පාත්‍රය...

සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න."

"සුබ උදෑසනක් වේවා සිටුතුමනි".

"සුබ උදෑසනක් මිතුර, කිමෙක්ද බොහෝ කලෙකින් අප මතක් වූයේ? අමනාපයක් වත් ද? "

"අනේ සිටුතුමනි, අමනාපයක් නොවෙයි, මෙවර වෙළඳාම සඳහා අප ගියේ බොහෝ දුර ඈතකටයි, ඒ නිසා නැවත පැමිණෙන්නට සිතුවා ට වඩා බොහෝ කල් ගතවුණා. මා ඔබතුමා හමුවට හදිසියේ ම පැමිණුනේ මට එහි දී හමු වූ වටිනා වස්තුවක් ඔබතුමාට දීමටයි"

"එ කිමෙක්ද මා මිතුර ?"

"මා දන්නවා ඔබතුමා බොහෝ සේ සඳුන් ලී වලට ප්‍රිය කරන බව. එසේ ම මා දැක තිබෙනවා සිටු මාළිගයේ තිබෙන අනර්ඝ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ. ඉතින් මා සිතුවා වෙළඳාම අතරතුර මා ලද මේ වටිනා සඳුන් ලී කැබැල්ල ඔබතුමා ට දීමට, ඒ මන්ද යත් මෙය ලද විට මට එකවර ම මතක් වුණේ ඔබතුමායි "

"ඔබට බොහෝ ම ස්තූතියි මිතුර, මා පමණක් නොවෙයි අපේ පරම්පරාවේ හැමදෙනා ම පාහේ සඳුන් ලී වලට බොහෝ සේ ඇළුම් කළා. මේ මාළිගයේ තිබෙන්නේ මා විසින් කරවූ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ පමණක් නොවේ. මගේ පියා, ඔහුගේ පියා, ඔහුගේ ත් පියා ආදි වශයෙන් බොහෝ දෙනා කරවූ භාණ්ඩ මෙහි තිබෙනවා. මා සිතන්නේ අපේ මහ රජතුමාට වත් මෙපමණ අනර්ඝ සඳුන් ලී කැටයම් නැතැයි කියායි. ඉතින් ඔබට නැවතත් බොහෝ ම ස්තූතියි"

"එසේ නම් සිටුතුමනි මට යන්නට අවසර, අපට කළයුතු බොහෝ වැඩ තිබෙනවා නොවැ..."

වෙළෙන්දා ඒ අයුරින් නික්ම ගියත් සිටුතුමා ගේ කල්පනාව වූයේ මේ සඳුන් ලීයෙන් කළයුත්තේ කුමක්දැයි කියායි. ඇත්තෙන් ම අළුතින් නිර්මාණය කරවිය යුතු කිසිවක් සිටුවරයාගේ මතකයට නො එන තරමට සිටු මාළිගය කැටයම් භාණ්ඩ වලින් අනූන එකක් විය. දින ගණනාවක් නොයෙක් අදහස් අතර සැරිසැරූ සිටුවරයාට එක්වර ම කදිම අදහසක් පහළ විය. වහා ම තම වඩුවා කැඳවූ සිටුවරයා, ඔහුට නියෝග කළේ සඳුන් ලීයෙන් මනරම් පාත්‍රයක් කරවන ලෙසයි. වඩුවා පාත්‍රය සාදන අතරතුරේ තම සේවකයන් කැඳවූ සිටුවරයා ඔවුන් ට දැන්වූයේ බොහෝ උස උණ ගස් කිහිපයක් කපාගෙන විත් ඒවා හොඳින් එකිනෙක ගැටගසා ඉතා උස කණුවක් පිළියෙල කරන්නට කියායි. වඩුවා විසින් කර වූ අනර්ඝ සඳුන් ලී පාත්‍රය යටි අතට හරවා උණ ගස් වලින් කරවූ කණුව කෙළවරේ රැඳ වූ සිටුවරයා තම සේවකයන් ට නියෝග කළේ එය ගෙනගොස් නගරය මැද සිටවන ලෙසයි. ඉන්පසු නගරය පුරා අණබෙරයක් යවමින් "ලෝකයේ රහතුන් යැයි සම්මත කිසිවෙක් සිටී නම් තමන් ගේ ඍද්ධි බලයෙන් මේ අනර්ඝ සඳුන් ලීයෙන් කර වූ පාත්‍රය ගනිත්වා" යි දන්වා සිටියේ ය.

නගරයේ මෙතෙක් නොවූ විරූ මහත් වූ කෝලාහලයක් පැතිර ගියේ ය. නමුත් කිසිවෙක් පාත්‍රය ගන්නට නම් ඉදිරිපත් නොවී ය. නමුත් සිටුවරයා වෙත රහසේ පැමිණෙන පණිවුඩකරුවන්ගෙන් නම් අඩුවක් නැත.

…"සිටුතුමනි, අපේ ගුරුවරයා නම් නිසැකව ම රහතන් වහන්සේ කෙනෙකි, නමුත් එතුමා ඍද්ධි බලයන් සාමාන්‍ය මිනිසුන් හමුවේ විදහා පාන්නට අකමැතියහ . ඒ නිසා අනාගතයේ බොහෝ සැප ලබාගනු වස් අපගේ ගුරුවරයාට මේ පාත්‍රය පූජා කළ මැනව"

"ඔබගේ ගුරුවරයා රහත් කෙනෙක් නම් පහසුවෙන් මේ පාත්‍රය ගතහැකි නොවේද? එනිසා අප වෙහෙසට පත් නොකර ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ලබාගන්න" ඒ පණිවුඩකරුවන් සියල්ල ට ම සිටුතුමාගේ පිළිතුර එක ම විය.

මේ අතර රජගහනුවර නිඝණ්ඨයන් ගේ ආරාමයේ මේ ආකාරයේ කථාවක් ඇතිවිය.

"ස්වාමිනී, ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය කෙසේ හෝ අප වෙත ලබාගන්නට නොහැකි වුවහොත් අපට වන්නේ මහත් ම පාඩුවකි. ඔබ වහන්සේ රහත් කෙනෙකු ලෙස සලකා අපට දන් පැන් පූජා කරන බොහෝ දෙනා අප කෙරෙහි අපැහැදීමක් ඇතිකරගනු නො අනුමාන ය. එහෙයින් නොපමා ව කිසිවක් කළ යුතු ය. එසේ ම අප සිටුවරයා වෙත යැවූ පණිවිඩකරු ද පෙරළා හරවා එවා තිබෙන බව සැලයි. කුමක් හෝ කළ මැනව "

"එසේ නම් මා විසින් ම ගොසින් රජගහනුවර සිටුවරයා හමුවෙන්නෙමි, ඔහු අපට බොහෝ හිතෛෂී, නිතර දන් පැන් දෙන කෙනෙක් නොවැ. ඒ නිසා ඔහු මට පාත්‍රය පූජා කරනු නියතයි. යම් හෙයකින් එසේ පාත්‍රය ලබාගන්නට නොහැකි වුවහොත් එය උපක්‍රමයකින් ලබාගනිමු." ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්ත තුමා තම ශ්‍රාවකයන් ට එසේ පවසා තෙමේ ම ගෝලයන් පිරිවරා රජගහනුවර සිටුවරයා හමුවන්නට ගියේ ය. 

"පින්වත් සිටුතුමනි, රහතුන් ට අභියෝග කිරීම මේ ලෝකයේ අතිශයින් ම නොකළමනා ය. ඒ නිසා නොපමා ව පාත්‍රය මා වෙත පූජා කළ මැනව."

"නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, මේ නම් ඔබ වහන්සේ ගේ රහත් බව ලෝකය හමුවේ ප්‍රකට කිරීමට කදිම අවස්ථාවකි. ඒ නිසා අප වෙත අනුකම්පාවෙන් ඍද්ධි බලයන් පා පාත්‍රය ගනු මැනව "

"හොඳයි සිටුතුමනී, එසේ නම් මා විසින් ම ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ගන්නෙමි. මාගේ ශ්‍රාවකයෙනි, ඍද්ධි බලය විදහා පෑම පිණිස මේ පිරිස මඳක් ඈත් මෑත් කළ මනා ය. "

නිඝණ්ඨනාථපුත්තයන් ඍද්ධි බලය පෑමට පා ඔසවනවාත් සමඟ ම එතුමා අල්ලාගත් ශ්‍රාවක පිරිස "ස්වාමීනී අපගේ දිවි යතත් ඔබතුමාට ඍද්ධි බල පෑමට නම් ඉඩ නොදෙමු. මේ සා නොවටිනා පාත්‍රය ක් වෙනුවෙන් වෙහෙස නොවනු මැනව. " යනුවෙන් පැවසූ ශ්‍රාවක පිරිස නිඝණ්ඨනාථපුත්තයන් අල්ලාගෙන නිඝණ්ඨාරාමය වෙත ගෙන ගියෝ ය.

මේ අතර දර කඩා විකිණීම ජීවිකාව කරගත් දර කඩන්නන් දෙදෙනෙක් අතර මහ වනය මැද දී මෙවැනි කථාවක් ඇතිවිය. "ඉස්සර නම් මේ රජගහනුවර අපි රහත්... අපි රහත් කියලා කියාගත්ත අය කී …දෙනෙක් නම් හිටියද? කෝ ඒ එක්කෙනෙක්වත් අපේ සිටුතුමා ගේ පාත්‍රය ගන්න ආවද, නෑනේ. බලාගෙන ගියා ම මේ ඔක්කොම බොරුකාරයෝ වගේ නේද? මේ ලෝකය රහතුන් ගෙන් හිස් වෙලාවත්ද..."

ඒ කැලය මැද වූ ගල්තලාවේ විවේකී ව වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකි. ඒ මුගලන් මහ රහතන් වහන්සේ සහ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේයි. උන් වහන්සේලාට මේ දර කපන්නන්ගේ කථාව ඇසුණි. උන් වහන්සේලා අතර ඇති වූ කථාව මෙබඳු විය.

"ආයුෂ්මත් භාරද්වාජයන් වහන්ස, ඔබ වහන්සේට ඇසුණාද ඒ දර කපන්නා ගේ කථාව? ඇයි ඔබ වහන්සේ ඍද්ධි බලයෙන් මේ පාත්‍රය දිනා ගෙන ලෝකයේ රහතන් වහන්සේලා තවමත් වැඩ වාසය කරන බව ලෝකයට කියාපාන්නේ නැත්තේ? "

"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එසේ ය, මටත් එය ඇසුණා. නමුත් ඔබ වහන්සේ නොවේද ඍද්ධි බල ලාභීන් අතර අග්‍රස්ථානයේ සිටින්නේ. එනිසා ඔබ වහන්සේට පහසුවෙන් මේ පාත්‍රය දිනාගත හැකි නොවේ ද ?"

"ආයුෂ්මතුන් වහන්ස, මේ බොහෝ දෙනා අතර මාගේ ඍද්ධි බලය බොහෝ ප්‍රකට එකකි. බොහෝ දෙනා ඒ ගැන දනිති. නමුත් ඔබ වහන්සේගේ හැකියාවන් බොහෝ දෙනා අතර ප්‍රකට නැත. ඒ නිසා එය ලෝකයට ප්‍රකට කිරීමට මේ පාත්‍රය ඔබ වහන්සේ ම දිනාගනු මැනව. "

…"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එය නම් ඇත්තකි." එසේ ප්‍රකාශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ රැඳී සිටි ගල් තලාව සමඟ ම අහසට පැන නැඟී රජගහනුවරට ඉහළ අහස වටා සත්වරක් ගල්තලාව මතින් ගමන් කළ හ. ගල්තලාවක් ඉහළ අහසේ කරකැවෙමින් තිබෙනු දුටු නුවර වැසියෝ මහත් භීතියට පත් වී මහත් වික්ෂිප්ත බවට පත් වූහ. තවත් මොහොතකින් මේ ගල්කුළ තම හිස් මතට කඩා වැටෙතැයි සිතූ වැසියෝ මහ හඬින් විලාප නගන්නට වූ හ. එවිට ගල්කුළ මතින් භාරද්වාජයන් වහන්ස අහසට වැඩ නුවර වැසියන්ට තමන් වහන්සේ පෙනෙන්නට සැලැස්වූ හ. 

"අනේ ස්වාමිනි අප බේරාගනු මැනව. තව සුළු මොහොතකින් ඔය මහා ගල් තලාව අප හිස් මතට කඩා වැටෙනු නියතයි... "…යනුවෙන් නුවර වැසියෝ විලාප තබන්නට වූහ. ඒ සමඟින් ම තම පාදයෙන් ගල් තලාව ස්පර්ශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ ගල් තලාව වනයේ තිබූ තැනටම වැටෙන්නට සලස්වා තමන් වහන්සේ පාත්‍රය සහිත කණුව අසල අහසේ පළඟක් බැඳ වැඩ සිටිය හ. ඒ සමඟින් ම එළියට බට රජගහනුවර සිටුවරයා "අනේ ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන් පහළට වැඩිය මැනව " යනුවෙන් යදින්නට විය. තම සේවකයන් අණවා පාත්‍රය බිමට ගත් සිටුවරයා බිමට වැඩි පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේට පාත්‍රය පූජා කලේ ය. පාත්‍රය පිළිගත් පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ වේළුවනාරාමයට වඩිනා විට නුවර වැසි ජනයා මහ හඬින් සාධුකාර දෙමින් මහ පෙරහරින් වේළුවනාරාමය දෙසට ඇදෙන්නට වූ හ.

මේ අතර වේළුවනාරාමයේ වැඩ සිටි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මේ මහා ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ ඒ කුමක්දැයි කියා උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසූ හ.

"ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ භාරද්වාජයන් වහන්සේ ඍද්ධි බලයෙන් රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගෙන, ඒ බව දුටු මිනිස්සු මහ පෙරහරින් වේළුවනාරාමයට පැමිණෙන හඬයි ඒ ඇසෙන්නේ " යනුවෙන් ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන් හ.

"එසේ නම් ඒ භාරද්වාජ භික්ෂුවට මා හමුවට පැමිණෙන ලෙස දන්වන්න " යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැවසූ හ. සුළු වේලාකින් තමන් හමුවට පැමිණි පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ හ.

"පින්වත් භික්ෂුව, ඔබ රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගත් බව සැබෑවක් ද? "

"එහෙමයි ස්වාමිනි, මා එය දිනාගත්තා. "

"පින්වත් භික්ෂුව, උතුම් වූ අරමුණක් වෙනුවෙන් මහත් ශ්‍රද්ධාවෙන් ම මේ බුද්ධ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයෙකු උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් මේ සා ලාමක වූ දෙයක් වෙනුවෙන් යෙදවීම එවැන්නෙකුට අතිශය නොගැළපෙන කටයුත්තකි. " යනුවෙන් වරදට ගර්හා කළ සේක. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අවබෝධයෙන් යුතුව ම වරද වටහා ගත් හ.

එමෙන් ම පසු දිනකදී බුදුරජාණන් වහන්සේ මහා සංඝයා මධ්‍යයේදී

"පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව සිංහනාද පවත්වන්නට හරී ම දක්ෂයි. දවසක් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව බුදුරජාණන් වහන්සේ හමුවේ තමන් වහන්සේ ගේ අරහත්වය ප්‍රකාශ කිරීමෙන් පස්සේ විහාරයේ දොරක් දොරක් ගානේ ගිහින් භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා, ආයුෂ්මතුන් වහන්ස, ඔබ වහන්සේලා කාටහරි සෝවාන් ඵලය ගැන හරි සෝවාන් මාර්ගය ගැන හරි සැකයක් තියෙනවා නම් මගෙන් අහන්න. මට හොඳින් ඒ ගැන කියාදෙන්නට පුළුවනී කියල සිංහනාද කළා. " කියලා බුදුරජාණන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා.

18 comments:

  1. මේ වගේ කතා ලියනවට පින් !!
    සෑහෙන කාලෙකට පස්සේ මේ බ්ලොග් එකේ කමෙන්ටුවක් කොටන්නේ.

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් නෙව මේ පැත්තේ ආවෙ... මේ පැත්තේ විතරක් නෙවෙයි බ්ලොග් පැත්තෙත්!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නොදැන සිටි මේ වගේ කතා ගොඩක් ලහිරුගෙ බ්ලොග් එක හරහා දැන ගත්තා. බොහොම පින්!

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි ඇවිත් ගියාට!

      Delete
  4. සබ්බ දානං ධම්ම දානං ජිනාති

    ReplyDelete
  5. මම හැමදම කියවන සයිට් එකක් තමයි www.mahamegha.lk. ඒකෙත් ඔය වගේ ධර්ම කතා තියෙන්නේ. මේල් එකට අප්ඩේට්ස් එන නිසා කියවනවමයි. ඔයාගේ කතාව කියවලා මට ඒ සයිට් එක ගැනත් දාන්න හිතුනා. බොහොම පින් සහෝ. දැන් ඉන්න කොල්ලෝ මේ ධර්මය පැත්තට තියෙන නැඹුරුතාවය අඩු එකේ සතුටුයි ඔයා ගැන...පින්..

    ReplyDelete
    Replies
    1. ඒ සයිට් එකෙන් මටත් ගොඩක් උදව් ලැබෙනවා. ඒ වගේ ම ඒ ගැන හැමෝමත් එක්ක බෙදාගත්ත එකට ගොඩක් පින් සහෝ!

      Delete
  6. ගොඩක් පින් ලහිරු මේ පොස්ට් එක දැමීම ගැන... ආසාවෙන් බැලුවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ඇවිත් ගියාට!

      Delete
  7. මේ ගැන ප්‍රශ්න ගොඩයි ලහිරු..
    භාරද්වාජ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන් ගර්භා කිරීමට හේතු මට හිතාගන්න අමාරුයි..භාරද්වාජ හාමුදුරුවන් එසේ කලේ සෘධිබලය ඇති හාමුදුවරු ලොව සිටින බව පෙන්නන්න නොවේද? අද කාලයේ ඔහොම දෙයක් වුනොත් අපි කවුරුත් උන්වහන්සේගේ ගෝලයෝ වෙන්න උත්සාහ කරන්නැතිද?

    කොහොම වුනත් හිතන්න වටින ලිපියක් බෙදාගත්තට ස්තුතියි ලහිරු..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න අහනවට නම් මම කැමතියි අක්කේ... එහෙම කරන්න හේතුව තමයි, ඍද්ධි ප්‍රාතිහාර්යය පෑම, අනුන්ගේ සිත් දැනගැනීම වගේ දේවල් ලෞකික ධ්‍යාන උපදවා ගත් අයට පවා කරන්න පුළුවන්, ඒකෙන් කවදාවත් ලෝකෙ රහතන් වහන්සේලා ඉන්නවා කියන එක ඔප්පු කරන්න බැහැ. (උදා: දෙව්දත් තෙරුන්... )අනිත් එක ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් මිනිස්සු පහදවා ගන්න එක බුදුවරුන් අගය කරන්නෙ නැහැ. හේතුව ඒ පැහැදීම තාවකාලිකයි. උන් වහන්සේලා අගය කරන්නේ අවබෝධයෙන් ම සරණ යන එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යය වර්ග තුනෙන් ඍද්ධි ප්‍රාතිහාර්යය, ආදේශනා ප්‍රාතිහාර්යය ට වඩා අනුශාසනා ප්‍රාතිහාර්යය අගය කළේ... බුදුරජාණන් වහන්සේ ගාථාවක් කියලා කෙනෙක් ඒ කෙරෙහි පැහැදිලා ඒ වෙලාවෙ දානයක් දුන්නත් උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා...

      තවත් ප්‍රශ්න තියෙනවනම් අහන්න අක්කේ...

      Delete
    2. ස්තුතියි ලහිරු පැහැදිලි කිරීමට...
      මේ කතාවෙන් තවත් එක දෙයක් පැහැදිලි වෙනවා..රහතන් වහන්සේලා අතිනුත් වැරදි විය හැකි බව..උන්වහන්සේලා සර්ව සම්පූර්ණ නැහැයි කියලා දැනගත්තාම අපටත් ඒ මග යන්න ලැබෙන තල්ලුව වැඩියි..

      ස්තුතියි ලහිරු..

      Delete
    3. .උන්වහන්සේලා සර්ව සම්පූර්ණ නැහැයි කියලා හිතනවට වඩා, රහතන් වහන්සේලා කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන් ම ක්ෂය කරලා රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරලා දුක අවබෝධ කරගත්ත නිවන උදෙසා කළ යුතු සියල්ල සර්ව සම්පූර්ණ කළ පිරිසක් කියලා හඳුනාගන්න එක වඩා සුදුසුයි කියලයි මට නම් හිතෙන්නේ අක්කේ... ස්තූතියි ආයෙත් ආවට වගේ ම අදහසටත්

      Delete
  8. නොදන්න දෙයක් ගැන් අකිවුවට ගොඩක් පිං අයියේ..

    ReplyDelete
  9. අතිශයින්ම වැදගත් වටිනා කතාවක්. මෙවැනි නිදසුන් අද සමාජයේද දුලබ නොවේ. වැඩ බැරි ටාසන්ලා එදත් හිටියා අදත් ඉන්නවා.

    ReplyDelete
  10. හරිම රසවත් සහ ආදර්ශමත්..හැමදාමත් වගේ ස්තුතියී ඔබට

    ReplyDelete
  11. මෙන්න මන් ආවෝ... අප්පටසිරි මෙකෙ ලස්සන .. කොහෙ ගියත් ටාසන් බාප්පලා නම් වැහි වැහැලා

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !