දිව්‍ය ලෝකේ යන්න කැමති අයට....


අපි ගොඩක් වෙලාවට යමක් කරන්නෙ හොඳ හෝ නරක යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. අපි ඉගෙනගත්තත්, රැකියාවක් කළත් මේ හැමදේක ම කිසියම් සැඟවුණු බලාපොරොත්තුවක්/ ගොඩක් තියෙනවා. ඒ වගේ ම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මොනාහරි කරන්නෙ ඉතා ම කලාතුරකින්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයනේ. අපි කැමතියි අපිට මහන්සියක් නැතුව ම යමක් ලැබෙනවනම්. කොහෙන්හරි සල්ලි ඇවිත් ඉබේම අපේ බැංකු ගිණුමට එකතුවෙනවානම්.... හැබැයි අපි නොදන්නවා/ නොහිතනවා වුණාට හැමෝටම තියෙනවා ඒ වගේ ගිණුමක්. අපිත් නොදැනීම ඒ එකවුන්ට් එකට එකතුවෙන දේවල් තියෙනවා අපි එදිනෙදා කරන කියන පුංචි පුංචි දේවල් නිසා. ඒ තමයි කර්මය කියන ගිණුම...

මුගලන් මහරහතන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ දවසක් දිව්‍ය ලෝකයන්හි ධර්ම චාරිකාවේ නිරත වුණා. මේ ගමනේ දී දෙවිවරුන් සමඟ සුහද පිළිසඳරෙහිත් යෙදුණා ඇතැම් අවස්ථාවල. මුගලන් මහ රහතන් වහන්සේ
"දෙව්දුවනි, මේ තරම් දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ පින කුමක් ද?" දෙව් දුව, කළ පින ඉතා සුළු එකක් වුණ නිසා ඒ ගැන කියන්නට ලජ්ජා වුණා. "දෙව්දුවනි ලජ්ජාවට පත්වන්නට කාරණා නැත. ඒ පින්කම කුමක්ද?" මුගලන් තෙරණුවෝ ආයෙත් විමසනවා. එවිට දෙව්දුව මේ විදියට පිළිතුරු දෙනවා. 

“මම මිනිස් ලොව සිටිත්දි දුප්පත්ව යැපුණෙමි. පවට බියෙන් සිටියෙමි. කිසි දිනක බොරු නොකීවෙමි. සැබෑවක්ම කීවෙමි. දෙව් ලොව උපත ලැබුවේ ඒ නිසා ය.”

මුගලන් මහරහතන් වහන්සේ තවත් දිව්‍ය විමානයක් ළඟ නතර වෙලා තවත් දිව්‍ය අප්සරාවක් සමඟ පිළිසඳරෙහි යෙදුණා. ඇයගෙන් ද දිව්‍ය සම්පත් ලැබීමට කළ පින කවරේදැයි විමසුවා. එවිට ඒ දෙව්දුව "තෙරුන් වහන්ස. මම මිනිස් ලොව ඉතා අසරණව, මෙහෙකාර කෙල්ලකව සිටියෙමි. කොපමණ දුක් පීඩා ලැබූවත් කෝපය මැඩ ඉවසීමෙන් විසු බැවින් මේ දිව්‍ය සම්පත් ලැබීමි" යි කිව්වා. 

මේ විදියට මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍යංගනාවන් කිහිප දෙනකුගෙන් ම තමා ලද දිව්‍ය සැපතට හේතු විමසනවා.

“මම උක් හේනක් බලා සිටි කල්හි උක් දඬු පිදීමෙන් දිව්‍ය සම්පත් ලදිමි”
“මම තියඹරා ගෙඩියක් පිදීමේ පිනෙන් දිව්‍ය ලෝකයට පැමිණීයෙමි.” ආදි ලෙස ඔවුහු පිළිතුරු දෙනවා උන්වහන්සේට.

ආපසු දෙව්රම් වෙහෙරට වැඩි මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තර බුදුරජාණන් වහන්සේට සැල කළා. එවිට බුදුරජාණන් වහන්සේ, පැහැදුණු සිතින් යුතුව සත්‍ය වචන කීමෙන්, නොකිපී ඉවසීමෙන්, සුළු හෝ යමක් දීමෙන් පවා දිව්‍ය සම්පත් ලද හැකි බව දේශනා කළා. ඒ වගේ ම උන්වහන්සේ උන්වහන්සේ මහානාම ශාක්‍යයාට, දෙව් සැප ලබන්නට කැමති නම් දේවානුස්සතිය වඩන්නටත් අවවාද කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 'දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක්‌ වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම චාතුර්මහා රාජිකය, තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්‌කොට ගන්න'... යනුවෙන්.

මේ ධර්මය ඇසෙන කොට කාටහරි හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දිව්‍යලෝක වල ඉපදීම වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යලෝක වර්ණනා කිරීමක්‌ නොවෙයි වෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස මනුෂ්‍යයා ව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම කෙනෙක් දිව්‍යලෝක, දිව්‍යසැප කෙරෙහි ජන්දරාගය,කැමැත්ත, තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම දිව්‍යලෝක කෙරෙහි කැමැත්ත ඇති වුණාට පස්‌සේ කැමැත්ත උපාදානයක් හෙවත් හිතේ අල්ලාගැනීමක්/ඇලීමක් කරගෙන වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්‍ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් වඩන්නේ ඉහත සශ්‍රීක දිව්‍යලෝකයක සැපවිඳින්න. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ජීවිතයේ වැඩි වශයෙන් වඩවා ගන්න කොට නොදැනුවත්වම සෝවාන් ඵලයට පත්වෙන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක්‌ බවට පත්වෙලා මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌ වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. එහෙම වුණේ නැත්තම් ශ්‍රද්ධානුසාරි වෙලා ධම්මානුසාරී වෙලා සෝවාන් මඟට ඇතුළුවුණ කෙනෙක් විදියටයි මියයන්නේ. එයින් නිවන කරා යන මඟ වසාලන්න ආයෙත් කාටවත් ම බැහැ. බුදුරජාණන් වහන්සේ දේවානුස්‌සතිය වඩන්න කියලා මහානාම ශාක්‍යයාට කිව්වේ මේ හේතුව නිසයි. උදාහරණයකුත් මතක් කරන්න කැමතියි මේ දේ ප්‍රායෝගික ව වුණ. මතකයිද නන්ද කුමාරයා ව පැවිදි කළ හැටි දිව්‍යාංගනාවන් ව පෙන්නලා...

මේ විදියට සැප විඳින දෙවියන් ගැන, දුක් විඳින ප්‍රේතයන් ගැන විස්තර කියවන්න තියෙන හොඳම තැන තමයි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු විමාන වස්තු කියන කොටස. මෙතනින් සහ මෙතනිනුත් ඒ වගේ කථා දෙකක් කියවන්න පුළුවනි.

අද උඳුවප් පුර පෝය දවස. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම වගේ වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී පාද සමය ඇරඹෙන්නෙත් උඳුවප් පුර පෝය දවසිනුයි.

ප.ලි: දිලී ගේ ඉල්ලීමක් වෙනුවෙන් අද සටහන ලියද්දි දිවයින පත්තරේ රහතුන් වැඩි මඟ ඔස්සේ අතිරේකයත්, සිළුමිණ පත්තරේ සිත්මල් යාය අතිරේකයත් උදව් වුණා. අද දෙසැම්බර් 27 වෙනිදා බ්ලොග් එකට තරමක් විශේෂ දවසක්. ඇයි දන්නවද? අදට මේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු දෙකක්... අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් අය මාත් එක්ක රැඳිලා හිටියා. ප්‍රතිචාර දැක්වුවා, වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නා, අගය කළා. ඒ හැමෝටම වෙනසක් නැතුව ම අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම නොදැනුවත්වම හරි හිත් රිදීමක් ඇතිවුණා නම් සමාව ඉල්ලනවා.

අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!

23 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සිහිනෙන් පෙනෙනා නෑදෑයෝ...


කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක් මියගියොත් ඒ මියගිය දවසේ ඉඳන් ඔහු හෝ ඇය දවස් 07 ක් යනකල් පින් බලාපොරොත්තුවෙන් නිවසේ රැඳී ඉන්නවා කියලා සමහරු කියනවා. කෙනෙක් මිය ගියාම ඒකෙනාට පින් අනුමෝදන් කිරීම නිවසේදීම කළ යුතු යි එහෙමත් නැත්නම් නිවසේ දී නොකළ යුතුය කියලත් හිතන අය ඉන්නවා. ඒ අතරෙදි තවත් සමහරු මෙහෙම හිතනවා.... ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පටන්ගත්තොත් ඒ අය ඒ පින් දෙන අයට කරදර කරන්න පටන් ගන්නවා, ඒක හරියට කොහෙවත් තියෙන කරදර ගොඩක් ඇඟට දාගන්නවා වගේ වැඩක් කියලත්. මේ ගැන විස්තර ඇතුව කියන්න කලින්..... පොඩි කථාවක් කියන්න හිතුවා.

සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරලා තවුස්දම් පුරන්න යන අතරවාරයේ රජගහ නුවරට යනවා පිඬු පිණිස. මේ තවුසාගේ ශාන්ත ඉරියව් කෙරේ පැහැදුන මගධාධිපති බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා රාජ්‍යයෙන් කොටසක් බාරගන්න. නමුත් තමන්ගේ උතුම් වුණ එක ම අරමුණ සිදුහත් තවුසා පැහැදිලි කළාට පස්සේ බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා බුද්ධත්වයෙන් පස්සේ රජගහ නුවරට වඩින්න කියලා. ඒ අනුව බුද්ධත්වය ලබලා මාස කීපයකින් තම ශ්‍රාවක පිරිසත් පිරිවරාගෙන රජගහ නුවර බලා වැඩම කළා. වැඩම කරලා නගරයට ගව් තුනක් එපිටින් තිබුණු වනයේ විශාල නුග රුකක් මුල වැඩ හිටියා. ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ තම රාජධානියට වැඩම කළ බව ආරංචි වුණ බිම්බිසාර රජතුමා, තමන් හමු වන්නට ඇවිත් හිටපු මහාලී කියන ලිච්ඡවි රජතුමාත්, තව විශාල පිරිසකුත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් බණ අහලා, පැහැදිලා, ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණ බිම්බිසාර රජතුමා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පහුවදා රජ මාළිගයේ දහවල් දානයට ආරාධනා කළා. 

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට, දවල් දානය පිරිනමලා තෘප්තිමත් සිතින් රෑ නින්දට ගිය රජතුමා රෑ මැදියමේ භයානක හීනයක් දැකලා අවදි වුණා. නිරුවත් විරූපී අමනුස්සයන්(ප්‍රේතයන්) පිරිසක් තමන් වට කරගෙන කෑගසා විලාප කියමින් අඳෝනා නඟන හැටි රජතුමා දැක්කා. පහුවදා උදේ ම බුදුරජාණන් වහන්සේ දකින්නට ගිය රජතුමා මේ සිහිනය දැන්නුවා. බිම්බිසාර රජතුමා ඒ දැක්කේ ඉතා ඈත ආත්මභාවයක නෑදෑයන් පිරිසක් බවත්(කාශ්‍යප බුදුන් සමයේ ), අමනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා දුක් විඳින ඒ පිරිස රජතුමාගෙන් පින් බලාපොරොත්තු වන බවත් බුදුරජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කළා. බිම්බිසාර රජතුමා පසුවදාත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා රජමැඳුරට වඩමවාගෙන, ඉතා ගෞරවයෙන් ආසනවල වඩා හිඳුවලා ප්‍රණීත ලෙස දානය පිරිනමලා, දුකට පත් වෙලා ඉන්න තම නෑදෑයන් සිහි කරලා පින් දුන්නා.

කල්ප ගණනාවක් තිස්සේ තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කරන තුරු බලා සිටි ප්‍රේතයන්, රජතුමා දන් පැන් පිරිනමලා පින් අනුමෝදන් කරන විට තමන්ගේ සා පිපාසා සන්සිඳුවාගත්තා. වස්ත්‍ර පූජා කරලා පින් අනුමෝදන් කරද්දි ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබුණා. එදා රාති‍්‍රයේ දිව්‍යමය ආහාරපානයෙන් තෘප්තිමත් වෙලා, දිලිසෙන ඇඳුම් පැලඳුම් දරාගෙන ඔවුන් රජතුමා ඉදිරියේ සිහිනෙන් නැවතත් පෙනී සිටියා. බුදුරජාණන් වහන්සේ එදා දවල් දානය වළඳා අවසානයේ රජතුමාටත්, රැස් ව සිටි මහ සෙනඟටත් ධර්මය දේශනා කළා. ඒ දේශනාව තමයි ‘තිරොකුඩ්ඪ සූත්‍රය’ හැටියට ඛුද්දක නිකායේ දැක්වෙන්නේ.

අරහත් ඵලයට පත් නොවුණ ඕනෑ ම කෙනෙක් උපත් හතරක් කරා යන්න පුළුවන් නේ. ඒ තමයි මව් කුසක, බිත්තරයක, තෙත් පරිසරයක් හෝ ඕපපාතික විදියට. මෙතනදි ඕපපාතික උපත් ලබන අය විදියට ගොඩක් වෙලාවට හඳුන්වන්නේ දෙවියන්, බ්‍රහ්මයන් සහ ප්‍රේතයන් ව. නමුත් ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන්ගෙන් වැඩිවශයෙන් පින් බලාපොරොත්තු වෙන්නෙ දුක් සහිත ලෝක වල ඉපදුණ ප්‍රේතයන්. වරක් තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ දේශනයේ දී මේ විදියට දේශනා කරනවා. "ඤාති ප්‍රේතයෝ වනාහි තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි සතරමං සන්ධි, තුන්මං සන්ධි යන ස්ථානයන්හි සිටිත්. බොහෝ වූ ආහාර පාන පිළියෙල කොට ඇති කල්හි පවා ප්‍රේතව උපන් සත්වයන්ගේ අකුසල කර්මයේ ඇති බලවත්කම නිසා කිසි ඤාතිවරයකුට ඔහු සිහිපත් නොවන්නේ ය ". මේකෙන් පැහැදිලි වෙන්නෙ මැරුණට පස්සේ පින් ලැබෙන්නත් යම් කිසි පිනක් තියෙන්න ඕන කියලයි. හැබැයි මෙයින් අදහස් වෙන්නෙ නැහැ අපි පින් අනුමෝදන් කරන හැම මියගිය ඥාතියාට ම පින් ලැබෙනවා කියලත්. 

ඒක වෙන්නෙ මෙහෙමයි. කෙනෙක් මියගිහින් නැවත් මිනිස් ලෝකයේ ඉපදුණොත්, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ඉපදුණොත් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන පින ඒ අයට ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම සතර අපායට, ඒ කියන්නේ නිරය, අසුර, තිරිසන් ආදී ලෝක වල උපත ලැබුව අයටත් මේ පින් අනුමෝදන් කළාට ලැබෙන්නෙ නැහැ. ඒ අය තමන් කළ කර්මය අවසන් වෙනතාක් ම ඒ ලෝක වල දුක් විඳිනවා. ප්‍රේත ලෝකයේ උපත ලබාගත් අයට විතරක් මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් ප්‍රේත ලෝකයේ උපන් හැමෝටමත් එහෙම පින් ලබාගන්න හැකියාවක් නැහැ. ප්‍රේතයන් අතරත් විවිධ වර්ග ඉන්නවා. සිරුර තුළ දැල්වුනු ගිනිදැලෙන් දැවෙන සිරුරු ඇති නිජඣාමතණහික පේ‍්‍රතයෝ, මළමූත්‍ර, සෙම් සොටු පමණකුත් නොලබා, බුද්ධාන්තර ගණන් සා පිපාසා දෙකින් පෙළෙන ඛුප්පිපාසික පේ‍්‍රතයෝ, පස්ගොඩ, කුණුගොඩ, අසූචි වල, කඳු බෑවුම් ආදි අපිරිසුදු තැන්හි උපදින, ගැවසෙන පංසු පිසාචක පේ‍්‍රතයෝ, අන් අය දෙන දෙයින් (පිනෙන්) ජීවත්වන පරදත්තුපජීවික පේ‍්‍රතයෝ, සඳ හිරු එළියක් යන්තම් හෝ නොලබා තද ගණඳුරෙන් වැසුණු, අතරක් නැති තද සීතලෙන් පෙළෙන උන්ගේම සිරුර සිඳ බිඳ හූරා දමන සා දුකින් පෙළෙන කාලකඤජ පේ‍්‍රතයෝ, තුන් ගවු පමණ උස් වු සිවියෙන් සමින් නහරෙන් පමණක් වැසුණු ලේ මස් නැති ඇටසැකිලි දරණ අටඨසංඛලික පේ‍්‍රතයෝ, ඇට නහර වැසු සම පමණකුත් ඇති කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු ඇති මංසපිණ්ඩිත පේ‍්‍රතයෝ ... ආදි වශයෙන් වෙන විවිධ වර්ගවල ප්‍රේතයන් අතරින් පරදත්තුපජීවික පේ‍්‍රතයන්ට පමණක් මේ ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන් දෙන පින් අනුමෝදන් වෙන්න, හොඳ උපතක් කරා ගමන් කරන්න හැකියාවක් තියෙනවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අනුමෝදන් කරන පින ලබන්න සුදුසු කවුරුත් ම හිටියෙ නැත්තම් මොනවද වෙන්නෙ කියලා. මේ ආත්මයේ තමන්ට එහෙම ඥාතීන් නොසිටියත් මේ සසර පුරාවට ම සැරිසරන කාලයේදි තමන්ට ඥාතීන් කොයිතරම් නම් ඉන්න ඇතිද? තමන්ගේ ඥාතී නොවුණ කෙනෙක් නැති තරම්. ඉතින් ඕන තරම් ඒ වගේ ඥාති පිරිස් ප්‍රේත ලෝක වල ඉන්නවා. ඒ පින් එතකොට ඒ අයට අනුමෝදන් වෙනවා සැකයක් නැතුවම. අපි තව කාටහරි පින් අනුමෝදන් කළා ම අපි රැස් කළ පින් අඩු වෙනවද කියල ත් කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒක එහෙම වෙන්නෙ නැහැ, හරියට ම කියනවනම් පහන් දැල්ලකින් තව පහනක් දැල්වුවා කියලා මුල් පහනේ දැල්ලට බලපෑමක් නැහැ වගෙයි.

දහමට හිත යොමු කරන්නේ නැතිව, කිසි සිල්ගුණදම් පුරන්නේත් නැති ව, පරම්පරාවෙන් උරුම වුණු වස්තුවෙනුත්, හරි-හම්බ කළ දේවලිනුත් හිත කය පිනවමින් ජීවත් වන හිස් මිනිස්සු බොහෝ දෙනා මරණින් මත්තේ අනුන්ගේ පිනෙන් යැපෙන (පරදත්තූපජීවී) ප්‍රේත නිකායවල උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුහරි මිය ගියාට පස්සේ ඇඬුවා, වැළපුණා, ශෝක වුණා හෝ කියලා මියගිය කෙනාට එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු දේ තමයි තමන් රැස් කරන පින් අනුමෝදන් කිරීම. සමහරවිට ඒ කෙනාට සැප පිණිස උපකාර වෙන්න පුළුවනි. හැබැයි ඒකට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන මේ වගේ. ඥාති ප්‍රේතයන්, නෑදෑයන්ගේ පින් බලාපොරොත්තු වීම, ජීවත් ව ඉන්න නෑදෑයන් හැබෑ අවංක සිතින් ඔවුන්ට පින් දීම හා ධාර්මික දාන වස්තු ඒ කාරණා තුනයි. ඒ කරුණු සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කළා ම තමයි මියගිය තමන්ගේ ඥාතියාට සැබෑම ආදරය දැක්වුවා වෙන්නෙ...

ප.ලි: මේ දවස් වල බ්ලොග් බලන්නවත් කමෙන්ට් කරන්නවත් වෙලාව හරිම අඩුයි අන්තිම ෆයිනල් විභාගෙ නිසා... ඒ නිසා හැමෝම ක්ෂමාව භජනය කරන්නෝන :)))) මේ සටහන් ලියන්න යම් යම් කරුණු නමස්කාර බ්ලොග් අඩවියෙන් වගේ ම බුදුසරණ අන්තර්ජාල සටහනෙනුත් ගත්තා. ඒ අයට පින්!

60 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !