පාත්‍රය...


සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න."

"සුබ උදෑසනක් වේවා සිටුතුමනි".

"සුබ උදෑසනක් මිතුර, කිමෙක්ද බොහෝ කලෙකින් අප මතක් වූයේ? අමනාපයක් වත් ද? "

"අනේ සිටුතුමනි, අමනාපයක් නොවෙයි, මෙවර වෙළඳාම සඳහා අප ගියේ බොහෝ දුර ඈතකටයි, ඒ නිසා නැවත පැමිණෙන්නට සිතුවා ට වඩා බොහෝ කල් ගතවුණා. මා ඔබතුමා හමුවට හදිසියේ ම පැමිණුනේ මට එහි දී හමු වූ වටිනා වස්තුවක් ඔබතුමාට දීමටයි"

"එ කිමෙක්ද මා මිතුර ?"

"මා දන්නවා ඔබතුමා බොහෝ සේ සඳුන් ලී වලට ප්‍රිය කරන බව. එසේ ම මා දැක තිබෙනවා සිටු මාළිගයේ තිබෙන අනර්ඝ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ. ඉතින් මා සිතුවා වෙළඳාම අතරතුර මා ලද මේ වටිනා සඳුන් ලී කැබැල්ල ඔබතුමා ට දීමට, ඒ මන්ද යත් මෙය ලද විට මට එකවර ම මතක් වුණේ ඔබතුමායි "

"ඔබට බොහෝ ම ස්තූතියි මිතුර, මා පමණක් නොවෙයි අපේ පරම්පරාවේ හැමදෙනා ම පාහේ සඳුන් ලී වලට බොහෝ සේ ඇළුම් කළා. මේ මාළිගයේ තිබෙන්නේ මා විසින් කරවූ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ පමණක් නොවේ. මගේ පියා, ඔහුගේ පියා, ඔහුගේ ත් පියා ආදි වශයෙන් බොහෝ දෙනා කරවූ භාණ්ඩ මෙහි තිබෙනවා. මා සිතන්නේ අපේ මහ රජතුමාට වත් මෙපමණ අනර්ඝ සඳුන් ලී කැටයම් නැතැයි කියායි. ඉතින් ඔබට නැවතත් බොහෝ ම ස්තූතියි"

"එසේ නම් සිටුතුමනි මට යන්නට අවසර, අපට කළයුතු බොහෝ වැඩ තිබෙනවා නොවැ..."

වෙළෙන්දා ඒ අයුරින් නික්ම ගියත් සිටුතුමා ගේ කල්පනාව වූයේ මේ සඳුන් ලීයෙන් කළයුත්තේ කුමක්දැයි කියායි. ඇත්තෙන් ම අළුතින් නිර්මාණය කරවිය යුතු කිසිවක් සිටුවරයාගේ මතකයට නො එන තරමට සිටු මාළිගය කැටයම් භාණ්ඩ වලින් අනූන එකක් විය. දින ගණනාවක් නොයෙක් අදහස් අතර සැරිසැරූ සිටුවරයාට එක්වර ම කදිම අදහසක් පහළ විය. වහා ම තම වඩුවා කැඳවූ සිටුවරයා, ඔහුට නියෝග කළේ සඳුන් ලීයෙන් මනරම් පාත්‍රයක් කරවන ලෙසයි. වඩුවා පාත්‍රය සාදන අතරතුරේ තම සේවකයන් කැඳවූ සිටුවරයා ඔවුන් ට දැන්වූයේ බොහෝ උස උණ ගස් කිහිපයක් කපාගෙන විත් ඒවා හොඳින් එකිනෙක ගැටගසා ඉතා උස කණුවක් පිළියෙල කරන්නට කියායි. වඩුවා විසින් කර වූ අනර්ඝ සඳුන් ලී පාත්‍රය යටි අතට හරවා උණ ගස් වලින් කරවූ කණුව කෙළවරේ රැඳ වූ සිටුවරයා තම සේවකයන් ට නියෝග කළේ එය ගෙනගොස් නගරය මැද සිටවන ලෙසයි. ඉන්පසු නගරය පුරා අණබෙරයක් යවමින් "ලෝකයේ රහතුන් යැයි සම්මත කිසිවෙක් සිටී නම් තමන් ගේ ඍද්ධි බලයෙන් මේ අනර්ඝ සඳුන් ලීයෙන් කර වූ පාත්‍රය ගනිත්වා" යි දන්වා සිටියේ ය.

නගරයේ මෙතෙක් නොවූ විරූ මහත් වූ කෝලාහලයක් පැතිර ගියේ ය. නමුත් කිසිවෙක් පාත්‍රය ගන්නට නම් ඉදිරිපත් නොවී ය. නමුත් සිටුවරයා වෙත රහසේ පැමිණෙන පණිවුඩකරුවන්ගෙන් නම් අඩුවක් නැත.

…"සිටුතුමනි, අපේ ගුරුවරයා නම් නිසැකව ම රහතන් වහන්සේ කෙනෙකි, නමුත් එතුමා ඍද්ධි බලයන් සාමාන්‍ය මිනිසුන් හමුවේ විදහා පාන්නට අකමැතියහ . ඒ නිසා අනාගතයේ බොහෝ සැප ලබාගනු වස් අපගේ ගුරුවරයාට මේ පාත්‍රය පූජා කළ මැනව"

"ඔබගේ ගුරුවරයා රහත් කෙනෙක් නම් පහසුවෙන් මේ පාත්‍රය ගතහැකි නොවේද? එනිසා අප වෙහෙසට පත් නොකර ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ලබාගන්න" ඒ පණිවුඩකරුවන් සියල්ල ට ම සිටුතුමාගේ පිළිතුර එක ම විය.

මේ අතර රජගහනුවර නිඝණ්ඨයන් ගේ ආරාමයේ මේ ආකාරයේ කථාවක් ඇතිවිය.

"ස්වාමිනී, ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය කෙසේ හෝ අප වෙත ලබාගන්නට නොහැකි වුවහොත් අපට වන්නේ මහත් ම පාඩුවකි. ඔබ වහන්සේ රහත් කෙනෙකු ලෙස සලකා අපට දන් පැන් පූජා කරන බොහෝ දෙනා අප කෙරෙහි අපැහැදීමක් ඇතිකරගනු නො අනුමාන ය. එහෙයින් නොපමා ව කිසිවක් කළ යුතු ය. එසේ ම අප සිටුවරයා වෙත යැවූ පණිවිඩකරු ද පෙරළා හරවා එවා තිබෙන බව සැලයි. කුමක් හෝ කළ මැනව "

"එසේ නම් මා විසින් ම ගොසින් රජගහනුවර සිටුවරයා හමුවෙන්නෙමි, ඔහු අපට බොහෝ හිතෛෂී, නිතර දන් පැන් දෙන කෙනෙක් නොවැ. ඒ නිසා ඔහු මට පාත්‍රය පූජා කරනු නියතයි. යම් හෙයකින් එසේ පාත්‍රය ලබාගන්නට නොහැකි වුවහොත් එය උපක්‍රමයකින් ලබාගනිමු." ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්ත තුමා තම ශ්‍රාවකයන් ට එසේ පවසා තෙමේ ම ගෝලයන් පිරිවරා රජගහනුවර සිටුවරයා හමුවන්නට ගියේ ය. 

"පින්වත් සිටුතුමනි, රහතුන් ට අභියෝග කිරීම මේ ලෝකයේ අතිශයින් ම නොකළමනා ය. ඒ නිසා නොපමා ව පාත්‍රය මා වෙත පූජා කළ මැනව."

"නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, මේ නම් ඔබ වහන්සේ ගේ රහත් බව ලෝකය හමුවේ ප්‍රකට කිරීමට කදිම අවස්ථාවකි. ඒ නිසා අප වෙත අනුකම්පාවෙන් ඍද්ධි බලයන් පා පාත්‍රය ගනු මැනව "

"හොඳයි සිටුතුමනී, එසේ නම් මා විසින් ම ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ගන්නෙමි. මාගේ ශ්‍රාවකයෙනි, ඍද්ධි බලය විදහා පෑම පිණිස මේ පිරිස මඳක් ඈත් මෑත් කළ මනා ය. "

නිඝණ්ඨනාථපුත්තයන් ඍද්ධි බලය පෑමට පා ඔසවනවාත් සමඟ ම එතුමා අල්ලාගත් ශ්‍රාවක පිරිස "ස්වාමීනී අපගේ දිවි යතත් ඔබතුමාට ඍද්ධි බල පෑමට නම් ඉඩ නොදෙමු. මේ සා නොවටිනා පාත්‍රය ක් වෙනුවෙන් වෙහෙස නොවනු මැනව. " යනුවෙන් පැවසූ ශ්‍රාවක පිරිස නිඝණ්ඨනාථපුත්තයන් අල්ලාගෙන නිඝණ්ඨාරාමය වෙත ගෙන ගියෝ ය.

මේ අතර දර කඩා විකිණීම ජීවිකාව කරගත් දර කඩන්නන් දෙදෙනෙක් අතර මහ වනය මැද දී මෙවැනි කථාවක් ඇතිවිය. "ඉස්සර නම් මේ රජගහනුවර අපි රහත්... අපි රහත් කියලා කියාගත්ත අය කී …දෙනෙක් නම් හිටියද? කෝ ඒ එක්කෙනෙක්වත් අපේ සිටුතුමා ගේ පාත්‍රය ගන්න ආවද, නෑනේ. බලාගෙන ගියා ම මේ ඔක්කොම බොරුකාරයෝ වගේ නේද? මේ ලෝකය රහතුන් ගෙන් හිස් වෙලාවත්ද..."

ඒ කැලය මැද වූ ගල්තලාවේ විවේකී ව වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකි. ඒ මුගලන් මහ රහතන් වහන්සේ සහ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේයි. උන් වහන්සේලාට මේ දර කපන්නන්ගේ කථාව ඇසුණි. උන් වහන්සේලා අතර ඇති වූ කථාව මෙබඳු විය.

"ආයුෂ්මත් භාරද්වාජයන් වහන්ස, ඔබ වහන්සේට ඇසුණාද ඒ දර කපන්නා ගේ කථාව? ඇයි ඔබ වහන්සේ ඍද්ධි බලයෙන් මේ පාත්‍රය දිනා ගෙන ලෝකයේ රහතන් වහන්සේලා තවමත් වැඩ වාසය කරන බව ලෝකයට කියාපාන්නේ නැත්තේ? "

"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එසේ ය, මටත් එය ඇසුණා. නමුත් ඔබ වහන්සේ නොවේද ඍද්ධි බල ලාභීන් අතර අග්‍රස්ථානයේ සිටින්නේ. එනිසා ඔබ වහන්සේට පහසුවෙන් මේ පාත්‍රය දිනාගත හැකි නොවේ ද ?"

"ආයුෂ්මතුන් වහන්ස, මේ බොහෝ දෙනා අතර මාගේ ඍද්ධි බලය බොහෝ ප්‍රකට එකකි. බොහෝ දෙනා ඒ ගැන දනිති. නමුත් ඔබ වහන්සේගේ හැකියාවන් බොහෝ දෙනා අතර ප්‍රකට නැත. ඒ නිසා එය ලෝකයට ප්‍රකට කිරීමට මේ පාත්‍රය ඔබ වහන්සේ ම දිනාගනු මැනව. "

…"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එය නම් ඇත්තකි." එසේ ප්‍රකාශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ රැඳී සිටි ගල් තලාව සමඟ ම අහසට පැන නැඟී රජගහනුවරට ඉහළ අහස වටා සත්වරක් ගල්තලාව මතින් ගමන් කළ හ. ගල්තලාවක් ඉහළ අහසේ කරකැවෙමින් තිබෙනු දුටු නුවර වැසියෝ මහත් භීතියට පත් වී මහත් වික්ෂිප්ත බවට පත් වූහ. තවත් මොහොතකින් මේ ගල්කුළ තම හිස් මතට කඩා වැටෙතැයි සිතූ වැසියෝ මහ හඬින් විලාප නගන්නට වූ හ. එවිට ගල්කුළ මතින් භාරද්වාජයන් වහන්ස අහසට වැඩ නුවර වැසියන්ට තමන් වහන්සේ පෙනෙන්නට සැලැස්වූ හ. 

"අනේ ස්වාමිනි අප බේරාගනු මැනව. තව සුළු මොහොතකින් ඔය මහා ගල් තලාව අප හිස් මතට කඩා වැටෙනු නියතයි... "…යනුවෙන් නුවර වැසියෝ විලාප තබන්නට වූහ. ඒ සමඟින් ම තම පාදයෙන් ගල් තලාව ස්පර්ශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ ගල් තලාව වනයේ තිබූ තැනටම වැටෙන්නට සලස්වා තමන් වහන්සේ පාත්‍රය සහිත කණුව අසල අහසේ පළඟක් බැඳ වැඩ සිටිය හ. ඒ සමඟින් ම එළියට බට රජගහනුවර සිටුවරයා "අනේ ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන් පහළට වැඩිය මැනව " යනුවෙන් යදින්නට විය. තම සේවකයන් අණවා පාත්‍රය බිමට ගත් සිටුවරයා බිමට වැඩි පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේට පාත්‍රය පූජා කලේ ය. පාත්‍රය පිළිගත් පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ වේළුවනාරාමයට වඩිනා විට නුවර වැසි ජනයා මහ හඬින් සාධුකාර දෙමින් මහ පෙරහරින් වේළුවනාරාමය දෙසට ඇදෙන්නට වූ හ.

මේ අතර වේළුවනාරාමයේ වැඩ සිටි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මේ මහා ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ ඒ කුමක්දැයි කියා උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසූ හ.

"ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ භාරද්වාජයන් වහන්සේ ඍද්ධි බලයෙන් රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගෙන, ඒ බව දුටු මිනිස්සු මහ පෙරහරින් වේළුවනාරාමයට පැමිණෙන හඬයි ඒ ඇසෙන්නේ " යනුවෙන් ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන් හ.

"එසේ නම් ඒ භාරද්වාජ භික්ෂුවට මා හමුවට පැමිණෙන ලෙස දන්වන්න " යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැවසූ හ. සුළු වේලාකින් තමන් හමුවට පැමිණි පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ හ.

"පින්වත් භික්ෂුව, ඔබ රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගත් බව සැබෑවක් ද? "

"එහෙමයි ස්වාමිනි, මා එය දිනාගත්තා. "

"පින්වත් භික්ෂුව, උතුම් වූ අරමුණක් වෙනුවෙන් මහත් ශ්‍රද්ධාවෙන් ම මේ බුද්ධ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයෙකු උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් මේ සා ලාමක වූ දෙයක් වෙනුවෙන් යෙදවීම එවැන්නෙකුට අතිශය නොගැළපෙන කටයුත්තකි. " යනුවෙන් වරදට ගර්හා කළ සේක. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අවබෝධයෙන් යුතුව ම වරද වටහා ගත් හ.

එමෙන් ම පසු දිනකදී බුදුරජාණන් වහන්සේ මහා සංඝයා මධ්‍යයේදී

"පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව සිංහනාද පවත්වන්නට හරී ම දක්ෂයි. දවසක් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව බුදුරජාණන් වහන්සේ හමුවේ තමන් වහන්සේ ගේ අරහත්වය ප්‍රකාශ කිරීමෙන් පස්සේ විහාරයේ දොරක් දොරක් ගානේ ගිහින් භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා, ආයුෂ්මතුන් වහන්ස, ඔබ වහන්සේලා කාටහරි සෝවාන් ඵලය ගැන හරි සෝවාන් මාර්ගය ගැන හරි සැකයක් තියෙනවා නම් මගෙන් අහන්න. මට හොඳින් ඒ ගැන කියාදෙන්නට පුළුවනී කියල සිංහනාද කළා. " කියලා බුදුරජාණන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා.

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සැපයි... හැබැයි දුකයි !!!


සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ, මහන්සි වෙන්නෙ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම, රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුට ලැබීම ආදී දේ ගැන නේ. ගිහි පැවිදි බොහෝ දෙනා දෙනා ම වගේ කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. මේ නිසා බොහෝ දෙනෙක් සසරක් ගැන හිතන්නෙ නැහැ, ඒ වුනත් හැම මොහොතකදී ම වගේ නැවත ඉපදීමක් සඳහා පින් සහ පව් රැස් කරනවා. ඇහැට පෙනෙන සැපය උදෙසා බොහෝ දෙනෙක් කයින් පව් රැස් කරනවා, වචනයෙන් පව් රැස් කරනවා, මනසින් පව් රැස් කරනවා. මෙසේ කයින්, වචනයෙන් හා මනසින් පව් රැස් කරලා මරණින් පස්සේ, කෙනෙකු හැකිළු අතක් දිගහරින පමාවෙන් නිරයේ උපදිනවා. ඇතැමෙක් තිරිසන් ලෝකයේ උපදිනවා. ඇතැමෙක් පේ‍්‍රත ලෝකයේ උපදිනවා. බොහෝ දුකට පත්වෙනවා.
සතර අපායට වැටෙන සුළු ජීවිතයක් බොහෝ දෙනෙකුට උරුම වී තිබෙන්නේ සසරේ බිය නොදැක, අකුසල් රැස් කිරීම නිසා යි. කුසල් රැස් කිරීමෙහි ප‍්‍රමාදවීම නිසා යි. ලෞකික ජීවිතය හෙවත් උපතත්, මරණයත් අතර පවතින මේ ජීවිතය ගැන පමණක් පුන පුනා වර්ණනා කරන නිසා යි. මේ පුහු වර්ණනාවට මිනිස්සු හසුවෙන්නේ කෙමනක් ඇතුළට රිංගලා පීනන මාළුන් රෑනක් වගෙයි. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. උන්වහන්සේ සසර ගමනක ඇති භයානක ස්වභාවය සෑම විට ම පෙන්වා දුන්නා. මිනිස්සු සසරට ඇලූම් කරමින් ඉන්නේ නොදැනුවත්කම නිසා බව බුදුරජාණන් වහන්සේ දැනගෙනයි සිටියේ. වරක් උන්වහන්සේ භික්ෂූන් අමතා මේ විදියට ප්‍රකාශ කළා.

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රයට ගිනි ඇවිලූණහොත්, හිස හෝ ගිනි ගත්තොත් එවිට කුමක් කළ යුතුද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇඳ සිටින වස්ත‍්‍රයට හෝ හිසට ගිනි ඇවිලූනහොත් ඒ ගින්න නිවා දමන්නට අධික උත්සාහයක්, බලවත් වීරියක්, බලවත් කැපවීමක් ගත යුතුය. ගින්න නොපැතිරීම පිණිස බලවත් සිහියක්, නුවණක් උපදවා ගත යුතුය.”

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රය හෝ හිස හෝ ගිනි ගත් කෙනෙක් එය නොසලකා, සිහි නොකර, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි උත්සාහ කළ යුත්තේ. බලවත් ලෙස කැපවිය යුත්තේ. සිහියත්, නුවණත් උපදවා ගත යුත්තේ.”
- චේල සූත‍්‍රය (ස.නි. 05) -

මේ විදියට අතිශයින් ම බලවත් උත්සාහයකින් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස කැප විය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළේ ඇයි ? මේ සසර ගමන ඉතා භයානක බව උන්වහන්සේ දන්නා හින්දයි. වරක් උන්වහන්සේ තම නිය සිළ මතට පස් ස්වල්පයක් රැගෙන අනතුරුව භික්ෂූන් අමතලා මේ විදියට පැවසුවා.

“පින්වත් මහණෙනි, මා නිය සිළ මත තිබෙන මේ පස් ද වැඩි, මහ පොළොවේ පස් ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නිය සිළ මත තිබෙන පස් නම් ඉතාම ස්වල්පයකි, නමුත් පොළවේ ඇති පස් ප්‍රමාණය නම් ගිණිය නොහැකි තරම් ය "
 
“පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයෙන් ම මිනිසුන් කෙරෙන් චුත වන මිනිසුන් ගෙන් යළිත් මිනිස් ලොව උපදින්නේ මේ නිය සිළ මත තැබූ පස් ස්වල්පය මෙන් ඉතා ම ටික දෙනෙකි. එහෙත් මේ මහා පොළොවේ පස් වැනි අති විශාල පිරිසක් මිනිස් ලොවින් චුත වී නිරයේ උපදිති. මිනිස් ලොවින් චුත වී පේ‍්‍රත ලොව උපදිති. මිනිස් ලොවින් චුත වී අපායේ ම උපදිති. යම් කෙනෙක් මිනිස් ලොවින් චුත වී යළිත් මිනිස් ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ඉතා ම ස්වල්පයයි. යම් කෙනේක මිනිස් ලොවින් චුත වී දෙව්ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ද ඉතා ම ස්වල්පයකි.”
- පඤ්චගති පෙය්‍යාල වර්ගය (ස.නි. 05) -

මේ භයානක අනතුරින් අත් මිදීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මය අහන්න, අවබෝධ කරන්න හැකියාව තියෙන මිනිස් ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. බුදු සසුනක් අපට මුණ ගැහිලා තියෙනවා. නමුත් මේ අවස්ථාව අපට අහිමි වුණොත් අපි කොහේ කවුරු වෙලා උපදී දැයි අපිට කියන්න බෑ. බැරිවෙලාවත් අපි අපා දුකට වැටුණොත් උපන් ජාතියේ නිසාවත් හෝ මිල මුදල් වලින් වත් ඒ අපා දුකින් නිදහස් වෙන්න බැහැ. අපේ දෙමව්පියන් ට, එකට හිටිය යාළුවන් ට අපි බ බේරගන්න බැහැ, බේරාගන්න එන්නෙත් නැහැ. ඒ නිසා අපිට හැමතිස්සේ ම පිහිටට තියෙන්නෙ අපි කරගත්ත දෙයක් විතරමයි.

තෙරුවන් සරණ ගිය, අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්න එක හරි ම වැදගත්. ඒ වගේ ම සසර බිය දකින්න ඔබට පුළුවන් නම් පව් කෙරෙහි ප්‍රමාදී වෙලා පින් කෙරෙහි ඔබ අප්‍රමාදී වේවි. ගෞතම බුදු සමිඳුන් වදාළ ධර්මයට අනුව ජීවිතය දෙස බැලීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් නම්, ජීවිතයේ අභ්‍යන්තරයේ සිදුවන කුසල් අකුසල් සකස් වීමේ ස්වභාවය හඳුනාගන්න උත්සහ කරනවා නම්, මේ දේවල් තමයි කෙනෙක් තමන් තමන්ට ඇත්තට ම ආදරේ නම් මහත් උත්සාහයෙන් ම කරන්න ඕන. බොහෝ දෙනා සතර අපායේ වැටෙමින් ගමන් කරන මේ භයානක සංසාර ගමනින් වහ වහා අත් මිදීම පිණිස උතුම් අදහස්, වීරිය ඇති වේවා...!

ප. ලි : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි...

16 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !