බත්තලංගුණ්ඩුවේ ගිහින් එමුද....(පළමු අඬහැරය )


මේ සැරෙත් Semester end exam එක ඉවරවෙලා අපේ කස්ටිය සෙට් උනා ට්‍රිප් එකක් යන්න. ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉද්දී අපි කස්ටිය ගොඩාක් ම කරන්නේ කොහේහරි ඇවිදින්න යන එක තමයි, ලෙක්චර්ස් යනවට අමතර ව. මීට කලින් හැමසැරේම ගියේ ලංකාව ඇතුලේ නේ. ඒ නිසා අපි හිතුවා ලංකාවෙන් එළියට ගිහින් බලන්නෝන කියලා!!! අපි තීරණය කලා ඒ නිසා බත්තලංගුණ්ඩුවේ යන්න. අපේ සෙට් එකේ හලාවත යාලුවෙකුත් ඉන්න නිසා වැඩේ තවත් ලේසි උනා.


රතු පාට… පුංචි කවයකින් දක්වලා තියෙන්නේ අපි යන දූපත. ඉස්සරවෙලා ම මම කියන්නම්කෝ බත්තලංගුණ්ඩුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නති අපේ යාළුවන්ට. කොළඹ ඉඳන් යනවා නම් මාර්ග අංක 04 කල්පිටිය බස් එකක තමයි යන්නෝන. එහෙමත් නැත්තම් පුත්තලම බසයක් ගිහින් පාලවිය හන්දියෙන් බැහැලා ආයෙත් කල්පිටිය බසයක් යන්න ඕන. දුර 140km ව්තර. බොහෝවිට පැය 4-5 යාවි. සිතියම බලන්නකෝ.


මේ කල්පිටිය ජැටිය. ඔන්න කොහොමහරි අපි කල්පිටියට උදේ 7.30 විතර වෙද්දි ගියා. ජැටියට ඇතුළු වෙන්න රු 5/=ක ටිකට්පතක් ගන්න ඕන. උදේට මොනාහරි කන්න කලින් ගිහින් බැලුවේ බෝට්ටුව යන්නේ කියටද කියලා. බෝට්ටුව 8.30 ට විතර තමයි යනවා කිව්වේ. විශේෂයෙන් ම කියන්නෝන මෙතන ඉඳන් තියෙන්නේ සිංහල-දෙමළ මිශ්‍ර බහුතර කතෝලික ආගමේ සංස්කෘතියක්. ඒ නිසා ටිකක් විතර කල්පනාවෙන් වැඩ කරන්නෝන. ජැටියේ තියෙනවා පොඩි කැන්ටින් එකක්. පිට්ටු, බනිස් වර්ග වගේ දේවල් තමයි තියෙන්නේ. බත් නම් සුලභ නෑ වගේ.


මේ තමයි දූපත ට යන්න තියෙන බෝට්ටුව. ජැටියේ පොඩ්ඩක් ඇවිදලා ඉක්මනට ඇවිත් බෝට්ටුවට නැග්ගේ හොඳ තැනක් අල්ලාගන්න වටපිට බල බල යන්න. බෝට්ටුවට නගින්න කලින් එතැන ඉන්න නාවික හමුදා නිළධාරියාට අපේ විස්තර දෙන්නෝන. ඔන්න කොහොමහරි බෝට්ටුවට නැගලා ඉස්සරහම අල්ලගත්තා අපි සෙට් එක. බෝට්ටුවේ ඉහළ කොටස වෙන් කරලා තියෙන්නේ මඟීන්ට. යට තට්ටුව තියෙන්නේ නම් දූපතට අරන් යන බඩු බාහිරාදිය වෙනුවෙන්. යන අයට කැමති නම් බෝට්ටුවෙ වහලේ වුනත් නැඟලා යන්න පුළුවන්. ඒකත් ටිකක් විතර බයත් හිතෙන ත්‍රාසජනක අත්දැකීමක්. මේ බෝට්ටුව ඩීසල් එන්ජිමක් සහිත එකක් (පොඩි බෝට්ටු ක්‍රියාත්මක වෙන්නේ භූමිතෙල් එන්ජින් වලින්! ). බෝට්ටුවේ ලොක්කාට අමතර ව තවත් ගෝලයො දෙන්නෙක් හිටියා. ලොක්කා නම් පෙනුමෙන් ටිකක් සැරයි වගේ!!!


මේ අපේ සෙට් එකෙන් කොටසක් බෝට්ටුවට නැඟලා ඉන්නේ. අපිට අමතරව තව 30-40ක් විතර සෙනඟ හිටියා. ඒ අය නම් නිතර නිතර යන එන අය වගේ පෙනුනේ! 8.45 ට විතර බෝට්ටුව ජැටියෙන් එළියට ඇවිත් හෙමීට යන්න පටන් ගත්තා. අපි යන්නෝන සම්පූර්ණ දුර 18km විතර. කල්පිටිය කලපුව මැදින් යන මේ ගමනේ දි පුංචි පුංචි දූපත් ගොඩාක් හම්බ උනා!. මම හිතන්නේ ඒවා ලංකා සිතියමේ නම් නැතුව ඇති, ගොඩාක් පොඩි නිසා. නමුත් ඒවයේ ධීවරයෝ නම් පදිංචි වෙලා ඉන්නවා. අපි සින්දු කිය කිය බෝට්ටුවේ යනකොට පොඩි පොඩි මාළු පැටව් බෝට්ටුව දෙපැත්තෙන් පැන පැන යන එක නම් හරිම ලස්සන දසුනක්. පැය දෙකක් විතර යනකල් බෝට්ටුව ගමන් කරන්නේ විල්පත්තු වනෝද්‍යානය පෙනෙන දුරින්. ඊට පස්සේ මන්නාරම් කලාපයට තමයි අපි ඇතුළු වෙන්නේ. ඒ අතර ධීවර බෝට්ටු ත් එක දෙක හම්බ උනා. පැය තුනක් විතර යද්දි බෝට්ටුව ටික ටික දූපතට ලං වුනා. ආ... කියන්න අමතක උනානේ. බෝට්ටුවෙත් බස් වල වගේම ටිකට් නිකුත් කරනවා. ටිකට් පතක් රු 200/=ක්. පෙනුන හැටියට නම් දූපත 2km විතර දිගයි වගේ! වෙරළ පුරාම ධීවර වාඩි වගේ පෙනෙන්නේ. ම්ම්ම්... බැහැලා ම බලමුකෝ!


මේ දුරට දූපත පෙනෙන විදියයි. පෝස්ට් එක ටිකක් විතර දිග වෙනවා වගේ දැනෙන නිසා දූපතේ අපේ ජීවිතේ ගැන මම ඊළඟ පෝස්ට් එකෙන් දාන්න හිතුවා ! විශේෂයෙන් ම රන්දික තමෙල් හා ඡායාරූප වෙනුවෙන් ගෙහාන් චන්දික, චතුරංග ලියනගේ සොයුරන් ට ස්තූතිය!

8 comments:

  1. මාත් කෝච්චියේ දවසක් පුත්තලම් ගියා. ආයෙම ගිය වෙලාවක පාලවියෙන් බහලා බත්තලන් ගුණ්ඩුව පැත්තේ ගිහින් එන්න ඕනේ.

    ReplyDelete
  2. අනේ..... ඔයාලා නම් හරිම ලකී.. මටත් ආසයි ඇවිදින්න යන්න... ගැහැණු ළමයි වුණාම තියෙන කරදරේ ඕක තමයි... අපේ ගෙහාන් අයියාගෙ පින්තූර නම් හරිම ගති....තවත් ලස්සනට ලියන්න

    ReplyDelete
  3. මම බත්තලංගුණ්ඩුව ගැන පොතක් නම් කියවලා තියෙනවා. හැබැයි ගිහිල්ල නම් නෑ.

    ReplyDelete
  4. මධු:නෙරංජි: ස්තූතියි ප්‍රතිචාර වලට !
    …ගැහැණු ළමයින්ට නම් එහෙම ප්‍රශ්න තියෙනව තමයි! ඒ එයාලාගෙම ආරක්ෂාවටනේ. අද රට යන පැත්ත හොඳ නෑනේ!

    …කුමාරයා: මංජුල වෙඩිවර්ධන මහත්තයා නම් පොතක් ලියලා තියෙනවා ඒ ගැන, ඒත් මට නම් කියවන්න ලැබුණේ නැහැ. ස්තූතියි ප්‍රතිචාරයට!

    ReplyDelete
  5. නියම ගමනක්. යන්න බැරිවෙයි කියල මම බයේ හිටියේ. :)

    ReplyDelete
  6. බය නැතිකරාට පින් දීපන්.... :r

    ReplyDelete
  7. විජහට ලියමු අනිත් ටිකත්. යන්න පුළුවන් වෙයිද දන්නෙ නැති නිසා අඩුගානෙ කියවලවත් රස විඳින්න :-)

    ReplyDelete
  8. මමත් පෝය නිවාඩුවට බත්තලන්ගුන්ඩුවට යන්න හිතාගෙන ඉන්නවා :)
    මේ පොස්ට් ඒක ලොකු පිටිවහලක්
    බොහොමත්ම ස්තුතියි !!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !