අඟේ ඉඳන් කන කපනා, මිතුරු වෙසින් වළ කපනා යාළුවෝ...

සමහරු අහනවා ඔයාට මාව විශ්වාසයි ද? නැත්තම් සැකයිද කියලා... තවත් අය කියනවා මට මුළු ලෝකෙටම වඩා ඔයාව විශ්වාසයි කියලා. ඔයාට මේ මුළු ලෝකෙ ම නැතිවුණත් මම ඉන්නවා කියලත් කියන වෙලාවල් එහෙමත් තියෙනවනෙ. එහෙමත් නොකියන අය මෙහෙම කියනවා. මට ඔය කවුරු නැතිවුණත් මට මාව විශ්වාසයි කියලා. ඇත්තටම එහෙම කිව්වට අපිට අපිව විශ්වාස කරන්න පුළුවන්ද? ටිකක් නිවී සැනසිල්ලෙ හිතලා බලන්නකෝ මේ කියන දේවල් ගැන...ඇත්තටම බැලුවොත් මේක තමන්ට තමන්වත් විශ්වාස කරන්න බැහැ නේද? එහෙනම් කොහොමද අපි තව කෙනෙක්ව විශ්වාස කරන්නේ? එහෙම නැහැ ම කියලා ඔයාට හිතෙනවා නම් තව ටිකක් ඉස්සරහට කියවාගෙන යන්නකෝ. ඊටපස්සෙ අන්තිමට ආයෙත් නැවතිලා ටිකක් හිතන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ "මහණෙනි, මේ සිත විතරක් විශ්වාස කරන්න එපා. මෙය බොහෝ විට පවතින්නේ මාරයාගේ (ප්‍රමාදයේ මිත්‍රයාගේ) වසඟයේ......යි"" මේ හිතට එහෙම වෙන්න උදව් කරන්නේ දස මාර සේනාවයි. ඔයාලා අහලා ඇතිනේ සිද්ධාර්ථ තවුසා දස මාර සේනාව පරාජයට පත් කරලා බුද්ධත්වයට පත්වුණා කියලා. මේ කියන්නේ ඒ පරාජය වුණ දස මාර සේනාව ගැනයි. මේ දස මාර සේනාව අපේ හිතට ඇතුළු වෙන්නේ හරි ම මිතුරු වේශයෙන්. ඒ වුණත් ඒ අය අපේ හිතට කරන හානිය නම් සුළුපටු නැහැ. එයාලා නිසා අපේ හිත හොඳ-නරක, අම්මා-තාත්තා, කුසල්-අකුසල් අඳුනන්නේ නැති තත්වයට පත්වෙන්න ඉඩකඩ ඉතාම වැඩියි. කියවලා බලන්නකෝ ඔයාලත් මේ අය කීදෙනෙක් නම් හොඳම යාළුවෝ කරගෙන ඉන්නවද කියලා...

දස මාර සේනාව

1. කාම සේනාව - පංචකාමය (පංච ඉන්ද්‍රියන්.., ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති කැමැත්ත)
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් මෛත්‍රියේ මුවාවෙන් ද කෘතගුණ සැලකීමේ මුවාවෙන් ද පිංකම්වල මුවාවෙන් ද ආදි යහපත් කටයුතු මාර්ගයෙන් ද පංචකාමයෙහි යෙදීම ආදිය සිදු විය හැකි ය.

2. අරතිය - කුසල් දහම් දියුණු කිරීමට ඇති අකමැත්ත, එනම්, පිං කිරීමට, භාවනාවට, සිල් ගැනීමට ආදියට ඇති අකමැත්තයි. මේ පෝයට නෙවෙයි, ලබන පෝයට ම සිල් සමාදන් වෙනවා වගේ.

3. පිපාසය, බඩගින්න - කුසල් දහම් වැඩීම මේ හේතුවෙන් පසෙක දමයි.

4. තණ්හාව -
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් කීර්ති, ප්‍රශංසාවලට ආශාවෙන් අනිත් අයට කරන උදව් (චාගය) මුවාවෙන් ද තණ්හාව වර්ධනය කර ගත හැකි ය. පරිත්‍යාගය, අත හැරීමේ මුවාවෙන් ද තණ්හාව ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රසිද්ධිය උදෙසා නිර්මාංශ වීමත් එක්තරා විදියක තණ්හාවක්.

5. ථින මිද්ධය - නිදිමත, අලසකම, කායික වශයෙන් ඇති වන කම්මැලිකම.
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් සමාධි ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. නුවණ ලෙස ක්‍රියාත්මක වන විට භාවනා කරලා වැඩක් නැහැ, තව ඉගෙන ගන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. පරීක්ෂා කරන මුවාවෙන් ද ඇති වේ. එවිට භාවනා කරන්න කලිං හොයලා බලන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. ආත්ම ගෞරවයේ, ආරක්ෂාවේ ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. එවිට ඔය තැන්වලට ගිහිං භාවනා කරලා වැඩක් නැහැ, අභිධර්මය උගන්වන තැනකට යන්න ඕනෙ වගේ සමහරු කියන්නෙත් මේ නිසා ම තමයි.

6. බිය - එනම් ධර්මයේ හැසිරීමට අධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද ඇති බිය ය. එනම් භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙයි, සිල්වත් වෙන්න, සමාධි වඩන්න බය වුණත් කෙලෙස් පිළිබදව හෝ සසර ගැන හෝ බියක් නැහැ ඒ අයට.

7. විචිකිච්ඡාව - එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය ආදිය පිළිබද ව ද ඇති වන සැකය යි. මෙය නිසා ආර්ය මාර්ගය නො වැඩේ.

8. ගුණමකුකම හා සිතේ ඇති දැඩිබව - ගුණමකුකම තුළින් අනිත් අයගේ ගුණයන් මකා දමමින් කථා කරයි. ඊරිසියාව සිතෙහි ක්‍රියාත්මක වීම නිසා සිදු වේ. තමාගේ සිත පිරිසිදු නො වේ නම් තමා තුළ ආර්ය මාර්ගය නිවැරදි ව නො වැඩෙන්නේ කෙසේ ද යත් අපිරිසිදු රෙදි කඩකට හොදින් සායම් නොඅල්ලන්නා සේය. දැඩිබව හේතුවෙන් නම්‍යශීලි නො වීම නිසා ධර්මය නො වැඩේ. බුදු රජාණන් වහන්සේට ද නො නැමේ.

9. ලාභ, කීර්ති, ප්‍රශංසා සහ බොරුවෙන් ලැබෙන යසස - හුදකලා වූ විට ස්ත්‍රියකට හසු වීමට වඩා මේවාට හසු වීම භයානක වන්නේ ය. මේ දේවල් වලට නම් ගොඩක් දෙනා පහසුවෙන් ම බැඳිලා යනවා.

10. මානය - තමන් උසස් කර අනිත් අය පහත් කිරීම ආදිය සිදු වන්නේ මානය නිසාය. මෙය ද ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. නිහතමානි විධියෙන් ද මානය ක්‍රියාත්මක වේ.


හැබැයි මෙතනදි වරදවා වටහා ගන්න එපා මේ කියන්නෙ මාරයා ගැනයි කියලා. මාරයා කියන්නේ එක්තරා විදියක තනතුරක්, හරියට ශක්‍ර පදවිය වගේ. කාලෙන් කාලෙට එක එක්කෙනා ඒක දරනවා වගේ ම කාන්තාවකට කවදාවත් ඒ පදවිය ලැබෙන්නෙත් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඍද්ධිමත් භික්ෂූන් අතර අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේත් වරක් කකුසඳ බුරජාණන් වහන්සේ ගේ කාලයේ දුසී නමින් මාරයෙක් ව ඉඳලා බුදුන් ප්‍රමුඛ සංඝයාට බොහෝ හිරිහැර කළා කියලාත් සඳහන් වෙනවා. බෝසතාණන් වහන්සේට බුදු වීමට බාධා ඇති කිරීමට උත්සාහ කරන ලද්දේත්, ධර්මය දේශනා කිරීම වැළැක්වීමට විවිධ වෙස් රැගෙන බාධා කළේත්, බුදු රජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළේත් එම මාරයා විසිනි. එසේ ම මාරයා ට අප හමු වීමට අවශ්‍ය නො වන්නේ ඉහත කෙලෙස් ධර්ම හෙවත් දස මාර සේනාව අප තුළ නො අඩු නිසා වගේ ම අප ආර්ය මාර්ගයට තවමත් පිවිසිලා නැති නිසයි.

ප.ලි: කොහොමද යාලුවෝ ටික. හරි අපූරුවට අපි ළඟත් ඉන්නවා නේද? පුළුවන් නම් හෙට වෙසක් පෝය දවසේ උපෝසථ අෂ්ඨාංග ශීලය රකින්න උත්සහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මුළු ලෝකයේ ම සාගරයේ, ගොඩබිම තියෙන මුතු මැණික්, රන් රිදී එක තැනකට ගොඩ කළාම ලැබෙන වටිනාකම, සිල් රැකීමේ වටිනාකමෙන් සොළොස් කලාවෙන් එකක් (1/16ක්) තරම්වත් වටින්නේ නැහැ කියලා. මේ සටහන හෙට උදාවෙන වෙසක් පෝය වෙනුවෙනුයි. හැමෝටම මේ දවස් දෙක අර්ථවත් ව ගත කරන්න අවස්ථාව ලැබේවා කියන එකයි මගේ පැතුම. මට ලැබුණ ඊයකුත් උදව් වුණා මේක ලියන්න. මාරයා ගැන ලියැවුණු තවත් සටහනක් කැමතිනම් මෙතනින් බලන්න. පෝය දින විශේෂ සටහන් මෙතනින් බලන්න. එහෙනම්

…හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් ම වේවා...!

40 comments:

  1. දස මාර සේනාව ගැන අහල තිබ්බට ඔයතරම් ලොකු විස්තරයක් දැනගෙන හිටියේ නෑ... ස්තූතියි ලහිරු...

    ReplyDelete
    Replies
    1. මමත් හෙව්වා ඒ ගැන කාලයක්!

      Delete
  2. කියෙව්වම මේ දහදෙනාම මන් ගාව ඉන්නවා වගේ....
    :)
    ගොඩක් වෑදගත් ලිපියක්. සරලකම තමා මේ හෑමදේකටම පිළියම...

    ඔබටත් පින්බර වෙසක් දවසක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි විදියට අපි හැමෝම ළඟ ඉන්නවා වගේ නේද?

      Delete
  3. මෙත් මල් පිබිදේන පින් පිරි වෙසක් තෙමඟුලක් වේවා.....

    ReplyDelete
  4. //7. විචිකිච්ඡාව - එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය ආදිය පිළිබද ව ද ඇති වන සැකය යි. මෙය නිසා ආර්ය මාර්ගය නො වැඩේ.//

    ගොඩක් අය කුතුහලයත් එක්ක විචිකිච්ජාව පටලගෙන..

    වෙසක් එකට හිතන්න යමක් එකතු කලාට ස්තුතියි ලහිරු..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් අය ඔය දෙක පටලවාගෙන තමයි අක්කේ, ඒක මටත් හිතෙනවා!

      Delete
  5. අහල තිබ්බට මාර සේනාව ගැන අදයි පැහැදිළි අවබෝධයක් ලැබුනේ...
    උතුම්ම දානය ධර්ම දානයයි

    පින්බර වෙසක් මංගල්‍යයක් වෙවා !!!

    ReplyDelete
  6. ඓසක් එකට නියමෙට ගැලපෙනවා...
    පින් බර වෙසක් තෙමගුලක් වේවා...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැරදුනා..."වෙසක්" හොදේ...

      Delete
    2. ආ.. ඒක අවුලක් නැහැ! ඔයාටත් එසේම වේවා!

      Delete
  7. හම්මූ.........සෑහෙන්ඩ ඩේවල් හිටන්නෝනෙ අෆ්ෆා........

    පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හිතන්න පටන් ගන්න කාලේ හරි හොඳද...

      Delete
  8. "කාන්තාවකට කවදාවත් ඒ පදවිය ලැබෙන්නෙත් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා"
    එයාලගෙ නියෝජිතව‍රියො හැමතැනම ඉන්නව :)

    හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දද මන්දා එහෙම කියලා තියෙන්නෙ... ස්තූතියි අයියේ!

      Delete
  9. තන්හා, රතී, රාගා නම් ඔය නිතරම පාරවල් වලයි, ටිවි එකෙයි ඉන්නෙ, කොහොමත් ගැහැනු තමයි මාර සේනාව මේන් ටේන් කරන්නේ....(හි හි හ්... විහිළුවට කිව්වේ... ගැනු ලමයි මාත් එක්ක තරහා වෙන්ඩ එපෝ) ..

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්ත, ඒත් අපිත් දැනගන්නෝන අපේ හිත පාලනය කරගන්න.... එහෙම නේද ?

      Delete
  10. වෙසක් පෝය නිමිත්තෙන් ලිය උන් වැදගත් ලිපියක්.. අපේ හිත් වලත් ඔය දේවල් පොඩ්ඩක් හරි තියෙනවා.. ඒකයි ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. එහෙනම් බලබල ඉන්නෙ නැතුව ටික ටික අඩුකරගන්න ට්‍රයි එකක් දෙමු!

      Delete
  11. ලහිරු ඔබටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා.. ලිපිය ලියලා ධර්ම දානයේ දීල. ගොඩක් පින්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ධර්ම දානය උතුම් ම දානයනේ!

      Delete
  12. ගොඩක් ස්තුතියි ලහිරු සහෝ මේ විස්තර ටිකට... අළුත් දෙයක් දැනගත්තා...

    ලෝ වැසි සැම මෛත්‍රියෙන් පිබිදේවා !!!

    ReplyDelete
  13. බොහෝ පින් ලැබේවා ඔයාට

    ReplyDelete
  14. වෙසක් දවසට මේ වගේ ධර්මකාරණාවක් කියවන්ඩ සලස්වපු එකත් ලොකු පිනක් !!
    ලහිරුට බොහොම පින් !!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් කියවන්න තියෙනවා නම් වටිනවා ධර්මය නම්.. නේද සහෝ?

      Delete
  15. හොද ලිපික්.. ඔබටත් සුබ වෙසගක් වේවා... මගේ හිතෙත් ඔයින් ටිකක විතර තියෙනවා.. අද ඉදලා අයින් කරගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උත්සහ කරමු අද ඉඳන්!

      Delete
  16. මාරයා ඒ සේනාව ගැන හොඳ විස්තරයක් දැනගත්තා.ගොඩාක් පිං..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගෙත් සතුට සහෝ!

      Delete
  17. දැන් නම් වෙසක් ඉවරයි... අපි දැනුයි කියවන්න එන්නේ.... මාරයිනේ දස මර සේනාව.... අයියට කවුද මෙව්වා කියල දෙන්නේ.....

    ReplyDelete
  18. මට මේ දේවල් ගැන කියලා දෙන්නේ නම් පොත් තමයි, තව ඊ මේල් එහෙමත්... ඔයාටත් ඕනෙ නම් කියන්න!

    ReplyDelete
  19. වටිනා දැනුම් ගොඩක්..

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !