කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින් අවකාශයට වෙලා පාවෙමින් ඉන්නවා අන්තරාභවයක ආයෙත් ඉපදීමක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බයෙක් විදියට කියලා. තවත් සමහරු කියනවා මැරුණට පස්සේ ඒ කෙනාගේ ආත්මය විශේෂිත ස්ථානයකට ගමන් කරනවා, ආයෙත් මේ ලෝකේ ඉපදීමක් නම් නැහැ කියලා. ඔය වගේ විවිධ අදහස් අහන්න ලැබෙනවනේ. හැබැයි මත ගොඩක් තිබුණට ඒ හැම එකක් ම හරි වෙන්නත් බැහැනේ. නිවැරදි වෙන්න පුළුවන් ඒ අතරින් එකකට විතරයිනේ, එතකොට අනිත් ඒවා ඔක්කොම වැරදි වෙන්න ඕන. ඉතින් මේ උත්සහය හරි ම දේ මොකක්ද කියලා හොයාගෙන යන්නයි. පුළුවන් තරම් සරල ව ලියන්න තමයි මම උත්සහ කළේ. ඒ නිසා අන්තිම වෙනකල් ම කියවගෙන යන්න, එතකොට ප්‍රමාණවත් අවබෝධයක් ලැබේවි.
කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, ඒ අන්තර්භවය හෙවත් අන්තරාභවය කියන එක ගොඩක් ජනප්‍රිය අදහසක්. ඒ වගේ ම ගොඩක් පැරණි එකක්. හරියටම කියනවනම් අවුරුදු 2300 ක් පැරණියි. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන කාලාශෝක රජතුමාගේ කාලයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් රේවත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව සිදුකළා. ඒකෙදි දස වස්තුව බුදු සසුනට අකැපයි කියලා තීරණය කරලා ඒ දස වස්තුව පිළිගත්ත භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක නමින් හැඳින්වුණ භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් ධර්ම සංගායනාවකුත් පැවැත්වූවා. විශාල පිරිස් පවා අනුගාමිකයන් විදියට හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය, තවත් අනු නිකාය 17 කට කැඩිලා ගියා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය නිකාය කොටස් දෙක තමා මේ මනුලොව ඉපදෙන අයට අන්තරාභවයක් තිබේය කියලා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.
දැන් බලමුකෝ මේ අන්තරාභවය කියලා ඒ අය අදහස් කරන්නේ මොකක්ද කියලා. මරණයෙන් පස්සෙ දෙව්ලොවට, සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ අයට අන්තරාභවයක් කියලා දෙයක් නැහැ. ඒ වුණත් මිනිස් ලොව උපදින්න ඉන්න අය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාමකයෙන් විතරක් ඉන්න ගමන් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් හෝ ඊටත් වැඩිය කාලයක් ඉන්නවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. ඒ අතරෙදි සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් ප්‍රතිසන්ධියක් හෙවත් උපතක් ලබාගන්නවා. ඒක තමයි අන්තරාභවය ගැන තියෙන ප්‍රකට ම පිළිගැනීම. මේ අදහස දිගින් දිගට ම ඇවිත් ධර්මාශෝක රජතුමාගේ කාලයෙත් මේ අදහස පැතිරුණා. ඒ නිසා ම ඒ කාලයෙදි පැවැත්වුණ තුන්වෙනි ධර්ම සංගායනාවටත් මේ අදහස ඇතුළත් වුණා. ඒකෙදි මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ නිවැරදි ව මේ ප්‍රශ්නය විසඳනවා වගේ ම ඒක අන්තරාභව වාදය විදියට ඒ කාලේ රචනා වුණ කතාවත්ථු ප‍්‍රකරණය කියන ග්‍රන්ථයටත් ඇතුළත් වෙනවා.
අන්තරාභවයේදී විස්තර වෙන විදියට මැරුණට පස්සෙ රූපයක් නෑ, නාම කයක් විතරයිනේ. ඒ කියන්නෙ සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවත් කියනවා. හැබැයි ගැටළුව තමයි රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද, ගන්ධය ආඝ‍්‍රාණය කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට අන්තරාභවිකයා බලා ඉන්නව කියනවා හොඳ මවුපිය දෙදෙනෙක් ප්‍රතිසන්ධිය හෙවත් උපත සඳහා. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ව, අංග විකලව, පහත් කුලයන් වල මිනිස්සු උපදින්න හේතුවක් නැහැනේ. තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එතකොට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය. අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙමේ විදියට සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා ඉන්නවා කියන එකත් එතකොට ප්‍රශ්නාර්ථයක් විතරයි තවත්.
ගන්ධබ්බයා කියන වචනයත් ගොඩාක් භාවිතා වෙන වචනයක්, එහි නිවැරදි තේරුම දැන හෝ නොදැන. ගන්ධබ්බ කියන වචනය ධර්මයේ එක එක තැන් වල විවිධ අර්ථ ඇතුව කියැවෙනවා. උදාහරණය විදියට මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙන 'ගන්ධබ්බ' කියන වචනය, මරණයෙන් අනතුරුව උපතක් ලබා ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි අදහස් කරන්නෙ. ඒ අනුව රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයනුත් නැවත උත්පත්තිය ලබන නිසා ගන්ධබ්බ නම් වෙනවා. ඒ කියන්නේ දැන් ජීවත්ව සිටින අපිවත් ගන්ධබ්බ කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. මහ පිරිතේ අඩංගු ආටානාටිය සූත්‍රයේ එක්තරා තැනක තියෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා විදියට. මෙතනදි අදහස් කරන්නේ චාතුර් මහාරාජික දිව්‍ය ලෝකයට අයිති වීණා වාදනය කරන දිව්‍ය පිරිසක්. මේ විදියට එක එක තැන් වල දැක්වෙන තේරුම එකිනෙකට වෙනස්.
ඊළඟ අහසේ පාවෙමින් ඉන්නවා කියන අවස්ථාව ගැන කියනවා නම් එහෙම ඉන්න එක ම කොට්ඨාසය ප්‍රේතයන් වර්ගයක් විතරයි. ඕපපාතික ව හෙවත් ඉබේ ම පහළ වෙන මේ ප්‍රේතයන් ව සාමාන්‍ය පුද්ගලයන්ට දකින්න හැකියාවක් නැහැ. ඒ වගේ ම ඒ ප්‍රේතයන් ඒ විදියට අවකාශයේ රැඳී ඉන්නෙ ඍද්ධි බලයකින් නෙවෙයි, ඒකට කියන්නේ කර්මවිපාකජසෘද්ධිය කියලයි. ඒ කියන්නේ ඒකත් කර්ම විපාකයක් නිසා ලැබෙන දෙයකුයි. ඒ වගේ ම කෙනෙකුට හිතෙන්න පුලුවන්, ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ කියලා ? කෙනෙකුගේ උපත, මරණය සිද්ධවෙන්නේ කර්ම විපාකයට අනුවමයි. ඒ අනුව කෙනෙක් මරණයට පත්වෙද්දි ඒ පුද්ගලයාට ඉපදීම පිණිස මව්කුසක් හෝ වෙනයම් තැනක් සැකසිලා ඉවරයි තමන්ට හිමි කර්මය අනුව.
කෙටියෙන් ම කියනව නම් පුද්ගලයෙක් මැරුණට පස්සේ, ශක්තිමත් පුරුෂයෙක් හැකිළු අතක් දිග හරිනවාටත් වඩා අඩු කාලයකදී ඒ පුද්ගලයා නැවත උපතක් කරා ගිහින් ඉවරයි. ඒ කියන්නේ ක්ෂණිකව ම. මේ විදියට තමයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ඒ නිසා මේ වෙනකල් වැරදි අදහසක් එහෙම හිතේ තියාගෙන හිටියනම් ඔන්න දැන් ඒක අතාරින්න කාලය. අද ඉල් පුර පෝය දවසනේ. ඉල් පෝය දවසෙදි සිදුවුණ වැදගත් සිදුවීම් තමයි මේ.
- මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම
- ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යැවීම
- තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරවීම
- තව්තිසා දෙව් ලොව සිට මිනිස් ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහණය දේශනා කිරීම
- සැරියුත් මහරහතන්ගේ පිරිනිවන් පෑම
- පසුවස් පවාරණය
- කඨින චීවර පූජා කළ හැකි චීවර මාසයේ අවසාන දිනය
පසුවදන : සටහන ටිකක් බරපතල වැඩි ද මන්දා, හැබැයි ඉවසීමෙන් කියෙව්වොත් නම් යමක් තේරුම් ගන්නත් පුළුවන්. මේ සටහන ලියන්න ආලෝකෝ උදපාදි සඟරාවේ, පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ සමඟ තිබුණ සාකච්ඡාවක් උදව් වුණා වගේ ම පෝය ගැන විස්තර ගත්තේ Express Puwath අඩවියෙන්. පින්තූරය ගත්තේ මෙතනින්
79 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !