"පුතේ... මෙන්න ලියුමක් ඇවිල්ලා, රතු පාට එකක්. හමුදාවෙන් වෙන්ටැ මයේ හිතේ". ලියුමක්! මට ලියුම් කොහෙන් එන්නද, මම ම දාගත්තොත් මිසක්. මම මට ම කියාගත්තෙමි. ඊයේ රාත්‍රිය පුරා බසයේ පැමිණ නිවසට ළඟා වූයේ අද පාන්දර 5 ට පමණ ය. පැමිණි විගස ම ඇඳුම් ගලවා දමා හුරු පුරුදු සරමට මාරු වුණේ අඩියට දෙකට ළිඳට ගිහින් මුණ කට සෝදා යන්තම් ඇඳට පැනීමටයි. පැය හතරක පහක පමණ සුව නින්දක් ලැබූ මා නැවත පිබිදුණේ අම්මාගේ ලියුම ගැන වූ කතාව නිසා ය.
මා හමුදාවට බඳවාගත් බවත් වහා ම හැරෙන තැපෑලෙන් පනාගොඩ යුධ හමුදා කඳවුරට වාර්තා කරන ලෙස දන්වා මීට සය වසරකට පෙර ලැබූ ලිපිය හැරෙන්නට අප නිවස මා නමින් ලිපියක් පැමිණ නැත. මා වහා ම ඇඳෙන් බිමට පැන්නේ ලිපිය කුමක්දැයි විමසා බලනු පිණිස ය. පියා මිය යන විට පාසලේ උසස් පෙළ හදාරමින් සිටි දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මා හට, ඉන් පසු මා ද ඇතුළු නැඟණියන් දෙදෙනා ජීවත් කරවන්නට අම්මා දැරූ උත්සහය අද මෙන් මැවී පෙනේ. වරෙක තේ වත්තේ කුලියට දලු නෙලන ඈ තවත් දිනෙක එහෙන් මෙහෙන් එකතු කරගත් එළවළු ටිකක් කූඩයක තබාගෙන ගම පුරා ඇවිද යයි. ගමේ වසනා දුප්පතුන් ගේ ගණයට වැටී සිටි අපට හිමි ව තිබුණේ අප පදිංචි ව සිටි ටකරං හෙවිල්ලු ගේ පොඩිය පමණි. වෙහෙසකර දිනක අවසානයේ ඈ නිවසට ගොඩවන්නේ අප සිව්දෙනාට කන්නට පාන් ගෙඩියක් ද රැගෙන ය. කොහෙන් හෝ සොයාගත් පොල් අඩලයකින් ලොකු නංගී පරිප්පු හොද්දක් සාදා තබන්නී අම්මාගේ වෙහෙස මඳක් හෝ අඩු කරනු පිණිස ය.
අප නින්දේ දැයි බලා කාටත් හොරෙන් ඉලිප්පී ගැට ගැසී ගිය නහර සහිත දෙපා වල තෙල් ගල්වන්නේ ඇගේ අසනීප අපෙන් සැඟවීමට බව මට රහසක් නොවේ. ඒ ද ඇතුළු ව බොහෝ දිනවල මා නිදි වර්ජිත ව රැය පහන් කරන නිසා ම ඇගේ සිහින් කෙඳිරිය මා අසා සිටි බව ඈ නොදන්නීය. මෙය තවදුරටත් දරා සිටීමට නොහැකි තැන මා කළේ හමුදාවට බැඳෙන්නට අයදුම්පත්‍රයක් යැවීමයි. අම්මා නිවසේ නොසිටි දිනෙක සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස දන්වා එවූ ලිපිය අතට ම ලබාගත් මා දෙවනු ව කළේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමයි. තාත්තාත් සමඟ ඒ කාලයේ වෙළඳාමට කිහිප වරක් මැනිං මාකැට්ටුවට ගොස් ඇති නිසා පනාගොඩ යුධ හමුදා කඳවුර සොයා ගැනීම ඒ තරම් අපහසුවක් නොවුණා සේ ම සම්මුඛ පරීක්ෂණය ද පහසුවෙන් සමත් වීමට හැකි විය. සියල්ල ගිනිගත්තේ ඉන් පසුව ය. සේවයට වාර්තා කරන ලෙස දන්වා එවූ ලිපිය අම්මා අතට පත් වීමත් සමඟ නිවස යුද පිටියක් බවට පත් වූයේ ක්ෂණිකවම ය. හැඬීමෙන් ඉදිමුණු දෙනෙත් ඇතිව වුව ද අම්මාගේ අවසරය ලබාගන්නට මම සමත් වීමි.
"තමාගේ සිරුරට වෙඩි වැදීමෙන් සිදු ව ඇති හානිය නොසලකා තම උසස් නිළධාරියෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැක්වූ කැපවීම වෙනුවෙන් යුධ හමුදාපති තුමාගේ නිර්දේශය මත සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළෙකුට ලැබෙන උසස් ම සම්මානය වන වීර වික්‍රම විභූෂණ සම්මානය අතිගරු ජනාධිපති තුමා විසින් ඔබට ප්‍රධානය කරන්නට නියමිත ව ඇත."
ලිපියේ සටහන් වී තිබුණේ එවැන්නකි. වෙනත් කෙනෙකුට නම් මෙය දැකීම මහත් ප්‍රහර්ෂයක් ගෙන දෙන්නක් වුව ද මට එසේ දැනුනේ දැයි යන්න සැකයකි. එම සිදුවීම වී දැන් වසරකට ආසන්න කාලයක් ඉක්ම යන්නට ළං ව ඇතත් එය අද සිදුවූවාක් මෙන් මට මැවී පෙනේ. මා හැරෙන්නට සියළු දෙනාට ම එය මහත් වීර ක්‍රියාවක් වුව ද එය මා මනසට ගෙන දෙන්නේ මහත් පීඩාවකි. එය කිසිවෙකුට කියන්නට හැකි නම් මහත් සහනයක් විය හැකි ව තිබුණු නමුදු ඒ නම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීම ඊටත් වඩා යහපතකැයි මසිත හඬ ගා කියයි. අද පැමිණි මෙම ලිපිය සුව වෙමින් තිබූ තුවාලයක් නැවත පාරමින් එතුලට ලුණු කැටයක් එබුවා සේ මට දැනේ. "අවංක කම තමයි පුතේ හොඳ ම ප්‍රතිපත්තිය" කියූ තාත්තා මට සිහි වන්නේ නිතැතිනි. කිසිවෙකුට කියන්නට නොහැකි කතාව ගස් බෙනයකට හෝ පවසා ඉන් මිදෙන්නට හැකි නම්....
මේ සිදුවීම වූ කාලයේ මා කෝප්‍රල් නිලයේ සිටි අතර සේවය කළේ ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට අනුයුක්තව ය. පසුදින මෙහෙයුමකට සූදානම් වන ලෙස දන්වා නියෝගයක් ලැබුණු අතර පසුදින භටයන් 140 දෙනෙක්ගෙන් යුත් සේනාංකයක් ත්‍රස්තයන් සොයා ගමන් ඇරඹුයේ ම මම ද ඔවුන්ගෙන් කෙනෙක් වීමි. යුධ මුක්ත කලාපයේ පිහිටා තිබූ රතුකුරුස කඳවුර පසුකරමින් ගිය අපි එතරම් පරීක්ෂාකාරී නොවූයේ බුද්ධි අංශ විසින් මේ පෙදෙස ගැන අනතුරු හඟවා නොතිබූ හෙයිනි. එක්වරම පස් කන්දක් උඩින් මතු වූ ත්‍රස්තයන් දිගට හරහට වෙඩි තබන්නට වූයේ අපට සිතාගැනීමටවත් කාලයක් ඉතුරු නොකරමිනි. වෙඩි වැදී බිම වැටුණවුන් අතරට මමත් එක්වූයේ වම් පාදයට සහ දකුණු උරහිසට වැදුණු වැදුණු වෙඩි පහරවල් කිහිපයක් සමඟිනි. වෙඩි වැදුණද වැඩිවේලා එතැන සිටීම නුවණට හුරු නොවූයේ ත්‍රස්තයන් නොනවත්වා ම වෙඩි තබන හෙයිනි. සහෝදර සෙබළුන් ගේ සිරුරු අතරින් රිංගමින් පරීක්ෂාකාරි ස්ථානයක් සෙවූ මට දකින්නට ලැබුණේ ඈතින් පිහිටි රතුකුරුස කඳවුරයි. මීටර් 150 ක් පමණ දුරින් විවෘත භූමියක පිහිටි එතැනට ළඟා වීම නම් කිසිලෙසකවත් සිදු කළ නොහැක්කකි. නමුත් අම්මා, නංගිලා වෙනුවෙන් මා ජීවිතය බේරාගත යුතු ය. කෙසේ හෝ සිරුරු අතරින් රිංගා යමින් මීටර් 50ක් පමණ ගිය තැන මා හට කදිම අදහසක් පහළ විය. තුවක්කුව සහ සෙසු බර ඉවත් කළ මා සැණෙකින් සහෝදර සෙබලෙකුගේ සිරුරක් කරපින්නාගෙන එය ආවරණයක් ලෙස තබාගනිමින් වෙඩි පහරවල් අතරින් ම එළිමහන් බිම රතුකුරුස කඳවුර වෙත දිවීමි.
නැවත සිහිය ලැබෙන විට මා සිටියේ අනුරාධපුර යුධ හමුදා රෝහලේ ඇඳක් මත ය. බොහෝ නිළධාරීන් සහ සෙබළුන් මා ඇඳ වටකරගෙන සිටි අතර මා හට බොහෝ සුභාශිංසන සහ මල් පොකුරු හිමි විය. බොහෝ ඡායාරූප ශිල්පීන් මාගේ ඡායාරූප ලබාගත් අතර පසුදින ඒවා පුවත්පත් වලද දකින්නට තිබුණි. ඒ අතර ම මා හට සාජන් නිලයට උසස්වීමක් ද හිමිවිය. පසු ව දැනගත් පරිදි මා එදින ඔසවාගෙන විත් තිබුණේ මුහුණට වෙඩි වැදී සිහි මුර්ඡා වී සිටි කඳවුරේ අණදෙන නිළධාරී කර්නල්වරයාගේ සිරුරයි.
ලෝකය රවටමින් ගන්නා සම්මානය ගෙදරට ගෙනා කළ එය නිතර දෙවේලේ දැකීම මට මහත් හිසරදයක් වනු නොඅනුමානය. එහෙයින් අවංක බවේ ප්‍රතිමූර්තියක් වූ තාත්තාගේ රුව සිතේ මවා ගනිමින් මා මේ සැරසෙන්නේ සම්මානය ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලිවීමටයි.....
…~~~~~ සමාප්තයි ~~~~~
ප.ලි: ඔන්න මමත් තුන් කුළුදුලේ ම කෙටිකතාවක් ලිව්වා, මීට සමාන සිද්ධියක් දෙවන ලෝක යුද්ධ කාලයේදී දකුණු අප්‍රිකාවේ දී බ්‍රිතාන්‍ය හමුදා නිළධාරියෙකුට වුණා, ඒ සිද්ධිය පදනම් කරගෙන ගෙතූ කතාවක් මේ! මේ දවස් වල එක්සෑම් නිසා වෙනදටත් වැඩියෙන් බ්ලොගේ ලියවෙනවද මන්දා...අදත් එකක් තිබ්බා! කියවලා බලලා කියන්නකෝ කොහොමද කියලා, ඇත්ත ම කියන්න කමක්නෑ, මට දුක හිතෙන්නෙ නැතෝ!
නියමයි අයියේ කතාව.. අවංක කම තරම් වටින සම්මානයක් තව තියෙනවද?
ReplyDeleteකතාව නම් නියමයි !!
ReplyDeleteඅඩේ ලහිරුවාටත් ලස්සනට කතා ලියන්න පුලුවන් නේ. !
මාත් විභාග කාලවල් වලදි වැඩි වැඩියෙන් බ්ලොග් ලිව්වා. !
තැන්කු තැන්කු..
Deleteපුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. හැබැයි එහෙම දැම්මේ නෑ කියලා තරහක් නම් නෑ හිතේ ඕං !
ReplyDeleteඅමුතුම පැත්තක්...කෙටි කතාව බොහොම සාර්ථකයි...තවත් ඉදිරියටම යමු..ඔයාට හොඳට ලියන්න පුළුවන්..
ReplyDeleteස්තූතියි අක්කේ!
Deleteකතාවනම් උපරිමටම ලියලා තියෙනවා.. වටිනම සම්මානය තමන්ගෙ හිතෙන් ලබන්නෙ අද කීයෙන් කීදෙනාද..
ReplyDeleteතව තවත් නිර්මාණ කරන්නට සුබ පැතුම්..!!!
ස්තූතියි යාළු!
Deleteම්ම්ම්...ළහිරු අයියගේ කතාව සාර්ථකයි!!! එක්සෑම් වලට පාඩු කර ගන්නෙ නැතුව බ්ලොග් ලියන්න... තව කතාවක් ඉස්සරහට ලියන්න... මට හසලක් ගාමිණි මතක් උණා..
ReplyDeleteස්තූතියි නංගෝ!
Deleteඅඩේ නියමයි බං.තව ලියපං. මට මතක් උනේ sing is king චිත්තරපටිය.
ReplyDeleteකොපියක් එහෙම නෙවෙයි ඕං!
Deleteලස්සන කතාවක්..
ReplyDeleteඔන්න සුභ පැතුම්....
ස්තූතියි කිව්වා!
Deleteයකෝ බ්ලොග් ලිව්වෑකි. විභගෙ කරල හිටු...:ඩී.
ReplyDeleteප.ලි. වලින් ටිකක් අප්සට් ගියා...
හොඳයි ඈ:
ඒක නම් ඇත්ත තමයි! ස්තූතිය් මේ පැත්තේ ආවට!
Deleteකුළුදුලෙම උනත් ලිව්ව කතාවනම් මාර ලස්සනයි...
ReplyDeleteහික්ස්!
Delete