ආයෙත් පටන් ගත්තා නේද බොන්න ???



" ආයෙත් පටන් ගත්තා නේද බොන්න????? මම කොච්චරවත් එපා කියලා තියෙනවද ඕවා බොන්න. තේරුම් ගන්න එපැයි ඕවා හොඳ නෑ කියලා හැමවෙලේම බොන්න. හැමදාම හවස් වෙද්දි බොනවා ඇඟේ අමාරුවට කියලා. අනේ මන්දා දැන් නම් හවස් වෙද්දී ඇඟේ අමාරුවක් තිබුණත් නැතත් බොන එක පුරුද්දක් වෙලා වගේ. ඔය විදියට බොන්න ගියොත් මොන ලෙඩේ හැදිලා නවතියි ද කියලා මට නම් හිතාගන්න බෑ..." එක දවසක හවසක අම්මා පොඩ්ඩක් කෑගහනවා ඇහිලා මමත් පොඩ්ඩක් කුස්සියට ඔලුව දාලා බැලුවා කාටද මේ කියන්නේ කියලා. " අනේ පුතේ ඔයාලාවත් කියලා බලන්නකෝ අප්පච්චිට ඔහොම බොන්න එපා කියලා" ඈ..... මටත් ටිකක් හොල්මං වගේ. මොකද අප්පච්චි සුරා සුදුවෙන් තොරයි කියලා මම දන්නවනේ හොඳටම! ඒත් ටිකකින් මීටර් වුණා මොනාද මේ කියන්නේ කියලා. " මම දවසක් හොරෙන් ඔය බෝතලේ හැංගුවා, ඒත් අප්පච්චි කොහොමහරි ඔය බෝතලේ හොයාගෙන මටත් බැන්නා " අම්මා තවත් දිගට කියනවා හිනාවෙවී...!

ඔයාලට හිතාගන්න පුළුවන්ද මොනා ගැනද මේ කියන්නේ කියලා??? ටිකක් අමාරුයි වගේ නේද? ආ.. එහෙනම් මම ම කියන්නම්කෝ. අපේ අප්පච්චි කාලෙක ඉඳන් පුරුදු වෙලා ඉන්නවා පොඩි අසනීපයක ලකුණක් හරි දැනුනු ගමන් පැනඩෝල් බොන්න. කොහොමහරි සතියකට පැනඩෝල් කාඩ් එකක් විතර ඉවර කරනවා මම හිතන්නේ. බෝතලේ කියලා කිව්වේ ඒ පැනඩෝල් දාලා තියෙන බෝතලේ. පැනඩෝල්, පැරසිටෝල් වගේ එක එක නම් වලින් පැරසිටමෝල් අඩංගු ඖෂධ වෙළඳපොලේ තියෙනවානේ. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා උණක්, හෙම්බිරිස්සාවක්, මස්පිඩු වේදනා, හිසරදය, දත් අමාරු, ඔය ගෑණු ළමයින්ගේ එක එක පුරස්න ... ආදී එකි මෙකී නොකී අමාරු සියල්ලට ම පැරසිටමෝල් අඩංගු පෙති වර්ග පාවිච්චි කරනවා වේදනා නාශකයක් විදියට.



පැරසිටමෝල් වල N(4-hydroxyphenyl) ඇසිටැමයිඩ් යන සංයෝගය අන්තර්ගත යි. සංක්‌ෂිප්තව Acetaminophen යනුවෙන් තමයි හැඳින්වෙන්නේ. පෙති, දියර, බින්දු වගේ එක එක විධි වලට එක එක ආකර්ෂණීය වෙළඳ නම් වලින් තියෙනවා. අපි බලමු කොහොමද මේ පැරසිටමෝල් වැඩ කරන්නේ කියලා.

පැරසිටමෝල් මඟින් මධ්‍ය ස්‌නායු පද්ධතියට අයත් මොළයෙහි (brain) ප්‍රොස්‌ටොග්ලැන්ඩින් (Prostoglandin) නමැති ජෛවරසායනිකය සැදීම නිශේධනය කරනවා. ඒ Cyclooxygenase නම් එන්සයිමය නිශේධනය කිරීම මඟින්. Prostoglandin වලින් තමයි වේදනාව දැනීම ත්, ශරීර උෂ්ණත්වය ඉහළ යෑමත් සිද්ධවෙන්නේ. ඒ නිසා පැරසිටමෝල් ගත්ත වෙලාවට වේදනාව දුරුවෙනවා වගේ ම උණ (Pyrexia) ගත්ත අවස්‌ථාවල දී ශරීර උෂ්ණත්වය ද පහත දමනවා. පැරසිටමෝල් මඟින් මොළයෙහි Prostoglandin නිපදවීම නිශේධනය කළ ත් පර්යන්ත පටකවල එම ජෛවරසායනිකය සැදීම නිශේධනය කරන්නේ නෑ. ඒ නිසා පැරසිටමෝල් මඟින් NSAID ඖෂධ වගේ ප්‍රදාහය (Inflammation) වළක්‌වන්නේ නෑ.

වෙනත් බොහෝ වේදනා නාශක ඖෂධ මඟින් ආමාශයේ ද Prostoglandin සැදීම නිශේධනය කරන බැවින් ආමාශයික වණ, හෝ එවන් වේදනාකාරී තත්ත්ව ඇති වුණත් පැරසිටමෝල් මඟින් ආමාශය වැනි පර්යන්ත පටකවල ප්‍රොස්‌ටොග්ලැන්ඩින් සැදීම නිශේධනය නො කරන නිසා ආමාශයික වණ හෝ උදරයේ අපහසුතා ඇති වීමක්‌ සිදු වෙන්නේ නෑ. ඒ නිසා පැරසිටමෝල් උදරයට සෞම්‍ය වූ වේදනානාශකයක්‌ කියලා කියන්න පුළුවන්.

නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගත්තා ම නම් අතුරු ආබාධ නැති තරම් ය. ඒත් කලාතුරකින්, සමේ පලු දැමීම හා වෙනත් ආසාත්මිකතා ලක්‌ෂණ ඇතිවෙන්න පුළුවන් සමහරුන්ට. පැරසිටමෝල් පොඩ්ඩොන් ට දෙන කොට නම් වෛද්‍ය උපදෙස් අනුව ම දෙන එක තමයි හොඳ ම. වැඩිහිටියන් ට උනත් දවසකට 2000mg ට වඩා ගන්න එක අනතුරුදායක වෙන්න පුළුවන්. එහෙම වුණොත් වමනයට එන ස්‌වභාවය හා වමනය, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අඩු රුධිර පීඩනය, දහඩිය දැමීම හා ඇඟ සුදුමැලි වීම වැනි ලක්‌ෂණ ඇතිවෙන්න පුළුවන් . අක්‌මා සෛලවලටත් හානි වීමේ හැකියාව තියෙනවා. කොහොමත් වකුගඩු සහ අක්මා රෝග තියෙන අය නම් හිතුමතේට පැරසිටමෝල් අඩංගු ඖෂධ ගන්න එක හොඳ නෑ. ඒ වගේ ම පැරසිටමෝල් දවස් තුනකට වඩා වෛද්‍ය උපදෙස් නැතුව ගන්නත් හොඳ නෑ. ඔන්න එහෙනම් බෙහෙත් බොන වෙලාවට ආයෙත් ටිකක් හිතන්න වෙයි!!!!

උදව් කළේ : විකිපීඩියා! ( විකිපීඩියා + SOPA සටනට ජයවේවා!!!! )

26 comments:

  1. හ්ම්ම් ඔව් ඔව් කතාව ඇත්ත.. මමත් මේ ගැන දන්නවා.
    හොද ලිපියක්..
    බොන්න ඕනා දිගට හරහට පැනඩෝල්

    ReplyDelete
    Replies
    1. සියදිවි නසාගන්න වුණත් හොඳයි මම හිතන්නේ!

      Delete
  2. අපේ ගෙවල් ලග එකෙක් පැනඩොල් කාලා අසාවට තව දෙක තුනක් කැවා නම් අක්මාව දියවෙනවලු...

    ReplyDelete
    Replies
    1. ෂැහ්... අපරාදේ ඇයි ඉතින් එයාගේ ආසාව ඉෂ්ඨ කළේ නැත්තේ?

      Delete
  3. මාත් හිතන් ඉන්නේ එකපාර පැනඩෝල් කාඩ් එකක්ම බොන්න... :)

    ReplyDelete
    Replies
    1. ඇයි එකක්, බොන්නකෝ දෙකක්? එතකොට ආයේ බ්ලොග් ලියන්න ඕනෙත් නෑ... හික්ස්!

      Delete
  4. මොනා උනත් පැනඩොල් හොදයි ..

    ReplyDelete
    Replies
    1. හෙහ්... මම දන්නවා ඉතින් ඒ ඇයි කියලා! හැබැයි මම කාටවත් කියන්න යන්නේ නැතෝ!

      Delete
  5. මට නම් බොන්න අප්පිරියම බෙහෙත තමයි පැරසිටමෝල්...ගිය අවුරුද්දටම මම ඒවා බිව්වේ දවස දෙක තුනයි වැඩිම උනොත්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳයි අක්කේ, මමත් පොඩ්ඩක්වත් කැමති නෑ පැනඩෝල් වලට!

      Delete
  6. මට නම් පොඩි පෙති ඇලජික් !!!
    එවුවා බිව්වම උගුරේ ඇලවෙනවා. වතුර සෑහෙන්න බොන්න ඕනා ඒක ගිලෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වම තමා මතක් උනේ. අපේ එකෙක් පැනඩෝල් බීලා මැරෙන්න ගියා.

      පැනඩෝල් බීලා මැරෙන්න බෑ ලූ. මොකද මැරෙන්න ඕන ගාන බොනකොට වමනේ යනවලු. ඒ නිසා මැරෙන්න ඕන එකෙක් ඉන්නවනම් වමනේ පෙත්තක් බීලා පැනඩෝල් බොන්න පටන් ගන්න.

      Delete
    2. එතකොට පොඩි පෙති බොන්නෙ කොහොමද? වෙලාවට් වමනේ පෙත්ත ගැන දැනගත්තේ.. දන්න හැමෝටම කියන්නෝන!

      Delete
  7. පැනඩෝල් ගැන මං සවිස්තරව ලියපු ආටිකල් එකක් ඇති!වෙලා තියන වෙලාවක ගිහින් කියවන්න~

    ReplyDelete
  8. මටත් මේ තියෙන කරුම ඔළුවේ කැක්කුමක් නිසා සතියකට වතාවක්වත් පැනඩෝල් බොන්න වෙනවා.. දැං නම් එපා වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඕකෙන් නම් වෙන්නේ ලෙඩේ යටපත් වෙන එක විතරයි මලයෝ, කොහොමහරි ස්ථිර ප්‍රතිකාරයක් ම ගන්න එක තමයි හොඳම!

      Delete
  9. මට නම් මොන ලෙඩේටත් පැනඩෝල්ම තමයි . මගේ යාලුවෙකුත් පැනඩෝල් වගයක් බීලා මැරෙන්ඩ ගිහින් ආයේ බේරුනා ..

    ReplyDelete
  10. ඒත් පුරුද්දකට යන එක නම් හොඳ නෑ මම හිතන්නේ... යාළුවට කලින් වමනේ පෙත්තක් දීලා හිටියා නම් මෑන් ගොඩ!

    ReplyDelete
  11. වේදනාව වැඩි කමට ඉක්මනින් හොඳ වෙන්න පෙති ගොඩක් බිලා කීදෙනෙක් මැරිලා තියේද.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එක අතකට නොදැනුවත්කම තමයි මිනිස්සුන්ගේ!

      Delete
  12. පැරසිටමෝල් වැඩිපුර ගැහිල්ල නං හොද නැත.

    ReplyDelete
  13. ම්ම්ම් වැදගත් ලිපියක්..

    ReplyDelete
  14. ඔයා පෝස්ට් එක පටන් ගත්ත විදිහේ අපූර්වත්වයක් තියෙනවා. මම ඒ ආරම්භක කරුණු ගැන පොඩ්ඩක් විතර ලියල තියෙන නිසා වෙලාවක් තියෙනම් ගොඩවෙලා බලන්න.www.pivisuma.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !