ඇසිල්ලකින් කාන්තාවක් වුණ සොරෙය්‍ය සිටුවරයා...

කර්ම විපාක කියලා කියන්නෙ අපි හැමෝටම භේදයකින් තොරව ම අපි කරන කියන හිතන දේවලට අනුව අත්විඳින්න වෙන දෙයක්නේ. ඒක බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලා ට පවා පොදු වුණ දෙයක්. අපි කරන හොඳ වැඩ වලට පින් එකතු වෙනවා වගේ ම නරක දේවලට ඒ හා සමානව ම පව් ත් රැස්වෙනවා. අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් බලවත් වෙලා තියෙන තරමට පව් වල විපාක බලවත් වෙන්නෙ නැහැ. හැබැයි අර පින් දුර්වල වුණ ගමන් ම පව් වල විපාක ප්‍රබල වෙනවා. ඒකනේ සමහර අය කියන්නේ සමහරක් අය කොයිතරම් නරක වැඩ කළත් එයාලට කිසි ම කරදරයක් නැහැ, සැපෙන් ඉන්නවා. අපිට තමයි ඔක්කොම කරදර කියලා. අද කතාව, තමන්ගේ අකුසල සිතිවිල්ලක් ඒ වෙලාවෙම විපාක ලබාදුන්න සොරෙය්‍ය සිටුවරයා ගැනයි.

සැවැත් නුවර සමීපයෙහි සොරෙය්‍ය කියන නගරයේ සොරෙය්‍ය නමින් සිටුවරයෙක් වාසය කළා. විවාහ වුණ බිරිඳට වාසනාවන්ත දරු දෙදෙනෙකුත් ලැබුණා. පියෙකු වුණ සිටුවරයා තම බිරියට ද දරුවන්ට ද යුතුකම් නොපරිහෙළා ඉටුකරන්නත් අමතක කළේ නැහැ.



දවසක් යහළු පිරිවරත් සමග සිටුවරයා නාන්නට ගංඟාවකට යන්න කල්පනා කරලා අවශ්‍ය දෑ සූදානම් කරගෙන ඒ සඳහා පිටත් වුණා. ගංගාව ආසන්නයට ළං වෙද්දී ගඟෙහි පැන් පහසු වෙමින් සිටිය මහා කච්චායන රහතන් වහන්සේ ස්නානය අවසන් කරලා ගොඩට ඇවිත් පිඩු සිඟා වඩින්නට සිවුරු පොරවමින් තමයි හිටියේ. කච්චායන තෙරුන් කියලා කියන්නේ ඒ කාලේ මහතෙරුන් අතර වැඩසිටිය රූපයෙන් අග්‍ර ම තෙරුන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට බැබළෙන රන්වන් ශරීරයක් තිබුණා. උන්වහන්සේ චීවරය සකසා පොරවමින් ඉද්දි සොරෙය්‍ය සිටුවරයා උන්වහන්සේගේ රන්වන් සිරුර ක්ෂණික ව දැක්කා. එවිට සොරෙය්‍ය සිටුවරයාට එක්වරම සිතිවිලි දෙකක් පහළ වුණා. පළමු සිතිවිල්ල, අනේ මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම් කෙතරම් අගනේ ද යනුවෙනුත් දෙවැනි සිතිවිල්ල විදියට මගේ භාර්යාව මේ වැනි රන්වන් ශරීර වර්ණයෙන් යුතු වූවා නම් කෙතරම් අගනේද කියලත්.

මේ උමතු සිතිවිල්ලකි නිසා ම සොරෙය්‍ය සිටුවරයා ක්ෂණිකව ම ලිංග විපර්යාසයකට බඳුන් වුණා. ඔහුගේ පිරිමි බව අතුරුදන් වෙලා කාන්තාවක් බවට හැරුණා. ඒ බව තේරුණ සොරෙය්‍ය සිටුවරයා අතිශයින්ම ලජ්ජාවට පත්වෙලා තම යහළු පිරිවරට නොදැනෙන්නට පලා ගියා. පලා ගිය ඇය(කලින් සොරෙය්‍ය සිටුවරයා) තක්සලා නුවරට යන පාරට ඇවිත් එහිදී වෙළෙඳ කණ්ඩායමක් හමු වෙලා ඒ පසු පස තක්සලා නුවර කරා ගමන් කරන්නට පටන් ගත්තා. නාන්නට පැමිණි යාළුවෝ තම මිත්‍රයා එහි නැහැ කියලා දැකලා ගඟේ ගිලිලා මැරුණා කියලා හිතලා ඥාතින් එක්ක එකතුවෙලා ශෝක වෙලා දන් පැන් පිරිනමලා පින් පැමිණුවා.

තක්සලා නුවරට යන ඇය(කලින් සොරෙය්‍ය සිටුවරයා) එහි සිටුපුත්‍රයාත් එක්ක විවාහ වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට දරුවන් දෙන්නෙකුත් බිහිකරනවා. පියෙකු ලෙස දරුවන් දෙන්නෙක් ලද සොරෙය්‍ය සිටුවරයා මවක් ලෙසත් දරුවන් දෙන්නෙක් ලබනවා. දවසක් ඇය තම මැදුරේ උඩුමහලේ කවුළුවකින් පාර දෙස බලාගෙන ඉද්දි අතීතයේ තමා සමඟ දිය නාන්නට ගංඟාවට ගිය තමන්ගේ සමීප මිත්‍රයෙක් පාරේ යනවා දැකලා දාසියක් යවලා මැදුරට ගෙන්වාගෙන බොහෝ සත්කාර කරනවා 

එවිට ඒ කෙනා අහනවා තමන්ට මේ විදියට සංග්‍රහ කරන්නේ ඇයි?, මීට පෙර තමා හඳුනනවාද? යනාදි වශයෙන් ප්‍රශ්න ගොඩක්. එවිට ඇය කියනවා, "මිත්‍රය ඔබ මම හොඳින් හඳුනමි. ඔබ සොරෙය්‍ය නුවර වැසියෙකු නෙවේද?" ආදි වශයෙන්. එසේය සොඳුර කියලා පිළිතුරු දෙන මිත්‍රයාට තම කලින් නිවසේ තොරතුරු සියල්ල නොවලහා කියල ඇය සොරොය්‍ය සිටුවරයා පිළිබඳවත් විමසනවා. එතකොට යාළුවා කියනවා ඔහු මිය ගිහින් බොහෝ කල් කියලා. එවිට ඇය ඒ සිටුපුත්‍රයා තමා බව හඳුන්වලා දෙනවා. මේ හමුවීමෙන් විස්මයට පත්වෙන මිත්‍රයා ඇයගෙන් තවදුරටත් තොරතුරු විමසනවා. එවිට එම අතීත සිදුවීම මුල සිට අග දක්වා ඇය කියන ඇය, දැන් තමාට නැවත පිරිමියෙකු වෙලා සොරෙය්‍ය නගරට යා යුතු බවත් ඒ සඳහා කච්චායන මහ රහතන් වහන්සේ හමු වෙලා පාපොච්චාරණයක් කොට සමාව ගත යුතු බවත් ඒ සඳහා මහා කච්චායන රහතන් වහන්සේ තම නිවසට දානය සඳහා වඩමවා දෙන්නැයි බැගෑපත්ව ඇය තමගේ මිතුරාගෙන් ඉල්ලා සිටිනවා.

ඇයට සිදුව ඇති ඇබැද්දිය තේරුම් ගත්ත මිත්‍රයා මහා කච්චායන රහතන් වහන්සේ හමුවෙලා එම නිවසේ පසුදින දානයට වඩින්නට ආරාධනා කරනවා. උන්වහන්සේ ආරාධනාව පිළිගෙන පසුදින ඇගේ නිවසට වැඩම කළ කරනවා. ඇය උන්වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා උන්වහන්සේ වෙතින් සමාව භජනය කළාය. ඇය තෙරුන් වහන්සේට තෙරුන් වහන්සේට සිදුවූ සියල්ල පාපොච්චාරණය කළා. කච්චායන මහ රහතන් වහන්සේ, තමන් හේතුකොට ගෙන සොරෙය්‍ය සිටුවරයා තුළ හටගත්ත රාගසිතිවිලි වලට සමාව දෙනවා. ඒත් එක්ක ම ඇය නැවත වරක් පිරිමියෙකු බවට පත් වෙනවා.

සොරෙය්‍ය සිටුවරයාට අකුසල කර්මය හේතුවෙන් එකම භවයෙක චරිත තුනක් විදියට හැසිරෙන්නට සිද්ධවුණා. ඒ පියෙකු, මවක ලෙස හා නැවත පියෙකු ලෙස. ඒ බව මෙනෙහි කරන සොරෙය්‍ය සිටුවරයා සංසාරයේ කිසිදා මේ විදියට විප්‍රකාරයට පත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් මහා කච්චායන රහතන් වහන්සේ වෙතින් පැවිදි වෙන්නට ආයාචනා කරනවා. දරුවන් සිප වැළඳ පියාට භාර දුන්න සොරෙය්‍ය සිටුවරයා, තෙරුන් වහන්සේ ළඟ පැවිදි බව ලබලා සොරෙය්‍ය තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණා. මේ තොරතුරු ඇහුව බොහෝ දෙනා උන්වහන්සේ වෙතට ඇවිත්ජීවිත ගණනක සංකීර්ණත්වය විමසන්න පටන්ගත්තා. ඒ අතර තවත් අය ඇහුවේ පියෙකු ලෙස ලද දරුවන් දෙදෙනා හා මවක ලෙස ලද දරුවන් අතරින් වඩා සෙනෙහවන්ත කවර දරුවන් දෙදෙනාටද කියා. සොරෙය්‍ය තෙරුන් වහන්සේ කියා සිටියේ තමන්ගේ කුසෙහි උපන් දරු දෙදෙනාට වඩා සෙනෙහෙබර බවයි. බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයට මේ විදියට පිළිතුරු දුන් උන්වහන්සේ තවත් කල් යද්දි, කිසිවෙකුට හෝ සෙනෙහෙවන්ත නැතැයි කියන්නට පටන් ගත්තා. මිනිස්සු බුදුරජාණන් වහන්සේ හමුවෙලා සොරෙය්‍ය තෙරුන් බොරු කියති’යි කියලා පැමිණිලි කරන්න පටන්ගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ සොරෙය්‍ය තෙරුන් වහන්සේ මාර්ග ඤාණ උපදවා ගත් වේලෙහි පටන් කිසිවකු කෙරෙහි ස්නේහයක් හෝ බැඳීමක් නැහැ කියලයි.

රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ගුණධර්ම වලින් පරිපූර්ණ කෙනෙක්. ඉතින් ඒ වගේ අය හේතු කරගෙන සිදුවෙන කර්ම වල විපාක(පින්/පව් ) හරි ම ප්‍රබලයි. ඒකයි ක්ෂණික ව සිටුවරයාට තමන්ගේ සිතුවිල්ල විපාක දෙන්න ඇත්තේ. ඒ වගේ ම තමයි දැන් කාලෙ වුණත් ගුණ දහම් වලින් වැඩි අය මූලික කරගෙන සිද්ධ වෙන කර්ම වල විපාක ප්‍රබලයි. ඒ නිසා කෙනෙකුට චෝදනා කරද්දි වුණත් පරෙස්සමෙන්.....

ප.ලි: මේ කතාව ආයෙමත් මතක් වුණේ අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ බුදුසරණ පත්තරේට ලියලා තිබුණ ලිපියක් දැකලයි. මේ දවස් වල හොඳටම කාර්යයබහුලයි. කැම්පස් ස්ට්‍රයික් කාලේ අපි ට්‍රේනින් පටන් ගත්ත නිසා දැන් ලෙක්චර්ස් සති අන්තෙට දාලා. සතියේ දවස් පහේ ම ඔපීසියේ වැඩ. සිකුරාදා රෑ කැම්පස් යනවා, ඉරිදා රෑ වෙලා ආයෙ වැඩට එනවා. සතියෙ මැද එසයිමන්ට් එහෙමත් එනවා අපරාදේ කියන්න බෑ!!! ඒ මදිවට තව සති දෙකකින් විභාගේ පටන් ගන්නවා. ඒකත් සති අන්ත වල තියෙන්නෙ. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන එකක් නම් නැහැ ජනේරුව වෙනකල් ම. අහිතක් හිතන්න එපා ඔන්න!!!!!
 
කර්ම විපාක ගැන තවත් කියවන්න කැමති නම් මේ pdf එක බාගත කරගෙන කියවන්න.

46 comments:

  1. වැඩ කරන අතරතුරදි උනත් මේ වගේ කතාවක් කියවන්ඩ ලැබෙන කත් හොඳයි. මම් අර පී.ඩී.එෆ් එකත් බා ගත්තා. විවේක පාඩු වෙලාවක කියෝ ගන්න පුළුවන් නෙව !
    බොහොමත්ම පින් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඒක කියෙව්වට පාඩුවක් වෙන එකක් නෑ :)

      Delete
  2. අනේ පුතේ ,කර්ම විපාකයක මහත! මහරහතුන් වහන්සේ ලා ගැන රාග සිත් උපදවා ගන්නන්ට වෙන විපාකය මනාව පේනවා නෙ මේ කතාවෙන්. මතකයිනෙ ? මහරහත් තෙරණියකට අතවර කල සල්ලාලයාට උන දේ . එකෙනිහිම අපා ගත උනා. ඔයාට බොහෝම පින් අත්වෙනව මේ සද්කාර්යයට. ඒ වගේම ඉතාම හොඳින් විභාග කටයුතු කරගන්නට දිරිය ශක්තිය වාසනාව ලැබේවා කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. උත්පලවණ්ණා තෙරණිය ගැන නේද ඒ කියන්නෙ?

      Delete
    2. @ Chandi

      //....මහරහත් තෙරණියකට අතවර කල සල්ලාලයාට උන දේ ...//

      මේ කියන්නේ උත්පලවණ්ණා මහ රහත් මෙහෙණිය ගැනනේ. ගිහි කාලයේ ඉදන් එතුමියට ඇලුම් කරපු ඇවැස්ස මස්සිනා තමයි එතුමියට අතවර කරන්නේ. කාර්යය නිම කරලා යහනෙන් බිමට බහින්න පොළොවට අඩිය තියද්දීම පොළොව පලාගෙන අවීචියට ගිය බව තමා කියවෙන්නේ

      Delete
    3. ඔව් හසිත පුතා ඈට අතවර කල කෙනා තමා. පුලුවන්නම් පියුම් විලට ගොඩ වෙන්ට.

      Delete
  3. ම්..විශ්වාස කරන්න අමාරු වුනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව්, සෑහෙන දේවල් ගොඩක් තියෙනවා ඉගෙනගන්න...

      Delete
  4. ඒ කතාව කියවලා හිතන්න කොච්චර දේවල් තියද ?බලාගෙන ගියාම අපි ක්‍රියාවෙන් නොකලට සිතින් විතරක් කොච්චර පව් කරනවද කියලා හිතෙනවා.. සමහර වෙලාවට හිතෙනවනෙ "මට මේකා මරන්න ඇත්නම් " කියලා. හොඳට එක්සෑම් එක කර ගන්න ලහිරුවා..ආයේ ඉක්මනින් හම්බවෙමු..

    ReplyDelete
    Replies
    1. ඔව්, හිතෙන් හිතන දේවල් වලින් කොයිතරම් නම් කර්ම රැස් වෙනවද අපි හිතන්නෙ නැති වුණාට. චේතනාවට නේ කර්මය කියලා, දේශනා කරලා තියෙන්නෙ...

      Delete
  5. අපූරුයි ...

    ගොඩක් දේවල් ඉගෙනගත්තා. බොහොම පිං ලහිරු අයියට

    ReplyDelete
  6. Replies
    1. ස්තූතියි, ඉඩ ලැබුණු වහා ම ඒ පැත්තෙත් එන්නම්කෝ

      Delete
  7. මේ වගේ කතාවක් ඇහුවමයි . පුදුමත් හිතෙනවා බලපුවම . ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. හිතන්නෙවත් නැති දේවල්!

      Delete
  8. මේ කතාව බොහෝම කෙටියෙන් අහල තිබුනෙ. අදයි හරියටම දැනගත්තෙ. බොහොම පින්!

    ReplyDelete
  9. සිරාම කතාවක් අය්යෙ කර්මය කියන්න මෙකට ... :D

    ReplyDelete
  10. //මේ රන්වන් සිරුක් ඇති කච්චායන තෙරුණුවන් මගේ භාර්යාව බවට පත්වන්නේ නම්// ඒකනම් ටිකක් අමුතු අන්දමේ සිතුවිල්ලක් තමා ඉතිං. මේ වගේ කතාවක් අදම තමා ඇහුවේ
    ආ..බ්ලොගේ වෙනස් වෙලා කළ එලිවෙලා.. කරුවල මකන්න හඳ පෑව්වා වගේ වෙලානේ..

    ReplyDelete
    Replies
    1. ආ.. ඒ කියන්නෙ සෑහෙන කාලෙකින් නේ ඇවිත් තියෙන්නෙ තොටියා මේ පැත්තෙ? ස්තූතියි!

      Delete
  11. විභාගය ඉතාම හොඳින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලහිරු..මාත් pdf එක බා ගත්තා. බොහොම පිං!

    ReplyDelete
  12. එච්චර වැඩ තියාගෙනත් පෝස්ට් දැමීම පිළිබඳ මාගේ ගෞරවය...
    ජයවේවා...
    විභාගේ ගොඩවේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. විභාගෙ ගොඩ දාගන්න එක තමයි අමාරු ම වැඩේ...

      Delete
  13. මේක කොහේදී හරි අහල තියනවා වගේ මතකයි. අර වැඩියෙන් ආදරේ කුසින් බිහි කරපු අය කියන එක හොඳට මතකයි. ඒ කියන්නේ තාත්තලාට වඩා අම්මලා ළමයිට ආදරෙයි කියලා හිතන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. //තාත්තලාට වඩා අම්මලා ළමයිට ආදරෙයි කියලා

      මේ වගේ අවස්ථාවකදී හැබැයි ඒක හරියට ම හොයාගන්නත් පුළුවන්. හැබැයි …ඒක සාපේක්ෂයි කියලා තමා මට හිතෙන්නෙ.

      Delete
  14. හ්ම්ම්.. පාපයක තරම!! වටින ලිපියක්.

    දහසක් වැඩ අස්සෙත් මේ වගේ ලිපි ලියනවට පින් ඔබට. විභාග කටයුතු සාර්ථක වේවා!!

    ReplyDelete
  15. සැරියුත් මහ රහතන් වහන්සේට හරි මුගලන් මහ රහතන් වහන්සේට හරි ටොක්කක් ඇන්න යක්ෂයෙකුත් අපා ගත වුණු කතා පුවත මතක් වුණා.

    සියලු වැඩ කටයුතු යහපත් අන්දමින් ඉටුවේවා අයියණ්ඩි :)

    ReplyDelete
    Replies
    1. සැරියුත් මහ රහතන් වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේ භාවනානුයෝගී ව ඉද්දි අහසින් ගමන් කළ යක්ෂයන් දෙදෙනෙක් ඒ බව දැක්කා. සැරියුත් මහ රහතන් වහන්සේගේ කෙස් මුඩු කළ හිස දැක්කම එක් යක්ෂයෙකුට ටොක්කක් අනින්න හිතිලා ඒ බව අනිත් යක්ෂයාට කිව්ව ම අනිත් යක්ෂයා දෙවරක් ම ඒක වැලැක්වුවත් ඒක අහන්නෙ නැතිව හිසට ටොක්කක් ඇන්න යක්ෂයා ඒ වෙලාවෙම අපාගත වුණා, මේ සිද්ධිය දැක්ක මුගලන් මහ රහතන් වහන්සේ, සැරියුත් මහ රහතන් වහන්සේ වෙතට ඇවිත් අහනවා "ස්වාමිනී, වේදනාවක් දැනේද? " කියලා. එතකොට උන්වහන්සේ හිස අතගාලා කියනවා සියුම් වේදනාවක් නම් දැනෙනවා කියලා. එතකොට මුගලන් මහ රහතන් වහන්සේ සිද්ධිය විස්තර කරලා කියනවා "ස්වාමිනී, විශ්මයජනකයි, ඒ පහරින් සද්දන්ත ඇතෙක් බිම වට්ටන්න තිබුණා" කියලා.

      …ස්තූතියි මල්ලියෝ!

      Delete
  16. මාරු කතාව විශිෂ්ටයි නියමයි රහසින්වත් පව් කරන්න එපා කියන්නේ ඒකයි

    ReplyDelete
  17. මේ කතාව අහලා තියෙනවා... ඒත් මේ ලිපිය වැදගත් ලිපියක් සහෝ.... ඔබට පිං......

    මම අද තමා මේ පැත්තට ගොඩ වැඳුනේ....

    අහ්හ්.... විභාගෙටත් ජය....!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, අළුත් යාළුවෙක්...

      Delete
  18. ම්ම්ම් බොහොම වටින කතාවක්....ඉස්සර අහලා තිබුනා.....

    ReplyDelete
  19. නියම ලිපියක් .
    මටත් දැන් බ්ලොග් එක පැත්තේ යන්න වෙලාවක් හොයා ගන්නත් අමාරුයි. ඔක්කොම එක ගොඩේ වැටිලා. වැඩ ගොඩයි කැම්පස් එකේ.

    ReplyDelete
    Replies
    1. ඒවත් කොහොමහරි කරගන්න එපැයි!!!

      Delete
  20. මම මේ කතාව අදයි ඉස්සෙල්ලම ඇහුවේ.. ඒ හන්දා ගොඩක් වැදගත් මටනම්...

    ReplyDelete
  21. කවදාවත්ම අහල නැති වෙනස් කතාවක්.

    ඉගෙනීම වැඩත් අනිකුත් දේවලුත් හොඳින් සිද්ද වේවා.

    ReplyDelete
  22. බොහොම වටිනා කතාවක් අයියා... කාලෙකට උඩදී මාත් ඇහුව වගේ මතකයි. මතකය අලුත් වුණා...

    ReplyDelete
  23. හ්ම්.කතාව අහල තිබුනේ නෑ.ඒ නිසාම වටිනවා.අපේ ජිවිත උනත් හැඩ ගස්වා ගන්න මේ කතා වටිනවා.නියමයි.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !