මිනී මස් වැළඳූ භික්ෂුවක්...

ඒ කාලේ බරණැස් නුවර වාසය කළ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් අසනීප වෙලා ඒ වෙනුවෙන් විරේක බෙහෙතක් වළඳමින් හිටියා. මේ විරේක බෙහෙත වැලඳුව නිසා ම උන්වහන්සේ ට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය දැනුණා. සුප්පිය උපාසක තුමත් සුප්පියා උපාසිකාවත් වාසය කළේ මේ බරණැස් නගරයේමයි. මේ දෙදෙනා ම සෝවාන් ඵලයට පත් වුණ දෙන්නෙක්. මේ දෙන්නගෙ නිතර තිබුණ පුරුද්දක් තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න නිතර විහාරයට යන එක. විහාරයට ගිහින් ගිලන් භික්ෂූන් වහන්සේලා ගේ කුටියක් පාසා ගිහින් සුවදුක් විචාරන එක වගේ ම උවමනා බෙහෙත් වර්ග සපයන එක බොහොම කැමැත්තෙන් කළා. "ස්වාමිනී, ගිලන් වී සිටින්නේ කවර භික්ෂුව ද? ගෙනැවිත් දියයුත්තේ කවර නම් දෙයක් ද?" කියලා වෙනදා වගේ ම එදත් සුප්පියා උපාසිකාව විමසුවා. එතකොට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය තිබුණ භික්ෂුව, මේ විදියට කිව්වා. "පින්වත් නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක් වළඳන ලද්දෙමි. මා හට මස් ව්‍යංජනයක් ලැබුණොත් ප්‍රයෝජනවත් ය."

ඒ බව ඇහුව සුප්පියා උපාසිකාව "ආර්යන් වහන්ස මැනවි, එය ඔබවහන්සේ හට ගෙනෙනු ලබන්නේ ය." යනුවෙන් පවසලා වහා නිවසට ගිහින් සේවකයෙක් යැව්වා කඩපිලට, විකිණීමට තියෙන මසක් සොයාගෙන එන්න. ඒ වුණත් මුළු බරණැස් නුවර පුරා ම ඇවිදලත් කිසිම මසක් හොයාගන්න බැරිවුණ සේවකයා හිස් අතින් ම සුප්පියා උපාසිකාව හම්බවෙලා මේ විදියට කිව්වා. "ආර්යාවෙනි, වෙළඳපොළේ විකිණීමට කිසිදු මසක් නැත, අද සතුන් නොමරන මාඝාත දිනයයි". ඒක ඇහුව සුප්පියා උපාසිකාව මේ විදියට හිතනවා. "ඒ ගිලන් වූ භික්ෂුවට මස් ව්‍යංජනය නොලැබුණෝතින් අසනීපය වැඩිවන්නට පුළුවනි. ඇතැම් විට ඒ අසනීපයෙන් ම අපවත් වන්නටත් පුළුවනි, ඇරත් මා යමක් දෙන බව පොරොන්දු වී එය නොයවන්නේ නම් මා හට එය නුසුදුසුය". ඊට පස්සේ මස් කපන පිහිය ගත්ත සුප්පියා උපාසිකාව තමන්ගේ කලවයෙන් කොටසක් කපලා දාසියට දුන්නා. "එම්බා කෙල්ල, මේ මස හොඳින් දුරුමිරිස් දමා පිස අසවල් වෙහෙරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න, යමෙක් මා ගැන විමසත් නම් අසනීප බව පවසන්න". එහෙම කියලා සුප්පියා උපාසිකාව තමන්ගේ කලවය රෙද්දකින් ඔතාගෙන කාමරයට ගිහින් වැතිරිලා හිටියා. නිවසට ආව සුප්පිය උපාසකතුමා, කාමරයට වැදී සිටින සුප්පියා උපාසිකාව දැකලා ඒ ඇයි කියලා විමසනවා. තමන්ට අසනීප බව කියන සුප්පියාව සිදුවුණ සියළුම දේවල් සුප්පිය උපාසකතුමාට කියනවා. මේ බව ඇහුව සුප්පිය උපාසකතුමා "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, සුප්පියාව බුදු සසුන කෙරේ පරිපූර්ණ ශ්‍රද්ධා ඇත්තීයකි. තමන්ගේ මස පවා දන් දෙන මැයට නොදිය නොහැක්කක් නම් නැත " කියලා බොහෝම සතුටු හිතුණා. ඊටපස්සෙ සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් වන්දනා කරලා පසුදින දානයට ආරාධනා කරනවා.

දානය පිරිසිදු ව පිළියෙළ කරලා ඒ බව බුදුරජාණන් වහන්සේ ට දැන්වූවා ම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සුප්පිය උපාසකතුමාගේ නිවසට වඩිනවා. වැඩම කළාට පස්සේ උන්වහන්සේ එදා දකින්නට හිටියෙ නැති සුප්පියාව ගැන විමසනවා. එතකොට සුප්පිය උපාසකතුමා "ස්වාමිනි, ඈ ගිලන් ව සිටින්නී ය. " කියලා පිළිතුරු දෙනවා. එසේ වී ඇය මෙහි පැමිණේවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. "ස්වාමිනි, ඇයට පැමිණීමට නොහැකිය" කියලා පවසනවා. "එසේ වී නම් ඇය ඔසවාගෙන එන්න" බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට සුප්පිය උපාසකතුමා ගිහින් ඇය ව ඔසවාගෙන එනවා. සුප්පියාව බුදුරජාණන් වහන්සේ දකිනවාත් එක්කම ඇගේ තුවාලය මසින් වැහිලා ගිහින් සම්පූර්ණයෙන් ම සුවපත් වුණා. "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, භාග්‍යවතුන් වහන්සේ දකිනවාත් එක්කම මේ සා මහත් වූ තුවාලය සැණින් මසින් පිරී ගොස් කැළැල් මැකී ගොස් සුවපත් වූයේය... " කියලා දෙදෙනා ම සතුටු වෙනවා. සතුටු වෙලා දන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ දානය පිළි අරගෙන ධර්ම කතාවෙන් සතුටු කරලා විහාරයට වැඩියා. ඊටපස්සෙ මේ කාරණය හින්දා ම භික්ෂු සංඝයා රැස් කරනවා. 

"පින්වත් මහණෙනි, සුප්පියා උපාසිකාවගෙන් මස් ව්‍යංජනයක් ඉල්ලුවේ කවර භික්ෂුව ද? " බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වෙතින් විමසනවා. "ස්වාමිනි ඒ මා විසිනුයි". මස් ඉල්ලූ භික්ෂුව ඉදිරිපත් වුණා.

"පින්වත් භික්ෂුව, ඒ මස ඔබට ලැබුණේද?"

"එසේ ය ස්වාමිනි, මා හට ඒ මස ලැබුණේය. "

"පින්වත් භික්ෂුව ඔබ ඒ මස වැළඳුවේද? "

"එසේ ය ස්වාමිනි, මවිසින් ඒ මස වැළඳූයෙමි. "

"පින්වත් භික්ෂුව, ඒ කවර මසක්දැයි ඔබ විසින් විමසන ලද්දේ ද?"

"නැත ස්වාමිනි, නොවිමසුවෙමි."
එවිට බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් එහි දොස් දක්වලා මේ විදියට දේශනා කළා. "හිස් පුරුෂය, ඔබ විසින් විමසනු නොලැබ කෙසේ නම් ඒ මස වැළඳුවේද? හිස් පුරුෂය ඔබ විසින් වළඳා තිබෙන්නෙ මනුෂ්‍ය මාංශයකි. හිස් පුරුෂය, මෙය වනාහී නොපැහැදුනවුන් පැහැදීම පිණිස හෝ පැහැදුනවුන් වඩා පැහැදීම පිණිස ද හේතු නොවේ....පින්වත් මහණෙනි, බලවත් ලෙස ශ්‍රද්ධාව පිහිටුවා ගත් බලවත් ප්‍රසාදය ඇති ජනයා තමන්ගේ මස පවා පුදන ලද්දේ වෙයි. පින්වත් මහණෙනි, මිනී මස් නොවැළඳිය යුතු ය. මිනී මස් වළඳන්නේ නම් එයින් ම ඒ භික්ෂුව 'ථුල්ලච්චය' ආපත්තිය සිදුවේ. " ('ථුල්ලච්චය' ආපත්තිය කියන්නේ විශාල වරදක් සිදුවුණාට පස්සෙ එය සංඝයා හමුවේ ආරෝචනය කොට නැවත නොකරන බවට පොරොන්දු වී සංවර වන ඇවතක්.) පින්වත් මහණෙනි, නොවිමසා මස් නොවැළඳිය යුතු ය. යමෙක් නොවිමසා මස් වළඳන්නේ නම් දුක්කට ආපත්තිය සිදුවේ. (දුක්කට ආපත්තිය කියන්නේ නොකළයුතු දෙයක් කිරීමේ වරදට හසුවීමයි. නැවත එය නොකරන බවට පොරොන්දු වී සංවර වීය යුතු ඇවතක්).

ඔන්න ඔය විදියට තමයි බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳීම ගැන භික්ෂූන් වහන්සේලා ට විනය නීති පැනෙව්වේ. මේ වගේ ම බලු, සර්ප, සිංහ, දිවි, වලස් වගේ තවත් මස් වර්ග දහයක් වෙනුවෙන් විනය නීති පනවලා තියෙනවා තහනම් කරලා. මේ විස්තර සඳහන් වෙන්නෙ මහාවග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධය කියන කොටසේ. උපුටා ගත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' පොතෙන්....

33 comments:

  1. වැදගත් POST එකක්... I see you have changed the look of the blog...Nice one machan...

    ReplyDelete
    Replies
    1. Thanks ලොක්කා, happy to see u here..

      Delete
  2. ලහිරු පුතා. බොහෝම පිං මේ ආදර්ශවත් කතාවට. මේ විනය නීති හුඟ දෙනෙක් දන්නෙ නෑ. මෙහෙම විනය නීති වලට අනුව මේ කතාවෙ හැටියට අනෙක් සමහර සතුන්ගේ මස් මාංස නොවැළදිය යුතු බව බුදුන් වහන්සේ වදාලා තියෙනවා නෙ.
    මේ වෙනස් කිරීම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, සතුන් වර්ග 10 ක මස් වර්ග තහනම් කරලා තියෙනවා....

      Delete
  3. මේ දක්වලා තියන මස්වර්ග ගැනත් ලියන්න පුළුවන්ද ලහිරු..?

    ReplyDelete
    Replies
    1. මම කමෙන්ට් කරන්න ගියේ ඒ දේම තමයි. අනිත් ඒවාට එපා කියන හේතුව මොකක්ද කියල.ලස්සන කතාවක්.

      Delete
    2. ඒ එක එක ඒවට තියෙන හේතු විවිධයි. උදාහරණයක් විදියට කැලයේ වාසය කළ භික්ෂූන් වහන්සේලා වරක් සිංහ, දිවි, වලස් වගෙ මස් වර්ග වලින් පිළියෙළ කළ දානය පිළිගත්තට පස්සෙ ඒ අයගේ දහඩියත් එක්ක පිටවුන ගන්ධයට ඉව අල්ලලා ආව සිංහ, දිවි, වලස් වගෙ සත්තුන්ට උන්වහන්සේලා ගොදුරු බවට පත් වුණා. ඒ නිසා ඒ මස් වර්ග තහනම් කළා, එක්තරා නාග රාජයෙක් බුදුරජාණන් වහන්සේ හමුවේ කල ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියට සර්ප මස් වැළඳීම තහනම් කළා. ඒ කාලේ මිනිස්සු බල්ලා හිරිකිත සතෙක් විදියට සැලකුව නිසා මිනිස්සුන්ගේ අප්‍රසාදයට හේතුවෙන්න පුළුවන් නිසා බලු මස් පිළිගැනීම තහනම් කළා. ඒ වගේම ඇතා, අශ්වයා වගේ සත්තු ඒ කාලේ සැලකුණේ රාජකීය සත්තු විදියට. ඒ මස් පිළිගැනීම මිනිස්සුන්ගේ ප්‍රසාදයට හේතු නොවෙන්න පුළුවන් නිසා ඒ මස් වර්ග පිළිගැනීම අනුදැන වදාළේ නැහැ. ඔන්න ඔය වගේ හේතු තමයි තිබුණේ ඒ මස් වර්ග දහය තහනම් කරන්න. මේ විස්තර සඳහන් වෙන්නෙ උඩින් කියලා තියෙන මහාවග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධය කියන කොටසෙයි..............

      Delete
  4. ඒත් උපාසිකාව තමන්ගේ මාංෂ පූජා කළේ උතුම් අරමුණකින් නිසා ඒක අකුසලයක් වෙන්න බැහැනේ. හ්ම්ම්, කොහොම වුණත් අනිත් මස් වර්ග 10 ගැනත් දානවා නං හොඳයි!

    ReplyDelete
    Replies
    1. ඔව්, චේතනාවමයි කර්මය වෙන්නෙ, ඒ නිසා උපාසිකාවට අකුසලයක් වෙන්නෙ නැහැ. ඔන්න අනිත් ඒවා ගැන දැම්මා උඩින්!

      Delete
  5. කතාව නම් ලස්සනයි.ශ්‍රද්ධාව කොයි තරම්ද කියලා හිතුණා..

    ReplyDelete
    Replies
    1. හිතාගන්නත් බැරිතරම් නේද!

      Delete
  6. ලමා කල මාද මේම කතාව අසා ඇත්තෙමි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්‍රසිද්ධ කතාවක් වගේ...

      Delete
  7. පූජ්‍ය කිරිබත්ගොඩ ඥණානන්ද ස්වාමින් වහන්සේ රචිත නිර්මාංශ ප්‍රශ්ණය කියන පොත මමත් කියවල තියෙනවා. මේ කාලේ ගොඩක් අය මාංශ අනුභවය ගැන විවිද මති මතින්තර දරාගෙන ගැටෙන එකයි කරන්නෙ. අන්න ඒ වගේ අයට ගොඩක් වැදගත් වන හා ඔබලාගේ ප්‍රශ්ණ ගොඩකට සම්බුද්ධ දේශණාව ඇසුරින් පිලිතුරු දීල තියෙනව. පොත සම්පූර්ණයෙන්ම ලියවිලා තියෙන්නෙ සකඡ්චාවක් අකාරයට. හොයාගෙන කියවනවනම් වඩාත් වටින පොතක් තමා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ගොඩක් දුර්මත, මිථ්‍යා විශ්වාස ඔළුවෙන් අයින් කරන්න උදව් වෙන පොතක් තමයි ඒක.

      Delete
  8. අර විනය නීති පනවපු අනික් මස් වර්ග ගැනත් පුලුවන්නම් විස්තරයක් ලියන්න අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව්වා උඩ.... :D

      Delete
  9. ස්තූතියි ! ' බුදු වදනේ ' මේ වගේ කතාවක් ඇහුවේ පලමුවතාවට . හරිම අමුතුයි . ඔයාගේ ලිපියක් කියෙව්වෙත් කාලේකින් .

    ReplyDelete
    Replies
    1. ඔව්, භික්ෂූන් වහන්සේලා ගේ විනය නීති ගැන අපි කතාකරනවා අඩුයිනේ. සෑහෙන වැඩ ගොඩක් මැද්දෙ ලිව්ව සටහනක්, ඒ මදිවට කී බෝර්ඩ් එකත් ලෙඩ දෙනවා. දවස් හතරක් ගියා මේ ටික ලියන්නත්. කොහොම කොහොම හරි වැඩ අඩුවෙලාවට ලියන්නම් සහෝ!

      Delete
  10. කෙනෙක්ට තමන් වූ පොරොන්දුවක් රකින්න ඇත්තටම වුවමනාව තියෙනවා නම්, ඒ වෙනුවෙන් කොයි තරම් ලොකු කැපකිරීමක් කරන්න පුලුවන්ද කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා මට හිතුණෙ පුදුම ශ්‍රද්ධාවක් නේද කියලා....

      Delete
  11. ලහිරු, බොහොම පිං මේ දැනුවත් කිරීමට. අර මස් වර්ග දහය ගැන විස්තරය අහලම තිබුනෙ නෑ. මේ වගේ වැඩිය අපිට අහන්න නොලැබෙන දේ ඉදිරියටත් ලියන්න.

    ReplyDelete
  12. අද තමයි කතාව ඇහුවේ ..අවංක චේතනාවෙන් ශ්‍රද්ධාවෙන් දානය පිළිගැන්වූව නිසා තමයි සුප්පියා ගේ තුවාලය ආශ්චර්යයෙන් සනීප වුනේ ,..ආදර්ශමත් කතාවක්

    ReplyDelete
  13. බුදු හාමුදුරුවෝ මිනී මස් කන්න එපා කියපු හේතුව මිනිසා උතුම් සත්වයෙක් විදියට සැලකෙන නිසාද? අනිත් මස් වර්ග තහනම් කරන්න හේතුත් දැනගන්න කැමතියි..

    ReplyDelete
    Replies
    1. මිනිසත් බව උතුම් දෙයක් වුණත් ඒක නම් නෙවෙයි හේතුව. ඔන්න ඒ ගැන රූ අක්කට ඒ ගැන කිව්වා, බලන්නකෝ ඒක.

      Delete
  14. අද කාලේ හාමුදුරුවරු (සමහරක්) දානෙට ආරාදනා කරන්න ගියාම හන්නේ මස් වර්ග මොනවද දෙන්නේ කියල දෙන ඕනේ මසක් කන සයිස් එකේ උදවිය දැන් ඉන්නේ

    ReplyDelete
  15. අසනීපයකදී බෙහෙතක් විදියට හැරෙන්නට ස්වාමින් වහන්සේලා ට යමක් ඉල්ලාගෙන වැළඳීම කැප නැහැ සහෝ.... ඒත් අනේ මන්දා!!!!!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !