BIOS password දාන්නේ කොහොමද ?


සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි

1. Windows Password යෙදීම මඟින්

2. BIOS password යෙදීම මඟින්

මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්! BIOS password ගැන කියනවානම් ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. සමහරු දන්නවා වුණාට පාවිච්චි කරන්නෙත් නෑ. දන්නවද, Windows Password යෙදීම ආරක්ෂිතයි තමයි, නමුත් ඒකට වඩා දහස් ගුණයකින් ඔයා ආරක්ෂිතයි ඔය මුරපද දෙකම පාවිච්චි කරනවානම්.

මේ වගේ දෙයක් හදිස්සියේ ම මතක් වුණේ කැම්පස් එකේ අඳුරන මල්ලි කෙනෙකුට වුණ පොඩි අකරතැබ්බයක් නිසයි. මෑන් දවසක් බස් එකේ කැම්පස් එන ගමන් පැල්මඩුල්ල හරියෙදි බස් එක තේ බොන්න නවත්තලා. එයාත් බෑග් ටික ඉඳගෙන හිටිය සීට් එක උඩින් තියලා සිංදුවක් කියන්න ගිහින්. නිදහසේ සින්දුව කියලා පොඩ්ඩක් වටපිට කාරිය බලලා ආයෙත් බස් එකට ඇවිත් බලනකොට ලැප් බෑග් එක නෑ. බස් එකේ හිටිය හැමෝම වගේ බැහැලා ගිහින් නිසා අහන්න කවුරුවත් ඉඳලත් නෑ. හිටිය එක්කෙනා දෙන්නගෙන් අහද්දි කිව්වලු තුන් හතරදෙනෙක් ඇවිත් අරන් යනවා දැක්කා, ඒ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා නෑ. මොනවා කරන්නද ඉතින්, පාඩුව විඳගත්තා මලයා. පස්සේ හොයලා බලද්දි තමයි දැනගත්තේ එතන එහෙම බස් වල බඩු හොරකම් කරන මැර කල්ලියක් ඉන්නවා කියලා.

ඔය වෙනකල් ම මම වුණත් හිතලා තිබ්බේ නෑ පොඩ්ඩක්වත් ලැප් එකේ ආරස්සාව ගැන. ඊට පස්සෙ මම හොයලා බලලා දැනගත්ත දේවල් ඔයාලටත් ඕන වෙන්න පුළුවන්නේ කියලා හිතලා තමයි මේ පෝස්ට් එක දාන්නේ. හරි හරි ඒ කතාව ඉවරයි, අපි යමුකෝ අපේ මාතෘකාවට. BIOS password එක මඟින් කෙරෙන්නේ CMOS වල ගබඩා කරලා තියෙන Settings වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන එකයි. තවදුරටත් කියනවා නම් පරිගණකයේ දෘඪාංග සඳහා වන පිවිසීම අවහිර කරනවා මෙයින්. එහෙමත් තේරුණේ නැත්තම් මෙහෙමයි, පරිගණකයට ඔයා නැතුව මොනවවත් වෙනස්කමක් කරන්න දෙන්නෙ නැහැ. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාගේ පරිගණකය කවුරුහරි සොරකම් කළා කියලා. අපි හිතනවා "බයවෙන්න දෙයක් නෑ, මම XXXX මෘදුකාංගය දාලානේ තියෙන්නෙ, ඒකෙන් ලැප් එක ගත්ත කෙනාගේ ෆොටෝ එකයි ඉන්න තැන ගූගල් මැප් එකකිනුයි කියලා ඊ මේල් එකක් එයිනේ"

එහෙම වේවි හොරා ඔයාගේ පරිගණකයට log වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වුණොත්!!! හැබැයි ඔයාගේ අවාසනාවට හොරා ලැප් අරගෙන Format කරනවා.... එතනදී ගූගල්ටත් ඔයාට උදව් කරන්න බැරුව යනවා. ඊට පස්සේ තියෙන්නේ හිත හදාගන්න එක විතරයි නේද? නෑ නෑ එහෙම වෙන්න ඕන නෑ දැන්... ඒක වළක්වන්න තමයි අපි BIOS password දාන්නේ. එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය Format කරන්න බැහැ. හොරාට එතකොට හොරකම් කල එකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ!

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්.

ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ නිල්පාට තිරයක් සහිත මේ වගේ Window එකක්. ඒකේ තියෙනවා Security කියලා tab 1ක්.

ඒකේ තියෙනවා තේරීම් දෙකක්. "Set User Password" සහ "Set Supervisor Password" විදියට. "Set User Password" එකෙන් කරන්නෙත් password එකක් දෙන එක තමයි , නමුත් එතනදි ඒක දන්න කෙනාට පුළුවන් CMOS Settings සඳහා ඇතුළුවෙන්න සහ බලන්න විතරයි. වෙනස්කම් කරන්න ඉඩදෙන්නෙ නැහැ.

"Set Supervisor Password" එක දන්නවනම් ඕන විදියක වෙනස්කම් කරන්න ඉඩදෙනවා. එහෙනම් තෝරන්නකෝ "Set Supervisor Password" කියන එක (ENTER ක්ලික් කරන්න). දැන් Password එක දෙන්න. ඒක ආයෙත් Confirm කරන්න. ඕන කියලා හිතෙනවා නම් "Set User Password" එකත් ඒ විදියටම දෙන්න. දැන් F10 ඔබලා Save කරන්න. ඊටපස්සේ ඔයා පරිගණකයට log වෙන හැමවෙලාවෙම වගේ ඔය Password එක අහාවි. User/Supervisor දෙකෙන් කොයි එක දුන්නත් ගැටළුවක් නැහැ.

ප.ලි: මතක තියාගන්න පුළුවන් Password එකක් දෙන්න, බැරිවෙලාවත් ඒක අමතක උණොත් ආයෙත් log වෙන එක Desktop වල නම් ඒතරම් අවුලක් නොවුණත් Laptop වල ටිකක් කරදරකාරී වැඩක්.

13 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මැස්සෙක් නිසා...


අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.

කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහණ වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා භික්ෂු පිරිස පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර සඟ පිරිසේ හිටිය රහතන් වහන්සේ නමකගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.

මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි හිතාමතා ම මැස්සෙක් ව කිරි මුට්ටියක දාලා උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට සිහි කරගන්න පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙනවා. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....

අපි නොසැලකිල්ලෙන් කරන පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනා ම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නෑ අපි කාටවත් ම....එහෙම නේද? ඒ වගේ ම කර්ම විපාක දෙන හැටිත් පුදුම සහගතයි නේද? සාමාන්‍ය මිනිස් මනසකට ඒක තේරුම් ගන්න බැරි, අචින්ත්‍ය දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒනිසා වෙන්න ඇති!

17 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පාත්‍රය...


සිටුතුමනි... සිටුතුමනි..., ඔබතුමා හමුවීමට රජගහනුවර ප්‍රධාන වෙළෙන්දා පැමිණ සිටිනවා. රජගහනුවර ප්‍රධාන සිටුවරයා වූ වාසෙට්ඨ හමුවට ආ සේවකයෙකු එසේ පැවසූ විට "හොඳයි, මා සුළු මොහොතකින් පැමිණෙන බව ඔහුට පවසන්න, එතෙක් වෙළෙන්දා ට ආසන පනවා හොඳින් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න."

"සුබ උදෑසනක් වේවා සිටුතුමනි".

"සුබ උදෑසනක් මිතුර, කිමෙක්ද බොහෝ කලෙකින් අප මතක් වූයේ? අමනාපයක් වත් ද? "

"අනේ සිටුතුමනි, අමනාපයක් නොවෙයි, මෙවර වෙළඳාම සඳහා අප ගියේ බොහෝ දුර ඈතකටයි, ඒ නිසා නැවත පැමිණෙන්නට සිතුවා ට වඩා බොහෝ කල් ගතවුණා. මා ඔබතුමා හමුවට හදිසියේ ම පැමිණුනේ මට එහි දී හමු වූ වටිනා වස්තුවක් ඔබතුමාට දීමටයි"

"එ කිමෙක්ද මා මිතුර ?"

"මා දන්නවා ඔබතුමා බොහෝ සේ සඳුන් ලී වලට ප්‍රිය කරන බව. එසේ ම මා දැක තිබෙනවා සිටු මාළිගයේ තිබෙන අනර්ඝ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ. ඉතින් මා සිතුවා වෙළඳාම අතරතුර මා ලද මේ වටිනා සඳුන් ලී කැබැල්ල ඔබතුමා ට දීමට, ඒ මන්ද යත් මෙය ලද විට මට එකවර ම මතක් වුණේ ඔබතුමායි "

"ඔබට බොහෝ ම ස්තූතියි මිතුර, මා පමණක් නොවෙයි අපේ පරම්පරාවේ හැමදෙනා ම පාහේ සඳුන් ලී වලට බොහෝ සේ ඇළුම් කළා. මේ මාළිගයේ තිබෙන්නේ මා විසින් කරවූ සඳුන් ලී කැටයම් වලින් නිර්මිත භාණ්ඩ පමණක් නොවේ. මගේ පියා, ඔහුගේ පියා, ඔහුගේ ත් පියා ආදි වශයෙන් බොහෝ දෙනා කරවූ භාණ්ඩ මෙහි තිබෙනවා. මා සිතන්නේ අපේ මහ රජතුමාට වත් මෙපමණ අනර්ඝ සඳුන් ලී කැටයම් නැතැයි කියායි. ඉතින් ඔබට නැවතත් බොහෝ ම ස්තූතියි"

"එසේ නම් සිටුතුමනි මට යන්නට අවසර, අපට කළයුතු බොහෝ වැඩ තිබෙනවා නොවැ..."

වෙළෙන්දා ඒ අයුරින් නික්ම ගියත් සිටුතුමා ගේ කල්පනාව වූයේ මේ සඳුන් ලීයෙන් කළයුත්තේ කුමක්දැයි කියායි. ඇත්තෙන් ම අළුතින් නිර්මාණය කරවිය යුතු කිසිවක් සිටුවරයාගේ මතකයට නො එන තරමට සිටු මාළිගය කැටයම් භාණ්ඩ වලින් අනූන එකක් විය. දින ගණනාවක් නොයෙක් අදහස් අතර සැරිසැරූ සිටුවරයාට එක්වර ම කදිම අදහසක් පහළ විය. වහා ම තම වඩුවා කැඳවූ සිටුවරයා, ඔහුට නියෝග කළේ සඳුන් ලීයෙන් මනරම් පාත්‍රයක් කරවන ලෙසයි. වඩුවා පාත්‍රය සාදන අතරතුරේ තම සේවකයන් කැඳවූ සිටුවරයා ඔවුන් ට දැන්වූයේ බොහෝ උස උණ ගස් කිහිපයක් කපාගෙන විත් ඒවා හොඳින් එකිනෙක ගැටගසා ඉතා උස කණුවක් පිළියෙල කරන්නට කියායි. වඩුවා විසින් කර වූ අනර්ඝ සඳුන් ලී පාත්‍රය යටි අතට හරවා උණ ගස් වලින් කරවූ කණුව කෙළවරේ රැඳ වූ සිටුවරයා තම සේවකයන් ට නියෝග කළේ එය ගෙනගොස් නගරය මැද සිටවන ලෙසයි. ඉන්පසු නගරය පුරා අණබෙරයක් යවමින් "ලෝකයේ රහතුන් යැයි සම්මත කිසිවෙක් සිටී නම් තමන් ගේ ඍද්ධි බලයෙන් මේ අනර්ඝ සඳුන් ලීයෙන් කර වූ පාත්‍රය ගනිත්වා" යි දන්වා සිටියේ ය.

නගරයේ මෙතෙක් නොවූ විරූ මහත් වූ කෝලාහලයක් පැතිර ගියේ ය. නමුත් කිසිවෙක් පාත්‍රය ගන්නට නම් ඉදිරිපත් නොවී ය. නමුත් සිටුවරයා වෙත රහසේ පැමිණෙන පණිවුඩකරුවන්ගෙන් නම් අඩුවක් නැත.

…"සිටුතුමනි, අපේ ගුරුවරයා නම් නිසැකව ම රහතන් වහන්සේ කෙනෙකි, නමුත් එතුමා ඍද්ධි බලයන් සාමාන්‍ය මිනිසුන් හමුවේ විදහා පාන්නට අකමැතියහ . ඒ නිසා අනාගතයේ බොහෝ සැප ලබාගනු වස් අපගේ ගුරුවරයාට මේ පාත්‍රය පූජා කළ මැනව"

"ඔබගේ ගුරුවරයා රහත් කෙනෙක් නම් පහසුවෙන් මේ පාත්‍රය ගතහැකි නොවේද? එනිසා අප වෙහෙසට පත් නොකර ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ලබාගන්න" ඒ පණිවුඩකරුවන් සියල්ල ට ම සිටුතුමාගේ පිළිතුර එක ම විය.

මේ අතර රජගහනුවර නිඝණ්ඨයන් ගේ ආරාමයේ මේ ආකාරයේ කථාවක් ඇතිවිය.

"ස්වාමිනී, ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය කෙසේ හෝ අප වෙත ලබාගන්නට නොහැකි වුවහොත් අපට වන්නේ මහත් ම පාඩුවකි. ඔබ වහන්සේ රහත් කෙනෙකු ලෙස සලකා අපට දන් පැන් පූජා කරන බොහෝ දෙනා අප කෙරෙහි අපැහැදීමක් ඇතිකරගනු නො අනුමාන ය. එහෙයින් නොපමා ව කිසිවක් කළ යුතු ය. එසේ ම අප සිටුවරයා වෙත යැවූ පණිවිඩකරු ද පෙරළා හරවා එවා තිබෙන බව සැලයි. කුමක් හෝ කළ මැනව "

"එසේ නම් මා විසින් ම ගොසින් රජගහනුවර සිටුවරයා හමුවෙන්නෙමි, ඔහු අපට බොහෝ හිතෛෂී, නිතර දන් පැන් දෙන කෙනෙක් නොවැ. ඒ නිසා ඔහු මට පාත්‍රය පූජා කරනු නියතයි. යම් හෙයකින් එසේ පාත්‍රය ලබාගන්නට නොහැකි වුවහොත් එය උපක්‍රමයකින් ලබාගනිමු." ජෛන මහාවීර නිඝණ්ඨනාථපුත්ත තුමා තම ශ්‍රාවකයන් ට එසේ පවසා තෙමේ ම ගෝලයන් පිරිවරා රජගහනුවර සිටුවරයා හමුවන්නට ගියේ ය. 

"පින්වත් සිටුතුමනි, රහතුන් ට අභියෝග කිරීම මේ ලෝකයේ අතිශයින් ම නොකළමනා ය. ඒ නිසා නොපමා ව පාත්‍රය මා වෙත පූජා කළ මැනව."

"නිඝණ්ඨනාථපුත්තයන් වහන්ස, මේ නම් ඔබ වහන්සේ ගේ රහත් බව ලෝකය හමුවේ ප්‍රකට කිරීමට කදිම අවස්ථාවකි. ඒ නිසා අප වෙත අනුකම්පාවෙන් ඍද්ධි බලයන් පා පාත්‍රය ගනු මැනව "

"හොඳයි සිටුතුමනී, එසේ නම් මා විසින් ම ඍද්ධි බලයෙන් මේ පාත්‍රය ගන්නෙමි. මාගේ ශ්‍රාවකයෙනි, ඍද්ධි බලය විදහා පෑම පිණිස මේ පිරිස මඳක් ඈත් මෑත් කළ මනා ය. "

නිඝණ්ඨනාථපුත්තයන් ඍද්ධි බලය පෑමට පා ඔසවනවාත් සමඟ ම එතුමා අල්ලාගත් ශ්‍රාවක පිරිස "ස්වාමීනී අපගේ දිවි යතත් ඔබතුමාට ඍද්ධි බල පෑමට නම් ඉඩ නොදෙමු. මේ සා නොවටිනා පාත්‍රය ක් වෙනුවෙන් වෙහෙස නොවනු මැනව. " යනුවෙන් පැවසූ ශ්‍රාවක පිරිස නිඝණ්ඨනාථපුත්තයන් අල්ලාගෙන නිඝණ්ඨාරාමය වෙත ගෙන ගියෝ ය.

මේ අතර දර කඩා විකිණීම ජීවිකාව කරගත් දර කඩන්නන් දෙදෙනෙක් අතර මහ වනය මැද දී මෙවැනි කථාවක් ඇතිවිය. "ඉස්සර නම් මේ රජගහනුවර අපි රහත්... අපි රහත් කියලා කියාගත්ත අය කී …දෙනෙක් නම් හිටියද? කෝ ඒ එක්කෙනෙක්වත් අපේ සිටුතුමා ගේ පාත්‍රය ගන්න ආවද, නෑනේ. බලාගෙන ගියා ම මේ ඔක්කොම බොරුකාරයෝ වගේ නේද? මේ ලෝකය රහතුන් ගෙන් හිස් වෙලාවත්ද..."

ඒ කැලය මැද වූ ගල්තලාවේ විවේකී ව වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකි. ඒ මුගලන් මහ රහතන් වහන්සේ සහ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේයි. උන් වහන්සේලාට මේ දර කපන්නන්ගේ කථාව ඇසුණි. උන් වහන්සේලා අතර ඇති වූ කථාව මෙබඳු විය.

"ආයුෂ්මත් භාරද්වාජයන් වහන්ස, ඔබ වහන්සේට ඇසුණාද ඒ දර කපන්නා ගේ කථාව? ඇයි ඔබ වහන්සේ ඍද්ධි බලයෙන් මේ පාත්‍රය දිනා ගෙන ලෝකයේ රහතන් වහන්සේලා තවමත් වැඩ වාසය කරන බව ලෝකයට කියාපාන්නේ නැත්තේ? "

"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එසේ ය, මටත් එය ඇසුණා. නමුත් ඔබ වහන්සේ නොවේද ඍද්ධි බල ලාභීන් අතර අග්‍රස්ථානයේ සිටින්නේ. එනිසා ඔබ වහන්සේට පහසුවෙන් මේ පාත්‍රය දිනාගත හැකි නොවේ ද ?"

"ආයුෂ්මතුන් වහන්ස, මේ බොහෝ දෙනා අතර මාගේ ඍද්ධි බලය බොහෝ ප්‍රකට එකකි. බොහෝ දෙනා ඒ ගැන දනිති. නමුත් ඔබ වහන්සේගේ හැකියාවන් බොහෝ දෙනා අතර ප්‍රකට නැත. ඒ නිසා එය ලෝකයට ප්‍රකට කිරීමට මේ පාත්‍රය ඔබ වහන්සේ ම දිනාගනු මැනව. "

…"ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, එය නම් ඇත්තකි." එසේ ප්‍රකාශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ රැඳී සිටි ගල් තලාව සමඟ ම අහසට පැන නැඟී රජගහනුවරට ඉහළ අහස වටා සත්වරක් ගල්තලාව මතින් ගමන් කළ හ. ගල්තලාවක් ඉහළ අහසේ කරකැවෙමින් තිබෙනු දුටු නුවර වැසියෝ මහත් භීතියට පත් වී මහත් වික්ෂිප්ත බවට පත් වූහ. තවත් මොහොතකින් මේ ගල්කුළ තම හිස් මතට කඩා වැටෙතැයි සිතූ වැසියෝ මහ හඬින් විලාප නගන්නට වූ හ. එවිට ගල්කුළ මතින් භාරද්වාජයන් වහන්ස අහසට වැඩ නුවර වැසියන්ට තමන් වහන්සේ පෙනෙන්නට සැලැස්වූ හ. 

"අනේ ස්වාමිනි අප බේරාගනු මැනව. තව සුළු මොහොතකින් ඔය මහා ගල් තලාව අප හිස් මතට කඩා වැටෙනු නියතයි... "…යනුවෙන් නුවර වැසියෝ විලාප තබන්නට වූහ. ඒ සමඟින් ම තම පාදයෙන් ගල් තලාව ස්පර්ශ කළ පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ ගල් තලාව වනයේ තිබූ තැනටම වැටෙන්නට සලස්වා තමන් වහන්සේ පාත්‍රය සහිත කණුව අසල අහසේ පළඟක් බැඳ වැඩ සිටිය හ. ඒ සමඟින් ම එළියට බට රජගහනුවර සිටුවරයා "අනේ ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන් පහළට වැඩිය මැනව " යනුවෙන් යදින්නට විය. තම සේවකයන් අණවා පාත්‍රය බිමට ගත් සිටුවරයා බිමට වැඩි පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේට පාත්‍රය පූජා කලේ ය. පාත්‍රය පිළිගත් පිණ්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ වේළුවනාරාමයට වඩිනා විට නුවර වැසි ජනයා මහ හඬින් සාධුකාර දෙමින් මහ පෙරහරින් වේළුවනාරාමය දෙසට ඇදෙන්නට වූ හ.

මේ අතර වේළුවනාරාමයේ වැඩ සිටි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මේ මහා ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ ඒ කුමක්දැයි කියා උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසූ හ.

"ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ භාරද්වාජයන් වහන්සේ ඍද්ධි බලයෙන් රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගෙන, ඒ බව දුටු මිනිස්සු මහ පෙරහරින් වේළුවනාරාමයට පැමිණෙන හඬයි ඒ ඇසෙන්නේ " යනුවෙන් ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන් හ.

"එසේ නම් ඒ භාරද්වාජ භික්ෂුවට මා හමුවට පැමිණෙන ලෙස දන්වන්න " යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැවසූ හ. සුළු වේලාකින් තමන් හමුවට පැමිණි පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ හ.

"පින්වත් භික්ෂුව, ඔබ රජගහනුවර සිටුවරයා ගේ පාත්‍රය දිනාගත් බව සැබෑවක් ද? "

"එහෙමයි ස්වාමිනි, මා එය දිනාගත්තා. "

"පින්වත් භික්ෂුව, උතුම් වූ අරමුණක් වෙනුවෙන් මහත් ශ්‍රද්ධාවෙන් ම මේ බුද්ධ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයෙකු උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් මේ සා ලාමක වූ දෙයක් වෙනුවෙන් යෙදවීම එවැන්නෙකුට අතිශය නොගැළපෙන කටයුත්තකි. " යනුවෙන් වරදට ගර්හා කළ සේක. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අවබෝධයෙන් යුතුව ම වරද වටහා ගත් හ.

එමෙන් ම පසු දිනකදී බුදුරජාණන් වහන්සේ මහා සංඝයා මධ්‍යයේදී

"පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව සිංහනාද පවත්වන්නට හරී ම දක්ෂයි. දවසක් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව බුදුරජාණන් වහන්සේ හමුවේ තමන් වහන්සේ ගේ අරහත්වය ප්‍රකාශ කිරීමෙන් පස්සේ විහාරයේ දොරක් දොරක් ගානේ ගිහින් භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා, ආයුෂ්මතුන් වහන්ස, ඔබ වහන්සේලා කාටහරි සෝවාන් ඵලය ගැන හරි සෝවාන් මාර්ගය ගැන හරි සැකයක් තියෙනවා නම් මගෙන් අහන්න. මට හොඳින් ඒ ගැන කියාදෙන්නට පුළුවනී කියල සිංහනාද කළා. " කියලා බුදුරජාණන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා.

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සැපයි... හැබැයි දුකයි !!!


සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ, මහන්සි වෙන්නෙ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම, රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුට ලැබීම ආදී දේ ගැන නේ. ගිහි පැවිදි බොහෝ දෙනා දෙනා ම වගේ කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. මේ නිසා බොහෝ දෙනෙක් සසරක් ගැන හිතන්නෙ නැහැ, ඒ වුනත් හැම මොහොතකදී ම වගේ නැවත ඉපදීමක් සඳහා පින් සහ පව් රැස් කරනවා. ඇහැට පෙනෙන සැපය උදෙසා බොහෝ දෙනෙක් කයින් පව් රැස් කරනවා, වචනයෙන් පව් රැස් කරනවා, මනසින් පව් රැස් කරනවා. මෙසේ කයින්, වචනයෙන් හා මනසින් පව් රැස් කරලා මරණින් පස්සේ, කෙනෙකු හැකිළු අතක් දිගහරින පමාවෙන් නිරයේ උපදිනවා. ඇතැමෙක් තිරිසන් ලෝකයේ උපදිනවා. ඇතැමෙක් පේ‍්‍රත ලෝකයේ උපදිනවා. බොහෝ දුකට පත්වෙනවා.
සතර අපායට වැටෙන සුළු ජීවිතයක් බොහෝ දෙනෙකුට උරුම වී තිබෙන්නේ සසරේ බිය නොදැක, අකුසල් රැස් කිරීම නිසා යි. කුසල් රැස් කිරීමෙහි ප‍්‍රමාදවීම නිසා යි. ලෞකික ජීවිතය හෙවත් උපතත්, මරණයත් අතර පවතින මේ ජීවිතය ගැන පමණක් පුන පුනා වර්ණනා කරන නිසා යි. මේ පුහු වර්ණනාවට මිනිස්සු හසුවෙන්නේ කෙමනක් ඇතුළට රිංගලා පීනන මාළුන් රෑනක් වගෙයි. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. උන්වහන්සේ සසර ගමනක ඇති භයානක ස්වභාවය සෑම විට ම පෙන්වා දුන්නා. මිනිස්සු සසරට ඇලූම් කරමින් ඉන්නේ නොදැනුවත්කම නිසා බව බුදුරජාණන් වහන්සේ දැනගෙනයි සිටියේ. වරක් උන්වහන්සේ භික්ෂූන් අමතා මේ විදියට ප්‍රකාශ කළා.

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රයට ගිනි ඇවිලූණහොත්, හිස හෝ ගිනි ගත්තොත් එවිට කුමක් කළ යුතුද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇඳ සිටින වස්ත‍්‍රයට හෝ හිසට ගිනි ඇවිලූනහොත් ඒ ගින්න නිවා දමන්නට අධික උත්සාහයක්, බලවත් වීරියක්, බලවත් කැපවීමක් ගත යුතුය. ගින්න නොපැතිරීම පිණිස බලවත් සිහියක්, නුවණක් උපදවා ගත යුතුය.”

“පින්වත් මහණෙනි, ඇඳ සිටින වස්ත‍්‍රය හෝ හිස හෝ ගිනි ගත් කෙනෙක් එය නොසලකා, සිහි නොකර, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි උත්සාහ කළ යුත්තේ. බලවත් ලෙස කැපවිය යුත්තේ. සිහියත්, නුවණත් උපදවා ගත යුත්තේ.”
- චේල සූත‍්‍රය (ස.නි. 05) -

මේ විදියට අතිශයින් ම බලවත් උත්සාහයකින් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස කැප විය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළේ ඇයි ? මේ සසර ගමන ඉතා භයානක බව උන්වහන්සේ දන්නා හින්දයි. වරක් උන්වහන්සේ තම නිය සිළ මතට පස් ස්වල්පයක් රැගෙන අනතුරුව භික්ෂූන් අමතලා මේ විදියට පැවසුවා.

“පින්වත් මහණෙනි, මා නිය සිළ මත තිබෙන මේ පස් ද වැඩි, මහ පොළොවේ පස් ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නිය සිළ මත තිබෙන පස් නම් ඉතාම ස්වල්පයකි, නමුත් පොළවේ ඇති පස් ප්‍රමාණය නම් ගිණිය නොහැකි තරම් ය "
 
“පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයෙන් ම මිනිසුන් කෙරෙන් චුත වන මිනිසුන් ගෙන් යළිත් මිනිස් ලොව උපදින්නේ මේ නිය සිළ මත තැබූ පස් ස්වල්පය මෙන් ඉතා ම ටික දෙනෙකි. එහෙත් මේ මහා පොළොවේ පස් වැනි අති විශාල පිරිසක් මිනිස් ලොවින් චුත වී නිරයේ උපදිති. මිනිස් ලොවින් චුත වී පේ‍්‍රත ලොව උපදිති. මිනිස් ලොවින් චුත වී අපායේ ම උපදිති. යම් කෙනෙක් මිනිස් ලොවින් චුත වී යළිත් මිනිස් ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ඉතා ම ස්වල්පයයි. යම් කෙනේක මිනිස් ලොවින් චුත වී දෙව්ලොව උපදිත් නම් ඔවුන්ගේ ප‍්‍රමාණය ද ඉතා ම ස්වල්පයකි.”
- පඤ්චගති පෙය්‍යාල වර්ගය (ස.නි. 05) -

මේ භයානක අනතුරින් අත් මිදීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මය අහන්න, අවබෝධ කරන්න හැකියාව තියෙන මිනිස් ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. බුදු සසුනක් අපට මුණ ගැහිලා තියෙනවා. නමුත් මේ අවස්ථාව අපට අහිමි වුණොත් අපි කොහේ කවුරු වෙලා උපදී දැයි අපිට කියන්න බෑ. බැරිවෙලාවත් අපි අපා දුකට වැටුණොත් උපන් ජාතියේ නිසාවත් හෝ මිල මුදල් වලින් වත් ඒ අපා දුකින් නිදහස් වෙන්න බැහැ. අපේ දෙමව්පියන් ට, එකට හිටිය යාළුවන් ට අපි බ බේරගන්න බැහැ, බේරාගන්න එන්නෙත් නැහැ. ඒ නිසා අපිට හැමතිස්සේ ම පිහිටට තියෙන්නෙ අපි කරගත්ත දෙයක් විතරමයි.

තෙරුවන් සරණ ගිය, අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්න එක හරි ම වැදගත්. ඒ වගේ ම සසර බිය දකින්න ඔබට පුළුවන් නම් පව් කෙරෙහි ප්‍රමාදී වෙලා පින් කෙරෙහි ඔබ අප්‍රමාදී වේවි. ගෞතම බුදු සමිඳුන් වදාළ ධර්මයට අනුව ජීවිතය දෙස බැලීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් නම්, ජීවිතයේ අභ්‍යන්තරයේ සිදුවන කුසල් අකුසල් සකස් වීමේ ස්වභාවය හඳුනාගන්න උත්සහ කරනවා නම්, මේ දේවල් තමයි කෙනෙක් තමන් තමන්ට ඇත්තට ම ආදරේ නම් මහත් උත්සාහයෙන් ම කරන්න ඕන. බොහෝ දෙනා සතර අපායේ වැටෙමින් ගමන් කරන මේ භයානක සංසාර ගමනින් වහ වහා අත් මිදීම පිණිස උතුම් අදහස්, වීරිය ඇති වේවා...!

ප. ලි : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි...

16 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ධර්මය සොරකම් කරන්නට ආ නිඝණ්ඨනාථපුත්ත ගෝලයා...


තවත් කෙනෙකුට කීර්ති, ප්‍රශංසා , ලාභ සත්කාර ලැබෙද්දි සමහර අයට ඉවසන්න අමාරුයිනේ. අනිත් අයට වැඩියෙන් ලැබෙනවා කියන්නේ තමන්ට ට ලැබෙන දේවල් අඩුවෙනවා කියන එකනේ. ඉතින් ඒක එයාලට ඇහැට කටු අනිනවා වගේ වැඩක්. මේ තත්වේ දැන් වගේ ම ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ භාරතයේ පහල වෙන්නට කලින් විවිධ ආගම්, ශාස්තෲවරු සියගණනක් ඉන්දියාවේ හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටිය ඉන්දියාවේ විවිධ සාධක මත මේ ආගම්, දර්ශන, මතවාද වලට මිනිස්සු බෙදිලායි හිටියේ. බොහෝදෙනා උපත, මුදල, සමාජ තත්වය වගේ සාධක මත ආගම් අදහනකොට ස්වල්පයක් දෙනා විතරක් සාමාන්‍ය පොදු රාමුවෙන් ඉවතට ගිහින් ජීවිතයේ හරය, මරණය, මරණින් මතු ජීවිතය වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විෂය නොවන කාරණා ගැන හොයන්න පටන් ගත්තා. මේ නිසා සමාජයේ ආගමික ඒකාධිකාරය තනිවම හැසිරු ව බ්‍රාහ්මණයන් ට අභියෝග කරමින් පෙර නොසිටිය තාපසයෝ, පරිබ්‍රාජකයෝ, නිඝන්ඨයෝ, ආජීවකයෝ වගේ ආගමික කොටස් බිහිවුණා. මේ විකල්ප සිය ගණනක් අතරින් ප්‍රබලව ම ඉස්මතු වුණ මතවාද කිහිපය ඉදිරිපත් කළ කිහිපදෙනා ෂඩ් ශාස්තෘවරු විදියට අතරින් ප්‍රචලිත වුණා. නිඝණ්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීර, පූර්ණ කස්සප, අජිත කේසකම්බල, සංජය බෙල්ලඨ්ඨපුත්ත ඒ අතරින් කිහිපදෙනෙක්. අද කියන්න යන කථාව නිඝන්ඨනාථපුත්ත තුමා සම්බන්ධ කතන්දරයක්.

ඒ කාලේ ඉන්දියාව පුරා ම බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය පැතිරෙන්න පටන් ගත්තා පෙර නොවූ විරූ, සාමාන්‍ය මිනිස්සුන්ගේ නුවණට ගෝචර වෙන විදියෙ ධර්මයක් දේශනා කරනවා කියලා. රජවරුන්ගේ ඉඳන් පහළ ම කුල වල මිනිස්සුන්ටත් මේ ධර්මයේ දොර ඇරිලා තියෙනවා වගේ ම එයින් අත්දුටු ප්‍රතිඵල ලබාගත්ත අය ඉන්නවා කියන එකත් හැමතැනම පැතිරිලා ගියා. ඒක ඇහුව මිනිස්සු බොහෝදෙනෙක් තමන් එතෙක් වන්දනා කරමින් හිටිය ශාස්තෲවරු අත්හැරලා දාලා ජේතවනාරාමය පැත්තට ඇදෙන්න පටන් ගත්තා. ඒකෙන් වුණේ ඒ තරම් කාලයක් මිනිස්සුන්ගේ ලාභ සත්කාර මැද්දේ යෙහෙන් වැජඹුණ ශාස්තෲවරුන් ට ලැබුණ සත්කාර, සම්මාන ක්‍රමයෙන් අඩුවුණ එකයි. මේ බව හොඳින් ම අවබෝධ වුණ නිඝන්ඨනාථපුත්ත තුමා තමන්ගේ හොඳ ම ගෝලයා වුණ සුසීම ව කැඳවලා මේ විදියට කිව්වා. "සුසීම, ජේතවනාරාමයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ වෙතට දවසින් දවස මිනිස්සු ඇදිලා යනවා. උන්වහන්සේ කියන දේවල් වල මොනවා නමුත් විශේෂත්වයක් ඇති නිසා තමයි මිනිස්සු ඇදිලා යනවා ඇත්තේ, ඒ නිසා යන්න ගිහින් උන්වහන්සේ දේශනා කරන්නේ මොනවද කියලා දැනගෙන එන්න, ඊට පස්සෙ අපිත් ඒ දේවල් දේශනා කරමු. එතකොට ආයෙත් මිනිස්සු අපි කරා ඇදිලා ඒවි". මේක ඉස්මුදුනින් ම පිළිගත්ත සුසීම, ජේතවනාරාමයට ගිහින් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ, සුසීම ගේ අරමුණ දැනගත්තත් බුදු සසුනේ පැවිදි කළා වෙනසක් පෙන්නන්නේ නැතුවම. සුසීමත් අනිත් භික්ෂූන් වහන්සේලා වගේ ම ධර්මය අහනවා, පාඩම් කරගන්නවා, හැබැයි අවබෝධ කරන අදහසින් නම් නෙවෙයි, හොරකම් කරන අදහසින්. ටික කාලයක් මෙහෙම ගතවෙලා ගියා. කාලයක් තිස්සෙ සුසීම ස්වාමින් වහන්සේ දකිනවා බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා ඇවිත් වන්දනා කරලා තමන්ගේ අර්හත්වය ප්‍රකාශ කරලා නැවත වඩිනවා. ඒ විදියට ආපසු වඩින භික්ෂූන් වහන්සේලා කරා ගිහින් සුසීම භික්ෂුව අහනවා "ඔබ වහන්සේලා ඇත්තට ම අර්හත් ද?" උන් වහන්සේලා ඔව් කියලා පිළිතුරු දෙනවා. එතකොට සුසීම භික්ෂුව කියනවා "එහෙනම් අහසින් වැඩම කරලා පෙන්වන්න, ජලයේ ඇවිදලා පෙන්වන්න, පොළවේ කිමිදිලා පෙන්වන්න, බොහෝ දෙනෙක් වගේ පෙනී සිටින්න" ආදී වශයෙන්. එතකොට ඒ රහතන් වහන්සේලා කියනවා "තමන් වහන්සේලාට එහෙම හැකියාවක් නැහැ" කියලා. හැමදාම වගේ මෙහෙම අහද්දි සුසීම භික්ෂුවට මේක ගැටළුවක් වුණා. මොකද මීට කලින් රහතන් වහන්සේලා ගැන සුසීම අහලා තිබුණේ වෙනස් දේවල් නිසා.

සුසීම භික්ෂුව ගියා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න. ඇහුවා මේ වෙනසට හේතුව මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා සුසීම ට ධර්මය දේශනා කළා. ඒ සැරේ සුසීම ධර්මය ඇහුවේ හොරකම් කරන අදහසින් නෙවෙයි, තමන්ගේ ගැටළුව නිරාකරණය කරගන්න අදහසින්. ඒ නිසා ම සුසීම භික්ෂුවට ධර්මය අවබෝධ වුණා. මොකක්ද හරි වැරදි කියලා අවබෝධ වුණා. …සුසීම භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගෙන් සමාව ඉල්ලා සිටියා ධර්මය හොරකම් කරන්න ආව එක වෙනුවෙන්. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා සුසීම භික්ෂුවට. 
දැන් කියන්න යන්නෙ කොහොමද මේ රහතන් වහන්සේලා විවිධාකාර වෙන්නෙ කියන එකයි. අරහත් කියන එකේ අර්ථයත් කළ යුතු සියල්ල නිමකළා කියන අදහසයි. රහතන් වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. උන්වහන්සේලා ප්‍රඥාව තුළ අග්‍රයි. ප්‍රඥාවෙන් සියල්ල කෙළවර කරලයි ඉන්නෙ. උන්වහන්සේලා සමාධිය උපදවා ගන්නේ රූපාවචර ධ්‍යාන තුළ, ඒ කියන්නෙ ප්‍රථම, දෙවන, තුන්වන සහ හතරවන ධ්‍යාන තුලයි. ඉන් එහාට අරූපාවචර ධ්‍යාන දක්වා සිත/ සමාධිය දියුණු කරන්නෙ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ට අරූපාවචර ධ්‍යාන උපදවා ගෙන එමඟින් කළහැකි ඍද්ධි ප්‍රාතිහාර්යය දැක්වීමේ හැකියාවක් උන් වහන්සේලාට නැහැ. අනිත් කොටස තමයි උභතොභාග විමුක්ත රහතන් වහන්සේලා. උභතොභාග කියන වචනයෙන් අදහස් කරන්නේ ප්‍රඥාවෙන් වගේ ම සමාධියෙනුත් අග්‍රයි කියන එකයි. උන්වහන්සේලා රූපාවචර ධ්‍යාන වලින් නොනැවතී අරූපාවචර ධ්‍යාන දක්වා ම ඒ කියන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම සිත/ සමාධිය දියුණු කරනවා. ඒ අනූව තමයි උන්වහන්සේලාට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ හැකියාව ලැබෙන්නෙ.

වැදගත් ම දේ තමයි මාර්ගඵල ලාභියෙක් ඒ බව තවත් කෙනෙකුට මේ විදියට කියයි ද කියන එක? සාමාන්‍ය පිළිගැනීම නම් එහෙම කියන්නෙ නැහැ කියන එකනේ. ඒක එහෙම වුණත් එහෙම නොවුණු අවස්ථා බුදුසසුනේ දකින්න තියෙනවා. එක අවස්ථාවක් තමයි නන්ද මාතා උපාසිකාව, ඇයගේ නිවෙසට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වැඩම කළ අවස්ථාවක උන් වහන්සේලා ප්‍රණීත දානයෙන් සන්තර්පණය කළ නන්දමාතාව දානය අවසන තමා තුළ විද්‍යමාන වන ආශ්චර්ය අද්භූත කරුණු හතක් පැවසුවා. එයින් සවැන්න වූණේ තමන්ට පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි යන ධ්‍යානයන්ට කැමැති තාක් කාලයක් සමවැද සිටිය හැකි බව. සත් වැන්න වූයේ තමා අනාගාමි බවට පත් වූ බව(නන්දමාතු සූත්‍රය). තවත් අවස්ථාවක් තමයි විශාලා නුවර වාසි උග්ග ගෘහපති ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් සමන්විත බව දේශනා කරන අවස්ථාව. එතනදිත් අවසන් කාරණාව විදියට උග්ග ගෘහපතියා කියන්නේ තමන් අනාගාමි බව. මේ වගේ අවස්ථා කිහිපයක් ම දකින්න පුළුවනි. මේ වගේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ මගපල ලාභී ආර්ය ශ්‍රාවකයන් සුදුසු අවස්ථාවන් වලදී කැමැති නම් යහපත සලකා තමන් ලබා ඇති මාර්ගඵල අන්‍යයන්ට හෙළිකරන බව. හැබැයි ඉතින් මේ ධර්මතාව තම වාසියට හරවාගන්න සමහර කපටියො බොරුවෙන් වංචාවෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන අවස්ථා ඕන තරම් අහන්න දකින්න පුළුවන් නේද? ඒ වගේ අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඒ අයට ගර්හා කළේ "නොහික්මුණු දුස්සීල භික්‍ෂුව යම් හෙයකින් රට වැසියාගේ පිඬු වළඳන්නේ ද, ඊට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යකඩ ගුළියක් අනුභව කළා නම් උතුම් වේ" කියලයි. ඒ වගේ ම සිව්වන පාරාජිකාව භික්ෂූන් ට පැනෙව්වෙත් (යම් භික්‍ෂුවක් තමා කෙරෙහි නැති උතුම් මිනිස් දහම් (ධ්‍යාන, මාර්ගඵල ආදි) ඇතැ යි කියන්නේ ද ඒ භික්‍ෂුව පාරාජිකාවට පත් වේ) ඒ නිසාමයි.

පසුවදන: රේඩියෝ එකේ ධර්ම දේශනාවකින් තමයි බොහෝ කරුණු දැනගත්තේ. කාටහරි හැකියාවක් තියෙනවානම් ශ්‍රද්ධා ගුවන්විදුලියට සවන් දෙන්න, ඒක කාලය අපතේ යැවීමක් වෙන එකක් නැහැ. 89.1-89.3 සංඛ්‍යාත පරාසයේ තමයි සවන් දෙන්න පුළුවන්. හිතට රාගය, තරහ හරි මුලාවේ වැටෙන දෙයක් අහන්න ලැබෙන්නෙ නැහැ කියලා සහතික වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් සවන් දෙනවනම් මේ සබැඳියෙන් යන්න. (උදේ 10.30-17.00 සහ සවස 19.30-21.00 විකාශන කාලය ). වෙළඳ දැන්වීම් වලින් තොර ධර්මය බෙදාහැරීම පිණිස ම කැපවුණ ගුවන් විදුලි කළණ මිතුරෙක්! නමස්කාර බ්ලොග් අඩවියටත් විශේෂ ස්තූතිය....

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !