මට්ටකුණ්ඩලී කතා වස්තුව ...


සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි. පාලු සොහොනෙහි හිඳින බමුණා, මියගිය සිය පුතු ගේ සිරුර තුරුළු කරගනිමින් මහත් ශෝකයෙන් යුතු ව හඬා වැටෙයි. විටෙක තමාට ම දෙස් දෙවොල් තබාගනියි. විටෙක නිවැසියන්ට ද දොස් පවරයි. "අහෝ මා වැනි අවාසනාවන්තයෙක්, මගේ එක ම පුතා කුඩා වයසේදී ම මා හැර ගියා නොවේදෝ, මගේ පුතාට නැවත නැඟී සිටින්නේ නම් කොයිතරම් මැනවිදෝ ..." ආදී වශයෙන් හේ වැළපෙයි. මොහොතකට පෙර ජනශුන්‍ය ලෙසින් දිස් වූ සොහොනෙහි තවත් හැඬුමක් බමුණා ට ඇසෙයි. ශෝකයෙන් යුතු ව වටපිට බලන බමුණාට දකින්නට ලැබෙන්නේ අහස දෙස බලමින් හඬනා මියගිය තම පුතුගේ ම වයසේ ම වැනි කුඩා දරුවෙකි. මදක් වික්ෂිප්ත වූ බමුණා කුඩා දරුවා වෙත ගොස් ආදරයෙන් ඇමතීය.

"පුංචි දරුවෝ... ඇයි ඔයා අඬන්නේ? "

"අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් නැහැ. ඒකයි මම අඬන්නේ "

"අනේ පුතේ , ඒක සුළු දෙයක්නෙ. ඔයාට ඕන රත්තරනින් රෝද දෙකක් ද නැතිනම් රිදියෙන් රෝද දෙකක් ද කියලා මට කියන්න. මම දෙන්නම් "

"ඒ එකක්වත් නෙවෙයි, මට ඕන රෝද දෙක තමයි ඉරයි හඳයි "

"ඈ මෝඩ දරුවෝ... ඉරයි හඳයි කොහොමද රෝද හැටියට කරත්තෙකට ගන්නේ ?"

"කවදාවත් ආයෙ නොලැබෙන, ඇස් දෙකටවත් පේන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඬන මාමා ද මෝඩ නැත්තම් අර ඇස් දෙකට වත් පෙනෙන ඉර හඳ ඉල්ලලා අඬන මම ද මෝඩ? "

බමුණු තෙමේ මහත් ලැජ්ජාවට පත් විය. හැඬුම නවත්වා හෙතෙම බර කල්පනාවකට වැටිණි. "ඇත්තෙන් ම නුවණැති දරුවෙක්නෙ. වැඩිහිටියෙක්වත් නොකියන කතාවක් නෙ මේ දරුවා කිව්වේ..." ආදී කෙලවරක් නැති සිතිවිලි බමුණාට ඇතිවිය.

"ඇත්තෙන් ම පුතේ ඔබ කවුරුන් ද ?" බමුණා කුතුහලයෙන් යුතු ව විමසීය.

මෙහිදී ළමා වේශය අත්හැර සිය ප්‍රකෘති ස්වභාවයෙන් ම පෙනී සිටි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසීය. "පින්වත් බමුණ, මම මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙමි. පෙර ජීවිතයේ ඔබේ පුත්‍රයා වෙමි. ඉතා සුළු කාලයක් භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ සරණ ගොසින් මේ සා ආනුභාවයන් ලදිමි. පියාණෙනි, දැන්වත් බුදු සමිඳුන් සරණ යන්න. ඔය මසුරු බව දුරලා දන් දෙන්න. සැප ලබන්න පින් කරන්න". මෙසේ පැවසූ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සැණෙකින් අතුරුදන් විය.

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඔබත් සූදානම් ද ?


සුපුරුදු පරිදි එදිනත් බ‍්‍රාහ්මණතුමා තම පුත‍්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ‍්‍රාහ්මණතුමා වහා වහා එතැනට පැමිණියේය. ගිනි රස්නයෙන් කෝපයට පත් අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙනු බමුණා දිටීය. ඒ වන විටත් තම සෙනෙහබර පුතුගේ අවසන් සුසුම් පොද වාතලයට එක් වී හමාර බව බමුණා ට පසක් විය. දැන් කරන්නට දෙයක් නැත. පුතු මිය ගොසිනි…. ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි එක්වරම බමුණාගේ සිතට නැගුණේ. බ‍්‍රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල කුඹුරක සිටි යහළු බමුණෙකු ඇමතී ය.

***********************************************************

…බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල කියලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඒ ගමේ ගොඩක් සමගියෙන් වාසය කළ පවුලක් හිටියා. ඒ පවුලේ හිටියෙ සාමාජිකයෝ හයදෙනයි. ඒ තමයි බ‍්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, පුත‍්‍රයා, දියණිය, පුතුගේ බිරිඳත් දාසියත් කියන හයදෙනා. මේ හැමෝම ගමේ අනිත් අයට වඩා සතුටින් සමගියෙන් ඉන්න එක්තරා විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි උදේ හවස, නිතරම වගේ ජීවිතයේ යථා ස්වභාවය සිහි කරන්න ඒ අය පුරුදු වෙල හිටිය එක. ඒ තමයි තමනුත්, අනිත් ඉපදුණ සියලූ දෙනාත් මරණය උරුම කරගෙන ඉන්න බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඩීම ඒ අය පුරුද්දක් කරගෙන හිටියා.ඒ මරණානුස්සතිය කොයිතරම් දුරට පුරුදු කරලා තිබුණ ද කියන්නේ, කවුරුහරි කෙනෙක් නිවසින් එළියට යද්දි අනිත් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. ඒ විදියට අනිත් අයට අවවාද කරලා සිහිය පිහිටුවලා තමනුත් ජීවිතාපේක්ෂාවෙන් තොරව පිටත්වෙලා යනවා.

***********************************************************

"යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට දන්වන්න, ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙස”. බමුණාගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ ඉක්මනින් කුඹුරට පැමිණුන හ. අදරැති පුතුගේ, සොයුරා ගේ සැමියා ගේ නිසල සිරුර සියලූ දෙනාගේම ඇස් ඉදිරියේ දකින්නට ඇත. සියල්ලෝ ම සිටින්නේ ගැඹුරු කල්පනාවක නිමග්නව ය. සිදුවූ විපත ගැන දුකක් ශෝකයක් ඇති නමුදු කිසිවෙකුගෙන් ඒ බවක් නොපෙනෙයි. ඉකිබිඳුම් හඬකුදු ඇසෙන්නට නැත්තේ ය.

මේ ඇස් පනාපිට දකින්නට ඇතිතේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය ම නොවේදැයි ඔවුන් සිතනවා විය යුතුයි. බමුණුතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා ගිනි දැල්වීය. සියල්ලෝ නොහඬා නමුත් කිසියම් සංවේගයකින් යුතු ව එදෙස බලා සිටිති. මිය යන්නට යෙදුණු බ‍්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.

" පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.”
" නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.”
" කිම? මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”
" නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත‍්‍රයා ය.”
" අහෝ පුදුමයකි…! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”

බ‍්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.

" සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.

‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත‍්‍රයායි.”

‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?”

‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද? ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.

" නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.”

" නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?”

" ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් මා ගැන ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

ඊළඟ වාරය බිරිඳගේ ය.

" පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.”

" සොහොයුරිය, ස්ත‍්‍රීහූ නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?”

" පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.

" නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.”

" එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය… ‘ මා ඔහුට වතාවත් කළා. නමුත් ඔහු මට නිතර දඬුවම් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති.”

" එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත‍්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි.”
" එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?”
" පින්වත් බ‍්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩිය හ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත් හ.

*********************************************************************

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් මැරුණට පස්සේ ශක්තිමත් පුරුෂයෙක්, දිගහැරිය අතක් නවන්නට යන තරම් සුළු කාලයක් ඇතුලත ගිහින් තවත් තැනක උපදිනවා. ඒ නිසා තමයි බමුණු තරුණයා ට ශක්‍ර දෙවියන් විදියට ඉපදිලා තමන්ගේ ඥාතීන් හමුවෙන්න එන්න පුළුවන් වුණේ. කෙනෙක් මැරුණට පස්සෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා කියවන්න කැමති අය ඉන්නව නම් මෙතැනින් ගිහින් ඒ ලිපි‍යත් කියවන්න. මේ ජීවිතය කියන්නේ සංසාරයේ එක තාවකාලික නවාතැන්පොළක් විතරයිනෙ. ඉතින් හමුවීම්, වෙන්වීම් අප්‍රමාණයි. ඒ හැම එකක් ගානෙ ම දුක්වෙන්න ගියොත්..... ? ඒ නිසා අපි යථාර්තය තේරුම් ගන්න උත්සහ කරන්න ඕන. අපි මළගෙදරකට ගියත් කවදාවත් මේ යථාර්තය හිතන්නෙ නැහැනේ. හිතන්න උත්සහ කරන්නෙත් නැහැ නේ අපිත් මැරෙන අය කියලා. මරණානුස්සති භාවනාව ඉගෙනගන්න කැමති අය මෙතැනින් බලන්න.

මේ කතාව මම ඇහුවෙ රේඩියෝ එකෙන්. ලියන්න ඕන කියලා හිත හිතා ඉද්දි මේ කතාව ඇතුළත් ඊමේල් එකක් ආවා මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ලිව්ව. ඉතින් ලියද්දි ඒකෙනුත් යම් යම් කොටස් උපුටලා ගත්තා. ඒ ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා! සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් ලිව්වේ. පහුගිය මාස වල ටිකක් විතර කාර්යබහුල වුණත් දැන් නම් ටික ටික විවේකය තියෙනවා. ඒ නිසා ඉදිරි මාස වල දිගටම ලියන්න ලියලා තමයි හිතාගෙන ඉන්නෙ.....

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

BIOS password දාන්නේ කොහොමද ?


සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි

1. Windows Password යෙදීම මඟින්

2. BIOS password යෙදීම මඟින්

මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්! BIOS password ගැන කියනවානම් ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. සමහරු දන්නවා වුණාට පාවිච්චි කරන්නෙත් නෑ. දන්නවද, Windows Password යෙදීම ආරක්ෂිතයි තමයි, නමුත් ඒකට වඩා දහස් ගුණයකින් ඔයා ආරක්ෂිතයි ඔය මුරපද දෙකම පාවිච්චි කරනවානම්.

මේ වගේ දෙයක් හදිස්සියේ ම මතක් වුණේ කැම්පස් එකේ අඳුරන මල්ලි කෙනෙකුට වුණ පොඩි අකරතැබ්බයක් නිසයි. මෑන් දවසක් බස් එකේ කැම්පස් එන ගමන් පැල්මඩුල්ල හරියෙදි බස් එක තේ බොන්න නවත්තලා. එයාත් බෑග් ටික ඉඳගෙන හිටිය සීට් එක උඩින් තියලා සිංදුවක් කියන්න ගිහින්. නිදහසේ සින්දුව කියලා පොඩ්ඩක් වටපිට කාරිය බලලා ආයෙත් බස් එකට ඇවිත් බලනකොට ලැප් බෑග් එක නෑ. බස් එකේ හිටිය හැමෝම වගේ බැහැලා ගිහින් නිසා අහන්න කවුරුවත් ඉඳලත් නෑ. හිටිය එක්කෙනා දෙන්නගෙන් අහද්දි කිව්වලු තුන් හතරදෙනෙක් ඇවිත් අරන් යනවා දැක්කා, ඒ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා නෑ. මොනවා කරන්නද ඉතින්, පාඩුව විඳගත්තා මලයා. පස්සේ හොයලා බලද්දි තමයි දැනගත්තේ එතන එහෙම බස් වල බඩු හොරකම් කරන මැර කල්ලියක් ඉන්නවා කියලා.

ඔය වෙනකල් ම මම වුණත් හිතලා තිබ්බේ නෑ පොඩ්ඩක්වත් ලැප් එකේ ආරස්සාව ගැන. ඊට පස්සෙ මම හොයලා බලලා දැනගත්ත දේවල් ඔයාලටත් ඕන වෙන්න පුළුවන්නේ කියලා හිතලා තමයි මේ පෝස්ට් එක දාන්නේ. හරි හරි ඒ කතාව ඉවරයි, අපි යමුකෝ අපේ මාතෘකාවට. BIOS password එක මඟින් කෙරෙන්නේ CMOS වල ගබඩා කරලා තියෙන Settings වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන එකයි. තවදුරටත් කියනවා නම් පරිගණකයේ දෘඪාංග සඳහා වන පිවිසීම අවහිර කරනවා මෙයින්. එහෙමත් තේරුණේ නැත්තම් මෙහෙමයි, පරිගණකයට ඔයා නැතුව මොනවවත් වෙනස්කමක් කරන්න දෙන්නෙ නැහැ. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාගේ පරිගණකය කවුරුහරි සොරකම් කළා කියලා. අපි හිතනවා "බයවෙන්න දෙයක් නෑ, මම XXXX මෘදුකාංගය දාලානේ තියෙන්නෙ, ඒකෙන් ලැප් එක ගත්ත කෙනාගේ ෆොටෝ එකයි ඉන්න තැන ගූගල් මැප් එකකිනුයි කියලා ඊ මේල් එකක් එයිනේ"

එහෙම වේවි හොරා ඔයාගේ පරිගණකයට log වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වුණොත්!!! හැබැයි ඔයාගේ අවාසනාවට හොරා ලැප් අරගෙන Format කරනවා.... එතනදී ගූගල්ටත් ඔයාට උදව් කරන්න බැරුව යනවා. ඊට පස්සේ තියෙන්නේ හිත හදාගන්න එක විතරයි නේද? නෑ නෑ එහෙම වෙන්න ඕන නෑ දැන්... ඒක වළක්වන්න තමයි අපි BIOS password දාන්නේ. එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය Format කරන්න බැහැ. හොරාට එතකොට හොරකම් කල එකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ!

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්.

ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ නිල්පාට තිරයක් සහිත මේ වගේ Window එකක්. ඒකේ තියෙනවා Security කියලා tab 1ක්.

ඒකේ තියෙනවා තේරීම් දෙකක්. "Set User Password" සහ "Set Supervisor Password" විදියට. "Set User Password" එකෙන් කරන්නෙත් password එකක් දෙන එක තමයි , නමුත් එතනදි ඒක දන්න කෙනාට පුළුවන් CMOS Settings සඳහා ඇතුළුවෙන්න සහ බලන්න විතරයි. වෙනස්කම් කරන්න ඉඩදෙන්නෙ නැහැ.

"Set Supervisor Password" එක දන්නවනම් ඕන විදියක වෙනස්කම් කරන්න ඉඩදෙනවා. එහෙනම් තෝරන්නකෝ "Set Supervisor Password" කියන එක (ENTER ක්ලික් කරන්න). දැන් Password එක දෙන්න. ඒක ආයෙත් Confirm කරන්න. ඕන කියලා හිතෙනවා නම් "Set User Password" එකත් ඒ විදියටම දෙන්න. දැන් F10 ඔබලා Save කරන්න. ඊටපස්සේ ඔයා පරිගණකයට log වෙන හැමවෙලාවෙම වගේ ඔය Password එක අහාවි. User/Supervisor දෙකෙන් කොයි එක දුන්නත් ගැටළුවක් නැහැ.

ප.ලි: මතක තියාගන්න පුළුවන් Password එකක් දෙන්න, බැරිවෙලාවත් ඒක අමතක උණොත් ආයෙත් log වෙන එක Desktop වල නම් ඒතරම් අවුලක් නොවුණත් Laptop වල ටිකක් කරදරකාරී වැඩක්.

13 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මැස්සෙක් නිසා...


අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.

කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහණ වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා භික්ෂු පිරිස පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර සඟ පිරිසේ හිටිය රහතන් වහන්සේ නමකගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.

මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි හිතාමතා ම මැස්සෙක් ව කිරි මුට්ටියක දාලා උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට සිහි කරගන්න පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙනවා. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....

අපි නොසැලකිල්ලෙන් කරන පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනා ම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නෑ අපි කාටවත් ම....එහෙම නේද? ඒ වගේ ම කර්ම විපාක දෙන හැටිත් පුදුම සහගතයි නේද? සාමාන්‍ය මිනිස් මනසකට ඒක තේරුම් ගන්න බැරි, අචින්ත්‍ය දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒනිසා වෙන්න ඇති!

17 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පාත්‍රය...


සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න."

"සුබ උදෑසනක් වේවා සිටුතුමනි".

"සුබ උදෑසනක් මිතුර, කිමෙක්ද බොහෝ කලෙකින් අප මතක් වූයේ? අමනාපයක් වත් ද? "

"අනේ සිටුතුමනි, අමනාපයක් නොවෙයි, මෙවර වෙළඳාම සඳහා අප ගියේ බොහෝ දුර ඈතකටයි, ඒ නිසා නැවත පැමිණෙන්නට සිතුවා ට වඩා බොහෝ කල් ගතවුණා. මා ඔබතුමා හමුවට හදිසියේ ම පැමිණුනේ මට එහි දී හමු වූ වටිනා වස්තුවක් ඔබතුමාට දීමටයි"

"එ කිමෙක්ද මා මිතුර ?"

"මා දන්නවා ඔබතුමා බොහෝ සේ සඳුන් ලී වලට ප්‍රිය කරන බව. එසේ ම මා දැක තිබෙනවා සිටු මාළිගයේ තිබෙන අනර්ඝ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ. ඉතින් මා සිතුවා වෙළඳාම අතරතුර මා ලද මේ වටිනා සඳුන් ලී කැබැල්ල ඔබතුමා ට දීමට, ඒ මන්ද යත් මෙය ලද විට මට එකවර ම මතක් වුණේ ඔබතුමායි "

"ඔබට බොහෝ ම ස්තූතියි මිතුර, මා පමණක් නොවෙයි අපේ පරම්පරාවේ හැමදෙනා ම පාහේ සඳුන් ලී වලට බොහෝ සේ ඇළුම් කළා. මේ මාළිගයේ තිබෙන්නේ මා විසින් කරවූ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ පමණක් නොවේ. මගේ පියා, ඔහුගේ පියා, ඔහුගේ ත් පියා ආදි වශයෙන් බොහෝ දෙනා කරවූ භාණ්ඩ මෙහි තිබෙනවා. මා සිතන්නේ අපේ මහ රජතුමාට වත් මෙපමණ අනර්ඝ සඳුන් ලී කැටයම් නැතැයි කියායි. ඉතින් ඔබට නැවතත් බොහෝ ම ස්තූතියි"

"එසේ නම් සිටුතුමනි මට යන්නට අවසර, අපට කළයුතු බොහෝ වැඩ තිබෙනවා නොවැ..."

වෙළෙන්දා ඒ අයුරින් නික්ම ගියත් සිටුතුමා ගේ කල්පනාව වූයේ මේ සඳුන් ලීයෙන් කළයුත්තේ කුමක්දැයි කියායි. ඇත්තෙන් ම අළුතින් නිර්මාණය කරවිය යුතු කිසිවක් සිටුවරයාගේ මතකයට නො එන තරමට සිටු මාළිගය කැටයම් භාණ්ඩ වලින් අනූන එකක් විය. දින ගණනාවක් නොයෙක් අදහස් අතර සැරිසැරූ සිටුවරයාට එක්වර ම කදිම අදහසක් පහළ විය. වහා ම තම වඩුවා කැඳවූ සිටුවරයා, ඔහුට නියෝග කළේ සඳුන් ලීයෙන් මනරම් පාත්‍රයක් කරවන ලෙසයි. වඩුවා පාත්‍රය සාදන අතරතුරේ තම සේවකයන් කැඳවූ සිටුවරයා ඔවුන් ට දැන්වූයේ බොහෝ උස උණ ගස් කිහිපයක් කපාගෙන විත් ඒවා හොඳින් එකිනෙක ගැටගසා ඉතා උස කණුවක් පිළියෙල කරන්නට කියායි. වඩුවා විසින් කර වූ අනර්ඝ සඳුන් ලී පාත්‍රය යටි අතට හරවා උණ ගස් වලින් කරවූ කණුව කෙළවරේ රැඳ වූ සිටුවරයා තම සේවකයන් ට නියෝග කළේ එය ගෙනගොස් නගරය මැද සිටවන ලෙසයි. ඉන්පසු නගරය පුරා අණබෙරයක් යවමින් "ලෝකයේ රහතුන් යැයි සම්මත කිසිවෙක් සිටී නම් තමන් ගේ ඍද්ධි බලයෙන් මේ අනර්ඝ සඳුන් ලීයෙන් කර වූ පාත්‍රය ගනිත්වා" යි දන්වා සිටියේ ය.

නගරයේ මෙතෙක් නොවූ විරූ මහත් වූ කෝලාහලයක් පැතිර ගියේ ය. නමුත් කිසිවෙක් පාත්‍රය ගන්නට නම් ඉදිරිපත් නොවී ය. නමුත් සිටුවරයා වෙත රහසේ පැමිණෙන පණිවුඩකරුවන්ගෙන් නම් අඩුවක් නැත.

…"සිටුතුමනි, අපේ ගුරුවරයා නම් නිසැකව ම රහතන් වහන්සේ කෙනෙකි, නමුත් එතුමා ඍද්ධි බලයන් සාමාන්‍ය මිනිසුන් හමුවේ විදහා පාන්නට අකමැතියහ . ඒ නිසා අනාගතයේ බොහෝ සැප ලබාගනු වස් අපගේ ගුරුවරයාට මේ පාත්‍රය පූජා කළ මැනව"

"ඔබගේ ගුරුවරයා රහත් කෙනෙක් නම් පහසුවෙන් මේ පාත්‍රය ගතහැකි නොවේද? එනිසා අප වෙහෙසට පත් නොකර ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ලබාගන්න" ඒ පණිවුඩකරුවන් සියල්ල ට ම සිටුතුමාගේ පිළිතුර එක ම විය.

මේ අතර රජගහනුවර නිඝණ්ඨයන් ගේ ආරාමයේ මේ ආකාරයේ කථාවක් ඇතිවිය.

"ස්වාමිනී, ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය කෙසේ හෝ අප වෙත ලබාගන්නට නොහැකි වුවහොත් අපට වන්නේ මහත් ම පාඩුවකි. ඔබ වහන්සේ රහත් කෙනෙකු ලෙස සලකා අපට දන් පැන් පූජා කරන බොහෝ දෙනා අප කෙරෙහි අපැහැදීමක් ඇතිකරගනු නො අනුමාන ය. එහෙයින් නොපමා ව කිසිවක් කළ යුතු ය. එසේ ම අප සිටුවරයා වෙත යැවූ පණිවිඩකරු ද පෙරළා හරවා එවා තිබෙන බව සැලයි. කුමක් හෝ කළ මැනව "

"එසේ නම් මා විසින් ම ගොසින් රජගහනුවර සිටුවරයා හමුවෙන්නෙමි, ඔහු අපට බොහෝ හිතෛෂී, නිතර දන් පැන් දෙන කෙනෙක් නොවැ. ඒ නිසා ඔහු මට පාත්‍රය පූජා කරනු නියතයි. යම් හෙයකින් එසේ පාත්‍රය ලබාගන්නට නොහැකි වුවහොත් එය උපක්‍රමයකින් ලබාගනිමු." ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්ත තුමා තම ශ්‍රාවකයන් ට එසේ පවසා තෙමේ ම ගෝලයන් පිරිවරා රජගහනුවර සිටුවරයා හමුවන්නට ගියේ ය. 

"පින්වත් සිටුතුමනි, රහතුන් ට අභියෝග කිරීම මේ ලෝකයේ අතිශයින් ම නොකළමනා ය. ඒ නිසා නොපමා ව පාත්‍රය මා වෙත පූජා කළ මැනව."

"නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, මේ නම් ඔබ වහන්සේ ගේ රහත් බව ලෝකය හමුවේ ප්‍රකට කිරීමට කදිම අවස්ථාවකි. ඒ නිසා අප වෙත අනුකම්පාවෙන් ඍද්ධි බලයන් පා පාත්‍රය ගනු මැනව "

"හොඳයි සිටුතුමනී, එසේ නම් මා විසින් ම ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ගන්නෙමි. මාගේ ශ්‍රාවකයෙනි, ඍද්ධි බලය විදහා පෑම පිණිස මේ පිරිස මඳක් ඈත් මෑත් කළ මනා ය. "

නිඝණ්ඨනාථපුත්තයන් ඍද්ධි බලය පෑමට පා ඔසවනවාත් සමඟ ම එතුමා අල්ලාගත් ශ්‍රාවක පිරිස "ස්වාමීනී අපගේ දිවි යතත් ඔබතුමාට ඍද්ධි බල පෑමට නම් ඉඩ නොදෙමු. මේ සා නොවටිනා පාත්‍රය ක් වෙනුවෙන් වෙහෙස නොවනු මැනව. " යනුවෙන් පැවසූ ශ්‍රාවක පිරිස නිඝණ්ඨනාථපුත්තයන් අල්ලාගෙන නිඝණ්ඨාරාමය වෙත ගෙන ගියෝ ය.

මේ අතර දර කඩා විකිණීම ජීවිකාව කරගත් දර කඩන්නන් දෙදෙනෙක් අතර මහ වනය මැද දී මෙවැනි කථාවක් ඇතිවිය. "ඉස්සර නම් මේ රජගහනුවර අපි රහත්... අපි රහත් කියලා කියාගත්ත අය කී …දෙනෙක් නම් හිටියද? කෝ ඒ එක්කෙනෙක්වත් අපේ සිටුතුමා ගේ පාත්‍රය ගන්න ආවද, නෑනේ. බලාගෙන ගියා ම මේ ඔක්කොම බොරුකාරයෝ වගේ නේද? මේ ලෝකය රහතුන් ගෙන් හිස් වෙලාවත්ද..."

ඒ කැලය මැද වූ ගල්තලාවේ විවේකී ව වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකි. ඒ මුගලන් මහ රහතන් වහන්සේ සහ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේයි. උන් වහන්සේලාට මේ දර කපන්නන්ගේ කථාව ඇසුණි. උන් වහන්සේලා අතර ඇති වූ කථාව මෙබඳු විය.

"ආයුෂ්මත් භාරද්වාජයන් වහන්ස, ඔබ වහන්සේට ඇසුණාද ඒ දර කපන්නා ගේ කථාව? ඇයි ඔබ වහන්සේ ඍද්ධි බලයෙන් මේ පාත්‍රය දිනා ගෙන ලෝකයේ රහතන් වහන්සේලා තවමත් වැඩ වාසය කරන බව ලෝකයට කියාපාන්නේ නැත්තේ? "

"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එසේ ය, මටත් එය ඇසුණා. නමුත් ඔබ වහන්සේ නොවේද ඍද්ධි බල ලාභීන් අතර අග්‍රස්ථානයේ සිටින්නේ. එනිසා ඔබ වහන්සේට පහසුවෙන් මේ පාත්‍රය දිනාගත හැකි නොවේ ද ?"

"ආයුෂ්මතුන් වහන්ස, මේ බොහෝ දෙනා අතර මාගේ ඍද්ධි බලය බොහෝ ප්‍රකට එකකි. බොහෝ දෙනා ඒ ගැන දනිති. නමුත් ඔබ වහන්සේගේ හැකියාවන් බොහෝ දෙනා අතර ප්‍රකට නැත. ඒ නිසා එය ලෝකයට ප්‍රකට කිරීමට මේ පාත්‍රය ඔබ වහන්සේ ම දිනාගනු මැනව. "

…"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එය නම් ඇත්තකි." එසේ ප්‍රකාශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ රැඳී සිටි ගල් තලාව සමඟ ම අහසට පැන නැඟී රජගහනුවරට ඉහළ අහස වටා සත්වරක් ගල්තලාව මතින් ගමන් කළ හ. ගල්තලාවක් ඉහළ අහසේ කරකැවෙමින් තිබෙනු දුටු නුවර වැසියෝ මහත් භීතියට පත් වී මහත් වික්ෂිප්ත බවට පත් වූහ. තවත් මොහොතකින් මේ ගල්කුළ තම හිස් මතට කඩා වැටෙතැයි සිතූ වැසියෝ මහ හඬින් විලාප නගන්නට වූ හ. එවිට ගල්කුළ මතින් භාරද්වාජයන් වහන්ස අහසට වැඩ නුවර වැසියන්ට තමන් වහන්සේ පෙනෙන්නට සැලැස්වූ හ. 

"අනේ ස්වාමිනි අප බේරාගනු මැනව. තව සුළු මොහොතකින් ඔය මහා ගල් තලාව අප හිස් මතට කඩා වැටෙනු නියතයි... "…යනුවෙන් නුවර වැසියෝ විලාප තබන්නට වූහ. ඒ සමඟින් ම තම පාදයෙන් ගල් තලාව ස්පර්ශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ ගල් තලාව වනයේ තිබූ තැනටම වැටෙන්නට සලස්වා තමන් වහන්සේ පාත්‍රය සහිත කණුව අසල අහසේ පළඟක් බැඳ වැඩ සිටිය හ. ඒ සමඟින් ම එළියට බට රජගහනුවර සිටුවරයා "අනේ ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන් පහළට වැඩිය මැනව " යනුවෙන් යදින්නට විය. තම සේවකයන් අණවා පාත්‍රය බිමට ගත් සිටුවරයා බිමට වැඩි පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේට පාත්‍රය පූජා කලේ ය. පාත්‍රය පිළිගත් පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ වේළුවනාරාමයට වඩිනා විට නුවර වැසි ජනයා මහ හඬින් සාධුකාර දෙමින් මහ පෙරහරින් වේළුවනාරාමය දෙසට ඇදෙන්නට වූ හ.

මේ අතර වේළුවනාරාමයේ වැඩ සිටි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මේ මහා ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ ඒ කුමක්දැයි කියා උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසූ හ.

"ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ භාරද්වාජයන් වහන්සේ ඍද්ධි බලයෙන් රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගෙන, ඒ බව දුටු මිනිස්සු මහ පෙරහරින් වේළුවනාරාමයට පැමිණෙන හඬයි ඒ ඇසෙන්නේ " යනුවෙන් ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන් හ.

"එසේ නම් ඒ භාරද්වාජ භික්ෂුවට මා හමුවට පැමිණෙන ලෙස දන්වන්න " යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැවසූ හ. සුළු වේලාකින් තමන් හමුවට පැමිණි පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ හ.

"පින්වත් භික්ෂුව, ඔබ රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගත් බව සැබෑවක් ද? "

"එහෙමයි ස්වාමිනි, මා එය දිනාගත්තා. "

"පින්වත් භික්ෂුව, උතුම් වූ අරමුණක් වෙනුවෙන් මහත් ශ්‍රද්ධාවෙන් ම මේ බුද්ධ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයෙකු උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් මේ සා ලාමක වූ දෙයක් වෙනුවෙන් යෙදවීම එවැන්නෙකුට අතිශය නොගැළපෙන කටයුත්තකි. " යනුවෙන් වරදට ගර්හා කළ සේක. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අවබෝධයෙන් යුතුව ම වරද වටහා ගත් හ.

එමෙන් ම පසු දිනකදී බුදුරජාණන් වහන්සේ මහා සංඝයා මධ්‍යයේදී

"පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව සිංහනාද පවත්වන්නට හරී ම දක්ෂයි. දවසක් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව බුදුරජාණන් වහන්සේ හමුවේ තමන් වහන්සේ ගේ අරහත්වය ප්‍රකාශ කිරීමෙන් පස්සේ විහාරයේ දොරක් දොරක් ගානේ ගිහින් භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා, ආයුෂ්මතුන් වහන්ස, ඔබ වහන්සේලා කාටහරි සෝවාන් ඵලය ගැන හරි සෝවාන් මාර්ගය ගැන හරි සැකයක් තියෙනවා නම් මගෙන් අහන්න. මට හොඳින් ඒ ගැන කියාදෙන්නට පුළුවනී කියල සිංහනාද කළා. " කියලා බුදුරජාණන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා.

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !