(කැන්ටින් කෑම සහ ජලය අතර ඇත්තේ අවිච්ඡින්න බැඳීමක් බැව් දන්නෝ දනිති!!! ). ඔය හින්දා දැන් ඉතිරි වැඩෙත් ඕනවෙන්නෙ නැති මට්ටමකට ඇවිත් තියෙන්නෙ!!!!! හෆෝයි!

44 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Windows 7/ Vista/ XP Genuine කරගන්න...



Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable වීම, ගොඩක් මෘදුකාංග සමඟ හොඳින් ක්‍රියාකිරීම වගේ ඒවා. Windows 2000, me වගෙ ඒතරම් සාර්ථක නොවුණ OS වලින් පස්සෙ කැපී පෙනෙන වෙනස්කම් සහිතව එළියට ආවේ Windows XP තමයි. ගොඩක් දෙනාට ඒකේ User interface එක එහෙම හොඳට හිතට අල්ලලා ගියා. ගොඩක් දෙනා වගේම මමත් Windows XP වලට ගොඩක් ආස වුණා. ඒත් නොමිලේ ම හම්බවුණ Windows 7 key එක අපරාදෙනෙ කියලා හිතලා තමයි මමත් සිම්පල් ප්ලෑන් එකකට මාරු වුණේ.

දැන් කියන්න යන්නෙ මේ Windows OS කොහොමද serial key එකක් නැතුව Genuine කරන්නෙ කියලයි. ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Crack නේ නේද? එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා ඉතින්. නියම Windows OS එකක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට තරමක් දරන්න අමාරු මිලකටනෙ තියෙන්නෙ. ඒ නිසා Crack ජනප්‍රියයි. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි අපි කරන්නෙ නම් හොඳ වැඩක් නොවන විත්තිය. ජනප්‍රිය මෘදුකාංග වල කාර්යයන් ඒ විදියටම නොමිලේ ම කරලා දෙන විවෘත කේත මෘදුකාංග ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා කියලා සමහරු දන්නෙත් නැහැනේ.

වැඩි කතන්දර ඕනෙ නැහැ. මේ ඇවිල්ලා තවත් ක්‍රැක් එකක් නම් නෙවෙයි. පොඩි මෘදුකාංගයක්. WAT Remover(Windows Activation Technology). සාමාන්‍යයෙන් ක්‍රැක් දැම්මම update කරන්න බැහැනේ. නමුත් මේ විදියෙදි පුළුවන්. ඒ වගේ ම සැරින් සැරෙ එන pop up notification එහෙමත් නවතිනවා. පහළ සබැඳියෙන් බාගත කරගන්නකෝ. පාවිච්චියට උපදෙස් මෙහෙමයි. දැන් තියෙන Windows OS සම්පූර්ණයෙන් ම format කරලා අළුතින් ම serial key එක දෙන්නෙ නැතුව Windows 7 install කරගන්න. ඊට පස්සේ Auto Windows Update එක Off කරන්න. දැන් RemoveWAT 2.2.5 setup file එක සාමාන්‍ය විදියට Run කරන්න. දැන් ඔයාගේ Windows 7 OS එක(32/64 bit) සම්පූර්ණයෙන් ම Genuine. දැන් Auto Windows Update එක On කරගන්න. මේ Windows 7 වලට විතරයි හොඳද...

Win Vista/XP වලටත් ඕනෙ නම් මෙතනින් බාගන්න. බාගත කරගැනීමේදි Download Manager මෘදුකාංග භාවිතා නොකර Slow Download Button for Free User Downloading ආකාරයට බාගත කරගන්න.

Windows 7 සඳහා

Win Vista/XP සඳහා

25 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -02


වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -01

මහනුවර රාජධානියේ ඇදවැටීම සනිටුහන් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැරදීමකින් වගේ රජවුණ හැටි කියන කතාවේ දෙවෙනි කොටස තමයි මේ. කලින් කොටස කියෙව්ව නැති කවුරුහරි ඉන්නවානම් උඩින් තියෙන සබැඳියෙන් ගිහින් කියවලා ම එන්න. ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි. කන්නසාමි කුමාරයා සමඟ රහසේ ම සාකච්ඡාවක යෙදුණු මහාධිකාරම කන්නසාමි කුමාරයාට මෙහෙම කිව්වා. "පුත කන්නසාමි... මා කියනා ලෙසට වැඩ කලහොත් ඔබට ලංකාවේ රජකම රැගෙන දෙමි.නමුත් එසේ රජකම ලැබුණු පසුත් මා කියනා ලෙසට වැඩ කළ යුතු ය. එසේ පොරොන්දු වන්නේද? " රජකම ගැන තුන්හිතක වත් අදහසක් නොතිබ්බ කන්නසාමි කුමාරයා මේ යෝජනාවට එකඟ වුණා විතරක් නෙවෙයි මහාධිකාරම කියන ඕනෑම දෙයක් ඒ විදියටම කරන්නත් කැමති වුණා.

පිළිමතලව්වේ මහාධිකාරම ගත්තොත් ඔහු මුල ඉඳලා ම නායක්කර් වංශිකයන්ට රජකම හිමිවීම ගැන කැමැත්තක් දැක්වූයේ නැති කෙනෙක්. නිතර කල්පනා කළේ කොහොමද නැවතත් රජකම සිංහලයන් අතට ගන්නෙ කියලයි. කොහොමත් රාජාධි රාජසිංහ රජතුමාට දාව අගබිසවගෙන් දරුවෝ හිටියෙ නැති නිසා අගබිසවගේ සොහොයුරු මුත්තුසාමි කුමාරයා තමයි ඊළඟට රජකමට නියමිත වෙලා හිටියෙ. ඒ නිසා මේ විදියට ගියොත් කොහොමත් රජකම යළි සිංහලයන්ට නොලැබෙන බව හිතුව මහාධිකාරම ඒකටත් සැලසුමක් හැදුවා. මුලින් ම එතරම් දැනුම් තේරුම් නැති කන්නසාමි කුමාරයා ව රජකරවලා, රාජ්‍යත්වයේ රූකඩයක් වගේ නටවලා ඊට පස්සෙ ඔහු මරවලා තමන් රජවෙන එක තමයි මහාධිකාරමගේ සැලසුම වුණේ.

රජතුමා නැවත් එනවිට මඟුල් කඩුවෙන් ම ඇනලා රජතුමා ව මරලා දාන්න කුමාරයා ව කැමති කරවාගත්තා මහාධිකාරම. කොහොමත් රජු ගේ ම මඟුල් කඩුව ඇනිලා නිසා, අශ්වයා කුලප්පු වෙලා රජතුමා අසු පිටින් බිමට වැටිලා මඟුල් කඩුව ඇනිලා රජු මියගියා කියලා ඒත්තු ගන්නන එක තමයි මහාධිකාරම ගේ සැලසුම වුණේ. ගිවිස ගත්ත විදියටම ඊළඟ වතාවේ රාත්‍රියේ රජතුමා කුමරිය කරා එන වෙලාවේ සැඟවිලා හිටිය කන්නසාමි කුමාරයා විසින් රාජාධි රාජසිංහ රජතුමාට මඟුල් කඩුවෙන් බඳට ඇනලා මරලා දාන්න සමත් වුණා. ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා අශ්වයා එළවලා දාලා මඟුල් කඩුව ඇනිලා මැරිලා හිටිය රජතුමාගේ දේහය රජමාළිගාවට ආරගෙන ගියා, සැලසුමේ විදියට ම ක්‍රියා කල මහාධිකාරම මේ සිද්ධිය හදිසි අනතුරක් කියලා ඔප්පු කරන්න තරම් දක්ෂ වුණා. මහාධිකාරම් නෙ සියළු අදිකාරම්වරුන්ගේ ප්‍රධානියා. ඉතින් මහාධිකාරම් තුමා සියළු උඩරට අදිකාරම්වරුන්ට නියෝග කළා රජතුමා අසනීප ව අසාධ්‍ය ව සිටින නිසා ඊළඟ රජු තෝරාගැනීමට වහාම මඟුල් මඩුවට රැස් වෙන්න කියලා. එහෙම රැස්වුණාට පස්සෙ මහාධිකාරම, ඊළඟ රජතුමා ගැන තීරණයක් ගන්න අදිකාරම්වරුන්ගේ අදහස් විමසුවා. මහාධිකාරම්තුමා බලාපොරොත්තු වුණ විදියටම ඒ ගැන කටයුතු කර සුදුසු තීරණයක් ගන්න අදිකාරම්වරු විසින් මහාධිකාරමට බලය පැවරුවා. මහාධිකාරම යෝජනා කලේ කන්නසාමි කුමාරයා ව. මහාධිකාරම්තුමා මේ විදියට කන්නසාමි කුමාරයාගේ ගුණ වර්ණනා කළා. "කන්නසාමි කුමාරයා පිරුණු අටළොස් වස ඇත්තෙකි, සියුම් බුද්ධියකින් යුතු සිංහල භාෂාව මනා සේ ප්‍රගුණ කර ඇති කුමාරයා මල්වත්ත පන්සල ඇසුරු කොටගෙන හැදී වැඩුණු නියම බෞද්ධයෙකි. පිය රජු සේම දැහැමි ව රට කෙරේවි " ආදි වශයෙන්.

මේ කළබල අස්සේ කාටත් රජවෙන්න නියමිත ව හිටිය මුත්තුසාමි කුමාරයා ව අමතක වුණා (සමහරවිට ඒ වෙලාවේ මහාධිකාරමගේ බලය වැඩි නිසා හිතලා ම අමතක කලා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් මුත්තුසාමි කුමාරයාගේ නම යෝජනා කරන්න තරම් එඩිතර කෙනෙක් එතැන නොහිටියා වෙන්නත් පුළුවනි). ඉතින් අනිත් අදිකාරම්වරුත් මේ විදියට කන්නසාමි කුමාරයාට කැමති වුණා. ඊටපස්සේ නිල වශයෙන් රාජාධි රාජසිංහ රජතුමාගේ මරණය නිවේදනය කරලා චාරිත්‍රානුකූල ව අවසන් කටයුතු සිද්ධ කළාට පස්සෙ කන්නසාමි කුමාරයා, ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙසින් සිංහාසනාරුඪ වුණා.

ඔන්න ඔය විදියට තමයි උඩරට අවසන් රජු වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වුණේ. රාජමාතාව වෙන්න ලැබීම ගැන කුමරියත් බොහෝ සේ සතුටු වුණා. මහාධිකාරම තමන් ගේ හිතේ තිබුණ රජවීමේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න යෙදුව උපක්‍රම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට අසුවීම නිසා රජතුමාගේ අණ පරිදි අන්තිමේදි හිස් ගැසුම් කා මියයන්න මහාධිකාරමට සිද්ධ වුණා. අධර්මිෂ්ඨ බේබදු රජකෙනෙක් වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉක්මනින් ම රටවැසියන්ගේ දෝෂාරෝපණයට ලක් වුණා. (මද්දුම බණ්ඩාර සිදුවීම වගේ දේවල් එහෙමත් වුනේ මේ කාලේදිනෙ ). ඒ විදියට අසමඟි වුණ රට, ඉංග්‍රීසීන්ට යටත් වෙන්න පහසුවෙන් පාරක් නිර්මාණය කළා. සමහරවිට මුත්තුසාමි කුමාරයා රජවුණා නම් අපි ඉංග්‍රීසින්ට යටත් නොවෙන්නත් තිබුණා නේද...

ප.ලි : අත්තනගලු වංශයේ සඳහන් වෙනවා සිරිසඟබෝ රජතුමාට හිස දන්දෙන්න වුණේ ඊට පස්සේ රජවෙන්න හිටිය ගෝඨාභය කුමාරයාගේ මේ වගේ සිතිවිල්ලක් නිසා කියලා ("මහළු වයසේදී රජකම ලබා තරුණ වයසේදි විඳියයුතු පංචකාම සම්පත්තිය කෙසේ විඳින්නද... "). මතකද කුමාරදාස රජතුමා වගේ ම ඔහුගේ මිතුරු කාලිදාස කවියාටත් මැරෙන්න සිද්ධ වුණේ මේ වගේ ම තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් තමයි!

38 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (18+)



කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට පාර කිව්වෙ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ. ඒකට හේතුවක් තිබුණනෙ, ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා. ඒ නිසා ඒක නොකියා කතාව පටන්ගන්නම්. රාජාධි රාජසිංහ රජතුමාට හිටියා නායක්කර් වංශික බිසෝවරු තුන්දෙනෙක්. එයින් දෙවන බිසවගේ සොහොයුරිය හිටියෙ දැනට ඔය මල්වතු මහා විහාරේ පිහිටලා තියෙන තැනට ළඟින් පිහිටලා තිබුණ පොඩි මන්දිරයක. රාජාධි රාජසිංහ රජතුමා තමන්ගේ අනියම් භාර්යාවක් විදියට තමයි මේ කුමරිය තියාගෙන හිටියෙ. ඒ අතරෙදි රාජාධි රාජසිංහ රජතුමාගේ මහාධිකාරම වුණ පිළිමතලව්වේ මහාධිකාරමටත් ඔය කුමාරිය එක්ක පොඩි පළහිලව්වක් තිබුණා. ටික කාලයක් ගියාම මේ කුමරියට පුතෙක් ලැබුණා, නම තිබ්බෙ කන්නසාමි කියලා. මේ කන්නසාමි කුමාරයා ලැබුණේ පිළිමතලව්වේ මහාධිකාරමට දාව කියලා කුමරිය දැනගෙන හිටියත් රජතුමා හිතාගෙන හිටියෙ මේ ඉන්නේ තමන්ගේ ම පුත්‍රයා කියලයි.


කන්නසාමි කුමාරයාගේ වයස අවුරුදු දහ අටකටත් කිට්ටුවෙන්න ආවත් රජතුමාගේ සහ පිළිමතලව්වේ මහාධිකාරමගෙ ගම නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. රජතුමා කුමරිය වෙතට එනවා කියලා මහාධිකාරම දැනගෙන හිටියට රජතුමා නම් මහාධිකාරමගේ ගමන ගැන දැනගෙන හිටියෙ නැහැ. (දැනගෙන හිටියානම් මහාධිකාරමගේ බෙල්ලත් නෑ... ) මේ දෙන්නගෙන් කුමරිය ගොඩක්ම ප්‍රිය කළේ ඒ කාලේ තරුණ වයසෙ හිටිය මහාධිකාරමටයි.

රජතුමා කුමරිය හම්බවෙන්න අශ්වයා පිටින් ආවත් මහාධිකාරම ආවේ හොර රහසේ පයින්මයි. කන්නසාමි කුමාරයා සහ කුමරියට හැරෙන්නට සෙසු ලෝකයාට මේ ගමන රහසක් වෙන්න ඒකත් බලපෑවා. ඔන්න දවසක් රජතුමා අශ්වයා පිටින් කුමරිය හම්බවෙන්න එද්දි කුමරියත් එක්ක හිටිය මහාධිකාරම ඉක්මනටම සැඟවිලා පලා ගියා. නමුත් රජතුමාට සැකයක් ඇතිවුණා කවුරුහරි කෙනෙක් මන්දිරය ඇතුළේ ඉඳල ගියා කියලා. රජතුමා එක සැරේටම කුමරියගෙන් මේ ගැන අහන්නෙ නැති ව කන්නසාමි කුමාරයාගෙන් විමසුවා මේ ගැන. කන්නසාමි කුමාරයා ඒ ගියේ මහාධිකාරම බව දැනගෙන හිටියත් ඒ බව නොකියා කවුදෝ පුරුෂයෙක් පැමිණි බවත්, ඔහු නොහඳුනන බවත් කිව්වා.

මේක අහලා රජතුමාගේ හිත කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියත් කුමරියට තිබුණ බලවත් ආදරය නිසා ම ඇයට දඬුවම් දෙන්න රජතුමා මැලි වුණා විතරක් නෙවෙයි ඇගෙන් මේ ගැන අහලා හිත තලන්නවත් රජතුමා කැමති වුණේ නැහැ. කොහොම උනත් මේ එන කෙනා ව මරලා දාන්න ඕන කියලා හිතුව රජතුමා තමන්ගේ මඟුල් කඩුව කන්නසාමි කුමාරයා අතට දීලා ආයෙත් අකවුරුහරි ආවොත් ඒ එන කෙනා ව මරලා දාන්න අණ කළා. කුඩා කාලයේ ඉඳලා ම රජතුමාට වඩා වැඩි සෙනෙහසක් මහාධිකාරමට පෑව කන්නසාමි කුමාරයා වුණ සිද්ධිය අකුරක් නෑර මහාධිකාරමට කිව්වා වගේ ම තමන්ට දුන්න මඟුල් කඩුව පෙන්නලා ඒ බව තහවුරු කළා. ඒ වගේ ම කන්නසාමි කුමාරයා මේ සිද්ධිය තමන්ගෙ මවට නොකියන්නත් ප්‍රවේශම් වුණා.

ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රාජාධි රාජසිංහ රජතුමාගේ ඉරණම දක්ෂ විදියට විසඳු හැටි, කන්නසාමි කුමාරයා රජවුණ හැටි වගේ ම පිළිමතලව්වේ මහාධිකාරමට අන්තිමට මොකද වුණේ කියලත් ඊළඟ කොටසින් කියවමු...

55 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පව් කරන හැමෝ ම දුක් විඳිනව ද?


‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් සමහර කෙනෙක් කියයි, “අපෝ නැහැ ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය...” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ මේ ජීවිතයේ පින් පව් වල විපාක නැහැ කියන අදහසේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම-කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා...ප්‍රශ්නේ තියෙන්නෙ අපිත් එහෙම වෙන්න ඕනද කියන එකයි. මේතරම් වටින ධර්මයක් අපිට තියෙද්දි ඇයි අපි අයාලේ යන්නේ?

“ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වංචාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට පරලොව දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය. එය සනාතන සත්‍යයක්.

බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි.

“පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකටයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා. දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවමු.

“ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බමුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි.

ගාමණී, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්.

එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?”

එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..”

ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද?”

එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.”

“ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා”

ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා..

“ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි...”

“යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි...”

“යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.”

“යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.”

“යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..”

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා..

මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව. යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්. කර්ම-කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යාදෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා.

කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ.

ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ..

එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා..

පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ ‍පාපෝ පාපානි පස්සති..

“පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..”

තවත් පුංචි කතාවක් තියෙනවා කියන්න, ඒකත් කියලම සටහන ඉවර කරන්නම්. අහලා ඇතිනේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පටන් අවසානයට බුද්ධත්වයට පත්වුණ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා. මෙයින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුනේ මීට කල්ප 90කට කලිනුයි. ඊට පස්සේ සිඛී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ කල්ප 30කට පස්සෙයි. ඒ අතරතුර කල්ප 60ක් තියෙනවනේ. ඒ කාලය බුදුවරු පහළ නොවුණ, ධර්මය නොමැති වුණ බුද්ධ ශුන්‍ය කල්ප විදියට තමයි හඳුන්වන්නේ. ඒ කල්ප 60 ඇතුළත සුගතිගාමී වෙලා තියෙන්නෙ එකම එක පුද්ගලයයි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඊට හේතුව ඒ කෙනා කර්ම-කර්ම ඵල විශ්වාස කිරීමයි. අනිත් හැමෝම දුගතියට තමයි ගිහින් තියෙන්නේ. හිතන්නකෝ කොහොමද මිථ්‍යාදෘෂ්ඨියේ බලපෑම නේද...

මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණ‍හොත්, ඉතා පහසුවෙන් මිත්‍යාදෘෂ්ටියට වැටී අපාගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා...යන අදහසින් තමයි මේ සටහන තියන්නේ!

ප.ලි: මේක ලියන්න මට ආව ඊයකුත් උදව් වුණා. මේ පෝ දින විශේෂ සටහනක්. පොසොන් පෝයේ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කලින් සටහන් බලන්න ඕන නම් මෙතනින් යන්න. සියළු දෙනාටම තෙරුවන් සරණයි...




41 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දිරිය යුවතිය ඈ...


අද ඔන්න කතාවක් කියන්නයි යන්නේ. මේක ඇත්ත ම සත්‍ය කතාවක්. කතාව කියවලා ඔයාලට හිතෙන දෙයක් ඒ විදියටම කියලා යන්නත් අමතක කරන්නෙපා කියලා මුලින් ම කියනවා ඔන්න. ඒ අක්කගේ නම ගීතිකා. අයියාගේ නම සුනෙත් කියමුකෝ. ගීතිකා අක්කා හිටියෙ, අපේ ගෙවල් වලට ප්‍රධාන පාරෙන් හැරෙන පාරෙ පළවෙනි ගෙදර. ඒ අක්කට ලස්සන දිග කොණ්ඩයක් වගේ ම සැරයක් දැක්කොත් ආයේ හැරිලා බලන්න තරම් ප්‍රියමනාප හැඩරුවක් තිබුණ නිසා ම මටත් පොඩි කාලේ ඉඳන් ම හොඳට මතකයි. එයා ඉස්කෝලෙ ගියෙ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලෙකට.

අම්මා ගෘහණියක් සහ තාත්තා සාමාන්‍ය රැකියාවක් තමයි කළේ. ඊට අමතරව අවුරුදු පහක් විතර බාල මල්ලියෙකුත් හිටියා. ළඟම අසල්වැසියෝ නොවුන නිසා ම අපි අතරෙ ලොකු හිතවත්කමක් නම් තිබුණෙ නැති වුණත් උදේට හම්බවුණොත් ගුඩ් මෝර්නින් මල්ලි කියලා කියන්න වගේම දැක්ක තැනක කටපුරා හිනාවෙලා මොනවා හරි කතාකරන්නත් ගීතිකා අක්කා අමතක කලේ නැහැ. කාලය හෙමීට ගතවෙද්දී අක්කා පාසල් අ‍ධ්‍යාපනය ඉවර කරලා පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්න පටන් ගත්තා. මේ කාලෙදි තමයි ගීතිකා අක්කට සුනෙත් අයියා හම්බවෙන්නෙ. ටික කාලයක් පෙම්වතුන් විදියට ඇසුරු කරලා දෙපැත්තෙම මව්පියන්ගෙ ආශිර්වාදය මැද ඒ දෙන්නා විවාහ වෙනවා. පවුලේ එක ම ගෑණු ළමයා නිසා ම විවාහ උත්සවයත් තරමක් ජයට ම තිබුණා. විවාහයෙන් පස්සෙ දෙන්නම විදෙස්ගත වෙනවා රැකියාවන් සඳහා. මේ කාලෙදි තමයි මේ දෙන්නගේ ජීවිත වල ලොකු පෙරළියක් වෙන්නෙ. එහෙමත් නැත්තම් ජීවිත වලට ආලෝකයක් ලැබුණේ කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි.

මේ කාලෙදි අයියයි අක්කයි, ඒ රටේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලාගේ ඇසුරට පත්වෙනවා. ධර්මය අහන්න පටන්ගන්නවා, කුසලයේ හැසිරෙන්න පටන් ගන්නවා. අවුරුදු කිහිපයක් ගතවෙද්දි මේ දෙන්නා ලංකාවට එනවා ඉපැයුව මුදලුත් අරගෙන ම. එහෙම ඇවිත් මේ දෙන්නා හරි අපූරු තීරණයක් ගන්නවා. ඒ තමයි විවාහයෙන් මිදිලා පැවිද්ද ලබාගන්න. වයසේ හැටියට තරමක් විප්ලවකාරී තීරණයක්. පැත්තෙම මව්පියන්, සොයුරු සොයුරියන් විරුද්ධ වෙනවා මේ තීරණය සම්බන්යෙන්. අළුතින් විවාහ වුණ යුවළකගෙන් ලෝකයා වගේ ම මව්පියනුත් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවනෙ. තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරන් යන්න දරුවෝ බලාපොරොත්තු වෙනවා වගේ ම කාලයත් එක්ක වයසට ගියා ම තමන් ව රැකබලා ගනීවී කියන අහිංසක බලාපොරොත්තුවත් ඒ අය තුළ ඇතිවෙන එක සාධාරණයි. එහෙම වුණත් මේ දෙන්නා අධිෂ්ඨානය අත්හරින්නෙ නැහැ පොඩ්ඩක්වත්. තත්වය එහෙම වුණත් යම්තාක් දුරකට මව්පියන් කැමතිකරගන්න සමත් වෙනවා කාලයත් එක්ක. ඒත් එක්ක ම අයියයි අක්කයි උතුම් වූ පැවිද්ද කරා ගිහිගෙයින් නික්මෙනවා තමන් ඉපැයූ මුදල් ගෙදර අයට දීලා. අක්කා අනගාරිකාවක් වෙන්නත් අයියා භික්ෂූත්වය සඳහාත් එකිනෙකාගෙන් වෙන්වෙලා යනවා. ඒ කාලෙදි හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා.

සුනෙත් අයියා පැවිදි බවට හුරුවෙන්න තිසරණ සරණ ගිය උපාසකයෙක් විදියට කටයුතු කරන්න පටන් ගත්ත මුල් කාලෙ රෑ නිදාගන්න උත්සහ කරද්දි භයානක සිහින පෙනෙන්නත්, හරියට කවුරුහරි ඇවිත් ඇඳෙන් ඇදලා දානවා වගෙ දැනෙන්නත් පටන් අරන් තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලාට මේ බව කිව්ව ම උන් වහන්සේලා පිරිත් දේශනා කරලා තිබුණත් ඒ තත්වය මඟහැරිලා ගිහින් තිබුණේ නැහැ. ඊටපස්සෙ සුනෙත් අයියා තීරණය කරනවා ආයෙත් පැවිදි බව සඳහා උත්සහ නොකර ගිහි ජීවිතේට ඇතුළුවෙන්න. එතකොට ස්වාමින් වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ ඒ සඳහා එයාගේ ගෙදරට නොයා බිරිඳගේ ගෙදරට යන්න කියලයි. ඉතින් සුනෙත් අයියා ගීතිකා අක්කගේ ගෙදරට ඇවිත් කාරණය කිව්වම අක්කගේ දෙමව්පියන් එකඟ වෙනවා නැවත ගිහින් අක්ක ව එක්කරගෙන එන්න.

මේ වෙද්දි අක්කා ඉන්නෙ අනගාරිකාවන්ට ම වෙන්වුණු අසපුවක ඒ සඳහා පිළිවෙත් පුරමින්. කරුණු කාරණා මේ විදියට සකස් වෙද්දි හැමෝම යනවා අක්කව නැවතත් ගිහි ජීවිතයට අරන් එන්න හිතාගෙන අනගාරිකා අසපුවට. ගිහින් කාරණය කිව්ව ම අක්කා ගිහි කාලයේ තමන්ගේ සැමියා වුණ සුනෙත් අයියා ව තමන් ළඟට කැඳවාගන්නවා. ඊට පස්සෙ තමන් ඉගෙනගත්ත ධර්මය අයියාට කියලා දීලා නැවතත් උතුම් වූ භික්ෂූත්වය වෙනුවෙන් සුනෙත් අයියාගේ හිත මෙහෙයවනවා වගේ ම දෙමව්පියන්ටත් උතුම් ධර්ම කාරණා අවබෝධ කරලා දෙනවා. ඒ හේතුවෙන් ම සුනෙත් අයියාට පුළුවන් වෙනවා නැවතත් පැවිදි බව වෙනුවෙන් උත්සහ කරන්න පටන්ගන්න. ඒ හේතුව නිසා ම එයාලා ආව කාරණය මඟහැරිලා ගියා වගේ ම සුනෙත් අයියා නැවතත් ගිහි ජීවිතෙන් අයින් වුණා. මේ සටහන කියන අද දවස වෙද්දි ගීතිකා අක්කා උතුම් වූ අනගාරිකාවක් බවට පත්වෙලා, ඒ පසුගිය වෙසක් පෝය දවසෙදි. ඒ වගේ ම තව නොබෝ දිනකින් ම සුනෙත් අයියත් උතුම් වූ පැවිදි භූමියට පත් වෙන්නට නියමිතයි.

ගිය සතියෙ ගෙදර ගියාම අම්මා තමයි මට මේ කතාව කිව්වේ. ඒ කතාව ඇහුව ගමන් මට ලොකූ සතුටක් දැනුණා වගේ ම ගීතිකා අක්කා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් ඇතිවුණා. තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරන ගමන් ම තමන්ගේ සැමියා වගේ ම දෙමව්පියනුත් ඒ නිවැරදි මාර්ගයේ ගමන් කරවන්න තරම් වීරවරියක් වුණා නේද කියලා තමයි මට හිතුණේ. (තමන්ගේ දෙමව්පියන් ට ධර්ම මාර්ගය විවර කරලා දෙනවා තරම් දරුවෙකුට වෙන ණය ගෙවන්න විදියක් නැහැනේ දෙමව්පියන් ට ) බුදු සසුනේ අග්‍ර දායිකාව වුණ විශාඛාවත් මේ විදියටම තමන්ගේ සැමියා ඇතුළු ව නෑදෑ පිරිස ධර්මයේ හික්මවූවා, ඒ වගේ ම වරක් පසේනදී කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහමින් ඉද්දි පණිවිඩකරුවෙක් ඇවිත් කියනවා මල්ලිකා දේවියට දියණියක් උපන්නා කියලා. මේක ඇහුව රජතුමාගේ මුහුණ ශෝකයෙන් අඳුරු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය අවබෝධ කරනවා කියන එකේ ස්ත්‍රී/පුරුෂ භේදයක් නැති බව. ඒ වගේ ම ලෝකය එළිය කරන්නත් ඇයට හැකි බව. ඒ කතා දෙකත් මට මතක් වුණා.

ප.ලි: මගේ ලැප් බබාට අවුරුද්දක් පිරෙන උපන්දින දවසේ පොඩි කරදර ගොඩක් වුණා එයාට. කී බෝඩ් එකේ යතුරු වැඩ කරන්නෙ නැතුව ගියා, බ්ලූටූත් වැඩ කළේ නැහැ. ඩිස්ප්ලේ එකේ කලර් පැච් වගයක් ආවා. (ඒවා ගැන යාළුවෝ නම් එක එක කට කැඩිච්ච කතා කියනවා, ඒත් මම ගණන් ගනීද ඒවා!) ඒ නිසා පහුගිය සති දෙකේ බ්ලොග් සටහන් ලියන්නවත් කාටවත් කමෙන්ට් කරන්නවත් විදියක් තිබුණෙ නැහැ. අද වෙද්දී කී බෝඩ් එකනම් හරි. අනිත් ඒවා තව ඉස්සරහට... (hp agents ලා හොඳ නිසා යන්තම් ගොඩ ගියා! )

33 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !