කැළණිතිස්ස රජතුමා සහ උණුතෙල් කටාරම...


අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.

කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහන වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා රහතන් වහන්සේ නමක් පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර රහතන් වහන්සේ ගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.

මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි මැස්සෙක් එක්ක කිරි මුට්ටියක් උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....

අපි නොසැලකිල්ලෙන් කරන පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනා ම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නෑ අපි කාටවත් ම....එහෙම නේද? ඔයාලට හිතෙන්නේ මොනාද කියලත් කියලා ම යන්නකෝ කැමති නම් පහළින්!!!

8 comments:

  1. ඔය කතාව මමත් අහල තියෙනව.. අපට පෙන දේ නොවෙයි ඇත්තටම සිදුවෙලා තියෙන්නේ..හදිසි නොවි තිරන ගන්නවනම් කාට කාටත් හොඳා......

    ReplyDelete
  2. මිනිස්සු ඕනම දෙයක් හොයලා බලන්නේ නැතුව වැඩ කරන්න ගියහම ලොකු විනාසයන් සිද්ධ වෙනවා කියලා අපිට අපේ අතීතයෙන් පාඩමක් කියලා දෙනවා. ඒත් ඒක ඉගෙන ගන්න තරම් අපේ රටේ අය බුද්ධිමත් ද කියලා හිතෙනවා.

    ඒක නෙමෙයි ඒ කාලේ රජ්ජුරුවෝ තමන්ගේ දූ කුමරියව රට වෙනුවෙන් මූදට බිලි දුන්නා. අද කාලේ රජතුමෙක්ට එහෙම උනා නම් පවුලේ කට්ටියත් එක්කම වෙන රටකට පනියි නේ. හික්ස් :)

    ReplyDelete
  3. මාත් අහලා තියනවා!ඉතිහාසය කියන දේ මතක් කරන කරන තරමට හොඳයි නේ! :)

    ReplyDelete
  4. ඉතිහාසය මෙහෙම හරි මතක් කරන එක හොදයි.. නැත්නම් මේවා නිකන්ම යටපත් වෙලා යනවා..

    ReplyDelete
  5. @Dinesh, Raj, Sabith, මධු
    මධු
    පහුගිය කාලේ ඉස්කෝලවල ඉතිහාසය ඉගැන්නුවෙත් නෑනේ, දැන් නම් තියෙනවද මන්දා... ඒ වුනත් අපේ මිනිස්සු ඉතිහාසය කළ වැරදි නිවැරදි කරගන්න ඕනැකමක් නෑ වගේ පෙනෙන්නේ...

    ReplyDelete
  6. පෝය දවසේ මේ වගේ Post එකක් දැම්මට පින්

    ReplyDelete
  7. ඇත්තටම මේක දාපු එක ගොඩාක් වටිනවා. මදුරංග කියන කථාවත් හරියට හරි :b :b

    ReplyDelete
  8. අනාගතයට පසුතැවිලි වන්නට සිදුවන කටයුතු නොකර ඉන්න හැකිතාක් උත්සහ කරන්න ඕනේ

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !