මාර වැඩ කරන මාරයා...


අපිට මාර සීන් එකනේ වුණේ, ඒක නම් මාර වටිනවා, අද මාර කේස් එකක්නේ වැටුණේ, එද්දි මාර වැඩක් වුණානේ, ඌ මාර ගැහිල්ලක්නේ ගහන්නේ, මාර නෝන්ඩියක්නේ වුණේ, ඒ යකා මාර මිනිහෙක් නේ, මාර කෑමක් තමයි කෑවේ... වගේ මාර වචන ගොඩක් තියෙනවා මාරයා ගැන. හැබැයි කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා මේ කියන්න යන්නේ උතුරු පළාතේ බයිසි මොටෝවෙන් කරක් ගහන, මාරයාගේ හෝරාව ලියන මාරයා අයියා ගැන එහෙම නෙවෙයි ඔන්න! මේ කියන මාරයා උතුරු පළාතේ විතරක් නෙවෙයි ලෝකේ පුරා අස්සක් මුල්ලක් නෑර ම යනවා, දවසක අනිවා අපි ළඟටත් එනවා.

අද නවම් පුර පසළොස්වක පෝය දවස. ඒ නිසා ම ලියැවුණු සටහනක් මේ. කියන්න යන්නේ යහපත් දේට නිතර ම බාධා කරන වසවර්ති මාරයා ගැනයි. අහලා ඇතිනේ නේද ඔයාලා. යහපත් දේ ට බාධා කරන්න මාරයා ට ඉන්නවා මාර සේනාවක්. කාමය, අරතිය, බඩගින්න හා පිපාසය, තණ්හාව, නිදිමත ගතිය, සැකය, බිය ... ආදී වශයෙන් දහ දෙනෙක්ගෙන් සමන්විත සේනාවක් තමයි ඒ. අපි දස මාර සේනාව කියන්නෙත් ඒකට තමයි. අපි බලමුකෝ මාරයා කියන්නේ කවුද කියලා. මාරයා කියන්නෙත් ශක්‍ර දෙවියන් වගේ ම එක්තරා තනතුරක්. ශක්‍ර දෙවියන් සම්‍යක්දෘෂ්ඨික චරිතයක් වෙන අතර ම මාරයා කියන්නේ මිථ්‍යාදෘෂ්ඨික චරිතයක්. අපි තනතුරක් දරද්දි ඒකේ කාලය ඉවර වුණා ම යන්න වෙනවා වගේ ම තමයි ශක්‍ර දෙවියන් ටත්, මාරයා ටත් තමන් ගේ ආයුෂ ඉවර වුණා ම එයින් නික්මිලා යන්න වෙනවා. හැබැයි ඒ ආයුෂ කියන්නේ අපේ වගේ අසූවක් සීයක් වගේ නෙවෙයි සමහර විට කල්ප ගානක් වුණත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයෝ සත්වයාගේ සසර කෙටි කරන්න උත්සහ කරන අතරෙ ම මාරයා උත්සහ කරන්නේ සත්වයා සසරින් එතෙරවෙන එක වළක්වන්නයි.

සමහරු කියනවා මේ මාරයා කියන්නේ සංකල්පයක් කියලා. ඒ වුණත් ඒක වැරදියි. එහෙම කියන්නේ ඇයි දන්නවද? වරක් බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේදි දේශනා කරනවා "මහණෙනි මෙලොව මාර බලය තරමට දුක සේ මැඩලිය යුතු වෙනත් බලයක් බුදු ඇසට නොපෙනේ" කියලා. ඒ වගේ ම "අධිපති බව දරන්නවුන් අතරින් මාරයා ම අග්‍ර වෙනවා " කියලත්. ඒ වගේ විවිධ බුද්ධ දේශනා විමසලා බැලුවම මාරයා කියන්නේ සංකල්පයක් නෙවෙයි කියන එක තහවුරු වෙනවා.

සිදුහත් කුමාරයා අනාගතයේ බුද්ධත්වයට පත් වෙන බව කලින් ම දැක්ක මාරයා ඒක වළක්වන්න උත්සහ කළේ සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරද්දිමයි. තව දවස් හතකින් අනිවාර්යෙන් ම සක්විති රජ වෙන බවත් එවිට හිමාල කන්ද රන් බවට පරිවර්තනය කරලා දෙන්නත් පුළුවන් කියලා මාරයා පොරොන්දු වෙනවා සිදුහත් කුමාරයා බුද්ධත්වයට උත්සහ නොකරනවා නම්! ඒ වගේ ම තණ්හා, රතී, රගා කියන මාර දූවරුන් ගේ කතාවත් අහලා ඇති නේ. ඊළඟට ආයෙත් උත්සහ කරනවා දුෂ්කර ක්‍රියා කරන කාලයේ දී. සිදුහත් තවුසා බුද්ධත්වයට පත් වෙන්න කලින් දවසේ මාරයා ඒකට බාධා කරන්න මහා සුළඟක්, සැඩ පහරක්, පර්වත වර්ෂාවක්, අවි වර්ෂාවක්, අළු වර්ෂාවක්, වැලි වර්ෂාවක්, ඝන අඳුරක් මැව්වා වුණත් බෝධිසත්වයන්ට වත් ශ්‍රී මහා බෝධියටවත් කිසිම හානියක් කරන්න පුළුවන් වුණේ නෑ. පූජාවලියේ ඔය ගැන ලස්සන විස්තරයක් තියෙනවා.

මාරයා බුරජාණන් වහන්සේ ට විවිධ විදියට බාධා කරලත් තියෙනවා. එක එක විදියේ බ්‍රාහ්මණයෙක් , ගොවියෙක්.... වගේ වෙස් මවාගෙන ධර්මය දේශනා කර තැන් වලට ඇවිත් බාධා කරනවා, ධර්මය අහන අයගේ අවධානය කැඩෙන විදියට. මාරයා බුදුරජාණන් වහන්සේ ට විතරක් නෙවෙයි රහතන් වහන්සේලා ටත් බාධා කරනවා. එක වරක් මුගලන් මහ රහතන් වහන්සේ ට දරුණු උදරාබාධයක් වැළඳුනා. උන් වහන්සේ ඒ ගැන සොයා බලද්දී මාරයා කුස තුළට රිංගලා පෙරළි කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ මාරයා ට මෙහෙම කියනවා. "බුද්ධ ශ්‍රාවකයන් ට කරදර කරලා තවත් සසර දික කරගන්න ද හදන්නේ, මමත් පෙර භවයක දුසී නමින් මාරයෙක් වෙලා ඉපදිලා සිල්වතුන් ට කරදර කරලා බොහෝ පව් රැස් කරගෙන නිරයේ ගොඩාක් කාලයක් දුක් වින්දා " කියලා. මාරයා එතනින් ඉවත් වෙලා යනවාත් එක්කම උදරාබාධයත් හොඳ වුණා.

මතකයිනේ බුද්ධ පරිනිර්වාණයට කලින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ට 16 වරක් ම මතක් කරනවා ආරාධනා කලොත් උන්වහන්සේට කල්පයක් වුණත් වැඩ වසන්නට හැකියාව තියෙනවා කියලා, ඒත් ඒ හැමවෙලාවකම මාරයා ආනන්ද ස්වාමින් වහන්සේගේ සිතට බලපෑම් කරලා ඒ ඉල්ලීම කරන්න අමතක කරවනවා. එහෙමත් කරලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ට පිරිනිවන් පාන්න ආරාධනා කරනවා වගේ ම බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනා පිළිගන්නවා. සෝවාන් ඵලයත් සාක්ෂාත් කළ ආනන්ද ස්වාමින් වහන්සේට බලපෑම් කරන්න මාරයා ට පුළුවන් නම් මාරයා සුළුපටු කෙනෙක් නෙවෙයි නේද?

කොහොමත් දුසිල්වත් අයට මාරයාගෙන් හිරිහැරයක් නෑ, ඒ අය ව ආරක්ෂා කරන ගමන් ම ඒ වගේ වැඩට තවත් යොමු වෙන්න පරිසරය සකස් කරලා දෙනවා. පිනට, පින් සිත ට තමයි මාරයා හිරිහැර කරන්නේ. යහපත් දේවල් වලට බොහෝ සේ බාධා කරන්නේ, දැන් බෑ, පස්සේ වෙලාවක කරනවා, ඊළඟ පෝයට ම සිල් සමාදන් වෙනවා ආදී වශයෙන්! මාරයා කැමතියි මේ ලෝකේ නරක වැඩ කරන ප්‍රමාණය වැඩි වෙලා හොඳ දේවල් කරන අයගේ ප්‍රමාණය අඩු වෙනවා නම්. ඒකට හේතුව එතකොට තමන් ට ඕන විදියට ලෝකය හසුරුවා ගන්න පහසු වෙන එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මිනිස්සු යහමගට ගන්නවට මාරයා බාධා කරන්නේ. ඒ කාලෙට හොඳ මිනිස්සු ප්‍රමාණය වැඩි වෙලා නරක අඩු වෙනවා වගේ ම ලෝකය මාරයාගේ වසඟයේ පවත්වාගන්නත් අමාරු වෙනවා.

අද නවම් පෝය නිසයි මේ වගේ වෙනස් දෙයක් දාන්න හිතුණේ! කලින් පෝයවලට දැම්ම පෝස්ට් බලනවා නම් මෙතනින් ගිහින් බලන්න. සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙතින් අගසව් තනතුරු ලැබීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිද්ධ වුණ පෝය දිනයක් මේ. නිවනින් මෙහා මාර බලපෑමෙන් මිදෙන්න බැරි වුණත් පෘථග්ජනයෙක් නොවී ප්‍රමාද නොවී මේ බුදු සසුනෙදි ම ආර්ය ශ්‍රාවකයෙක් වත් වුණොත් ටිකක් හරි රැකවරණයක් තියේවි යාළුවනේ!


ෆොටෝ එක ගත්තේ : http://apisinhalanews.blogspot.com/2011/10/blog-post_6077.html

24 comments:

  1. දාසක් යුගත්හි අවි යුත් - ගෙන මාර සේනා
    කෝපෙන් නැගී ගිරි මෙවුල් - එත මාර දෙව් පුත්
    දානාදි ධර්ම බලයෙන් - දිනුවෝ මුනින්දෝ
    ඒ තේජසින් ඔබට බෝ - ජය මංගලම් වේ...

    "බාහුං සහස්ස" ගාථාවෙන් කියන්නෙත් බුදු හාමුදුරුවෝ මාර පරාජය කළ හැටි..වටින ලිපියක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. ජයමංගල ගාථා පුරාවට ම තියෙන්නේ ඒ වගේ අභියෝග ගැන නේද අක්කේ...!

      Delete
    2. ඔව් නේ..නාලාගිරි දමනය, ආලවක දමනය..ඒවාට කියන්නේ දස මාර පරාජය කියලා මගෙ හිතේ..

      Delete
    3. දස මාර සේනාව, ඒ කියන්නේ මම උඩින් කිව්වා වගේ කාමය, අරතිය, බඩගින්න හා පිපාසය, තණ්හාව, නිදිමත ගතිය, සැකය, බිය ... කියන දේවල් පරාජය කරලා බුද්ධත්වය සාක්ෂාත් කළ එකට තමයි අක්කේ දස මාර පරාජය කියන්නේ!

      Delete
    4. මෙම සිංහල පිරිවර්තනය නෙට් එකේ බාගන්න තියෙනවද?

      Delete
    5. https://www.youtube.com/watch?v=NqvceQk3OIc බාගන්න තැනක් නම් මට හොයාගන්න බැරි වුනා සහෝ, හැබැයි මේ යූ ටියුබ් ලින්ක් එකෙන් ගිහින් අහන්න නම් පුළුවනි සිංහලෙන්

      Delete
  2. මාර සීන් එක මම හිතුවේ මාරයා ගැන කියන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒකයි මම මුලින් ම කිව්වේ!

      Delete
  3. මාරයා ගැන මාර කතා සෙට් එකක්.
    ගොඩක් වටිනවා මේ කතා ටික !!!

    ReplyDelete
  4. මාර ටොක්ස්නේ උබ දෙන්නේ...මාර කතාව ලොක්කා...මාරෙටම වටිනවා..

    ReplyDelete
  5. මාරයි ලොක්කා....ගොඩාක් පින් පොය දවසේ මේවා මතක් කරලා දුන්නට

    ReplyDelete
  6. අද දවසේ කියවපු වටිනා කියන ලිපියක්.. මාරයා අපි කාගෙත් වගේ හිත් වල ඉදන් බලපෑම් කරනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒත් ඒක තේරුම් අරන් ඒකට අහු නොවී ඉන්න එක තමයි ලොකු ම ගේම !

      Delete
  7. මාරයි. පෝයදා ස්පෙෂල්!

    ReplyDelete
  8. ලහිරු, හරිම වටිනවා මේ වගේ දවසක මෙහෙම දෙයක් පල කරපු එක. ඔයාලගෙ වයසට මාරයා ගැන බොහෝ දෙනෙක් හිතන්නෙත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි අක්කේ මේ පැත්තේ ආවට!

      Delete
  9. ගොඩක් වටිනා ලිපියක් ඇතැම් කරුණු දැනගත්තේ අදයි.අතුතියි යාළුවා.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !