
මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම! මේ ගැන ගොඩක් දෙනෙකුට හරියටම තේරුමක් නැති නිසා ආදරණීය හිත ගැන දැනගන්න එක හොඳයි කියලා මට හිතුනා. හිත ගැන එක එක්කෙනාගෙ අදහස් විවිධාකාරයි. අද කාලේ අපි ඇසුරු කරන සමාජය වුනත් අපිව නොමඟ යවන සුළුයි මේ අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. අපි හරිම දේ දැනගෙන හිටියේ නැත්නම් තව කෙනෙකුට උනත් අපිට පාර වරද්දන්න පුලුවන් ලේසියෙන්ම. එහෙම නේද?
සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්‍රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?

ඒ විදියට අපි අපේ ඇඟ ගැන කළකිරුනට අපි ලේසියෙන් හිත ගැන නම් කළකිරෙන්නේ නෑ නේද? සමහරවෙලාවට නම් එහෙම කළකිරෙන දේවල් අපට ඇතිවෙනවා, උදාහරණයක් විදියට අපේ ආදරණීයයෙක් අපෙන් සමුගත්තොත් වගේ වෙලාවට, නමුත් ඒක පවතින්නේ ඉතාම සුළු මොහොතයි නේද? ඊට වඩා කෙනෙක් ලැබුන ගමන් අර හැමදේම ඉක්මනටම අමතක වෙලා යනවා. ඒකයි මම කිව්වේ! මැරුණ, පණ අදින මිනිස්සු දැකලා අපිට හිතෙනවා මේ ඇඟ නම් අපිට ඉක්මනටම කවදාහරි දාලා යන්න වෙනවා, මේ ඇඟ නම් මගේ නෙවෙයි තමයි කියලා. ඒ වුනත් අපිට හිත ගැන නම් එහෙම කවදාවත් හිතෙන්නෑ නේද?
මේ මගේ හිතමයි කියලාම තමයි හිතෙන්නේ නේද? මේ හිතට අපි ගොඩාක් ආදරය කරන්නේ කවදාවත් දාලා යයි කියන හැඟීමකින් නෙවෙයිනේ නේද! අපි ආදරණීය හිත කියනදේ ගොඩාක් සතුටි පිළිගන්නවා, වැළඳගන්නවනේ. ඉතින් ඒක තමයි අපිට හැමදාම නොදැනීම සිද්ධ වුන වැරැද්ද. මේ තමයි අපේ ජීවිතේ අපි වුන ලොකුම රැවටීම! ඒක එහෙම වෙන්න හේතුවක් තියෙනවා, ඒ තමයි අපි අපේ හිතේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන නැති එක. එහෙම ඒ ගැන දන්නවා නම් අපි කවදාවත් මේ හිත දිහා මම, මගේ කියලා බලන්නෙ නෑ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ අපූරුවට දේශනා කරලා තියෙනවා. අපි ශරීරයේ ආදීනව දැකලා, ඒ ගැන නුවණින් මෙනෙහි කරලා ශරීරයේ අනිත්‍යය තේරුම් ගන්නවා වගේම සිතේ ක්‍රියාකාරිත්වය දිහා බලලා අනිත්‍යය ස්වභාවයත් තේරුම් ගත්තා නම් මේ මායාකාරී රැවටිල්ලට අහුවෙන්නේ නෑ.
හිත කියන දේ අපිව නියම දිශාවට වගේම වැරදි දිශාවලටත් අරන් යන්න පුලුවන්, ඒකට රුවල් ඔරුවකට වගේ එහෙමත් නැත්නම් සරුංගලයකට වගේ ඔහේ යන්න දුන්නොත්. ඒ නිසා ඒ සරුංගලයේ නූල අපි අතට අරන් යා යුතු නිවැරදි දිශාව තීරණය කරන්නා අපි ම වෙන්නෝන. ඒක කරන්න නම් සරුංගලයේ/රුවල් ඔරුවේ ක්‍රියාකාරිත්වය (Mechanism) එක ගැන අපි හොඳින් දැනගෙන ඉන්නෝන. …සිතේ ක්‍රියාකාරිත්වය ගැන තවත් ලියන්න ගියොත් නම් සටහන තවත් ගොඩක් දිග වෙනවා. ඒ නිසාම මම හිතන්නේ අපි මේ හිතේ ඇත්ත ස්වභාවය හඳුනාගෙන වැඩ කළා නම් අපිට ගොඩාක් වෙලාවට ඇතිවෙන සිත් රිදීම්, මානසික තැවුල් එහෙම අඩුකරගෙන ලොකු ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න ලේසියෙන්ම පුලුවන්.
විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ)
5 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !