වලිගය පාගාගෙන ද ඉන්නෙ???


අපි දෙයක් තේරුම් ගන්නකොට කොයිතරම් නම් සැලකිලිමත් වෙන්නෝනද, අපි එක දවසක් ඇතුළත කොයිතරම් දේවල් නම් අහනවද දකිනවද නේද... අර කියමනකුත් තියෙන්නේ 'කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි' කියලා. අපි අතර කොයිතරම් ඉන්නවාද තම තමන්ගේ පුද්ගලික මතවාද සමාජයේ වපුරන්න හදන අය. තමන් විතරයි හරි, අනිත් අය වැරදියි කියාගෙන. ඒවා සමහර වෙලාවට හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ දේවල් නිවැරදි නම් ගැටළුවක් නෑ, නමුත් වැරදි දෙයක් නම් අනුගමනය කලාට පස්සේ වෙන හානිය දරන්න වෙන්නේ අපිටමයි. ඒ නිසා හැමදෙයක් ම තුළින් නිවැරදි දේවල් ම ජීවිතේට ගන්න තරම් අපි දක්ෂ වෙන්නෝන. හරියට කිරි මිශ්‍ර දියෙන් කිරි විතරක් ම වෙන් කරලා ගන්න 'ස්වර්ණ හංසයා' වගේ!

දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක කොසොල් ජනපදයේ චාරිකාවේ වැඩම කරමින් ඉද්දි කාලාම වැසියන්ගේ නියම්ගම වුණ කේසපුත්තයට වැඩම කළා. එහිදී කාලාම වරු බුදුරජාණන් වහන්සේට කිව්වේ සැරින් සැරේ එහි එන විවිධ ආකාරයේ බ්‍රාහ්මණයෝ, පණ්ඩිතයෝ, ශාස්තෲවරු තමන්ගේ මතය විතරක් හරි, අනිත් සියල්ල වැරදී කියලා ඔප්පු කරන්න හදනවා, ඉතින් අපි කොහොමද නිවැරදි ම දේ, ඒ කියන්නේ ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා තෝරාගන්නේ කියලා...ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කාලාම වරු සැක කළයුතු තැන ම නිවැරදි ලෙස සැක කරලා තියෙනවා. ඒ නිසා මේ විදියට හරි දේ තෝරාගන්න කියලා.

කාලාමවරුනි, ඔබ කටකතාවෙන් ආවා කියලා යමක් පිළිගන්න එපා. ඒ කියන්නෙ දෙයක් ඇසූ පමණින් පිළිගන්න එපා කියලා. පරම්පරාවෙන් ආවා කියලත් පිළිගන්න එපා කියනවා. දහම් පොත් වල තිබුණ පණින් පිළිගන්න එපා. තර්කයට ගැලපුන පමණින් පිළිගන්න එපා, න්‍යායට ගැලපෙනවා කියලා පිළිගන්න එපා, කරුණු සලකා බලනකොට ගැලපෙනවා කියලා පිළිගන්න එපා, පිළිගත යුතු කෙනෙක් කියනවා කියලත් පිළිගන්න එපා කියනවා, මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා ය කියලත් පිළිගන්න එපා කියනවා.

ඊටපස්සෙ බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. මේ මේ දේවල් අකුසල්, මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් ප්‍රඥාවන්තයන් ගේ ගර්හාවට ලක්වෙනවා, මේ දේවල් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියලා තමන්ට ම වැටහෙනවා නම් අතහරින්න කියලා.

මෙතනදි විශේෂ දෙයක් කියන්නෝන, "මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා ය කියලත් පිළිගන්න එපා" කියන අවස්ථාවේ ශ්‍රමණයා කියලා එතනදී අදහස් කරලා තියෙන්නේ ඒ කාලේ ඉන්දියාවේ වාසය කල අනෙකුත් ශ්‍රමණයෝ වුණ අචේලකයෝ, ජටිලයෝ, නිඝණ්ඨයෝ ආදී හැම කෙනාමත් ඇතුළත්වයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අහලා නුවණින් විමසලා ඒ අනූව කටයුතු කරන්න කියලයි උන්වහන්සේ දේශනා කරන්නේ. මේ වටින ධර්ම කරුණු ඇතුළත් වෙලා තියෙන්නෙ අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙන කාලාම සූත්‍රයෙයි.

අද බක් පුර පසළොස්වක පෝය දවස, අප තථාගත බුදුපියාණන් වහන්සේ, ලෝක සත්වයාට සාමයේ පණිවිඩය පසක් කර දුන් වැදගත් අවස්ථාවක් හා ආදර්ශයෙන් ඔප්පු කළ ඉතා වැදගත් පොහොය දවසක්. බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. මැණික් පුටුවට යුද්ධයකට එළඹුනු චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම තමයි එදා වුණ විශේෂ සිදුවීම. ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ, ඒ ගැන ඔයාලා දන්නවනේ නේද. මේ පෝය දින විශේෂ පෝස්ටුවක්. කලින් පෝය දින විශේෂ සටහන් මෙතනින් බලන්න යන්න පුළුවන් කැමති අය ඉන්නවා නම්. මේ සටහන කියවලා ඔයා යමක් ජීවිතේට ගත්තා නම් ඒක තමයි මගේ සතුට. මේ දහම් කරුණු ධර්මාවබෝධයට මාර්ගයක් කරගන්න අධිෂ්ඨාන කරගන්න මහන්සි ගන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

18 comments:

  1. අද පෝය දවසේ වැදගත් ලිපියක් අයියේ..

    ReplyDelete
  2. //එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නෙපා කියලා එහෙම නෙවෙයි//
    මේ කියමනට නම් මම එකඟ නෑ..බුදුහාමුදුරුවො අපිව නිදහස් චින්තනයකට පෙළඹුවා කියන එක අමතක කරන්න බෑ..

    පෝය දවසේ වැදගත් මාතෘකාවක්..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න හේතුව මේකයි අක්කේ, "සද්දාහති තථාගතස්ස බෝධිං" කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිගැනීම යනු ශ්‍රද්ධාවයි කියන එකයි. නමුත් මම මෙතනදි අදහස් කරන්නේ නෑ බහුතරය වගේ පුරුද්දට අත් දෙක එකතු කරගෙන වැඳගෙන ඉන්න එක. මම හිතුවේ අවබෝධයෙන් යුතු ව සරණ යෑම ගැනයි.
      …//බුදුහාමුදුරුවො අපිව නිදහස් චින්තනයකට පෙළඹුවා
      …කියන එකට මම එකඟයී අක්කේ.

      Delete
  3. පෝය දවසට ගැලපෙන කදිම විස්තරේ. අද පෝයේ වැදගත්කම කියල දුන්නට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට!

      Delete
  4. ඔන්න ඔබතුමාත් වලිගේ පාගගෙන නෙමෙයිද? ඔබතුමාත් හිතං ඉන්නවා අනිත් ඔක්කොම වැරදී ඒත් බුද්ධාගම හරියි කියලා.මම හිතන්නෙ ඔබතුමාට කාලාමවරුන්ට වගේ නිදහස් චින්තනයක් නෑ.සැක කළයුතු තැන හොයාගන්න බෑ.බුදුහාමුදුරුවො කිව්වෙ මම කියන එක හරි අනිත් එව්වා සැක කරපල්ලා කියලානං මොකද්ද අනිත් ශ්‍රමණයන්ගෙයි බුදුහාමුදුරුවන්ගෙයි තියෙන වෙනස?

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ. මට නිදහස් චින්තනයක් තියෙනවා, දෙමව්පියෝ කිව්ව පලියටවත් උප්පැන්න සහතිකයේ තිබුණටවත් නෙවෙයි මම මගේ දහම තීරණය කලේ. මොකද කෙනෙකුට සාමාන්‍යයෙන් ආගම්/දර්ශන සම්බන්ධයෙන් ගත්තොත් නිවැරදි එකයි, අනිත් ඒවා සියල්ල නිවැරදි නොවන ගොඩටයි වැටෙන්නේ.(ඒක තීරණය වෙන්නේ තමන්ගේ බුද්ධිමත් භාවය අනූව... ). බුදුදහම ගැන මට ම අවබෝධ වුණ නිසයි මම අනුගමනය කරන්නේ. අනිත් එක මට තිසරණය ගැන කිසිම ගැටළුවක් නැහැ සහෝදරයා. ඒ කියන්නේ සැක කරන තැනක් නැහැ. කාලාම වරුන්ට වුණේ එයාලාට නිශ්චිත පදනමක් නැතිවුණ එකයි. ඒ වුණත් මගේ පදනම හරි ශක්තිමත්, වෙන බාහිර දෙයක් නිසා සැලෙන්නේ නැහැ.
      …//බුදුහාමුදුරුවො කිව්වෙ මම කියන එක හරි අනිත් එව්වා සැක කරපල්ලා කියලානං මොකද්ද අනිත් ශ්‍රමණයන්ගෙයි බුදුහාමුදුරුවන්ගෙයි තියෙන වෙනස?
      …බුදුරජාණන් වහන්සේ කොහෙද එහෙම දේශනා කළේ????
      …උන්වහන්සේ දේශනා කළේ මේ මේ දේවල් කලොත් ඔබට මේ මේ දේවල් ලැබේවි/මේ දේවල් නොලැබේවි කියලා විතරයි. අනුගමනය කිරීම හෝ නොකිරීම ඔබ අතේ, කෙටියෙන් ම කිව්වොත් තම තම නැණ පමණින්! ඒක තමයි කැපීපෙනෙන වෙනස. ස්තූතියි අදහසට!

      Delete
    2. @ දිනුක ආයෙත් සැරයක් මේ පොස්ට් එක කියෙවුවොත් තේරේවි මොකක්ද කියල තියෙන්නේ කියල.

      Delete
    3. ඔව්, මමත් හිතනවා ආයෙත් කියෙව්වොත් හොඳයි කියලා!

      Delete
  5. බොහොම ස්තුතියි. වැදගත් ලිපියක්..

    ReplyDelete
  6. __ මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා ය කියලවත් පිළිගන්න එපා... කියන අවස්ථාවේ ශ්‍රමණයා කියලා එතන දී අදහස් කරලා තියෙන්නේ ඒ කාලේ ඉන්දියාවේ වාසය කල අනෙකුත් ශ්‍රමණයෝ............ එහෙම නැතිව බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්න එපා කියලා නෙමෙයි. __

    මේ කොටසට නම් මාත් එකග නෑ. බුදුන් කවදාවත් එහෙම දෙයක් කීවා කියලා නම් මාත් පිළිගන්නේ නෑ. බුදුන් කීවේ තමන්ගෙ ධර්මය දකින්න කියලා. බුදුන් කීවත් වෙන කවුරු කීවත් තමන්ගේම මනසින් නිවැරදි දේ දැකලා ඒ මාර්ගයේ යන්න කියලා.

    අද පෝය දවසේ මේ වගේ ලිපියක් දාලා අද දවසේ වැදගත්කම සිහිපත් කරපු එකටනම් ගොඩක් ස්තූතී.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම අදහස් කළ දේ ඔයාට තේරිලා නැහැ වගේ! ආයෙත් කියවලා බලන්නකෝ, බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කලා කියලා මම දාලා නැහැ නේද? මම කියන්නේ ඔබ ශ්‍රද්ධානුසාරී කෙනෙක් නම් කිසි ම ගැටළුවක් නැහැ, ඔබ ඍජුව ම බුද්ධ දේශනා පිළිගන්නවා. ඔබට තිසරණය ගැන සැක තියෙනවා නම්, පෘථග්ජනයෙක් නම් තමයි එහෙම හිතෙන්නේ.

      Delete
    2. ඔන්න මම නිවැරදි කිරීමක් කළා, නැත්තම් කෙනෙකුට මේ ගැන වැරදි වැටහීමක් එන්න පුලුවන් නේ...

      Delete
  7. අද දවසේ වැදගත් කම ගැන දැනගත්තා. ගොඩාක් හොඳ ලිපියක්.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !