ඔබත් සූදානම් ද ?


සුපුරුදු පරිදි එදිනත් බ‍්‍රාහ්මණතුමා තම පුත‍්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ‍්‍රාහ්මණතුමා වහා වහා එතැනට පැමිණියේය. ගිනි රස්නයෙන් කෝපයට පත් අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙනු බමුණා දිටීය. ඒ වන විටත් තම සෙනෙහබර පුතුගේ අවසන් සුසුම් පොද වාතලයට එක් වී හමාර බව බමුණා ට පසක් විය. දැන් කරන්නට දෙයක් නැත. පුතු මිය ගොසිනි…. ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි එක්වරම බමුණාගේ සිතට නැගුණේ. බ‍්‍රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල කුඹුරක සිටි යහළු බමුණෙකු ඇමතී ය.

***********************************************************

…බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල කියලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඒ ගමේ ගොඩක් සමගියෙන් වාසය කළ පවුලක් හිටියා. ඒ පවුලේ හිටියෙ සාමාජිකයෝ හයදෙනයි. ඒ තමයි බ‍්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, පුත‍්‍රයා, දියණිය, පුතුගේ බිරිඳත් දාසියත් කියන හයදෙනා. මේ හැමෝම ගමේ අනිත් අයට වඩා සතුටින් සමගියෙන් ඉන්න එක්තරා විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි උදේ හවස, නිතරම වගේ ජීවිතයේ යථා ස්වභාවය සිහි කරන්න ඒ අය පුරුදු වෙල හිටිය එක. ඒ තමයි තමනුත්, අනිත් ඉපදුණ සියලූ දෙනාත් මරණය උරුම කරගෙන ඉන්න බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඩීම ඒ අය පුරුද්දක් කරගෙන හිටියා.ඒ මරණානුස්සතිය කොයිතරම් දුරට පුරුදු කරලා තිබුණ ද කියන්නේ, කවුරුහරි කෙනෙක් නිවසින් එළියට යද්දි අනිත් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. ඒ විදියට අනිත් අයට අවවාද කරලා සිහිය පිහිටුවලා තමනුත් ජීවිතාපේක්ෂාවෙන් තොරව පිටත්වෙලා යනවා.

***********************************************************

"යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට දන්වන්න, ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙස”. බමුණාගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ ඉක්මනින් කුඹුරට පැමිණුන හ. අදරැති පුතුගේ, සොයුරා ගේ සැමියා ගේ නිසල සිරුර සියලූ දෙනාගේම ඇස් ඉදිරියේ දකින්නට ඇත. සියල්ලෝ ම සිටින්නේ ගැඹුරු කල්පනාවක නිමග්නව ය. සිදුවූ විපත ගැන දුකක් ශෝකයක් ඇති නමුදු කිසිවෙකුගෙන් ඒ බවක් නොපෙනෙයි. ඉකිබිඳුම් හඬකුදු ඇසෙන්නට නැත්තේ ය.

මේ ඇස් පනාපිට දකින්නට ඇතිතේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය ම නොවේදැයි ඔවුන් සිතනවා විය යුතුයි. බමුණුතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා ගිනි දැල්වීය. සියල්ලෝ නොහඬා නමුත් කිසියම් සංවේගයකින් යුතු ව එදෙස බලා සිටිති. මිය යන්නට යෙදුණු බ‍්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.

" පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.”
" නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.”
" කිම? මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”
" නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත‍්‍රයා ය.”
" අහෝ පුදුමයකි…! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”

බ‍්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.

" සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.

‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත‍්‍රයායි.”

‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?”

‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද? ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.

" නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.”

" නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?”

" ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් මා ගැන ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

ඊළඟ වාරය බිරිඳගේ ය.

" පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.”

" සොහොයුරිය, ස්ත‍්‍රීහූ නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?”

" පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.

" නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.”

" එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය… ‘ මා ඔහුට වතාවත් කළා. නමුත් ඔහු මට නිතර දඬුවම් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති.”

" එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත‍්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි.”
" එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?”
" පින්වත් බ‍්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩිය හ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත් හ.

*********************************************************************

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් මැරුණට පස්සේ ශක්තිමත් පුරුෂයෙක්, දිගහැරිය අතක් නවන්නට යන තරම් සුළු කාලයක් ඇතුලත ගිහින් තවත් තැනක උපදිනවා. ඒ නිසා තමයි බමුණු තරුණයා ට ශක්‍ර දෙවියන් විදියට ඉපදිලා තමන්ගේ ඥාතීන් හමුවෙන්න එන්න පුළුවන් වුණේ. කෙනෙක් මැරුණට පස්සෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා කියවන්න කැමති අය ඉන්නව නම් මෙතැනින් ගිහින් ඒ ලිපි‍යත් කියවන්න. මේ ජීවිතය කියන්නේ සංසාරයේ එක තාවකාලික නවාතැන්පොළක් විතරයිනෙ. ඉතින් හමුවීම්, වෙන්වීම් අප්‍රමාණයි. ඒ හැම එකක් ගානෙ ම දුක්වෙන්න ගියොත්..... ? ඒ නිසා අපි යථාර්තය තේරුම් ගන්න උත්සහ කරන්න ඕන. අපි මළගෙදරකට ගියත් කවදාවත් මේ යථාර්තය හිතන්නෙ නැහැනේ. හිතන්න උත්සහ කරන්නෙත් නැහැ නේ අපිත් මැරෙන අය කියලා. මරණානුස්සති භාවනාව ඉගෙනගන්න කැමති අය මෙතැනින් බලන්න.

මේ කතාව මම ඇහුවෙ රේඩියෝ එකෙන්. ලියන්න ඕන කියලා හිත හිතා ඉද්දි මේ කතාව ඇතුළත් ඊමේල් එකක් ආවා මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ලිව්ව. ඉතින් ලියද්දි ඒකෙනුත් යම් යම් කොටස් උපුටලා ගත්තා. ඒ ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා! සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් ලිව්වේ. පහුගිය මාස වල ටිකක් විතර කාර්යබහුල වුණත් දැන් නම් ටික ටික විවේකය තියෙනවා. ඒ නිසා ඉදිරි මාස වල දිගටම ලියන්න ලියලා තමයි හිතාගෙන ඉන්නෙ.....

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !