වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -02

වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -01

මහනුවර රාජධානියේ ඇදවැටීම සනිටුහන් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැරදීමකින් වගේ රජවුණ හැටි කියන කතාවේ දෙවෙනි කොටස තමයි මේ. කලින් කොටස කියෙව්ව නැති කවුරුහරි ඉන්නවානම් උඩින් තියෙන සබැඳියෙන් ගිහින් කියවලා ම එන්න. ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි. කන්නසාමි කුමාරයා සමඟ රහසේ ම සාකච්ඡාවක යෙදුණු මහාධිකාරම කන්නසාමි කුමාරයාට මෙහෙම කිව්වා. "පුත කන්නසාමි... මා කියනා ලෙසට වැඩ කලහොත් ඔබට ලංකාවේ රජකම රැගෙන දෙමි.නමුත් එසේ රජකම ලැබුණු පසුත් මා කියනා ලෙසට වැඩ කළ යුතු ය. එසේ පොරොන්දු වන්නේද? " රජකම ගැන තුන්හිතක වත් අදහසක් නොතිබ්බ කන්නසාමි කුමාරයා මේ යෝජනාවට එකඟ වුණා විතරක් නෙවෙයි මහාධිකාරම කියන ඕනෑම දෙයක් ඒ විදියටම කරන්නත් කැමති වුණා.

පිළිමතලව්වේ මහාධිකාරම ගත්තොත් ඔහු මුල ඉඳලා ම නායක්කර් වංශිකයන්ට රජකම හිමිවීම ගැන කැමැත්තක් දැක්වූයේ නැති කෙනෙක්. නිතර කල්පනා කළේ කොහොමද නැවතත් රජකම සිංහලයන් අතට ගන්නෙ කියලයි. කොහොමත් රාජාධි රාජසිංහ රජතුමාට දාව අගබිසවගෙන් දරුවෝ හිටියෙ නැති නිසා අගබිසවගේ සොහොයුරු මුත්තුසාමි කුමාරයා තමයි ඊළඟට රජකමට නියමිත වෙලා හිටියෙ. ඒ නිසා මේ විදියට ගියොත් කොහොමත් රජකම යළි සිංහලයන්ට නොලැබෙන බව හිතුව මහාධිකාරම ඒකටත් සැලසුමක් හැදුවා. මුලින් ම එතරම් දැනුම් තේරුම් නැති කන්නසාමි කුමාරයා ව රජකරවලා, රාජ්‍යත්වයේ රූකඩයක් වගේ නටවලා ඊට පස්සෙ ඔහු මරවලා තමන් රජවෙන එක තමයි මහාධිකාරමගේ සැලසුම වුණේ.

රජතුමා නැවත් එනවිට මඟුල් කඩුවෙන් ම ඇනලා රජතුමා ව මරලා දාන්න කුමාරයා ව කැමති කරවාගත්තා මහාධිකාරම. කොහොමත් රජු ගේ ම මඟුල් කඩුව ඇනිලා නිසා, අශ්වයා කුලප්පු වෙලා රජතුමා අසු පිටින් බිමට වැටිලා මඟුල් කඩුව ඇනිලා රජු මියගියා කියලා ඒත්තු ගන්නන එක තමයි මහාධිකාරම ගේ සැලසුම වුණේ. ගිවිස ගත්ත විදියටම ඊළඟ වතාවේ රාත්‍රියේ රජතුමා කුමරිය කරා එන වෙලාවේ සැඟවිලා හිටිය කන්නසාමි කුමාරයා විසින් රාජාධි රාජසිංහ රජතුමාට මඟුල් කඩුවෙන් බඳට ඇනලා මරලා දාන්න සමත් වුණා. ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා අශ්වයා එළවලා දාලා මඟුල් කඩුව ඇනිලා මැරිලා හිටිය රජතුමාගේ දේහය රජමාළිගාවට ආරගෙන ගියා, සැලසුමේ විදියට ම ක්‍රියා කල මහාධිකාරම මේ සිද්ධිය හදිසි අනතුරක් කියලා ඔප්පු කරන්න තරම් දක්ෂ වුණා. මහාධිකාරම් නෙ සියළු අදිකාරම්වරුන්ගේ ප්‍රධානියා. ඉතින් මහාධිකාරම් තුමා සියළු උඩරට අදිකාරම්වරුන්ට නියෝග කළා රජතුමා අසනීප ව අසාධ්‍ය ව සිටින නිසා ඊළඟ රජු තෝරාගැනීමට වහාම මඟුල් මඩුවට රැස් වෙන්න කියලා. එහෙම රැස්වුණාට පස්සෙ මහාධිකාරම, ඊළඟ රජතුමා ගැන තීරණයක් ගන්න අදිකාරම්වරුන්ගේ අදහස් විමසුවා. මහාධිකාරම්තුමා බලාපොරොත්තු වුණ විදියටම ඒ ගැන කටයුතු කර සුදුසු තීරණයක් ගන්න අදිකාරම්වරු විසින් මහාධිකාරමට බලය පැවරුවා. මහාධිකාරම යෝජනා කලේ කන්නසාමි කුමාරයා ව. මහාධිකාරම්තුමා මේ විදියට කන්නසාමි කුමාරයාගේ ගුණ වර්ණනා කළා. "කන්නසාමි කුමාරයා පිරුණු අටළොස් වස ඇත්තෙකි, සියුම් බුද්ධියකින් යුතු සිංහල භාෂාව මනා සේ ප්‍රගුණ කර ඇති කුමාරයා මල්වත්ත පන්සල ඇසුරු කොටගෙන හැදී වැඩුණු නියම බෞද්ධයෙකි. පිය රජු සේම දැහැමි ව රට කෙරේවි " ආදි වශයෙන්.

මේ කළබල අස්සේ කාටත් රජවෙන්න නියමිත ව හිටිය මුත්තුසාමි කුමාරයා ව අමතක වුණා (සමහරවිට ඒ වෙලාවේ මහාධිකාරමගේ බලය වැඩි නිසා හිතලා ම අමතක කලා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් මුත්තුසාමි කුමාරයාගේ නම යෝජනා කරන්න තරම් එඩිතර කෙනෙක් එතැන නොහිටියා වෙන්නත් පුළුවනි). ඉතින් අනිත් අදිකාරම්වරුත් මේ විදියට කන්නසාමි කුමාරයාට කැමති වුණා. ඊටපස්සේ නිල වශයෙන් රාජාධි රාජසිංහ රජතුමාගේ මරණය නිවේදනය කරලා චාරිත්‍රානුකූල ව අවසන් කටයුතු සිද්ධ කළාට පස්සෙ කන්නසාමි කුමාරයා, ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙසින් සිංහාසනාරුඪ වුණා.

ඔන්න ඔය විදියට තමයි උඩරට අවසන් රජු වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වුණේ. රාජමාතාව වෙන්න ලැබීම ගැන කුමරියත් බොහෝ සේ සතුටු වුණා. මහාධිකාරම තමන් ගේ හිතේ තිබුණ රජවීමේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න යෙදුව උපක්‍රම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට අසුවීම නිසා රජතුමාගේ අණ පරිදි අන්තිමේදි හිස් ගැසුම් කා මියයන්න මහාධිකාරමට සිද්ධ වුණා. අධර්මිෂ්ඨ බේබදු රජකෙනෙක් වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉක්මනින් ම රටවැසියන්ගේ දෝෂාරෝපණයට ලක් වුණා. (මද්දුම බණ්ඩාර සිදුවීම වගේ දේවල් එහෙමත් වුනේ මේ කාලේදිනෙ ). ඒ විදියට අසමඟි වුණ රට, ඉංග්‍රීසීන්ට යටත් වෙන්න පහසුවෙන් පාරක් නිර්මාණය කළා. සමහරවිට මුත්තුසාමි කුමාරයා රජවුණා නම් අපි ඉංග්‍රීසින්ට යටත් නොවෙන්නත් තිබුණා නේද...

ප.ලි : අත්තනගලු වංශයේ සඳහන් වෙනවා සිරිසඟබෝ රජතුමාට හිස දන්දෙන්න වුණේ ඊට පස්සේ රජවෙන්න හිටිය ගෝඨාභය කුමාරයාගේ මේ වගේ සිතිවිල්ලක් නිසා කියලා ("මහළු වයසේදී රජකම ලබා තරුණ වයසේදි විඳියයුතු පංචකාම සම්පත්තිය කෙසේ විඳින්නද... "). මතකද කුමාරදාස රජතුමා වගේ ම ඔහුගේ මිතුරු කාලිදාස කවියාටත් මැරෙන්න සිද්ධ වුණේ මේ වගේ ම තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් තමයි!

38 comments:

  1. "රාජාධි රාජසිංහ රජතුමාට දාව අගබිසවගෙන් දරුවෝ හිටියෙ නැති නිසා අගබිසවගේ සොහොයුරු මුත්තුසාමි කුමාරයා තමයි"

    මුත්තුසාමි අග බිසවගේ විතරක්ම නෙමේ අනික් බිසෝවරු දෙන්නාගේත් සහෝදරයා

    "මහාධිකාරම් නෙ සියළු අදිකාරම්වරුන්ගේ ප්‍රධානියා. ඉතින් මහාධිකාරම් තුමා සියළු උඩරට අදිකාරම්වරුන්ට නියෝග කළා"

    මහාදිකාරම් කියන්නේ සියලු අදිකාරම්වරුන්ගේ ප්‍රධානියා නෙමේ. උඩරට රාජධානියේ පාලන ක්‍රමය තුළ හිටියේ අදිකාරම්වරු දෙන්නයි.. ඒ පල්ලේගම්පහ අදිකාරම් හෙවත් පළමු අදිකාරම් සහ උඩගම්පහ අදිකාරම් හෙවත් දෙවෙනි අදිකාරම්..

    පස්සේ කාලේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සියපත්තුවේ අදිකාරම් නමින් තුන්වෙනි අදිකාරම් තනතුරකුත් ඇති කරනවා.

    අදිකාරම්වරුන්ගේ බලතල සමානය. වෙනස තියෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය සහ රජතුමාගේ කැමැත්ත මත පළමුවෙනි සහ දෙවෙනි අදිකාරම් ධූර හිමිවීමවයි

    අදිකාරම්වරු යටතේ තමා දිසාවන් භාර දිසාවේවරු සහ රටවල් භාර රටේරාළ හෙවත් රටේ මහත්වරු ඉන්නේ...

    "පිය රජු සේම දැහැමි ව රට කෙරේවි " ආදි වශයෙන්"

    කවුද මේ පිය රජු ?

    "සමහරවිට මුත්තුසාමි කුමාරයා රජවුණා නම් අපි ඉංග්‍රීසින්ට යටත් නොවෙන්නත් තිබුණා නේද..."

    1803 මාර්තුවලදී ඉංග්‍රීසීන්ගේ උදව් අරගෙන මුත්තුසාමි කුමාරයා උඩරට රජවෙනවා. ඒත් සිද්ධ වෙන්නේ ඒ කුමාරයට රදළයන්ගේ වගේම මහජනා සහය නොලැබුණු එක.

    අන්තිමට වෙන්නේ පැනලා ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ නැවත පැමිණීමත් එක්ක මුත්තුසාමිට සහ ඉංග්‍රීසින්ට ඔක්කෝම අකුලගෙන ආපහු එන්න

    "අධර්මිෂ්ඨ බේබදු රජකෙනෙක් වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉක්මනින් ම රටවැසියන්ගේ දෝෂාරෝපණයට ලක් වුණා"

    මේ කරුණු ගැන ඇත්තටම විමසලා බලන්න ඕනේ. මමත් ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන ලිපියක් ලියමින් ඉන්නේ. එන්නකෝ ඉස්සරහට ඒක කියවන්න

    ReplyDelete
  2. මම දන්න විදියට නම් මහාධිකාරම් කියන්නෙ මහ ඇමති වගේ තනතුරක්, අදිකාරම් ධූර සංඛ්‍යාව ඒ කාලේ රජවරුන්ගේ කැමැත්ත පරිදි වෙනස්වුණා. ඒ නිසා නිශ්චිත් ගාණක් නැහැ කියලයි මම අහලා තියෙන්නෙ. මහාධිකාරම් කන්නසාමි කුමාරයාගේ නියම පියා වුණාට රටේ මිනිස්සු සහ රාජාධි රාජසිංහ රජතුමාත් හිතාගෙන රජතුමා තමයි පියා කියලා. ඒකයි පියරජු විදියට හැඳින්වුණේ. 1803 උඩරට ඉංග්‍රීසි ආක්‍රමණයෙන් මුත්තුසාමි කුමාරයාට රජකරන්න ඒතරම් කාලයක් ලැබුණේ නැහැ, සිංහල චාරිත්‍රානුකූල ව රජකමට පත්වෙන්න ලැබුණෙ නැහැ වගේම ස්වාධීන ව කටයුතු කිරීමේ හැකියාවක් තිබුණෙත් නැති නිසා රටවැසියන්ගේ කැමැත්තක් තිබුණෙ නැහැ. ඉංග්‍රීසින් තුටුපඬුරු විදියට එව්ව මත්පැන් නිසා පස්සෙ කාලෙක රජතුමා මාලිගාවේ ගොඩක් වෙලාවට සිහියෙන් නෙවෙයි ඉඳලා තියෙන්නෙ. ඒකයි බේබදු රජෙක් කිව්වෙ. ස්තූතියි ප්‍රතිචාරෙට, දන්නැති දේවල් දැනගත්තා මමත්. ලියන්නකෝ, අපි එන්නම් කියවන්න්න...

    ReplyDelete
    Replies
    1. මහාදිකාරම් කියන්නේ රජතුමාට පමණක් දෙවෙනි වෙන තනතුරක්. ඒ නිසා දෙවෙනි රජ්ජුරුවෝ කියලත් ඒ තනතුරේ සිටින අයට භාවිතා කරලා තියෙනවා..

      ඈත අතීතයේ අදිකාරම් ධූර හතරක් තිබිලා තියෙනවා.

      1. රාජ්‍ය පාලනයට
      2. යුධ කටයුතුවලට
      3. රජතුමාගේ කටයුතු සොයා බැලීමට
      4. අගනුවර පරිපාලනයට

      කන්ද උඩරට රාජ්‍යයේ පළවෙනි විමලධර්මසූරිය ඉදන් සෙනරත් වෙනකම් එක අදිකාරම්වරයෙක් තමා ඉදලා තියෙන්නේ. අදිකාරම් ධූර දෙකක් ඇති කාන්නේ දෙවෙනි රාජසිංහ රජතුමා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමා තුන්වෙනි අදිකාරම්වරයෙක් ඇති කරන්නේ.

      Delete
    2. ම්ම්ම්... ස්තූතියි මේ තොරතුරු වලට. මම තව ටිකක් හොයලා බලලා කියන්නම්කෝ.

      Delete
    3. පුලුවන්කමක් තිබෙනවා නම් මහාචාර්ය රැල්ෆ් පීරිස් ලියපු සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය කෘතිය කියවලා බලන්න. මේ සම්බන්ධ වෙනමම පරිච්ඡේද කීපයක්ම ඒ පොතේ තියෙනවා

      Delete
  3. රටේ ඉතිහාසය වෙනත් අතකට හරවන්නත් මුලික වෙලා තියෙන්නේ කුමන්ත්‍රණයක් නේද ?

    ReplyDelete
    Replies
    1. සහතිකවම... ඉස්සර ඉඳන් ම අපේ රටට කුමන්ත්‍රණ වලින් නම් අඩුවක් තිබුණෙ නැහැනේ...

      Delete
  4. තහනම් ගහේ ගෙඩි නිසානෙ බලාගෙන යනකොට රටක අනාගතේ වෙනස් වෙලා තියෙන්නේ..!!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙත් ගොඩක් වෙනස් වුණ දේවල් තියෙනවා මේ නිසා..

      Delete
  5. හාංකවිස්සියක් දැනගෙන හිටියේ නෑ මේ ගැන.. ලහිරු ලස්සනට ලියල තියෙනවා.. හසිතගෙ කමෙන්ටුවෙන් තවත් පැහැදිලි කරලා.. ස්තුතියි

    ReplyDelete
  6. ම්ම් ම්ම් ඒකට් ඒමලු වුනේ.......

    ගොඩාක් ස්ටූටී අයියෝ.......^_^

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉටින් ඒම ම වුණා ටමයිනේ ...

      Delete
  7. බල තන්හාව කියන දේ අපේ රටේ තිබිලා තියෙන්නේ අද ඊයෙ ඉඳලා නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ම අඩුවක් නැතිව තව ඉස්සරහටත්...

      Delete
  8. හ්ම් මාත් අහල තියනවා ඔය කතාව ඔහොම උනා කියලා.....

    ReplyDelete
    Replies
    1. අයියෝ... කමක් නෑ ඉතින්!

      Delete
  9. හම්මෝ එච්චර සිද්දියක් දැනගත්තෙත් අදයි. මගේ සාහිත්‍ය දැනුම බොහොම දරුණු විදියට අඩුයි.. ගොඩාක් හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ, කොයිතරම් නම් දේවල් ඒ ටිකට වෙලා තියෙනවද නේද ?

      Delete
  10. කතාව රසවත්..ඉතුරු ටික එනකම්නේ බලන් උන්නේ :)

    ReplyDelete
  11. හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ, මම අහල තියන විදියට, මහාදිකාරම් රජතුමාත් කුමරිය ලඟට යන කතාව දැනගෙන තියෙන්නෙ අහම්බයෙන්. ඒක මෙහෙමයි,
    ඔයා කිව්වා වගෙ කන්නසාමි කුමාරයා අදිකාරම්ට හුඟක් කිට්ටු සම්බන්දයක් තිබිලා තියෙන්නෙ, ඉතින් අදිකාරම් කුමරිය බලන්න ආවාම කුමාරයත් එක්ක කාලය ගත කරලා ඉන්න වෙලාවක, කුමාරයගෙ කටින් පිටවෙලා තියනවා, සුදු අශ්වයෙක්ගෙ පිටින් එන මිනිහෙක් ගැන, මේ කතාව ඇති වෙලා තියෙන්නෙ, අදිකාරමෙගෙ කඩුව අරගෙන සෙල්ලම් කරනකොට, අර කියන කෙනා කවදාවත් කුමාරයට එයාගෙ කඩුව අල්ලන්න දීලවත් නැතිලු.
    මේ කතාව අහපු ගමන්, අදිකාරම් තේරුම් ගත්තලු මේ එන්නෙ රජතුමා තමයි කියල, ඒ වෙනකොට අදිකාරම් රජතුමා ඉවත් කරන්න අනෙක් හිතවත් අදිකාරම්ලත් එක්ක කුමන්ත්‍රන කරන කාලෙ, ඉතින් අදිකාරම් එයාගෙ කඩුව කන්නසාමිට දීල කිව්වලු, කෙසෙල් ගහක් පෙති ගහන්න, කන්නසාමි ඔක කරල පෙන්නුවාම තමයි අදිකාරම් කියල තියෙන්නෙ එහෙනම් අර සුදු අශ්වයා පිට එන අමුත්ත්ටත් එහෙම කොටන්න කියල.
    පස්සෙ කොහොම හරි සිද්දිය උනාට පස්සෙ, රජතුමාගෙ මිනිය පාරක් අයිනෙ තිබ්බලු, අශ්වයා පිටින් යද්දි ගහක අත්තක හැප්පිල මැරුන කියල පෙනෙන විදියට.
    මේ වෙනකන් රජකමක් ගැන කිසිම උවමනාවක් තිබ්බෙ නැති කන්නසාමිවයි, එයාගෙ අම්මවයි ඒවෙනකොට මහාඅදිකාරම් රජකම ගන්න පෙලඹෙව්ව/බල කර රජතුමාගෙ මීනීමරුම පිටින් දාල, එයා ඒකම තමයි පාවිච්චි කරන්න හැදුවෙ කන්නසාමිව රජෞනාම පාලනය කරන්න, ඒ කියන්නෙ මම තමයි බොට රජකම දුන්නෙ, ඒ නිසා මම කියන විදියට කටයුතු කරන්න වගෙ අදහසක්. නමුත් අන්තිමෙ කන්නසාමි මහාදිකාරම්ගෙ කීම් නොඅසන තත්වයකට වැටුනා තමයි කියන්නෙ.

    තව දෙයක්, ඔය කුමරිය, කන්නසාමිගෙ මව්, කියන විදියට වැන්ඳඹුවක්, රාජ නෑකම් කෙසේ වෙතත් සැමියා නැතිනිසා, ජීවිතේ හොඳින් ගෙවන්න/වාසි ලබන්න ඔය හාදකම් පවත්වාගෙන ගියා කියලත් කියනව.
    තව සමහරු කියනවා, ඔය කුමරිය හිටියෙ කීර කොටුවක/වැල්ලක, ඒ නිසාත් ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවියක් තියනව කීරකොටුවෙ කුමාරය වගෙ සීන් එකක්.

    කවුරුහරි මේකෙ හරි කතාව කියන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. @ ප්‍රසා

      …රජතුමා තමා කඩුව දෙන්නේ කන්නසාමි කුමාරයාට එන අනෙක් මනුස්සයාව [පිළිමතලාවේ] මරන්න. කන්නසාමි පිළිමතලාවේට හුඟක් ලෙංගතු නිසා මේ කතාව කියපුවාම තමා රජතුමාගේ උගුලේ රජතුමාව අහු කරවන්න රජ්ජුරුවෝ එද්දී කඩුවෙන් ගහලා මරන්න කියන්නේ.

      මගුල් කඩුව රජතුමාගේ නිසා අස්සයා කුලප්පු වෙලා අසු පිටින් වැටිලා කඩුව ඇනිලා රජතුමා මිය ගියා කියලා තමා පස්සේ පිළිමතලාවේ ප්‍රචාරය යවන්නේ.

      …කන්නසාමිගේ මව වැන්දඹුවක් තමා. ඇගේ ස්වාමියා වුණේ රජතුමා වෙනුවෙනු යුරෝපා ජාතීන් එක්ක සාකච්ඡා කීපයකටම දකුණු ඉන්දියාවට ගිය වෙන්කඩ පෙරුමාල් ස්වාමි කියන කෙනා.

      Delete
    2. මේවා කොහොමත් ජනකතා වගේනේ, ඉතින් ජනප්‍රවාදෙන් එද්දි වෙනස් වෙලා එක එක විදි වලට අහන්න ලැබෙන එක පුදුමයක් නෙවෙයි...

      Delete
  12. තව කොටසක් තියෙනවා නේද? මට පැටලිලි සහගත තැන් කිහිපයක් තිබුනා. මුත්තුසාමි හා කන්ද සාමි ගැන . දැන් ඒ දේත් දැනගත්ත.

    ReplyDelete
    Replies
    1. ආයේ කොටසක් නම් නැහැ. මේ සම්පූර්ණ කතාවමයි.

      Delete
  13. කිවුවත් වගේ මේ කුමන්ත්‍රණේ නොවුනනම් රටේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න තිබුනා කියලා හිතෙන්නේ දැන් තමයි...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බලය දැක්කම කෑදර හිතෙන මිනිස්සු ඉතිහාසයක් ම වෙනස් කරලා නේද

      Delete
  14. ඇත්තටම කියන්න එපැයි.. ඔය කතාව මම් අදමයි ඇහුවේ.
    ගොඩක් ස්තුතියි මේ වගේ කතා පෝස්ට් කරනවට !!!


    අද මම එක ද මන්දා :)

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      …විකාරද මන්දා දැන් දැන් උඹට... තව ටිකක් පරක්කු වුණා නම් එක නෙවෙයි තිස් එක තමයි වෙන්නෙ !

      Delete
  15. හසිත අයියා දීලා තින්නේ මරු විචාරයක්..... අපිට බෑනේ මේ වගේ වැරදීමකින් රජ වෙන්න.. අඩුමගානේ එක විනාඩියකට

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකෙන් මමත් සමහර දේවල් දැනගත්තා. මොකෝ බැරි? ඔය අඩවි රජා ඉන්නෙ අපූරුවට!

      Delete
  16. නුසුදුසු කාලයේ නුසුදුස්සෝ බලයට පත් වුනාම කොතනත් වින්නැහිය..එදත් අදත් හෙටත් රට වල පල්ලේ. ලහිරු මචන් කියවන්න ආස හිතෙන විදිහට ඉතිහාසේ ලියල. නියමයි මචෝ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ආයේ මොකට කියනවද? පිරිහීම තමයි. රාජා භවතු ධම්මිකෝ!

      Delete
  17. //රජතුමා කුමරිය කරා එන වෙලාවේ සැඟවිලා හිටිය කන්නසාමි කුමාරයා විසින් රාජාධි රාජසිංහ රජතුමාට මඟුල් කඩුවෙන් බඳට ඇනලා මරලා දාන්න සමත් වුණා//
    මට මේක දකිද්දිම හිතට ආපු ප්‍රශ්නය නම් තමන්ගෙම මඟුල් කඩුව ඇදල ගන්නකම් රජා උඩ බලන් හිටියද කියන එකයි..
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වෙච්චි හැටි කලින් දැනගෙන හිටියේ නෑ.. විශේෂයෙන්ම ඒක කුමන්ත්‍රණයක් කියලා... බොහෝම ස්තූතියි සහෝ...!

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි... ඇයි කලින් කොටසෙදි රජතුමා කඩුව කන්නසාමි කුමාරයාට දුන්නනෙ මහාධිකාරම ආයේ හොරෙන් කුමරිය බලන්න ආවම මරන්න කියලා! අමතක වුණාද මන්දා!

      Delete
  18. අපේ අයියලා කොහොමත් වැරදීම් වලින් තමා රජකමට එන්නේ..පොඩියක් බලන්න අතීතය හාරලා හැම තැනම කෘමන්ත්‍රන සහ උඩගෙඩි දීම් පමනයි ඇයි පාවාදිම් ඔව තමා ඇත්ත හොඳ ලිපියක් සහෝ

    ReplyDelete
  19. බල තණ්හාව නිසා වෙන විපත්..
    හොඳ ලිපියක්!!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !