සැපයි... හැබැයි දුකයි !!!

සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ, මහන්සි වෙන්නෙ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම, රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුට ලැබීම ආදී දේ ගැන නේ. ගිහි පැවිදි බොහෝ දෙනා දෙනා ම වගේ කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. මේ නිසා බොහෝ දෙනෙක් සසරක් ගැන හිතන්නෙ නැහැ, ඒ වුනත් හැම මොහොතකදී ම වගේ නැවත ඉපදීමක් සඳහා පින් සහ පව් රැස් කරනවා. ඇහැට පෙනෙන සැපය උදෙසා බොහෝ දෙනෙක් කයින් පව් රැස් කරනවා, වචනයෙන් පව් රැස් කරනවා, මනසින් පව් රැස් කරනවා. මෙසේ කයින්, වචනයෙන් හා මනසින් පව් රැස් කරලා මරණින් පස්සේ, කෙනෙකු හැකිළු අතක් දිගහරින පමාවෙන් නිරයේ උපදිනවා. ඇතැමෙක් තිරිසන් ලෝකයේ උපදිනවා. ඇතැමෙක් පේ‍්‍රත ලෝකයේ උපදිනවා. බොහෝ දුකට පත්වෙනවා.
සතර අපායට වැටෙන සුළු ජීවිතයක් බොහෝ දෙනෙකුට උරුම වී තිබෙන්නේ සසරේ බිය නොදැක, අකුසල් රැස් කිරීම නිසා යි. කුසල් රැස් කිරීමෙහි ප‍්‍රමාදවීම නිසා යි. ලෞකික ජීවිතය හෙවත් උපතත්, මරණයත් අතර පවතින මේ ජීවිතය ගැන පමණක් පුන පුනා වර්ණනා කරන නිසා යි. මේ පුහු වර්ණනාවට මිනිස්සු හසුවෙන්නේ කෙමනක් ඇතුළට රිංගලා පීනන මාළුන් රෑනක් වගෙයි. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. උන්වහන්සේ සසර ගමනක ඇති භයානක ස්වභාවය සෑම විට ම පෙන්වා දුන්නා. මිනිස්සු සසරට ඇලූම් කරමින් ඉන්නේ නොදැනුවත්කම නිසා බව බුදුරජාණන් වහන්සේ දැනගෙනයි සිටියේ. වරක් උන්වහන්සේ භික්ෂූන් අමතා මේ විදියට ප්‍රකාශ කළා.

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රයට ගිනි ඇවිලූණහොත්, හිස හෝ ගිනි ගත්තොත් එවිට කුමක් කළ යුතුද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇඳ සිටින වස්ත‍්‍රයට හෝ හිසට ගිනි ඇවිලූනහොත් ඒ ගින්න නිවා දමන්නට අධික උත්සාහයක්, බලවත් වීරියක්, බලවත් කැපවීමක් ගත යුතුය. ගින්න නොපැතිරීම පිණිස බලවත් සිහියක්, නුවණක් උපදවා ගත යුතුය.”

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රය හෝ හිස හෝ ගිනි ගත් කෙනෙක් එය නොසලකා, සිහි නොකර, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි උත්සාහ කළ යුත්තේ. බලවත් ලෙස කැපවිය යුත්තේ. සිහියත්, නුවණත් උපදවා ගත යුත්තේ.”
- චේල සූත‍්‍රය (ස.නි. 05) -

මේ විදියට අතිශයින් ම බලවත් උත්සාහයකින් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස කැප විය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළේ ඇයි ? මේ සසර ගමන ඉතා භයානක බව උන්වහන්සේ දන්නා හින්දයි. වරක් උන්වහන්සේ තම නිය සිළ මතට පස් ස්වල්පයක් රැගෙන අනතුරුව භික්ෂූන් අමතලා මේ විදියට පැවසුවා.

“පින්වත් මහණෙනි, මා නිය සිළ මත තිබෙන මේ පස් ද වැඩි, මහ පොළොවේ පස් ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නිය සිළ මත තිබෙන පස් නම් ඉතාම ස්වල්පයකි, නමුත් පොළවේ ඇති පස් ප්‍රමාණය නම් ගිණිය නොහැකි තරම් ය "
 
“පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයෙන් ම මිනිසුන් කෙරෙන් චුත වන මිනිසුන් ගෙන් යළිත් මිනිස් ලොව උපදින්නේ මේ නිය සිළ මත තැබූ පස් ස්වල්පය මෙන් ඉතා ම ටික දෙනෙකි. එහෙත් මේ මහා පොළොවේ පස් වැනි අති විශාල පිරිසක් මිනිස් ලොවින් චුත වී නිරයේ උපදිති. මිනිස් ලොවින් චුත වී පේ‍්‍රත ලොව උපදිති. මිනිස් ලොවින් චුත වී අපායේ ම උපදිති. යම් කෙනෙක් මිනිස් ලොවින් චුත වී යළිත් මිනිස් ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ඉතා ම ස්වල්පයයි. යම් කෙනේක මිනිස් ලොවින් චුත වී දෙව්ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ද ඉතා ම ස්වල්පයකි.”
- පඤ්චගති පෙය්‍යාල වර්ගය (ස.නි. 05) -

මේ භයානක අනතුරින් අත් මිදීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මය අහන්න, අවබෝධ කරන්න හැකියාව තියෙන මිනිස් ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. බුදු සසුනක් අපට මුණ ගැහිලා තියෙනවා. නමුත් මේ අවස්ථාව අපට අහිමි වුණොත් අපි කොහේ කවුරු වෙලා උපදී දැයි අපිට කියන්න බෑ. බැරිවෙලාවත් අපි අපා දුකට වැටුණොත් උපන් ජාතියේ නිසාවත් හෝ මිල මුදල් වලින් වත් ඒ අපා දුකින් නිදහස් වෙන්න බැහැ. අපේ දෙමව්පියන් ට, එකට හිටිය යාළුවන් ට අපි බ බේරගන්න බැහැ, බේරාගන්න එන්නෙත් නැහැ. ඒ නිසා අපිට හැමතිස්සේ ම පිහිටට තියෙන්නෙ අපි කරගත්ත දෙයක් විතරමයි.

තෙරුවන් සරණ ගිය, අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්න එක හරි ම වැදගත්. ඒ වගේ ම සසර බිය දකින්න ඔබට පුළුවන් නම් පව් කෙරෙහි ප්‍රමාදී වෙලා පින් කෙරෙහි ඔබ අප්‍රමාදී වේවි. ගෞතම බුදු සමිඳුන් වදාළ ධර්මයට අනුව ජීවිතය දෙස බැලීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් නම්, ජීවිතයේ අභ්‍යන්තරයේ සිදුවන කුසල් අකුසල් සකස් වීමේ ස්වභාවය හඳුනාගන්න උත්සහ කරනවා නම්, මේ දේවල් තමයි කෙනෙක් තමන් තමන්ට ඇත්තට ම ආදරේ නම් මහත් උත්සාහයෙන් ම කරන්න ඕන. බොහෝ දෙනා සතර අපායේ වැටෙමින් ගමන් කරන මේ භයානක සංසාර ගමනින් වහ වහා අත් මිදීම පිණිස උතුම් අදහස්, වීරිය ඇති වේවා...!

ප. ලි : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි...

16 comments:

  1. ගොඩක් ස්තුතියි ළහිරු මේ ටික අපිටත් බලන්න සැලැස්සුවාට....ඔබට පින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාලෙකින් වුණත් ඇවිත් කියවලා යමක් ගත්තා නම්!

      Delete
  2. කාලෙකින් නේද පිං පොත පෙරළුවේ

    ReplyDelete
    Replies
    1. ඔව්, සෑහෙන කාලෙකින්... මාස දෙකකින් විතර!

      Delete
  3. ලහිරු අයියේ මේ වගේ ලිපි සතියකට එකක්වත් දාන්න. ඔයා මාසෙකට සැරයක් වගේනේ ලියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ වගේ දේවල් දිගටම ලියන්න ලහිරු..

      Delete
    2. ම්ම්ම්... උත්සහ කරන්නම් මලයෝ!

      Delete
  4. අම්මෝ.. සෑහෙන කාලෙකින් නෙහ්?

    මමනං බණ අහන්න එච්චර කැමති එකෙක් නෙවේ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්, සෑහෙන කාලෙකින්. බණ අහන්න කැමති උණා නම් තමයි හොඳ :)

      Delete
  5. මෙන්න ලහිරු ආපහු ඇවිත්. පෝයටත් මෙහෙම ලිපියක් දාන්න

    ReplyDelete
    Replies
    1. ඔව්, ආයෙත් ආවා. පෝයට නම්.... බලමුකෝ!

      Delete
  6. ස්තූතියි දිගටම ලියන්න

    ReplyDelete
  7. ගොඩාක් පින් මිත්‍රයා දිගටම ලියන්න

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !