අනේ... අතිගරු ජනාධිපතිතුමනි, දුරු රට යන්න එපා!

අපේ ජනාධිපතිතුමා පහුගිය දොහේ කොරියාවට ගියේය. ඒ සසිරි බර කොරියාවෙන් මෙරටට සිරියාව ගෙනෙන්නට විය යුතු ය. නමුත් කොරියාවට කිව්වාට ඒ දකුණු කොරියාවට මිසක උතුරු කොරියාවට නොවේය. උතුරු කොරියාවට ගිහින් ඇමරිකාව තරහා කරගන්නට එතුමා අකමැති නිසා එහෙම නොයන්නට ඇති කියලයි මට හිතෙන්නේ. නමුත් ඇමරිකාව ද ඔය කියනා තරම් ඉක්මනට අප හා කේන්ති ගනීවී යැයි සිතන්නට ද අමාරු ය. ඒ මන්ද යත් අප හා අමනාප වී ඉල්ලන් කන්නට තරම් ඇමරිකාව මෝඩ නැති නිසා ය. ඒ ඇයිද කියා කියනවා නම් බැරිවෙලාවත් අප ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කළහොත් ඇමරිකාවට වැලේ වැල් නැතිවන නිසා ය. අප ඇමරිකාවෙන් ඇතැම් භාණ්ඩ කිහිපයක් ආනයනය කරන්නේ ද ඔවුනට සහනයක් වීම පිණිසය.

උදාහරණයක් ලෙසින් කිවහොත් ඉන්ධන මිලෙන්, පොහොර, කෘමිනාශක ආදී ගැටළු වලින් පීඩිතව සිටිනා ඇමරිකානු තිරිඟු ගොවියා වස බීමෙන් ආරක්ෂා කරගන්නට ය. අනිත් අතට අප ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ නැවැත්වුවහොත් එය ඉරානයේ අහමදීන්ජාඩ් තෙල් නැවැත්තුවාක් මෙන් ලේසියට ගත නොහැකි වනු ඇත. හේතුව අප එසේ කළහොත් ඇමෙරිකානු ජනතාවට අඳින්නට රෙදිත් නැතුව යන නිසා ය. ඔය කියනා කතන්දර කෙසේ වෙතත් වසර 2500ක තරම් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපේ රටට ඉතා ම ස්වාධීන චින්තනයක් ඇති බව ඇමරිකාව හොඳින් ම දන්නා නිසා ඇමෙරිකාව, ලෝකයේ අනිත් රටවලට, ඒ කියන්නේ චීනයට, රුසියාවට, ඉරානයට දමනා සෙල්ලම් අපට දමන්නට එන්නේ නැත. ඒ වරක් අප Google ප්‍රතික්ෂේප කර gmail එකවුන්ට් වසා දමා බ්ලොග් ඉවත්කරගනිමින්, නව සෙවුම් යන්ත්‍රයක් පවා ක්ෂණික ව යොදාගෙන කොකා පෙන්නූ හැටි, ඇමෙරිකාව හෙල්ලු හැටි ඔවුන්ට කලකට අමතක නොවන නිසා ය.

මේ ඇමරිකානු කතන්දරය නිසා කියන්නට ආ කතාවත් අමතක වී යන්නට ඉඩ තිබුණත් එය ඇමරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙස මෙය කියවන පාඨකයන් නොසිතිය යුතු ය. හේතුව, මේ කතාවට ඇමරිකාවත් යන්තමින් ගෑවී ඇති නිසා ය. අතිගරු ජනාධිපතිතුමා කොරියාවට සැපත් වූ විගස ම එතෙක් මෙරට නිදා සිටි පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිළධාරීන් කළේ කුමක්ද? වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රු 8.50 කින් වැඩි කිරීමයි. අතිගරු ජනාධිපතිතුමා මේ කිසිවක් දන්නේ නැති බව නම් ඉඳුරා ම කිවයුතු ය. මේ කාලකන්නි නිළධාරීන් ගේ මේ වෑයම ජනාධිපති තුමා ඇතුළු රජයේ කීර්ති නාමය විනාශ කරමින් බහුජාතික සමාගම් වලින් කොමිස් ලබා ගැනීම ය. අතිගරු ජනාධිපතිතුමා ට කිසිවෙකු හෝ මේ බව දන්වන්නේ නැති බව නම් විශ්වාස ය. ඊට හේතුව නෑදෑ හිතමිත්‍රාදීන්ගෙන වෙන් ව දුරු රට ගොස් සිටිනා එතුමාට මෙහි කරදර ගැන කියා මනස අවුල් කිරීම නොකළ යුත්තක් නිසා ය. නමුත් එසේ කරනා ජරා ගති ඇති එකෙකු දෙන්නෙකු හෝ සිටිය හැකි ය. අතිගරු ජනාධිපති තුමා කෙසේ හෝ මේ බව දැනගත්තද මවුරටින් බොහෝ දුර සිටිනා බැවින් ද පාර්ලිමේන්තුවේ එකඟතාවය හදිසියේ ලබාගත නොහැකි හෙයින් ද එතුමා ට කළ හැකි කිසිවක් ද නැත. රජයේ ඇමතිවරුන් ද සිටින්නේ මේ මොහොතේ ඉතා ම අසරණ වි ය. ඊට හේතුව ජනතාව වෙනුවෙන් කරන්නට කිසිවක් නොමැතිවීම ය. අතිගරු ජනාධිපතිතුමා ලංකාවේ සිටියා නම් එතුමා ගේ උපදෙස් පරිදි කිසිවක් හෝ කරන්නට තිබුණත් දැන් කරන්නට දෙයක් නොමැත. මේ සියළු කාරණා දන්නා නිළධාරීන්, මේ හැම අසරණ කර කාළකන්ණි සතුටක් ලබනවාදැයි කිසිවෙකුට සිතෙන්නේ නම් එයට වැරැදි යැයි කිසිවෙකුට කිව නොහැක.

කෙසේ වෙතත් මේ හදිසි ආපදා තත්වය දැනගත් විගස අතිගරු ජනාධිපතිතුමා ගිය කාරණය අතරමඟ දමා හෝ එනු ඇත. ඉන්පසු සති දෙකක් ඇතුළත් ඉක්මන් වාර්තාවක් කැඳවනු ඇත. සති දෙකක් යනවිට ප්‍රභාකරන් නියමය ආකාරයටම අපට මේ සියල්ල අමතක වන නිසා මේ ගැන හැඟීමක් ඇති නොවනු ඇත. ඒ කාලය වනවිට මේ තත්වය අපට පුරුදු වී ඇති නිසා නැවත අත්‍යාවශ්‍ය බඩු මිල පහත හෙලා ජනජීවිතය අවුල් කිරීමට කිසිවෙකු කැමති නොවනු ඇත. මීට පෙරද අතිගරු ජනාධිපතිතුමා චීනයේ සංචාරය කරන අතරතුරේ දී නිළධාරීන් ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කළෝ ය. මීට පෙර භාණ්ඩ මිල ඉහළ ගිය අවස්ථා බොහෝමයකදී ද අතිගරු ජනාධිපතිතුමා සිටියේ රටින් පිටත ය. රටක මෙවැනි සංවේදී කාරණා, ජාවාරම්කාර නිළධාරීන් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. අතිගරු ජනාධිපතිතුමා ගේ ඉදිරි සංචාරයක් ඉලක්ක කර ගෑස් මිල ඉහළ දමන්නට මේ බහුජාතික සමාගම් වල ගැත්තන් වූ නිළධාරීන් සැරසෙන්නට ඉඩ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජීවත්වන ජනතාවක් ලෙසට මේවාට ඉඩදිය යුතු නැත. ඒ නිසා අප සියළු දෙනා එකා වන් ව ගෙන් අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ, අනේ අතිගරු ජනාධිපතිතුමනී ආයෙත් නම් පිටරට යන්න එපා කියා ය.

බැරැක් ඔබාමා, චීන ජනාධිපති හු ජින්තාවෝ, මන්මෝහන් සිං, ආදීන් හමුවීම අත්‍යාවශ්‍ය නම් ඔවුන් මෙහි ගෙන්වා ගත හැකි ය. ඒවා ඉතා ම ලේසි කාරණා ය. ඒ නිසා ජනාධිපතිතුමා අහිංසක අපගේ මේ ඉල්ලීමට කන්දෙනු ඇති බව අප උදක් ම විශ්වාස කරමු...

37 comments:

  1. උන්නාන්සෙල රට යනව. අපිට බඩ යනව.

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්... ඇත්ත තමයි!

      Delete
  2. හෑ.... මේ ලංකාවමද....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ සකල සිරින් පිරි සිරි ලංකාව ම තමයි!

      Delete
  3. පොස්ට් එක නියමයි

    ReplyDelete
  4. ඔය වැවි කරපු රුලියලෙන් දෙකෙන් තමා උන්නාන්සේල ඔය කිව්ව රට රාජ්ජ වන්දනා කොරන්න ඕන කොරන සොච්චම හොයා ගන්නේ... අනේ ඉතින් අපට ඔය පාන් මිල වැඩිවුන එක දැනෙන්නෙ වත් නෑ නොවැ.. පාන් මිල පාන් මිල පහකින් හෝ හයකින් වැඩි උනත්
    වැඩිපුර ගෙවන්න වෙන්නේ බුලත් විඩ දෙකක මිල විතරයි නොවැ.. බලන්නකො පහත ලින්ක් එක

    http://www.gossip9.com/2012/04/blog-post_3209.html

    ReplyDelete
    Replies
    1. බුලත් විටත් දැන් ගණන් ගිහින් නොවැ! හාල් කිලෝ එකකුත් විට පහ හයක ගාණ නේ!

      Delete
  5. දැන් පානුයි පරිප්පුයි කාලා ඉන්නවා කියලා කවෘ හරි කියනවනම් ඌ එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත, ඉන්කම් ටැක්ස් ගෙවිය යුතුයි එයා වහා ම!

      Delete
  6. එයා කොරියාවට ආවකියල කියනතරම් සෙතක්උනේනෑ.අනික ලෝකෙකොහේ ගියත්යන්නෙ රටේසල්ලි වලින්නෙ,

    ReplyDelete
    Replies
    1. එතකොට වටේ යන පිරිස එහෙමත්....

      Delete
  7. ලහිරුගෙ ඉල්ලීම සාධාරණයි..මමත් ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා රටෙන් පිට නොයන ලෙස..!!

    ReplyDelete
  8. කථාව ඇත්ත.... මැච් එකක් බලන්න ගියොත් පරදිනවා... රටෙන් පෛත ගියොත් මොනව ගරි මරාලයක් පාත් වෙනවා...

    ඒ නිසා පස්වාන් දහසකට බුදුවෙන්න මහ රජතුමනි... ඔබතුමා රජවාසලටම වී වාසය කරන්න

    ReplyDelete
    Replies
    1. සලකා බලන්න වටින දෙයක් ඒකත්!

      Delete
  9. ගූගල් කට්ටිය බය ඇති අපි බ්ලොග් වර්ජනය කලාම එයාලගේ සර්වර් වල මකුළු දැළුත් බැඳෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තව පොඩ්ඩෙන් එහෙම වෙනවා, යාන්තම් වගේ බේරුණේ!

      Delete
  10. නියම ලිපියක් සිර .රට ගියොත් අපි බඩගින්නේ.

    ReplyDelete
  11. හිමිට මේක හෙට කියවලම අදහසක් කියන්න ඕනා

    ReplyDelete
    Replies
    1. අයියෝ... කියෙව්වේ නැද්ද? දැන් අකුරු කොහොමද?

      Delete
  12. ට්රූ ස්ටෝරි!! :O

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මහින්ද මාමාව ලංකාවෙම තියා ගමු රට යන්න නොදී...

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම පෙළ ගැහෙමු එහෙනම්!

      Delete
  15. ඒකත් හරි තමා. ලොක්ක රට යනකොට මෙහේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල වැඩිවෙනව නම්, ලොක්ක කොහෙවත් නොගිහින් මේ දූපතේම හිටිය නම් හරි. මම කැමතියි ‍මේ රචනා ශෛලියට. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ඇගයීමට!

      Delete
  16. හයියූ හයියූ ලකාව....:/

    ReplyDelete
  17. කතාව ඇත්තය. අසරණ මිනිසා හැමදාමත් කුසගින්නේය. එය නොතේරෙන බොහෝ ඇත්තෝ තද නින්දේය

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් අපි මරනින්දේ ය.

      Delete
  18. මමත් ඇමරිකාව වර්ජනේ කරන්නයි ඉන්නේ මුල ඉඳන්ම. දැන් මොකද්ද මම දාගන්න ඕන ඔපරේටින් සිස්ටම් එක??

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ ඕ එස් එකක් ඕනෙම නෑ කියලයි, අපි ඇබකස් එකට යමු!

      Delete
  19. ඔයා කිව්වට ඉතින් එයා නොගිහින් ඉඳියැ අයියණ්ඩි....

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !