අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2

කලින් සටහන බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ. අද ඉතුරු මාණික්‍යරත්නයන් ගැන විස්තර කියන්න කලින් පුංචි කතාවක් කියන්නයි යන්නෙ. දවසක් ගෞතම බුදුරජාණන් වහන්සේ යි අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේයි පා ගමනින් වඩිද්දි බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙලා පාර හරහට යන කඩි රැලක් දැකලා මෙහෙම කියනවා. "ආනන්දය මේ කඩි රැළේ කඩි අතරින් පෙර භවයක සක්විති රජ බවට පත් නොවුණු එක ම කඩියෙක්වත් නැහැ". ඉතින් එතකොට හිතාගන්නකෝ සක්විති රජකම කියන්නෙ මොනවගේ දෙයක්ද කියලා... සක්විති රජවුණත් ඒ පුද්ගලයා ට මාර්ග ඵල අවබෝධ කරගන්න බැරිවුණොත් සතර අපායෙන් ගැලවීමක් නෑ නේද...

එදා අපි චක්‍රරත්නය ගැන දැනගත්තානේ. ඊළඟට තියෙන්නෙ හස්තිරත්නය. ඒ කියන්නේ ඇත් රාජයෙක්. නිකම් ම නිකම් ඇත් රාජයෙක් නෙවෙයි ඇත්තුන්ගෙත් උසස් ම කුලය වෙන උපෝසථ වර්ගයේ ඇතෙක්. ඊළඟට අශ්වරත්නය. මේ අශ්වයා අයිති වෙන්නෙත් අශ්වයන්ගේ උසස් ම කුලය වෙන අජානීය කුලයටයි. මේ ඇතාටත් අශ්වයාටත් අහසින් ගමන් කරන්න පුළුවන්. එයාලගේ වේගය ගැන කියනවා නම් රජතුමාට, උදේ නැඟිටලා අශ්වයාගේ හරි ඇතාගේ හරි පිට උඩ නැඟලා තමන්ගේ සියළු රාජ්‍යයන් දැකබලාගෙන ලෝකෙ වටේ ම ගිහින් උදේ කෑමට කලින් නැවතත් රජ මාළිගයට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තවත් විශ්මිත දෙයක් තමයි මේ අශ්වයාටත් ඇතාටත් රජතුමා හිතන දේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ රජතුමාට යන්න ඕන තැන විතරක් හිතුවා නම් ඇති...

මාණික්‍යරත්නය කියන්නේ ඊළඟ එක. මේ නම් ඇත්තට ම මැණිකක්. මේ මැණික යොදුන් ගණනාවක් ඈතට එළිය විහිදුවනවා. අවශ්‍ය නම් මුළු රාජධානිය ම රාත්‍රියට හිරු පෑයූවා වගේ ආලෝකවත් කරන්න මේ මැණිකට හැකියාව තියෙනවා. උදාහරණයකට කියනවා නම් මේ මැණික රජ මාළිගයේ වහළයේ සවි කළොත් රාත්‍රියේ, මිනිස්සු නැඟිටලා වැඩපලට යන්න ලෑස්තිවෙනවා, ගොවියෝ උදළු අරගෙන කුඹුරු වලට යන්න සූදානම් වෙනවා කියනවා උදේ හිරු පායලා කියලා හිතලා...ඊළඟට ස්ත්‍රීරත්නය. මේ කියන්නෙ නම් රජතුමාගේ බිසව ගැන කියලා හිතාගන්න පුළුවන්නේ. ඇය තමයි ඒ කාලයේ ඉන්න රූමත් ම කාන්තාව වගේ ම නුවණැති ම කාන්තාවත්. රජතුමාට පසු ව නිදන රජතුමාට පෙර අවදි වෙන, මුඛයෙන් මහනෙල් මල් සුවඳ වහනය වෙන ඇය සෑම අතින් ම රජතුමාගේ කටයුතු සොයා බලා සැප පහසුව සදනවා. ඒ සැප පහසුව කොයිතරම් ද කියනවා නම් ශීත කාලයට ඇය උණුසුම් වෙලා, උණුසුම් කාලයට ඇය සිසිල් වෙලා රජතුමා ගේ සුඛ විහරණය සලසනවා.

ගෘහපතිරත්නය තමයි ඊළඟට. ගෘහපතිරත්නය කියලා කියන්නෙ රජතුමාට මැනවින් අර්ථය කියාදෙන අනුශාසනා කරන යහපතෙහි පිහිටුවන, නිධාන දකින ඇසක් තියෙන ගෘහපතියෙක් රජතුමාට ඉන්නවා. මේ නිධාන දකින ඇස පරීක්ෂා කරන්න රජතුමා දවසක් මුහුද මැදින් යන ගමනේ දි නිධානයක් මතුකරලා දෙන්න කියලා ගෘහපතියාගෙන් ඉල්ලනවා. මුහුද මැද තියෙන ධනය පවා දකින්න පුළුවන් ගෘහපතියා ඒ වෙලාවෙ ම මුහුද මැද තියෙන නිධානයක් මතුකරලා දෙනවා රජතුමාට. පරිණායක රත්නය කියලා කියන්නේ රජතුමාගේ පුත්‍ර රත්නයට. මේ පුත්‍රයා තමයි රජතුමාට පස්සේ රජකමට උරුමකම් කියන්නේ. මනා බුද්ධියකින් යුතු, රජතුමාගේ අභිප්‍රායයන් එලෙස ම ඉටු කරන්නට හැකි, පරිවාර සේනා සහිත, අනුන් ගේ සිත් දකින්නට හැකි බලවත් පද්ගලයෙක් විදියට තමයි සඳහන් වෙන්නෙත්.

ඒ වගේ ම ඒ කාලයේ ලෝකයේ ඉන්න ලස්සන ම පුරුෂයා, නිරෝගී ම පුරුෂයා වගේ කරුණු හතරකිනුත් සක්විති රජතුමා යුක්ත වෙනවා. ඒ වුණත් මොන තරම් සැප සම්පත් වින්දත් ආයුෂ අවසාන වුණා ම හැමෝම වගේ සක්විති රජතුමාත් මරණයට පත් වෙනවා. එහෙම මරණයෙන් පස්සෙ දිව්‍ය ලෝකෙ තමයි උපදින්නෙ. හැබැයි අනිත් දෙවිවරුන්ට වඩා කරුණු දහයක් ඉදියෙන්. ඒවා තමයි...

1. දිව්‍යමය වූ ආයුෂ
2. දිව්‍යමය වූ වර්ණය
3. දිව්‍යමය වූ සැපය
4. දිව්‍යමය වූ පිරිවර(බල)
5. දිව්‍යමය වූ අධිපතිභාවය
6. දිව්‍යමය වූ රූපය
7. දිව්‍යමය වූ ශබ්දය
8. දිව්‍යමය වූ ගන්ධය
9. දිව්‍යමය වූ රසය
10. දිව්‍යමය වූ ස්පර්ෂය

මේ විදියට ඉතා ම දීර්ඝ කාලයක් දිව්‍ය සැප විඳින සක්විති රජතුමා, අවසානයේ පින් ඉවර වුණා ම නැවතත් සතර අපායට (නරකය, තිරිසන්, ප්‍රේත, අසුර ) ඇද වැටීමේ හැකියාව තියෙනවා, මාර්ග ඵල අවබෝධ කරගෙන හිටියෙ නැත්තම්. ඒක ම තමයි අර මුලින් කිව්ව කඩි රැලටත් වෙලා තිබුණේ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ථූපාර්භ පුද්ගලයන් අතරින්, ඒ කියන්නෙ මරණින් පස්සේ ස්ථූප තනවලා වැඳුම් පිඳුම් වලට සුදුසු කෙනෙක් හැටියටත් මේ සක්විති රජතුමා ව.

පසුවදන: ලබන සතියේ ඉඳන් බ්ලොග් එකට අළුත් ඇඳුමක් අන්දවන්නත් හිතාගෙන ඉන්නවා. බලමුකො ඈ....

36 comments:

  1. බලාගෙන ගියාම සක්විති රජකම ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. කෝක වුණත් ලේසි නෑ මලේ...

      Delete
  2. අද කොටසෙනම් නොදන්න කරුණු බොහොමයි..... ස්තුතියි ලහිරු

    ReplyDelete
    Replies
    1. යමක් අළුතින් දැනගත්තනම් ඒක තමයි මගේ සතුට. අනිත් එක මේ ගැන අවබෝධයක් තියෙන එක, ඊළඟ සටහන් කියවන්න ප්‍රයෝජනවත් වේවි!

      Delete
  3. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් වුණත් මාර්ග ඵල අවබෝධ කරගත්තේ නැත්තම් සතර අපායට වැටෙන්න පුළුවන් නේ?
    නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඊට පස්සෙ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ම සතර අපාය තමන්ගේ මහගෙදර කරගෙනයි ඉන්නේ. ඒ නිසා පින් සහ කුසල් වඩන්න ඕන නිරතුරුවම...

      Delete
  4. වටිනා ලිපියක්.

    ජය!

    ReplyDelete
  5. නොදැන හිටි ගොඩක් දේවල් දැනගත්තා ලහිරු..ඇත්තටම කියනවා නම් මට නම් මේකෙ තියෙන්නෙ සාහිත්‍යමය වටිනාකමක් විතරයි..

    ගොඩක් අය තමන්ගෙ ජීවිතේ ගැන තියන හීන ඔක්කොම එකතු කරලා සක්විති රජ සංකල්පයෙන් එළි දැක්විලා කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. කෙනෙකුට තමන් මේක දකින විදිය අනූව ලෞකික හෝ ලෝකෝත්තර වටිනාකම් ගන්න පුළුවනි. ලෞකික කියලා අදහස් කළේ අක්කා කියන සහිත්‍යමය වටිනාකමයි, හැබැයි මම කැමතියි මේක කියවලා කවුරුහරි යථාවබෝධය (ලෝකෝත්තර වටිනාකම)ලබාගන්නවනම්. ඒ මෙහෙමයි. හොඳ ම උදාහරණය තමයි කඩි රැලේ කථාව. මනුස්ස ලෝකෙ ලෞකික සැපය වැඩියෙන් ම විඳින්නෙ සක්විති රජ කෙනෙක්. සක්විති රජවරුන් කොයිතරම් නම් ඉඳලා තියෙනවද, නමුත් ඒ කාටවත් සක්විති රජකම රැකවරණයක් කරගන්න හම්බවෙලා නෑ. ඒ අය සතර අපායට වැටිලා. ඉතින් ඒ කියන්නෙ මේක ඇවිල්ලා තවත් තනතුරක් විතරයි, හරියට මාර පදවිය, ශක්‍ර පදවිය වගේ. ඉතින් මේ තරම් සැප සම්පත් තිබිලත් ඒවා අනිත්‍යය වෙලා ගියා නම්, ඊට පස්සෙ කඩියෙක් වෙන්න වුණා නම් මේ හැමදේම කොයිතරම් අනිත්‍යය ද? ඒ නිසා සනාතන රැකවරණයක් කරා යොමුවෙන්න මහන්සි ගන්න ඕන කියලා. තත්පරයකට හරි කාටහරි අනිත්‍යය මෙනෙහි වෙනවානම් කොයිතරම් වටිනවද! අනිත් එක මේ ගැන මම ලිව්වේ ඉදිරි ලිපි අවබෝධ කරගන්න පහසු වෙන්නයි.

      //ගොඩක් අය තමන්ගෙ ජීවිතේ ගැන තියන හීන ඔක්කොම එකතු කරලා සක්විති රජ සංකල්පයෙන් එළි දැක්විලා කියලා මට හිතෙනවා..

      ……මේ කිව්ව එක නම් මට තේරුණේ නැහැ අක්කේ.

      Delete
  6. මේ වගේ දෙයක් වත් කියවලා අවබෝධයක් ගන්න පුළුවන් අය ඉන්නේ කොයි තරම් අඩුවෙන්ද? යථාවබෝධයට කැමති අයට මේ බ්ලොග් පොස්ටුව මානික්‍ය රත්නයක්.

    ReplyDelete
    Replies
    1. මතුපිටින් පෙනෙන දේට වඩා දෙයක් හිතන්න හිත පුරුදු කරගන්න එක තමයි කරන්න ඕන සහෝ!

      Delete
  7. //ඒ සැප පහසුව කොයිතරම් ද කියනවා නම් ශීත කාලයට ඇය උණුසුම් වෙලා, උණුසුම් කාලයට ඇය සිසිල් වෙලා රජතුමා ගේ සුඛ විහරණය සලසනවා.
    මරු නේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නෙ මිනිස් ලෝකෙ වැඩියෙන් ම ලෞකික සැප විඳින කෙනා කියලා..

      Delete
  8. හරිම ලස්සනයි. ශ්‍රද්ධාව නැති අය මේවා විස්වාශ කරන්නෙ නෑ. ඒ අය මෙහෙම ඒව වෙන්නෙ කොහොමද කියල හිතනවා. මේක හොඳ ආදර්ශමත් කතාවක් ලහිරු පුතා. පේනවනෙ සක්විති රජ උනත් ආයෙත් සතර අපායට එන්න පුලුවන්. ඒ නිසා අපි ඉක්මනින්ම සතර අපායෙන් තමයි එතෙර වෙන්න බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට... හැමෝම එහෙම හිතනවා නම්!

      Delete
  9. ඉතාමත් ආසාවෙන් කියවපු ලිපි දෙකක්. බොහොම ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නේද මේ පැත්තට ආවෙත්!

      Delete
  10. සක්විති වෙනවා කියන්නෙත් සුළු පටු දෙයක් යයි.
    ඒ වුනාට ඉතින් සක්විති වුනත් දුකෙන් මිදෙන්න බෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඊට වඩා වටිනවා මාර්ගඵල අවබෝධ කරන්නට උත්සහ කරන එක...

      Delete
  11. මෙ වගෙ කතන්දර මාව බ්ලොග් වලට ඇබ්බැහි කරලා......

    ReplyDelete
    Replies
    1. හැබැයි මේකෙ තියෙනවා කතන්දරයකට වඩා යමක්...

      Delete
  12. ස්තුතියි සහෝ නොදත් දෙයක් ඉගෙනගත්තා..ජයම වේවා! :)

    ReplyDelete
  13. අදකාලේ සක්විතියි කියාගන්නා රජාලත් මේවගේ සැප නොවින්දට මේ හා සමාන සැප විඳිනවා. අනේ මටෂ් සක්විති රජෙක් වෙන්න තියනම්. නියමයි නියමයි අලුත් ඇඳුමක් අන්දලා අලුත් කතාවක් එක්ක ආයෙත් හම්බෙමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තිබුණ සැප සම්පත් එක්ක බලද්දි මේව නිකම් ම නිකම් දේවල් විතරක් වෙන්න ඇථි කියලා මට නම් හිතෙනවා. හැබැයි ඉතින් ඔය කියන මිනිස්සු සාමාන්‍ය ජනතාවට සාපේක්ෂ ව නම් සුර සැප විඳිනවා වගේ තමයි!

      Delete
  14. බලගෙන ගියහම සක්විති රජකමත් මරු නෙව.
    රජ කෙනෙක් වෙන්ඩ ලේසි උනාට සක්විති රජකෙනෙක් වෙන්ඩ ලේසි නැති විත්තිය ඉගෙන ගත්තා.

    ප.ලි. - අළුත් ඇඳුමක් ඇන්දුවාට කමන් නෑ. අකුරු ටිකක් ලොකු වෙන්ඩ හදන්ඩ. :)

    ReplyDelete
    Replies
    1. අද කාලේ නම් රජෙක් වෙන්න පුළුවන්නේ සල්ලි තිබුණනම්. හැබැ‍යි මේකට එහෙම බෑ. අනේ මන්දා මේ අකුරුත් කියවන්න අමාරුද ?

      Delete
  15. අපේ මහින්ද මාමගේත් බලාපොරොත්තුව සක්විති රජ වෙන්නද දන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. උන්නැහේ ම තමයි ඉතින් ඒක දන්නෙ!

      Delete
  16. වටින ලිපියක්..එල ඈ..

    ReplyDelete
  17. කොයි දේත් ලේසි නෑ බලන් යද්දි... වැදගත් ලිපියක් අයියේ..

    ReplyDelete
  18. මටත් අසා හිතුනා සක්විති වෙන්න.. අපුරු ලිපියක් මම හකොහොමටත් මෙ වගෙ ලිපි වලට බොහොම අසයි..

    ReplyDelete
    Replies
    1. උත්සහ කළොත් බැරිවෙන එකක් නැහැ!

      Delete
  19. ada tami isara welama awya, digatama enwa.
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
  20. රජකම් කලත් කළකම් පල දේ කියන්නේ ඕකටනේ.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !