මගේ හිත ඔයා ලඟ ද මං ලඟද...?


මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම....! මේ ගැන ගොඩක් දෙනෙකුට හරියටම තේරුමක් නැති නිසා ආදරණීය හිත ගැන දැනගන්න එක හොඳයි කියලා මට හිතුනා. හිත ගැන එක එක්කෙනාගෙ අදහස් විවිධාකාරයි. අද කාලේ අපි ඇසුරු කරන සමාජය වුනත් අපිව නොමඟ යවන සුළුයි මේ අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. අපි හරිම දේ දැනගෙන හිටියේ නැත්නම් තව කෙනෙකුට උනත් අපිට පාර වරද්දන්න පුලුවන් ලේසියෙන්ම. එහෙම නේද?

සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා\වසඟ වෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්‍රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?


ඒ විදියට අපි අපේ ශරීරය ගැන කළකිරුනට අපි ලේසියෙන් හිත ගැන නම් කළකිරෙන්නේ නෑ නේද? සමහරවෙලාවට නම් එහෙම කළකිරෙන දේවල් අපට ඇතිවෙනවා, උදාහරණයක් විදියට අපේ ආදරණීයයෙක් අපෙන් සමුගත්තොත් වගේ වෙලාවට, නමුත් ඒක පවතින්නේ ඉතාම සුළු මොහොතයි නේද? ඊට වඩා කෙනෙක් ලැබුන ගමන් අර හැමදේම ඉක්මනටම අමතක වෙලා යනවා. ඒකයි මම කිව්වේ! මැරුණ, පණ අදින මිනිස්සු දැකලා අපිට හිතෙනවා මේ ඇඟ නම් අපිට ඉක්මනටම කවදාහරි දාලා යන්න වෙනවා, මේ ඇඟ නම් මගේ නෙවෙයි තමයි කියලා. ඒ වුනත් අපිට හිත ගැන නම් එහෙම කවදාවත් හිතෙන්නෑ නේද?

මේ මගේ හිතමයි කියලාම තමයි හිතෙන්නේ නේද? මේ හිතට අපි ගොඩාක් ආදරය කරන්නේ කවදාවත් දාලා යයි කියන හැඟීමකින් නෙවෙයිනේ නේද! අපි ආදරණීය හිත කියනදේ ගොඩාක් සතුටින් පිළිගන්නවා, වැළඳගන්නවනේ. ඉතින් ඒක තමයි අපිට හැමදාම නොදැනීම සිද්ධ වුන වැරැද්ද. මේ තමයි අපේ ජීවිතේ අපි වුන ලොකුම රැවටීම! ඒක එහෙම වෙන්න හේතුවක් තියෙනවා, ඒ තමයි අපි අපේ හිතේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන නැති එක. එහෙම ඒ ගැන දන්නවා නම් අපි කවදාවත් මේ හිත දිහා මම, මගේ කියලා බලන්නෙ නෑ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ අපූරුවට දේශනා කරලා තියෙනවා. අපි ශරීරයේ ආදීනව දැකලා, ඒ ගැන නුවණින් මෙනෙහි කරලා ශරීරයේ අනිත්‍යය තේරුම් ගන්නවා වගේම සිතේ ක්‍රියාකාරිත්වය දිහා බලලා අනිත්‍යය ස්වභාවයත් තේරුම් ගත්තා නම් මේ මායාකාරී රැවටිල්ලට අහුවෙන්නේ නෑ.

හිත කියන දේ අපිව නියම දිශාවට වගේම වැරදි දිශාවලටත් අරන් යන්න පුලුවන්, ඒකට රුවල් ඔරුවකට වගේ එහෙමත් නැත්නම් සරුංගලයකට වගේ ඔහේ යන්න දුන්නොත්. ඒ නිසා ඒ සරුංගලයේ නූල අපි අතට අරන් යා යුතු නිවැරදි දිශාව තීරණය කරන්නා අපි ම වෙන්නෝන. ඒක කරන්න නම් සරුංගලයේ/රුවල් ඔරුවේ ක්‍රියාකාරිත්වය (Mechanism) එක ගැන අපි හොඳින් දැනගෙන ඉන්නෝන. සිතේ ක්‍රියාකාරිත්වය ගැන තවත් ලියන්න ගියොත් නම් සටහන තවත් ගොඩක් දිග වෙනවා. ඒ නිසාම මම හිතන්නේ අපි මේ හිතේ ඇත්ත ස්වභාවය(මායාකාරී රැවටිලිකාර ) හඳුනාගෙන වැඩ කළා නම් අපිට ගොඩාක් වෙලාවට ඇතිවෙන සිත් රිදීම්, මානසික තැවුල් එහෙම අඩුකරගෙන ලොකු ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න ලේසියෙන්ම පුලුවන්.

මේ වප් පෝය දවසනේ. වප් පෝය දවසේ බුදුසසුනේ ගොඩක් වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. මේ ඒ සිදුවීම්...

1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම/කඨින චීවර පූජා කිරීම

විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ), බුදුසරණ අන්තර්ජාල කලාපය

ප.ලි: අධික කාර්යබහුලකම නිසා ම කණගාටුවෙන් වුණත් පෝ දින විශේෂ සටහන වෙනුවෙන් 2011 පෙබරවාරි වල ලිව්ව පැරණි සටහනක් ආයෙම පළ කරන්න හිතුවා. (වැඩි දෙනෙක් කියවලත් නැතුව ඇති කියලා හිතනවා මං).

52 comments:

  1. අලුතින් යමක් හිතන්න පොළඹන ලිපියක්. මම කලින් කියවල තිබුනේ නෑ. බොහොම පින්.

    //මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම//
    මල්ලි, පුලුවන්නම් මේ ගැන පොඩ්ඩක් කියනවද? මේක උනේ කවදද කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. ගෞතම බුදුසමයේදී මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව තමයි උපත ලැබුවේ. සියලු ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ ඔහු තම මවුපිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර, සැප සම්පත් හා පිරිවර ජනයා සමග සතුටින් කල් ගෙව්වා. මේ කාලෙදි තමයි ගෞතම බුදුපියාණන්වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍යපුත්‍රයා ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නම් නුවරට ආපසු වැඩම කළේ.

      බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමග පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් පැවිදි වුණා ඊටපස්සේ. මේ කාරණය ගැන තමයි කෙටියෙන් සඳහන් කළේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම කියලා.

      .

      Delete
    2. @ සයුරි

      බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ ගත කරමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා අවසානයේදී මිනිස් ලොවට වැඩම කරපු අවස්ථාවේ සිදුවුණු ආශ්චර්යමත් සිදුවීම මතකනේ.

      මේ අවස්ථාවේ එතැනට පැමිණිලා හිටියා සංකස්ස පුරයේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ බමුණු කුමාරයා. විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත් බුදුන් වහන්සේගේ මේ අසිරිමත්බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වෙනවා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නාමයෙන්.

      ඉල් පොහොය දවසේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ තමන්වහන්සේට ලැබුණු වටිනා කියන වස්ත්‍ර දෙකක් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියට අරගෙන ගිහින් ඒ වස්ත්‍ර දෙකෙන් ගන්ධ කුටියේ වියනක් බැඳලා අලංකාර කරනවා.

      ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ

      "මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට පත්වෙනවා"

      යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබාදෙනවා.

      ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා.....

      සම්පූර්ණ කතාව මෙතනින්
      http://aagiyakatha.blogspot.com/2012/09/blog-post.html

      Delete
    3. වප් පෝයට තමයි මෛත්‍රී බෝසතුන් විවරණ ලබාගන්නේ.

      …@හසිත: සබැඳිය දානකොට ඒක ක්ලික් කරන්නම පුළුවන් වෙන විදියට දැම්මනම් ගොඩක් දෙනාට පහසුයි මලේ!

      Delete
  2. ළහිරු හැකිනම් කඨින උත්සවය ගැන විස්තරයක් කරනවද? ඒක කරන්නේ ඇයි කියලා ඇත්තටම අදහසක් මට නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන කෙටියෙන් නම් කියන්න අමාරුයි දිනුක. ඔයාට පුළුවන් නම් මෙතැනින් ගිහින් කියවලා බලන්න. ඒ සටහනෙන් මම හිතන්නේ ඔයා බලාපොරොත්තු වෙන දේ දැනගත හැකිවේවි. ප්‍රශ්නයක් ආවොත් අහන්නකෝ...

      Delete
  3. පොහොය දින පිංකම. සාධු සාධු සාධු.

    ReplyDelete
  4. ඇත්තටම අපි, අපේ ශරීරයට වඩා හිතට ඇලිල ඉන්නෙ ඇයි කියලා, බුදුහිමියන් පෙන්නල දීල තියෙනවා. එහෙම පෙන්නල දීපු තැනක් තමයි සංයුක්ත නිකායේ, දෙවන කොටසේ,මහා වර්ගයේ, අස්සුතවන්තු සූත්‍රය හා දුතිය අස්සුතවන්තු සූත්‍ර දේශනාවන්. ඉතින්, ශරීරයටත් වඩා අනිත්‍ය හිත ගැන ආත්ම හැගීමකින් අපි හිතාගෙන ඉන්න දේ වැරදියි කියල අවබෝධයෙන් තේරුම් අරන් මේ කයත් හිතත් දෙකෙන් හැදුනු පංචස්කන්ධය ගැන කළකිරුණු දවසට මේ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කියලයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

    මේ තියෙන් ඒ සූත්‍ර ධර්ම දෙක...
    https://docs.google.com/open?id=0B9ZHKSO3cG9OTTNlS1A0YlRpQk0

    පංචස්කන්ධය කියන්නෙ රූප,වේදනා,සංඥා,සංස්කාර,විඤ්ඤාණ කියන ස්කන්ධ පහ. නාම රූප කියල කියන්නෙත් මේවටම තමයි. රූප කියන්නෙ අපේ සතරමහ භූතයන්ගෙන් හැදුනු අපේ ශරීරයට. පංචස්කන්ධයෙන් රූප හැරුනම ඉතුරුවෙන ඉතුරු ස්කන්ධ හතර තමයි නාමයට ඇතුලත් වෙන්නෙ. එවායෙන් විඤ්ඤාණය කියන්නෙ අපේ හිතට. ඉතකොට ඉතිරිවෙන වේදනා,සංඥා,සංස්කාර කියන්නෙ සිතේ ඇතිවෙන සිතුවිලි වලට. මේ ස්කන්ධ පහේම තියෙන මායාව දකින්න අපිත් පුළුවන් විදිහට උත්සාහවත් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බොහෝම පින් ඔබට මේ දැනුවත් කිරීම ගැන. සබැඳියටත් ස්තූතියි!

      Delete
  5. පොහොය දවසේ බ්ලොග් අවකාශයේ මෙතෙක් කරන ලද ලොකුම පිං කම ධර්ම දානය. මෙතෙක් කියලා කිව්වේ ට්ව කෙනෙක් ලිව්වොත් එය දෙකනේ. :)

    ReplyDelete
    Replies
    1. හැබැයි පින නම් දෙකට බෙදෙන්නෙ නැහැ... :)

      Delete
  6. වෙනද වගේම අදත් ලහිරුගෙන් හරවත් ලිපියක්....

    ReplyDelete
  7. අගේ ඇති ලිපියක් සහෝදරයා!
    //මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම// මේක නම් මටත් පැහැදිලි උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඊළඟට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන් මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වුණානේ. මම සයුරි අක්කට ඒ ගැන කිව්ව මේ දැන් , පොඩ්ඩක් බලන්නකෝ ගිහින් සහෝ තරහා නොවී !

      Delete
    2. කියෙව්වා. ඔය තියන්නේ හසිත ගෙනුත් විස්තරයක්

      Delete
  8. බොහොම වටිනා කාලොචිත ලිපියක්.. හැමදාම වගෙ මෙවා අදත් අපිත් එක්ක බෙදා ගත්තට පිං.... :D

    ReplyDelete
  9. වේ කාලෙට වටිනම මෙහෙවරක් කරලා තියෙන්නේ.
    ලහිරුට පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් පෝස්ට් කරනවට

    ReplyDelete
  10. හිත පුළුවන් අපිව ලෙඩ කරන්නත් වගේම සුව කරන්නත් පුළුවන් නේද මචෝ. පෝය දවසේ උතුම් ධර්මදානය. පින් සිද්ධ වෙනවා මචන් ලහිරු

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකට තමයි අපි බුද්ධිය කියන දේ පාවිච්චි කරන්න ඕන!

      Delete
  11. කොහොම මෙහෙම අපූරු විදිහට ඔබ ලියනවද කියල මම දන්නේ නැහැ..කොහොම උනත් මේ ලියවිලි හැම එකකටම මම කැමතියි.ජය වේවා සහෝ!

    ReplyDelete
  12. කුරුවල් වෙච්ච හිතට පොඩි මෙව්වා එකක් දැනෙනවා මේ වගේ ලිපි කියවනකොට ..එල

    ReplyDelete
    Replies
    1. හැබැයි ආයෙ ඉක්මනට ම නැතිවෙනවා නේද ඒක!!!

      Delete
  13. ලහිරු . පොඩ්ඩක් පරක්කූවෙලයි ලිපිය කියවන්න ලැබුනේ .' ධර්මදානය ' ඔයා පෝය දවසේ වටිනා පින්කමක් තමයි ඔය කරන්නේ. මේ හා සම්බන්ධ නොවුනත් නොදන්නා කරුනක් දැනගන්නයි අහන්නේ. මීට ටිකකලකට පෙර "සංකස්ස නුවර" දී කල පුරාවිද්යා කැනීමකදී හමු උනාලු ' ඉණිමඟක් ' පොලොව මතුපිට සිට ගැඹුරට කිඳා බැසතිබූ. පුරා විද්යා කන්ඩායම දිගටම කැනීම කරලා පසුව අත්හැර දැම්මලු ඉවරයක් නැති නිසා." අනන්තය දක්වා පැතිරුනු ඉණිමඟක්" . මේ කතාව සම්බන්ධව ඔයා විස්තර දන්නවාද ?

    ReplyDelete
    Replies
    1. @ චිත්‍රක

      මේ කතාව නම් ටිකක් විශ්වාස කරන්න අමාරු පුදුම සහගත කතාවක්. මූලාශ්‍රයවල දක්වන විදිහට තව්තිසා දිව්‍ය ලෝකයේ ඉදන් සංකස්ස පුරය දක්වා තමා බුදුන් වහන්සේ වැඩම කළ සත් රුවන් ඉණිමඟ තබලා තිබුණේ. ඒ හැරෙන්න සත් රුවන් ඉණිමඟ දෙපසින් දෙවියන් සඳහා රන් ඉණිමඟකුත් බ්‍රහ්මයන් සඳහා රිදී ඉණිමඟකුත් තිබිලා තියෙනවා. මේ සියල්ල අහසේ තමා දිස්වෙලා තියෙන්නේ

      Delete
    2. ඇත්තටම ඒ ගැන නම් මම මොනවත් ම දන්නෙ නැහැ. හසිත කියනවත් වගේ ටිකක් විශ්වාස කරන්නත් අමාරු කතාවක් තමයි ඒක.

      Delete
  14. //....වස් පවාරණය කිරීම/කඨින චීවර පූජා කිරීම....//

    වප් පොහොයට සිදුවෙන්නේ පෙර වස් පවාරණය. ඒ කියන්නේ ඇසළ පොහොයට පෙර වස් සමාදන් වුණු භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණය. ඇසළ පොහොයට වස් සමාදන් වන්න නොහැකි වුණු භික්ෂූන් වහන්සේලා නිකිණි පොහොයට පසු වස් සමාදන් වෙනවා. උන් වහන්සේලා වස් පවාරණය කරන්නේ ඉල් පොහොයට. ඒක පසු වස් පවාරණය කියලා හඳුන්වනවා.

    කඨින චීවර පූජාවත් වප් පොහොයටම සිදුවන්නේ නැහැ. වප් පොහොයේ සිට ඉල් පොහොය දක්වා තිබෙන මාසය ඇතුළත් ඕනෑම දවසක කඨින චිවර පූජාව සිදුකරන්න පුලුවන්. ඒක නිසා ඒ මාසය හඳුන්වන්නේ "චීවර මාසය" කියලා

    ධර්ම දානය කරන්නට උත්සුක වෙන ඔබට යහපතක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. දළ වශයෙන් තමයි මම දැම්මෙ කඨින චීවර පූජා කිරීම කියලා. ඇත්තටම ඒකට හරි ම දවසක් නැහැ, පූජා කරන අයගෙ පහසුවට තමයි දැන් දැන් ඒවා යෙදෙන්නෙ...

      Delete
  15. වටිනා ලිපියක්
    මම කාලෙකින්ද මන්දා මේ පැත්තේ ආවේ :(

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නම් නෙවෙයි සෑහෙන කාලෙකින් :) :)

      Delete
  16. ප්‍රමාද වෙලයි මේ පැත්තට ගොඩවුණේ....

    හැමදාමත් වගේ අයියා මේ පෝය දවසෙත් කරලා තියෙන්නේ ගොඩාක් ලොකු පිංකමක්.

    යහපතක්ම වේවා ඔබට

    ReplyDelete
    Replies
    1. කියවන ඔයාලටත් යහපතක් ම වේවා!

      Delete
  17. අදත් ගොඩක් වැදගත් විස්තරයක් අයියේ..

    ReplyDelete
  18. මම ලිපියෙන් දැනගත්ත වැදගත්ම දේ තමයි පෝය දිනේ වැදගත් සිදුවීම්

    ReplyDelete
  19. පෝය දවස ගැන හේතු දැනගත්තා මම මේ ලිපියෙන් ස්තුතියි සහෝ

    ReplyDelete
  20. කාලෙකින් මේ පැත්තේ ආවේ. පෝයට කොහොමත් මේ වගේ පොස්ට් එකක් ලැබෙනවා නේ.

    අලුත් ඇඳුමකුත් අන්දවලා අයි දැක්කේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, සෑහෙන කාලෙකින්!

      Delete
  21. හිත කියන්නෙ ලෝකේ තියෙන වේගවත්ම දෙය. විශේෂයෙන් ගෑනු හිත්.

    ReplyDelete
    Replies
    1. අයිස් හොකී වලටත් වඩා වේගවත්ද ?

      Delete
  22. හිතේ මායාකාර ස්වභාවය දැනගෙන ඉන්න එක නම් වටිනවා තමා..ඒක් කලබල වෙලාවට ඒක මතක් වෙන්නැති එකනෙ වැඩේ..!!

    ReplyDelete
    Replies
    1. මතක් කරගන්න එක තමයි ඉතින් දස්සකම!!!!

      Delete
  23. නියමයි මචන්. හිත ගැන ගොඩක් දෙවල් දැන ගත්තා.ස්තුතියි යාලූ.. !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං මේ පැත්තේ ආවටත් !

      Delete
  24. ස්තූතියි ළහිරු පුතා , අදයි මට මෙය කියවන්නට ලැබුනේ. සංකස්සෙට ගිහාම හොඳටම අනිත්යය මෙනෙහි කරන්නට පුලුවන් උනා. අද සංකස්සෙ හැටි දැක්කාම එදා තිබ්බ ශ්‍රී විභූතිය නෑ. ඒ උනාට දෙවාවරෝහන මහා විහාරයට ගිහාම පුදුම හැඟීමක් හිතට එන්නෙ. හසිත පුතාටත් පිං මේ විස්තරයට. මේ ඉන්දියා ගමණ බලන්න. http://piyumvila.blogspot.com/2012/11/2.html

    ReplyDelete
  25. හ්ම්..මාත් මේක කියවලා තිබුනේ නෑ මීට කලින්.හිත මෙල්ල කරගන්න ඇත්තටම අමාරුයි.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !