මිනී මස් වැළඳූ භික්ෂුවක්...


ඒ කාලේ බරණැස් නුවර වාසය කළ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් අසනීප වෙලා ඒ වෙනුවෙන් විරේක බෙහෙතක් වළඳමින් හිටියා. මේ විරේක බෙහෙත වැලඳුව නිසා ම උන්වහන්සේ ට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය දැනුණා. සුප්පිය උපාසක තුමත් සුප්පියා උපාසිකාවත් වාසය කළේ මේ බරණැස් නගරයේමයි. මේ දෙදෙනා ම සෝවාන් ඵලයට පත් වුණ දෙන්නෙක්. මේ දෙන්නගෙ නිතර තිබුණ පුරුද්දක් තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න නිතර විහාරයට යන එක. විහාරයට ගිහින් ගිලන් භික්ෂූන් වහන්සේලා ගේ කුටියක් පාසා ගිහින් සුවදුක් විචාරන එක වගේ ම උවමනා බෙහෙත් වර්ග සපයන එක බොහොම කැමැත්තෙන් කළා. "ස්වාමිනී, ගිලන් වී සිටින්නේ කවර භික්ෂුව ද? ගෙනැවිත් දියයුත්තේ කවර නම් දෙයක් ද?" කියලා වෙනදා වගේ ම එදත් සුප්පියා උපාසිකාව විමසුවා. එතකොට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය තිබුණ භික්ෂුව, මේ විදියට කිව්වා. "පින්වත් නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක් වළඳන ලද්දෙමි. මා හට මස් ව්‍යංජනයක් ලැබුණොත් ප්‍රයෝජනවත් ය."

ඒ බව ඇහුව සුප්පියා උපාසිකාව "ආර්යන් වහන්ස මැනවි, එය ඔබවහන්සේ හට ගෙනෙනු ලබන්නේ ය." යනුවෙන් පවසලා වහා නිවසට ගිහින් සේවකයෙක් යැව්වා කඩපිලට, විකිණීමට තියෙන මසක් සොයාගෙන එන්න. ඒ වුණත් මුළු බරණැස් නුවර පුරා ම ඇවිදලත් කිසිම මසක් හොයාගන්න බැරිවුණ සේවකයා හිස් අතින් ම සුප්පියා උපාසිකාව හම්බවෙලා මේ විදියට කිව්වා. "ආර්යාවෙනි, වෙළඳපොළේ විකිණීමට කිසිදු මසක් නැත, අද සතුන් නොමරන මාඝාත දිනයයි". ඒක ඇහුව සුප්පියා උපාසිකාව මේ විදියට හිතනවා. "ඒ ගිලන් වූ භික්ෂුවට මස් ව්‍යංජනය නොලැබුණෝතින් අසනීපය වැඩිවන්නට පුළුවනි. ඇතැම් විට ඒ අසනීපයෙන් ම අපවත් වන්නටත් පුළුවනි, ඇරත් මා යමක් දෙන බව පොරොන්දු වී එය නොයවන්නේ නම් මා හට එය නුසුදුසුය". ඊට පස්සේ මස් කපන පිහිය ගත්ත සුප්පියා උපාසිකාව තමන්ගේ කලවයෙන් කොටසක් කපලා දාසියට දුන්නා. "එම්බා කෙල්ල, මේ මස හොඳින් දුරුමිරිස් දමා පිස අසවල් වෙහෙරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න, යමෙක් මා ගැන විමසත් නම් අසනීප බව පවසන්න". එහෙම කියලා සුප්පියා උපාසිකාව තමන්ගේ කලවය රෙද්දකින් ඔතාගෙන කාමරයට ගිහින් වැතිරිලා හිටියා. නිවසට ආව සුප්පිය උපාසකතුමා, කාමරයට වැදී සිටින සුප්පියා උපාසිකාව දැකලා ඒ ඇයි කියලා විමසනවා. තමන්ට අසනීප බව කියන සුප්පියාව සිදුවුණ සියළුම දේවල් සුප්පිය උපාසකතුමාට කියනවා. මේ බව ඇහුව සුප්පිය උපාසකතුමා "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, සුප්පියාව බුදු සසුන කෙරේ පරිපූර්ණ ශ්‍රද්ධා ඇත්තීයකි. තමන්ගේ මස පවා දන් දෙන මැයට නොදිය නොහැක්කක් නම් නැත " කියලා බොහෝම සතුටු හිතුණා. ඊටපස්සෙ සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් වන්දනා කරලා පසුදින දානයට ආරාධනා කරනවා.

දානය පිරිසිදු ව පිළියෙළ කරලා ඒ බව බුදුරජාණන් වහන්සේ ට දැන්වූවා ම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සුප්පිය උපාසකතුමාගේ නිවසට වඩිනවා. වැඩම කළාට පස්සේ උන්වහන්සේ එදා දකින්නට හිටියෙ නැති සුප්පියාව ගැන විමසනවා. එතකොට සුප්පිය උපාසකතුමා "ස්වාමිනි, ඈ ගිලන් ව සිටින්නී ය. " කියලා පිළිතුරු දෙනවා. එසේ වී ඇය මෙහි පැමිණේවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. "ස්වාමිනි, ඇයට පැමිණීමට නොහැකිය" කියලා පවසනවා. "එසේ වී නම් ඇය ඔසවාගෙන එන්න" බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට සුප්පිය උපාසකතුමා ගිහින් ඇය ව ඔසවාගෙන එනවා. සුප්පියාව බුදුරජාණන් වහන්සේ දකිනවාත් එක්කම ඇගේ තුවාලය මසින් වැහිලා ගිහින් සම්පූර්ණයෙන් ම සුවපත් වුණා. "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, භාග්‍යවතුන් වහන්සේ දකිනවාත් එක්කම මේ සා මහත් වූ තුවාලය සැණින් මසින් පිරී ගොස් කැළැල් මැකී ගොස් සුවපත් වූයේය... " කියලා දෙදෙනා ම සතුටු වෙනවා. සතුටු වෙලා දන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ දානය පිළි අරගෙන ධර්ම කතාවෙන් සතුටු කරලා විහාරයට වැඩියා. ඊටපස්සෙ මේ කාරණය හින්දා ම භික්ෂු සංඝයා රැස් කරනවා. 

"පින්වත් මහණෙනි, සුප්පියා උපාසිකාවගෙන් මස් ව්‍යංජනයක් ඉල්ලුවේ කවර භික්ෂුව ද? " බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වෙතින් විමසනවා. "ස්වාමිනි ඒ මා විසිනුයි". මස් ඉල්ලූ භික්ෂුව ඉදිරිපත් වුණා.

"පින්වත් භික්ෂුව, ඒ මස ඔබට ලැබුණේද?"

"එසේ ය ස්වාමිනි, මා හට ඒ මස ලැබුණේය. "

"පින්වත් භික්ෂුව ඔබ ඒ මස වැළඳුවේද? "

"එසේ ය ස්වාමිනි, මවිසින් ඒ මස වැළඳූයෙමි. "

"පින්වත් භික්ෂුව, ඒ කවර මසක්දැයි ඔබ විසින් විමසන ලද්දේ ද?"

"නැත ස්වාමිනි, නොවිමසුවෙමි."
එවිට බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් එහි දොස් දක්වලා මේ විදියට දේශනා කළා. "හිස් පුරුෂය, ඔබ විසින් විමසනු නොලැබ කෙසේ නම් ඒ මස වැළඳුවේද? හිස් පුරුෂය ඔබ විසින් වළඳා තිබෙන්නෙ මනුෂ්‍ය මාංශයකි. හිස් පුරුෂය, මෙය වනාහී නොපැහැදුනවුන් පැහැදීම පිණිස හෝ පැහැදුනවුන් වඩා පැහැදීම පිණිස ද හේතු නොවේ....පින්වත් මහණෙනි, බලවත් ලෙස ශ්‍රද්ධාව පිහිටුවා ගත් බලවත් ප්‍රසාදය ඇති ජනයා තමන්ගේ මස පවා පුදන ලද්දේ වෙයි. පින්වත් මහණෙනි, මිනී මස් නොවැළඳිය යුතු ය. මිනී මස් වළඳන්නේ නම් එයින් ම ඒ භික්ෂුව 'ථුල්ලච්චය' ආපත්තිය සිදුවේ. " ('ථුල්ලච්චය' ආපත්තිය කියන්නේ විශාල වරදක් සිදුවුණාට පස්සෙ එය සංඝයා හමුවේ ආරෝචනය කොට නැවත නොකරන බවට පොරොන්දු වී සංවර වන ඇවතක්.) පින්වත් මහණෙනි, නොවිමසා මස් නොවැළඳිය යුතු ය. යමෙක් නොවිමසා මස් වළඳන්නේ නම් දුක්කට ආපත්තිය සිදුවේ. (දුක්කට ආපත්තිය කියන්නේ නොකළයුතු දෙයක් කිරීමේ වරදට හසුවීමයි. නැවත එය නොකරන බවට පොරොන්දු වී සංවර වීය යුතු ඇවතක්).

ඔන්න ඔය විදියට තමයි බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳීම ගැන භික්ෂූන් වහන්සේලා ට විනය නීති පැනෙව්වේ. මේ වගේ ම බලු, සර්ප, සිංහ, දිවි, වලස් වගේ තවත් මස් වර්ග දහයක් වෙනුවෙන් විනය නීති පනවලා තියෙනවා තහනම් කරලා. මේ විස්තර සඳහන් වෙන්නෙ මහාවග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධය කියන කොටසේ. උපුටා ගත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' පොතෙන්....

33 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි.....


කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා. මේ සුරූපී කාන්තාව ගැන තොරතුරු විමසූව රජතුමාට දැනගන්නට ලැබුණේ ඇය විවාහක බව. දෙව්ලියක්වන් ඇය, තම වසඟයට උපායක් සැලසුම් කළ රජතුමා, ඇයගේ ස්වාමියා රජමාලිගයට කැඳවලා ඔහුට යම් කාර්යයක් පවරලා, රජුගේ අණ ඉටුකිරීමට අපොහොසත් වුවහොත් ඔහුට මරණය අත්වන බවත් දන්වනවා. මේ තරුණයාට පැවරුව කාර්යය තමයි, යොදුනක් (සැතපුම් 12 ක්) පමණ දුර පෙදෙසක තියෙන කුමුදු, නෙළුම් වර්ග වලින් මල් වට්ටියකුත් නාගයන්ගේ රජදහනේ තියෙන පස් වර්ගයක් වුණ අරුණාවතී කියන පස් වර්ගයත් , පැය කිහිපයක් ඇතුළත රජමාලිගයට ගෙනෙවිත් බාරදීම.

මේ අහිංසක තරුණයා තම බිරිඳ සකස් කරලා දුන්න බත්මුලත් අරගෙන කඳුළු පිරි දෙනෙතින් පාරට බහින්නේ යළිත් වරක් කවදාවත් තම දයාබර බිරිඳ දකින්නට නොලැබෙන බව කල්පනා කරමින්. දිවිහිමියෙන් පතිභක්තිය අගය කළ බිරිඳ ස්වාමියාට ආශිර්වාද කරනවා යන ගමන සාර්ථක වෙන්න කියලා. උදෑසනින්ම ගමන ආරම්භ කරන තරුණයා හිරු රශ්මිය දැඩිවෙද්දි කැලයක් අයිනෙ නතර වෙලා දිවා ආහාරය අරගෙන ළඟ තිබුණ ඇළකට ගිහින් වතුර බීල ඉතිරි වුණ බත් මාළුන්ට දාලා ගමන් විඩාව සන්සිඳුවාගන්නා ගමන් ම තමාට අත්වන්නට යන්නා වූ ඉරණම ගැන කල්පනා කරන්න පටන්ගත්තා. තරුණයා දැනගෙන හිටියා කවදාවත් තමන් යන ගමන සාර්ථක කරගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ කියලා. ඒ අතරේ තරුණයා පත්වෙලා ඉන්න කණගාටුදායක තත්ත්වය දැක්ක නාග රාජයක් මහලු වේෂයක් මවාගෙන, තරුණයා අසලට ඇවිත් ඔහු සොයන මල් වට්ටිය සහ අරුන්දතී පස් දුන්නා.

ඉමහත් පී‍්‍රතියට පත් වුණ තරුණයා පැය කීපයක් ඇතුළත මල් වට්ටිය සහ අරුන්දතී පස් අරගෙන නගර සීමාවට යළි ආවත් රජමාළිගාවේ සිද්ධවුණේ වෙනත් දෙයක්. තමන් දුන්න කාර්යය ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවුණත් බැරිවෙලාවත් වේලාවට කලින් මේ තරුණයා අදාල දේවල් අරගෙන ආවොත් තමන්ගේ අරමුණ ඉටුකරගන්න නොහැකිවෙන බව හිතන රජතුමා නගරයේ දොරවල් කලින් ම වහලා දාන්නට අණ කරනවා. තරුණයා එද්දි නගරයේ දොරවල් වහලා. කිසිවක් කරකියාගත නොහැකි වුණ මේ අහිංසක තරුණයා අසල තිබ්බ ජේතවනාරාමයට ගියේ පසුවදාට එළිවුණ ගමන් ම රජ මාළිගාවට යන්න හිතාගෙන.

කොසොල් රජතුමා එදා රෑ සිරිත් පරිදි නිදාගන්න ගියත් මුළු රාත්‍රී කාලය පුරාම ඉතාමත් බියකරු ශබ්ද මරලතෝනි ඇහෙන නිසා රාත්‍රිය පුරාවටම නින්දක් ලැබුණේ නැහැ. රෑ පහන් වෙනකල් ම එක එක විදියෙ භයානක ශබ්ද ඇහුණ නිසා කොසොල් රජතුමා හොඳටම බයවුණා. ඉතා දිගු වුණ භයංකාර රාත්‍රියේ නිදිවරා සිටිය රජතුමා උදෑසනම ඒ බියජනක ශබ්ද ගැන අගමෙහෙසිය වුණ මල්ලිකාවන්ට කිව්වා. මේ ගැන ඇගේ අදහස වුණේ මෙම රුදුරු බිය උපදවන ශබ්ද රජතුමාට ඇසුනේ කෙසේද යන්න දැනගන්නට නම් තථාගත බුදුපියාණන්ගෙන් විමසන්න කියලයි.

මල්ලිකා දේවියගේ උපදෙස් අනුව, කොසොල් රජතුමා බුදුන් වහන්සේ හමුවන්නට ජේතවනාරාමයට ගිහින්, කලින්දා රාත්‍රී කාලයේ තමන්ට අහන්නට ලැබුණ භයානක දුක් අඳෝනා සහිත ශබ්ද ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ විදියට පිළිතුරු දෙනවා. "මහරජ! ඔබ බියට පත්වූයේ ලෝකුඹු නිරයේ අනන්ත අප්‍රමාණ දුක්විඳින සිවුදෙනෙක්ගෙන් නිකුත්වන බියකරු අඳෝනා නිසාය. එදා සැවැත්නුවර විසූ ධනවත් සිටුවරුන් සිවුදෙනෙකුගේ් පුතුන් සිවු දෙනෙක්, කාමය වරදවා හැසිරීම නමැති තෙවන පන්සිල් පදය දරුණු ලෙස කඩකිරීම නිසා ලෝකුඹු නිරයට ගොස් විඳින අනන්ත දුක් වේදනා හා අඳෝනායි ඔබට ඇසී ඇත්තේ. අන් අඹුවන්ගේ පහස සොයා යාමේ පාප කර්මයේ විපාක, අද මේ සිටුකුමාරවරු සිවු දෙනා ලෝකුඹු නිරයේ සිට විඳීති. අන් අඹුවන් සේවනය කිරීමට යන්නන්ට මෙවන් අසීමිත දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවේ. මෙවන් දුෂ්ට පාපතර ක්‍රියාවන්හි නිරතවන්නට ලැබෙන දරුණු දඬුවම් විඳින විට නැගෙන අඳෝනාවලට තමයි ඔබ සවන් දුන්නේ" කොසොල් රජතුමාට කරුණු පැහැදිලි වුණා. තමා සිදුකරන්නට උත්සාහ කළේ කෙතරම් පාපතර ක්‍රියාවක්දැයි කියලා රජතුමාට ඒත්තු ගියා. ‘තථාගත බුදුපියාණන් වහන්ස! නිදි නොලබා සිටිනවිට රාත්‍රී කාලය කෙතරම් දිග දැයි මට වැටහුණා’ යැයි පසේනදී රජු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළා. ඒත් එක්කම බුදුන් වහන්සේ සහ රජතුමා ටිකක් ඈතින් රැඳී සිටිය තරුණ ස්වාමි පුරුෂයා බුදුන් වහන්සේ අමතමින් ‘අනේ බුදුපියාණනි කුමුදුමල් සහ අරුණාවතී පස් සොයා ගන්නට මා යොදුනක් ඇවිද්දා. මා ඒ ගමනින් හෙම්බත් වුණා’ යැයි කියලා ප්‍රකාශ කරනවා. ඊටපස්සෙ තමයි උන්වහන්සේ "නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය" යන අරුත දැක්වෙන ගාථාව දේශනා කරන්නේ....

ප.ලි : මහළු වේශයක් ගත්ත නාගරාජයා ගැන ප්‍රශ්න ඇතිවුණා නම්.... මෙතනදි නාගයෙක් කියලා අදහස් කරන්නෙත් සතර අපායෙන් එකක් වෙන තිරිසන් අපායෙ එක සත්ව කොට්ඨාසයක් වෙන නාගයන් ගැනයි (නිතර අපි දකින නයි ත් මේ කොටසේ ඉන්නවද කියන්න නම් මම දන්නේ නැහැ!). මේ අයට ලැබිලා තියෙන ලෞකික ඍද්ධියක් තමයි වෙස් මාරුකරගැනීමේ හැකියාව. නමුත් මේ අය තිරිසන් සත්ව කොටසක් නිසා කවදාවත් ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ ගැන කතාවකුත් තියෙනවා, ඒකාලේ නාගයෙක් මිනිස් වේශයෙන් ඇවිත් බුද්ධ ශාසනයේ ඇවිත් පැවිදි වෙනවා. නමුත් එක දවසක යම් සිදුවීමක් නිසා නාග වේශය අනිත් ස්වාමින්වහන්සේලා ට දකින්න ලැබිලා මේ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනාව කැඳවලා අවවාද කරලා සසුනෙන් ඉවත් කරනවා නාගයෙක් විදියට ධර්මය අවබෝධ කරගන්න කවදාවත් බැරිනිසා. ඒ වගේම සිදුහත් බෝසතාණන් සුජාතාවන් ගේ කිරිපිඬු දානය වළඳලා නේරංජරා ගඟේ පා කළ පාත්‍රය උඩුගං බලා ගිහින් නැවතුණෙත් නාග ලෝකයේ කියලයි කියන්නේ. ඒ පාත්‍රය දැක්ක මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යනවා කිව්වලු. මේ වගේ කතා ගොඩක් තියෙනවා නාගයෝ ගැන කියනවනම් පෝස්ටුවකට දාන්න තරම්...තව මේ ගැන දැනගන්න ඕන නම් මෙතනින් කියවන්න. පින්තූරය මෙතනින්.

51 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පුංචි කාලේ අපි.... හැටි තව මතකද ?


.


අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද? ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටුයි. නෑදෑයෝ දරුවා වඩාගන්නවා, නලවනවා, තෑගි ගේනවා. ඔය වගේ නොයෙකුත් දේවල්. ඒ වගේ ම එදා ඉඳන් දෙමව්පියන්ට ත් අලුතින් රාජකාරි බොහොමයි. දරුවා පෝෂණය කරලා ලොකු මහත් කරන එක, හොඳ අධ්‍යාපනයක් දෙන එක හැම අම්මෙක් තාත්තෙක් ගෙම හීනයක්. ඉතින් ඒ වගේ දරුවෙක් ඉපදුණාට පස්සෙ වෙන හැමදේ ම අපිට පේනවනේ. දකින්න පුළුවනි නේ. නමුත් මේ දරුවා මව්කුසේ ඉද්දි ගෙවන ජීවිතේ මොන වගේ වෙන්න ඇතිද කියලා කාටහරි හිතුණද? සාමාන්‍ය මිනිස්සු නම් දන්නේ බොහෝ ම සනීපෙට Water bag එකක් ඇතුළට වෙලා ඉන්නවා ඇති කියලනේ.

නමුත් ඇත්ත ම කථාව නම් ඒක නෙවෙයි. කියවලා බලන්නකෝ මේ විස්තරය. 

“මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය. ඉක්බිති ඔහු දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම් වලින් තොරව මහත් දුකක් විදින්නේය.

ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට මෙන් අතිමහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය.”
මේ තමයි බුද්ධ දේශනාව. උපුටලා ගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ කෘතියකින් කියලා තමයි මට ලැබුණු ඊ මේල් එකේ සඳහන් වුණේ. කොහොම වුණත් දරුවෙක් ලැබෙන එක දෙමව්පියන්ට සතුටු වෙන්න කාරණාවක් තමයි. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ "පුත්තා වත්ථු මනුස්සානං" කියලා. මිනිස්සුන්ට තියෙන ලොකු ම වස්තුව තමයි දරුවෝ කියලා. නමුත් ඒත් එක්ක ම මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ඉපදීම කියන්නේ තවත් දුකක් කියලා. සතර මහා ධාතූන්ගේ පහල වීමක්, පංච උපාදානස්කන්ධයේ පහල වීමක් කියලා ඒ තමයි යථාර්තය වෙන්නෙත්...

33 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ගබ්සාව(Abortion) සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය.....


සරලවම ගබ්සාව කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. කලලය නොමේරූ අවධියෙදි ම ගර්භාෂයෙන් ස්වභාවික ව ඉවත්වීම හෝ බාහිර බලපෑමකින් ඉවත් කිරීම තමයි ගබ්සාව කියන්නේ. ස්වයං ගබ්සාව (Spontaneous Abortion) සහ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) තමයි ගබ්සාවේ ප්‍රභේද. අද කියන්න යන්නේ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) හෙවත් බාහිර බලපෑමකින් සිදුකරන ගබ්සාව සහ එහි බෞද්ධාගමික පසුබිම ගැනයි. ගබ්සාව එහෙමත් නැත්තම් Abortion කියන දේ දැන් දැන් ආගමික, සමාජීය ගැටළුවක් වෙමින් පවතින දෙයක් බවට පත්වෙලා. සමහරු කියනවා කිසිදු කොන්දේසියක් නැතුව ම ගබ්සාව නීත්‍යානූකූල කරන්නෝන කියලා, තවත් සමහරුන්ගේ අදහස තමයි තවදුරටත් ගබ්සාව තහනම් කළයුතුයි කියලා. නීතිය පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනූව නම්, දරුගැබ හේතුවෙන් මවගේ ජීවිතය අවදානමට ලක් වෙනවා නම් පමණක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් ගබ්සාවක් කරන්න අවසර දීලා තියෙනවා. එහෙම නැතුව නම් නීති විරෝධී, දඬුවම් ලැබිය හැකි වරදක් විදියට තමයි නීතියෙන් අර්ථ දැක්වෙන්නෙ.

යම් යම් රටවල් නම් ගබ්සාව නීත්‍යානූල බවට පත්කරලා විවිධ ක්‍රම වලින් (එන්නත්, පෙති, සැත්කම්... ) ගබ්සාව සිදුකරනවා. නමුත් අපේ රටේ කලින් කිව්ව විදියට නීති සම්පාදනය වෙලා තියෙන නිසා හිතෙන හිතෙන විදියට ගබ්සාවන් කරන්න විදියක් නැහැ. හැබැයි එහෙම කියල ගබ්සාවන් නොවී තියෙන්නෙත් නැහැ. නිල නොලත් සංඛ්‍යාලේඛන වලට අනූව අපේ රටේ දවසකට සිදුවෙන නීත්‍යානුකූල නොවන ගබ්සාවන් ප්‍රමාණය 1000ක් පමණ කියලා තමයි අනුමාන කරන්නේ. ගබ්සාවන් මේ තරම් වෙන්න හේතු මොනවද? බොහෝ විට අනියම් සම්බන්ධතා, වැරදි ලිංගික සම්බන්ධතා, උපත්පාලන දැනුම අඩුකම, අතවර, දරිද්‍රතාවය ... වගේ හේතු බහුලයි. මේ තරම් ගබ්සා රටේ වෙද්දිත් නීතියෙන් මේක තහනම් කරලා තියෙන්නෙ ඇයි? ප්‍රශ්නයක් නේද? මේ ගැන නීති හදද්දි, නූපන් කලලයත් ජීවයක් සහිත දෙයක් විදියට සලකලා මනුෂ්‍ය ඝාතනයක් විදියට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. දැන් බලන්න යන්නේ මේ සම්බන්ධ ව තියෙන බෞද්ධ ආකල්පය මොකක්ද කියන එක.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් මහා යමක වග්ගයේ තියෙන මහා තණ්හාසංඛය හෙවත් තණ්හාව නැතිකිරීම ගැන වදාළ දෙසුමේ සඳහන් වෙන විදියට මව් කුසක දරුගැබක්/ කළලයක් හටගන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. පළමුවෙනි කරුණ තමයි මව ගැබ්ගැනීමට යෝග්‍ය වෙන්න ඕන (ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම ගැනයි මේ කියන්නේ). දෙවෙනි කරුණ තමයි මවුපිය දෙදෙනා කායික ව එක්වීම සිදුවෙන්න ඕන. ඒ සඳහා සුදුසු ගන්ධබ්බයෙක් ඉන්න ඕන කියන එක තමයි තුන්වෙනි කාරණාව. ගන්ධබ්බයා කියන වචනේ ගැන ගැටළු එහෙම තියෙනව නම් " මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???" සටහන කියවලා අවුල ලිහාගන්න පුළුවනි කැමති අයට. මේ විදියට කාරණා තුන ම සම්පූර්ණ වුණොත් විතරයි දරුගැබක් පිහිටන්න පුළුවනි. පළමු, දෙවන හෝ දෙවන තෙවන හෝ පළමු තෙවන කාරණා විතරක් සැපිරුණා කියලා දරුගැබක් පිහිටන්නෙ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේ ම මහා තණ්හාසංඛය සූත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා මේ ගැන තවදුරටත්. මව ගැබ් ගැනීමට යෝග්‍ය වූ කාලයේදී ගර්භාෂයේ විශාල ලේ පටලයක් හටගෙන එය පුපුරා වැගිරෙයි. එයින් ම ගර්භාෂය පිරිසිදු වෙයි. එසේ ගර්භාෂය පිරිසිස්දු වූ කල් හී මව්පියන් එක්වරක් පමණක් සංවාසයේ යෙදුණද දින හතක් යනතෙක් ගර්භාෂය වපුරන ලද බීජ ඇති කෙතක් මෙන් වෙයි. එම කාලයේදී අංග පරාමර්ශනයෙනුදු (අල්ලා ගැනීමෙන්/ Seizing ) දරුගැබ් හටගනී ආදී වශයෙන්. මේ කියන්නේ ඔසප් චක්‍රය සහ පිළිසිඳගැනීම් අවස්ථා ගැන. 


සාමාන්‍යයෙන් ධර්ම ග්‍රන්ථ වල සඳහන් වෙන විදියට යුක්තාණුව (පිරිමි ප්‍රජනන සෛල වන ශුක්‍රාණුවක් හා ගැහැණු ප්‍රජනන සෛල වන ඩිම්බයක් සංසේචනය වීමෙන් යුක්තාණුවක්( Zygote) හැදෙනවා) කෙන්දකින් ඉහළට ඔසවන තෙල් බිඳුවක් තරම් කියලා තමයි විස්තර වෙන්නෙ. කලින් සඳහන් කළා නෙ කරුණු තුනක් එකට එකතුවෙන්න ඕන කියලා දරු ගැබක් හටගන්න. එතකොට මේ යුක්තාණුව හැදෙන්නේ අර කරුණු තුන සම්පූර්ණ වුණාට පස්සෙයි. ඒ කියන්නේ ගන්ධබ්බයෙකුත් ආවට පස්සෙයි. මුල් කරුණු දෙක සම්පූර්ණ වෙලා එතැනට ගන්ධබ්බයෙකුත් එනවා කියන්නේ එතනදී ප්‍රතිසන්ධි සිතකුත් ඇතිවෙනවා ඒ ගන්ධබ්බයාට. එහෙනම් ප්‍රතිසන්ධි සිතක් ඇතිවෙනවා නම් ඒ යුක්තාණුව සජීවි එකක් වියයුතුමයි. නැත්තම් සිතක් පහළ වෙන්න විදියක් නැහැනේ. එහෙනම් යුක්තාණුව හෝ කලල රූපය කියන්නේ ජීවියෙක්. එතකොට ගබ්සාවක් කිරීමෙන් මරාදමන්නේ මේ නූපන් ජීවයයි. මේ විදියට තමයි ගබ්සාව ප්‍රාණඝාත අකුසලයක් බවට පත්වෙන්නෙ.

තමන් විසින් ම ගබ්සාව කරගත්තත්, කෙනෙකුට ගබ්සාව මේ විදියට කරන්න කියලා උපදෙස් දුන්නත්, වෙන කෙනෙක් ලවා කරගත්තත් අකුසලයේ වෙනසක් වෙන්නෙ නැහැ. කරන, කරවන සහ උපදෙස් දෙන හැමකෙනා ම ප්‍රාණඝාතයට හසුවෙනවා. විනය පිටකයේ පාරාජිකා පාළියේ මේ ගැන අපූරු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කාලයේ දුර බැහැර වෙසෙන ස්වාමියෙක් ඉන්න බිරිඳකට සොර සැමියෙක් නිසා දරුගැබක් හටගත්තා. සැමියා දුර බැහැර වෙසෙන නිසා තමන්ගේ නෑදෑයන් ට මේ දරුගැබ ප්‍රශනයක් බවට පත්වෙන බව දැක්ක බිරිඳ දරුගැබ නසන්න හිතාගෙන භික්ෂුවකගෙන් ඒ සඳහා බෙහෙතක් ඉල්ලනවා. ඒ භික්ෂුව ලබාදුන්න බෙහෙත නිසා මේ දරුගැබ මියයනවා. නමුත් භික්ෂුවට සැකයක් උපදිනවා තමන්වහන්සේ ප්‍රාණඝාතයට හසුවුණාදෝ කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ම ලැබෙන පිළිතුර වෙන්නෙ ඒ භික්ෂුව ප්‍රාණඝාතය නිසා ම පරාජිකාවට පත්වෙලා කියලා....

ඒ වගේ ම විනය පිටකයේ මෙහෙම දෙයකුත් සඳහන් වෙනවා. අහලා තියෙනවද මරණ සංවර්ණනාව ගැන? ඒ කියන්නේ තව කෙනෙකුගේ මරණය දකින අදහසින් මරණයේ ගුණ වර්ණනා කිරීම. උදාහරණයක් කියන්නම්කෝ. "ඔබ මේ දරුගැබ නැසුවොත් නැතිවෙලා ගිය කීර්තිය ආපසු ලැබේවි, මිල මුදල්, යහපත් සැමියෙකු ඔබට ලැබේවි" වගේ කියලා ඒ නිසා ම ඒ කෙනා දරුගැබ නැසුවොත් ඒකේ ගුණ වර්ණනා කළ කෙනා ත් ප්‍රාණඝාතයට හසුවෙනවා. මරණාසන්න ව ඉන්න කෙනෙක් දැකලා කියනවනම් මේ කෙනා මෙහෙම දුක් විඳින්නෙ නැතුව මැරිලා යනවනම් හොඳයි කියලා, ඒ කෙනා හෝ වෙනත් කෙනෙක් ඒක අහලා ජීවිතය නැති කරනවා හෝ නැතිකරගන්නවා නම් නොවැරදීම ප්‍රාණඝාතයට අසුවෙනවා. මේ විදියට මරණයේ ගුණ කයෙන්, වචනයෙන්, දූතයෙක් මාර්ගයෙන් හෝ ලේඛනයකින් හෝ දක්වලා ඒ නිසා ම මරණයක් සිද්ධවෙනවා නම් ඒක ප්‍රාණඝාතයට අයිතිවෙනවා කියලා තමයි දැක්වෙන්නෙ.


මේ දේවල් මේ විදියට වුණත් සරල ම දේ තමයි ගබ්සාවක් කියන්නෙත් දරුවෙක් මරාදැමීමක් කියන දේ. ගබ්සාවක් කරන්න මොන විදියේ හේතු තිබුණත් ඒක සාධාරණීකරනය කරන්න නම් හේතුවක් හොයාගන්න හරි අමාරුයි. බොහෝමයක් වෙලාවට ගබ්සාවන් කෙරෙන්නෙ හොරෙන් නේ. ඒ කියන්නෙ සුදුසුකම් නොලත් වෛද්‍යවරු, හෙදියෝ, වින්නඹුවන් සමහරවෙලාවට සාත්තු සේවක සේවිකාවන් පවා මේ තැන්වල ඉන්නවා. ඉතින් අක්‍රමවත් ව අවම පහසුකම් යටතේ කෙරෙන මේ දේවල් වල අවදානම (රුධිර වහනයන්, විෂබීජ....) දරුවට වගේ ම මවටත් තියෙනවා. ඒ කියන්නෙ ජීවිත දෙකක් එක්කයි සෙල්ලම් කරන්නෙ. කියන්න කණගාටුයි විශ්ව විද්‍යාල, ආයෝජන කලාප අවට මේ තත්වය දරුණු ලෙස පැතිරිලා තියෙනවා වගේ ම ඒක සාමාන්‍යකරණයටත් පත්වෙලා. ඒ නිසා සොයුරියන් මේ ගැන ඉතා කල්පනාකාරී වියයුතු බවයි (ඇතැම් ආත්මාර්ථකාමී පිරිමින් හමුවේදී.. )මගේ හැඟීම . මොකද යමක් වුණොත් වැඩි හානිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා හැඟීම් වලට වගේ ම බුද්ධියටත් ඉඩදීලා සම්බන්ධතා පවත්වාගෙන යන්න හැමෝම වගකීම් සහගත වෙන්න ඕන.

ප.ලි: ටිකදවසකින් ආයෙමත් ආව ඔන්න. කාලීන ව ව වැදගත් වේවි කියලා හිතලා තමයි මෙහෙම දෙයක් ගැන ලිව්වේ. බුදුමඟ අතිරේකයේ පූජ්‍ය ලේල්වල අරියධම්ම ස්වාමින් වහ්න්සේ ගේ ලිපියකුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තිත මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයත් මේ සටහනට උදව් වුණා. පින්තූර ගත්තේ සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන්. ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රශ්න තියෙනවනම් අහන්නත් පුළුවනි. පුළුවන් විදියට උත්තර හොයාගනිමු අපි...(තාක්ෂණික ගැටළුවක් නිසා කලින් පෝස්ටුව ඉවත් කරන්න වුණා, ඒ නිසා කමෙන්ට් කළ අයගේ කමෙන්ටු ඔන්න මගේ නමින් ම මම පබ්ලිෂ් කළා :D)

31 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන් නිසා සටන ජයගත් කොසොල් රජතුමා...


බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ම කොසොල් ජනපදයට අධිපති වුණ කොසොල් රජතුමාත්, මගධාධිපති බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණ අජාසත්ත රජතුමා ත් අතර යුද්ධයක් ඇතිවුණා. දිගින් දිගටම මේ සටන් වලින් අජාසත් රජතුමාට පරාජයට පත් වෙන්නට වුණ නෑකමින් මාමණ්ඩිය වුණ කොසොල් රජතුමාට මේක ලොකු ලැජ්ජාවක් වුණා. මේ යුද්ධය ඇතිවෙන්න හේතුව තමයි, කාලෙකට කලින් මිත්‍රත්වය හේතුවෙන් කොසොල් රජතුමා තමන්ගේ සොයුරියක් බිම්බිසාර රජතුමාට දායාද විදියට ගම්වරයක් එක්ක විවාහ කරලා දෙනවා. නමුත් කෲර අජාසත් රජතුමා, තමන්ගේ පියා වුන බිම්බිසාර රජතුමා ව මරා දමනවා. මේ නිසා ඊට විරුද්ධ වීමක් විදියට සොයුරියට දායාද විදියට ලබාදුන්න ගම්වරය කොසොල් රජතුමා අපහු පවරා ගන්නවා. ඒ ගම්වරය වෙනුවෙන් තමයි මේ යුද්ධය ඇතිවුණේ.

කලින් කිව්වනේ කොසොල් රජතුමා හැමදාමත් යුද්ධයෙන් පරදිනවා කියලා. ඒ නිසා දවසක් කොසොල් රජතුමා තමන්ගේ චරපුරුෂයෝ කැඳවලා, යුද්ධය ජයගැනීම පිළිබඳ රහස් ඥාණවන්ත භික්ෂූන් දන්නා බවත් නමුත් ඇහුවොත් කවදාවත් නොකියන නිසා රහසිගත ව ඒවාට සවන් දී තමන්ට වාර්තා කරන විදියට උපදෙස් දෙනවා. දවසක් උපතිස්ස සහ ධනුග්ගාහකතිස්ස කියන ස්වාමින් වහන්සේලා අතර යුද්ධය ගැන ඇතිවෙන සාකච්ඡාවක් චරපුරුෂයෙක් අහගෙන ඉන්නවා. " ඔය විදියට පහරදීලා අජාසත් රජු ව අල්ලා ගන්න බැහැ. පදුම භ්‍රෑහ (පද්මාකාරයෙන් යුද සෙනග පෙළ ගස්වා පහර දීම), චක්‍ර භ්‍රෑහ (චක්‍රාකාරයෙන් යුද සෙනඟ පෙළ ගස්වා පහර දීම), සටක භ්‍රෑහ (දෙපැත්තෙන් පහර දීම) කියන යුද්ධ උපක්‍රම තුනෙන් සටක භ්‍රෑහ හෙවත් අජාසත් සේනාව දෙපසින් වටකරලා ඉදිරියට එන්න ඉඩ හැරලා මුලින් පසු බැහැලා මැද්දට ආවට පස්සේ අල්ලාගත යුතුයි" කියලා ධනුග්ගාහකතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. මේ ගැන චරපුරුෂයා රජුට දන්වනවා. ඊට පස්සේ කොසොල් රජතුමා ඒ විදියට සේනා සංවිධානය කරලා කොසොල් රජතුමා ජීවග්‍රහයෙන් ම අල්ලා ගන්නවා. තමන්ගේ බෑණා වූ නිසා ම අවවාද කරන ගමන් ම අජාසත් රජතුමා ට ජීවිත දානය දෙනවා වගේ ම තමන්ගේ දියණියකුත් සරණ පාවලා දෙනවා කලින් ගම්වරයත් එක්ක ම. ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන්ගේ යුධ උපදේශය ගැන උන්වහන්සේ ට චෝදනාවක් එල්ල වුණා දම්සභා මණ්ඩපයේදී. ඒ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ, ධනුග්ගාහකතිස්ස හාමුදුරුවෝ අද විතරක් නෙවෙයි මීට පෙරත් සටන් මෙහෙයවලා ජයගත්ත බව ප්‍රකාශ කරලා මේ විදියට අතීත කථාව දේශනා කරනවා.

ඉස්සර කාලයේ ජීවත් වුණ ලී වඩුවෙක් දවසක් ලී කපන්න කැලෑවට ගියා ම අතරමං වුණ ඌරු පැටියෙක් දැකලා ගෙනැවිත් හදාවඩා ගන්නවා. ඌරු පැටියා වඩු මඩුවෙ ම ලොකු මහත් වෙලා වඩුවාට ලී කොට පෙරලන්න, නූල් ගහන්න වගේ වැඩ වලට උදව් කරනවා. මේ හින්ද ම ඌරු පැටියට 'වඩ්ඩකී සූකර' කියල නමකුත් පටබැඳෙනවා. ඌරු පැටියාගේ උපකාර නිසා ම වඩුවා දවසින් දවස දියුණු වෙනවා වගේ ම ඌරු පැටියත් ගොඩක් පුෂ්ටිමත් ව වැඩෙනවා. අද විතරක් නෙවෙයිනේ ඒ කාලෙත් ඉන්න ඇතිනෙ මස් වැද්දෝ හැමතැනම. ඒ නිසා ඌරා ගේ ආරක්ෂාව වෙනුවෙන් වඩුවා තීරණය කරනවා ඌ ව කැලයට නිදහස් කරන්න. මොකද කවුරුහරි මේ පුෂ්ටිමත් ඌරා ව මරාගෙන කෑවොත් තමන්ට ලොකු වේදනාවක් දැනේවි කියලා හිතුණ නිසා. ඉතින් කැලයේ තනිවුණ වඩ්ඩකී සූකර ඌරා තමන්ගේ වර්ගයා සොයාගෙන යනවා. මේ යන අතරමඟ දී ඌරු රංචුවක් හමුවෙනවා වඩ්ඩකී සූකරට.

හොඳින් පුෂ්ටිමත් ව වැඩුණු ඌරා ව දකින වැහැරී ගිය සිරුරු ඇති ඌරු රංචුව, ඌරා වටකරගන්නවා. "කැලේ මේතරම් කන්න බොන්න තියෙද්දි මේ තරම් වැහැරිලා ඉන්නේ ඇයි" කියලා වඩ්ඩකී සූකර විමසනවා. "මේ කැලේ කොයිතරම් කන්න බොන්න තිබුණත් ඒවා කෑමට තරම් හිතක් අපට නෑ. කෑවත් ඒවා ඇඟට අල්ලන්නෙ නෑ. අපේ වරිගේ එවුන් මරාගෙන කන කොටියෙක් අර ඈත පේන ගල උඩට එනවා. හැමදාමත් එකෙක් ව මරාගෙන කනවා. ඌ කොයිවෙලාවෙ එයිද කියලා බයෙන් තමයි අපි ඉන්නෙ" කියලා ඌරු රංචුව උත්තර දෙනවා. "උඹලා බය නොවී මා කියන විදියට වැඩ කරනවනම් ඔය කොටිය ව මරා දමන්න පුළුවනි" කියලා වඩ්ඩකී සූකර කිව්ව ම ඌරු රංචුව කැමති වෙනවා ඒ විදියට වැඩ කරන්න. ඌරු පැටවුන් ව මැදින් තියලා ඒ වටේ ට ඊරියන් ව තියලා ඊටත් පිටතින් පුෂ්ටිමත් ඌරනුත් ඊටත් පිටින් දළ සහිත ශක්තිමත් ඌරන් ඉන්න විදියට රංචු කැලේ තැනින් තැන රඳවනවා. කොටියා ඇවිත් පනින ගල පාමුලින් වතුර වලක් හදන වඩ්ඩකී සූකර ඒ තුළින් පැනලා යන්න පුළුවන් උමඟකුත් හදනවා. ඒ විදියට හදලා යම් විදියකින් කොටියා ආවොත්, කොටියා කරන දේ ම ඌරන්ටත් කරන්න උපදෙස් දෙනවා. ටික වෙලාකින් කොටියා ඇවිත් කැලේ දෙවනත් වෙන්න ගර්ජනා කරනවා, ඌරු රංචුවත් ඒ විදියට ම කරනවා. කොටියා ගල උඩ මූත්‍රා කරනවා. ඌරොත් ඒ විදියට ම කරනවා.

වෙනදා නොදැක්ක වෙනසක් දැක්ක කොටියා ආපහු හැරිලා පලායනවා තම්න්ගේ ස්වාමියා වුණ තාපසයා ළඟට. ඌරු මස් නැතිව හිස් අතින් එන කොටියා දැක්ක තාපසයා ඊට කරුණු විමසනවා. කරුණු පැහැදිලි කරන කොටියට බැණ වදින තාපසයා "ඔය වගේ ශක්තිමත් ශරීරයක් තියෙන කොටියෙක් ඌරන් ට බයවෙන්න ඇයි? වහා ම ගිහින් ඌරෙක් මරාගෙන වරෙන්" කියලා කොටියට අණ කරනවා. වහා ම ආපසු හැරුණ කොටියා ගල උඩට ගිහින් වතුර වළ ළඟ හිටිය වඩ්ඩකී සූකර මතට පනිනවා. වඩ්ඩකී සූකර සැණින් වතුර වළේ තිබුණ උමඟට ගිහින් හැංගෙනවා. වතුර වළට වැටිලා පාවෙමින් හිටිය කොටියා ළඟට ආව වඩ්ඩකී සූකර, ශක්තිමත් දළෙන් ඇනලා කොටියා ව මරලා දැම්මා. කොටියා මැරුණු බව දැක්ක ඌරු රංචුව කොටියා ව කාලා දැම්මා. අන්තිමට වඩ්ඩකී සූකර, ඌරු රංචුවෙන් අහනවා "දැන් ඉතින් උඹලට නිදහසේ ඉන්න පුළුවන් නේද කියලා?" ඒ වුනත් කණගාටුවෙන් වගේ ඌරු රැල මේ විදියට උත්තර දෙනවා. "මේ කොටියා නෙවෙයි, තව මේ විදිය කොටියන් දහයක් වුණත් පුහුණු කර එවිය හැකි තාපසයෙක් ඉන්නවා, ඒ තාපසයා ඉන්න තුරු තමන් ට නිදැල්ලේ සිටිය නොහැකි යි" කියලා. කොටියා මරලා මහත් සතුටින් හිටිය ඌරු රැල වඩ්ඩකී සූකර පෙරටු කරගෙන තාපසයා ව හොයාගෙන යනවා. ඌරන් රංචුව කඩා වදිනවා දැක්ක තාපසයා දුවගෙන ගිහින් ගහක් උඩට නැග්ගා. ගහ වටේ තියෙන මුල් ටික හාරලා කඩන්නට වඩ්ඩකී සූකර උපදෙස් දෙනවා. හැම මුලක් ම කඩලා දැම්මත් එක ම එක ලොකු මුලක් ඉතුරු වුණා. වහා ම වඩ්ඩකී සූකර පැනලා තමන්ගේ ශක්තිමත් දළෙන් ඇනලා මුල කඩලා දාලා ගහ බිමට පෙරලුවා. ඉතින් තාපසයාගේ කටු විතරයි අන්තිමට ඉතුරු වුණේ. ඔන්න ඔය විදියට තමයි ධනුග්ගාහකතිස්ස හාමුදුරුවො, වඩ්ඩකී සූකර විදියට ඉපදිලා සටන් ජය ගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ, 'වඩ්ඩකී සූකර ජාතකය' දේශනා කළා.

ප.ලි: බ්ලොග් එක ආයෙ නොලියා ඉන්න තීරණය කළත් කාලයත් එක්ක ම ආයෙත් මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.ටිකක් විතර කාර්ය බහුල වීම නිසා ගොඩක් අයගේ බ්ලොග් ඇවිත් කියවලා ගියත් ප්‍රතිචාර දක්වන්න නම් නොහැකි වුණා කියලත් කියන්න ම ඕන. ලංකාදීප පත්තරේ, බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ ලිව්ව සටහනකින් තමයි මේ කථාව උපුටලා ගත්තේ. එහෙනම් මම ආයෙත් දිගටම එනවා ඔන්න.

43 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !