Showing posts with label සහෘද. Show all posts
Showing posts with label සහෘද. Show all posts

දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම...


සඳ මඬල මුදුන් වන
…තුන් යම් රැය පුරාවට
…වැසී ගිය වලා පටලයක
…සැඟවුනිද නුඹ.....

…මතක මංපෙත පුරාවට
…රැඳුණු මතකය නුඹ
…රැගෙන නොගියේ මන්ද
…කඳුල පමණි අද.....

ඇස ගැටෙන නෙත
…රසඳුනකි ඔබේ
…සොඳුරු සිනහව
…කොහි ගියෙද අද....
…උදාවන මතු දිනෙක
…පරයන්න රුදුරු මරු
…පතමි සවි බල
…නැඟ ඒවි දිලුම් සඳ....

…දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම මේ මස 24,25 (බදාදා, බ්‍රහස්පතින්දා) දෙදින කොටුවේගෙදර නිවසේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබට කෙරෙන කාරුණික ආරාධනාවයි මේ.






1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දිලුම් සොහොයුරා ගේ අවසන් කටයුතු ගැනයි මේ...



සයිබර් අවකාශයේ ආදරණීය ඉලංදාරියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු ව ගොසින් අදට හරියට ම දින තුනකි. ආදරණීය දෙමාපියන් ගේ, එකම සොයුරාගේ, ළබැඳි මිතුරන්ගේ සෝ සුසුම් නොඅසමින් දෝ හේ නිසල ව උඩුකුරු ව සයනය කරමින් සිටියි. නිබඳ සොවින් වැළපෙන ආදරණීය අම්මා ගේ විලාපය ඔහුට ඇසෙන්නේ නම්.... නැඟී සිටින්නට හේ දෙවරක් නොසිතනු ඇත. ඔහුගෙන් පිය වදනක්, සිනහවක් නොලැබූවෙකු නොමැති තරමට රැස් ව සිටින ජනී ජනයා හුදෙක් ම එයට සාක්ෂි දරනු ඇත. අඳුරු මරු නුඹ පැරදුව ද සොඳුරු නුඹ කිසි කලෙකින් වත් අපේ මතකයෙන් ඈත් නොවන්නේම ය. සහෘදයන්ගේ හදවත් තුල ඔබ ඉතිරි කල මතකය කවුරු කෙලෙස නම් පුරවන්නද????

…දිලුම් ආදරණීය සොයුරා ගේ නිසල දේහය දැනට අංක 27 බී, කැලුම් සෙවණ, කොටුවේගෙදර, මාතලේ දරන නිවසේ තබා ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට( සෙනසුරාදා ) දින සවස 2ට මාතලේ පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව ඇත.

…ආදරණීය දිලුම් අය්යේ, මේ ගෞතම බුදු සසුන තුලදී ම උතුම් වූ නිවන අවබෝධ කරන්නට ඔබට හැකිවේවා........!

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඉලංදාරියා නික්ම ගිය වගයි..... ( එනව නම් පාර මෙහෙමයි )



ඉලන්දාරියා හෙවත් දිලුම් දිසානායක සොයුරා අප වෙතින් සදහට ම සමුගෙන ගොසිනි. හිතවත් අහිතවත් අපි බොහෝ දෙනෙකුට ළබැඳි මිතුරෙකු, සොහොයුරෙකු වූ දිලුම් අය්යා ආයේ අපි අතරට පැමිණ සිනාසෙන්නේ නැත. අප හා සෙනෙහසින් කතා නොකරනු ඇත. සොඳුරු මිනිසුන් බොහෝ කල් ජීවත් නොවෙන වග නැවත වරක් පසක් කරමින් දෝ ඔහු අපෙන් සමුගෙන ගොසිනි. අප සියලු දෙනාටම මෙය තරමක් ඇදහීමට අපහසු ආරංචියක් වුව ද අප යතාර්ථයට මුහුණ දිය යුතු වෙමු.
ඊයේ රාත්‍රියේ ඔහු මියගිය අතර ම ඔහුගේ නිසල දේහය මාතලේ, කොටුවේගෙදර ඥාති නිවසක තැන්පත් කිරීමට පවුලේ ඥාතීන් විසින් තීරණය කර ඇත. ඔහුගේ අවසන් කටයුතු බොහෝ දුරට සෙනසුරාදා දිනයේ දී සිදු කිරීමට ඉඩ ඇත. බ්ලොග් අවකාශයේ සොයුරන් බොහෝ දෙනෙක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙතැයි අපේක්ෂා කරන අතර ම ඒ සඳහා එන මාර්ගය පහත පරිදි වේ. මාතලේ නගරයට පැමිණ උඩුපිහිල්ල- මාතලේ බසයක නැඟි කූඹියන්ගොඩ නගරයෙන් ( රු 10/ 3 km) බැස කොටුවේගෙදර පාරේ කිලෝමීටරයක් පමණ පයින් එනවිට නිවස හමු වේ.

ආදරණීය දිලුම් අය්යේ ඔබට නිවන් සුව....

(මොනාහරි දැනගන්න තියෙනවනම් 0718123159 ( ලහිරු ) call එකක් දෙන්න.)

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ළබැඳි රාත්‍රියක් : ඉලන්දාරියා හමුවීමි....!




මම : හෙලෝ මචෝ....
…ඉලන්දරියා : හෙලෝ!

…මම : ගෙදරද ඉන්නේ?
…ඉලන්දරියා : ඔව් ඔව් දැන් නුවර ගිහින් ආවේ .

…මම : උඹේ ගෙවල් කොහෙද? .
…ඉලන්දරියා : මම හුලංගමුවේ.

…මම : මම පඩිවිට, මාව දන්නවද? ....
…ඉලන්දරියා : දොරේ ගේ යාලුවා නේද?

…මම : ඔව් ඔව් ,උඹ හේමෂාන් දන්නවද? .
…ඉලන්දරියා : මම හේමෂාන් ගේ අයියානේ මලේ....

…මම : අප්පට හුඩු,කවුද දන්නේ අයියේ..!
…ඉලන්දරියා : ඒකනේ!

…මම : මම දැන් එන්නද අයියාව බලන්න? ....
…ඉලන්දරියා : උඹට කරදරයක් නැත්තම් වරෙන් මලේ..!

…මම : එහෙනම් මම එනවා..! ....
…ඉලන්දරියා : බුදුසරණයි!

මම ගිය සතියේ ඉරිදා, ඒ කියන්නේ ගිය 30 වෙනිදා ගියා ඉලන්දාරියා බලන්න. ඒක හර්‍රිම අහම්බෙන් වුන දෙයක්. ඉලන්දාරියා ගේ පෝස්ට් එක දැක්ක ගමන් ඒකේ පහළ තිබුණ සබැඳියෙන් මූණපොතට request එකක් දැම්මා. ඒක එදා හවසම් accept කරලා තිබුණත් ඔහුව මට chat එකට හමුවුණේ ඉරිදා රෑ වෙලා. පෝස්ට් එකේ මාතලේ ලංකා බැංකුව ගැන සඳහන් කරලා තිබුම නිසා මමත් ටිකක් උනන්දුවෙන් chat කළා(හි හි ..මමත් මාතලේ! ),අනිත් එක photo එක උනත් ටිකක් හුරුපුරුදු ගතියක් දැනුනා මට. බලනකොට ඉලන්දාරියා ඉන්නේ අපිට අල්ලපු ගමේ.

ඒ විතරක් නම් ම්දෑ, ඔහු මගේ හොඳම යාලුවෙක්ගේ සොහොයුරා...ඉලන්දාරියා තමයි මුලිම මාව හඳුනාගත්තේ, එතකොට රෑ 730 විතර ඇති. බයික් එකක් හොයාගෙන ඔහුව බලන්න කොහොමහරි එනවා කියලා ඉලන්දාරියාට මම පොරොන්දු උනා. කොහොමහරි බයික් එකක් හොයාගෙන ඉලන්දාරියා බලන්න යද්දි රෑ 9ට විතර ඇති. මම යද්දි ඔහු පොඩි alert එකක් දාගෙන හිටියේ. එතැන් ඉඳන් ගලාගෙන ගියේ අතිශය සංවේදි පැය එකහමාරක් වගේ කාලයක් කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ කියලයි මම හිතන්නේ. ඔහු ගොඩාක් දේවල් කතාකලා. රැකියාව ගැන ඉලන්දාරියා අපිත් එක්ක කතාකලේ ගොඩාක් ආසාවෙන්. ඉලන්දාරියාගේ පුංචි කාලේ ගැන තොරතුරු කිව්වේ ආදරණීය අම්මා සහ තාත්තා. ඉලන්දාරියා අසනීප වුන මුල් දවස්වල ඉඳන් වුන හැම සිදුවීමක්ම වගෙ ඔවුන් දිගහැරියා. ඒ දවස් වල ඉඳන් ඒ අම්මා. තාත්තාගේ සහෝදරයගේ කැපවීම් නම් අප්‍රමාණයි කියලයි මටනම් දැනුනේ. එහෙම රැකවරණයක් ලබන්න තරම් ඔහු ගොඩාක් පින් කරලා තියෙනවා. ඉලන්දාරියා එයාගේ අසනීපය ගැන හැමදේම වගේ අපිත් එක්ක කිව්වා. මුල් දවස්වල සායන වලට සහභාගී වීමේ පටන් ඊයේ වෙනකල්ම වුන සිදුවීම් ඒ අතර තිබුණා.

බ්ලොග් අවකාශයේ ඉන්න සහෝදරවරු ගැන ඔහු ලොකු හැඟීමකින් යුතුවයි කතාකලේ. බිංකු සහෝදරයා ඉලන්දාරියාට කරපු උදව් ගැන විශේෂයෙන් ඔහු සඳහන් කළා. Car wash එකටත් ඉලන්දාරියා එනවාමයි කියලා මතක් කළා. පැය එක හමාරක විතර කාලයක් ඔහුගේ නිවසේ ගතකළා සොඳුරු මතකයන් රැසක් මැදින්. මට හිතුනා තවත් ඉන්න එක ඉලන්දාරියාට වෙහෙසක් දෝ කියලා මට හිතුනා, මොකද ඒ වෙනකොටත් ඔහු සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙමිනුයි හිටියේ...ඉලන්දාරියාගෙන් ඒ වෙලාවේ සමුගෙන ආවත් මගේ හිත ගොඩාක් වෙලා ඉලන්දාරියාගේ නිවසේම රැඳිලා වගේ තමයි මට දැනුනේ...කොහොම වුනත් අපේ බ්ලොග් ලියන සහෝදරයන් ගොඩාක් ඉලන්දාරියාට උදව් කරනවා වගේම උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවාත් කියලා මට දැනගන්න ලැබුණා. අපේ යාලුවන්ට මේ දැන්ම වුනත් කරන්න පුලුවන් උදව්ව තමයි පුලුවන් වෙලාවට ඉලන්දාරියාත් එක්ක Chat කරන එක. එහෙම කියන්නෙත් ලොකු හේතුවක් ඇතුවයි. මම දන්න සමහර දේවල් මේකේ පළ කරන්නේ නැතුව ඉන්න හිතුවා, මොකද මේ දවස්වල ඉලන්දාරියා හැමවෙලේම වගේ බ්ලොග් අවකාශයේ රැඳි ඉඳලා මේ දේවල් කියවනවා. ඔහුගේ හුදෙකලාව නැතිකරගන්නේ පරිගණකය ඉදිරියේ රැඳී ඉඳලයි. ඉතින් ආයෙත් මේ දේවල් ඔහුට කියවන්න වුනොත් දුක හිතෙයි වත්ද දන්නේ නෑ කියලා මට හිතුනා. ඒ තමයි මෙතෙක් කථාව. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉස්සර අපි අතර හිටිය ඉලන්දාරියාම අපි අතරට ගන්නේ කොහොමද කියලයි.තවත් විස්තර මෙතැනින් ගිහින් ගන්නකෝ. මේ සටහන ඊයේ දාන්න හිටියත් කැම්පස් එකේ තිබුණු නොසන්සුන් තත්වයක් නිසයි බැරිවුණේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් හැකිනම් පහළින් සටහන් කරලා යන්න.

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !