බත සපයන නුඹේ සිතත් කුස වාගෙම පිරුණා නම්...

ඊයේ හදිසියේ ම වෙඩිමකට යන්න උණා පොළොන්නරුව පැත්තේ. වෙන කවුරුත් නෙවෙයි නැන්දාගේ පුතා. මෑන් හදිසියේ ම කෝල් එකක් දීලා කිව්වා අහවල් දවසේ බඳිනවා, පුලුවන් නම් එන්න කියලා. හරිනම් මඟුල් කියන ඒවා පිළිවෙලකට වෙන්න ඕන වුණත් ඒ මඟුල නම් ජංජාල ගොඩයි. (ඒ ගැන කියන්න වෙනම පෝස්ට් එකක් ඕන වෙයි වගේ) ඒ යන ගමන් හදිසි වැඩකට හිඟුරක්ගොඩ නගරයට යන්න වුණා. ඒ ගිහින් එද්දි මුහුණ පෑව සිද්ධියක් තමයි මේ...



තේරුම් ගන්න පුළුවන් නේ මොකක්ද සිද්ධිය කියලා. මම ඒ පැත්තේ මලයෙකුට කිව්වා මෙහෙම සිද්ධියක් වුණා කියලා. එයා කියනවා මේ ටිකේ ම ඒ පැත්තේ ඒ වගේ උද්ඝෝෂණ, පිකටින් වලින් අඩුවක් නැතිලු. ඇත්ත. ඒ මිනිස්සු ආසාවකට මෙහෙම පාරට බහින්නේ නෑනේ ගිනි කාෂ්ඨකේ පිච්චි පිච්චි. ඒ අයගේ ප්‍රධාන ඉල්ලීම තමයි ගොවීන් ගේ වී වලට සහතික මිලක් දෙන්න කියන එක. මේ දවස්වල මහ කන්නේ අස්වනු කැපෙන්න පටන් අරන්. ඒත් දැනගන්න ලැබුණ විදියට වසර 2005 සිට වී ගොවියාට ලබා දී ඇති සහතික මිල එනම් සම්බා වී කිලෝවකට රුපියල් 30 කුත් නාඩු වී කිලෝවකට රුපියල් 28 කුත් වන සහතික මිල අද වන තුරු වැඩි වෙලා නෑ. හැබැයි ඉතින් වී මිලට සාපේක්ෂව 2005 ඉඳන් අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වල මිල නම් රොකට් වේගයෙන් ඉහළ ගිහින්. උදාහරණ කිව්වොත් පරිප්පු මිල 72% කිනුත්, මුං ඇට කිලෝවක්‌ 111% කිනුත්, සැමන් 153% හාල්මැස්‌සන් කිලෝවක්‌ 63.8% කිනුත් රතුළූණු කිලෝවක්‌ 86% කිනුත් සුදුළූණු කිලෝවක්‌ 84% කිනුත් වැඩි වෙලා.

හැමදාමත් අස්වනු කැපෙන කාලෙට රජයෙන් කියනවා රු මිලිය xxxx ප්‍රමාණයක් වී මිලදී ගන්න වෙන් කළා කියලා. ඒත් හැමදාමත් ගොවියෝ වී විකුණලා තියෙන්නේ පුද්ගලික වෙළෙන්ඳන්ට ම විතරයි. සම හරක් ට හිතෙන්න පුලුවන් එහෙනම් පුද්ගලික අංශයෙන් ඊටත් වඩා වැඩි මිලකට වී ගන්නවා ඇති කියලා. ගොඩක් තැන් වල වෙන්නේ මේකයි. ගොවියෝ අස්වනු කපලා විකුණාගන්න රජයේ මධ්‍යස්ථාන වලට වී අරගෙන ගියා ම ඒකේ ඉන්න නිළධාරීන් කියන්නේ "තවම සල්ලි ඇවිත් නෑ, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නෑ, වී තෙත වැඩියි" ඔයවගේ කතන්දර. සමහර වෙලාවට ගොවියන්ට වාහනේ ට කුලිය ගෙවන්නවත් සල්ලි නෑ. ඔය වෙලාවට තමයි මිනී කාක්කෝ වගේ ඉන්න වී කාක්කෝ එතනට වහන්නේ. උන් එතනට ඇවිල්ලා කිලෝව රු 22-23 ට ඉල්ලනවා. වී ටික ආයෙත් අරන් යන්න තව පාරක් කුලී ගෙවන්න සල්ලි නැති ගොවියෝ කරන්නේ ඉල්ලන ගානකට වී ටික දීලා හූල්ල හූල්ල ගෙදර යන එකයි. මොකද ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා වී ටික විකුණලා කන්න මොනාහරි ගේනකල්. විළි වැහෙන්න ඇඳුමක් ගන්නේ, පුංචි වුන් ට පොතක් පෑනක් ගන්නේ ඔය තුට්ටු දෙකෙන් කියලා රෑට බත් ගිල ගිල ටීවි එකෙන් මේ වගේ නිව්ස් ආසාවෙන් රස විඳින ගොඩක් අය දන්නෙ නෑ.



අනිත් කතන්දරේ තමයි වී මාෆියාව. මහවැලි කලාප/ රජරට පැතිවල ඉන්න වී මුදලාලිලා, (මේ අය ගොඩක් වෙලාවට දේශපාලනඥයන් ගේ ළඟම නෑයෝ) අර වී ටික කුණු කොල්ලෙට එකතු කරගෙන තමන්ගේ විවිධ අයථා සම්බන්ධකම් පාවිච්චි කරලා රජයේ මධ්‍යස්ථානවලට ම සහතික මිලට අධික ලාභයක් තියාගෙන විකුණනවා. ඊට පස්සේ කන්නයක් විතර පහු වුණා ම රජය, ගබඩා ටික හිස් කරගන්න කියලා අර වී ටික අඩු මිලට විකුණනවා. ඒ වී ටික මිලට ගන්නෙත් අර මුලින් කිව්ව වී මුදලාලිලාමයි. සුළු/මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ටෙන්ඩර් ඉබේම අහෝසි වෙනවා. ඊටපස්සේ ඒ වී ටික එයාලාගෙම සහල් මෝල් වලින් සහල් කරලා අධික ලාභ තියාගෙන ලස්සන පැකට් වල දාලා මිනිස්සුන්ට විකුණනවා. ඔන්න ඕක තමයි ගොඩක් වෙලාවට ගොඩක් තැන් වල සිද්ධවෙන කතන්දරේ. කොහොමද වැඩේ?

වී මිල එක තැන තිබුණත් කෘෂි ආම්පන්න, බිත්තර වී, කෘෂි රසායන හා සී සෑම, අස්වනු නෙලීම ආදිය සඳහා වියදම් ඉහල යාම නිසා ගොවීයෝ අසරණ වෙනවා ගොඩක් වෙලාවට. ගොවි මුදලාලිලා හැරෙන්න සාමාන්‍ය ගොවියෝ බොහෝ වෙලාවට ණයට තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මිනිස්සුන්ට අස්වනු ප්‍රමාණවත් මිලකට විකුණාගන්න බැරිවෙලා ණයහිමියන්ට මූණදෙන්න බැරුව වහ බීලා මැරෙනවා කියන එක ඉස්සරහට රජරට පැත්තට ගොඩක් සාමාන්‍ය දෙයක් වේවි ඉස්සරහට. අනිත් එක ටිකක් හොයලා බලන්න දෙමළ ජනයා බහුතරයක් සිටින වතුකරය හැරුණු විට විරැකියාව, දරිද්‍රතාවය, ගැබිනි හා ළමා මන්ද පෝෂණය, ළමා විවාහ, අඩු අධ්‍යාපනය වගේ සාධක ඉහල මට්ටමක තියෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොණරාගල වගේ බහුතරය ගොවියන් ඉන්න දිස්ත්‍රික්ක වල.

1970 දශකයේ අග භාගයේ ඉඳන් විවිධ රජයන් විසින් ක‍්‍රියාවට නැංවූ, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත වෙලඳපොල ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ ගොවි ජනතාවට බරපතල ප‍්‍රහාර එල්ල වුණා. මේ යටතේ වී අලෙවි මණ්ඩලය, සමුපකාර තොග වෙලඳ සංස්ථාව හා සීමා සහිත ශ‍්‍රී ලංකා අලෙවි සම්මේලනය (මාක්ෆෙඩ්) විසින් සිදු කළ වී සහ සෙසු ධාන්‍ය මිල දී ගැනීම් ක‍්‍රමානුකූලව නතර වුණා වගේම බිත්තර වී, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය සහ ගොවි උපකරණ අලෙවිය පුද්ගලික අංශය අතට මාරු වුණේ කාටවත් නොදැනී.

ගොවියෝ ඉල්ලන්නේ තමන්ගේ වී වලට සහතික මිලක්. නැතුව තෙල් මිල අඩු කරන්නවත්, නෙළුම් පොකුණක්වත්, දරුවන්ට සුපිරි පාසලක් ඉල්ලලාවත් නෙවෙයි. ඒ වෙනුවට එයාලට ලැබෙන්නේ ගොවි විශ්‍රාම වැටුප් කපා හැරීම්, වෙලාවට පොහොර සහනාධාරය නොලැබීම් වගේ දේවල් විතරයි. මිනිස්සු ගොවිතැනෙන් ඈත් වෙන්නෙත් මේ දේවල් හින්දා වෙන්නත් ඇති. දැන් ඉන්න තරුණ ප්‍රජාව ගොවිතැනෙන් ඈත් වුණා ම කවුද ඒවා ඉස්සරහට අරගෙන යන්නේ? මහවැලි ඉඩම් දැන් දැන් අක්කර ගණන් වෙන වෙන වගාවන් සඳහා බද්දට දෙන්න පටන් අරන් තියෙන්නෙත් මේ හේතුව නිසා නෙවෙයි කියලා කාටද කියන්න පුලුවන්? මෙහෙම ගියොත් පරණ කාලේ ඇති කළ ගොවි ජනපද ව්‍යාපාරය/ මහවැලි ව්‍යාපාර වල අරමුණු අද හෙටම බිඳ වැටෙන එක නම් සිකුරුයි... සමහරවිට පිටරටින් සහල් ගෙනල්ලා කෑමේ වාසනාව උණත් අපට ලැබෙන්න පුළුවන්!

ප.ලි: ෆොටෝ ගත්තේ නම් ෆෝන් එකෙන්. හැබැයි ටිකක් බයෙන්. හොරෙන් නේ ගත්තේ. ඒක කවුරුහරි දැක්කා නම් වාහනෙත් කුඩු කරගෙන එන්න වෙන්න තිබ්බා...

24 comments:

  1. //හැමදාමත් අස්වනු කැපෙන කාලෙට රජයෙන් කියනවා රු මිලිය xxxx ප්‍රමාණයක් වී මිලදී ගන්න වෙන් කළා කියලා. ඒත් හැමදාමත් ගොවියෝ වී විකුණලා තියෙන්නේ පුද්ගලික වෙළෙන්ඳන්ට ම විතරයි.//
    ඒකට හේතු ගනනාවක් තියනව. උඹ කියන ඒවට අමතරව තව තියනව. මම කියන්නං අපේ ගමට තියන අවුල. අපේ ගම කිට්ටුම නගරයේ තියනව මුදලාලි කෙනෙකුගේ මිලදී ගැනීමේ මධ්‍යස්තානයක්. කිට්ටුම රජයේ මධ්‍යස්ථානය තියෙන්නෙ ඊටත් එහා නගරයේ. මිල වාසිය ප්‍රවාහනයට කැපිල යනව. බූතයගෙන් ගොයම් පෑගීම සිදුකලාම වී වල තෙත ගතිය තියනව. රජයට දෙන්න බෑ ඒ වී. අනිත් අතට ඒවා වියලාගැනීමේ පහසුකම් ගොවියට නෑ.(නිකමට හිතල බලන්න වී මළු 100ක් විතර අව්වේ දාල වේලන්න කොච්චර මහන්සියක් දරන්න වෙනවද කියල). ඉතිං ඒකටත් විසදුම පොඩි ගනනක් හරි අඩුවෙන් මුදලාලිට ‍දීම. (එයා වේලතන්නෙ නැතෑ). අනිත් කාරණාව, අපේ ගමේ මුදලාලි ගනිමු. ගොවියන්ට අවශ්‍ය තෙල් පොහොර ගන්නෙත් මේ මුදලාලිගෙන්ම තමයි. ණයට ගන්න වෙලාවලුත් තියනව. ඒ වගේ වෙලාවලට මුදලාලිට කලගුණ සලකන්නත් එපැයි. ඔයවගේ ගැටළු බොහොමයක් තියනව. මම නං කියන්නේ ආණ්ඩුවෙ මිල පාලනය සහ මිලදී ගැනීම නවත්තල දාන්න ඕන. එතකොට ඉල්ලුම අනුව සැපයුම තියේවි. රටින් හාල් ගෙන්නන්නත් ඉඩ දුන්නනම් වී හංගන මහා පරිමාණ මුදලාලිලගෙ පාලනයෙන් මිදිල මේ තියන උච්චාවචනය අඩු වේවි.

    ReplyDelete
    Replies
    1. ඒත් මම හිතන්නේ අයියේ රජයේ පාලනයක් තියෙන්නෝන කියලා, නැත්තම් මිල පාලනයක් වෙන එකක් නැතිවෙයි නේද? හිතූ හිතූ වෙලාවට මිල ගණන් තීරණය කරයි එයාලා. දැනටමත් වියළි කලාපේ තියෙන්නේ අයියා ඔය කියන මුදලාලි ක්‍රමය තමයි. ඒ වුණත් ගොවියෝ හැමදාම මහපාරේ..

      Delete
  2. මේ ජිවිත වලට එබෙන්න ඒ අයට උවමනාවක් නැහැ අය්යේ...මේවායින් ගොඩක් වෙලාවට අතරමැදියොත් හොඳ ලාබයක් බලාපොරොත්තු වෙනවා.ඒත් හැමදාම දුක විඳින්නේ මහන්සි වෙලා පවුල බලාගන්න දහදුක් විඳින අහිංසක ගොවිමහත්වරුයි...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මල්ලි ඒ ගැන නම්. සූරා කෑමේ උපන් හපන්නු...

      Delete
  3. ආර්ථිකේ ශක්තිමත් කරන්න ඕන කියලා හැමෝම කිවුවට මේ ආර්ථිකේ වැදගත්ම තැන ගැන දක්වන උනන්දුව ඇත්තටම අඩුයිනේ...

    ReplyDelete
    Replies
    1. හේතුව කොමිස් ලැබෙන්නෑනේ ඔය ෆීල්ඩ් එකේ!

      Delete
  4. මට නම් හිතෙන්නේ වී ගොවිතැනට විතරක් නෙවෙයි ලංකාවෙ කෘෂි කර්මාන්තයම එකම අච්චාරුවක් කියලා..හැමෝම සාම්ප්‍රදායිකව හිතලා තමයි තීරණ ගන්නෙ නැත්නම් එහා වත්තෙ මනුස්සයා කරන දේ..විද්‍යාව තාක්ෂණය අහලකවත් නෑ..

    ඉතින් පොඩක්ටිවිටි එක බිංදුවයි...මේක නිකම් විෂස් සයිකල් එකක් වෙලා..

    ස්තුතියි ලහිරු හදවතින් ලියලා කියලා පේනවා..ඒත් අපි විද්‍යාත්මකවත් හොයලා බලන්න ඕන මොකද්ද රූට් කෝස් එක කියලා..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අක්කේ, මේ රටේ විද්‍යාත්මකව කරන දේවල් තේරුම් ගන්න තරම් මොළයක් තියෙන පරිපාලකයෝ හරි අඩුයි. කවදාවත් වැඩක් කරන මනුස්සයෙකුට තැනක් දෙන්නෙ නෑ, ඔය මිනිස්සු ට්ක අල්ලගෙන නගුල් වලටයි වියගස් වලටයි බඳිනකල් මොනම වැඩක්වත් හරියන්නෙ නෑ....

      Delete
  5. දැක්කාද අර එළවලු ගොවියන්ගෙන් එළවලු කුණු කොල්ලෙට අරන් ලොකු ගණන් වලට විකුණන මහා ලොකු මුදලාලිලා.
    දේශපාලනේට ගිය රටක් මේක සහෝ..
    උද්ගෝෂණය කළා කියලා මොනාද ලැබුනේ. වෙඩි උණ්ඩයක් සහ අඩි හයක් ගැඹුරු වලක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, අපිටත් ඔලුව නවාගෙන ඉන්න වෙලා. ඒකයි අර කහවත්තේ මිනිස්සුත් නීතිය අතට ගත්තේ...

      Delete
  6. තැලෙන මිනිසුන් ගේ දුක දන්නේ තැලෙන මිනිස්සුම විතරයි..

    ReplyDelete
    Replies
    1. යන විදියට නම් ඔය වලෙන් ගොඩ ඒමක් නම් නෑ සහෝ!

      Delete
  7. දැන් අපේ පැත්තේ නම් නාඩු 60 යි. සම්බා 70 යි... ඉතින් 22,23,28,30 කියන ගණන් වලට ඉල්ලනවා කියන්නේ සහ ගහන අපරාධයක් නේද?

    අන්තිමට අඩු මුදලට විකුණන ගොවියත් පැරදිලා, වැඩි මිලට ගන්න අපිත් පැරදිලා.. අතරමැදියා විතරක් දිනලා....

    ReplyDelete
    Replies
    1. 22-23 කට හරි ගන්නවා නම් ඒත් ලොකු දෙයක්, සමහර වෙලාවට 17-18 ට යන වෙලාවලුත් තියෙනවා. මොනව කරන්නද දුප්පත් මිනිස්සු උඩ බලාගෙන දෙයියන්ටවත් කියනවා ඇරෙන්න...

      Delete
  8. මේ ප්‍රශ්නෙ මම දැක්කෙ පොඩි කාලේ කෘෂි විද්‍යාව ඉගෙන ගන්න කාලෙදිමයි.අපිට උගන්නපු ක්‍රමවේද එක්ක බලද්දි ගොවියන්ට පාඩු වෙන්න කිසිම හේතුවක් පේන්න තිබ්බේ නෑ.පස්සේ පොඩ්ඩක් ප්‍රශ්නය අධ්‍යයනය කරද්දි මට තේරුණේ මේකෙ අවුල තියෙන්නේ ගොවියො කම්මැලි වීම සහ කිසිම එකමුතුවක් නැති කම.

    මුලු යායෙම එකම කාලේ පීදෙන වී ජාතියක් වැපිරුවොත් සත්තු බෝ වෙන එක අඩුයි.ඒ වගේම යායම එක පාර නඩත්තු කරන්නත් පහසුයි.ඒ වගේම ගොවි සංවිධානවලින් එක ගමකට එක වී ගබඩාවක් සහ වී මෝලක් නඩත්තු කරන්න උත්සාහ කළොත් ඒ අයට අතරමැදියො නැතුව අවසාන නිශ්පාදනයක් වෙළඳපොළට එකතු කරන්න පුළුවං.වැඩේ ටිකක් කරදරයි වගේ පෙනුනත් මහන්සියේ තරමටත් වඩා ප්‍රථිපල තියෙනවා.

    අනිත් එක අපේ ගොවි මහත්තුරු කුඹුරට පෝර දාන්නෙ උවමනාවට නෙමෙයි.ටීවී එකේ ඇඩ් දාන හින්දා.රජයෙං දෙන මුළු පෝර පැකට් එකම ඔහේ වෙලට විසි කරනවා මිසක් ඇත්තටම ඒ පසට මොනවද ඕනෙ කරන්නෙ කියලා එයාලා හොයලා බලන්නෙත් නෑ.කවුරුවත් ඒ අයට ඒ ගැන කියලා දෙන්නෙත් නෑ.

    ඔය පළවෙනි කොමෙන්ට් එක දාලා තියෙන රාජ් සහෝදරයා කිය්ලා තියෙන දේ කොරලා ගොවියන්ට මේ තියෙන දේත් නැති කරගන්න තමයි වෙන්නෙ.මම හිතන්නේ නෑ ඒ සහෝදරයට වර්ථමාන වෙළඳ රටාව ගැන සුළු හෝ අවබෝධයක් තියෙනවා කියලා.එහෙම නැත්තං එතුමාත් ඔය ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති.මිනිස්සු කියලා ජාතියක් ගැන අහලා නැති, ශ්‍රමය සහ ලාභ ගැන විතරක් අහලා තියෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ගොවියෝ ඔහොම වගා කරලා ලැබෙන අස්වැන්න හරියට විකුණාගන්න, පොහොර හරියට බෙදාහරින්න වගේ අරමුණු ඇතුව තමයි ඔය ගොවි සංවිධාන ක්‍රමය හැදුවේ, ඒත් හැමදේම දැන් දේශපාලනීකරණය වෙලා. එතකොට කොහොමද ගොවියෝ එකමුතු වෙන්නේ. කළුගලේ ඔලුව ගහගන්නේ මොකටද කියලා වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉන්නවා ඇරෙන්න. පුලුවන්නම් දේසපාලුවන්ට බෙහෙතක් දෙන්න විදියක් හොයාගන්න ඕන. සහෝ හිතනවද දන් තියෙන වෙළඳපොළ රටාව වෙනස් කරන්න ඔය මැරයෝ ඉඩ දෙයි කියලා? තමන්ගේ හෙංචයියොන්ට පාඩුවෙන විදියට. කවදාවත් නෑ මම හිතන්නේ. කරන්න පුළුවන් නම් හොඳයි. ගොවියෝ හරියට කහවත්තේ මිනිස්සු වගේ නිර්භීත වෙනවානම් ප්‍රායෝගිකව බැරිකමකුත් නෑ, ස්තූතියි අදහසට...

      Delete
    2. දිනුක සහ ලහිරු.
      දිනුක දන්නවද දන්නෙ නෑ ලොකු යායක වගාවන් කෙරෙන පිලිවෙල. මම නං දන්නව. එතනදි කෘෂිකර්මයට උගන්නපු දේවල් වල තියන අප්‍රායෝගිකත්වය තේරුම්ගන්න නං කුඹුරට බහින්නම වෙනව ගොයියෝ. චුට්ටි උදාහරණයක් දෙන්නම් අපේ යාය ගැන. අක්කර දාහක විතර විශාලයි අපේ ගමේ කුඹුරු යාය. ගමට තියෙන්නෙ ට්‍රැක්ටර් අඩු සංඛ්‍යාවක්. එතනදි එකසැරේ වගාකිරිල්ල කරන්න වෙන්නෙ නෑ. වගාවන් වල උපරිම අන්තරය සති දෙකතුනක් වීම වලක්වන්න වයිමට වත් බෑ. කුඹුරට කෙල් පෝර ගැහිල්ල ගොවියන් අනවශ්‍ය විදියට කරනව කියල කියන්නෙ මාධ්‍ය තුලින් කුඹුරු කරන අපේ දේශපාලන සහ රජයේ නිලධාරී මහත්වරු. ඒ ගැන කතාකරල වැඩක් නෑ. දැනට වඩා ඉතාම අඩුවෙන් තෙල් පොහොර යෙදූ කාලයක් තිබුන. ඒ කාලෙ අස්වැන්න ප්‍රමාණය අදට සාපේක්ෂව ඉතා පහල අගයක් ගත්ත.
      //මම හිතන්නේ නෑ ඒ සහෝදරයට වර්ථමාන වෙළඳ රටාව ගැන සුළු හෝ අවබෝධයක් තියෙනවා කියලා.//
      :)
      අද තියෙන්නෙ විවෘත වෙලද රටාවක්. ඉස්සෙල්ලම ඒක අවබෝධ කරගන්න. ඔයා ඔය කියන ක්‍රමය ‍සමාජවාදී රුසියාවෙ තිබුන ඒකාලෙ. එහේ තිබුනෙ ඔය විදියටම තමයි. ගම්වල තිබුන ඔයවගේ වැඩපිළිවෙලවල්. ඒක ගැන කියන්න යන්නෙ නෑ හොයල බලන්න.

      අන්තිම කාරණය මගේ යෝජනාව ගැන.
      මම කියන්නෙ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි විවෘත ආර්ථික ක්‍රමයට අනුගත වෙන්න අපිට සිද්ධ වෙනව. ඒකයි මම යෝජනා කලේ ඒ වැඩපිලිවෙල.
      දැන් තියන ක්‍රමයේදි සිද්ධ වෙන්නෙ මෙහෙමයි.
      ‍1.ගොවියන්ගේ අස්වැන්න අවුරුද්දට දෙපාරක් ලබාගන්නව.
      2.පිටරටින් වී/හාල් ගෙන්නන්න වෙලෙන්දන්ට බෑ.(මොකද රජයේ අධික බදුබර හා ගෙන්වීමට යොදා ඇති සීමා.
      3.රජය කරන්නෙ වී අස්වැන්නෙන් ටිකක් මිලදීගන්නව.(ඒවට වෙනදේ රූපවාහිණියෙන් දකින නිසා ඒගැක කියන්න යන්නෙ නෑ ,ඒවායේ බරත් අපේ පිටටමයි පැටවෙන්නෙ)
      4.වෙලදුන්ට වී/හාල් පිටරටින් ගෙනඒමට ඇති බාධාව නිසා අස්වැන්න කැපෙන කාලෙට වී ගොඩගසාගන්නා, රජයේ අනුග්‍රහය ලබන වීමෝල් හිමියන් කාලෙන් කාලෙට කෘතීම මිලක් ඇතිකරනව.

      මම දක්න ආකාරයට පවතින ආර්ථික ක්‍රමය ඇතුලෙ දෙන්න පුළුවන් විසදුම ඇතිකරල තියන සීමාවන් ඉවත් කිරීම. එතකොට සරල ඉල්ලුමට සැපයීමේ න්‍යාය යටතේ ක්‍රියාත්මක වේවි.

      එහෙමත් නැත්තං ඔයාල කියන විදියට සියල්ලම රජයේ මැදිහත් වීමෙන් කරන්න සිදුවේවි.(සමාජවාදී ක්‍රමයේදි වගේ)

      හොද සහ ප්‍රායෝගිකව කරන්න පුළුවන් මොකක්ද කියල ඔයාලම තීරණය කරන්න.

      අන්තිමටම:-//එතුමාත් ඔය ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති.මිනිස්සු කියලා ජාතියක් ගැන අහලා නැති, ශ්‍රමය සහ ලාභ ගැන විතරක් අහලා තියෙන.//
      මම කවුද කියන එක දන්න පිරිස නං බ්ලොග් අවකාශයේ ඉන්නෙ ඉතාමත් සුළු පිරිසක්. ඒ නිසා හරියටම දන්නෙ නැතුව නිගමන වලට එනඑක හොද නැහැ නේද?

      Delete
    3. මම නම් හිතන්නේ අයියේ පිටරටින් හාල් ගේන එක නම් හොඳ විසඳුමක් නෙවෙයි කියලා, මොකද නැ:ඈසියානු රටවල් වල වී කිලෝවකට යන පිරිවැය අපිට සාපේක්ෂව ගොඩක් අඩුයි, හේතුව තාක්ෂණය වෙන්නෝන, ඉතින් ඒ රටවල් වලින් ගොඩක් අඩු මිලට හාල් ගේන්න පුළුවන්. එතකොට දැනට පුද්ගලික අංශයෙන් වී ගන්න තරම් වත් ගන්න එකක් නෑ. මගේ අදහස නම් මේක රජය අතට ගන්නෝන කියලයි. මේක ව්‍යාපාරයක් මිසක් සේවාවක් නෙවෙයිනේ. හරියට කරනවා නම් උපරිම ලාභ ගන්න පුළුවන්. එහෙම උණ කාලයකුත් තිබුනා කියලා අපි අමතක කරන්න නරකයි. බත් කියන්නේ හැමෝම හැමදාම කන දෙයක් නේ. ඒ නිසා නිවරදි කළමනාකරණයකින් කරනවා නම් රජයට පාඩු වෙන්නේ නෑ, අතිරික්තය අපනයනය කරන්න වුනත් පුලුවන් නේ. ඉස්කෝලේ උගන්නන කෘෂිකර්මය ප්‍රායෝගික නෑ කියල මමත් පිලිගන්නවා අයියේ....
      …රාජ් අයියා ගැන හරියට ම මමත් දන්නෙ නතිවුණත් ව්‍යාපාරිකයෙක් නෙවෙයි කියලා නම් මමත් හිතනවා. (ඒවා එක එක්කෙනාගේ පුද්ගලික අදහස් නේ අයියේ, ඒවා ගණන් ගන්නෙපා. ). ස්තූතියි ආයෙමත් මේ පත්තේ ආවට!

      Delete
  9. වී ගෝවියෝ විතරක්ම නෙමෙයි පහුගිය ටිකේ තක්කාලි වගා කරන ගොවීනුත් පාරට බැහැලා පිකටින් කලා.

    වී අස්වනු නෙලල එක කිට්ටු කරලම වී ගේනවා එතකොට ලංකාවේ ගොවියෝ වහ බොනවා. ඊට වඩා හොද නැද්ද සහතික මිලක් දීලා ලංකාවේ ගොවින්ගෙන් විතරක්ම වී ගත්තා නම්...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තව ටික දවසකින් වස වල මිල අඩු කරයි, එතකොට ලේසියෙන් ම ප්‍රශ්නේ විසඳෙනවනේ!

      Delete
  10. වැඩියෙන්ම සැලකුම් ලබන්න ඕන මිනිස්සු හැමදාමත් දුක් විඳිනවා...මේවා දකිනකොටත් දුකයි..

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ඇස් කන් වැහිලා අක්කේ මේවා දකිනකොට...

      Delete
  11. සයුරිගෙ අදහස් සමග සපුරා එකග වෙමි, කොහොමත් මෝල් කාරයොයි අතරමැදියොයි ගොවියව විකුනන් කනව,

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !