ධර්මය සොරකම් කරන්නට ආ නිඝණ්ඨනාථපුත්ත ගෝලයා...

තවත් කෙනෙකුට කීර්ති, ප්‍රශංසා , ලාභ සත්කාර ලැබෙද්දි සමහර අයට ඉවසන්න අමාරුයිනේ. අනිත් අයට වැඩියෙන් ලැබෙනවා කියන්නේ තමන්ට ට ලැබෙන දේවල් අඩුවෙනවා කියන එකනේ. ඉතින් ඒක එයාලට ඇහැට කටු අනිනවා වගේ වැඩක්. මේ තත්වේ දැන් වගේ ම ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ භාරතයේ පහල වෙන්නට කලින් විවිධ ආගම්, ශාස්තෲවරු සියගණනක් ඉන්දියාවේ හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටිය ඉන්දියාවේ විවිධ සාධක මත මේ ආගම්, දර්ශන, මතවාද වලට මිනිස්සු බෙදිලායි හිටියේ. බොහෝදෙනා උපත, මුදල, සමාජ තත්වය වගේ සාධක මත ආගම් අදහනකොට ස්වල්පයක් දෙනා විතරක් සාමාන්‍ය පොදු රාමුවෙන් ඉවතට ගිහින් ජීවිතයේ හරය, මරණය, මරණින් මතු ජීවිතය වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විෂය නොවන කාරණා ගැන හොයන්න පටන් ගත්තා. මේ නිසා සමාජයේ ආගමික ඒකාධිකාරය තනිවම හැසිරු ව බ්‍රාහ්මණයන් ට අභියෝග කරමින් පෙර නොසිටිය තාපසයෝ, පරිබ්‍රාජකයෝ, නිඝන්ඨයෝ, ආජීවකයෝ වගේ ආගමික කොටස් බිහිවුණා. මේ විකල්ප සිය ගණනක් අතරින් ප්‍රබලව ම ඉස්මතු වුණ මතවාද කිහිපය ඉදිරිපත් කළ කිහිපදෙනා ෂඩ් ශාස්තෘවරු විදියට අතරින් ප්‍රචලිත වුණා. නිඝණ්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීර, පූර්ණ කස්සප, අජිත කේසකම්බල, සංජය බෙල්ලඨ්ඨපුත්ත ඒ අතරින් කිහිපදෙනෙක්. අද කියන්න යන කථාව නිඝන්ඨනාථපුත්ත තුමා සම්බන්ධ කතන්දරයක්.

ඒ කාලේ ඉන්දියාව පුරා ම බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය පැතිරෙන්න පටන් ගත්තා පෙර නොවූ විරූ, සාමාන්‍ය මිනිස්සුන්ගේ නුවණට ගෝචර වෙන විදියෙ ධර්මයක් දේශනා කරනවා කියලා. රජවරුන්ගේ ඉඳන් පහළ ම කුල වල මිනිස්සුන්ටත් මේ ධර්මයේ දොර ඇරිලා තියෙනවා වගේ ම එයින් අත්දුටු ප්‍රතිඵල ලබාගත්ත අය ඉන්නවා කියන එකත් හැමතැනම පැතිරිලා ගියා. ඒක ඇහුව මිනිස්සු බොහෝදෙනෙක් තමන් එතෙක් වන්දනා කරමින් හිටිය ශාස්තෲවරු අත්හැරලා දාලා ජේතවනාරාමය පැත්තට ඇදෙන්න පටන් ගත්තා. ඒකෙන් වුණේ ඒ තරම් කාලයක් මිනිස්සුන්ගේ ලාභ සත්කාර මැද්දේ යෙහෙන් වැජඹුණ ශාස්තෲවරුන් ට ලැබුණ සත්කාර, සම්මාන ක්‍රමයෙන් අඩුවුණ එකයි. මේ බව හොඳින් ම අවබෝධ වුණ නිඝන්ඨනාථපුත්ත තුමා තමන්ගේ හොඳ ම ගෝලයා වුණ සුසීම ව කැඳවලා මේ විදියට කිව්වා. "සුසීම, ජේතවනාරාමයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ වෙතට දවසින් දවස මිනිස්සු ඇදිලා යනවා. උන්වහන්සේ කියන දේවල් වල මොනවා නමුත් විශේෂත්වයක් ඇති නිසා තමයි මිනිස්සු ඇදිලා යනවා ඇත්තේ, ඒ නිසා යන්න ගිහින් උන්වහන්සේ දේශනා කරන්නේ මොනවද කියලා දැනගෙන එන්න, ඊට පස්සෙ අපිත් ඒ දේවල් දේශනා කරමු. එතකොට ආයෙත් මිනිස්සු අපි කරා ඇදිලා ඒවි". මේක ඉස්මුදුනින් ම පිළිගත්ත සුසීම, ජේතවනාරාමයට ගිහින් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ, සුසීම ගේ අරමුණ දැනගත්තත් බුදු සසුනේ පැවිදි කළා වෙනසක් පෙන්නන්නේ නැතුවම. සුසීමත් අනිත් භික්ෂූන් වහන්සේලා වගේ ම ධර්මය අහනවා, පාඩම් කරගන්නවා, හැබැයි අවබෝධ කරන අදහසින් නම් නෙවෙයි, හොරකම් කරන අදහසින්. ටික කාලයක් මෙහෙම ගතවෙලා ගියා. කාලයක් තිස්සෙ සුසීම ස්වාමින් වහන්සේ දකිනවා බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා ඇවිත් වන්දනා කරලා තමන්ගේ අර්හත්වය ප්‍රකාශ කරලා නැවත වඩිනවා. ඒ විදියට ආපසු වඩින භික්ෂූන් වහන්සේලා කරා ගිහින් සුසීම භික්ෂුව අහනවා "ඔබ වහන්සේලා ඇත්තට ම අර්හත් ද?" උන් වහන්සේලා ඔව් කියලා පිළිතුරු දෙනවා. එතකොට සුසීම භික්ෂුව කියනවා "එහෙනම් අහසින් වැඩම කරලා පෙන්වන්න, ජලයේ ඇවිදලා පෙන්වන්න, පොළවේ කිමිදිලා පෙන්වන්න, බොහෝ දෙනෙක් වගේ පෙනී සිටින්න" ආදී වශයෙන්. එතකොට ඒ රහතන් වහන්සේලා කියනවා "තමන් වහන්සේලාට එහෙම හැකියාවක් නැහැ" කියලා. හැමදාම වගේ මෙහෙම අහද්දි සුසීම භික්ෂුවට මේක ගැටළුවක් වුණා. මොකද මීට කලින් රහතන් වහන්සේලා ගැන සුසීම අහලා තිබුණේ වෙනස් දේවල් නිසා.

සුසීම භික්ෂුව ගියා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න. ඇහුවා මේ වෙනසට හේතුව මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා සුසීම ට ධර්මය දේශනා කළා. ඒ සැරේ සුසීම ධර්මය ඇහුවේ හොරකම් කරන අදහසින් නෙවෙයි, තමන්ගේ ගැටළුව නිරාකරණය කරගන්න අදහසින්. ඒ නිසා ම සුසීම භික්ෂුවට ධර්මය අවබෝධ වුණා. මොකක්ද හරි වැරදි කියලා අවබෝධ වුණා. …සුසීම භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගෙන් සමාව ඉල්ලා සිටියා ධර්මය හොරකම් කරන්න ආව එක වෙනුවෙන්. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා සුසීම භික්ෂුවට. 
දැන් කියන්න යන්නෙ කොහොමද මේ රහතන් වහන්සේලා විවිධාකාර වෙන්නෙ කියන එකයි. අරහත් කියන එකේ අර්ථයත් කළ යුතු සියල්ල නිමකළා කියන අදහසයි. රහතන් වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. උන්වහන්සේලා ප්‍රඥාව තුළ අග්‍රයි. ප්‍රඥාවෙන් සියල්ල කෙළවර කරලයි ඉන්නෙ. උන්වහන්සේලා සමාධිය උපදවා ගන්නේ රූපාවචර ධ්‍යාන තුළ, ඒ කියන්නෙ ප්‍රථම, දෙවන, තුන්වන සහ හතරවන ධ්‍යාන තුලයි. ඉන් එහාට අරූපාවචර ධ්‍යාන දක්වා සිත/ සමාධිය දියුණු කරන්නෙ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ට අරූපාවචර ධ්‍යාන උපදවා ගෙන එමඟින් කළහැකි ඍද්ධි ප්‍රාතිහාර්යය දැක්වීමේ හැකියාවක් උන් වහන්සේලාට නැහැ. අනිත් කොටස තමයි උභතොභාග විමුක්ත රහතන් වහන්සේලා. උභතොභාග කියන වචනයෙන් අදහස් කරන්නේ ප්‍රඥාවෙන් වගේ ම සමාධියෙනුත් අග්‍රයි කියන එකයි. උන්වහන්සේලා රූපාවචර ධ්‍යාන වලින් නොනැවතී අරූපාවචර ධ්‍යාන දක්වා ම ඒ කියන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම සිත/ සමාධිය දියුණු කරනවා. ඒ අනූව තමයි උන්වහන්සේලාට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ හැකියාව ලැබෙන්නෙ.

වැදගත් ම දේ තමයි මාර්ගඵල ලාභියෙක් ඒ බව තවත් කෙනෙකුට මේ විදියට කියයි ද කියන එක? සාමාන්‍ය පිළිගැනීම නම් එහෙම කියන්නෙ නැහැ කියන එකනේ. ඒක එහෙම වුණත් එහෙම නොවුණු අවස්ථා බුදුසසුනේ දකින්න තියෙනවා. එක අවස්ථාවක් තමයි නන්ද මාතා උපාසිකාව, ඇයගේ නිවෙසට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වැඩම කළ අවස්ථාවක උන් වහන්සේලා ප්‍රණීත දානයෙන් සන්තර්පණය කළ නන්දමාතාව දානය අවසන තමා තුළ විද්‍යමාන වන ආශ්චර්ය අද්භූත කරුණු හතක් පැවසුවා. එයින් සවැන්න වූණේ තමන්ට පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි යන ධ්‍යානයන්ට කැමැති තාක් කාලයක් සමවැද සිටිය හැකි බව. සත් වැන්න වූයේ තමා අනාගාමි බවට පත් වූ බව(නන්දමාතු සූත්‍රය). තවත් අවස්ථාවක් තමයි විශාලා නුවර වාසි උග්ග ගෘහපති ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් සමන්විත බව දේශනා කරන අවස්ථාව. එතනදිත් අවසන් කාරණාව විදියට උග්ග ගෘහපතියා කියන්නේ තමන් අනාගාමි බව. මේ වගේ අවස්ථා කිහිපයක් ම දකින්න පුළුවනි. මේ වගේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ මගපල ලාභී ආර්ය ශ්‍රාවකයන් සුදුසු අවස්ථාවන් වලදී කැමැති නම් යහපත සලකා තමන් ලබා ඇති මාර්ගඵල අන්‍යයන්ට හෙළිකරන බව. හැබැයි ඉතින් මේ ධර්මතාව තම වාසියට හරවාගන්න සමහර කපටියො බොරුවෙන් වංචාවෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන අවස්ථා ඕන තරම් අහන්න දකින්න පුළුවන් නේද? ඒ වගේ අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඒ අයට ගර්හා කළේ "නොහික්මුණු දුස්සීල භික්‍ෂුව යම් හෙයකින් රට වැසියාගේ පිඬු වළඳන්නේ ද, ඊට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යකඩ ගුළියක් අනුභව කළා නම් උතුම් වේ" කියලයි. ඒ වගේ ම සිව්වන පාරාජිකාව භික්ෂූන් ට පැනෙව්වෙත් (යම් භික්‍ෂුවක් තමා කෙරෙහි නැති උතුම් මිනිස් දහම් (ධ්‍යාන, මාර්ගඵල ආදි) ඇතැ යි කියන්නේ ද ඒ භික්‍ෂුව පාරාජිකාවට පත් වේ) ඒ නිසාමයි.

පසුවදන: රේඩියෝ එකේ ධර්ම දේශනාවකින් තමයි බොහෝ කරුණු දැනගත්තේ. කාටහරි හැකියාවක් තියෙනවානම් ශ්‍රද්ධා ගුවන්විදුලියට සවන් දෙන්න, ඒක කාලය අපතේ යැවීමක් වෙන එකක් නැහැ. 89.1-89.3 සංඛ්‍යාත පරාසයේ තමයි සවන් දෙන්න පුළුවන්. හිතට රාගය, තරහ හරි මුලාවේ වැටෙන දෙයක් අහන්න ලැබෙන්නෙ නැහැ කියලා සහතික වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් සවන් දෙනවනම් මේ සබැඳියෙන් යන්න. (උදේ 10.30-17.00 සහ සවස 19.30-21.00 විකාශන කාලය ). වෙළඳ දැන්වීම් වලින් තොර ධර්මය බෙදාහැරීම පිණිස ම කැපවුණ ගුවන් විදුලි කළණ මිතුරෙක්! නමස්කාර බ්ලොග් අඩවියටත් විශේෂ ස්තූතිය....

28 comments:

  1. ChandiSunday, June 30, 2013 11:27:00 AM

    බොහෝ පිං පුතා මේ සටහනට. අදටත් ඉන්දියාවේ මේ ධ්‍යාන ලාබීන් ඉන්නවා. ඒ අය කූට ලෙස ධනය උපයන්නේ මේ ධ්‍යන බලය පෙන්වායි. එදා කාලේ වගේම ඒ අය අදත් ඉන්නවා. මේ සටහනෙන් පේනවානේ ධ්‍යාන වැඩූ පමණින් රහත් ඵල ලබන්නේ නෑ කියාලා. ශ්‍රද්ධා සැබැවින්ම කළණ මිතුරෙක්.

    ReplyDelete
    Replies
    1. ධ්‍යාන ලාභී න් ට කුට අරමුණු වෙනුවෙන් තම බලය යොද්වන්ඩ නං බෑ මොකද .. එම ධ්‍යාන පිරිහෙන නිසා .. හැබැයි මැජික් කාරයෝ නං ඈති ... එදා කලේ හිටියෙත් ඒ වගේ මැජික් කාරයෝ ... සිද්ධාර්ථ තපස් වරයාගේ ගුරුවරුන් උනේ එවැනි ධ්‍යාන ලාබීන් .....

      Delete
    2. @chandi: ඔව්, ලංකාවෙත් ඉන්නවනේ සෝවාන් කියලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයත්... කෝකටත් අපි දැනුවත් වෙන එකයි හොඳ ම දේ!

      Delete
    3. @Sameera: ම්ම්ම්... ධ්‍යාන ලාභීන් තමන්ගෙ හැකියාවන් කූඨ විදියට යෙදෙව්ව එකට හොඳ ම උදාහරණය තමයි දෙව්දත් තෙරුන්. දෙව්දත් භික්ෂුව ඍද්ධි ප්‍රාතිහාර්ය පාලා අජාසත් කුමාරයා ව පහදවා ගෙන තමයි දුනුවායන් යොදවන්න, නාලාගිරි ඇතා රා පොවලා එවන්න උපකාර ලබාගත්තේ. ධ්‍යාන බලය පිරිහෙන දෙයක් වුණත් කූඨ විදියට පාවිච්චි කරන්න පුළුවන් සහෝ... ස්තූතියි ඔබේ අදහසට!!!

      Delete
  2. වැදගත් ලිපියක්.

    ReplyDelete
  3. වැදගත් ලිපියක්. බොහොම පිං ලහිරු!
    අර ලින්ක් එකටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ගිහින් බලන්න....

      Delete
  4. කතාව කියවගෙන යද්දි රහතන් වහන්සේලා ඇයි ප්‍රාතිහාර්ය දක්වන්න බෑ කිව්වෙ කියන ප්‍රශ්නය මට ආවා. මොකද මම අහල තිබුනෙ රහතන් වහන්සේලාට ප්‍රාතිහාර්‍ය දක්වන්න හැකියි කියල.ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා සහ උභතොභාග විමුක්ත රහතන් වහන්සේලා ගැන කරල තියෙන පැහැදිලි කිරීම නිසා ඒ ගැටලුව විසඳුනා. බොහොම පිං මේ දේවල් ගැන දැනගන්න සලස්වනවට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ ඒ විදියටනේ, ඒකයි මෙහෙම සටහනක් ලියන්න හිතුවෙත්!!

      Delete
  5. ගොඩක් ස්තුතියි. මොහොතකට හරි ධර්මශ්‍රවණයට අවස්තාවක් දුන්නාට.

    ReplyDelete
    Replies
    1. සුළු මොහොත කොහොමහරි වැඩි කාලයක් දක්වා දියුණු කරගන්න උත්සහ කරමු සහෝ!

      Delete
  6. බොහොම වටිනා සටහනක් දුන්නට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අයියත් සෑහෙන කාලෙකින් මේ පැත්තෙ...

      Delete
  7. ඔන්‍න‍ මම ඉස්සර වෙලාම සිංහලන් කොටනවා ඔයාගේ බ්ලොග් ඒකයේ
    ජයවේවා

    ReplyDelete
  8. පින් සිදු වේවා ලහිරු :)

    ReplyDelete
    Replies
    1. අක්කටත් ! අද ප්‍රශ්න නැත්තෙ ඇයි.... ?

      Delete
  9. මේ ගැන අයියාගෙන් තව දෙයක් අහන්න තිනවා .. ඉන්නකෝ.. මාත් ටිකක් හෙව්වා ඒ ගැන

    ReplyDelete
    Replies
    1. අහන්න අහන්න, දන්න දෙයක් නම් කියන්නම්, නැත්තම් හොයලා හරි කියන්න බැරියැ...

      Delete
  10. හැමදාම මේ පැත්තේ ආවම අලුතෙන් දෙයක් දැන ගන්න ලැබෙනවා. රහතන් වහන්සේලා හැමෝටම අර වගේ ප්‍රාතිහාර්ය පාන්න බැහැ කියල කලින් දන්නේ නෑ. ඒ වගේම අනෙක් කරුණු ටිකත් ඉතාම වටිනවා ලහිරු. බොහොම ස්තුතියි.. බොහොම පින්..!

    ReplyDelete
  11. රහතන් වහන්සේලා විවිධත්වය ගැන කාලෙකට කලින් සයිබර් යායට එකතු කරපු මේ අදහස මෙතනටත් වැදගත් වෙයි කියලා හිතෙන නිසා එකතු කරනවා ඕන්

    "....රහතන් වහන්සේලා කියන්නේ කෙලෙසුන් නැති කරලා [තවත් විදිහකට කිව්වොත් දස සංයෝජන නැති කරලා] රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගනිපු අය.

    ඒත් ඒ විදිහට නිවන් අවබෝධ කරගත්තත් පුරන ලද පාරමී ධර්මයන්, කරන ලද කුසල කර්මයන් වගේම ප්‍රාර්ථනාවන් නිසා රහතන් වහන්සේලා හැකියාවන් විවිධාකාරයි.

    ඒක නිසා තමා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා, ත්‍රිවිද්‍යාලාභි රහතන් වහන්සේලා, ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේලා සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා කියලා ප්‍රභේද වීමක් තියෙන්නේ.

    සරල උදාහරණයක් කිව්වොත් උසස් පෙළ සමත් වෙන පිරිස අතරින් ලංකාවෙන් පළවෙනියෝ දෙවෙනියෝ වෙන අය වගේම යන්තමින් පාස් වෙන අයත් ඉන්නවානේ. පොදුවේ ගත්තාම හැමෝම උපෙ පාස් වුණත් බුද්ධියේ හැකියාවේ වෙනස්කම් තියෙනවා නොවැ...

    මේ වෙනස්කම් එකින් එක පැහැදිලි කළොත් කෙලෙස් පමණක් නැති කරලා සෘද්ධි බලයක් ලබන්නේ නැතුව රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්නා අය ශුෂ්ක විදර්ශක රහතුන් වෙනවා.

    පෙර විසූ ජාති සිහි කිරීම, දිවැස්, කෙලෙසුන් නැසීම කියන ඥාණත්‍රය සහිතව රහත් බෝධිය ලබාගන්න අය ත්‍රිවිද්‍යා රහතුන් වෙනවා.

    කලින් කියපු ඥාන තුනත් ඒ හැරෙන්න සෘද්ධි විධ, දිව කන්, පරචිත්ත විජානන කියන ඥාන තුන ඇතුලු ඥාන 6 ක් සහිතව රහත් බෝධිය ලබාගන්නා අය ෂඩ් අභිඥාලාභී රහතුන් වෙනවා.

    අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පරිසම්භිදා සහ පටිභාන පටිසම්භිදා කියන ඥාණ හතර සහිතව රහත් බෝධිය ලබාගන්නා අය සිව්පිළිසිඹියාපත් රහතුන් විදිහට හඳුන්වනවා.

    රහතන් වහන්සේ කෙනෙක් ලබාගන්න උපරිම උසස් මට්ටම තමා ඒක. අග සව් දෙනම ඇතුළු ප්‍රධාන ශ්‍රාවකය්න් වහන්සේලා සිව් පිළිසිඹියාපත් සහිත රහතන් වහන්සේලා.

    ඒ හැරෙන්න රහතන් වහන්සේලා පෙර භවයන්වලදී කරපු ප්‍රාර්ථනා අනුව අග්‍රස්ථාන හිමිවීමත් සිදුවෙනවා....."

    ReplyDelete
  12. දැන් කාලෙත් ඉන්නේ රහත්වෙලා සෝවාන් වෙලා කියන හාමුදුරුවරු උපාසකයෝ. අනේ අපේ බුද්ධ සාසනේ............

    ReplyDelete
  13. මේ ලිපිය අන්තර්ජාලයේ වසර කීපයකට පෙර ඇතුලත් කලත් මට ප්‍රයොජනවත් වුණා. ඔබට මෙවන් දේ කල එක ගැන ධර්ම දානයට පිං පතනවා. කෙසේ වුවද අපේ බොහෝ පිරිසකගේ ශ්‍රද්ධාව අහිමි කර ගැනීම ගැන සහ එසේ නොවීමට මග පෙන්වන්න.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !