පුංචි කාලේ අපි.... හැටි තව මතකද ?


.


අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද? ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටුයි. නෑදෑයෝ දරුවා වඩාගන්නවා, නලවනවා, තෑගි ගේනවා. ඔය වගේ නොයෙකුත් දේවල්. ඒ වගේ ම එදා ඉඳන් දෙමව්පියන්ට ත් අලුතින් රාජකාරි බොහොමයි. දරුවා පෝෂණය කරලා ලොකු මහත් කරන එක, හොඳ අධ්‍යාපනයක් දෙන එක හැම අම්මෙක් තාත්තෙක් ගෙම හීනයක්. ඉතින් ඒ වගේ දරුවෙක් ඉපදුණාට පස්සෙ වෙන හැමදේ ම අපිට පේනවනේ. දකින්න පුළුවනි නේ. නමුත් මේ දරුවා මව්කුසේ ඉද්දි ගෙවන ජීවිතේ මොන වගේ වෙන්න ඇතිද කියලා කාටහරි හිතුණද? සාමාන්‍ය මිනිස්සු නම් දන්නේ බොහෝ ම සනීපෙට Water bag එකක් ඇතුළට වෙලා ඉන්නවා ඇති කියලනේ.

නමුත් ඇත්ත ම කථාව නම් ඒක නෙවෙයි. කියවලා බලන්නකෝ මේ විස්තරය. 

“මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය. ඉක්බිති ඔහු දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම් වලින් තොරව මහත් දුකක් විදින්නේය.

ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට මෙන් අතිමහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය.”
මේ තමයි බුද්ධ දේශනාව. උපුටලා ගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ කෘතියකින් කියලා තමයි මට ලැබුණු ඊ මේල් එකේ සඳහන් වුණේ. කොහොම වුණත් දරුවෙක් ලැබෙන එක දෙමව්පියන්ට සතුටු වෙන්න කාරණාවක් තමයි. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ "පුත්තා වත්ථු මනුස්සානං" කියලා. මිනිස්සුන්ට තියෙන ලොකු ම වස්තුව තමයි දරුවෝ කියලා. නමුත් ඒත් එක්ක ම මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ඉපදීම කියන්නේ තවත් දුකක් කියලා. සතර මහා ධාතූන්ගේ පහල වීමක්, පංච උපාදානස්කන්ධයේ පහල වීමක් කියලා ඒ තමයි යථාර්තය වෙන්නෙත්...

33 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ගබ්සාව(Abortion) සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය.....


සරලවම ගබ්සාව කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. කලලය නොමේරූ අවධියෙදි ම ගර්භාෂයෙන් ස්වභාවික ව ඉවත්වීම හෝ බාහිර බලපෑමකින් ඉවත් කිරීම තමයි ගබ්සාව කියන්නේ. ස්වයං ගබ්සාව (Spontaneous Abortion) සහ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) තමයි ගබ්සාවේ ප්‍රභේද. අද කියන්න යන්නේ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) හෙවත් බාහිර බලපෑමකින් සිදුකරන ගබ්සාව සහ එහි බෞද්ධාගමික පසුබිම ගැනයි. ගබ්සාව එහෙමත් නැත්තම් Abortion කියන දේ දැන් දැන් ආගමික, සමාජීය ගැටළුවක් වෙමින් පවතින දෙයක් බවට පත්වෙලා. සමහරු කියනවා කිසිදු කොන්දේසියක් නැතුව ම ගබ්සාව නීත්‍යානූකූල කරන්නෝන කියලා, තවත් සමහරුන්ගේ අදහස තමයි තවදුරටත් ගබ්සාව තහනම් කළයුතුයි කියලා. නීතිය පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනූව නම්, දරුගැබ හේතුවෙන් මවගේ ජීවිතය අවදානමට ලක් වෙනවා නම් පමණක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් ගබ්සාවක් කරන්න අවසර දීලා තියෙනවා. එහෙම නැතුව නම් නීති විරෝධී, දඬුවම් ලැබිය හැකි වරදක් විදියට තමයි නීතියෙන් අර්ථ දැක්වෙන්නෙ.

යම් යම් රටවල් නම් ගබ්සාව නීත්‍යානූල බවට පත්කරලා විවිධ ක්‍රම වලින් (එන්නත්, පෙති, සැත්කම්... ) ගබ්සාව සිදුකරනවා. නමුත් අපේ රටේ කලින් කිව්ව විදියට නීති සම්පාදනය වෙලා තියෙන නිසා හිතෙන හිතෙන විදියට ගබ්සාවන් කරන්න විදියක් නැහැ. හැබැයි එහෙම කියල ගබ්සාවන් නොවී තියෙන්නෙත් නැහැ. නිල නොලත් සංඛ්‍යාලේඛන වලට අනූව අපේ රටේ දවසකට සිදුවෙන නීත්‍යානුකූල නොවන ගබ්සාවන් ප්‍රමාණය 1000ක් පමණ කියලා තමයි අනුමාන කරන්නේ. ගබ්සාවන් මේ තරම් වෙන්න හේතු මොනවද? බොහෝ විට අනියම් සම්බන්ධතා, වැරදි ලිංගික සම්බන්ධතා, උපත්පාලන දැනුම අඩුකම, අතවර, දරිද්‍රතාවය ... වගේ හේතු බහුලයි. මේ තරම් ගබ්සා රටේ වෙද්දිත් නීතියෙන් මේක තහනම් කරලා තියෙන්නෙ ඇයි? ප්‍රශ්නයක් නේද? මේ ගැන නීති හදද්දි, නූපන් කලලයත් ජීවයක් සහිත දෙයක් විදියට සලකලා මනුෂ්‍ය ඝාතනයක් විදියට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. දැන් බලන්න යන්නේ මේ සම්බන්ධ ව තියෙන බෞද්ධ ආකල්පය මොකක්ද කියන එක.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් මහා යමක වග්ගයේ තියෙන මහා තණ්හාසංඛය හෙවත් තණ්හාව නැතිකිරීම ගැන වදාළ දෙසුමේ සඳහන් වෙන විදියට මව් කුසක දරුගැබක්/ කළලයක් හටගන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. පළමුවෙනි කරුණ තමයි මව ගැබ්ගැනීමට යෝග්‍ය වෙන්න ඕන (ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම ගැනයි මේ කියන්නේ). දෙවෙනි කරුණ තමයි මවුපිය දෙදෙනා කායික ව එක්වීම සිදුවෙන්න ඕන. ඒ සඳහා සුදුසු ගන්ධබ්බයෙක් ඉන්න ඕන කියන එක තමයි තුන්වෙනි කාරණාව. ගන්ධබ්බයා කියන වචනේ ගැන ගැටළු එහෙම තියෙනව නම් " මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ???" සටහන කියවලා අවුල ලිහාගන්න පුළුවනි කැමති අයට. මේ විදියට කාරණා තුන ම සම්පූර්ණ වුණොත් විතරයි දරුගැබක් පිහිටන්න පුළුවනි. පළමු, දෙවන හෝ දෙවන තෙවන හෝ පළමු තෙවන කාරණා විතරක් සැපිරුණා කියලා දරුගැබක් පිහිටන්නෙ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේ ම මහා තණ්හාසංඛය සූත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා මේ ගැන තවදුරටත්. මව ගැබ් ගැනීමට යෝග්‍ය වූ කාලයේදී ගර්භාෂයේ විශාල ලේ පටලයක් හටගෙන එය පුපුරා වැගිරෙයි. එයින් ම ගර්භාෂය පිරිසිදු වෙයි. එසේ ගර්භාෂය පිරිසිස්දු වූ කල් හී මව්පියන් එක්වරක් පමණක් සංවාසයේ යෙදුණද දින හතක් යනතෙක් ගර්භාෂය වපුරන ලද බීජ ඇති කෙතක් මෙන් වෙයි. එම කාලයේදී අංග පරාමර්ශනයෙනුදු (අල්ලා ගැනීමෙන්/ Seizing ) දරුගැබ් හටගනී ආදී වශයෙන්. මේ කියන්නේ ඔසප් චක්‍රය සහ පිළිසිඳගැනීම් අවස්ථා ගැන. 


සාමාන්‍යයෙන් ධර්ම ග්‍රන්ථ වල සඳහන් වෙන විදියට යුක්තාණුව (පිරිමි ප්‍රජනන සෛල වන ශුක්‍රාණුවක් හා ගැහැණු ප්‍රජනන සෛල වන ඩිම්බයක් සංසේචනය වීමෙන් යුක්තාණුවක්( Zygote) හැදෙනවා) කෙන්දකින් ඉහළට ඔසවන තෙල් බිඳුවක් තරම් කියලා තමයි විස්තර වෙන්නෙ. කලින් සඳහන් කළා නෙ කරුණු තුනක් එකට එකතුවෙන්න ඕන කියලා දරු ගැබක් හටගන්න. එතකොට මේ යුක්තාණුව හැදෙන්නේ අර කරුණු තුන සම්පූර්ණ වුණාට පස්සෙයි. ඒ කියන්නේ ගන්ධබ්බයෙකුත් ආවට පස්සෙයි. මුල් කරුණු දෙක සම්පූර්ණ වෙලා එතැනට ගන්ධබ්බයෙකුත් එනවා කියන්නේ එතනදී ප්‍රතිසන්ධි සිතකුත් ඇතිවෙනවා ඒ ගන්ධබ්බයාට. එහෙනම් ප්‍රතිසන්ධි සිතක් ඇතිවෙනවා නම් ඒ යුක්තාණුව සජීවි එකක් වියයුතුමයි. නැත්තම් සිතක් පහළ වෙන්න විදියක් නැහැනේ. එහෙනම් යුක්තාණුව හෝ කලල රූපය කියන්නේ ජීවියෙක්. එතකොට ගබ්සාවක් කිරීමෙන් මරාදමන්නේ මේ නූපන් ජීවයයි. මේ විදියට තමයි ගබ්සාව ප්‍රාණඝාත අකුසලයක් බවට පත්වෙන්නෙ.

තමන් විසින් ම ගබ්සාව කරගත්තත්, කෙනෙකුට ගබ්සාව මේ විදියට කරන්න කියලා උපදෙස් දුන්නත්, වෙන කෙනෙක් ලවා කරගත්තත් අකුසලයේ වෙනසක් වෙන්නෙ නැහැ. කරන, කරවන සහ උපදෙස් දෙන හැමකෙනා ම ප්‍රාණඝාතයට හසුවෙනවා. විනය පිටකයේ පාරාජිකා පාළියේ මේ ගැන අපූරු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කාලයේ දුර බැහැර වෙසෙන ස්වාමියෙක් ඉන්න බිරිඳකට සොර සැමියෙක් නිසා දරුගැබක් හටගත්තා. සැමියා දුර බැහැර වෙසෙන නිසා තමන්ගේ නෑදෑයන් ට මේ දරුගැබ ප්‍රශනයක් බවට පත්වෙන බව දැක්ක බිරිඳ දරුගැබ නසන්න හිතාගෙන භික්ෂුවකගෙන් ඒ සඳහා බෙහෙතක් ඉල්ලනවා. ඒ භික්ෂුව ලබාදුන්න බෙහෙත නිසා මේ දරුගැබ මියයනවා. නමුත් භික්ෂුවට සැකයක් උපදිනවා තමන්වහන්සේ ප්‍රාණඝාතයට හසුවුණාදෝ කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ම ලැබෙන පිළිතුර වෙන්නෙ ඒ භික්ෂුව ප්‍රාණඝාතය නිසා ම පරාජිකාවට පත්වෙලා කියලා....

ඒ වගේ ම විනය පිටකයේ මෙහෙම දෙයකුත් සඳහන් වෙනවා. අහලා තියෙනවද මරණ සංවර්ණනාව ගැන? ඒ කියන්නේ තව කෙනෙකුගේ මරණය දකින අදහසින් මරණයේ ගුණ වර්ණනා කිරීම. උදාහරණයක් කියන්නම්කෝ. "ඔබ මේ දරුගැබ නැසුවොත් නැතිවෙලා ගිය කීර්තිය ආපසු ලැබේවි, මිල මුදල්, යහපත් සැමියෙකු ඔබට ලැබේවි" වගේ කියලා ඒ නිසා ම ඒ කෙනා දරුගැබ නැසුවොත් ඒකේ ගුණ වර්ණනා කළ කෙනා ත් ප්‍රාණඝාතයට හසුවෙනවා. මරණාසන්න ව ඉන්න කෙනෙක් දැකලා කියනවනම් මේ කෙනා මෙහෙම දුක් විඳින්නෙ නැතුව මැරිලා යනවනම් හොඳයි කියලා, ඒ කෙනා හෝ වෙනත් කෙනෙක් ඒක අහලා ජීවිතය නැති කරනවා හෝ නැතිකරගන්නවා නම් නොවැරදීම ප්‍රාණඝාතයට අසුවෙනවා. මේ විදියට මරණයේ ගුණ කයෙන්, වචනයෙන්, දූතයෙක් මාර්ගයෙන් හෝ ලේඛනයකින් හෝ දක්වලා ඒ නිසා ම මරණයක් සිද්ධවෙනවා නම් ඒක ප්‍රාණඝාතයට අයිතිවෙනවා කියලා තමයි දැක්වෙන්නෙ.


මේ දේවල් මේ විදියට වුණත් සරල ම දේ තමයි ගබ්සාවක් කියන්නෙත් දරුවෙක් මරාදැමීමක් කියන දේ. ගබ්සාවක් කරන්න මොන විදියේ හේතු තිබුණත් ඒක සාධාරණීකරනය කරන්න නම් හේතුවක් හොයාගන්න හරි අමාරුයි. බොහෝමයක් වෙලාවට ගබ්සාවන් කෙරෙන්නෙ හොරෙන් නේ. ඒ කියන්නෙ සුදුසුකම් නොලත් වෛද්‍යවරු, හෙදියෝ, වින්නඹුවන් සමහරවෙලාවට සාත්තු සේවක සේවිකාවන් පවා මේ තැන්වල ඉන්නවා. ඉතින් අක්‍රමවත් ව අවම පහසුකම් යටතේ කෙරෙන මේ දේවල් වල අවදානම (රුධිර වහනයන්, විෂබීජ....) දරුවට වගේ ම මවටත් තියෙනවා. ඒ කියන්නෙ ජීවිත දෙකක් එක්කයි සෙල්ලම් කරන්නෙ. කියන්න කණගාටුයි විශ්ව විද්‍යාල, ආයෝජන කලාප අවට මේ තත්වය දරුණු ලෙස පැතිරිලා තියෙනවා වගේ ම ඒක සාමාන්‍යකරණයටත් පත්වෙලා. ඒ නිසා සොයුරියන් මේ ගැන ඉතා කල්පනාකාරී වියයුතු බවයි (ඇතැම් ආත්මාර්ථකාමී පිරිමින් හමුවේදී.. )මගේ හැඟීම . මොකද යමක් වුණොත් වැඩි හානිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා හැඟීම් වලට වගේ ම බුද්ධියටත් ඉඩදීලා සම්බන්ධතා පවත්වාගෙන යන්න හැමෝම වගකීම් සහගත වෙන්න ඕන.

ප.ලි: ටිකදවසකින් ආයෙමත් ආව ඔන්න. කාලීන ව ව වැදගත් වේවි කියලා හිතලා තමයි මෙහෙම දෙයක් ගැන ලිව්වේ. බුදුමඟ අතිරේකයේ පූජ්‍ය ලේල්වල අරියධම්ම ස්වාමින් වහ්න්සේ ගේ ලිපියකුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තිත මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයත් මේ සටහනට උදව් වුණා. පින්තූර ගත්තේ සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන්. ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රශ්න තියෙනවනම් අහන්නත් පුළුවනි. පුළුවන් විදියට උත්තර හොයාගනිමු අපි...(තාක්ෂණික ගැටළුවක් නිසා කලින් පෝස්ටුව ඉවත් කරන්න වුණා, ඒ නිසා කමෙන්ට් කළ අයගේ කමෙන්ටු ඔන්න මගේ නමින් ම මම පබ්ලිෂ් කළා :D)

31 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන් නිසා සටන ජයගත් කොසොල් රජතුමා...


බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ම කොසොල් ජනපදයට අධිපති වුණ කොසොල් රජතුමාත්, මගධාධිපති බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණ අජාසත්ත රජතුමා ත් අතර යුද්ධයක් ඇතිවුණා. දිගින් දිගටම මේ සටන් වලින් අජාසත් රජතුමාට පරාජයට පත් වෙන්නට වුණ නෑකමින් මාමණ්ඩිය වුණ කොසොල් රජතුමාට මේක ලොකු ලැජ්ජාවක් වුණා. මේ යුද්ධය ඇතිවෙන්න හේතුව තමයි, කාලෙකට කලින් මිත්‍රත්වය හේතුවෙන් කොසොල් රජතුමා තමන්ගේ සොයුරියක් බිම්බිසාර රජතුමාට දායාද විදියට ගම්වරයක් එක්ක විවාහ කරලා දෙනවා. නමුත් කෲර අජාසත් රජතුමා, තමන්ගේ පියා වුන බිම්බිසාර රජතුමා ව මරා දමනවා. මේ නිසා ඊට විරුද්ධ වීමක් විදියට සොයුරියට දායාද විදියට ලබාදුන්න ගම්වරය කොසොල් රජතුමා අපහු පවරා ගන්නවා. ඒ ගම්වරය වෙනුවෙන් තමයි මේ යුද්ධය ඇතිවුණේ.

කලින් කිව්වනේ කොසොල් රජතුමා හැමදාමත් යුද්ධයෙන් පරදිනවා කියලා. ඒ නිසා දවසක් කොසොල් රජතුමා තමන්ගේ චරපුරුෂයෝ කැඳවලා, යුද්ධය ජයගැනීම පිළිබඳ රහස් ඥාණවන්ත භික්ෂූන් දන්නා බවත් නමුත් ඇහුවොත් කවදාවත් නොකියන නිසා රහසිගත ව ඒවාට සවන් දී තමන්ට වාර්තා කරන විදියට උපදෙස් දෙනවා. දවසක් උපතිස්ස සහ ධනුග්ගාහකතිස්ස කියන ස්වාමින් වහන්සේලා අතර යුද්ධය ගැන ඇතිවෙන සාකච්ඡාවක් චරපුරුෂයෙක් අහගෙන ඉන්නවා. " ඔය විදියට පහරදීලා අජාසත් රජු ව අල්ලා ගන්න බැහැ. පදුම භ්‍රෑහ (පද්මාකාරයෙන් යුද සෙනග පෙළ ගස්වා පහර දීම), චක්‍ර භ්‍රෑහ (චක්‍රාකාරයෙන් යුද සෙනඟ පෙළ ගස්වා පහර දීම), සටක භ්‍රෑහ (දෙපැත්තෙන් පහර දීම) කියන යුද්ධ උපක්‍රම තුනෙන් සටක භ්‍රෑහ හෙවත් අජාසත් සේනාව දෙපසින් වටකරලා ඉදිරියට එන්න ඉඩ හැරලා මුලින් පසු බැහැලා මැද්දට ආවට පස්සේ අල්ලාගත යුතුයි" කියලා ධනුග්ගාහකතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. මේ ගැන චරපුරුෂයා රජුට දන්වනවා. ඊට පස්සේ කොසොල් රජතුමා ඒ විදියට සේනා සංවිධානය කරලා කොසොල් රජතුමා ජීවග්‍රහයෙන් ම අල්ලා ගන්නවා. තමන්ගේ බෑණා වූ නිසා ම අවවාද කරන ගමන් ම අජාසත් රජතුමා ට ජීවිත දානය දෙනවා වගේ ම තමන්ගේ දියණියකුත් සරණ පාවලා දෙනවා කලින් ගම්වරයත් එක්ක ම. ධනුග්ගාහකතිස්ස හාමුදුරුවන්ගේ යුධ උපදේශය ගැන උන්වහන්සේ ට චෝදනාවක් එල්ල වුණා දම්සභා මණ්ඩපයේදී. ඒ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ, ධනුග්ගාහකතිස්ස හාමුදුරුවෝ අද විතරක් නෙවෙයි මීට පෙරත් සටන් මෙහෙයවලා ජයගත්ත බව ප්‍රකාශ කරලා මේ විදියට අතීත කථාව දේශනා කරනවා.

ඉස්සර කාලයේ ජීවත් වුණ ලී වඩුවෙක් දවසක් ලී කපන්න කැලෑවට ගියා ම අතරමං වුණ ඌරු පැටියෙක් දැකලා ගෙනැවිත් හදාවඩා ගන්නවා. ඌරු පැටියා වඩු මඩුවෙ ම ලොකු මහත් වෙලා වඩුවාට ලී කොට පෙරලන්න, නූල් ගහන්න වගේ වැඩ වලට උදව් කරනවා. මේ හින්ද ම ඌරු පැටියට 'වඩ්ඩකී සූකර' කියල නමකුත් පටබැඳෙනවා. ඌරු පැටියාගේ උපකාර නිසා ම වඩුවා දවසින් දවස දියුණු වෙනවා වගේ ම ඌරු පැටියත් ගොඩක් පුෂ්ටිමත් ව වැඩෙනවා. අද විතරක් නෙවෙයිනේ ඒ කාලෙත් ඉන්න ඇතිනෙ මස් වැද්දෝ හැමතැනම. ඒ නිසා ඌරා ගේ ආරක්ෂාව වෙනුවෙන් වඩුවා තීරණය කරනවා ඌ ව කැලයට නිදහස් කරන්න. මොකද කවුරුහරි මේ පුෂ්ටිමත් ඌරා ව මරාගෙන කෑවොත් තමන්ට ලොකු වේදනාවක් දැනේවි කියලා හිතුණ නිසා. ඉතින් කැලයේ තනිවුණ වඩ්ඩකී සූකර ඌරා තමන්ගේ වර්ගයා සොයාගෙන යනවා. මේ යන අතරමඟ දී ඌරු රංචුවක් හමුවෙනවා වඩ්ඩකී සූකරට.

හොඳින් පුෂ්ටිමත් ව වැඩුණු ඌරා ව දකින වැහැරී ගිය සිරුරු ඇති ඌරු රංචුව, ඌරා වටකරගන්නවා. "කැලේ මේතරම් කන්න බොන්න තියෙද්දි මේ තරම් වැහැරිලා ඉන්නේ ඇයි" කියලා වඩ්ඩකී සූකර විමසනවා. "මේ කැලේ කොයිතරම් කන්න බොන්න තිබුණත් ඒවා කෑමට තරම් හිතක් අපට නෑ. කෑවත් ඒවා ඇඟට අල්ලන්නෙ නෑ. අපේ වරිගේ එවුන් මරාගෙන කන කොටියෙක් අර ඈත පේන ගල උඩට එනවා. හැමදාමත් එකෙක් ව මරාගෙන කනවා. ඌ කොයිවෙලාවෙ එයිද කියලා බයෙන් තමයි අපි ඉන්නෙ" කියලා ඌරු රංචුව උත්තර දෙනවා. "උඹලා බය නොවී මා කියන විදියට වැඩ කරනවනම් ඔය කොටිය ව මරා දමන්න පුළුවනි" කියලා වඩ්ඩකී සූකර කිව්ව ම ඌරු රංචුව කැමති වෙනවා ඒ විදියට වැඩ කරන්න. ඌරු පැටවුන් ව මැදින් තියලා ඒ වටේ ට ඊරියන් ව තියලා ඊටත් පිටතින් පුෂ්ටිමත් ඌරනුත් ඊටත් පිටින් දළ සහිත ශක්තිමත් ඌරන් ඉන්න විදියට රංචු කැලේ තැනින් තැන රඳවනවා. කොටියා ඇවිත් පනින ගල පාමුලින් වතුර වලක් හදන වඩ්ඩකී සූකර ඒ තුළින් පැනලා යන්න පුළුවන් උමඟකුත් හදනවා. ඒ විදියට හදලා යම් විදියකින් කොටියා ආවොත්, කොටියා කරන දේ ම ඌරන්ටත් කරන්න උපදෙස් දෙනවා. ටික වෙලාකින් කොටියා ඇවිත් කැලේ දෙවනත් වෙන්න ගර්ජනා කරනවා, ඌරු රංචුවත් ඒ විදියට ම කරනවා. කොටියා ගල උඩ මූත්‍රා කරනවා. ඌරොත් ඒ විදියට ම කරනවා.

වෙනදා නොදැක්ක වෙනසක් දැක්ක කොටියා ආපහු හැරිලා පලායනවා තම්න්ගේ ස්වාමියා වුණ තාපසයා ළඟට. ඌරු මස් නැතිව හිස් අතින් එන කොටියා දැක්ක තාපසයා ඊට කරුණු විමසනවා. කරුණු පැහැදිලි කරන කොටියට බැණ වදින තාපසයා "ඔය වගේ ශක්තිමත් ශරීරයක් තියෙන කොටියෙක් ඌරන් ට බයවෙන්න ඇයි? වහා ම ගිහින් ඌරෙක් මරාගෙන වරෙන්" කියලා කොටියට අණ කරනවා. වහා ම ආපසු හැරුණ කොටියා ගල උඩට ගිහින් වතුර වළ ළඟ හිටිය වඩ්ඩකී සූකර මතට පනිනවා. වඩ්ඩකී සූකර සැණින් වතුර වළේ තිබුණ උමඟට ගිහින් හැංගෙනවා. වතුර වළට වැටිලා පාවෙමින් හිටිය කොටියා ළඟට ආව වඩ්ඩකී සූකර, ශක්තිමත් දළෙන් ඇනලා කොටියා ව මරලා දැම්මා. කොටියා මැරුණු බව දැක්ක ඌරු රංචුව කොටියා ව කාලා දැම්මා. අන්තිමට වඩ්ඩකී සූකර, ඌරු රංචුවෙන් අහනවා "දැන් ඉතින් උඹලට නිදහසේ ඉන්න පුළුවන් නේද කියලා?" ඒ වුනත් කණගාටුවෙන් වගේ ඌරු රැල මේ විදියට උත්තර දෙනවා. "මේ කොටියා නෙවෙයි, තව මේ විදිය කොටියන් දහයක් වුණත් පුහුණු කර එවිය හැකි තාපසයෙක් ඉන්නවා, ඒ තාපසයා ඉන්න තුරු තමන් ට නිදැල්ලේ සිටිය නොහැකි යි" කියලා. කොටියා මරලා මහත් සතුටින් හිටිය ඌරු රැල වඩ්ඩකී සූකර පෙරටු කරගෙන තාපසයා ව හොයාගෙන යනවා. ඌරන් රංචුව කඩා වදිනවා දැක්ක තාපසයා දුවගෙන ගිහින් ගහක් උඩට නැග්ගා. ගහ වටේ තියෙන මුල් ටික හාරලා කඩන්නට වඩ්ඩකී සූකර උපදෙස් දෙනවා. හැම මුලක් ම කඩලා දැම්මත් එක ම එක ලොකු මුලක් ඉතුරු වුණා. වහා ම වඩ්ඩකී සූකර පැනලා තමන්ගේ ශක්තිමත් දළෙන් ඇනලා මුල කඩලා දාලා ගහ බිමට පෙරලුවා. ඉතින් තාපසයාගේ කටු විතරයි අන්තිමට ඉතුරු වුණේ. ඔන්න ඔය විදියට තමයි ධනුග්ගාහකතිස්ස හාමුදුරුවො, වඩ්ඩකී සූකර විදියට ඉපදිලා සටන් ජය ගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ, 'වඩ්ඩකී සූකර ජාතකය' දේශනා කළා.

ප.ලි: බ්ලොග් එක ආයෙ නොලියා ඉන්න තීරණය කළත් කාලයත් එක්ක ම ආයෙත් මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.ටිකක් විතර කාර්ය බහුල වීම නිසා ගොඩක් අයගේ බ්ලොග් ඇවිත් කියවලා ගියත් ප්‍රතිචාර දක්වන්න නම් නොහැකි වුණා කියලත් කියන්න ම ඕන. ලංකාදීප පත්තරේ, බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ ලිව්ව සටහනකින් තමයි මේ කථාව උපුටලා ගත්තේ. එහෙනම් මම ආයෙත් දිගටම එනවා ඔන්න.

43 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දිව්‍ය ලෝකේ යන්න කැමති අයට....


අපි ගොඩක් වෙලාවට යමක් කරන්නෙ හොඳ හෝ නරක යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. අපි ඉගෙනගත්තත්, රැකියාවක් කළත් මේ හැමදේක ම කිසියම් සැඟවුණු බලාපොරොත්තුවක්/ ගොඩක් තියෙනවා. ඒ වගේ ම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මොනාහරි කරන්නෙ ඉතා ම කලාතුරකින්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයනේ. අපි කැමතියි අපිට මහන්සියක් නැතුව ම යමක් ලැබෙනවනම්. කොහෙන්හරි සල්ලි ඇවිත් ඉබේම අපේ බැංකු ගිණුමට එකතුවෙනවානම්.... හැබැයි අපි නොදන්නවා/ නොහිතනවා වුණාට හැමෝටම තියෙනවා ඒ වගේ ගිණුමක්. අපිත් නොදැනීම ඒ එකවුන්ට් එකට එකතුවෙන දේවල් තියෙනවා අපි එදිනෙදා කරන කියන පුංචි පුංචි දේවල් නිසා. ඒ තමයි කර්මය කියන ගිණුම...

මුගලන් මහරහතන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ දවසක් දිව්‍ය ලෝකයන්හි ධර්ම චාරිකාවේ නිරත වුණා. මේ ගමනේ දී දෙවිවරුන් සමඟ සුහද පිළිසඳරෙහිත් යෙදුණා ඇතැම් අවස්ථාවල. මුගලන් මහ රහතන් වහන්සේ
"දෙව්දුවනි, මේ තරම් දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ පින කුමක් ද?" දෙව් දුව, කළ පින ඉතා සුළු එකක් වුණ නිසා ඒ ගැන කියන්නට ලජ්ජා වුණා. "දෙව්දුවනි ලජ්ජාවට පත්වන්නට කාරණා නැත. ඒ පින්කම කුමක්ද?" මුගලන් තෙරණුවෝ ආයෙත් විමසනවා. එවිට දෙව්දුව මේ විදියට පිළිතුරු දෙනවා. 

“මම මිනිස් ලොව සිටිත්දි දුප්පත්ව යැපුණෙමි. පවට බියෙන් සිටියෙමි. කිසි දිනක බොරු නොකීවෙමි. සැබෑවක්ම කීවෙමි. දෙව් ලොව උපත ලැබුවේ ඒ නිසා ය.”

මුගලන් මහරහතන් වහන්සේ තවත් දිව්‍ය විමානයක් ළඟ නතර වෙලා තවත් දිව්‍ය අප්සරාවක් සමඟ පිළිසඳරෙහි යෙදුණා. ඇයගෙන් ද දිව්‍ය සම්පත් ලැබීමට කළ පින කවරේදැයි විමසුවා. එවිට ඒ දෙව්දුව "තෙරුන් වහන්ස. මම මිනිස් ලොව ඉතා අසරණව, මෙහෙකාර කෙල්ලකව සිටියෙමි. කොපමණ දුක් පීඩා ලැබූවත් කෝපය මැඩ ඉවසීමෙන් විසු බැවින් මේ දිව්‍ය සම්පත් ලැබීමි" යි කිව්වා. 

මේ විදියට මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍යංගනාවන් කිහිප දෙනකුගෙන් ම තමා ලද දිව්‍ය සැපතට හේතු විමසනවා.

“මම උක් හේනක් බලා සිටි කල්හි උක් දඬු පිදීමෙන් දිව්‍ය සම්පත් ලදිමි”
“මම තියඹරා ගෙඩියක් පිදීමේ පිනෙන් දිව්‍ය ලෝකයට පැමිණීයෙමි.” ආදි ලෙස ඔවුහු පිළිතුරු දෙනවා උන්වහන්සේට.

ආපසු දෙව්රම් වෙහෙරට වැඩි මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තර බුදුරජාණන් වහන්සේට සැල කළා. එවිට බුදුරජාණන් වහන්සේ, පැහැදුණු සිතින් යුතුව සත්‍ය වචන කීමෙන්, නොකිපී ඉවසීමෙන්, සුළු හෝ යමක් දීමෙන් පවා දිව්‍ය සම්පත් ලද හැකි බව දේශනා කළා. ඒ වගේ ම උන්වහන්සේ උන්වහන්සේ මහානාම ශාක්‍යයාට, දෙව් සැප ලබන්නට කැමති නම් දේවානුස්සතිය වඩන්නටත් අවවාද කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 'දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක්‌ වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම චාතුර්මහා රාජිකය, තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්‌කොට ගන්න'... යනුවෙන්.

මේ ධර්මය ඇසෙන කොට කාටහරි හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දිව්‍යලෝක වල ඉපදීම වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යලෝක වර්ණනා කිරීමක්‌ නොවෙයි වෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස මනුෂ්‍යයා ව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම කෙනෙක් දිව්‍යලෝක, දිව්‍යසැප කෙරෙහි ජන්දරාගය,කැමැත්ත, තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම දිව්‍යලෝක කෙරෙහි කැමැත්ත ඇති වුණාට පස්‌සේ කැමැත්ත උපාදානයක් හෙවත් හිතේ අල්ලාගැනීමක්/ඇලීමක් කරගෙන වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්‍ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් වඩන්නේ ඉහත සශ්‍රීක දිව්‍යලෝකයක සැපවිඳින්න. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ජීවිතයේ වැඩි වශයෙන් වඩවා ගන්න කොට නොදැනුවත්වම සෝවාන් ඵලයට පත්වෙන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක්‌ බවට පත්වෙලා මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌ වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. එහෙම වුණේ නැත්තම් ශ්‍රද්ධානුසාරි වෙලා ධම්මානුසාරී වෙලා සෝවාන් මඟට ඇතුළුවුණ කෙනෙක් විදියටයි මියයන්නේ. එයින් නිවන කරා යන මඟ වසාලන්න ආයෙත් කාටවත් ම බැහැ. බුදුරජාණන් වහන්සේ දේවානුස්‌සතිය වඩන්න කියලා මහානාම ශාක්‍යයාට කිව්වේ මේ හේතුව නිසයි. උදාහරණයකුත් මතක් කරන්න කැමතියි මේ දේ ප්‍රායෝගික ව වුණ. මතකයිද නන්ද කුමාරයා ව පැවිදි කළ හැටි දිව්‍යාංගනාවන් ව පෙන්නලා...

මේ විදියට සැප විඳින දෙවියන් ගැන, දුක් විඳින ප්‍රේතයන් ගැන විස්තර කියවන්න තියෙන හොඳම තැන තමයි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු විමාන වස්තු කියන කොටස. මෙතනින් සහ මෙතනිනුත් ඒ වගේ කථා දෙකක් කියවන්න පුළුවනි.

අද උඳුවප් පුර පෝය දවස. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම වගේ වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී පාද සමය ඇරඹෙන්නෙත් උඳුවප් පුර පෝය දවසිනුයි.

ප.ලි: දිලී ගේ ඉල්ලීමක් වෙනුවෙන් අද සටහන ලියද්දි දිවයින පත්තරේ රහතුන් වැඩි මඟ ඔස්සේ අතිරේකයත්, සිළුමිණ පත්තරේ සිත්මල් යාය අතිරේකයත් උදව් වුණා. අද දෙසැම්බර් 27 වෙනිදා බ්ලොග් එකට තරමක් විශේෂ දවසක්. ඇයි දන්නවද? අදට මේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු දෙකක්... අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් අය මාත් එක්ක රැඳිලා හිටියා. ප්‍රතිචාර දැක්වුවා, වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නා, අගය කළා. ඒ හැමෝටම වෙනසක් නැතුව ම අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම නොදැනුවත්වම හරි හිත් රිදීමක් ඇතිවුණා නම් සමාව ඉල්ලනවා.

අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!

23 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සිහිනෙන් පෙනෙනා නෑදෑයෝ...


කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක් මියගියොත් ඒ මියගිය දවසේ ඉඳන් ඔහු හෝ ඇය දවස් 07 ක් යනකල් පින් බලාපොරොත්තුවෙන් නිවසේ රැඳී ඉන්නවා කියලා සමහරු කියනවා. කෙනෙක් මිය ගියාම ඒකෙනාට පින් අනුමෝදන් කිරීම නිවසේදීම කළ යුතු යි එහෙමත් නැත්නම් නිවසේ දී නොකළ යුතුය කියලත් හිතන අය ඉන්නවා. ඒ අතරෙදි තවත් සමහරු මෙහෙම හිතනවා.... ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පටන්ගත්තොත් ඒ අය ඒ පින් දෙන අයට කරදර කරන්න පටන් ගන්නවා, ඒක හරියට කොහෙවත් තියෙන කරදර ගොඩක් ඇඟට දාගන්නවා වගේ වැඩක් කියලත්. මේ ගැන විස්තර ඇතුව කියන්න කලින්..... පොඩි කථාවක් කියන්න හිතුවා.

සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරලා තවුස්දම් පුරන්න යන අතරවාරයේ රජගහ නුවරට යනවා පිඬු පිණිස. මේ තවුසාගේ ශාන්ත ඉරියව් කෙරේ පැහැදුන මගධාධිපති බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා රාජ්‍යයෙන් කොටසක් බාරගන්න. නමුත් තමන්ගේ උතුම් වුණ එක ම අරමුණ සිදුහත් තවුසා පැහැදිලි කළාට පස්සේ බිම්බිසාර රජතුමා ආරාධනා කරනවා බුද්ධත්වයෙන් පස්සේ රජගහ නුවරට වඩින්න කියලා. ඒ අනුව බුද්ධත්වය ලබලා මාස කීපයකින් තම ශ්‍රාවක පිරිසත් පිරිවරාගෙන රජගහ නුවර බලා වැඩම කළා. වැඩම කරලා නගරයට ගව් තුනක් එපිටින් තිබුණු වනයේ විශාල නුග රුකක් මුල වැඩ හිටියා. ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ තම රාජධානියට වැඩම කළ බව ආරංචි වුණ බිම්බිසාර රජතුමා, තමන් හමු වන්නට ඇවිත් හිටපු මහාලී කියන ලිච්ඡවි රජතුමාත්, තව විශාල පිරිසකුත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් බණ අහලා, පැහැදිලා, ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණ බිම්බිසාර රජතුමා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පහුවදා රජ මාළිගයේ දහවල් දානයට ආරාධනා කළා. 

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට, දවල් දානය පිරිනමලා තෘප්තිමත් සිතින් රෑ නින්දට ගිය රජතුමා රෑ මැදියමේ භයානක හීනයක් දැකලා අවදි වුණා. නිරුවත් විරූපී අමනුස්සයන්(ප්‍රේතයන්) පිරිසක් තමන් වට කරගෙන කෑගසා විලාප කියමින් අඳෝනා නඟන හැටි රජතුමා දැක්කා. පහුවදා උදේ ම බුදුරජාණන් වහන්සේ දකින්නට ගිය රජතුමා මේ සිහිනය දැන්නුවා. බිම්බිසාර රජතුමා ඒ දැක්කේ ඉතා ඈත ආත්මභාවයක නෑදෑයන් පිරිසක් බවත්(කාශ්‍යප බුදුන් සමයේ ), අමනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා දුක් විඳින ඒ පිරිස රජතුමාගෙන් පින් බලාපොරොත්තු වන බවත් බුදුරජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කළා. බිම්බිසාර රජතුමා පසුවදාත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා රජමැඳුරට වඩමවාගෙන, ඉතා ගෞරවයෙන් ආසනවල වඩා හිඳුවලා ප්‍රණීත ලෙස දානය පිරිනමලා, දුකට පත් වෙලා ඉන්න තම නෑදෑයන් සිහි කරලා පින් දුන්නා.

කල්ප ගණනාවක් තිස්සේ තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කරන තුරු බලා සිටි ප්‍රේතයන්, රජතුමා දන් පැන් පිරිනමලා පින් අනුමෝදන් කරන විට තමන්ගේ සා පිපාසා සන්සිඳුවාගත්තා. වස්ත්‍ර පූජා කරලා පින් අනුමෝදන් කරද්දි ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබුණා. එදා රාති‍්‍රයේ දිව්‍යමය ආහාරපානයෙන් තෘප්තිමත් වෙලා, දිලිසෙන ඇඳුම් පැලඳුම් දරාගෙන ඔවුන් රජතුමා ඉදිරියේ සිහිනෙන් නැවතත් පෙනී සිටියා. බුදුරජාණන් වහන්සේ එදා දවල් දානය වළඳා අවසානයේ රජතුමාටත්, රැස් ව සිටි මහ සෙනඟටත් ධර්මය දේශනා කළා. ඒ දේශනාව තමයි ‘තිරොකුඩ්ඪ සූත්‍රය’ හැටියට ඛුද්දක නිකායේ දැක්වෙන්නේ.

අරහත් ඵලයට පත් නොවුණ ඕනෑ ම කෙනෙක් උපත් හතරක් කරා යන්න පුළුවන් නේ. ඒ තමයි මව් කුසක, බිත්තරයක, තෙත් පරිසරයක් හෝ ඕපපාතික විදියට. මෙතනදි ඕපපාතික උපත් ලබන අය විදියට ගොඩක් වෙලාවට හඳුන්වන්නේ දෙවියන්, බ්‍රහ්මයන් සහ ප්‍රේතයන් ව. නමුත් ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන්ගෙන් වැඩිවශයෙන් පින් බලාපොරොත්තු වෙන්නෙ දුක් සහිත ලෝක වල ඉපදුණ ප්‍රේතයන්. වරක් තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ දේශනයේ දී මේ විදියට දේශනා කරනවා. "ඤාති ප්‍රේතයෝ වනාහි තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි සතරමං සන්ධි, තුන්මං සන්ධි යන ස්ථානයන්හි සිටිත්. බොහෝ වූ ආහාර පාන පිළියෙල කොට ඇති කල්හි පවා ප්‍රේතව උපන් සත්වයන්ගේ අකුසල කර්මයේ ඇති බලවත්කම නිසා කිසි ඤාතිවරයකුට ඔහු සිහිපත් නොවන්නේ ය ". මේකෙන් පැහැදිලි වෙන්නෙ මැරුණට පස්සේ පින් ලැබෙන්නත් යම් කිසි පිනක් තියෙන්න ඕන කියලයි. හැබැයි මෙයින් අදහස් වෙන්නෙ නැහැ අපි පින් අනුමෝදන් කරන හැම මියගිය ඥාතියාට ම පින් ලැබෙනවා කියලත්. 

ඒක වෙන්නෙ මෙහෙමයි. කෙනෙක් මියගිහින් නැවත් මිනිස් ලෝකයේ ඉපදුණොත්, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ඉපදුණොත් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන පින ඒ අයට ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම සතර අපායට, ඒ කියන්නේ නිරය, අසුර, තිරිසන් ආදී ලෝක වල උපත ලැබුව අයටත් මේ පින් අනුමෝදන් කළාට ලැබෙන්නෙ නැහැ. ඒ අය තමන් කළ කර්මය අවසන් වෙනතාක් ම ඒ ලෝක වල දුක් විඳිනවා. ප්‍රේත ලෝකයේ උපත ලබාගත් අයට විතරක් මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් ප්‍රේත ලෝකයේ උපන් හැමෝටමත් එහෙම පින් ලබාගන්න හැකියාවක් නැහැ. ප්‍රේතයන් අතරත් විවිධ වර්ග ඉන්නවා. සිරුර තුළ දැල්වුනු ගිනිදැලෙන් දැවෙන සිරුරු ඇති නිජඣාමතණහික පේ‍්‍රතයෝ, මළමූත්‍ර, සෙම් සොටු පමණකුත් නොලබා, බුද්ධාන්තර ගණන් සා පිපාසා දෙකින් පෙළෙන ඛුප්පිපාසික පේ‍්‍රතයෝ, පස්ගොඩ, කුණුගොඩ, අසූචි වල, කඳු බෑවුම් ආදි අපිරිසුදු තැන්හි උපදින, ගැවසෙන පංසු පිසාචක පේ‍්‍රතයෝ, අන් අය දෙන දෙයින් (පිනෙන්) ජීවත්වන පරදත්තුපජීවික පේ‍්‍රතයෝ, සඳ හිරු එළියක් යන්තම් හෝ නොලබා තද ගණඳුරෙන් වැසුණු, අතරක් නැති තද සීතලෙන් පෙළෙන උන්ගේම සිරුර සිඳ බිඳ හූරා දමන සා දුකින් පෙළෙන කාලකඤජ පේ‍්‍රතයෝ, තුන් ගවු පමණ උස් වු සිවියෙන් සමින් නහරෙන් පමණක් වැසුණු ලේ මස් නැති ඇටසැකිලි දරණ අටඨසංඛලික පේ‍්‍රතයෝ, ඇට නහර වැසු සම පමණකුත් ඇති කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු ඇති මංසපිණ්ඩිත පේ‍්‍රතයෝ ... ආදි වශයෙන් වෙන විවිධ වර්ගවල ප්‍රේතයන් අතරින් පරදත්තුපජීවික පේ‍්‍රතයන්ට පමණක් මේ ජීවත්වෙලා ඉන්න තමන්ගේ ඥාතීන් දෙන පින් අනුමෝදන් වෙන්න, හොඳ උපතක් කරා ගමන් කරන්න හැකියාවක් තියෙනවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අනුමෝදන් කරන පින ලබන්න සුදුසු කවුරුත් ම හිටියෙ නැත්තම් මොනවද වෙන්නෙ කියලා. මේ ආත්මයේ තමන්ට එහෙම ඥාතීන් නොසිටියත් මේ සසර පුරාවට ම සැරිසරන කාලයේදි තමන්ට ඥාතීන් කොයිතරම් නම් ඉන්න ඇතිද? තමන්ගේ ඥාතී නොවුණ කෙනෙක් නැති තරම්. ඉතින් ඕන තරම් ඒ වගේ ඥාති පිරිස් ප්‍රේත ලෝක වල ඉන්නවා. ඒ පින් එතකොට ඒ අයට අනුමෝදන් වෙනවා සැකයක් නැතුවම. අපි තව කාටහරි පින් අනුමෝදන් කළා ම අපි රැස් කළ පින් අඩු වෙනවද කියල ත් කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒක එහෙම වෙන්නෙ නැහැ, හරියට ම කියනවනම් පහන් දැල්ලකින් තව පහනක් දැල්වුවා කියලා මුල් පහනේ දැල්ලට බලපෑමක් නැහැ වගෙයි.

දහමට හිත යොමු කරන්නේ නැතිව, කිසි සිල්ගුණදම් පුරන්නේත් නැති ව, පරම්පරාවෙන් උරුම වුණු වස්තුවෙනුත්, හරි-හම්බ කළ දේවලිනුත් හිත කය පිනවමින් ජීවත් වන හිස් මිනිස්සු බොහෝ දෙනා මරණින් මත්තේ අනුන්ගේ පිනෙන් යැපෙන (පරදත්තූපජීවී) ප්‍රේත නිකායවල උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුහරි මිය ගියාට පස්සේ ඇඬුවා, වැළපුණා, ශෝක වුණා හෝ කියලා මියගිය කෙනාට එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු දේ තමයි තමන් රැස් කරන පින් අනුමෝදන් කිරීම. සමහරවිට ඒ කෙනාට සැප පිණිස උපකාර වෙන්න පුළුවනි. හැබැයි ඒකට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන මේ වගේ. ඥාති ප්‍රේතයන්, නෑදෑයන්ගේ පින් බලාපොරොත්තු වීම, ජීවත් ව ඉන්න නෑදෑයන් හැබෑ අවංක සිතින් ඔවුන්ට පින් දීම හා ධාර්මික දාන වස්තු ඒ කාරණා තුනයි. ඒ කරුණු සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කළා ම තමයි මියගිය තමන්ගේ ඥාතියාට සැබෑම ආදරය දැක්වුවා වෙන්නෙ...

ප.ලි: මේ දවස් වල බ්ලොග් බලන්නවත් කමෙන්ට් කරන්නවත් වෙලාව හරිම අඩුයි අන්තිම ෆයිනල් විභාගෙ නිසා... ඒ නිසා හැමෝම ක්ෂමාව භජනය කරන්නෝන :)))) මේ සටහන් ලියන්න යම් යම් කරුණු නමස්කාර බ්ලොග් අඩවියෙන් වගේ ම බුදුසරණ අන්තර්ජාල සටහනෙනුත් ගත්තා. ඒ අයට පින්!

60 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !