මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???

කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින් අවකාශයට වෙලා පාවෙමින් ඉන්නවා අන්තරාභවයක ආයෙත් ඉපදීමක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බයෙක් විදියට කියලා. තවත් සමහරු කියනවා මැරුණට පස්සේ ඒ කෙනාගේ ආත්මය විශේෂිත ස්ථානයකට ගමන් කරනවා, ආයෙත් මේ ලෝකේ ඉපදීමක් නම් නැහැ කියලා. ඔය වගේ විවිධ අදහස් අහන්න ලැබෙනවනේ. හැබැයි මත ගොඩක් තිබුණට ඒ හැම එකක් ම හරි වෙන්නත් බැහැනේ. නිවැරදි වෙන්න පුළුවන් ඒ අතරින් එකකට විතරයිනේ, එතකොට අනිත් ඒවා ඔක්කොම වැරදි වෙන්න ඕන. ඉතින් මේ උත්සහය හරි ම දේ මොකක්ද කියලා හොයාගෙන යන්නයි. පුළුවන් තරම් සරල ව ලියන්න තමයි මම උත්සහ කළේ. ඒ නිසා අන්තිම වෙනකල් ම කියවගෙන යන්න, එතකොට ප්‍රමාණවත් අවබෝධයක් ලැබේවි.


කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, ඒ අන්තර්භවය හෙවත් අන්තරාභවය කියන එක ගොඩක් ජනප්‍රිය අදහසක්. ඒ වගේ ම ගොඩක් පැරණි එකක්. හරියටම කියනවනම් අවුරුදු 2300 ක් පැරණියි. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන කාලාශෝක රජතුමාගේ කාලයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් රේවත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව සිදුකළා. ඒකෙදි දස වස්තුව බුදු සසුනට අකැපයි කියලා තීරණය කරලා ඒ දස වස්තුව පිළිගත්ත භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක නමින් හැඳින්වුණ භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් ධර්ම සංගායනාවකුත් පැවැත්වූවා. විශාල පිරිස් පවා අනුගාමිකයන් විදියට හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය, තවත් අනු නිකාය 17 කට කැඩිලා ගියා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය නිකාය කොටස් දෙක තමා මේ මනුලොව ඉපදෙන අයට අන්තරාභවයක් තිබේය කියලා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.


දැන් බලමුකෝ මේ අන්තරාභවය කියලා ඒ අය අදහස් කරන්නේ මොකක්ද කියලා. මරණයෙන් පස්සෙ දෙව්ලොවට, සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ අයට අන්තරාභවයක් කියලා දෙයක් නැහැ. ඒ වුණත් මිනිස් ලොව උපදින්න ඉන්න අය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාමකයෙන් විතරක් ඉන්න ගමන් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් හෝ ඊටත් වැඩිය කාලයක් ඉන්නවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. ඒ අතරෙදි සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් ප්‍රතිසන්ධියක් හෙවත් උපතක් ලබාගන්නවා. ඒක තමයි අන්තරාභවය ගැන තියෙන ප්‍රකට ම පිළිගැනීම. මේ අදහස දිගින් දිගට ම ඇවිත් ධර්මාශෝක රජතුමාගේ කාලයෙත් මේ අදහස පැතිරුණා. ඒ නිසා ම ඒ කාලයෙදි පැවැත්වුණ තුන්වෙනි ධර්ම සංගායනාවටත් මේ අදහස ඇතුළත් වුණා. ඒකෙදි මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ නිවැරදි ව මේ ප්‍රශ්නය විසඳනවා වගේ ම ඒක අන්තරාභව වාදය විදියට ඒ කාලේ රචනා වුණ කතාවත්ථු ප‍්‍රකරණය කියන ග්‍රන්ථයටත් ඇතුළත් වෙනවා.

අන්තරාභවයේදී විස්තර වෙන විදියට මැරුණට පස්සෙ රූපයක් නෑ, නාම කයක් විතරයිනේ. ඒ කියන්නෙ සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවත් කියනවා. හැබැයි ගැටළුව තමයි රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද, ගන්ධය ආඝ‍්‍රාණය කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට අන්තරාභවිකයා බලා ඉන්නව කියනවා හොඳ මවුපිය දෙදෙනෙක් ප්‍රතිසන්ධිය හෙවත් උපත සඳහා. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ව, අංග විකලව, පහත් කුලයන් වල මිනිස්සු උපදින්න හේතුවක් නැහැනේ. තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එතකොට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය. අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙමේ විදියට සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා ඉන්නවා කියන එකත් එතකොට ප්‍රශ්නාර්ථයක් විතරයි තවත්.


ගන්ධබ්බයා කියන වචනයත් ගොඩාක් භාවිතා වෙන වචනයක්, එහි නිවැරදි තේරුම දැන හෝ නොදැන. ගන්ධබ්බ කියන වචනය ධර්මයේ එක එක තැන් වල විවිධ අර්ථ ඇතුව කියැවෙනවා. උදාහරණය විදියට මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙන 'ගන්ධබ්බ' කියන වචනය, මරණයෙන් අනතුරුව උපතක් ලබා ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි අදහස් කරන්නෙ. ඒ අනුව රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයනුත් නැවත උත්පත්තිය ලබන නිසා ගන්ධබ්බ නම් වෙනවා. ඒ කියන්නේ දැන් ජීවත්ව සිටින අපිවත් ගන්ධබ්බ කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. මහ පිරිතේ අඩංගු ආටානාටිය සූත්‍රයේ එක්තරා තැනක තියෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා විදියට. මෙතනදි අදහස් කරන්නේ චාතුර් මහාරාජික දිව්‍ය ලෝකයට අයිති වීණා වාදනය කරන දිව්‍ය පිරිසක්. මේ විදියට එක එක තැන් වල දැක්වෙන තේරුම එකිනෙකට වෙනස්.

ඊළඟ අහසේ පාවෙමින් ඉන්නවා කියන අවස්ථාව ගැන කියනවා නම් එහෙම ඉන්න එක ම කොට්ඨාසය ප්‍රේතයන් වර්ගයක් විතරයි. ඕපපාතික ව හෙවත් ඉබේ ම පහළ වෙන මේ ප්‍රේතයන් ව සාමාන්‍ය පුද්ගලයන්ට දකින්න හැකියාවක් නැහැ. ඒ වගේ ම ඒ ප්‍රේතයන් ඒ විදියට අවකාශයේ රැඳී ඉන්නෙ ඍද්ධි බලයකින් නෙවෙයි, ඒකට කියන්නේ කර්මවිපාකජසෘද්ධිය කියලයි. ඒ කියන්නේ ඒකත් කර්ම විපාකයක් නිසා ලැබෙන දෙයකුයි. ඒ වගේ ම කෙනෙකුට හිතෙන්න පුලුවන්, ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ කියලා ? කෙනෙකුගේ උපත, මරණය සිද්ධවෙන්නේ කර්ම විපාකයට අනුවමයි. ඒ අනුව කෙනෙක් මරණයට පත්වෙද්දි ඒ පුද්ගලයාට ඉපදීම පිණිස මව්කුසක් හෝ වෙනයම් තැනක් සැකසිලා ඉවරයි තමන්ට හිමි කර්මය අනුව.


කෙටියෙන් ම කියනව නම් පුද්ගලයෙක් මැරුණට පස්සේ, ශක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා ගිහින් ඉවරයි. ඒ කියන්නේ ක්ෂණිකව ම. මේ විදියට තමයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ඒ නිසා මේ වෙනකල් වැරදි අදහසක් එහෙම හිතේ තියාගෙන හිටියනම් ඔන්න දැන් ඒක අතාරින්න කාලය. අද ඉල් පුර පෝය දවසනේ. ඉල් පෝය දවසෙදි සිදුවුණ වැදගත් සිදුවීම් තමයි මේ.


  • මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම
  • ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යැවීම
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරවීම
  • තව්තිසා දෙව් ලොව සිට මිනිස්‌ ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහණය දේශනා කිරීම
  • සැරියුත් මහරහතන්ගේ පිරිනිවන් පෑම
  • පසුවස්‌ පවාරණය
  • කඨින චීවර පූජා කළ හැකි චීවර මාසයේ අවසාන දිනය

පසුවදන : සටහන ටිකක් බරපතල වැඩි ද මන්දා, හැබැයි ඉවසීමෙන් කියෙව්වොත් නම් යමක් තේරුම් ගන්නත් පුළුවන්. මේ සටහන ලියන්න ආලෝකෝ උදපාදි සඟරාවේ, පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ සමඟ තිබුණ සාකච්ඡාවක් උදව් වුණා වගේ ම පෝය ගැන විස්තර ගත්තේ Express Puwath අඩවියෙන්. පින්තූරය ගත්තේ මෙතනින්

79 comments:

  1. වටිනා කරුණු ටිකක් දැනගත්තා. හැබැයි මේ දේ මේ විදිහට මම ඇහුවමයි. අපේ ස්වාමීන්වහන්සේලාත් ගන්ධබ්බ කියන එක අනිත් විදිහට පහදනවා ඕන තරම් අහල ඇතිනේ. නමුත් මේ පැහැදිලි කිරීම ඊට වඩා සාර්ථකයි කියල හිතන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්, සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්, ඒත් නිවැරදි ම අරුත ගත්තෙ නැත්තම් ලොකු වැරදීමක් වෙන්න පුලුවන්.

      Delete
    2. අන්තරාභවය දහමට එකඟ ද?

      කොළඹ බෞද්ධාලෝක මාවත 
      නාරද බෞද්ධ ධර්මායතනාධිපති
      ශාස්ත්‍රපති 
      රාජකීය පණ්ඩිත 
      තලල්ලේ චන්දකිත්ති හිමි

      බුදුපියාණන් වහන්සේ අන්තරාභවයක් ගැන කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කර නැහැ. උන්වහන්සේ භවයක් ගැන ප්‍රකාශ කර ඇත්නම් එසේ ප්‍රකාශ කර ඇත්තේ පුනර්භවය පිළිබඳවයි. එසේනම් බුදුරජාණන් වහන්සේ පුනරුප්පත්තියක් ගැන දේශනා කර තියෙනවා ද? ඒත් නැහැ. පුනරුප්පත්තිය කියන්නේ කුමක්ද? පෙර භවයේ සිටි පුද්ගලයා කිසිම වෙනසක් නැතිව, ඒ තැනැත්තා ම නැවත භවයක උපදිනවා කියන එකටයි පුනරුප්පත්ති කියා කියන්නේ.


      බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අන්තරාභව කතාවක් නැහැ. එය පසුකාලීනව මහායාන දර්ශනයේ බලපෑම් මත ගොඩ නැගී ආ එකක් බව අපට කියන්න පුළුවන්.

      සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තුන් සියයකට පසු ධර්මාශෝක රජතුමාගේ කාලයේ දී කෙනෙක් මරණින් පසු ක්ෂණිකව ම උපදින්නේ නැතැයි කියන මතවාදය ගොඩනැඟුණා. එසේනම් ක්ෂණික ව උපදින්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? මැරුණු කෙනා කොහේ හරි සැරිසරනවා. මොකටද සැරිසරන්නේ? උපදින්න හොඳ තැනක් සොයා ගන්නටයි. එසේනම් කවුද නරක තැනකට යන්නේ? කොයිතරම් කාලයක් හරි සැරිසරලා හොඳ තැනකමනේ උපදින්නේ නේද? ඒ කතාව හරි නම්, අන්තර්භවයක් කියලා එකක් තිබෙනවා නම් දුගති කියන ඒවා ලෝකයේ පහළ වීමට පුළුවන්කමක් නැහැ.

      සමහර පුද්ගලයන් මියගියාට පස්සේ අරහේ මෙහෙ සැරිසැරුවා. ගස් වල හිටියා. ජය ශ්‍රී මහා බෝධිය ඇසුරු කරගෙන වාසය කළා. එහෙම ඉඳලා හරියට සැකසුණ තැනක් දුටුවිට එතැනට ආවා ආදි වශයෙන් කියන කතාත් අපි අහලා තිබෙනවා. දැන් කවුද මේ අරහේ මෙහේ රවුම් ගහන්නේ? ඒ අන්තරාභවිකයෙක් නොවෙයි. ඒ එක්තරා භවිකයෙක් විතරයි. ලෝකයේ ජීවත් වෙන්නේ දෙවියෝ යි. බ්‍රහ්මයෝ යි. මිනිස්සු සහ තිරිසන් සත්තු විතරක් නොවෙයිනේ. ඇසට පෙනෙන නො පෙනෙන ඕනෑ තරම් භූත, පේ‍්‍රත ආත්ම ලෝකයේ තිබෙනවා. කවුරු හරි මැරෙන විට පහළ වෙන දුර්වල සිතක් නිසා ඒ පුද්ගලයා ජීවත් ව සිටි කාලය තුළ කළ කර්මවලට සරිලන විදිහේ හොඳ හෝ නරක තැනක ඉපදුණේ නැත්නම් ඒ වාගේ තාවකාලික භවයක උපදිනවා. එහෙම තාවකාලික භවයක ඉපදිලා ඒ කර්ම ශක්තිය ගෙවුනාට පසුව ආපසු අර ප්‍රබල කර්මය ඉස්මතු වී එතැනින් චුත වෙලා ප්‍රබල කර්මයට අනුව හොඳ හෝ නරක තැනක උපදිනවා. එවැනි අවස්ථාවක් ගැන අදාළ තොරතුරු ඕනෑ තරම් අපට තිබෙනවා. එහෙම නේද? ඔබ කවුරුත් ධර්මාශෝක රජතුමා පිළිබඳ මෙම කතා පුවත දන්නවා.

      ධර්මාශෝක රජතුමා මිය යන වේලාවේ දී රජතුමාගේ හිතට කේන්තියක් ආවා. රජතුමාගේ හිත දූෂීත වී මරණින් මතු රජතුමා භූත පිඹුරෙක් ව ඉපදුණා , ඒ කර්මය ගෙවී අවසන් වූ පසු එතුමා කලින් භවයේ කළ ප්‍රබල කුසල කර්ම ඉස්මතු වී රජතුමා ඒ හා සරිලන හොඳ තැනක ඉපදුණා.

      ඒවාගේ ම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජ වාසලක වධකයෙක් හිටියා. ඔහු අවුරුදු පනහක් තිස්සේ ම මනුෂ්‍ය ඝාතන කළා. ඉතින් එහෙම රාජකාරිය කරලා අවුරුදු පනහකට පස්සේ විශ්‍රාම ගිහින් ඔහු තමන්ගේ ගෙදරට වෙලා විවේක පාඩුවේ ඉන්න විටකදී සැරියුත් මහරහතන් වහන්සේ එතැනින් වැඩම කළා. වධකයා සැරියුත් තෙරුන්ට පිණ්ඩපාතය පූජා කරලා සිත පහදවා ගත්තා. එසේ සතුටු සිතින් සිටිද්දි එදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවූවා. එවිට ඔහුට සැරියුත් තෙරුවන් සිහියට ආවා. ඉක්මනට සැරියුත් හාමුදුරුවන් තමන්ගේ නිවසට වඩමවා ගත්තා. වදකයාට තෙරුවන් සරණ යාමට නමස්කාරය කියන්න කියලා මතක් කළා. ඔහු නමස්කාර පාඨය අමාරුවෙන් කියලා පාණාතිපාතා වේරමතී කියනවාත් එක්කම ඔහුගේ දිව ගිලුණා. ඔහුට කථා කරගන්න බැරි වුණා. එවෙලෙහි ම ඔහු මරණයට පත් වුණා.

      සැරියුත් හාමුදුරුවෝ මේ මනුස්සයා මරණයට පත් වූ බව දැක ආපහු පන්සල වෙත වැඩම කළා. දැන් මේක විශේෂ මරණයක්නේ. රජවාසල වධකයා මරණයට පත් වු බව ප්‍රසිද්ධ වුණා.අනිවාර්යයෙන් ම ඔය වධකයා අපායේ යන්න ඇතියි කියලා පන්සලේ හාමුදුරුවරුත් කතා වුණා. මේ කතාව අසා සිටි බුදුපියාණන් වහන්සේ, ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයාගේ අවසාන සිත එසේ නැත්නම් චුති සිත සකස් කළ නිසා මේ තැනැත්තා දැන් ඉපදී සිටින්නේ දිව්‍ය ලෝකයේ බව වදාළා. නමුත් ඉතාම කෙටි කාලයකින් ඔහු එයින් චුතවී අපායගාමි වෙන බවත් වදාළා.

      ඒ වාගේ කෙටි කාලීනව උපදින තැන් පේ‍්‍රත ලෝකයේ, භූත ලෝකයේ ආදි තැන්වලත් තිබෙනවා. අර අන්තරාභවය කියන කතාව හැදිලා තිබෙන්නේ ඒ කෙටි කාලවල ඉපදිලා එහෙ මෙහේ සැරිසැරීම හේතු කොට ගෙනයි. එය මහායාන ආගම් දර්ශනය සමඟ ඉදිරිපත් වූවක්. මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ විසින් රචිත අභිධර්මයට අයත් කථාවත්ථුපකරණය නම් ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා. මෙම කථාවත්ථුපකරණය ග්‍රන්ථය මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ලිව්වේ ම එකල්හි තිබූ මිථ්‍යා දෘෂ්ඨික මතවාද පන්සියයක් වෙනස් කිරීමටයි. ඒ මතවාද අතර අන්තරාභවය කියන දුර්මත ය ද අඩංගු වෙනවා. එය ථේරවාද බුදුදහම තුළින් ප්‍රතික්ෂේප වූවක් බව මතක තබා ගත යුතු වෙනවා.



      Delete
  2. අනේ අදයි දැනගත්තේ ගන්ධබ්බයෝ නැහැ කියලා...එතකොට අර කට්ටඩියෝ බැඳගෙන වැඩ ගන්නවා කියන්නේ ගන්ධබ්බයන්ගෙන්?ඒවා බොරුද?:D

    ReplyDelete
    Replies
    1. ඒ එහෙම ඉන්නෙ යම් යම් ප්‍රේත කොට්ඨාසයන්. විවිධ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් ඒ අය මිනිස්සු කෙරේ බැඳෙන්න පුළුවන්.

      Delete
  3. සාර්ථක පැහැදිලි කිරීමක් ලහිරු. නොදන්නා දෙයක් දැනගත්ත

    ReplyDelete
  4. වටිනා කියන දහම් කරුණු කීපයක් අයියා. මෑත් කාලීනව ගංගොඩවිල සෝම හාමුදුරුවෝ ඔය අන්තරාභව සංකල්පයට විරුද්ධව ලොකු හඬක් නැගුවා කියලා මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒත් කණගාටුවකට වගේ උන්වහන්සේ අපි අතරින් වෙන්වෙලා ගියානේ.

      Delete
  5. වටිනා ලිපියක් සහෝදරයා..! අද පෝය දවසේ දහම් ලිපි කීපයක්ම කියවන්න ලැබුනා. පින් ඔබට!!

    ReplyDelete
  6. වටිනා කරුණු ටිකක්. මේ ලිපිය කියෙවාම මට ආපුබ් පොඩි ගැටළුවක් අහන්නට හිතුණා. අර මරණාසන්න අත්දැකීම් (near death experiences) ලබපු ගොඩක් අය කියලා තියනවා තමන් තම සිරුරට උඩින් පාවිමින් සිටි බව. සමහරු තම සිරුරට කළ ශල්‍යකර්මයේ පියවර පවා විස්තර කරලා තියනවලු. ඔවුන් උඩ පාවෙමින් ඒවා දුටු බව තමා කියන්නේ. මේ සංසිදීධියත් ගන්ධබ්බ සංකල්පෙත් පහදන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මටත් මේ ප්‍රශ්නෙම ආව...

      තවත් ප්‍රශ්නයක් ආවා...පසුගිය ආත්ම විස්තර කරපු අයගේ විපත සහ උපත අතර කාලය ගැනලා බැලුවම සමහර ඒවා අවුරුදු ගනන් වෙන ඒවත් තියනවා...මේ කියන විදියටනම් ඒක හැම වෙලේම ආසන්නව මාස 9 හමාරක් වෙන්න ඕන නේද?

      Delete
    2. @තොටියා: NDE එහෙමත් නැත්තම් මරණාසන්න අත්දැකීම් විස්තර, ලංකාවෙදී කෙසේ වෙතත් දියුණු යැයි සම්මත රටවලවලදි පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා බොහෝ විට. උදාහරණයක් විදියට මේ දේවල් ගැන පර්යේෂණ කළ හවායි සරසවියේ මහාචාර්ය වික්ටර් ස්ටෙන්ජර් 'නිව් සයන්ටිස්ට්' (New Scientist march - 2012) සඟරාවට කියලා තිබුණ දෙයක් තමයි මේ දේ සනාථ කිරීම අපහසු බව. ඔහු පවසන්නේ කිසිවකුට නොපවසා ශල්‍යකර්මයට භාජනය කරන මරණාසන්න රෝගියාගේ ශරීරය මත හෝ ශල්‍යාගාර සේවකයන්ගේ ශරීරය පිටුපස හෝ යම් පණිවුඩයක් ලියා තබා ශල්‍යකර්මය අවසන් වීමෙන් අනතුරුව ඔහු පවසන මරණාසන්න අත්දැකීම්වලදී අදාළ පණිවුඩය පිළිබඳව කියවන්නේ දැයි විමසිලිමත් විය යුතු බවයි. එහෙත් මරණාසන්න අත්දැකීම් පවසන කිසිදු රෝගියෙකු තමන් ශල්‍යකර්මයට ඉහළින් සිට ශල්‍යකර්මය බලා සිටියා යැයි පවසනවාට අමතරව රෝගියාට නොදැනෙන සේ ශල්‍යාගාරයේ තබන ලද පණිවුඩය කියවා නැත. මේ අනුව මරණාසන්න අත්දැකීම පැවැසීමක් ලෙස සිදු කරනුයේ සාමාන්‍ය පුද්ගලයෙකු පවා දන්නා ශල්‍යාගාරයක විස්තර පැවැසීම පමණි කියලා තමයි කියන්නේ. මරණාසන්න අත්දැකීම් (Near Death Experience) කියන්නෙ මොළේ යම් විශේෂ ප්‍රදේශයක සිදුවන රසායනික උත්තේජන කියල තවත් මතයක් තියෙනවා.

      Delete
    3. @තොටියා:
      …කලින් කිව්වේ සාමාන්‍ය මිනිස්සු ගැනයි. හැබැයි බුදුරජාණන් වහන්සේට තිබුණ අෂ්ඨ විද්‍යා වලින් එකක් තමයි මනෝමය ඉද්ධි ඤාණය - මනෝමය කයක් නිර්මාණය කිරීමේ (තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට එය තමාගේ කයින් පිටතට ගැනීමේ) හැකියාව ඇති ඤාණය කියන්නේ. ඒ වගේ ම චුල්ලපන්ථක මහරහතන් වහන්සේ මනෝමය ශරීර මවන භික්ෂූන් අතරින් අග‍්‍ර බවටත් පත්වුණා. මේ දේවල් කොහොම වුණත් ඔබ ඇහුව ප්‍රශ්නයට එක එල්ලේ ම පිළිතුරක් දෙන්න තරම් දැනුමක් මං ලඟ නැතිවීම ගැන කණගාටුයි සහෝ...

      Delete
    4. @ සයුරි :
      මේ වගේ දේවල් වල පැති දෙකක් තියෙනවා අක්කේ. එකක් තමයි සමහරු ජනප්‍රියත්වය උදෙසාත් එහෙම දේවල් කියනවා, පසුගිය කාලේ ලංකාවේ සමහරු එහෙම කියලා ඒවා බොරු දේවල් බවට ඔප්පු වුණ අවස්ථා ත් ඕනෙ තරම් තියෙනවා.

      ……දෙවෙනි අවස්ථාව තමයි ගොඩක් අය මේ දේ සත්‍යය ම තමයි කියලා හිතන අවස්ථාව, අක්කත් ඉන්නෙ ඒ අවස්ථාවෙ කියලා හිතලා මම කියන්නම් කෝ. අපි හිතමු ඒ අදාල පුද්ගලයා වෙනත් ආකාරයක උපතක් ලබලා හිටියා කියලා ඒ අතරතුර. පෙර ආත්ම ගැන කියන කවුරුත් මේ වෙනකල් කියලා නැහැ මම හිතන්නෙ මම පෙර ආත්මයක දෙවියෙක් හෝ තිරිසන් සතෙක් වෙලා ඉපදිලා හිටියා ය කියලා. එහෙමත් නැත්තම් ප්‍රේතයෙක් වෙලා... එහෙමත් නැත්තම් ඒ අතරතුර කාලයේදී මව් කුසකදී මියගියා වෙන්නත් පුළුවන් නේද? සරලව ම කිව්වොත් වෙනත් උපතක් කරා ගිහින් ඉන්න ඉඩ තියෙනවා. පෙර ආත්ම ගැන කියන අය කියන්නෙ හරි දෙයක්මයි කියලා කියන්නෙ උපකල්පනයක් නේද? අපිට ඒක 100%ක් නිවැරදියි කියලා තහවුරු කරගන්න විදියක් නැහැනේ. ඒ නිසා මමත් උපකල්පනයක් ගොඩනඟනවා //සමහර ඒවා අවුරුදු ගනන් වෙන ඒවත් තියනවා" කියන කාලය ඒ කෙනාට මතක නැතිවෙන්න පුළුවන් හෝ සිහියට නගා ගන්න ශක්තියක් නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන් නේද? මගේ මතය තමයි කල්පනාකාරීයි වෙන්නෝන නොදන්නා, නොඇසූ, නොඇල්ලූ දේවල් එක්වර ම ප්‍රතික්ෂේප නොකරන්න වගේ ම එක්වරම පිළිනොගන්නත්... පුනර්භවය මම පිළිගන්න දෙයක් නිසා මේ වගේ දේවල් විය හැකියි කියලා මම හිතනවා වගේ ම කෙනෙකුට මේ වගේ ස්මරණ ශක්තියක් තියෙන්නත් පුළුවන් කියලත් හිතනවා. හැබැයි මම ඒ පස්සේ යන්න උත්සහ කරන්නෙ නම් නෑ. හේතුව ප්‍රයෝජනයක් නැති නිසා.

      Delete
    5. වටින පැහැදිලි කිරීමක් සහෝ...

      Delete
    6. අන්තරාභවය දහමට එකඟ ද?

      කොළඹ බෞද්ධාලෝක මාවත 
      නාරද බෞද්ධ ධර්මායතනාධිපති
      ශාස්ත්‍රපති 
      රාජකීය පණ්ඩිත 
      තලල්ලේ චන්දකිත්ති හිමි

      බුදුපියාණන් වහන්සේ අන්තරාභවයක් ගැන කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කර නැහැ. උන්වහන්සේ භවයක් ගැන ප්‍රකාශ කර ඇත්නම් එසේ ප්‍රකාශ කර ඇත්තේ පුනර්භවය පිළිබඳවයි. එසේනම් බුදුරජාණන් වහන්සේ පුනරුප්පත්තියක් ගැන දේශනා කර තියෙනවා ද? ඒත් නැහැ. පුනරුප්පත්තිය කියන්නේ කුමක්ද? පෙර භවයේ සිටි පුද්ගලයා කිසිම වෙනසක් නැතිව, ඒ තැනැත්තා ම නැවත භවයක උපදිනවා කියන එකටයි පුනරුප්පත්ති කියා කියන්නේ.


      බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අන්තරාභව කතාවක් නැහැ. එය පසුකාලීනව මහායාන දර්ශනයේ බලපෑම් මත ගොඩ නැගී ආ එකක් බව අපට කියන්න පුළුවන්.

      සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තුන් සියයකට පසු ධර්මාශෝක රජතුමාගේ කාලයේ දී කෙනෙක් මරණින් පසු ක්ෂණිකව ම උපදින්නේ නැතැයි කියන මතවාදය ගොඩනැඟුණා. එසේනම් ක්ෂණික ව උපදින්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? මැරුණු කෙනා කොහේ හරි සැරිසරනවා. මොකටද සැරිසරන්නේ? උපදින්න හොඳ තැනක් සොයා ගන්නටයි. එසේනම් කවුද නරක තැනකට යන්නේ? කොයිතරම් කාලයක් හරි සැරිසරලා හොඳ තැනකමනේ උපදින්නේ නේද? ඒ කතාව හරි නම්, අන්තර්භවයක් කියලා එකක් තිබෙනවා නම් දුගති කියන ඒවා ලෝකයේ පහළ වීමට පුළුවන්කමක් නැහැ.

      සමහර පුද්ගලයන් මියගියාට පස්සේ අරහේ මෙහෙ සැරිසැරුවා. ගස් වල හිටියා. ජය ශ්‍රී මහා බෝධිය ඇසුරු කරගෙන වාසය කළා. එහෙම ඉඳලා හරියට සැකසුණ තැනක් දුටුවිට එතැනට ආවා ආදි වශයෙන් කියන කතාත් අපි අහලා තිබෙනවා. දැන් කවුද මේ අරහේ මෙහේ රවුම් ගහන්නේ? ඒ අන්තරාභවිකයෙක් නොවෙයි. ඒ එක්තරා භවිකයෙක් විතරයි. ලෝකයේ ජීවත් වෙන්නේ දෙවියෝ යි. බ්‍රහ්මයෝ යි. මිනිස්සු සහ තිරිසන් සත්තු විතරක් නොවෙයිනේ. ඇසට පෙනෙන නො පෙනෙන ඕනෑ තරම් භූත, පේ‍්‍රත ආත්ම ලෝකයේ තිබෙනවා. කවුරු හරි මැරෙන විට පහළ වෙන දුර්වල සිතක් නිසා ඒ පුද්ගලයා ජීවත් ව සිටි කාලය තුළ කළ කර්මවලට සරිලන විදිහේ හොඳ හෝ නරක තැනක ඉපදුණේ නැත්නම් ඒ වාගේ තාවකාලික භවයක උපදිනවා. එහෙම තාවකාලික භවයක ඉපදිලා ඒ කර්ම ශක්තිය ගෙවුනාට පසුව ආපසු අර ප්‍රබල කර්මය ඉස්මතු වී එතැනින් චුත වෙලා ප්‍රබල කර්මයට අනුව හොඳ හෝ නරක තැනක උපදිනවා. එවැනි අවස්ථාවක් ගැන අදාළ තොරතුරු ඕනෑ තරම් අපට තිබෙනවා. එහෙම නේද? ඔබ කවුරුත් ධර්මාශෝක රජතුමා පිළිබඳ මෙම කතා පුවත දන්නවා.

      ධර්මාශෝක රජතුමා මිය යන වේලාවේ දී රජතුමාගේ හිතට කේන්තියක් ආවා. රජතුමාගේ හිත දූෂීත වී මරණින් මතු රජතුමා භූත පිඹුරෙක් ව ඉපදුණා , ඒ කර්මය ගෙවී අවසන් වූ පසු එතුමා කලින් භවයේ කළ ප්‍රබල කුසල කර්ම ඉස්මතු වී රජතුමා ඒ හා සරිලන හොඳ තැනක ඉපදුණා.

      ඒවාගේ ම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජ වාසලක වධකයෙක් හිටියා. ඔහු අවුරුදු පනහක් තිස්සේ ම මනුෂ්‍ය ඝාතන කළා. ඉතින් එහෙම රාජකාරිය කරලා අවුරුදු පනහකට පස්සේ විශ්‍රාම ගිහින් ඔහු තමන්ගේ ගෙදරට වෙලා විවේක පාඩුවේ ඉන්න විටකදී සැරියුත් මහරහතන් වහන්සේ එතැනින් වැඩම කළා. වධකයා සැරියුත් තෙරුන්ට පිණ්ඩපාතය පූජා කරලා සිත පහදවා ගත්තා. එසේ සතුටු සිතින් සිටිද්දි එදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවූවා. එවිට ඔහුට සැරියුත් තෙරුවන් සිහියට ආවා. ඉක්මනට සැරියුත් හාමුදුරුවන් තමන්ගේ නිවසට වඩමවා ගත්තා. වදකයාට තෙරුවන් සරණ යාමට නමස්කාරය කියන්න කියලා මතක් කළා. ඔහු නමස්කාර පාඨය අමාරුවෙන් කියලා පාණාතිපාතා වේරමතී කියනවාත් එක්කම ඔහුගේ දිව ගිලුණා. ඔහුට කථා කරගන්න බැරි වුණා. එවෙලෙහි ම ඔහු මරණයට පත් වුණා.

      සැරියුත් හාමුදුරුවෝ මේ මනුස්සයා මරණයට පත් වූ බව දැක ආපහු පන්සල වෙත වැඩම කළා. දැන් මේක විශේෂ මරණයක්නේ. රජවාසල වධකයා මරණයට පත් වු බව ප්‍රසිද්ධ වුණා.අනිවාර්යයෙන් ම ඔය වධකයා අපායේ යන්න ඇතියි කියලා පන්සලේ හාමුදුරුවරුත් කතා වුණා. මේ කතාව අසා සිටි බුදුපියාණන් වහන්සේ, ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයාගේ අවසාන සිත එසේ නැත්නම් චුති සිත සකස් කළ නිසා මේ තැනැත්තා දැන් ඉපදී සිටින්නේ දිව්‍ය ලෝකයේ බව වදාළා. නමුත් ඉතාම කෙටි කාලයකින් ඔහු එයින් චුතවී අපායගාමි වෙන බවත් වදාළා.

      ඒ වාගේ කෙටි කාලීනව උපදින තැන් පේ‍්‍රත ලෝකයේ, භූත ලෝකයේ ආදි තැන්වලත් තිබෙනවා. අර අන්තරාභවය කියන කතාව හැදිලා තිබෙන්නේ ඒ කෙටි කාලවල ඉපදිලා එහෙ මෙහේ සැරිසැරීම හේතු කොට ගෙනයි. එය මහායාන ආගම් දර්ශනය සමඟ ඉදිරිපත් වූවක්. මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ විසින් රචිත අභිධර්මයට අයත් කථාවත්ථුපකරණය නම් ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා. මෙම කථාවත්ථුපකරණය ග්‍රන්ථය මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ලිව්වේ ම එකල්හි තිබූ මිථ්‍යා දෘෂ්ඨික මතවාද පන්සියයක් වෙනස් කිරීමටයි. ඒ මතවාද අතර අන්තරාභවය කියන දුර්මත ය ද අඩංගු වෙනවා. එය ථේරවාද බුදුදහම තුළින් ප්‍රතික්ෂේප වූවක් බව මතක තබා ගත යුතු වෙනවා.



      Delete
  7. මේ ලගදි පත්තර වල ගියා නේද මුහුදෙ ගිලිලා මෑරිච්ච ලමයෙක් ඊට අවුරුදකට පස්සෙ මාතර ඉපදිච්ච කතාවක්.එතකොට ඒ මෑරිච්ච ලමයා අර අවුරුද්ද ඈතුලත කොහෙද හිටියෙ?ඔය කියන විදියට මෑරිච්ච ගමන් ඉපදෙනව නම්?

    ReplyDelete
    Replies
    1. මට ඒක ලොකු ප්‍රශ්නයක්... පුලුවන් නම් පෑහෑදිලි කරලා දෙන්න පුලුවන්ද? බුදු දහමට අනුව ලෝක විනාශේ සිදුවන හෑටිත් පුලුවන් නම් මේ බ්ලොග් එකේ දානවද?

      Delete
    2. ඔව් ලහිරු, මාත් ආසයි ලෝක විනාශේ ගැන දානවනම් :) ඒ වගේ වෙලාවක මේ ලෝකේ ඉන්න ගන්ධබ්බයෝ ඔක්කොටම මොකද වෙන්නේ?

      Delete
    3. @ ඇනෝ: මේ වගේ සිදුවීමක් ගැන මම කලින් ප්‍රතිචාරයට කරුණු දැක්වුවා. ඒ නිසා පොඩ්ඩක් ඒක බලන්න.

      Delete
    4. @ සයුරි:
      …ම්ම්ම්... ඒ ගැන පෝස්ට් එකක් දාන්න නම් පුළුවනි. ඒත් මම හිතනවා බොහෝ දෙනා ඒක විශ්වාස කරන එකක් නැතිවේවි කියලා වගේ ම ඒ නිසා ම පව් රැස්කරගනීවි කියලත්. ඒකයි මේ තරම් කල් නොදාන්න හේතුව. ඒ නිසා ඒ ගැන කියවෙන දේශනාවක් මම අක්කට දෙන්නම්, ඒක අහන්නකෝ. මෙතනින් බාගන්න

      Delete
  8. Replies
    1. නලින්
      කියවන්නේ නැතුව බොරුවට කියෙව්ව එකා වගේ කමෙන්ට් කරන්නෙපා හලෝ

      Delete
  9. මටත් ලාවට වගේ තේරුණා.පුනරුප්පත්තිය ගැන කතා නම් අහන්නත් ආසයි පුළුවන් නම් ඒ වගේ කතාවක් ලියන්නකෝ සහෝ!

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ ඇහෙන පුනරුප්පත්ති කතා ගැන නම් මගේ ඒ තරම් විශ්වාසයක් නැහැ. නමුත් බුද්ධ චරිතය, ජාතක කථා කියන්නේ පුනරුප්පත්ති සඳහා හොඳ උදාහරණ. ලියන්නම්කෝ ඒගැන ඉදිරියේදි...

      Delete
  10. බොහෝ පින්! ලහිරු පුතා. මේ ගන්ධබ්බ සංකල්පය නිසා අපේ රටේ ඉන්න කට්ටඩියන් හොඳ හැටියට මුදල් ගරනවා. මා දන්නා කිහිප දෙනෙක්ම මේ මුලාවෙ වැටිලා , උන්ට පිදේනි දෙනවා. කොපමණ කිව්වත් නොපිළිගන්නා ඈයො ඉන්නවනෙ මේ රටේ. ධර්මය මෙච්චර පැහැදිළිව තියෙත්දි ඇයි ? මෙහෙම මේවාට රැවටෙන්නෙ.
    අද කඩුවෙල අසපුවට ගියා සිල් සමාදන්වෙන්න. බෝධි රෝපණ කර්තව්යය ටත් සහාභාගී වෙන්නට පින ලබුනා. ඒ ආව ගමන් දැක්කෙ මේ සටහන. ඔබගේ අනාගත දිවිය හැම අතින්ම සාර්ථක වේවා! පුතා මේ කාර්යය දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සාදු සාදු ... මමත් අනුමෝදන් වෙනවා ඔබතුමිය කරගත්ත පින්! කලින් පෝයට සිල් සමාදන් වෙන්න පුළුවන් වුණත් නොවැළැක්විය හැකඉ කරුණක් නිසා ඊයේ ඒ දේ කරන්න බැරිවුණා. බොහෝ දෙනෙකුට වටිනාකමක් නැහැ මේ ධර්මයේ. ඒක වෙන්නැති හේතුව...

      Delete
  11. පාන් චුකාTuesday, November 27, 2012 9:10:00 PM

    කෙනෙක් උපදින්නෙත් මැරෙන්නෙත් එක පාරයි. නැවත නැවත ඉපදීම මිනිස්සු හදා ගත්ත දෙයක්. ඒ මොකද මිනිස්සු කැමති නෑ මරණෙන් සේරම ඉවර වෙනවට. බුදු දහම අදහන හැමෝම කියන්නෙ අපේ අවසාන අරමුණ නිවන් දකින එක කියලා . ඒ වුනත් එයාල ආයෙ උපදින්න කැමතිද කියල ඇහුවොත් කවුරුත් අකමැතියි කියන්නෑ. මරණය කියන්නෙ ජෛව විද්‍යාත්මකව සිදු වන දෙයක් . මේක මෙහෙම කියුවට හැමෝම මේක ප්‍රතික්‍ෂෙප කරනව කියල මම දන්නනව. ඒ වුනත් මම සරල උදාහරණයක් දෙන්නම් . ලංකාවේ වුනා කියන පුනරුත්පත්ති කථා ගොඩක් අපි අහල තියෙනවා . ඒ වුනාට ඒ ලමයි කවුරුවත් මීට පෙර ආත්මෙ විදේශිකයෙක් වෙලා ඉදල නෑ. මේ ලෝකේ ලාංකිකයො ඉන්නෙ කෝටි දෙකක් විතරයි. ලාංකික නොවන අය කෝටි හයසිය අනු අටක් ඉන්නව . ඒ විදිහට බැලුවොත් පුනරුත්පත්ති සීයකින් එකකටත් අඩු ගණනක් තමා නැවත ලාකික පුනර්භවයක් ලබන්න පුලුවන්. ඒ වුනාට වාර්තා වන හැම සිදුවීමක්ම ලංකාවෙ පුද්ගලයෙක් ලංකාවෙම ඉපදිලා කියන එක . ඇයි එහෙම වෙන්නෙ? මේ පොඩි ලමයි විදේශ භාශා නොදැනීම. ඒ නිසා ඒ වගේ දෙයක් ඒ ගොල්ලන්ට මවා පාන්න බෑ. ඇත්ත එලිවෙන නිසා. පුලුවන් නම් මේ කියපු දේ ස්වාධින මනසකින් හිතන්න.

    ReplyDelete
    Replies
    1. //ඒ වුනත් එයාල ආයෙ උපදින්න කැමතිද කියල ඇහුවොත් කවුරුත් අකමැතියි කියන්නෑ.//

      මෙහෙම වෙන්නේ ඒ මිනිස්සු රහත් වෙලා නැති නිසා. තෘෂ්ණාව කියන දේ පොඩ්ඩක් හරි තියනකම් ඒක එහෙම තමයි.

      Delete
    2. @ පාන්:
      පුනර්භවය පිළිබඳ ඔබේ ඇතැම් අදහස් වලට මම එකඟයි. ඒ ඔබ ඔය කියන ලාංකික පුනර්භවය ගැන කියන අදහස. නමුත් ඔබ එයින් මතුකරන්න හදන පුනර්භවයක් නැහැ කියන අදහසට නම් මම එකඟ වෙන්නෙ නැහැ. මරණය විතරක් නෙවෙයි උපතත් ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. නමුත් අපි විමසිය යුත්තේ එය එසේ වීමට හේතුවයි. බුදුදහමින් පෙන්වා දෙන්නේත් එයමයි. නමුත් දිනෙන් දින වෙනස්වන විද්‍යාවට සොයාගත නොහැක්කේත් එයමයි. සරල උදාහරණයක් කියන්නම්, ඔබ ඩෝල්ටන් ගේ සමකාලීන ව ඉපදුණා නම් ඔබ මියයන්නේ පරමාණුව තවදුරටත් විභේදනය කරන්න බැහැ කියන අදහස ඇතුවයි. නමුත් අද??? ඒ නිසා යමක් විද්‍යාවට හසු නොවුණු පමණින් ප්‍රතික්ෂේප කිරීම ගැන නැවත සිතා බලන්න.

      …//කෙනෙක් උපදින්නෙත් මැරෙන්නෙත් එක පාරයි. නැවත නැවත ඉපදීම මිනිස්සු හදා ගත්ත දෙයක්. ඒ මොකද මිනිස්සු කැමති නෑ මරණෙන් සේරම ඉවර වෙනවට.

      …මේකට තමයි කියන්නේ විභව තණ්හාව කියලා. ඒ කියන්නේ තණ්හාවේ ප්‍රභේදයක්. ඒ වගේ ම බුද්ධ කාලයේදී ෂඩ් ශාස්තෲවරුන්ගෙන් කෙනෙක් වුණ අජිත කේසකම්බල දැරූ උච්ඡේදවාදී දෘෂ්ඨියත් මේ හා සමානයි.

      …//ඒ වුනත් එයාල ආයෙ උපදින්න කැමතිද කියල ඇහුවොත් කවුරුත් අකමැතියි කියන්නෑ.
      …ඒකට ප්‍රධාන ම හේතුව ඒ අයගේ නොදැනීමමයි. සසර ගැන අල්ප මාත්‍ර හෝ අවබෝධයක් තියෙන කෙනෙක් කවදාවත් ම නැවත උපතක් නම් පතන්නෙ නැහැ.

      Delete
    3. මා දන්නා ගණිත ගුරුවරයෙක් ගේ දරුවෙක් සිටියා, ඔහු ලෝක යුද්ධ කාලෙ ජර්මණියේ උපන් අයෙක් බවත් ප්ලේන් එක වෙඩි තැබූ පසු මැරී වැටුන බවත්, ජර්මණියේ හිටි තැන් පවා අවුරුදු තුනේ දී පමණ කියන්න ගත්තා. නමුත් ඒ දිනවල අපි ඒ දිනවල අපි හිටියේ සැම්බියාව කියන රටේ. එයාලත් එහේ හිටියෙ. ඊට වඩා එහාට මේ පරීක්ෂණය ගියේ නෑ. පුතා ප්ලේන් අඳින්න හරිම ආසයි. වෙන භාෂාවක් කතා කලා.

      Delete
    4. ඔව්, මම කලිනුත් කිව්ව වගේ කලාතුරකින් කෙනෙකුට ඒ වගේ ස්මරණ හැකියාවක් තියෙන්න පුළුවනි.

      Delete
  12. //කෙටියෙන් ම කියනව නම් පුද්ගලයෙක් මැරුණට පස්සේ, ශක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා ගිහින් ඉවරයි. ඒ කියන්නේ ක්ෂණිකව ම.//

    මෙන්න මෙතන නම් මට පොඩි ගැටළුවක් තියෙනවා. හැම කෙනාම මැරුණු වහාම අළුත් උපතකට යනවද?මම නම් කියවල තියෙන විදියට අහල තියෙන විදියට කෙනෙක් මැරුණු ගමන් උප්පත්තියක් ලබන්නේ නෑ. ඒ කෙනා අන්තිමට එලබ සිටි කර්මයට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කර්මානුකූලව මව් කුසක් ලැබෙනකන් අන්තර්භවික සත්වයෙක් විදියට ජීවත් වෙනවා.

    //මරණයෙන් පස්සෙ දෙව්ලොවට, සතර අපායට යන අය කෙළින්ම යනවා.ඒ අයට අන්තරාභවයක් කියලා දෙයක් නැහැ.//
    මේ කතාව නම් හරි මම අහල තියෙන විදියට.....

    //මෙමේ විදියට සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා ඉන්නවා කියන එකත් එතකොට ප්‍රශ්නාර්ථයක් විතරයි තවත්.//
    කෙනෙක් ඉපදෙන්න කරුණු 3නක් බලපානවා කියලයි මම අහල තියෙන්නේ.මව් පිය දෙදෙනෙක්ගේ සංයෝගයක් ඇති වෙන්න ඕන, මව් උතුනි වෙන්නත් ඕන, ගන්ධබ්බයෙක් ඉන්නත් ඕනේ.
    ඔය ගන්ධබ්බ කියන එකට එක එක්කෙනාගේ විවිද මත තිබිලා තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පැරීසියේදී පවත් වූ විචිත්‍ර දේශනා පොතේ ඔය අන්තර්භවය ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒ පොත කියවල බලන්න වටිනා පොතක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, මෙතන "සුදුසු මව්පිය දෙදෙනෙක්" කියන්නේ "හොඳ මව්පිය දෙදෙනෙක්" කියන එකම නෙවෙයි වෙන්ට ඕන. "තමන්ගේ කර්ම ශක්තිය අනුව තමන්ට ගැළපෙන මව්පියන්" කියන එක කියලයි මට හිතෙන්නේ.

      Delete
    2. @සමනළී:
      ඔබේ අන්තර්භවය පිළිබඳ අදහස දුරු වෙලා නැති හැඩයි. අභිධර්මය අනුව, චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර ඉඩක් නැත. චුති සිත නිරුද්ධ වනවාත් සමගම ඊට සම්බන්ධ වී ප්‍රතිසන්ධි සිත පහළ වෙයි. ඔව්, ඔබ කියන අයුරින් ම

      …1. මවගේ සෘතුවීම
      2. මවුපියන්ගේ සහවාසය
      3. කර්ම ශක්තිය සහිත විඤ්ඤාණය කියන කොටස් තුන උපතක් වීම සඳහා සැපිරෙන්න ඕන. ඔබගේ තර්කය හරි මේ ලෝකෙ ඉන්නෙමව්වරු එක්කෙනෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්... දහදෙනෙක් විතර නම්. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ මව්වරු ඉන්නවා. ඔබේ නිවසේ ඉන්න කූඹි ගැන හිතන්න, එතන ඉන්නවා ඇති ඔබේ නගරයේ ඉන්න මිනිස්සු තරම් ම කූඹි ප්‍රමාණයක්. ඒ නිසා මව් කුස කියන දේ සීමා වෙලා නැහැ. අනිත් එක මව් කුසක ඉපදෙන්නෙ සාමාන්‍යයෙන් මිනිසුන් සහ තිරිසන් සතුන් පමනයි. ඒ අතරේ මිය යන බොහෝ දෙනා ඕපපාතික උපත් ලබමින් දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ,අපායගාමී උපත් ලබනවා, ඒ වගේ ම තවත් කොටසක් බිත්තර වල සහ තෙත් පරිසර වල උපත ලබනවා. ඉතින් ක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා යාමේ ලොකු විභවයක් තියෙනවා නේද? වඩා වැදගත් වෙන්නෙ නුවණින් කල්පනා කරලා නිවැරදි ම අදහස සොයාගන්න එකයි. ස්තූතියි ඔබේ අදහස් වලටත්.

      Delete
    3. @ සයුරි:
      …පෙර උත්තරය ම තමයි කියන්න තියෙන්නෙ. ඒ වගේ ම මරණයත් එක්ක ම ඊට අදාළ උපත සකස් වෙලා ඉවරයි කාටවුණත් තමන්ගේ කර්ම විපාකය අනූව. ඒක මව්කුසක, බිත්තරයක, ඕපපාතික ව හෝ තෙත් පරිසරයක වෙන්න පුළුවනි.

      නමුත් යම්කිසි විදියකින් සිතුවා නම් මම මනුලොව උපදින විට ඕපපාතිකව ඉපදේවා කියල ඊට සුදුසු කුසල් උත්සන්නව තිබුණා නම් මවෙක් පියෙක් නැතිව දෙවඟනක් දිව්‍ය කුමාරයෙක් වගේ හිටි හැටියේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු දෙන්නෙක්. අම්බපාලි සහ චිඤ්චිමානවිකාව. අම්බපාලි උපන්නෙ විශාලා මහනුවර අඹ වනයේ. ඒ නිසයි අම්බපාලි කියන නම් වුණේ. දෙවඟනක් වගේ ශරීර සම්පත්තියක් පිහිටියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පමණ මහණ දම් පුරල ප‍්‍රාර්ථනාවක් කරල තිබුණා. රහත් වෙන ආත්මෙදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියල. ආයු කෙළවර දෙව් ලොවින් චුත වී සසර ප‍්‍රාර්ථනාව අනුව මව් කුසක නොඉපදී ඕපපාතිකව ඉපදුනා. ඒක කර්මයක විපාකයක්. චිඤ්චිමානවිකාව උපන්නෙ සැවැත් නුවර සියඹලා ගහක් යට. චිඤ්චි කියන්නෙ සියඹලා. සියඹලා ගහක් යට ඉපදුන නිසා චිඤ්චිමානවිකාව වුණා.

      Delete
    4. ලහිරු මගේ කමෙන්ට් එක තේරුම් අරගෙන නැහැ වගේ.

      මම කිව්වේ "සුදුසු" කියන වචනයෙන් ගම්‍ය වෙන්නේ "හොඳ" කියන අදහස විතරක්ම නෙමෙයි කියන එක. ඔයා පෝස්ට් එකේ ලියලා තිබුණේ ඒ විදියේ අදහසක් නිසා.

      Delete
    5. නැහැ, මට තේරුණා, ඒ වුණාට මම කියන්න අදහස් කළේ ඒකට කාලයක් ගතවෙන්නෙ නැහැ කියන එකයි. මියයද්දි ම ක්ෂණයකින් ම ආයෙ උපතක් කරා යන විදියේ පරිසරයක් සැකසිලා ඉවරයි. හැබැයි සුදුසු උපතක් ලබාගන්න පුළුවනි අම්බපාලිය වගේ ඊට සුදුසු පිනක් තියෙනවනම්... අක්කා දේශනාව ඩවුන්ලෝඩ් කළා ද?

      Delete
    6. //ඒ වුණාට මම කියන්න අදහස් කළේ ඒකට කාලයක් ගතවෙන්නෙ නැහැ කියන එකයි.//

      ඒ ගැන තර්කයක් මම මෙතන කරලා නැහැ :)

      ඒකයි මම කියන්නේ ඔයාට කමෙන්ට් එක තේරිලා නෑ කියලා.

      මම කිව්වේ අර පෝස්ට් එකේ තියන "සුදුසු මව් කුසක" කියන දේ යටතේ නගපු තර්කය අයින් කලොත් පෝස්ට් එක වඩාත් තාර්කික සහ පැහැදිළි එකක් වෙනවා කියන එක.

      දේශනාව දැන් අහන්න විදියක් නෑ ඔෆිස් එකේ නිසා :( ගෙදර ගිහිං අහන්න ඕන

      Delete
    7. අහ්.. එහෙමද :D එහෙනම් කමක් නැහැ...

      …ඒ වුණත් ඒ අදහස මම එකතු කළේ ඒක ගොඩක් දෙනාගෙ හිත්වල මුල් බැසගෙන තියෙන අදහසක් නිසයි. සමහරවිට මම කියන්න උත්සහ කළ දේ එතනින් කියැවිලා නැද්ද මන්දා කියලා මට හිතෙනවා! කොහොම වුණත් ස්තූතියි අදහසට!

      Delete
    8. // එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පමණ මහණ දම් පුරල ප‍්‍රාර්ථනාවක් කරල තිබුණා. රහත් වෙන ආත්මෙදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියල. ආයු කෙළවර දෙව් ලොවින් චුත වී සසර ප‍්‍රාර්ථනාව අනුව මව් කුසක නොඉපදී ඕපපාතිකව ඉපදුනා.//
      මං මේ වෙනකල් හිතා හිටියේ ඕපපාතිකව උපදින්නේ තිරිසන් සතුන් සහ අමනුෂ්‍යයින් විතරයි කියල. ඒක නිවැරදි කර ගත්තා අද. හරිම අසිරිමත් සිද්ධියක් නේ ඒක.

      Delete
  13. අම්මප නොදැන හිටි දේවල් ගොඩක් දැනගත්තනේ..අන්තිමට එයා කල්පනාවේ හිටි කර්මයද පල දෙන්නේ එතකොට . ඇත්තටම ඒක එහෙම නම් හොඳම මනුස්සයෙක් මැරෙන වෙලාවට එයාගේ කරැමෙකට එයා අතින් වුන අකුසලයක් ගැන මතක් වුනොත්....

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් පෘථග්ජන පුද්ගලයන්ට චුති සිත බලපානවා, නමුත් මම දන්න විදියට මාර්ග ඵල ලාභීන්ට එහි බලපෑමක් නැහැ. මේ ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.... එයා අතින් වුන අකුසලයක් ගැන මතක් වුනොත් මැරෙන වෙලාවට කරන්න දෙයක් නැහැ ඉතින්. තමන් ම කළ දේවල් නේ!

      Delete
    2. @ රතී

      //...ඇත්තටම ඒක එහෙම නම් හොඳම මනුස්සයෙක් මැරෙන වෙලාවට එයාගේ කරැමෙකට එයා අතින් වුන අකුසලයක් ගැන මතක් වුනොත්....//

      පින්කම් රැසක් කරපු අසෝක රජතුමා මරණාසන්නව ඉද්දී තමන්ට පවන් සලන්න ගත්තු උපකරණය දාසියක්ගේ අතින් හිසේ වැදුනු නිසා දාසිය කෙරෙහ් හටගත්තු කෝපයෙන්ම මැරුණු නිසා හිමාල වනයේ පිඹුරෙක් වෙලා හිටියා කියලා බෞද්ධ සාහිත්‍යයෑඅ තිබෙනවා. දින 7 කට පස්සේ තමා එතැනින් චුත වෙලා දිව්‍ය ලෝක උත්පත්තිය ලබලා තියෙන්නේ...

      Delete
  14. තුන් බෑ ජටිලයෝ කියලා කිව්වම ඊලඟට මතක් වෙන්නේ ආදිත්ත පරියාය සූත්‍රය. දවසක් මම මහමෙවුනා අඩවියෙන් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව පාදක කර ගත්තු බණක් ඩවුන්ලෝඩ් කරගත්තා. මේ තියෙන්නේ ඒ පිටුව .

    අද ධර්ම කාරණාව ගැන කිව්වොත් අපේ සමහරු හිතන් ඉන්නේ මැරිච්ච කෙනා අවුරුදු ගණන් මාස ගනන් මවු කුසක් නැතුව බලන් ඉන්නවැයි කියලා. ඒකට හොඳ උත්තරයක් අද පෝස්ට් එකේ තිබ්බා.

    මේ වගේ දේවල් පෝස්ට් කරනවට පින් !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ! මම ඔය සූත්‍ර සියල්ල ම වගේ බාගත කරගෙන තරමක් දුරට අහලා තියෙනවා මේ වෙද්දිත්. පුළුවන් නම් වැඩ කරන අතරතුරේ අහන්න ඉයර්ෆෝන් එකක් ගහගෙන...

      Delete
  15. ඇත්තමයි ලහිරු අයියේ මේ ටිකේම ගිය ඔයාගේ මේ වගේ කතා මාර වටිනවා...ඉඩක් ලැබෙන වෙලාවට මේ පැත්තට දුවගෙන ඒනෙම මේ වගේ ධර්මාණුකූල කතාවක් අහන්නමයි. ඒක පුරුද්දට ගිහින්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඒක මට සතුටක් මලයෝ, කවුරුහරි දෙයක් අළුතින් දැනගන්නවා කියන්නෙ!

      Delete
  16. නොදැන හිටපු කරුණු ගොඩක් දැනගත්තා අද පෝය ඩේ ස්පෙෂල් එකෙන්... කෙනෙක් ඊළඟ භවයේ උපදිද්දී චුති සිත බලපාන බව නම් දහම් පාසලේ ඉගෙන ගත්ත මතකයි...

    පිං සිදුවේවා!!!

    ReplyDelete
  17. මෙ පාර නම් ටිකක් පරක්කු වුනා මෙ පැත්තට එන්න වෙනදා වගෙම වටිනා කරුනු ටිකක් අයියෙ..

    ReplyDelete
  18. එතකොට ගන්ධබ්බ විදිහට අවුරුදු ගානක් ඉබාගාතේ ඉපදීමක් නැතුව සැරිසැරුවා කියලා පෙර ආත්මේ කියනවායි කියන සමහර උදවියත් කියන්නේ බොරුවක්ද ලහිරුවා ?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැම්මේ අනික් අය දාපු කමෙන්ට් රිප්ලයි කියවන්නේ නැතුවනේ මම

      Delete
    2. ඒ වුණත් ඒ කියන්නෙ පැහැදිලි ව බොරුවක්, එහෙමත් නැත්තම් නොදන්නාකමට..

      Delete
  19. ඇතිවුන ප්‍රශ්න කොමෙන්ට් වලින් විසඳුනා.

    ධර්ම සංගායනා තුන කරපු කාලේ පොඩ්ඩක් මතක් කරන්න පුලුවන්ද? මට මතක විදියට පළමු එක බුද්ධ පරිනිර්වානෙන් මාස 3 පසුව. ඉතුරු දෙක හරියටම මතක නැහැ.

    ස්තුතියි ලහිරු..

    ReplyDelete
    Replies
    1. දෙවන සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 කට පස්සෙ කාලාශෝක රජතුමාගේ කාලේදි කාකණ්ඩක පුත්ත යස, රේවත ආදි මහරහතන් වහන්සේලා ගේ ප්‍රධානත්වයෙනුත් තුන්වැන්න බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පස්සෙ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුත් සිදුවුණා!

      Delete
  20. මට මේ පැත්ත මඟ හැරිලානෙ තිබ්බෙ.. හරිම වටින ලිපියක්.. හුඟාක් නොදැන උන්නු දේවල් දැනගත්තා.... ස්තූතියි!! ආයෙමත් එන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඒකතමයි මමත් බැලුවේ කාලෙකින් දකින්න හිටියෙ නැත්තෙ ඇයි කියලා... හිතුවක්කාරි නේ ඉතින්!

      Delete
  21. සබ්බ දානං ධම්ම දානං ජිනාති...
    බුද්ධ ෙද්ශනාව යළි ලිවීෙමන් ෙම් කරන සත්කාර්යය හරි අෙගයි අය්ෙය්.

    ((කාෙලකින් අාෙව්.බ්ෙලාගයත් ෙවනස් ෙවලා!

    ReplyDelete
    Replies
    1. ආ.. ගොඩ කාලෙකට පස්සෙ වැහැලා තියෙන්නෙ :) ඔව්, කවුරුහරි මොනවහරි වටිනා දෙයක් දැනගන්නවනම් ඒක තමයි මගේ සතුට නංගී...

      Delete
  22. ඇත්තටම හොද ලිපියක්.හොද දේයට හොදයි කියන්න ඕන.මෙම ඉහත ලිපිය කියවා අදහස් දක්වා ඇති අයට තව ගොඩක් නොදන්න දේවල් දැන ගන්නත්,සතර අපායෙන් මිදීමටත් උපකාරී වන ලිපි පෙලක් දිවයින පුවත් පතින් පලකරනු ලැබුව.අන්තර් ජාලයටද එක්කර තිබෙනව.google වල maha rahathun wadi maga osse කියල ටයිප් කරල එන්ටර් කරන්න. ඉතාමත් වටිනා ලිපි පෙලකි අදියර තුනකින් සමන්විතයි.විවෙකිව කියවන්න.සිතට ගන්න උත්සහ කරන්න.ජීවිතයට සම්බන්ද කරගන්න.මමද එම ලිපි සියල්ලම කියවූව.තිසරන සරනයි.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම පින් ධර්මය බෙදාගන්නවට.. ඒ ලිපි මට ඊමේල් ඔස්සේ ලැබෙනවා වගේ ම පුළුවන් වෙලාවට කියවනවා. ඔබටත් තෙරුවන් සරණයි!

      Delete
  23. ‍ප්‍රයෝජනවත් ලිපියක්.ඒ වගේම ගොඩනැගීමට හොඳ සංවාදයක්..!
    මටත් ප්‍රශ්නයක් තිබුණා ඇයි පිටසක්වල ජීවියෙක් පෘථිවියේ නැවත ඉපදීමක් ගැන වාර්තාවක් නැත්තෙ කියලා.

    ස්තූතියි මේ වටින කරුණු බෙදාගත්තට.... :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්න ඇති සටහනෙන් වගේ ම ප්‍රතිචාර වලිනුත්... ස්තූතියි මේ පැත්තෙ ආවට!

      Delete
  24. මම නම් කියන්නේ නියම බෞද්ධ දර්ශනය තුල නැවත ඉපදෑමක් සදහන් වෙන්නේ නෑ කියලයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තූතියි ඔබේ අදහසට මල්ලි, හැබැයි මේ මතය සනාථ කරන්නත් යමක් කිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා!

      Delete
    2. නෑ.මං කිව්වේ නියම බුදුන්ගේ දර්ශනය තුල.අද අපි දන්නේ නියම දර්ශනයටත් වඩා බෞද්ධ සාහිත්‍යයනේ.බටහිර වද්‍යාත්මකව ගත්තත් පුනරුත්පත්තිය විශ්වාස කල නොහැකියි.බුදුන්ගේ එකම අරමුණ උනේ බැදීම් වලින් සත්වයින් නිදහස් කිරීම.ඒක මැරුණට පස්සේ ඇතිවන එකක් නෙමෙයි.ජීවත් වී ඉන්න තාක් කල් සියළු බැදීම් වලින් නිදහස්ව සිට සතුටින් ජීවත්වීමයි බුදුන් වදාලේ.

      Delete
    3. ඔව්, ඒක හරි! බුදුදහමත් එක්ක බලද්දි බටහිර දර්ශනය ගොඩක් පස්සෙන් ඉන්නවා කියලා තමයි මට හිතෙන්න්නෙ, ඒ නිසා සැසඳීම ප්‍රයෝජනයක් නැහැ කියලයි හිතන්නෙ. කොහොම උණත් බැඳීම් වලින් නිදහස් වීම උන්වහන්සේ වර්ණනා කරනවා බොහෝ සේ. ස්තූතියි මල්ලිගෙ අදහසට...

      Delete
  25. පොස්ටුවේ තර්කාණුකූලව කරුණු ගලපලා තියනවා ලහිරු..හිතන්න යමක් ඉතිරි වෙලා තියනවා..ස්තුතියි ලහිරු..
    ඒත් මෙතනට නියාම ධර්ම වල බලපෑම සිද්ධ වෙන්නෙ කොහොමද කියලත් කියන්න පුළුවන් නම්..

    ReplyDelete
    Replies
    1. මෙතනදි ප්‍රධාන වශයෙන් ම උපතක් කරා බලපාන්නේ කර්ම විපාකය තමයි. ඒ අනූව උපතක් කරා ගියා ට පස්සෙ තමයි අනිත් නියාම ධර්ම වල බලපෑමක් ඇතිවෙන්නෙ. ඒ කියන්නේ උපත ලබන කෙනා ගේ දෙමාපියන්, කාලය වගේ දේවල් අනුව අනිත් දේවල් වෙනස් වෙනවා.

      අක්කා සෑහෙන්න පරක්කුයිනේ. ඒත් මම බැලුවා නැත්තේ ඇයි කියලා :)

      Delete
  26. ලහිරු මහත්ම හිත් රිදවා නොගනිත්වා මා මෙලෙසට අදහස් දක්වනවට.ඉහත සදරුවන් මහත්මා දක්වා ඇති අදහසට යමක් නොපැවසුවහොත් ඒක ඔහු වැනි තවත් බොහො අයට සතර අපාගතවීමට කලා වූ උපකාරා වනු නොඅනුමානයි.ඒක හරියට මහ මුහුදෙ දිය රලකට අසුව මරනය කරා යන තම මිතුරෙකු දෙස කරකියා ගත දෙයක් නොහැකිව එදෙස සෝකයෙන් බලා සිටින්නෙකු හා සමානය.
    ටිකක් හිතන්න කුඩා ළමයෙකුට දල්වා ඇති පහන්සිලක් දකින්නට ලැබුනහොත් ඔහු එයට ඉතාමත්ම අසාකරනව.කොයි මොහොතක හරි එය අතගා බැලීමට සිතයි.වැඩිහිටියන් අල්ලන්න එපා කියන නිසාත් එය ඔහුට හසු නොවන්නට තබන නිසාත් එය අල්ලා බැලීමටම නිතර සිතනව.හැමොම එයාට කියනව ඒක අල්ලන්න එපා පිච්චෙනව.එතකොට දැවිල්ලයි.සමහර විට ඔයත් පිච්චිල ගෙටත් ඇවිලිලා විනාස වෙලා යයි කියල.නමුත් අර ළමයා පිච්චෙනව ගිනි ගන්නව කියන ඒව දන්නේ නැති නිසා කොයි මොහොතක හරි අල්ලනව.හිතින් මවාගන්න මේ ළමයා කවුරුවත් නැතිවෙලාවක් බලල යමක් ලගට අරගෙන උසකින් තිබෙන පහන් දැල්ල ඇල්ලුවොතින් අත පිච්චීමත් සහග කලබල වෙලා කරගන්න විනාසය.සමහර විට මෙතනදි සුළු තුවලයක් විතරක් වෙලා නවතින්නත් පුලුවන් වගේම මුලු ඇගමත් පිච්චිලා ගේත් එක්කම විනාස වෙලා යන්න වුනත් පුලුවන් නේද?.වරදවා ගන්න හොදනැ නියම බුදුන් හො වෙනත් බුදුන් යැයි අයෙක් නොව ගෞථම බුදුරජානන් වහන්සේ පමනයි.උන් වහන්සේගෙ ධර්මය මෙලොව යහපත උදෙසාම පමනක්ම නොව දෙලෙව යහපත උදෙසාම දේසනා කරන ලදුවකි.සියලුම සත්වයාටම සතර අපායෙන් මිදීම උදෙසාම දේසනා කරන ලද්දකි.දර්මය ගැන සැක ඇතිකර නොගන්න.සාහිත්‍ය වගේම ධර්මය ගැන ලියවුන පත පොතද සුලබව ඇත.සොයාගෙන කියවා නිවැරදි වන්න. උස්සාගන්න තේරැම් ගන්න බලන්න චතුරාර්‍ය සත්‍ය .බුදුන් වහන්සේ දේසනා කල ධර්මය එයයි.තර්ක කරන්න දෙයක් නැහ ඔබ අකමැති වුවත් පිලිගන්න බුදන් වහන්සෙ දෙසනා කරල තියෙන්නෙ ඉපදීම දුකක් බවත් දුකෙන් මිදීමට නම් ඉපදීම නතරකල යුතු බවත් එසෙ කිරීමට නම් තෘරුස්නාව දුරු කල යුතු බවත් නිර්වානයම අවබෝද කල යුතුවූ වන බවත්ය.එතෙක් සියලු සත්වයෝම කරන ලද කුසලාකුසල් සමග සන්සාරෙ ඉපදී ඉපදී මිය යන බවයි.නිවරදිව දර්මය දකිත්වා.තෙරුවන් සරනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මටත් දුක හිතුණ සදරැවන්ගෙ කමෙන්ට් එක කියවනකොට. මොනව කරන්නද? හැම දෙනාවම බේර ගන්නත් බෑනේ. @සදරැවන් - //මම නම් කියන්නේ නියම බෞද්ධ දර්ශනය තුල නැවත ඉපදෑමක් සදහන් වෙන්නේ නෑ කියලයි// මචං ඔයා කියනදෙයින් හෝ ඔයා හිතන දෙයින් අපිට වැඩක් නැහැ. නමුත් ඔයා හිතන විදිය වැරදියි. ඒක නෙමෙයි ඇත්ත. පුලුවන් නම් ඒ මිත්‍යා මතයෙන් මිදෙන්න. එහෙම බැරිනම් අදහසක් නැති මිනිස්සුන්ව සතර අපායෙ හෙලන් නැතුව කට වහන් ඉන්න. - බුදු සරණයි- ධර්මාව‍බෝධය ලැබීමට ශක්තිය ලැබේවා.

      Delete
  27. තෙරුවණ් සරණයි, චාතුර්‍යාය සත්‍යය අවබෝධ වේවා!

    ReplyDelete
  28. මම මේක Copy Paste කරගන්නව මචන්.

    ReplyDelete
  29. චුතිය 14 වන චිත්තක්ෂ නයේදී සිදුවන අතර 15 වන චිත්තණක්ෂන යෙදී ප්‍රතිසන්ධිය අනිවාර්යෙන් වෙනවා. එයයි වැදගත් වන්නේ. ඔක්කන්තිය හා ප්‍රතිසන්ධිය අතර සිදුවන දේ පලක් නැහැ සහෝදරයා.

    ReplyDelete
  30. අන්තරාභවය දහමට එකඟ ද?

    කොළඹ බෞද්ධාලෝක මාවත 
    නාරද බෞද්ධ ධර්මායතනාධිපති
    ශාස්ත්‍රපති 
    රාජකීය පණ්ඩිත 
    තලල්ලේ චන්දකිත්ති හිමි

    බුදුපියාණන් වහන්සේ අන්තරාභවයක් ගැන කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කර නැහැ. උන්වහන්සේ භවයක් ගැන ප්‍රකාශ කර ඇත්නම් එසේ ප්‍රකාශ කර ඇත්තේ පුනර්භවය පිළිබඳවයි. එසේනම් බුදුරජාණන් වහන්සේ පුනරුප්පත්තියක් ගැන දේශනා කර තියෙනවා ද? ඒත් නැහැ. පුනරුප්පත්තිය කියන්නේ කුමක්ද? පෙර භවයේ සිටි පුද්ගලයා කිසිම වෙනසක් නැතිව, ඒ තැනැත්තා ම නැවත භවයක උපදිනවා කියන එකටයි පුනරුප්පත්ති කියා කියන්නේ.


    බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අන්තරාභව කතාවක් නැහැ. එය පසුකාලීනව මහායාන දර්ශනයේ බලපෑම් මත ගොඩ නැගී ආ එකක් බව අපට කියන්න පුළුවන්.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තුන් සියයකට පසු ධර්මාශෝක රජතුමාගේ කාලයේ දී කෙනෙක් මරණින් පසු ක්ෂණිකව ම උපදින්නේ නැතැයි කියන මතවාදය ගොඩනැඟුණා. එසේනම් ක්ෂණික ව උපදින්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? මැරුණු කෙනා කොහේ හරි සැරිසරනවා. මොකටද සැරිසරන්නේ? උපදින්න හොඳ තැනක් සොයා ගන්නටයි. එසේනම් කවුද නරක තැනකට යන්නේ? කොයිතරම් කාලයක් හරි සැරිසරලා හොඳ තැනකමනේ උපදින්නේ නේද? ඒ කතාව හරි නම්, අන්තර්භවයක් කියලා එකක් තිබෙනවා නම් දුගති කියන ඒවා ලෝකයේ පහළ වීමට පුළුවන්කමක් නැහැ.

    සමහර පුද්ගලයන් මියගියාට පස්සේ අරහේ මෙහෙ සැරිසැරුවා. ගස් වල හිටියා. ජය ශ්‍රී මහා බෝධිය ඇසුරු කරගෙන වාසය කළා. එහෙම ඉඳලා හරියට සැකසුණ තැනක් දුටුවිට එතැනට ආවා ආදි වශයෙන් කියන කතාත් අපි අහලා තිබෙනවා. දැන් කවුද මේ අරහේ මෙහේ රවුම් ගහන්නේ? ඒ අන්තරාභවිකයෙක් නොවෙයි. ඒ එක්තරා භවිකයෙක් විතරයි. ලෝකයේ ජීවත් වෙන්නේ දෙවියෝ යි. බ්‍රහ්මයෝ යි. මිනිස්සු සහ තිරිසන් සත්තු විතරක් නොවෙයිනේ. ඇසට පෙනෙන නො පෙනෙන ඕනෑ තරම් භූත, පේ‍්‍රත ආත්ම ලෝකයේ තිබෙනවා. කවුරු හරි මැරෙන විට පහළ වෙන දුර්වල සිතක් නිසා ඒ පුද්ගලයා ජීවත් ව සිටි කාලය තුළ කළ කර්මවලට සරිලන විදිහේ හොඳ හෝ නරක තැනක ඉපදුණේ නැත්නම් ඒ වාගේ තාවකාලික භවයක උපදිනවා. එහෙම තාවකාලික භවයක ඉපදිලා ඒ කර්ම ශක්තිය ගෙවුනාට පසුව ආපසු අර ප්‍රබල කර්මය ඉස්මතු වී එතැනින් චුත වෙලා ප්‍රබල කර්මයට අනුව හොඳ හෝ නරක තැනක උපදිනවා. එවැනි අවස්ථාවක් ගැන අදාළ තොරතුරු ඕනෑ තරම් අපට තිබෙනවා. එහෙම නේද? ඔබ කවුරුත් ධර්මාශෝක රජතුමා පිළිබඳ මෙම කතා පුවත දන්නවා.

    ධර්මාශෝක රජතුමා මිය යන වේලාවේ දී රජතුමාගේ හිතට කේන්තියක් ආවා. රජතුමාගේ හිත දූෂීත වී මරණින් මතු රජතුමා භූත පිඹුරෙක් ව ඉපදුණා , ඒ කර්මය ගෙවී අවසන් වූ පසු එතුමා කලින් භවයේ කළ ප්‍රබල කුසල කර්ම ඉස්මතු වී රජතුමා ඒ හා සරිලන හොඳ තැනක ඉපදුණා.

    ඒවාගේ ම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජ වාසලක වධකයෙක් හිටියා. ඔහු අවුරුදු පනහක් තිස්සේ ම මනුෂ්‍ය ඝාතන කළා. ඉතින් එහෙම රාජකාරිය කරලා අවුරුදු පනහකට පස්සේ විශ්‍රාම ගිහින් ඔහු තමන්ගේ ගෙදරට වෙලා විවේක පාඩුවේ ඉන්න විටකදී සැරියුත් මහරහතන් වහන්සේ එතැනින් වැඩම කළා. වධකයා සැරියුත් තෙරුන්ට පිණ්ඩපාතය පූජා කරලා සිත පහදවා ගත්තා. එසේ සතුටු සිතින් සිටිද්දි එදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවූවා. එවිට ඔහුට සැරියුත් තෙරුවන් සිහියට ආවා. ඉක්මනට සැරියුත් හාමුදුරුවන් තමන්ගේ නිවසට වඩමවා ගත්තා. වදකයාට තෙරුවන් සරණ යාමට නමස්කාරය කියන්න කියලා මතක් කළා. ඔහු නමස්කාර පාඨය අමාරුවෙන් කියලා පාණාතිපාතා වේරමතී කියනවාත් එක්කම ඔහුගේ දිව ගිලුණා. ඔහුට කථා කරගන්න බැරි වුණා. එවෙලෙහි ම ඔහු මරණයට පත් වුණා.

    සැරියුත් හාමුදුරුවෝ මේ මනුස්සයා මරණයට පත් වූ බව දැක ආපහු පන්සල වෙත වැඩම කළා. දැන් මේක විශේෂ මරණයක්නේ. රජවාසල වධකයා මරණයට පත් වු බව ප්‍රසිද්ධ වුණා.අනිවාර්යයෙන් ම ඔය වධකයා අපායේ යන්න ඇතියි කියලා පන්සලේ හාමුදුරුවරුත් කතා වුණා. මේ කතාව අසා සිටි බුදුපියාණන් වහන්සේ, ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයාගේ අවසාන සිත එසේ නැත්නම් චුති සිත සකස් කළ නිසා මේ තැනැත්තා දැන් ඉපදී සිටින්නේ දිව්‍ය ලෝකයේ බව වදාළා. නමුත් ඉතාම කෙටි කාලයකින් ඔහු එයින් චුතවී අපායගාමි වෙන බවත් වදාළා.

    ඒ වාගේ කෙටි කාලීනව උපදින තැන් පේ‍්‍රත ලෝකයේ, භූත ලෝකයේ ආදි තැන්වලත් තිබෙනවා. අර අන්තරාභවය කියන කතාව හැදිලා තිබෙන්නේ ඒ කෙටි කාලවල ඉපදිලා එහෙ මෙහේ සැරිසැරීම හේතු කොට ගෙනයි. එය මහායාන ආගම් දර්ශනය සමඟ ඉදිරිපත් වූවක්. මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ විසින් රචිත අභිධර්මයට අයත් කථාවත්ථුපකරණය නම් ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා. මෙම කථාවත්ථුපකරණය ග්‍රන්ථය මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ලිව්වේ ම එකල්හි තිබූ මිථ්‍යා දෘෂ්ඨික මතවාද පන්සියයක් වෙනස් කිරීමටයි. ඒ මතවාද අතර අන්තරාභවය කියන දුර්මත ය ද අඩංගු වෙනවා. එය ථේරවාද බුදුදහම තුළින් ප්‍රතික්ෂේප වූවක් බව මතක තබා ගත යුතු වෙනවා.



    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !