Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම )




කලින් සැරේ කතාව නැවැත්තුවේ අපි බත්තලංගුණ්ඩුව දූපතට ගොඩ බහින්න ළං වෙලා නේ. ඒ කොටස කියෙව්ව නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න. දූපතේ නම් ජැටියක් නැහැ බෝට්ටු නවත්තන්න, ඒ නිසා බෝට්ටුව හෙමීට ගිහින් වැල්ලේ ඇනුනා. අපිත් හෙමීට ඉණිමඟ දිගේ බහින්නේ නැතුව වැල්ලට පැන්නේ සතුටටමයි දැනුන!! හලාවත හිටිය අපේ යාලුවා ගේ නෑදෑ කෙනෙක් හොයාගෙන යන්නයි අපේ දැන් ලෑස්තිය. බඩු මලුත් කරගහගෙන වැල්ලේ කොයිතරම් ඇවිද්දත් එක තැනම වගේ. වැල්ල නිසා වේගෙන් ඇවිදින්නත් බැහැනේ. ඒ මදිවට අපි බැස්සෙත් දවල් 12ට විතරනෙ, වැල්ලත් නියම ගානට රත්වෙලා. යද්දි දැනගත්ත විදියට දූපතේ පවුල් 3000ක් විතර පදිංචි වෙලා ඉන්නවා. ස්ථිර නිවාස ප්‍රමාණය නම් 100කටත් අඩුයි වගේ පෙනුනේ. ඒ සියලු දෙනාම වාගේ යැපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. දූපතේ අතරින් පතර වෙළද සැල් එහෙමත් දකින්න තියෙනවා. ආ... කියන්න අමතක වුනානේ, දූපතට තියෙන්නේ ඩයලොග් දුරකථන සංඥා විතරයි.

කොහොමහරි අපේ යාලුවාගේ(රන්දික) නෑදෑයා අපිව හොඳින් පිළිගත්තා. අපිට පොල් අතු වාඩියක් එහෙමත් ලැබුණා නවතින්න. උඩම ඡායාරූපයේ තියෙන්නේ අපි නතරවෙලා හිටිය වාඩිය. අපේ මුල් ම රාජකාරිය වුනේ කෑම උයාගන්න එක. විශේෂයෙන් ම මතක් කරන්න ඕන දෙයක් තමයි ඕන කරන දේවල් පිටින් අරන් යන්න කියන එක. දූපතේ අඩුවට තියෙන්නේ මාළු, කරවල විතරයි. දවල් ට හාල් ලිපේ තියලා ගෝවා කිරට උයාගත්තා. මාළු, කකුළුවෝ එහෙම නම් නොමිලේ ම ලැබුණා අපේ යාලුවා නිසා. මාළුත් ඉව්වා කිරට, මිරිසට, තෙලට වගේ හිතේ හැටියට!!!


දූපතේ දර ප්‍රශ්නේ නම් තදින් තියෙනවා ගස් ඒ තරම් නැති නිසා , ඒ නිසා ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා භූමිතෙල් ලිප් පාවිච්චි කරන්න. හවස් වෙනකල් කොහොමත් අපිට එලියට බහින්න අමාරුයි, තද අව්ව පුරුදු නැති නිසා.


මම දැන් දූපත ගැන විස්තර කියන්නම්කෝ. මෙහේ නාවික හමුදා ඒකකයක් වගේම පොලිස් ස්ථානයකුත් තියෙනවා. පහුගිය යුද්ධ කාලෙත් සංග්‍රාමික වශයෙන් මේ දූපත ගොඩාක් වැදගත් තැනක් ගත්තා. දූපතේ ප්‍රමාණය ආසන්න වශයෙන් ව‍්රග කි.මී 5ක් විතර වගේ. කතෝලික පල්ලි එහෙමත් දෙක තුනක් තිබුණා. දූපත් වාසින් ගේ රැකියා ගැන කතා කරද්දී ධීවර කාර්මිකයෝ, බෝට්ටු හිමිකරුවන්, අතරමැදියන්, මාලු වෙළෙන්ඳන්, කඩ හිමිකරුවන් වගේ අය දකින්න ලැබෙනවා. වැස්ස තියෙන්නේ ඔක්තෝබර්-දෙසැම්බර් කාලෙට. ධීවර කාර්මිකයෝ තමයි බැලූ බැල්මට ගොඩාක් ම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. පාන්දර දෙකට විතර බෝට්ටුවට නැඟලා දැල් එලන්න පිටත් වුනා ම ආයේ එන්නේ දවල් වෙලා, ආවට පස්සේ දැල් වලින් මාළු බේරලා ඉවර වෙද්දි කලින් දවසේ ඇල්ලුව මාළු, වේලපු කරවල ටික ගොඩට අරන් යන්න පැක් කරලා බෝට්ටුවට දාන්න ඕන, ඒකත් ඉවරවෙලා උයාගෙන කාලා බීලා ඉවරවෙද්දි ඉරුණ දැල් මහන්න හවසට සෙට් වෙනවා. ඒ හැමදේම කරලා රෑටත් කාලා නිදාගන්න යද්දි කොහොමත් රෑ 9-10 වෙනවා. මේ තරම් අසීමිත දුක් විඳගෙනත් මේ මිනිස්සු මේ රස්සාව කරන්නේ අත මිටට හොඳ මුදලක් ලැබෙන නිසාලු!



මේ අය ගොඩාක් දෙනෙක් මීගමුව, කොච්චිකඩේ, කුඩාපාඩුව, කන්දකුලිය වගේ පැති වලින් ආපු අය කියලා තමයි දැනගන්න ලැබුණේ. 1982 ඉඳන් මෙහේ පදිංචි වෙලා ඉන්න මහනුවර පදිංචිකාරයෙකුත් හම්බ උනා ඒ අතර. හවස දූපතේ ටිකක් ඇවිදින්න ගියා. නාවික හමුදා සොයුරන් ගමේ අයත් එක්ක ක්‍රිකට් ගහනවා දකින්නත් ලැබුණා, ඒකට සෙට් වෙනවටත් වඩා අපේ අයට කැමැත්ත තිබුණේ මුහුදේ නාන්න යන්නයි. මේ දූපතේ එක පැත්තක් කල්පිටිය කලපුව මුහුණ පාලා තියෙන අතරෙම අනිත් පැත්තේ තියෙන්නේ මුහුදයි. මුහුද නම් ටිකක් සැර වුනත් අපි නෑවා, ඊට පස්සේ තමයි ලොකුම ප්‍රශ්නේ.... නාන්න හොඳ වතුර නෑනේ. සෑහෙන්න ඇවිදලා පොඩි වතුර වලවල් දෙකක් හොයාගෙන එක්කෙනා බාල්දි 3-4 වෙන්න යන්තම් නාගත්තා. වැඩිය වතුර ගන්න එකත් හොඳ නෑ, මොකද මේ අය බොන්න ගන්නෙත් මේ වතුර ම නිසා.



රෑටත් යන්තම් උයලා කාලා බිම තමයි නිදාගත්තේ. බිම කිව්වේ වැල්ලේ කාපට් එකක් එලලා! මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ උයන එක මින තරම් කරදර වැඩක් ද කියලා, අම්මලා කොහොම හැමදාම මේක කරනවද මන්දා! උදේට නැගිටලා අයෙත් උයන්න එපැයි. අපි 11ක් ගිය නිසා සමහර වෙලාවට එක ම දෙසැරයක් ලිපේ තියන්න ඕන, මොකද ඒ තරම් ලොකු හට්ටි, මුට්ටි නැති නිසා. අපෙත් ඉන්නේ අයේ උයලා දුන්නම කන්න බැරි අයියලා නේ!!! අපරාදේ කියන්න බෑ හොඳට නින්ද ගියා වැල්ලේ වුනත්! උදෙත් නැගිටලා එහෙන් මෙහෙන් රවුම් ගහලා එද්දි දවල් වුනා, ම්ම්ම්...අපහු යන්නත් එපැයි, රන්දික ගේ නෑදැයා ට කියලා අරන් යන්න කරවල ටිකකුත් හොයාගත්තා. මිල නම් සාපේක්ෂව ගොඩාක් අඩුයි. බෝට්ටුව දූපතෙන් දවල් ආයෙත් යන්නේ 1.30ට. දූපතේ හිටිය අපේ හිතවතුන්ට ගොඩාක් ස්තූති කරලා අපි ඔවුන් ගෙන් සමු ගත්තා. ගොඩාක් දුකයි ආපහු එන්නත්, ඒත් එන්නත් එපැයි....දූපතේ කරවල, මාළු පටවගෙන බෝට්ටුව පිටත් වෙද්දි 2 විතර වුනා. අපි හවස 5 විතර වෙද්දි කල්පිටිය ජැටියට ආවා.


බෝට්ටුව ගොඩට එනකල් මීගමුව බස් එකක් ජැටිය ළඟ නවත්තලා තියෙනවා, ඒ නිසා කරදරයක් නතුව ආපහු එන්නත් ලැබුණා. පොස්ට් එකේ රසවත් තැන් ගොඩාක් අඩු කරලා ලිව්වේ ගොඩාක් දිග වෙන නිසයි. මේ අතර ම දූපත් වැසියන්ගේ ප්‍රශ්න ගැනත් නොලිව්වොත් ඒක ඒ අයට කරන අසාධාරණයක් කියලා හිතෙන නිසා ඒ ගැනත් ලියන්නම්. ලොකුම ගැටළුව තමයි පිරිසිදු ජලය. දූපත ඇතුලේ අඩි 4-5 ගැඹුර වලවල් හාරලා ඒවාට වතුර එකතු වෙනකල් ඉඳලා ඒවා තමයි බොන්න ගන්නේ. ගොඩ ඉඳන් වුනත් වතුර අරන් යන්න ලොකු වියදමක් යනවා. තවත් ගටළුවක් තමයි සනීපාරක්ෂාව. මෙහෙ වැසිකිලි නැති එක. උදේට වැල්ලට යන අපිට නම් අළුත් අත්දැකීමක් වුනාට ලෙඩ රෝග බහුල වෙන්න ඒකත් එක හේතුවක්. තවත් ලොකු ගැටළුවක් තමයි දූපත රජයට පවරා ගෙන වැසියන් ඉවත් කරලා සංචාරක කර්මාන්තයට යොදාගන්න උත්සහා කරනවා කියන රාවය. ඔවුන් ඒකෙන් ගොඩාක් කැළඹිලා ඉන්නේ. ඒකට නම් කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ කියලයි කියන්නේ. පසුගිය කාලේ ඇතැම් මාධ්‍ය ආයතන වුනත් දූපතට ඇවිත් මේ ප්‍රශ්න වවාගෙන කෑවා මිසක් වුන දෙයක් නම් නෑ කියලයි ඒ අය කියන්නේ. ඊට අමතරව දූපතේ මාළු මිල තීරණය කරන වෙළඳ මාෆියාවත් අහිංසක ධීවරයන්ට ලොකු ප්‍රශ්නයක්.

කාටහරි දූපතට යන්න ආස හිතෙනවනම් යන්න, ඒක නියම අත්දැකීමක්. පුළුවන් නම් එහේ ඉන්න කාවහරි කෙනෙක් සෙට් කරගන්න, එතකොට ඇතිවෙන ප්‍රශ්න ගොඩාක් අඩුකර ගන්න පුළුවන්. මොකද දූපත සංචාරක ව්‍යාපාරයට තවමත් හුරු නැති නිසා දූපතේ ඉන්න අය පිටින් එන අය දිහා බලන්නේ ටිකක් අමුතු විදියට. නවතින්න නම් ප්‍රජා ශාලාවක් එහෙමත් තියෙනවා. මුහුදේ නාන්න යද්දි පරෙස්සමෙන්. භයානක තැන් ගොඩාක් තියෙනවා කියලා අපිත් දැනගත්තේ නාලා ගොඩට ආවට පස්සේ....! පෝස්ට් එක මෙතනින් ඉවර කරන්නයි හිතුවේ. ඉර බැහැලා යන දසුනත් ලස්සනට බලන්න පුළුවන්, මේ ලංකාවේ බටහිර වෙරල නිසා. මංජුල වෙඩිවර්ධන මහත්තයා මේ දූපතේ මාස 6ක් විතර නතර වෙලා 'බත්තලංගුණ්ඩුව' කියලා පොතකුත් ලියලා තියෙනවා. පුළුවන් නම් යන්න කලින් ඒකත් කියවලා යන්න.......

7 comments:

  1. නියම සටහනක්..තව ටිකක් විස්තර ඇතුව ලිව්වත් කියවන්න කම්මැලි වෙන්නේ නැත.

    ReplyDelete
  2. ලස්සන විස්තරයක්. මාරය කියල තියෙනව වගේ තවත් විස්තර ඇතිව ලිව්වනං ලස්සනයි.

    ReplyDelete
  3. මරු ට්‍රිප් එකක්. අර කෑම කාපු පොට් එකත් මරු. මත් ආසයි ඔහොම ට්‍රිප් ගිහින් පට්ට ෆන් එකක් ගන්න.

    ReplyDelete
  4. සොදුරු අත්දැකීම් ටිකක්.. ඔක්කොම අද තමා බැලුවේ...

    ReplyDelete
  5. මාරයාගේ හෝරාව, Praසන්ன: තවත් විස්තර ලිව්වා නම් කියවන්න කම්මැලි හිතෙයිවත් දෝ කියලා හිතුනා! ඒකයි කෙටි කලේ!!! ස්තූතියි ප්‍රතිචාර වලට

    …මධුරංග, Dinesh : ජිවිතේ සරල බව ගොඩාක් දැනෙනවා වගේ ඒ වෙලාවට... ස්තූතියි ප්‍රතිචාර වලට

    ReplyDelete
  6. නියමෙට ලියලා තියෙනවා. ඔයා ගමන ගැන ලිවුව නිසා මම වෙනම පැත්තක් ගැන ලිවුවා.


    http://ekicks.blogspot.com/2011/10/blog-post.html

    ReplyDelete
  7. මේ පෝස්ට සීරීස් එක මම කලින් කියෙව්වා මලේ..
    ලස්සනට ලියලා තියනවා..අපිටත් යන්න හිතෙන විදිහට

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !