අලි ජරමරේ : ජූල් මුත්තගෙ කතා...

ඉස්සර කාලෙ අපෙ ගම්වල පොදු වැඩ විතරක් නෙවෙයි පුද්ගලික වැඩක් වුණත් කෙරුණේ ශ්‍රමදාන ක්‍රමේට. මේත් ඒ වගේ දවසක්. වැවේ සොරොව්ව අළුත්වැඩියා කරලා ඇළ ශුද්ධ කරන එක මහා ශ්‍රමදානයක් විදියට පටන් අරගෙනයි තිබුණෙ. ගමේ ප්‍රභූවරු, වැඩිහිටියෝ, කොල්ලො කුරුට්ටො විතරක් නෙවෙයි බවලත් උදවියත් මේ වැඩේට එකතු වෙලා හිටියෙ.

එක කට්ටියක් වැඩ කරනවා. ඒ අයට මහන්සි දැනුනම තව කට්ටියක් වැඩ පටන් ගන්නවා. කලින් වැඩ කරපු අය විවේක ගන්නවා. විවේක ගන්න අයට පුළුවනි වෑවර ගෙඩියක් බොන්න, එහෙමත් නැත්තම් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්ප්යක් බොන්න. එහෙම කාලා බීලා ඉවරවෙලා බුලත් විටක් හපන ගමන් පටන් ගන්නවා කයිවාරුව.

ජූල් මුත්තා වගේ අයගෙ වටිනාකම තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. මහන්සිය යන්නත් එක්කලා ජූල් මුත්තාගෙ කතාවක් අහන්න තිබුණානම් හොඳයි කියලා හැමෝටම හිතුණා. ඔන්න එතකොටම තමයි බුෂ් කෝට් එකයි කොටු සරමයි ඇඳගෙන කරට තුවායකුත් දාගෙන බස්තමෙන් බිමට ඇන ඇන ජූල් මුත්තා ඈතින් එනවා පෙනුණේ. "මුත්තේ, මෙහෙ වරෙන්කො බං උඹ එනකල් අපි කොච්චර වෙලා බලං හිටියද". මුත්තා එන දිහාව බලාගෙන එහෙම කිව්වෙ විලිසොං කොලුවා. ජූල් මුත්තත් දනි පනි ගාලා බොහොම අමාරුවෙන් වෑකණ්ඩියට නැගගත්තා. ඊටපස්සෙ ගමන් මහන්සිය යන්නත් එක්කලා සියඹලා ගහ යටින් ඈඳිගත්තා.

"මුත්තේ, උඹ මොකො බං මෙච්චර පරක්කු වුණේ?" එහෙම ඇහුවේ බස්තියං දාස ගේ කොලුවා. ඒත් මුත්තා නෙවෙයි කට හෙල්ලුවෙ. බුලත් මඩිස්සලේ ළඟට ඇදලා අරන් විටක් එහෙම කාලා තොල් දෙක ඇඟිලි වලට තද කරගෙන කෙළ පාරක් එහෙමත් ගැහුවා. "මුත්තේ, අපි මේ පාරට තාර දාන්නයි යන්නෙ. එතකොට වෑකණ්ඩිය උඩින් වාහනයක් වුණත් අරන් ගියෑකි." එහෙම කිව්වෙ උඩහ කොරටුවෙ සිරියා. "ඔව් ඔව් උඹට වාහන එළවන්න පුළුවන් නම් යස අගේට මේ පාරෙන් ලොකු දූලැයි ගෙදර වාහනයක් එලවගෙන ගියෑකි." ගල් ඇඩ්ඩියගෙ පුතා එහෙම කිව්වෙ ඔලොක්කුවට වගේ වුණත් "ඇයි උඹලා හිතන්නෙ මට සුක්කානම හුරු නෑ කියලද?" ටිකක් කේන්තියෙන් වගේ මුත්තා ඇහුවා. "අනේ උඹයි මමයි දන්න වාහන එළවිල්ල". ඒක අහගෙන හිටිය කවුදෝ කෙනෙක් එහෙම කිව්වා.

"මොනවා බොල ඔන්න එහෙනම් අහගනිල්ලා". මුත්තා රැල් බුරුල් ඇරලා කට හදාගත්තා. "ඒ කාලෙ මං හොඳ ඉලංදාරියා. කරකාර බැඳලත් නෑ මයෙ හිතේ. අපේ මස්සිනාට, නංගි බැඳලා හිටිය අන්දිරිස් ට කම්මලක් තිබුණා වීරවිල දිහාවේ. මමත් වැඩක් නැති කාලෙට ඔය කම්මලට ගිහින් ඉන්නවා. ඒ කාලෙ මට ඔය වාහන දැක්කිල්ල බෑ. ඒක මම ඉගෙනගත්තෙ ඔය කම්මලේ ඉන්දැද්දි. සුක්කානම හුරු වුණාට පස්සෙ දවසක මට යන්න වුණා වැල්ලවායට මස්සිනාගෙ වැඩකට, මොකක් හරි වාහන පළහිලව්වකට. පාරෙ බස් තිබුණ කාලයක්යැ. යන්න වාහනේකට කියලා තිබුණේ නයිං ඉලවොං ලොරියක්. ඔය ලොරියෙන් වැල්ලවායට ගිහින් වැඩේ ඉවරවෙලා ආයෙ වැල්ලවායෙන් පිටත් වෙද්දි රෑ නමයට දහයට විතර තියෙන්න ඇති".

"ඒ කාලෙ නමයට දහයට මනුස්සයෙක් පාරට බහින්නෙ නෑ, මොකද කන්කොටා ඉන්නවා මඟ. ඒ තනි අලියා වස නපුරා. හැබැයි මං අලි මන්තරත් ටිකක් ටිකක් දන්න නිසා එච්චර බයක් හිතුණෙ නෑ. දැන් මම පාරෙ එන ගමන්, බලු බල්ලෙක් නෑ පාරෙ. මැදකැටියෙ වැලමිටි වංගුවට එනකල් කිසිම වාහනයක් හම්බ වුණෙ නැහැ. වැලමිටි වංගුවේදි ආව ට්‍රැක්ටරයක් මට කියාගෙන ගියා ඉස්සරහ කන්කොටා ඉන්නවා පරෙස්සමෙන් කියලා. හරියටම ඔය කිව්ව වංගුවේ ඉඳලා පැන්නෙ නැතෑ කන්කොටා පාරට. ඒ වෙනකොට මම ඌව පහුකරලා. මම පාගනවා, ඌ පස්සෙන් එලෝනවා. මම පාගනවා, ඌ එලෝනවා. මම පාගනවා, ඌ එලෝනවා....දැන් ඩීසලුත් ඉවරයි වගේ. මම තව පාගනවා. මූත් අරින්නෙ නෑ, පස්සෙන් එලවනවා"

"දැන් මොකද කරන්නෙ, මූ හැතැම්ම දහයක් පහළොවක් මගෙ පස්සෙන් එළවලා තියෙනවා. කරන්න ම දෙයක් නෑ, මූත් එනවා අස්සයා වගේ. කොච්චර පෑගුවත් මූ දැන් හොඳටම ලොරියට කිට්ටු වෙලා. දැන් ලොරියයි ඌයි ඔහොම මෙහෙම. ලොරියෙ පස්සෙ දොර වහලා තිබුණෙත් නෑ, ඇතුළෙ බඩුමුට්ටු මුකුත් තිබුණෙත් නෑ. මට ආවා හොඳ අදහසක්. හිටපන්කො උඹට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා ගැහුවා හොඳවයින් බෙරේක් පාරක්. දඩෝං ගාලා සද්දෙකුත් ආවා. අලියා ලොරිය ඇතුළේ. මොකෝ අලියට බෙරේක් නෑනේ. ටක් ගාලා ලොරිය නවත්තලා ඇවිත් දොර වහලා දැම්මා. කන්කොටා ලොරිය ඇතුළෙ දැන්. මම ඌව සත්තු වත්තට ගෙනත් දාලා ඒකෙන් ගාණකුත් කොටාගෙන තමයි නතරවුණේ"

පසුවදන: පි. උභයරත්නගෙ අදහසක් මම අකුරු කෙරුවා. ඉස්සරහට ජූල් මුත්තගේ කතා අහන්න ලැබෙයි ඔන්න දිගටම වගේ.... …

27 comments:

  1. හොඳ ආරම්භයක් මට මතක් උනා ඔය උරුවට ලිය වුනු ගැමි කතා පොත් කිහිපයක්ම

    ReplyDelete
    Replies
    1. ඒ මොනවද කිව්ව නම් හොයාගෙන කියවන්න තිබුණා, ඒත් වෙලාවක්??

      Delete
  2. යකෝ මැංචෝසන්ගේ කතා වගේ නෙව

    ReplyDelete
    Replies
    1. කවුදැ මැංචෝසන් මම නොදන්න??

      Delete
  3. හිකිස්.... මහදැන මුත්තගෙ මලයද කොහෙද

    ReplyDelete
  4. මාත් හරි කැමති ඔය වගේ ගැමි දේවල් වලට.නියමෙට ලියලා තියෙනවා..

    ReplyDelete
  5. onna mamath enawa ayya me katha tika kiyawanna......

    ReplyDelete
  6. මේ වගේ කතා නම් මරු !!!
    දිගටම ලියන්ඩෝ...

    ReplyDelete
  7. ජූල් මුත්තා චන්ද්‍ර අනගිරත්නගේ නෑයෝ වගේ :D

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      අයියෝ චන්ද්‍ර අනගිරත්නගේ "නරලොව හොල්මන්" කතා කියවලා නැද්දෝ....

      Delete
    2. නෑනේ... චන්ද්‍ර අනගිරත්නගේ වල් ටාසන් නම් කියවලා තියෙනවා! ඒකෙත් මෙහෙම තියෙනවද?

      Delete
    3. @ ලහිරු

      නරලොව හොල්මන් 1,2,3 කියලා පොත් තුනක් තියෙනවා අනගිරත්න පත්තරවලට එහෙම ලියපු ලිපි එකතු කරලා නිකුත් කරලා තියෙන. පළවෙනි පොත නම් ගුණසේන ප්‍රකාශනයක්. අනෙක් දෙක දයාවංශ ජයකොඩිලගේ. කියවලාම බලන්නකෝ. අන්තර්ජාලයෙත් පොත්වල තිබුණු කතා කීපයක් පී.ඩී.එෆ් කරලා තිබුණා වගේ මතකයි

      Delete
  8. මරු :) ඔය විදිහෙම කතා කියන අන්කල් කෙනෙක් හිටියා අපි අඳුරන...

    ReplyDelete
    Replies
    1. ඉතින් අක්කත් ලියන්නකෝ...

      Delete
  9. මරු කතා සීරිස් එකක් නේ... අනිත්වත් ඉඩ තියෙන වෙලාවක දාමු...

    ReplyDelete
  10. අලිය හැතැප්ම දහයක් පහළොවක් එලෝපු එකම මදෑ.,

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... අලියට තරහ ගිහින් වෙන්නැති!

      Delete
  11. අලි ජරමරයක් නේන්නම්... අනෙ අප්පේ... මුත්තගේ මොලේ තමා මොලේ...

    ReplyDelete
  12. මේක මග ඇරිලනේ....ඔන්න ආවා...

    ReplyDelete
  13. හරිම ලස්සනයි ජූල් මුත්තාගෙ කතාව. ඉස්සරහටත් හොඳ කතා ටිකක් දාන්නකො අපිට බලන්න.අලියට බ්‍රේක් නැති උන එකත් හොඳා නේ.

    ReplyDelete
  14. හොහ් හොහ් මෙහෙම පිනා චාන්ස් අපිට සෙට් වෙන්නේ නෑනේ..

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !