Windows 7 සිංහලකරණය කරමු....





Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? එහෙම කිව්වට එහෙමම නෑ හැබැයි...

Microsoft Windows Language Interface Pack (LIP) පැකේජය මඟින් තමයි මේ පහසුකම දෙන්නේ. මේ පැකේජය ඇතුළට Windows බෙහෙවින් ම භාවිතා කරන ප්‍රදේශ වල තියෙන භාෂා ඇතුළත් වෙනවා. ඒ අතරට අපේ සිංහල භාෂාවත් තියෙනවා කියන එක ගැන අහන්නත් සතුටුයි නේද? මෙතනදි වෙලා Windows වල මූලික භාෂාව වෙන ඉංග්‍රීසී එහෙමම තියෙද්දී එයින් 80%ක් විතර සිංහල අතුරු මුහුණතක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙහිදී ඉංග්‍රීසි මූලික වුන LIP පැකේජ කිහිපයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන නම් තවත් භාෂා කිහිපයක් වුනත් එක මත එක පිහිටුවන්න පුළුවන්. ලෝකය පුරා භාෂා විශාල ප්‍රමාණයකට මේ පහසුකම දීලා තියෙනවනේ. ඒ කොහොම වුනත් බාගත කරන්න තියෙන්නේ 7 MB විතර පොඩි file 1ක්.

බලන්නකෝ පහත screenshots දිහා.





මෙතනින් ගිහින් බාගන්න වගේ ම ස්ථාපනය කරන්න ඕන උපදෙස් එහෙමත් ගන්න පුළුවන්! කැමති අය try කරලා බලන්නකෝ...!

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හන්තානට පායන සඳේ ඇතුළු කථාව ....


අද නම් තරමක් වෙනස් විදියේ දෙයක් ගැන කතා කරන්නයි මම ලෑස්ති. අපි හැමෝම විනෝදාංශයක් විදියට, එහෙමත් නැත්තම් සමහරු කාලේ ගෙවාගන්න කරන දෙයක් තමයි සින්දු අහන එක. සමහරු කැමති වේග රිද්ම, බයිලා, තවත් සමහරු කැමති ශාස්ත්‍රීය ඒවාට, තවත් සමහරු කැමති හින්දි, ඉංග්‍රීසී සින්දු වලට, සමහරු විරහ ගීත වලට. ඔය කොයි විදියට බැලුවත් අඩු වැඩි වශයෙන් ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම එක එක විදියේ සින්දු අහන්න ආසයිනේ. ගොඩක් දෙනා අහලා ඇති නේද අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන හන්තානට පායන සඳ සින්දුව. ඒක ගොඩක් දෙනා අතර ජනප්‍රිය සින්දුවක් වගේම අනිත් සින්දු වලට සාපේක්ෂව ටිකක් විතර කෙටි සින්දුවක්. ඒ කොහොම උනත් අද මට හිතුනා මේ සින්දුව ගැන සටහනක් ලියන්න. මේ සින්දුවට පසුබිම් වුන කථාව නම් සමහරු නම් දන්නවත් ඇති. පහලින් තියෙන්නේ ඒ සින්දුවයි පද රචනයයි.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
…මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න//

අඳුරු ලලා වහිනා විට සරසවි බිම තෙමෙන්න//
කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න

ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න//
…මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න 
මා නොදකින පුරහඳ ඔබට හැකිය බලන්න//
… …
ටිකක් විතර නිදහසේ පදවැල් ටික කියවන්නකෝ, මොනවගේ හැඟීමක් ද එන්නේ කියලා බලන්න. ම්ම්ම්.... විරහව නේද දැනෙන්නේ. ඔයාලා හරි. මේ සින්දුවට පසුබිම් වුන කථාවත් ටිකක් දුක හිතෙන එකක්.

මේක රත්නපුර පැත්තේ වුන සිදුවීමක්. තරුණයෙක් සහ තරුණියක් අතරේ ආදරයක් ඇතිවෙනවා, හැබැයි ඔවුන් දෙදෙනා තවමත් පාසල් යනවා. ඔය විදියට කාලයත් එක්ක ඒ දෙන්නාගේ ආදරය ගලාගෙන යද්දි පාසල් කාලයෙත් අවසානය ටික ටික ළං වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගය ළං වෙනවා. සාමාන්‍ය විදියට දෙන්න ම විභාගය අවසන් කරලා , ඊට පස්සෙත් බොහොම ආදරණීය විදිය මේ දෙන්නා මාස කිහිපයක් ඉද්දී තමයි විරහව කියන දේ තරුණයා ට දැනෙන සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් තරුණිය පේරාදෙණිය සරසවියට තේරිලා. ඒ වුනත් තරුණයාට ඒ කියන්නේ පෙම්වතා ට සරසවි පිවිසුම අහිමි වෙලා.

පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක් කියලා. මේ වෙලාවෙදි තමයි පෙම්වතා ට විරහා වේදනාව දැනෙන්නේ. ඔහුට දැනෙනවා සරසවියට ඈ ගියා ම ඔහුට ඇය ව නැතිවෙයි කියලා. සාමාන්‍යයෙන් ලස්සන තරුණියක් තනියම සරසවියට ගියා ට ඇය එළියට එන්නේ තනියම නෙවෙයි කියලා සමාජයේ තියෙන කතාව පෙම්වතා ට මතක්වෙනවා. ඒ හින්දා ම ඔහු කියනවා "මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න" කියලා. සරසවියක් කියන්නේ එක එක විදියේ අය ගැවසෙන තැනක්. ඒ විශාල පිරිස මැද්දේ ඈ තනිවෙයි කියලා පෙම්වතා ට පුංචි බයකුත් දැනෙනවා. ඇගේ ආරක්ෂාව ගැන ඔහු ගමේ ඉඳන් ලත වෙනවා මේ විදියට "කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න". ඒ හින්දා ම පෙම්වතා ටිකක් විතර දරුණු තීරණයක් ගන්නවා. "ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න". ලතා මඬුළු ළඟ ඉඳන් අත වනන ප්‍රේමවන්තයන්ගෙන් කෙනෙකුට ඈ කැමති නම් ඔහු ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කරනවා මේ විදියට "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න". පේරාදෙණිය සරසවියයි මහවැලි ගඟයි කියන්නේ එකිනෙකට බද්ධ වුන වස්තූන් දෙකක්නේ . ඒ නිසා ම පෙම්වතියට කැමති නම් ඔහු නම් ගැන මතකය, ආදරය හැමදේම මහවැලි ගඟට සදහට ම දාන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. …

පද රචකයා ගොඩක් අපූරුවට පෙම්වතාගේ විරහව අකුරු වලට ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ම ඇත්තට ම ඒ දෙන්නා අතරේ නියම ආදරයක් තියෙනවා නම් ඒ දෙන්නට වෙන් වෙන්න වෙන එකකුත් නැති වේවි කියලා මට හිතෙනවා, ඒත් ඔය වගේ අවස්ථා වලදී සම්බන්ධය නොබිඳී තියෙනවා මම දැකලා තියෙන්නේ නම් ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ කෙල්ල කැම්පස් ඇවිත් කොල්ලා එලියේ ඉන්නවා නම්. ඒත් කොල්ලා කැම්පස් ඇවිත් කෙල්ල එළියේ ඉන්නවා නම් කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය ස්ථාවරයි. ඒ අතරේ කැම්පස් එකේ ඉද්දි තනියට කියලා තවත් කෙල්ලෙක් එක්ක සෙට් වෙන කොල්ලොත් නැතුවා ම නෙවෙයි. අර මුලින් කිව්ව විදියට වෙන්න හේතුව අනාගතයේ ඒ දෙන්නගේ සමාජ ස්ථර අතර ඇතිවෙයි කියලා හිතන ඝට්ටනය වෙන්නෝන මම හිතන්නේ. එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද?

ඒ කොහොම වුනත් මොන අවස්ථාවකදි වුනත් කොල්ලෝ මේ තරම් පරිත්‍යාගශීලී විය යුතු ද? මගේ මතය නම් ඔව් කියන එක. තමන්ට වඩා හොඳ කොල්ලෙක්, තමන්ගේ කෙල්ලට ලැබෙන්න යනවා නම් ඒකට තියෙන බාධාව තමන් නම් අනිවාර්යෙන් ම ඇත්තට ම කෙල්ලට ආදරේ කොල්ලෙක් කරන්නෝන කෙල්ල ගෙන් අයින් වෙන එක කියලා මම හිතනවා. කොහොමත් මේ ගැන එක එක්කෙනාගේ එක එක විදියේ අදහස් තියෙන්න පුළුවන්. කොහොම වුනත් යාළුවනේ මේ ගැන සංවාදයට විවෘතයි. ඒ නිසා ඔයාලාගේ අදහසුත් එකතු කරන්නකෝ මේ ගැන. මේ ගීතයේ පද රචකයා සහ තනු නිර්මාපකයා ගැන නම් හොයාගන්න බැරිවුනා. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් සටහනක් තියන්න. මොකද සින්දුවක් කියන්නේ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා කියන තුන්දෙනාගෙම සාමූහික උත්සහයක ප්‍රතිඵලයක් නිසා...

ප.ලි : Image Processing in C# ගැන කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද? …

15 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Trojan Horse ගේ කතන්දරේ....



ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ඔයාලාට නම් ඒක කොයිතරම් දුරට හරියයි ද දන්නේ නෑ, බලන්නකෝ කතන්දරේ කියවලා ම!


මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාව. ඔන්න එකමත් එක කාලෙක පුරාණ නගරයක් තිබුණා බටහිර ආසියාවේ කෙළවරට වෙන්න, ග්‍රීසිය කිට්ටුව (ග්‍රීසිය මුහුදෙන් එහා පැත්තේ තියෙන්නේ ) ට්‍රෝයි පුරය කියලා. උඩ map එකේ රතු පාට රවුමකින් තියෙන්නේ ට්‍රෝයි පුරය තමයි. ග්‍රීක් වරු කියන්නේ රණකාමි ජාතියක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ, සූර පප්පා එහෙම බැලුව අය!!! ග්‍රීක් වරු කොයිතරම් රණකාමී ජාතියක් වුනත් එයාලට ට්‍රෝයි පුරය නම් ජයගන්න බැරිවුනා. ඒකට හේතුව තමයි ට්‍රෝයි වැසියෝ සතුරු ආක්‍රමණයන්ට එරෙහිව නගරය වටේට ශක්තිමත් ප්‍රාකාරයක් බැඳලා තිබුණා. යුද්ද කාලේ මේ ප්‍රාකාරයේ දොරටු වහලා තිබුණා පිටතින් සතුරන් එන එක වළක්වන්න. ඒ වගේම දුනුවායෝ ඒක උඩ ඉඳන් සතුරු හමුදා වලට විදලා පලවා හරිනවා නගරයට ඇතුළු වෙන්න කලින්. ග්‍රීක්වරු කොයිතරම් නගරය යටත් කරගන්න මහන්සි වුනාද කිව්වොත් අවුරුදු දහයක් පුරා ඔවුන් යුද්ධ කලා. ඒකට හේතුව තමයි එයාලගේ නම්බුව වෙනුවෙන් පරාජය පිළිගන්න අකමැති වුන එක. ඒ කොහොම උනත් දෙපැත්තෙම අය හෙම්බත් වෙලා හිටියේ අවුරුදු දහයක් යුද්දෙන්.


එක දවසක් ග්‍රීක ජෙනරාල්වරයා වුන ඔඩිසිස් ට නියම අදහසක් පහළ වුනා යුද්දේ දිනන්න පුලුවන් විදියේ. ඔහු තීරණය කලා ට්‍රෝයි නගරය අතහැරලා යන්න, ඒ වගේම ට්‍රෝයි නගර වැසියන් ට සාමයේ ත්‍යාගයක් යවන්නත්. ඒ තමයි දැවයෙන් කල විශාල ප්‍රමාණයේ ලස්සන අශ්වයෙක්. කොහොමත් ග්‍රීක්වරු රණකාමි වගේ ම ගොඩාක් කලාකාමී ජාතියක් නිසා ම සිත් ඇදගන්නා සුළු විදියට දැව අශ්වයා හදන්න ඔවුනට පුළුවන් වුනා. ඒ අශ්වයා ව එක් පුද්ගලයෙක් මඟින් ට්‍රෝයි පුරයට යවන ගමන් ම ග්‍රීක් වරු ට්‍රෝයි පුරයෙන් ඈතට යන්න ගියා. ට්‍රෝයි වැසියෝ, ග්‍රීක් වරු යනවා දැකලා ඉතා ම සතුටට පත් වුනා වගේ ම ආඩම්බරයට පත් වුනා ඔවුන් යුද්දේ දිනුවා කියලා. ඒ නිසා ම අර තෑග්ග සතුටින් පිළිගත්තා. "හරි ම අපූරු අශ්වයෙක්, අපේ ජයග්‍රහණයේ සැමරුම තමයි මේ" කියලා උදම් අනලා ප්‍රීති උත්සව පවත්වන්න පටන් ගත්තා.

දැන් තමයි නියම වැඩේ වුනේ. ප්‍රීති වෙමින් හිටිය ට්‍රෝයි වැසියෝ රාත්‍රිය බොහොම සතුටින් නිදාගත්තා. ඔවුන් නින්දට යනකල් ඉඳලා අර ලී අශ්වයා ඇතුලේ හංගලා හිටිය ග්‍රීක් සෙබළු එලියට ඇවිත් නගර ප්‍රාකාරය උඩට නැඟලා නගරයේ දොරටු විවෘත කලා ග්‍රීක් හමුදාවට. ග්‍රීක් හමුදාවත් යනවා වගේ පෙන්නුවත් ටිකක් දුරට ගිහින් ආයෙත් ඇවිත්. ඉතින් හිතාගන්න පුලුවන් නේ ට්‍රෝයි පුරයේ අවසානය ගැන. ඔන්න ඔහොම තමයි ග්‍රීක් වරු ට්‍රෝයි පුරය ජයග්‍රහණය කරලා තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගත්තේ. "Beware of Greeks bearing gifts!" කියන අපූරු කියමන හැදුනෙත් ඔය විදියට තමයි.

ඔය තමයි Trojan Horse ගේ කතාව. ඒ වුනත් අපි Trojan Horse ව දන්නේ ප්‍රසිද්ධ malicious program එකක් විදියට නේ. මේ විදියට තමයි කතා දෙක සම්බන්ධ වෙන්නේ. Trojan Horse වයිරස් වගේ ස්වයං පුනරාවර්තනය වෙන්නෙ නම් නෑ. ඒත් ඊට වඩා විනාශකාරී විදියට අපේ පරිගණකය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මොනයම් විදියකින් හරි Trojan Horse වැඩසටහනක් පරිගණකයේ ස්ථාපනය වුනා කියලා හිතන්නකෝ, වෙනත් තැනක ඉන්න hacker කෙනෙකුට ඒ වැඩසටහන යොදාගෙන අපේ information access කරන්න පුළුවන්. ඒ වගේම විවිධ ආකාරයේ හානි කරන්න පුළුවන් පරිගණකයේ දත්ත වලට. මේ තමයි Trojan Horse ට කරන්න පුළුවන් දේවල්.

1. අපේ පරිගණකය botnet එකක සාමාජිකයෙක් කරන එක.
2. දත්ත සොරකම් කිරීම.
3. Third-party malwares install කිරීම.
4. Files Downloading or uploading.
5. Data Modification.
6. Crashing the computer.
7. Keystroke logging

Trojan Horse ගෙන් බේරෙන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි අන්තර්ජාලයෙන් මෘදුකාංග බාගත කිරීමේ දී පිළිගත් අඩවි වලින් විතරක් ගන්න එක. ඒ වගේ ම ස්ථාපනය කිරීමේදිත් සැලකිලිමත් වෙන්නෝන. මෘදුකාංග බාගත කරන්න කලින් ඒ ගැන තියෙන Comments එහෙමත් බලන්න. කතන්දරේ කොහොමද කියලා ප්‍රතිචාරයක් දාලා ම යන්න අමතක කරන්න එපා.

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...?



Laptop එකක් හරි වෙනත් මොනාහරි බැටරියෙන් වැඩ කරන්න පුළුවන් උපාංගයක් තියෙන ඕන ම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් පාවිච්චි කරන බැටරිය එකේ උපරිම ම භාවිතා කරන්නයි. මොකද ඔය බැටරි අස්ප ගණන් නිසා කියලා හැමෝම දන්නවානේ. ඒ කොහොම වුනත් Laptop එකක බැටරිය භාවිතා කරද්දි පුලුවන් හැම වෙලාවෙම වගේ ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕනනේ. ඒ වගේ ම යම්කිසි කාලයකට වරක් බැටරිය ක්ෂය කරන එකත් කරන්නෝන. සමහරු නම් කියන්නේ මාසයකට සැරයක් බැටරිය ක්ෂය කලාම ඇති කියලා. සමහරු කියන්නේ සතියකට සැරයක් වත් බැටරිය සම්පූර්ණයෙන් ම භාවිතා කරන්නෝන කියලා. ඒ කොහොම උනත් එහෙම කරන්න ඕන වෙන්නෙ බැටරියේ ක්ෂය වීම-ආරෝපණය වීමේ චක්‍රය නිවැරදිව පවත්වාගෙන යන්නනේ. එහෙම වුනේ නැත්තම් පසු කාලෙක බැටරියේ ක්ෂය වීම-ආරෝපණය වීමේ චක්‍රයේ ගැටළු ඇතිවෙලා බැටරියේ උපරිම ඵලදායිතාවය නොලැබෙන්න පුළුවන්.

Laptop එකේ power options වල තියෙන ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් බැටරියේ ආයු කාලය වැඩිකරන ආකාරයට පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන්නයි මම යන්නේ. සාමාන්‍යයෙන් අපි වැඩක් කරමින් ඉද්දි අපිට එතනින් නැඟිටලා යන්න ඕන වෙන අවස්ථාවන් ඇතිවෙනවා. ඒ වගේ වෙලාවට අපිට Laptop එක shut down කරන්නත් බෑ. ඒ වගේ වෙලාවට තමයි මේ ක්‍රම වැදගත් වෙන්නේ. එකක් තමයි ගොඩාක් දෙනා දන්න Sleep mode එක. අනිත් එක තමයි ගොඩාක් දෙනා දන්නවා වුනත් වැඩිය භාවිතා නොකරන Hibernate option එක.මේ දෙක එකිනෙකින් වෙනස් වෙන්නේ භාවිතා කරන විදුලි ප්‍රමාණය සහ භාවිතා කළ යුතු අවස්ථාව අනුවයි.

Sleep mode

හිතන්නකෝ අපිට හදිසියේ කෑමට, මීටින් එකකට පොඩි වෙලාවකට එළියට යන්න වුනා කියලා. එතකොට අපි කරමින් හිටිය වැඩ ඔක්කොම නතර කරලා shut down කරන්න වෙනවනේ, ඒ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි Sleep කරන එක. Laptop එක Sleep mode එකට පත් කලා ම අපි කරමින් සිටි වැඩ ටික ගිහින් Save වෙන්නේ RAM එකේ. මේ නිසා ම අපි Sleep mode එකෙන් ඉවත් වුන ගමන්, ඒ කියන්නේ touch pad එකට අත වැදුන වෙලාවෙම ඉතාම ඉක්මනින් අපි කරමින් සිටි වැඩ ටික load වෙනවා. මේ වෙලාවෙදි RAM එක ක්‍රියාකාරි විදියට පවත්වා ගෙන යන්න විදුලිය අවශ්‍ය වෙන නිසා Sleep mode එකේදි යම් ප්‍රමාණයක් විදුලිය වැය වෙනවා. පරිගණකයේ Monitor එක විතරයි ක්‍රියා විරහිත වෙන්නේ. එහෙම බලද්දි පොඩි වෙලාවකට නම් අපි ඉවත් වෙන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි Sleep කරන එක.

Hibernate mode

Hibernate mode එක විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ Laptop පරිගණක වල power-saving සඳහාමයි. Sleep mode එක …Hibernate mode එකේ මුල් අවස්ථාවක් කියලා හැඳින්වුවත් වරදක් නෑ. අපි සැලකියයුතු වෙලාවකට පරිගණකයෙන් ඉවත් වෙලා යනවා නම්, shut down නොකර ඉන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ තමයි Hibernate කරන එක. Hibernate කළා ම අපි කරමින් සිටි වැඩ ගිහින් Save වෙන්නේ hard disk එකේයි. එතකොට Monitor එක වගේ ම hard disk එකත් ක්‍රියා විරහිත වෙනවා. ඒ නිසා ම Hibernate mode එකේදි විදුලිය වැය නොවෙන තරම්. ඒ වගේ ම කියන්නෝන නැවත ක්‍රියාත්මක වීමේදි Sleep mode එකට වඩා සැලකියයුතු වෙලාවක් නම් ගතවෙනවා. සමහර වෙලාවට save වුන data, hard disk එකේ ඉතුරු වෙන්නත් පුළුවන්.

මේ අවස්ථා දෙකෙන් අපි අඩුවෙන් ම ප්‍රයෝජනයට ගන්න වගේ ම වඩාත් ම ප්‍රයෝජනවත් වෙන්නේ Hibernate mode එක තමයි. ඒ කොහොම වුනත් අපි දවසක් දෙකක් වුනත් පරිගණකය භාවිතයට නොගෙන හිටියත් බැටරියේ බැසයාමක් වෙන්නේ නම් නෑ. මම දන්න දේවල් නම් ලිව්වා ඔන්න. මීට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් Comment එකක් දාලා හැමෝම දැනුවත් කරන්නකෝ.

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කියවන බිරින්ඳෑවරු ඉන්න සැමියන් ට පුංචි උදව්වක්!



ම්ම්ම්ම්.... කියවන බිරින්ඳෑවරු ගත්තම මම අහලා තියෙන විදියට තුන් ජාතියක් ඉන්නවා! (මීට වඩා ඉන්නවා කියලා දන්නවා නම් කියන්න මටත්!) පලවෙනි ජාතිය තමයි ඇත්තටම කියවන බිරින්ඳෑවරු. ඒ කියන්නේ පොතක් පත්තරයක් කියවගෙන මහත්තයටත් උදව්වක් කරගෙන පාඩුවේ ඉන්න අය. මේ වර්ගයේ අය නම් කියන්නෝන ඉතාම දුර්ලභයි. හැබැයි ඉඳලා ඉඳලා පරණ පිනකට හරි ලැබුණොත් නම් ජීවිතේ ම ගොඩ තමයි. ජීවිතේ දුක සැප දෙක ම සම සම ව විඳ දරාගෙන ඉන්න මේ අයට පුළුවන්.

…දැන් දෙවෙනි ජාතිය ගැන කියන්නම්කෝ... මේ ජාතියේ අය තමයි හිතින් කියව කියව ඉන්න අය. අර washing machine ඇඩ් එකෙත් ඉන්නේ ඒ ජාතියේ කෙනෙක් තමයි. ඒ වර්ගයේ අය කවදාවත් ප්‍රශ්න කෙලින් කියන්නේ නෑ. හිතේ තියාගෙන ඉන්නවා, ඕන කෙනෙක් පුලුවන් නම් හොයාගන්න එකයි ඇත්තේ කියලා වගේ. එහෙම උනාම නම් ජීවීතේ ප්‍රශ්න තවත් වැඩිවෙන එකයි වෙන්නෙ මට හිතෙන හැටියට!!!


කෙලින් ම කටින් කියවන අය තමයි තුන්වෙනි ජාතිය. සමහරු නම් මේ අයට කියන්නේ හරිම forward එහෙමත් නැත්තම් social කියලා. ඒ ගතිය ගොඩාක් හොඳට හිටින වගේම නරක ට හිටින වෙලාවල් තියෙනවා. පියාඹන පීරිසි එහෙම යන්නේ ඒ වගේ වෙලාවට තමයි. සමහරු නම් කැමතියි හැමදේම කෙලින් ම කතා කරනවට. ඒත් සමහර වෙලාවට ඒ අයිතිය, සීමාව ඉක්මවා ගියා ම නම් ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ. ඒ නිසා සමහරු කැමති social girls ලාට. ඒත් සමහරුන්ට නම් ඒ වගේ අය පෙන්නන්න බෑ.

ඒ කතන්දර වලින් මම කියන්න ආව දේ තව ටිකෙන් අමතක වෙනවා. මේ දවස් වල කැම්පස් එකේ කරන්නෝන ප්‍රොජෙක්ට් ගොඩ ගැහිලා. ඉතින් පණ දාගෙන ඒවා කරන වෙලාවක තමයි මේ වැඩේ හම්බ වුනේ. මම text එකක් speech එකකට ගන්න අන්තර්ජාලේ සැරිසරද්දී නියම library 1ක්, එහෙමත් නැත්තම් C# namespace එකක් හම්බ වුනා System.speech කියලා. ඒක පාවිච්චි කරලා coding කරලා හදපු පොඩි app එකක් ගැන තමයි කියන්න ලෑස්ති. මේකෙන් අපි type කරන දේ machine එක මඟින් කියවනවා. මේකේ සරල interface එක තමයි පහළ තියෙන්නේ.


මේක පාවිච්චි කරන්න පුළුවන් මෙහෙමයි. අපි නිකමට හිතමු අපි වැඩ ඉවරවෙලා ගෙදර ආව වෙලේ ආදරණීය බිරිඳ තොරතෝංචියක් නැතුව කියවනවා කියලා. අඩුම තරමේ නිදහසේ net යන්නවත්, TV බලන්නවත්, පත්තරයක් කියවන්නවත් විදියක් නෑ. ඒ වෙලාවට තියෙන්නේ මේ app එක open කරලා speaker set කරලා බිරිඳ අහන ප්‍රශ්න වලට උත්තර type කරන එකයි. ඊටපස්සේ Enter කලා ම app එක මඟින් ඒක කියවනවා. දැන් මේක හරියට single side chatting වගේ. එතකොට සමහරවිට උත්තර හැරෙන තැපෑලෙන් ම එයි, නැත්තම් උත්තර එන්න ටික දවසක් යයි, එහෙමමත් නැත්තම් වෙන මොකක් හරි අළුත් ම ක්‍රමයකින් උත්තර ලබේවි.
ඔන්න එහෙනම් උත්සහ කරලා බලන්න කැමති අය කියන්නකෝ....හැබැයි ඔන්න පියාඹන පීරිසියක් එක්කම app එකත් යයිද දන්නේ නෑ ජනේලයෙන් එලියට ඔන්න. පරෙස්සමෙන් හොඳද....!

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම )





කලින් සැරේ කතාව නැවැත්තුවේ අපි බත්තලංගුණ්ඩුව දූපතට ගොඩ බහින්න ළං වෙලා නේ. ඒ කොටස කියෙව්ව නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න. දූපතේ නම් ජැටියක් නැහැ බෝට්ටු නවත්තන්න, ඒ නිසා බෝට්ටුව හෙමීට ගිහින් වැල්ලේ ඇනුනා. අපිත් හෙමීට ඉණිමඟ දිගේ බහින්නේ නැතුව වැල්ලට පැන්නේ සතුටටමයි දැනුන!! හලාවත හිටිය අපේ යාලුවා ගේ නෑදෑ කෙනෙක් හොයාගෙන යන්නයි අපේ දැන් ලෑස්තිය. බඩු මලුත් කරගහගෙන වැල්ලේ කොයිතරම් ඇවිද්දත් එක තැනම වගේ. වැල්ල නිසා වේගෙන් ඇවිදින්නත් බැහැනේ. ඒ මදිවට අපි බැස්සෙත් දවල් 12ට විතරනෙ, වැල්ලත් නියම ගානට රත්වෙලා. යද්දි දැනගත්ත විදියට දූපතේ පවුල් 3000ක් විතර පදිංචි වෙලා ඉන්නවා. ස්ථිර නිවාස ප්‍රමාණය නම් 100කටත් අඩුයි වගේ පෙනුනේ. ඒ සියලු දෙනාම වාගේ යැපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. දූපතේ අතරින් පතර වෙළද සැල් එහෙමත් දකින්න තියෙනවා. ආ... කියන්න අමතක වුනානේ, දූපතට තියෙන්නේ ඩයලොග් දුරකථන සංඥා විතරයි.

කොහොමහරි අපේ යාලුවාගේ(රන්දික) නෑදෑයා අපිව හොඳින් පිළිගත්තා. අපිට පොල් අතු වාඩියක් එහෙමත් ලැබුණා නවතින්න. උඩම ඡායාරූපයේ තියෙන්නේ අපි නතරවෙලා හිටිය වාඩිය. අපේ මුල් ම රාජකාරිය වුනේ කෑම උයාගන්න එක. විශේෂයෙන් ම මතක් කරන්න ඕන දෙයක් තමයි ඕන කරන දේවල් පිටින් අරන් යන්න කියන එක. දූපතේ අඩුවට තියෙන්නේ මාළු, කරවල විතරයි. දවල් ට හාල් ලිපේ තියලා ගෝවා කිරට උයාගත්තා. මාළු, කකුළුවෝ එහෙම නම් නොමිලේ ම ලැබුණා අපේ යාලුවා නිසා. මාළුත් ඉව්වා කිරට, මිරිසට, තෙලට වගේ හිතේ හැටියට!!!


දූපතේ දර ප්‍රශ්නේ නම් තදින් තියෙනවා ගස් ඒ තරම් නැති නිසා , ඒ නිසා ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා භූමිතෙල් ලිප් පාවිච්චි කරන්න. හවස් වෙනකල් කොහොමත් අපිට එලියට බහින්න අමාරුයි, තද අව්ව පුරුදු නැති නිසා.


මම දැන් දූපත ගැන විස්තර කියන්නම්කෝ. මෙහේ නාවික හමුදා ඒකකයක් වගේම පොලිස් ස්ථානයකුත් තියෙනවා. පහුගිය යුද්ධ කාලෙත් සංග්‍රාමික වශයෙන් මේ දූපත ගොඩාක් වැදගත් තැනක් ගත්තා. දූපතේ ප්‍රමාණය ආසන්න වශයෙන් ව‍්රග කි.මී 5ක් විතර වගේ. කතෝලික පල්ලි එහෙමත් දෙක තුනක් තිබුණා. දූපත් වාසින් ගේ රැකියා ගැන කතා කරද්දී ධීවර කාර්මිකයෝ, බෝට්ටු හිමිකරුවන්, අතරමැදියන්, මාලු වෙළෙන්ඳන්, කඩ හිමිකරුවන් වගේ අය දකින්න ලැබෙනවා. වැස්ස තියෙන්නේ ඔක්තෝබර්-දෙසැම්බර් කාලෙට. ධීවර කාර්මිකයෝ තමයි බැලූ බැල්මට ගොඩාක් ම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. පාන්දර දෙකට විතර බෝට්ටුවට නැඟලා දැල් එලන්න පිටත් වුනා ම ආයේ එන්නේ දවල් වෙලා, ආවට පස්සේ දැල් වලින් මාළු බේරලා ඉවර වෙද්දි කලින් දවසේ ඇල්ලුව මාළු, වේලපු කරවල ටික ගොඩට අරන් යන්න පැක් කරලා බෝට්ටුවට දාන්න ඕන, ඒකත් ඉවරවෙලා උයාගෙන කාලා බීලා ඉවරවෙද්දි ඉරුණ දැල් මහන්න හවසට සෙට් වෙනවා. ඒ හැමදේම කරලා රෑටත් කාලා නිදාගන්න යද්දි කොහොමත් රෑ 9-10 වෙනවා. මේ තරම් අසීමිත දුක් විඳගෙනත් මේ මිනිස්සු මේ රස්සාව කරන්නේ අත මිටට හොඳ මුදලක් ලැබෙන නිසාලු!



මේ අය ගොඩාක් දෙනෙක් මීගමුව, කොච්චිකඩේ, කුඩාපාඩුව, කන්දකුලිය වගේ පැති වලින් ආපු අය කියලා තමයි දැනගන්න ලැබුණේ. 1982 ඉඳන් මෙහේ පදිංචි වෙලා ඉන්න මහනුවර පදිංචිකාරයෙකුත් හම්බ උනා ඒ අතර. හවස දූපතේ ටිකක් ඇවිදින්න ගියා. නාවික හමුදා සොයුරන් ගමේ අයත් එක්ක ක්‍රිකට් ගහනවා දකින්නත් ලැබුණා, ඒකට සෙට් වෙනවටත් වඩා අපේ අයට කැමැත්ත තිබුණේ මුහුදේ නාන්න යන්නයි. මේ දූපතේ එක පැත්තක් කල්පිටිය කලපුව මුහුණ පාලා තියෙන අතරෙම අනිත් පැත්තේ තියෙන්නේ මුහුදයි. මුහුද නම් ටිකක් සැර වුනත් අපි නෑවා, ඊට පස්සේ තමයි ලොකුම ප්‍රශ්නේ.... නාන්න හොඳ වතුර නෑනේ. සෑහෙන්න ඇවිදලා පොඩි වතුර වලවල් දෙකක් හොයාගෙන එක්කෙනා බාල්දි 3-4 වෙන්න යන්තම් නාගත්තා. වැඩිය වතුර ගන්න එකත් හොඳ නෑ, මොකද මේ අය බොන්න ගන්නෙත් මේ වතුර ම නිසා.



රෑටත් යන්තම් උයලා කාලා බිම තමයි නිදාගත්තේ. බිම කිව්වේ වැල්ලේ කාපට් එකක් එලලා! මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ උයන එක මින තරම් කරදර වැඩක් ද කියලා, අම්මලා කොහොම හැමදාම මේක කරනවද මන්දා! උදේට නැගිටලා අයෙත් උයන්න එපැයි. අපි 11ක් ගිය නිසා සමහර වෙලාවට එක ම දෙසැරයක් ලිපේ තියන්න ඕන, මොකද ඒ තරම් ලොකු හට්ටි, මුට්ටි නැති නිසා. අපෙත් ඉන්නේ අයේ උයලා දුන්නම කන්න බැරි අයියලා නේ!!! අපරාදේ කියන්න බෑ හොඳට නින්ද ගියා වැල්ලේ වුනත්! උදෙත් නැගිටලා එහෙන් මෙහෙන් රවුම් ගහලා එද්දි දවල් වුනා, ම්ම්ම්...අපහු යන්නත් එපැයි, රන්දික ගේ නෑදැයා ට කියලා අරන් යන්න කරවල ටිකකුත් හොයාගත්තා. මිල නම් සාපේක්ෂව ගොඩාක් අඩුයි. බෝට්ටුව දූපතෙන් දවල් ආයෙත් යන්නේ 1.30ට. දූපතේ හිටිය අපේ හිතවතුන්ට ගොඩාක් ස්තූති කරලා අපි ඔවුන් ගෙන් සමු ගත්තා. ගොඩාක් දුකයි ආපහු එන්නත්, ඒත් එන්නත් එපැයි....දූපතේ කරවල, මාළු පටවගෙන බෝට්ටුව පිටත් වෙද්දි 2 විතර වුනා. අපි හවස 5 විතර වෙද්දි කල්පිටිය ජැටියට ආවා.


බෝට්ටුව ගොඩට එනකල් මීගමුව බස් එකක් ජැටිය ළඟ නවත්තලා තියෙනවා, ඒ නිසා කරදරයක් නතුව ආපහු එන්නත් ලැබුණා. පොස්ට් එකේ රසවත් තැන් ගොඩාක් අඩු කරලා ලිව්වේ ගොඩාක් දිග වෙන නිසයි. මේ අතර ම දූපත් වැසියන්ගේ ප්‍රශ්න ගැනත් නොලිව්වොත් ඒක ඒ අයට කරන අසාධාරණයක් කියලා හිතෙන නිසා ඒ ගැනත් ලියන්නම්. ලොකුම ගැටළුව තමයි පිරිසිදු ජලය. දූපත ඇතුලේ අඩි 4-5 ගැඹුර වලවල් හාරලා ඒවාට වතුර එකතු වෙනකල් ඉඳලා ඒවා තමයි බොන්න ගන්නේ. ගොඩ ඉඳන් වුනත් වතුර අරන් යන්න ලොකු වියදමක් යනවා. තවත් ගටළුවක් තමයි සනීපාරක්ෂාව. මෙහෙ වැසිකිලි නැති එක. උදේට වැල්ලට යන අපිට නම් අළුත් අත්දැකීමක් වුනාට ලෙඩ රෝග බහුල වෙන්න ඒකත් එක හේතුවක්. තවත් ලොකු ගැටළුවක් තමයි දූපත රජයට පවරා ගෙන වැසියන් ඉවත් කරලා සංචාරක කර්මාන්තයට යොදාගන්න උත්සහා කරනවා කියන රාවය. ඔවුන් ඒකෙන් ගොඩාක් කැළඹිලා ඉන්නේ. ඒකට නම් කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ කියලයි කියන්නේ. පසුගිය කාලේ ඇතැම් මාධ්‍ය ආයතන වුනත් දූපතට ඇවිත් මේ ප්‍රශ්න වවාගෙන කෑවා මිසක් වුන දෙයක් නම් නෑ කියලයි ඒ අය කියන්නේ. ඊට අමතරව දූපතේ මාළු මිල තීරණය කරන වෙළඳ මාෆියාවත් අහිංසක ධීවරයන්ට ලොකු ප්‍රශ්නයක්.

කාටහරි දූපතට යන්න ආස හිතෙනවනම් යන්න, ඒක නියම අත්දැකීමක්. පුළුවන් නම් එහේ ඉන්න කාවහරි කෙනෙක් සෙට් කරගන්න, එතකොට ඇතිවෙන ප්‍රශ්න ගොඩාක් අඩුකර ගන්න පුළුවන්. මොකද දූපත සංචාරක ව්‍යාපාරයට තවමත් හුරු නැති නිසා දූපතේ ඉන්න අය පිටින් එන අය දිහා බලන්නේ ටිකක් අමුතු විදියට. නවතින්න නම් ප්‍රජා ශාලාවක් එහෙමත් තියෙනවා. මුහුදේ නාන්න යද්දි පරෙස්සමෙන්. භයානක තැන් ගොඩාක් තියෙනවා කියලා අපිත් දැනගත්තේ නාලා ගොඩට ආවට පස්සේ....! පෝස්ට් එක මෙතනින් ඉවර කරන්නයි හිතුවේ. ඉර බැහැලා යන දසුනත් ලස්සනට බලන්න පුළුවන්, මේ ලංකාවේ බටහිර වෙරල නිසා. මංජුල වෙඩිවර්ධන මහත්තයා මේ දූපතේ මාස 6ක් විතර නතර වෙලා 'බත්තලංගුණ්ඩුව' කියලා පොතකුත් ලියලා තියෙනවා. පුළුවන් නම් යන්න කලින් ඒකත් කියවලා යන්න.......

7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බත්තලංගුණ්ඩුවේ ගිහින් එමුද....(පළමු අඬහැරය )



මේ සැරෙත් Semester end exam එක ඉවරවෙලා අපේ කස්ටිය සෙට් උනා ට්‍රිප් එකක් යන්න. ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉද්දී අපි කස්ටිය ගොඩාක් ම කරන්නේ කොහේහරි ඇවිදින්න යන එක තමයි, ලෙක්චර්ස් යනවට අමතර ව. මීට කලින් හැමසැරේම ගියේ ලංකාව ඇතුලේ නේ. ඒ නිසා අපි හිතුවා ලංකාවෙන් එළියට ගිහින් බලන්නෝන කියලා!!! අපි තීරණය කලා ඒ නිසා බත්තලංගුණ්ඩුවේ යන්න. අපේ සෙට් එකේ හලාවත යාලුවෙකුත් ඉන්න නිසා වැඩේ තවත් ලේසි උනා.


රතු පාට… පුංචි කවයකින් දක්වලා තියෙන්නේ අපි යන දූපත. ඉස්සරවෙලා ම මම කියන්නම්කෝ බත්තලංගුණ්ඩුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නති අපේ යාළුවන්ට. කොළඹ ඉඳන් යනවා නම් මාර්ග අංක 04 කල්පිටිය බස් එකක තමයි යන්නෝන. එහෙමත් නැත්තම් පුත්තලම බසයක් ගිහින් පාලවිය හන්දියෙන් බැහැලා ආයෙත් කල්පිටිය බසයක් යන්න ඕන. දුර 140km ව්තර. බොහෝවිට පැය 4-5 යාවි. සිතියම බලන්නකෝ.


මේ කල්පිටිය ජැටිය. ඔන්න කොහොමහරි අපි කල්පිටියට උදේ 7.30 විතර වෙද්දි ගියා. ජැටියට ඇතුළු වෙන්න රු 5/=ක ටිකට්පතක් ගන්න ඕන. උදේට මොනාහරි කන්න කලින් ගිහින් බැලුවේ බෝට්ටුව යන්නේ කියටද කියලා. බෝට්ටුව 8.30 ට විතර තමයි යනවා කිව්වේ. විශේෂයෙන් ම කියන්නෝන මෙතන ඉඳන් තියෙන්නේ සිංහල-දෙමළ මිශ්‍ර බහුතර කතෝලික ආගමේ සංස්කෘතියක්. ඒ නිසා ටිකක් විතර කල්පනාවෙන් වැඩ කරන්නෝන. ජැටියේ තියෙනවා පොඩි කැන්ටින් එකක්. පිට්ටු, බනිස් වර්ග වගේ දේවල් තමයි තියෙන්නේ. බත් නම් සුලභ නෑ වගේ.


මේ තමයි දූපත ට යන්න තියෙන බෝට්ටුව. ජැටියේ පොඩ්ඩක් ඇවිදලා ඉක්මනට ඇවිත් බෝට්ටුවට නැග්ගේ හොඳ තැනක් අල්ලාගන්න වටපිට බල බල යන්න. බෝට්ටුවට නගින්න කලින් එතැන ඉන්න නාවික හමුදා නිළධාරියාට අපේ විස්තර දෙන්නෝන. ඔන්න කොහොමහරි බෝට්ටුවට නැගලා ඉස්සරහම අල්ලගත්තා අපි සෙට් එක. බෝට්ටුවේ ඉහළ කොටස වෙන් කරලා තියෙන්නේ මඟීන්ට. යට තට්ටුව තියෙන්නේ නම් දූපතට අරන් යන බඩු බාහිරාදිය වෙනුවෙන්. යන අයට කැමති නම් බෝට්ටුවෙ වහලේ වුනත් නැඟලා යන්න පුළුවන්. ඒකත් ටිකක් විතර බයත් හිතෙන ත්‍රාසජනක අත්දැකීමක්. මේ බෝට්ටුව ඩීසල් එන්ජිමක් සහිත එකක් (පොඩි බෝට්ටු ක්‍රියාත්මක වෙන්නේ භූමිතෙල් එන්ජින් වලින්! ). බෝට්ටුවේ ලොක්කාට අමතර ව තවත් ගෝලයො දෙන්නෙක් හිටියා. ලොක්කා නම් පෙනුමෙන් ටිකක් සැරයි වගේ!!!


මේ අපේ සෙට් එකෙන් කොටසක් බෝට්ටුවට නැඟලා ඉන්නේ. අපිට අමතරව තව 30-40ක් විතර සෙනඟ හිටියා. ඒ අය නම් නිතර නිතර යන එන අය වගේ පෙනුනේ! 8.45 ට විතර බෝට්ටුව ජැටියෙන් එළියට ඇවිත් හෙමීට යන්න පටන් ගත්තා. අපි යන්නෝන සම්පූර්ණ දුර 18km විතර. කල්පිටිය කලපුව මැදින් යන මේ ගමනේ දි පුංචි පුංචි දූපත් ගොඩාක් හම්බ උනා!. මම හිතන්නේ ඒවා ලංකා සිතියමේ නම් නැතුව ඇති, ගොඩාක් පොඩි නිසා. නමුත් ඒවයේ ධීවරයෝ නම් පදිංචි වෙලා ඉන්නවා. අපි සින්දු කිය කිය බෝට්ටුවේ යනකොට පොඩි පොඩි මාළු පැටව් බෝට්ටුව දෙපැත්තෙන් පැන පැන යන එක නම් හරිම ලස්සන දසුනක්. පැය දෙකක් විතර යනකල් බෝට්ටුව ගමන් කරන්නේ විල්පත්තු වනෝද්‍යානය පෙනෙන දුරින්. ඊට පස්සේ මන්නාරම් කලාපයට තමයි අපි ඇතුළු වෙන්නේ. ඒ අතර ධීවර බෝට්ටු ත් එක දෙක හම්බ උනා. පැය තුනක් විතර යද්දි බෝට්ටුව ටික ටික දූපතට ලං වුනා. ආ... කියන්න අමතක උනානේ. බෝට්ටුවෙත් බස් වල වගේම ටිකට් නිකුත් කරනවා. ටිකට් පතක් රු 200/=ක්. පෙනුන හැටියට නම් දූපත 2km විතර දිගයි වගේ! වෙරළ පුරාම ධීවර වාඩි වගේ පෙනෙන්නේ. ම්ම්ම්... බැහැලා ම බලමුකෝ!


මේ දුරට දූපත පෙනෙන විදියයි. පෝස්ට් එක ටිකක් විතර දිග වෙනවා වගේ දැනෙන නිසා දූපතේ අපේ ජීවිතේ ගැන මම ඊළඟ පෝස්ට් එකෙන් දාන්න හිතුවා ! විශේෂයෙන් ම රන්දික තමෙල් හා ඡායාරූප වෙනුවෙන් ගෙහාන් චන්දික, චතුරංග ලියනගේ සොයුරන් ට ස්තූතිය!

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !