එක හිත නැති මගේ හිතත්...

අපිට කිසිම දෙයක් ගැන එක හිතක් නැත්තම් මොකද වෙන්නෙ? හිත ඔහේ ඈතට ඈතට පාවෙලා යාවි නේද? විසිරිලා වල්මත් වුණ හිතට කවදාවත් හරියට වැඩක් කරන්න පුළුවන්කමක් නැහැනේ. එහෙම හිත අයාලෙ යන්න පුරුදු වුණොත් ලේසි දෙයක් නෙවෙයි ආයෙමත් එක තැනකට ගන්න ක. ඒ කියන්නෙ මොන ම දෙයක් ගැනවත් ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම් කිසි ම දෙයක් හරියට කරගන්න බැහැ. උදාහරණයක් විදියට එක්සෑම් එකට පාඩම් කරන නංගිලා මල්ලිලාට ඒ ගැන හිතලා එක හිතකින් පාඩම් කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් ම හතරවෙනි වතාවටත් ඒ ලෙවල් කරන්න වෙනවා... රැකියාවක් කරන කෙනෙකුට වුණත් ඒකේ පරමාර්ථය අමතක වුණොත්, වෙන දේවල් කර කර හිටියොත් ඊළඟ දවසෙ ගෙදර නවතින්න වෙනවා (රාජ්‍ය අංශයෙ හෙම නෙවෙයී). මේ ගැන පොඩි කතාවක් තියෙනවා, කියවලා ම බලන්නකෝ!!!

ඒ කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. ඔහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. ඒ ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුණා. හැබැයි ඒ පැහැදීම ඇතිවුනේ නුවණින් මෙනෙහි කරලා නම් නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. ඒ වුණත් මේ ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇති වුණ හින්දා දවසක් මේ බව ගෙදරත් කියලා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවලා තමයි ගියේ. ඉතින් ගොවියා භික්ෂුන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.

පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුනා. බිරිඳ ව මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුනා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නුපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා.මොහු තුළ අකුසල් වැඩුනා. එය ප්‍රහාණය කිරීම සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් ගොවියා තුළ තිබුණේ නැහැ. භාවනා කරන්නට වාඩි වු විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුනා. බිරිඳ මතක් වුනා. පංච කාමය මතක් වුනා.අරතිය වැඩි වුනා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා.ගොවියා රහසේම සිවුරු හැර උදැල්ලත් අරන් ගෙදර ගියා.

පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැකලා බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දීලා උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට ගොවියා ආයෙමත් කළකිරුණා. ර්‍නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද කියලා නැවතත් උදැල්ලත් අරන් පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ට ගිහින් පැවිදි වුණා.

ටික කලක් ගතවුනා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුනා. බිරිඳගේ ආදර බස් මතක් වුනා. “අනේ.... මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා.... ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම්...”. මේ භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුනේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුනේ නෑ. අවස්ථානුකුලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුනෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුනා.හොරෙන්ම පිටත් වුනා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ.ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදු වුනා. ”නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි.” කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා.

වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංඟුවා.ආයෙමත් පැවිදි වුනා. පැවිදි වුන මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත් ඒ ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා.” මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද ඒ ගැන අමතුවෙන් කලකිරෙන්නෙ?” ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුනා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.

දිනක් කුඹුරට ගිහින් නිවසට එද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුනා. කට ඇරිලා තිබුනා.කුණු කෙල වැගිරෙමින් තිබුනා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුනා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇති වුනා.“මේ උදලු කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලු කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඩේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලු කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ටමට ඕන කමක් නැහැ.” කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා ගොවියාට මහ සතුටක් ඇති වුනා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුනා. ගොවියා වසඟ වු සිතටම හසුව හිටිය කෙනෙක් නිසා චිත්තහත්ථ යන නම පටබැඳුණා.

ගොවියාට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඩගත්තා. ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා.ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා.චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි... දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද...?” කියලා ඇසුවා. ”ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ.” කියල පිළිතුරු දුන්නා.මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන ශ්‍රද්ධාව තිබුනොත් ප්‍රඥාව වැඩෙන්නෙ නැති බවයි. ඒ සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා.කාම අරමුණු වලින් ඇතිවෙන රාගයෙන් සිත තෙමා නොගත්, පින් පව් ප්‍රහාණය කළ නිදි වරමින් භාවනා කරන රහතන් වහන්සේ කෙනෙකුට කිසි දිනෙක කෙලෙසුන් බයක් හටගන්නේ නැහැ කියලා දෙවන ගාථාව වදාළා.

අනවට්ඨිතචිත්තස්ස - සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස - පඤ්ඤා න පරිපුරති

සසරෙන් එතෙර වීමට - නොපිහිටන විට මේ සිත
ඒ උතුම් සිරි සදහම් - තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතක් නොමැතිව - මහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනක - නැත නුවණ දියුණු වන්නේ

අනවස්සුතචිත්තස්ස - අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස - නත්ථි ජාගරතෝ භයං

කෙනෙකුගේ සිත තුළ - නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලක - පහර කන සිත් නැති විට
පින් පව් හැමදෙයම - දුරු කළ සිතින් සිටිනා
නිදිවරන ඒ රහතුන් - කිසිදිනක තැති නොගනිති

උපුටා ගැනීම : අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - චිත්ත වර්ගය
( අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ )

පසු වදන : මේ දවස්වල ටිකක් නෙවෙයි හොඳටම කාර්යබහුල වෙලා ඉන්නෙ. නිවාඩු පාඩුවක් ඇත්තෙම නැති තරම්!!! පස්සෙ කියන්නම්කෝ ඇයි කියලා!

39 comments:

  1. mokada me lahiru ayya busy wela..... :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... හරි ගියා ම කියන්නම්කෝ!

      Delete
    2. onna ehenam hari giyama apitath kiyanna hode ayya.....

      Delete
    3. කියනවා කියනවා, අනිවා කියනවා!

      Delete
  2. ජීවිතේ සසරට බැඳලා තියන තවත් බැම්මක් නේද කාමාශාව කියන්නේ.

    හය වතාවක්ම සිවුරු හැරලා අන්තිම තීරනෙත් සිවුරම දරාගන්න ගත්ත තීරණේ කොච්චර යහපත්ද. මම අහලා නැති කතාම තමයි ලහිරුගේ බ්ලොග් එකේ දාන්නේ. එකයි ආසාවෙන් කියවන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්, අරතිය කියන්නෙ අත්හරින්න අමාරු බැඳීමක්! ස්තූතියි එහෙම කිව්වට!

      Delete
  3. කතාව නියමයි. රහත් උනා කියල කිව්වම කේස් අදින කස්ටිය එදත් ඉඳල තියනව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ! බුද්ධත්වයත් සැක කරන මිනිස්සු ගැන කවර කතාද!

      Delete
  4. සාදු සාදු වටිනා කියන දහම් කතාවක්. උපාදානය එහෙමත් නැත්නම් තමන්ගේ කියලා තදින්ම අල්ලාගැනීම සිදුකරන අපි හැමෝටම මේ කතාව හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, අත්හැරීම පුරුදු කරන්න කරන්න තමයි උපාදානයෙන් මිදෙන්න පුළුවන්.

      Delete
  5. හතරවෙනි පාරට විභාගෙ කරන්ඩ ඉතිං එකඟ වූ සිතක් නැති වීම විතරක් නෙමෙයි මුග්ධ පාලකයින් තෝරා ගැනීමත් හේතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. දේවෝ වස්සතු කාලේන...සස්ස සම්පත්ති හෝතුච
      පීතෝ භවතු ලෝකෝච...රාජා භවතු ධම්මිකෝ කියලා තමයි කියන්න වෙන්නෙ!

      Delete
  6. සාදූ! සාදූ!! සාදූ!!! ලහිරු පුතා සසරට බැඳෙන හැටි හරිම පුදුමයි. අත් හැරීමමයි කල යුත්තෙ. වටිනා දහමක් අපිට කියා දුන්නාට බොහෝම පින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අත්හැරීම පුරුදු කලොත් තමයි ජයගත්තා වෙන්නෙ...

      Delete
  7. ගොඩාක් වටිනා විස්තරයක්.

    ළහිරු මනාලියක්වත් ගේන්නද හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... මනා ලියක් නම් ඉන්නවා, ගේන්න නම් නෙවෙයි හදන්නෙ. ඒත් ඒකට අත්තිවාරමක් දාන්න තමයි යන්නෙ!

      Delete
  8. යහපතක්ම වේවා....!වටිනා කතාව.

    ReplyDelete
  9. සාදු සාදු සාදු !!
    ධර්ම කතාවක් කියවන්ඩ සලස්වපු එකත් ලොකු පිනක්..

    ප.ලි. - මොකෝ ලහිරු මේ ටිකේ බිසී වෙලා තියෙන්නේ.

    ReplyDelete
  10. උඹට පින්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. හොද වැදගට් ඔවදනක්..

    අයියා බදින්නවත්ද මේ හදන්නේ හොරෙන්ම..

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකට තව සෑහෙන කාලයක් යයි! හැබැයි පෝලිම පැන්නට මගෙ නම් තරහක් නැහැ මලේ!!

      Delete
  12. ඇත්තටම හොඳ දේවල් ලියවෙද්දී කියවන්නත් ආසයි,,අපූරු කතාව සහෝ..:)

    ReplyDelete
  13. හේම්...වැදගත් කරුණු ටිකක්...මල්ලි රජයේ සෑම ආයතනයකම නිකං බුදියන් ඉන්ට බෑ...එහේම ආයතනත් තිබෙනව නමුත් කිහිපයක් හොඳට වැඩකරනවා...ප්‍රධානියා කාර්යක්ෂම නම් පහල උන් ඉබෙටම වැඩකරනව නේව

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ එහෙම තියෙන තැන් ටිකත් අනිත් මිනිස්සුන්ගෙ වැඩ නිසා වැහිලා යනවනෙ අයියෙ... කිරි කළේ කතාව වගේ තමයි ඒකත්!

      Delete
  14. පන්සල් ගියා වගේ....ලස්සනයි...

    ReplyDelete
  15. අහපු කථාවක් ඒත් ආසාවෙන් කියෙව්වා.... අහල තියන විදියටනම් ඔය යෑම ඒම හත් පාරක් උනාළු.. හත්වෙනි පාර තමයි නියම විදියට සත්‍ය අවබෝධ වෙලා ගිහින් මහණ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම තමයි වෙන්නෙ, හය සැරයක් ම උදැල්ල අරන් ගෙදර ගියානේ!

      Delete
  16. මිනිස් සිත වැඩ කරන හැටි හරිම අපූරුයි..හරියට උත්සාහ කරනවා නම් අපි දැනටත් ප්‍රමාද නෑ..

    ස්තුතියි ලහිරු...ලිපියට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ, අපිට මොනදේටත් ඕනකමක් නැති එකයි වෙලා තියෙන්නෙ...

      Delete
  17. කතාවනං මරු.. මටත් එක වෙලාවකට හිතෙනව මේ ඔක්කොම අත්හැරලා ගිහින් මහණ වෙන්න ඒත් අතහරින්න අමාරුම මේ කොම්පියුටරෙයි ලටපට ටිකයි නේ. ඇත්තටම ඒ ටික නැත්තං මේ 'බණ' ත් නැ. අවුලක් නේ .

    ReplyDelete
    Replies
    1. මේ බණ නැතිවුණාට ඊට වඩා වටිනා දේවල් ලැබේවි සහෝ....

      Delete
  18. මමනම් දන්නවා ලහිරු බිසී වෙලා තියෙන්නේ මොකද කියලා :). අමාරුවෙන් හරි මේ කතාව ලියපු එක බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... අක්කා මොනවා කියලද හිතන්නෙ? අනේ මන්දා....

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !