පසේබුදුවරුන් ගැන සිත පහදා ගන්නේ....

බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි උන්වහන්සේ අතීතයේ වැඩ විසූ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර ලෝකයට හෙළිදරව් කළේ.

ඔයාලා දන්නවනේ මේ යුගය හඳුන්වන්නෙ මහා භද්‍ර කල්පය කියලා. ඒකට හේතුව උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ යුගයේ පහළ වෙන නිසයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව තමයි තිබුණේ. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. දැන් කාලේ ඉතින් පරමායුෂ 60-70ක් විතර නේ.

ජම්බුද්වීපය හෙවත් …ඉන්දියාවේ පමණයි මේ උතුමන් වහන්සේලා පහළ වෙන්නෙ. එයිනුත් ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වෙනවා. ඒ කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කල් තියෙනවනේ. ඒ නිසා කවුරුහරි කියනවා/හිතනවා නම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා බැහැර කරන්නෝන ඒ අදහස. මොකද දන්නවද, අපි ඒ කාලේ වෙද්දි මොන විදියේ උපතක ඉඳීද දන්නෙ නැහැනේ. තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙලා දුගතියේ හිටියොත් එහෙම??? මීට කලින් තිබුණ බුද්ධ ශාසන වලත් අපි ඉන්න ඇතිනේ. ඒත් අපිට ධර්මය අවබෝධ වුණේ නැහැනේ. ඉතින් අපි කොහොමද නොදකින අනාගතයක් ගැන විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ ආත්මයේදී ම පටන් ගන්න අවබෝධය ලබන්න, කල් දාන්න එපා. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා මම....

සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ ම විතරයි. ඒ වගේම බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වෙනවා, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ හෙවත් ‘පසේබුදුරජාණන් වහන්සේලා' යනුවෙන්. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම් ලෝකයේ නැති කාලයකයි. නමුත් උන්වහන්සේලා සාමාන්‍ය මිනිසුන් හා ගැටීමක් නැහැ. පිටතින් බලා කෙනෙකුට හඳුනාගන්නත් බැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවෙන්නට සුළු කලකට කලින් ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා.

ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවූ ජේතවනාරාමයෙයි. ධර්ම භාණ්ඩාගාරික වුණ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සෙ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අදහසක් ඇතිවුණා. "බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන වගේ ම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන අපට බොහෝ කරුණු කියාදීලා තියෙනවා, නමුත් පසේබුදුරජාණන් වහන්සේලා ගැන වැඩිය කරුණු වදාරලා නැතිනිසා ඒ ගැන විමසන්න ඕන" කියලා. මෙහෙම හිතුව ආනන්ද ස්වාමින් වහන්සෙ, භාවනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පසේබුදුරජාණන් වහන්සේලා ගැන විමසනවා. ඒ වෙලාවෙදි තමයි කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබුණ මේ කාරණා ඉස්මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ විසින් ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කරන්නෙ. පාලියෙන් ඛග්ග කියලා කියන්නෙ කඩුවට, විසාණ කියලා කියන්නෙ අඟ ට. කඩුවක් වගේ අඟක් තියෙන නිසා ම කඟවේණාට ඛග්ගවිසාණ කියලා කියනවා. කඟවේණා කියලා කියන්නෙ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණා වගේ හුදෙකලාවේ හැසිරුණ පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ දේශනාවෙන් විස්තර වෙනවා. මේ උතුම් දේශනාව අඩංගු වෙන්නෙ සුත්ත නිපාතයේ. ගාථා හැටගණනකින් සහ ඒ හැම එකකටම අයත් වුණ නිධාන කථාවකින් සුන්දර වූ පසේබුදුරජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන විස්තර වෙනවා. ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් තමයි ඒ. (ඒ ගැන කියවන්න පහළින් සබැඳිය දාන්නම් ).

ඛග්ගවිසාණ සූත්‍රයේදී වගේ ම ඉසිගිලි සූත්‍රයේදිත් මේ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර වශයෙන් සඳහන් වෙනවා. අහලා තියෙනවා නේද ඉසිගිලි සූත්‍රය. පිරිත් පොතේ තියෙනවා ඔන්න. මේ ඉසිගිලි සූත්‍රය, ඉසිගිලි පර්වතය මුල්කරගෙනයි දේශනා කරන්නේ. පසේබුදුවරයන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටිය තැනක් තමයි මේ ඉසිගිලි පව්ව. ඒ කාලේ මිනිසුන් දකිනවා ඉසිවරුන්(පසේබුදුවරයන් වහන්සේලා ) පර්වතය තරණය කරනවා, නමුත් ඊටපස්සෙ දකින්න නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මේ පර්වතය නම් ඉසිවරුන් ගිලගන්න එකක් තමයි කියලා. ඒ නිසා පර්වතය ඉසිගිලි නමින් හඳුන්වන්න පටන්ගත්තා. මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේදී පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් ගැන නම් වලින් ම විස්තර වෙනවා.

අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි. එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් වෙවෙයි. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයක්. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට තමයි අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව. ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා දෙව්දතුන් තමන්ගේ සියළු පව් නිරයේදී ගෙවා දැමීමෙන් අනතුරුව අවසානයේ පසේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානවා කියලා. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය"

පසු වදන : අද අධි බිනර පෝය දවස. පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ සටහන ලිව්වෙ චිත්‍රක සොහොයුරා ගේ ඉල්ලීමක් අනූවයි. මේ සඳහා තණ්හා සැඩපහර තරණය, Dhamma Medicine, දිනමිණ, සිංහලයා උදව් වුණා. කැමති අය ඉන්නවා නම් තවත් මේ ගැන විස්තර දැනගන්න පහත සබැඳි වලට යන්න. ලොකු සතුටක් තියෙනවා ලංකාවට වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා නිසා සතුන් බොහෝ දෙනෙකුට අභය දානය ලැබුණ එක ගැන. මේ කිව්වේ මුන්නේස්වරම් කාලි කෝවිලේ බිලි පූජාව ගැන. ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදයටත් වසර 139ක් පිරෙනවා. 1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී ත්මයි මෙම සුප්‍රසිද්ධ විවාදය පැවැත්වුණේ.

ඉසිගිලි සූත්‍රය කියවන්න

ඛග්ගවිසාණ සූත්‍රය කියවන්න (pdf බාගත කරගන්න )


44 comments:

  1. ගොඩාක් දේවල් දැනගත්තා. නියමයි පොස්ට් ඒක
    ඇත්තම කියුවොත් සමහර වචනනම් තෙර්නුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. මම දන්නවා සමහර වචන තේරුණේ නැත්තේ ඇයි කියලා. හැබැයි ඉතින් නොතේරෙන තැන් කිව්වනම් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේ ම මේ වගේ පෝස්ටුවක් වෙනුවෙන් නංගි කමෙන්ටුවක් දැමීම/ කියවීම ගැන ගොඩක් සතුටුයි....

      Delete
  2. අද පෝය දවසෙ නියමයි...පිං සිද්ධ වෙනවා..

    ReplyDelete
    Replies
    1. කියෙව්වටත් ඒ වගේමයි!

      Delete
  3. මචං ලංකාවෙ මිනිස්සුංගේ උපතේදී ආයු අපේක්ෂාව ඉස්සර 40-50 වගේ තිබිලා දැං 70-75 විතර වෙන්ඩ වැඩි වෙලා නේද?අනේ මන්දා ඇයි මට මේවා විශ්වාස කරන්ඩ හිතෙන්නෙම නැත්තේ???

    ReplyDelete
    Replies
    1. මචං අපි සංඛ්‍යාලේඛන එක්ක හරඹ කරනවාට වඩා ප්‍රායෝගික පැත්ත දකින්න උත්සහ කරන්නෝන. නිකමට හිතන්න අපේ දෙමව්පියන්ට ඉහළින් ඉන්න පරම්පරාව සාමාන්‍යයෙන් අවුරුදු හැත්තෑපහක් හෝ ඊටත් වඩා බොහෝවිට ඉන්නවා. ඒත් අපේ දෙමව්පියන්ගේ පරම්පරාව ගත්තොත් ඒ තරම් ආයු අපේක්ෂාවක් දකින්න අමාරුයි නේද? අපි ඊටත් අඩුවේවි. තවත් දෙයක් කියන්නද, අපි පුංචි කාලේ සහ දැන් ඉන්න ඒ වයසේ ළමයෙක් බැලුවොත් ඒ කාලේ අපිට වඩා ගොඩක් matured නේද? අනිත් දේ මේ සංඛ්‍යාලේඛන කාලෙන් කාලෙට වෙනස් වෙනවා විවිධ හේතු මත පදනම් වෙන නිසා...

      Delete
  4. අදත් ගොඩක් වැදගත් විස්තට ටිකක් අයියේ.. මුල් කාලයේ මිනිස් වයස ගැන අහුවම නම් පුදුමත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න දෙයක් නෑ මලේ, ඒ අයගෙ පින් ප්‍රමාණයයි, අපේ පින් ප්‍රමාණයයි හරියට අහසට පොළව වගේ නිසා වෙන්න ඇති එහෙම වෙන්නෙ. අනිත් දේ ඒ කාලේ ඉන්න අය කළ අකුසල් ප්‍රමාණය අදට සාපේක්ෂ ව ඉතා ම අඩුයි. ඒ ගැනත් රසවත් කථා තියෙනවා, වෙලාවක් තිබුණොත් දාන්නම්කෝ, හරියටම මතකත් නැතුව දාන්නත් බැහැනේ අනික....

      Delete
  5. විශිෂ්ඨ ඉදිරිපත් කිරිමක් .ඇවැසි විස්තර ඉහටත් උඩින් ලැබුණා .පින්සිදු වේවා .

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගොඩක් සතුටුයි!

      Delete
  6. පින් සිදු වේවා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. hoda deyak ayya me poya dawase sidda karagaththe....ayyata godak pin!!!

    ReplyDelete
    Replies
    1. නංගිටත් ගොඩක් පින් කියෙව්වට...

      Delete
  8. මට තියන බය ඕක නෙමේ. මේ භද්‍ර කල්පයෙන් පස්සේ බුද්ධ ශූන්‍ය කල්පයක ජීවත් වෙන්ඩ ලැබුනොත්.... අම්බෝ... බුදුවරු පස් දෙනෙක් හිටපු කල්පෙක මෙහෙම නම් බුදුවරු නැති කල්පයක් කොහොම වේවිද !!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිව සහෝ... ඒකයි කල් දාන්න හොඳ නැහැ කියන්නෙ. මට මතක විදියට සිඛී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප හැටක් තිබුණ බුදුවරයෙක් පහළ නොවුණ, ඒ කල්ප හැටටම එකම එක්කෙනෙක් විතරයි කියනවා සුගතිගාමී වුණේ, ඒත් කර්ම-කර්මඵල විශ්වාස කළ නිසා...

      Delete
    2. එක නම් ටිකක් බරපතලයි

      Delete
    3. ටිකක් නෙවෙයි හොඳටම!

      Delete
  9. නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා. එතකොට මිනිස් ආයුෂ අවම වෙලා ගිහින් ආපහු වැඩි වෙන්න පටන් ගන්නවද. මයිත්‍රී බුදු හාමුදුරුවන්ගේ කාලේ වෙනකොට 80000 වෙලා තියෙන්න ඕන නේ.

    ReplyDelete
    Replies
    1. මිනිස් ආයුෂ ප්‍රමාණය එන්න එන්න ම අඩු වෙනවා. කාලයක් එනවා අවුරුදු පහක් හයක වෙන අය විවාහ වෙන. අන්තිමට බොහෝ දෙනෙක් විනාශ වෙලා ආයෙත් එයින් ඉතිරිවෙන මිනිස්සු හොඳ මාර්ගයට ආවම අයුෂ ටික ටික වැඩි වෙනවා. ඔය කෙටියෙන් කිව්වෙ. ඔහොම තමයි දේශනා වල තියෙන්නෙ....

      Delete
  10. එතකොට අයියේ... අවුරුදු විසිදහස එක පාර 70-80 උනේ කොහොමද? එච්ච‍ර අඩු උනේ??? ම්ම්ම්ම් තව බුදුවරු, පසේ බුදුවරු ඇයි ජම්බුද්වීපෙම පමණක් උපදින්නේ? දෙව්දත් තෙරුන් කවද හරි පසේ බුදු වෙන කතාව දහම් පාසල් යන කාලේ ලොකු හාමුදුරුවෝ කියල දුන්න...

    අද පෝය ඩේ ස්පෙෂල් එකත් ලස්සනයි..[මමත් මේ පසේ බුදුන් ගැන ලියන්න කිව්වා අයියට මතක නෑ :( ]

    ReplyDelete
    Replies
    1. ඒක එක සැරේටම වුණ දෙයක් නෙවෙයි නංගී, අවුරුදු දස දහස් ගණනක් තිස්සෙ, සමහරවිට ඊටත් වැඩි කාලයක් තිස්සෙ වුණ දෙයක්. උපදින්න කලින් සුදුසු දේශය ගැන සොයද්දි, ජම්බුද්වීපය හොඳම කියලා දැනෙනවා ඇති උන්වහන්සේලාට. ඒක නම් හරියටම දන්නෙ නැහැ.
      …නෑ නෑ මට මතකයි කිව්වා, ඒත් ඉස්සරවෙලා ම කිව්ව කෙනා ගැන තමයි කිව්වෙ.... ඒකයි, අමතක කළා නෙවෙයි!

      Delete
    2. @ අනූ

      මිනිසුන්ගේ ආයු කාලය ක්‍රමයෙන් ක්ෂය වෙන්නේ මිනිස්සු දුසිරිතේ ගැලීම නිසා. ක්‍රමයෙන් යහපත් වෙන මිනිස්සු තමන්ගේ ආයුෂ වසර 80,000 ක් පමණ දක්වා වැඩි කරගන්නවා මෛත්‍රී බුදුන් පහල වෙන සමයේ...

      Delete
  11. ඔබ හදාරන්නේ මේ දේවල් පිළිබඳවද සහෝ? ඇත්තටම වටිනවා මෙහෙම ලිපි ලියන එක.
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ, මම trainee SE කෙනෙක්. ඒත් මේ දේවල් තමයි ජීවිතයට වටින්නෙ....

      Delete
  12. "ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා"

    ලොවුතුරා බුදු කෙනෙක් ජිවමානව සිටින සමයක පසේ බුදුවරුන් වැඩ සිටින්නේ සිටින්නේ නැහැ. ඒක නිසයි එහෙම දෙයක් වෙන්නේ.. ඒ වගේමයි එකවර පසේ බුදුවරුන් විශාල ප්‍රමාණයක් ඉන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ලොවුතුරා බුදු කෙනෙක් ජිවමානව සිටින සමයක පසේ බුදුවරුන් වැඩ සිටින්නේ සිටින්නේ නැහැ. ඇයි ඒ??? පසේ බුදුවරු ධර්මය දෙසන්නේ නෑ . ඒක විතරනේ වෙනස

      Delete
    2. @ ....ජනියා....

      ඒක ධර්මතාවය. පසේ බුදුවරුන් දහම් දෙසන්නේ නැහැ කිව්වට එහෙම නැහැ. උන්වහන්සේලාටත් කෙටියෙන් දහම් දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඒ දේශනාව මිනිසුන්ට නිවන් මාර්ගය අවබෝධ කරවන්න සමත් නැහැ....

      Delete
    3. ඊටත් වඩා පසේ බුදුවරුන් මිනිසුන් හා ගැටීමක් නැහැ. එතකොට ධර්ම දේශනාවක් කොහොම වෙන්නද?

      Delete
  13. දැන ගත්ත එක නම් ගොඩාක් වටිනවා

    ReplyDelete
    Replies
    1. පුරුදු කරන්න පුළුවන් නම් තවත් වටිනවා...

      Delete
  14. සාදූ! සාදූ!! සාදූ!!!
    පහු උනා කමෙන්ටුවක් දාන්න. අපි මේ ගමන සිල් සමාදන් උනේ පොල්ගහවෙළ මහ මෙවුනාවේ. සම්බුද්ධ රාජ මාලිගාවත් වැද පුදා ගත්තා. හරිම සතුටක් දැනුනා එදා. සිත සැබැවින්ම නිවී ගියා. පසේ බුදුවරයන් වහන්සේලා ගැන මුලින්ම ඇහුවෙත් මේ අසපුවේදීමයි. ඔයාට මේ කුසලයම ඇති පුතා ඉක්මනින්ම චතුරාය‍ය සත්‍ය අවබොධය ලබන්නට.

    ReplyDelete
    Replies
    1. සාදු සාදූ සාදු... සීලයක් ගැන කතා කරනවා අහන්න ලැබීම කොයිතරම් වාසනාවක්ද. මමත් අනුමෝදන් වෙනවා ඔබතුමිය රැකි සීලය. සම්බුද්ධ රාජ මාලිගාව වැඳ පුදා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදි!

      Delete
  15. සාධු සාධු නොදන්නා දේවල් ගොඩක් තියනවා. දහම් පාසලේ උගන්නන්න කදිමයි.

    ReplyDelete
  16. ඇත්තටම නොදන්නා කරුණු ගොඩක් දන ගත්තා
    තව මේ දේවල් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ආසයි මේ වගේ දේවල් ගැන දැන් ගන්න

    ReplyDelete
  17. ඇත්තටම හොද ලිපයක්... ඒත් බුදුවරු අනාගතයේ බිහිවනවා කියන එක නම් මට පැටලිලි සහිතයි.බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ බුද්ධියෙන් ඉහල අයෙක් පහල වෙනවා කියන එක නේද? දැනට ලොව ශේෂඨතම විද්‍යාඥයා ගෞතම බුදුන්. උන්වහන්සේලාට හිතන ටෙ පිරිනිවන් පාන්නයි හිතෙනකොට උපදින්නයි බෑ.ඒක පසුකාලීනව සංඝ සමාජය ඇති කරගත් මහා බොරුවක් විදිහටයි මං දකින්නේ.පසේ බුදුවරු ඉන්න ඇති එයාලත් දාර්ශනියකයෝ.අපේ බුදු හාමුදුරුවෝත් දාර්ශනිකයෙක්.අනික පසේ බුදු ගැන ගෞතම බුදුන් දේශනා කලා යැයි කින සූත්‍රයත් මං පිළිගන්නේ නෑ.මොකද බුදුන් දේශනා කරේ අපේ නිවන ගැන හා ජීවන ගමන් මගේ සාර්ථකව ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් විතරයි.

    ReplyDelete
    Replies
    1. බුදුවරු මීට කලිනුත් බොහෝ ප්‍රමාණයක් පහළ වෙලා තියෙනවා. 28 ක් නම් නෙවෙයි, ඊටත් වඩා. ඒ වගේ ම අනාගතයේදිත් බුදුවරුන් පහළ වේවි. ඒ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හිතෙන හිතෙන විදියට ඒ දේවල් වෙන්නෙ නම් නැහැ, ඒකට නියමිත කාලයක් තියෙනවා.
      …//බුදුන් දේශනා කරේ අපේ නිවන ගැන හා ජීවන ගමන් මගේ සාර්ථකව ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් විතරයි
      …ඒක හරි. නමුත් ඔබ දැනගතයුතුයි පසේ බුදුවරුන් ගැන දේබුදුන් වහන්සේ දේශනා කළේ තේරුමක් ඇතුව බව. උදාහරණයක් කියනවා නම් ඛග්ගවිසාණ සූත්‍රයේදි හුදෙකලාවේ හැසිරීමේ අගය ගැනයි පසේ බුදුවරුන් ඇසුරින් දේශනා කළේ. අපිට කිසියම් කරුණක් පිළිබඳ සැකයක් ඇතිවුණා ම ඒක විමසන්න ඕන ධර්ම විනය ඇසුරින් මිසක් ස්වයං මතවාද තුළින් නොවෙයි. ඒ නිසා යෝජනාවක් කරන්නම්, තවදුරටත් සූත්‍ර දේශනා කියවන්න, අවබෝධ කරන්න උත්සහ කරන්න. ස්තූතියි ප්‍රතිචාරයට....

      Delete
  18. වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ආවටත්!

      Delete
  19. මේ දවස් ටිකේ ගොඩක් ධර්ම කරුණු ගැන තිබ්බ බ්ලොග් ලිපි කියෙව්ව. ඔබගේ මේ ලිපියත් ඉතා ආසවෙන් කියෙව්වෙ. ගොඩක් කරුණු දැන ගන්න ලැබුනා. බොහොම පින් සිදුවෙන කටයුත්තක් මේ විදිහට හොඳ දේ සාකච්ඡා කරන්න අවස්ථාවක් ඇති කිරීම.

    …(පොඩි දෙයක් කියන්නම්. මට නම් හිතුනා මේකෙ අකුරු තව පොඩ්ඩක් ලොකු කලොත් කියවන්න පහසු වෙයි කියලා. අදහසක් පමණයි )

    ReplyDelete
  20. මම අද මේ ගැන මුලින්ම දැනගත්තේ. ඉතා ආශ්චර්යය මත් දේශනාව ක්. ඔබතුමා ට උතුම් වූ ධර්මාවබෝධය ම ලැබේවා!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !