ගබ්සාව(Abortion) සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය.....

සරලවම ගබ්සාව කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. කලලය නොමේරූ අවධියෙදි ම ගර්භාෂයෙන් ස්වභාවික ව ඉවත්වීම හෝ බාහිර බලපෑමකින් ඉවත් කිරීම තමයි ගබ්සාව කියන්නේ. ස්වයං ගබ්සාව (Spontaneous Abortion) සහ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) තමයි ගබ්සාවේ ප්‍රභේද. අද කියන්න යන්නේ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) හෙවත් බාහිර බලපෑමකින් සිදුකරන ගබ්සාව සහ එහි බෞද්ධාගමික පසුබිම ගැනයි. ගබ්සාව එහෙමත් නැත්තම් Abortion කියන දේ දැන් දැන් ආගමික, සමාජීය ගැටළුවක් වෙමින් පවතින දෙයක් බවට පත්වෙලා. සමහරු කියනවා කිසිදු කොන්දේසියක් නැතුව ම ගබ්සාව නීත්‍යානූකූල කරන්නෝන කියලා, තවත් සමහරුන්ගේ අදහස තමයි තවදුරටත් ගබ්සාව තහනම් කළයුතුයි කියලා. නීතිය පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනූව නම්, දරුගැබ හේතුවෙන් මවගේ ජීවිතය අවදානමට ලක් වෙනවා නම් පමණක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් ගබ්සාවක් කරන්න අවසර දීලා තියෙනවා. එහෙම නැතුව නම් නීති විරෝධී, දඬුවම් ලැබිය හැකි වරදක් විදියට තමයි නීතියෙන් අර්ථ දැක්වෙන්නෙ.

යම් යම් රටවල් නම් ගබ්සාව නීත්‍යානූල බවට පත්කරලා විවිධ ක්‍රම වලින් (එන්නත්, පෙති, සැත්කම්... ) ගබ්සාව සිදුකරනවා. නමුත් අපේ රටේ කලින් කිව්ව විදියට නීති සම්පාදනය වෙලා තියෙන නිසා හිතෙන හිතෙන විදියට ගබ්සාවන් කරන්න විදියක් නැහැ. හැබැයි එහෙම කියල ගබ්සාවන් නොවී තියෙන්නෙත් නැහැ. නිල නොලත් සංඛ්‍යාලේඛන වලට අනූව අපේ රටේ දවසකට සිදුවෙන නීත්‍යානුකූල නොවන ගබ්සාවන් ප්‍රමාණය 1000ක් පමණ කියලා තමයි අනුමාන කරන්නේ. ගබ්සාවන් මේ තරම් වෙන්න හේතු මොනවද? බොහෝ විට අනියම් සම්බන්ධතා, වැරදි ලිංගික සම්බන්ධතා, උපත්පාලන දැනුම අඩුකම, අතවර, දරිද්‍රතාවය ... වගේ හේතු බහුලයි. මේ තරම් ගබ්සා රටේ වෙද්දිත් නීතියෙන් මේක තහනම් කරලා තියෙන්නෙ ඇයි? ප්‍රශ්නයක් නේද? මේ ගැන නීති හදද්දි, නූපන් කලලයත් ජීවයක් සහිත දෙයක් විදියට සලකලා මනුෂ්‍ය ඝාතනයක් විදියට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. දැන් බලන්න යන්නේ මේ සම්බන්ධ ව තියෙන බෞද්ධ ආකල්පය මොකක්ද කියන එක.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් මහා යමක වග්ගයේ තියෙන මහා තණ්හාසංඛය හෙවත් තණ්හාව නැතිකිරීම ගැන වදාළ දෙසුමේ සඳහන් වෙන විදියට මව් කුසක දරුගැබක්/ කළලයක් හටගන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. පළමුවෙනි කරුණ තමයි මව ගැබ්ගැනීමට යෝග්‍ය වෙන්න ඕන (ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම ගැනයි මේ කියන්නේ). දෙවෙනි කරුණ තමයි මවුපිය දෙදෙනා කායික ව එක්වීම සිදුවෙන්න ඕන. ඒ සඳහා සුදුසු ගන්ධබ්බයෙක් ඉන්න ඕන කියන එක තමයි තුන්වෙනි කාරණාව. ගන්ධබ්බයා කියන වචනේ ගැන ගැටළු එහෙම තියෙනව නම් " මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???" සටහන කියවලා අවුල ලිහාගන්න පුළුවනි කැමති අයට. මේ විදියට කාරණා තුන ම සම්පූර්ණ වුණොත් විතරයි දරුගැබක් පිහිටන්න පුළුවනි. පළමු, දෙවන හෝ දෙවන තෙවන හෝ පළමු තෙවන කාරණා විතරක් සැපිරුණා කියලා දරුගැබක් පිහිටන්නෙ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේ ම මහා තණ්හාසංඛය සූත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා මේ ගැන තවදුරටත්. මව ගැබ් ගැනීමට යෝග්‍ය වූ කාලයේදී ගර්භාෂයේ විශාල ලේ පටලයක් හටගෙන එය පුපුරා වැගිරෙයි. එයින් ම ගර්භාෂය පිරිසිදු වෙයි. එසේ ගර්භාෂය පිරිසිස්දු වූ කල් හී මව්පියන් එක්වරක් පමණක් සංවාසයේ යෙදුණද දින හතක් යනතෙක් ගර්භාෂය වපුරන ලද බීජ ඇති කෙතක් මෙන් වෙයි. එම කාලයේදී අංග පරාමර්ශනයෙනුදු (අල්ලා ගැනීමෙන්/ Seizing ) දරුගැබ් හටගනී ආදී වශයෙන්. මේ කියන්නේ ඔසප් චක්‍රය සහ පිළිසිඳගැනීම් අවස්ථා ගැන. 


සාමාන්‍යයෙන් ධර්ම ග්‍රන්ථ වල සඳහන් වෙන විදියට යුක්තාණුව (පිරිමි ප්‍රජනන සෛල වන ශුක්‍රාණුවක් හා ගැහැණු ප්‍රජනන සෛල වන ඩිම්බයක් සංසේචනය වීමෙන් යුක්තාණුවක්( Zygote) හැදෙනවා) කෙන්දකින් ඉහළට ඔසවන තෙල් බිඳුවක් තරම් කියලා තමයි විස්තර වෙන්නෙ. කලින් සඳහන් කළා නෙ කරුණු තුනක් එකට එකතුවෙන්න ඕන කියලා දරු ගැබක් හටගන්න. එතකොට මේ යුක්තාණුව හැදෙන්නේ අර කරුණු තුන සම්පූර්ණ වුණාට පස්සෙයි. ඒ කියන්නේ ගන්ධබ්බයෙකුත් ආවට පස්සෙයි. මුල් කරුණු දෙක සම්පූර්ණ වෙලා එතැනට ගන්ධබ්බයෙකුත් එනවා කියන්නේ එතනදී ප්‍රතිසන්ධි සිතකුත් ඇතිවෙනවා ඒ ගන්ධබ්බයාට. එහෙනම් ප්‍රතිසන්ධි සිතක් ඇතිවෙනවා නම් ඒ යුක්තාණුව සජීවි එකක් වියයුතුමයි. නැත්තම් සිතක් පහළ වෙන්න විදියක් නැහැනේ. එහෙනම් යුක්තාණුව හෝ කලල රූපය කියන්නේ ජීවියෙක්. එතකොට ගබ්සාවක් කිරීමෙන් මරාදමන්නේ මේ නූපන් ජීවයයි. මේ විදියට තමයි ගබ්සාව ප්‍රාණඝාත අකුසලයක් බවට පත්වෙන්නෙ.

තමන් විසින් ම ගබ්සාව කරගත්තත්, කෙනෙකුට ගබ්සාව මේ විදියට කරන්න කියලා උපදෙස් දුන්නත්, වෙන කෙනෙක් ලවා කරගත්තත් අකුසලයේ වෙනසක් වෙන්නෙ නැහැ. කරන, කරවන සහ උපදෙස් දෙන හැමකෙනා ම ප්‍රාණඝාතයට හසුවෙනවා. විනය පිටකයේ පාරාජිකා පාළියේ මේ ගැන අපූරු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කාලයේ දුර බැහැර වෙසෙන ස්වාමියෙක් ඉන්න බිරිඳකට සොර සැමියෙක් නිසා දරුගැබක් හටගත්තා. සැමියා දුර බැහැර වෙසෙන නිසා තමන්ගේ නෑදෑයන් ට මේ දරුගැබ ප්‍රශනයක් බවට පත්වෙන බව දැක්ක බිරිඳ දරුගැබ නසන්න හිතාගෙන භික්ෂුවකගෙන් ඒ සඳහා බෙහෙතක් ඉල්ලනවා. ඒ භික්ෂුව ලබාදුන්න බෙහෙත නිසා මේ දරුගැබ මියයනවා. නමුත් භික්ෂුවට සැකයක් උපදිනවා තමන්වහන්සේ ප්‍රාණඝාතයට හසුවුණාදෝ කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ම ලැබෙන පිළිතුර වෙන්නෙ ඒ භික්ෂුව ප්‍රාණඝාතය නිසා ම පරාජිකාවට පත්වෙලා කියලා....

ඒ වගේ ම විනය පිටකයේ මෙහෙම දෙයකුත් සඳහන් වෙනවා. අහලා තියෙනවද මරණ සංවර්ණනාව ගැන? ඒ කියන්නේ තව කෙනෙකුගේ මරණය දකින අදහසින් මරණයේ ගුණ වර්ණනා කිරීම. උදාහරණයක් කියන්නම්කෝ. "ඔබ මේ දරුගැබ නැසුවොත් නැතිවෙලා ගිය කීර්තිය ආපසු ලැබේවි, මිල මුදල්, යහපත් සැමියෙකු ඔබට ලැබේවි" වගේ කියලා ඒ නිසා ම ඒ කෙනා දරුගැබ නැසුවොත් ඒකේ ගුණ වර්ණනා කළ කෙනා ත් ප්‍රාණඝාතයට හසුවෙනවා. මරණාසන්න ව ඉන්න කෙනෙක් දැකලා කියනවනම් මේ කෙනා මෙහෙම දුක් විඳින්නෙ නැතුව මැරිලා යනවනම් හොඳයි කියලා, ඒ කෙනා හෝ වෙනත් කෙනෙක් ඒක අහලා ජීවිතය නැති කරනවා හෝ නැතිකරගන්නවා නම් නොවැරදීම ප්‍රාණඝාතයට අසුවෙනවා. මේ විදියට මරණයේ ගුණ කයෙන්, වචනයෙන්, දූතයෙක් මාර්ගයෙන් හෝ ලේඛනයකින් හෝ දක්වලා ඒ නිසා ම මරණයක් සිද්ධවෙනවා නම් ඒක ප්‍රාණඝාතයට අයිතිවෙනවා කියලා තමයි දැක්වෙන්නෙ.


මේ දේවල් මේ විදියට වුණත් සරල ම දේ තමයි ගබ්සාවක් කියන්නෙත් දරුවෙක් මරාදැමීමක් කියන දේ. ගබ්සාවක් කරන්න මොන විදියේ හේතු තිබුණත් ඒක සාධාරණීකරනය කරන්න නම් හේතුවක් හොයාගන්න හරි අමාරුයි. බොහෝමයක් වෙලාවට ගබ්සාවන් කෙරෙන්නෙ හොරෙන් නේ. ඒ කියන්නෙ සුදුසුකම් නොලත් වෛද්‍යවරු, හෙදියෝ, වින්නඹුවන් සමහරවෙලාවට සාත්තු සේවක සේවිකාවන් පවා මේ තැන්වල ඉන්නවා. ඉතින් අක්‍රමවත් ව අවම පහසුකම් යටතේ කෙරෙන මේ දේවල් වල අවදානම (රුධිර වහනයන්, විෂබීජ....) දරුවට වගේ ම මවටත් තියෙනවා. ඒ කියන්නෙ ජීවිත දෙකක් එක්කයි සෙල්ලම් කරන්නෙ. කියන්න කණගාටුයි විශ්ව විද්‍යාල, ආයෝජන කලාප අවට මේ තත්වය දරුණු ලෙස පැතිරිලා තියෙනවා වගේ ම ඒක සාමාන්‍යකරණයටත් පත්වෙලා. ඒ නිසා සොයුරියන් මේ ගැන ඉතා කල්පනාකාරී වියයුතු බවයි (ඇතැම් ආත්මාර්ථකාමී පිරිමින් හමුවේදී.. )මගේ හැඟීම . මොකද යමක් වුණොත් වැඩි හානිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා හැඟීම් වලට වගේ ම බුද්ධියටත් ඉඩදීලා සම්බන්ධතා පවත්වාගෙන යන්න හැමෝම වගකීම් සහගත වෙන්න ඕන.

ප.ලි: ටිකදවසකින් ආයෙමත් ආව ඔන්න. කාලීන ව ව වැදගත් වේවි කියලා හිතලා තමයි මෙහෙම දෙයක් ගැන ලිව්වේ. බුදුමඟ අතිරේකයේ පූජ්‍ය ලේල්වල අරියධම්ම ස්වාමින් වහ්න්සේ ගේ ලිපියකුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තිත මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයත් මේ සටහනට උදව් වුණා. පින්තූර ගත්තේ සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන්. ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රශ්න තියෙනවනම් අහන්නත් පුළුවනි. පුළුවන් විදියට උත්තර හොයාගනිමු අපි...(තාක්ෂණික ගැටළුවක් නිසා කලින් පෝස්ටුව ඉවත් කරන්න වුණා, ඒ නිසා කමෙන්ට් කළ අයගේ කමෙන්ටු ඔන්න මගේ නමින් ම මම පබ්ලිෂ් කළා :D)

31 comments:

  1. ChandanaMonday, February 25, 2013 12:34:00 PM

    හොඳ සටහනක් ලහිරු.. හේතුව මොකක් වුනත් ප්‍රාණඝාතයක් කරන එක හරියි කියන්න බෑ බෞද්ධයෙක් විදිහට මටත්. එවැනි දේ වලක්වා ගන්නට දැනුවත් වෙන එකයි කලයුත්තේ.
    ReplyDelete
    Replies

    ලහිරුWednesday, February 27, 2013 5:46:00 AM

    ඔව්, එතන තමයි නිවැරදි ම තැන. ගබ්සා කරනවට වඩා ඒ දේ වෙන හේතුව හොයලා ඒක නැතිකරන්නයි උත්සහ කරන්න ඕන!

    ReplyDelete
  2. දිනුක Monday, February 25, 2013 7:01:00 PM

    ගබ්සාව හොඳ නෑ කියන දේ මමත් පිළි ගන්නවා.පව් පින් පැත්තකට දැම්මත් මවගේ ජීවිතය අනතුරට ලක් වීමේ සම්භාවිතාව ඉහලයි.නමුත් අපි ඉපදෙන්ඩ ඉන්න දරුවා පැත්තෙන් හිතලා බලද්දි හිතන්ඩ ස්ත්‍රී දූෂණයක ප්‍රතිඵලයක් විදිහට ඉපදෙන දරුවෙක්ගේ අනාගතය සුභදායක වෙයිද? ඒ අම්මා උනත් දරුවට ආදරෙන් සළකයිද? ඒ වගේ වෙලාවක දි වත් චුට්ටක් නීතිය නම්‍යශීලී විය යුතුයි නේද? අනිත් කාරණය කළලය ප්‍රසූතියෙන් පස්සේ ජීවත් කරවන්ඩ බෑ කියලා වෛද්‍යවරයෙක් සහතික කළත් (ඇනෙන්කෙෆලි වගේ තත්ත්වවලදි කළලය ජීවත් උනත් ප්‍රසූතියෙන් පස්සේ මිය යනවා ) ඒ කළලය ගබ්සා කරන්ඩ නොදී අම්මට දරු ගැබ පවත්වගෙන යන්ඩ කියන එක මොන තරම් මානසිකව ඒ අම්මට වදයක්ද? මම හිතන්නේ කිසිම දෙයක් මේක හරි මේක වැරදි කියලා ඉරක් ගහලා වෙන් කරන්ඩ බෑ.අවස්ථාව අනුව දෙයක හරි වැරැද්ද තීරණය වෙනවා.
    ReplyDelete
    Replies

    ලහිරු Wednesday, February 27, 2013 5:55:00 AM

    මේ දේ දෙපැත්තක් තියෙනවා සහෝ හැමදේකම වගේ. ස්ත්‍රී දූෂණයකදි නම් ඔය වගේ ගැටළුවක් ඇතිවෙන්න පුළුවනි. වෙන රටවල නම් තමන්ට හදාගන්න බැරි දරුවෝ තියලා යන්න වෙනම තැන් තියෙනවා. මරලා දාන්න ඕන නැහැ. මොනවා කරන්නත් ලංකාවේ නීතිය ශක්තිමත් නැහැනේ. එහෙම නීතියක් තිබ්බත් ක්‍රියාත්මක වෙන්නෙ පුද්ගලානුබද්ධවනේ... අනිත් එක කලලය බේරගන්න කියලා මවගේ ජීවිතය අනතුරේ දාන එකත් කොයිතරම් දුරට හරිද කියලා ඔබ කියනවා වගේ ඉරක් ගහලා වෙන්කරන්න බැහැ. හැබැයි ඒවගේ ම පව් පින් කියන ඒවා තාවකාලිකව පැත්තකින් තිබ්බත් ඒවත් අපි පසුපස ම එනවා, ස්තූතියි අදහස් වලට!

    ReplyDelete
  3. පැතුම් Tuesday, February 26, 2013 4:17:00 PM

    පොස්ට් එක සින්ඩි වලට වැටිලා නැද්ද ලහිරුවෝ..

    ආගමික පැත්තෙන් නැතුව මානව අයිතිවාසිකමක් අතින් බැලුවොත් මට හිතෙනවා ගබ්සාව නීතිගත කරන එක හොඳයි කියලා. මොකද දරුවෙක් හදනවද නැද්ද කියන එක තීරණය කරන්න ලොකුම අයිතිය තියෙන්නේ දරු ගැබ දරන කෙනා මිසක වෙන කාටවත් නෙමෙයි නේද...?

    Replies

    ලහිරු Wednesday, February 27, 2013 5:58:00 AM

    පෝස්ට් එක සින්ඩි වලට වැටෙන්නෙ නැහැනේ. මම ඇඩ්මින්ලටත් කිව්ව, ඒත් හරියන පාටක් නැහැ. ඒ නිසා දැන් වැඩියෙ ලියන්නෙත් නැහැ :)

    හැබැයි ඉතින් නීතිගත කළොත් ජාවාරමක්, ව්‍යාපාරයක් වෙන එක නවත්තන්න බැරිවේවි කියලා මට හිතෙනවා. එකක් කඩතොළු වසාගන්න ගොහින් සියක් කඩතොළු හදාගත්තා වගේ වේවිද කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //මොකද දරුවෙක් හදනවද නැද්ද කියන එක තීරණය කරන්න ලොකුම අයිතිය තියෙන්නේ දරු ගැබ දරන කෙනා මිසක වෙන කාටවත් නෙමෙයි නේද...?//
      දරුවෙක් හදනවද නැද්ද කියන එක දරුවා කුසට එන්න කලින් තීරණය කලා නම් හරිනේ. එතකොට කාටවත් ගැටළුවක් නෑනේ....

      Delete
    2. ඔව්, එතන තමයි තැන, නමුත් ඒක කල්පනා කරන්න තරම් සිහියක් නෑනේ ගොඩක් දෙනාට ඒ වෙලාවේ :P

      Delete
  4. වන වදුල Tuesday, February 26, 2013 4:22:00 PM

    ඒක නම් ඇත්තෙන්ම පාපකර්මයක්ම තමයි. සංසාරයේ කිසිදු දිනක කිසිවෙකුට මෙවන් දෑ වලට මුහුණ පෑමට සිදුවේවා යැයි ප්‍රාර්තනා කරනවා. ස්තූතියි සහෝ.

    Replies

    ලහිරු Wednesday, February 27, 2013 6:00:00 AM

    සිදු නොවේවා කියලා පතමු නේද සහෝ... අකුරු පොඩ්ඩක් මාරුවෙලා මම හිතන්නේ. එහෙම මුහුණ පාන්න වෙන එකත් කර්මයක් වෙන්න පුළුවනි!

    ReplyDelete
  5. කෝරලේ මහත්තයා.

    …වැදගත් සටහනක්. අදකාලේ බහුලව සිද්දවෙන දෙයක් තමයි මේ දේ. මේ පිළිබඳව මෙවැනි සටහනක් තැබීම ගැන මාගේ ගෞරවය

    ReplyDelete
  6. හරවත් සටහනක්.ස්තුතියි අපිව දැනුවත් කිරිම පි‍ළිබඳව.

    ReplyDelete
  7. ගබ්සාව ගැන සමාජයේ මත බොහොමයි ලහිරු..මේ ගැන ලීවට ස්තුතියි..ඒත් යුක්තානුවක ගන්ධබ්බයෙක් ඉන්නවා කියන්න හේතු තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට යුක්තාණුවක් එහෙමත් නැත්තම් කළලයක් හටගන්න නම් අර මුලින් කිව්ව කරුණු තුන අත්‍යාවශ්‍යයෙන් ම සම්පූර්ණ වෙන්න ඕන. ඒ කරුණු තුන ඇතුළේ ගන්ධබ්බයෙකුත් ඉන්නවා. එකයි යුක්තාණුව සජීවියි කියන්න හේතුව!

      Delete
  8. වටිනා ලිපියක් ලහිරු. මාත් ගබ්සාව අනුමත කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, හේතුවයි වළක්වන්න ඕන!

      Delete
  9. මොන හේතුවෙදිත් ගබ්සාව මට නම් පේන්නම බෑ..

    ReplyDelete
  10. මමත් කිහිප සැරයක් ඇවිල්ල බලල ගියා මොකද වුනේ කියල.

    මමත් ඒ කාලේ ඉඳලම ගබ්සාවට විරුද්දයි. දිනකට ගබ්සා 1000ක් වෙනවා කියන්නේ කොයිතරම් අපචාර දවසකට සිද්ද වෙනවා ඇති ද?.

    ReplyDelete
    Replies
    1. මේ නිල නොවන සංඛ්‍යා සහෝ... ඇත්ත ගැන කවර කතා ද???????

      Delete
  11. ගබ්සාව මහා විශාල පාපකර්මයක් තමා ලහිරු. මාත් ඔය ගැන විස්තරේ දැනගත්තෙ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කලකට පෙර පවත්වපු දේශනාවකින්. ඇතටහ්ම කියන්න මාත් ඔය පාප කර්මයට අහුවෙන්න තිබුනා අපි අප්‍රිකාවේ ඉන්නා කාලේ ලොකු බියක් ආවා ඒඩ්ස් රෝගය මහා පරිමාණයෙන් පැතිරී ගියා. මම පොඩි පුතාව එහේ රෝහළක බිහි කරන්න බිය වුණා. අම්මා කෙනෙක් ලෙස මගෙ ලොකු නෑනා වෛද්‍ය වරියක්, ඈ මාව මෙහේ වෛද්‍ය තුමෙක් ලඟට එක්ක ගිහින් එය එහෙම බෝනොවන බව පෙන්වා දී ගැබ ආරක්ෂා කරගන්න හැටි කියා දුන්නා නිවාඩුවට ආව වෙලාවෙ. අදටත් අනේක වාරයක් පින් දෙනවා ඒ දෙන්නාටම. බොහොම පින් මේ සටහනට. ගැබක් හටගන්න කලින්ම තමන් දෙමාපියන් වෙන්න සුදුසු බව දෙන්නාම දැනගන්න ඕනෙ. එතන තමා මේ දේට මූලික වෙන්නෙ. අනාචාරේ හැසිරීම පිලිකුල් කරන්න හැම තරුණ දරුවෙක්ම හිතන්න ඕනෙ. ඒකෙ පාපෙ ගෙවන්න කල්ප කාලයක් යනවා. එහෙම දේවල් නිසා තමා අනවශ්‍ය දරුවන් උපදින්නෙ.

    ReplyDelete
    Replies
    1. හිත පාලනය කරගන්න, තමන්ගේ සහකාරියට ගරු කරන්න, ආදරය කරන්න දැනගන්න එක තමයි වටින්නෙ..

      Delete
  12. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://srisadaham.wordpress.com/

    ReplyDelete
  13. නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා...
    http://srisadaham.wordpress.com/

    ReplyDelete
  14. //සැමියා දුර බැහැර වෙසෙන නිසා තමන්ගේ නෑදෑයන් ට මේ දරුගැබ ප්‍රශනයක් බවට පත්වෙන බව දැක්ක බිරිඳ දරුගැබ නසන්න හිතාගෙන භික්ෂුවකගෙන් ඒ සඳහා බෙහෙතක් ඉල්ලනවා. ඒ භික්ෂුව ලබාදුන්න බෙහෙත නිසා මේ දරුගැබ මියයනවා...//


    //.."ඔබ මේ දරුගැබ නැසුවොත් නැතිවෙලා ගිය කීර්තිය ආපසු ලැබේවි, මිල මුදල්, යහපත් සැමියෙකු ඔබට ලැබේවි" වගේ කියලා ඒ නිසා ම ඒ කෙනා දරුගැබ නැසුවොත් ඒකේ ගුණ වර්ණනා කළ කෙනා ත් ප්‍රාණඝාතයට හසුවෙනවා...//

    උපසම්පදා භික්ෂුවක් මේ කාර්යයන් කළොත් උන්වහන්සේ පාරාජිකා වෙනවා. පළවෙනි ක්‍රියාව තෘතීය පරාජිකාවේ විජ්ජාමයපයෝගයට තමා අයත් වෙන්නේ. දෙවෙනි ක්‍රියාව තෘතීය පරාජිකාවේ සාහත්ථිකපයෝගයට තමා අයත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි මල්ලි වැඩි විස්තර කිව්වට!

      Delete
  15. කාලෙකට පස්සෙ උණත් හරවත් දෙයක්... මං හිතුවා අයිය පූර්ණකාලීන කියවන්නෙක් වෙයි කියලා.. මෙහෙම වත් ලියනවා නම් හොඳයි...

    ම්ම්ම්...ගබ්සාව... අහන්නත් බය හිතෙන, දුක හිතෙන වචනයක්..!!!

    ReplyDelete
    Replies
    1. එහෙමවත් වෙන්න බැරි තත්වයකුයි තියෙන්නෙ නංගී :(

      Delete
  16. I know this if off topic but I'm looking into starting my own blog and was curious what all is required to get setup? I'm assuming having a blog like yours would
    cost a pretty penny? I'm not very internet smart so I'm not
    100% certain. Any suggestions or advice would be greatly appreciated.

    Kudos

    My web-site cellulite treatment

    ReplyDelete
  17. hello!,I really like your writing so so much! percentage we keep in touch extra about your article
    on AOL? I require a specialist in this area to
    resolve my problem. Maybe that's you! Having a look forward to peer you.

    Feel free to visit my web-site :: best cellulite treatment

    ReplyDelete
  18. mama vivaha wela awurudu 3kata passe babek lebenna indala daru gebata masa 1 1/2 k wenakota gabsaa wuna.mama me lipiya kiyawalayi denagaththe mulma awasthawe gandabbayek enawa kiyala.mage prashnaya mekayi.mama mage nethiwunu kalalaye siti daruwa wenuwen pin di pin kam kala yuthuda.eya daruwaku miyayemak haa samanada.ma bawudda wathpiliweth walata anuwa katayuthu karana nirmansha keneki.mage semiyada eseya.apata mehema wune ape pera akusalayak nisada?thanks.

    ReplyDelete
  19. කණගාටුයි ඔබේ ගැටළුව වෙනුවෙන් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකිවීම ගැන. ඊට හේතුව ඔබේ ගැටළුව අඩංගු ප්‍රතිචාරය Spam mail එකක් වී තිබීමයි. අපි සාමාන්‍යයෙන් දරුවෙකු මෙලොව එළිය දකින දවස උපන් දිනය විදියට සැලකුවත් ඇත්තෙන් ම, දරුවෙක් උපදින දවස වෙන්නෙ ජීවී කළලය පිළිසිඳගන්න දවසයි. ඒ නිසා ඔබතුමියගේ ගබ්සා වුණු දරු ගැබත් මාස 11/2ක් විතර සජීවි කළලයක් විදියටයි තිබුණේ. ඇත්තෙන් ම එය මෙලොව එළිය නොදුටු දරුවෙක් මිය යාම හා සමානයි. ඒ මෙලොව එළිය නොදුටු දරුවා වෙනුවෙන් ඔබටත් ඔබේ සැමියාටත් එකතුවෙලා පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් එය ඉතා ම යහපත් දෙයක්.
    …මේ විදියට අඩු වයසින් කෙනෙක් මරණයට පත්වෙන්න හේතුව විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙර ජීවිත වල සිදුකරන ලද ප්‍රාණඝාත වල විපාක කියලයි. ඒ ඒ කෙනාගේ ආයුෂ තීරණය වෙන්නෙ ඒ විදියටයි.
    …ඔබේ ඊළඟ ගැටළුවට පිළිතුර විදියට කියන්න වෙන්නෙ, එය ඇතැම් විට ඔබ, ඔබේ ඒ දරුවා සහ සැමියා විසින් පෙර කරන ලද අකුසලයක් නිසා විය හැකියි කියලයි. මා එය ඇතැම් විට කියලා සඳහන් කරන්නේ, මෙලොව සිදුවන සියල්ල වන්නේ පූර්ව කර්මයෙන් ම නොවන නිසයි. කර්මය කියන්නේ එක් සාධකයක් පමණයි. (පංච නියාම ධර්ම ගැන කියවන්න) .උදාහරණයක් විදියට එය දේශගුණික සාධක, රැකියාව, බාහිර පරිසරය, මානසික ස්වභාවය ආදී දේවල් නිසාත් වෙන්න පුළුවන්.

    …පෝය දිනයේ අෂ්ඨාංග ශීලය සමාදන් වෙන්න, නිති පන්සිල් සුරකින්න, දහමෙහි හැසිරෙන්න, බොහෝ පින්දහම් හී යෙදෙන්න. දස කුසලයේ යෙදෙන්න. එය ඔබ දෙදෙනාට බොහෝ හිතසුව පිණිස පවතීවි. දහම් දැනුම දියුණු කරගන්න මහාමේඝ පුවත් සඟරාව කියවන්න. නමෝ බුද්ධාය!


    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !