ඇස නොගැටුණු පාරාදීසය - පහන්තුඩාව...



මේ සතියෙ ගෙදර නොගිහින් කැම්පස් එකේ ඉන්නවා කියලා තීරණය කළත් එකා දෙන්නා ගෙදර යනවා දකිද්දි හිතට නම් ටිකක් විතර දුකයි, ඒ වුණත් ඉතින් තව කැම්පස් එකේ කියලා ඉන්න තියෙන්නෙ මාස තුනකටත් අඩු කාලයක් විතරයි. අන්තිමට ඉතුරු වුණේ අපි හතර පස් දෙනක් විතරයි හොස්ටල් එකේ ම. ඒ දුකටත් එක්ක අපි කස්ටිය කතා වුණා කොහෙහරි ඇවිදින්න යමු කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ පහන්තුඩාව ඇල්ල බලන්න ගියේ. ඔය වගේ ම පහුගිය දවසක බලන්න ගිය දූවිලි ඇල්ල ගැන අපූරු විස්තරයක් ගෙහාන් චන්දික සහෝ දාලා තිබුණ නිසා ම මේ ගැන මම ලියන්න කියලා හිතුවා.

…මුලින් ම දිය ඇල්ල ගැන පොඩි විස්තරයක් කරන්නම් කෝ! මේක පටන් ගන්නේ හාවාගල කඳු මුදුනින්. ඒ ඇද හැලෙන අතරමගදිත් සීඝ්‍ර බෑවුම් ඔස්සේ අපූරූ දියඇලි කිහිපයකුත් නිර්මාණය කරනවා. මේක ගොඩක් උස දියඇල්ලක් නම් නොවුනට ඒ අවට පරිසරය දියඇල්ලට එකතු කරන චමත්කාරය නම් හරි ම අපූරුයි. මම මේ තාක් දැකලා තියෙන දියඇලි වලින් අවට පරිසරයේ විශිෂ්ඨතම ස්වභාව සෞන්දර්යය නිර්මාණය වෙලා තිබුණේ මෙතන කියලා කිව්වොත් වැරදි නැහැ. පහළ පින්තූර බැලුව ම ඔයාලත් එහෙම හිතේවි. මට මෙතනදී දකින්න පුළුවන් වුණේ Canyon කියන භූවිද්‍යාත්මක ලක්ෂණය. ඒක සාමාන්‍යයෙන් අපේ වගේ රටවල ඒ තරම් සුලබ දෙයක් නම් නෙවෙයි. Canyon ගැන සරලව කිව්වොත් මෙහෙමයි. හිතාගන්නකෝ එකළඟ තියෙන කඳු ශිඛර දෙකක් යාවෙලා හැදුණ නිම්නයක් ගැන. මතකද ගේම්ස් වල, ෆිල්ම්වල එහෙම හිටිහැටියෙම කඳු අස්සෙන්, ගල් දෙබුක්කාවල් අස්සෙන් හෙලිකොප්ටර් එන හැටි. අන්න ඒ වගේ තැනක් තමයි මේ. හිතාගන්න අමාරු නම් මෙතනින් ගිහින් බලන්නකෝ විස්තර. පහන්තුඩා ඇල්ල ගලන Canyon එක තනිකර ම නිර්මාණය වෙලා තියෙන්නෙ ගල් පර්වත දෙකකින්. ඒ මැදින් ඇල්ල ගලාගෙන යන විදිය නම් අපූරුයි.

දැන් කියන්නම්කෝ යන විදිය ගැන. කොළඹ-බදුල්ල මාර්ගයේ 155 වෙනි කිලෝමීටර කණුවේ, එහෙමත් නැත්තම් බලංගොඩ නගරය පහුකරලා කිලෝමීටර 13ක් විතර එනකොට දකින්න ලැබෙනවා සුප්‍රසිද්ධ බෙලිහුල් ඔය තානායම. එතනින් වම් පැත්තට ළඳුයාය පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම (ටික දුරක් යද්දි පේනවා කන්දෙන් පහළට ඇල්ල ගලන ලස්සන)දකින්න ලැබෙනවා පුද්ගලික විදුලි බලාගාරයක් සී පවර් කියලා. එතනින් පහළට බැස්ස ම දකින්න ලැබෙන්නේ පහන්තුඩාවෙන් ගලන දිය පාරයි. ඒ නිසා ඇල්ල බලන්න නම් ඒ දිය පාර දිගේ තවත් මීටර 200ක් විතර යන්නෝන. මෙතන නාන්න එහෙමත් පුළුවන් අපූරු ජල තටාක ස්වාභාවිකව ම තියෙනවා. ඒ තරම් අවදානමක් නැහැ. තවමත් සංචාරකයන්ගේ ඇස් වලට මෙතන ඒ තරම් අසුවෙලා නැතිනිසා ම පිරිසිදු ව ස්වාභාවික විදියටම තියෙනවා කියලත් කියන්නෝන.

ඔය ඉන්නෙ ගිය සෙට් එක. දෙවෙනියට රතු ඉරි ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ කෝච්චි ගැන බ්ලොගේ ලියන ගෙහාන්....







මෙතනදී ඔයාලට Canyon කියන ලක්ෂණය පැහැදිලිව ම බලාගන්න පුළුවන්.









අපි මේ ගියේ ඇල්ලේ වතුර ගොඩාක් අඩු කාලෙක. මේ දවස් වල වහින්නෙ නැහැ මේ පැත්තට. වතුර වැඩි කාලෙට නම් මේ හරිය ගොඩක් ලස්සනයිලු. ඉතින් බදුල්ල පැත්තේ ඔයාලත් යනවනම් ඔයාලට දකින්න පුළුවන් බෝපත් ඇල්ල, දූවිලි ඇල්ල, ගැරඬි ඇල්ල, බඹරකන්ද, දියලුම වගේ අපූරු දිය ඇලි අතරට පහන්තුඩා ඇල්ලත් එකතු කරගන්න අමතක කරන්නෙපා....

38 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අන්දරේ බිරිඳට කියූ කවි....


ලොකු කුඩා භේදයකින් තොරව අපි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසල කවටයා කියලා හැමෝම දන්නවනෙ ඉතින්. අන්දරේ ගොනා වගේ හිටිය හැටි, සීනී කෑව හැටි අපි ඇහුවේ පොඩි කාලෙනේ. ඒ වගේ ම ඔයාලා දන්නවා ඇති අන්දරේ දක්ෂ කවියෙක් බවත්. ඒ කවො ගොඩක් අහලා තිබුණට සමහර වෙලාවට හම්බවෙනවා අහලා නැති ඒවත්. බලන්නකෝ ඔයාලත් මේවා අහලා තියෙනවද කියලා.

දවසක් අන්දරේ සිය ප්‍රිය බිරිඳ සමඟ සතු‍ටු සාමීචියේ යෙදී ඉද්දි බිරිඳගෙන් අන්දරේට ඉල්ලීමක් ඉදිරිපත් වුණා ලු. ඒ තමන්ගේ රුව ගැන කවියකින් කියන ලෙස. ඒ අනුව විහිළුවක් කිරීමට හිතුව අන්දරේ ඇයගේ රුව මෙසේ වර්ණනා කළා.

හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා

ඒ කවිය ඇහුව අන්දරේගේ බිරින්දෑ හඬන්නට වූ අතර ඉන් ඇගේ සිත ඉන් බොහෝ රිදුනු බව තේරුම් ගත් අන්දරේ ඇය සැනසීමට "නැහැ සොඳුර මා ඒ කීවේ කවට කමට. නුඹ ගැන නියම කවිය දැන් කියන්නම්" ලෙස සැනසුම් බස් දොඩා මේ කවිය කිව්වලු.

හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළ දෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

-------------------------------------------------------------
මේ කවිය කියලා තියෙන්නෙ අන්දරේ බිරිඳත් එක්ක වලියක් ගිය වෙලාවක....

එක්වෙනදාට උක්දණ්ඩේ පැණි සේමා
වෙන් වෙනදාට යක් දෙඹරේ වද සේමා
ගොසින් ගොසින් ක‍ටු අත්තේ අග සේමා
ඉතින් ළඳේ කරවිල තිබ්බ‍ටු සේමා

නැවතත් බිරිඳත් එක්ක යාළු වෙන්න ඕන වුණා ම අන්දරේ මෙහෙම කිව්වලු.

සිත පිය වැඩුණු කල සිඹිනට රෝස මල
මගෙ පිය දෙතොල තබනෙමි නුඹෙ මුව කමල
නුඹෙ පිය වදන් සුමිහිරි ලෙස ඇසෙන කල
මම පිය කරමි නදයයි දෙන එ කෝකිල

------------------------------------------------------------

තම බිරිඳගේ රූ සපුව ගැන අන්දරේ කවියෙන් කිව්වෙ මෙන්න මේ විදියටයි.

කොළඹ කළුතර අලුත් ගම් තෙරමුනේ මාතර ගාල්ලේ වත්
සබරගමු පුත්තලම් උඩරට කොට්ටියාරම් තොටමුනේ වත්
සතර සත් කෝරළේ ඇතුළුව සියලු වැදි පත්තු හතේ වත්
නුඹසේ ලස්සන කතක් නොදුටිම් සතර වාසල් කොන් අටේ වත්

නැතිමය මෙ නුඹ වැනි කුසුමක් සුමිහිරිය
මොසමය කොවුල් හඬ නුඹෙ හඬ ඉමිහිරිය
කැළුමය දෙනුවනින් නික්මෙන නුඹෙ සිරිය
උරුමය මෙමගෙ ළය බෝ සතුටින් පිරිය

කොහොමද අන්දරේ ගේ කවි ටික. ඔන්න කසාද බැන්ද උදවියටත් උත්සහ කරලා බලන්න පුළුවන්. හැබැයි වැඩේ අල වුණොත් ඔන්න මම නම් නැතෝ!

මූලාශ්‍ර - විමල් ගමගේ මහතා විසින් රචිත "අන්දරේ" කෘතිය සහ ChannelFun ඇසුරෙනි

25 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අඟේ ඉඳන් කන කපනා, මිතුරු වෙසින් වළ කපනා යාළුවෝ...


සමහරු අහනවා ඔයාට මාව විශ්වාසයි ද? නැත්තම් සැකයිද කියලා... තවත් අය කියනවා මට මුළු ලෝකෙටම වඩා ඔයාව විශ්වාසයි කියලා. ඔයාට මේ මුළු ලෝකෙ ම නැතිවුණත් මම ඉන්නවා කියලත් කියන වෙලාවල් එහෙමත් තියෙනවනෙ. එහෙමත් නොකියන අය මෙහෙම කියනවා. මට ඔය කවුරු නැතිවුණත් මට මාව විශ්වාසයි කියලා. ඇත්තටම එහෙම කිව්වට අපිට අපිව විශ්වාස කරන්න පුළුවන්ද? ටිකක් නිවී සැනසිල්ලෙ හිතලා බලන්නකෝ මේ කියන දේවල් ගැන...ඇත්තටම බැලුවොත් මේක තමන්ට තමන්වත් විශ්වාස කරන්න බැහැ නේද? එහෙනම් කොහොමද අපි තව කෙනෙක්ව විශ්වාස කරන්නේ? එහෙම නැහැ ම කියලා ඔයාට හිතෙනවා නම් තව ටිකක් ඉස්සරහට කියවාගෙන යන්නකෝ. ඊටපස්සෙ අන්තිමට ආයෙත් නැවතිලා ටිකක් හිතන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ "මහණෙනි, මේ සිත විතරක් විශ්වාස කරන්න එපා. මෙය බොහෝ විට පවතින්නේ මාරයාගේ (ප්‍රමාදයේ මිත්‍රයාගේ) වසඟයේ......යි"" මේ හිතට එහෙම වෙන්න උදව් කරන්නේ දස මාර සේනාවයි. ඔයාලා අහලා ඇතිනේ සිද්ධාර්ථ තවුසා දස මාර සේනාව පරාජයට පත් කරලා බුද්ධත්වයට පත්වුණා කියලා. මේ කියන්නේ ඒ පරාජය වුණ දස මාර සේනාව ගැනයි. මේ දස මාර සේනාව අපේ හිතට ඇතුළු වෙන්නේ හරි ම මිතුරු වේශයෙන්. ඒ වුණත් ඒ අය අපේ හිතට කරන හානිය නම් සුළුපටු නැහැ. එයාලා නිසා අපේ හිත හොඳ-නරක, අම්මා-තාත්තා, කුසල්-අකුසල් අඳුනන්නේ නැති තත්වයට පත්වෙන්න ඉඩකඩ ඉතාම වැඩියි. කියවලා බලන්නකෝ ඔයාලත් මේ අය කීදෙනෙක් නම් හොඳම යාළුවෝ කරගෙන ඉන්නවද කියලා...

දස මාර සේනාව

1. කාම සේනාව - පංචකාමය (පංච ඉන්ද්‍රියන්.., ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති කැමැත්ත)
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් මෛත්‍රියේ මුවාවෙන් ද කෘතගුණ සැලකීමේ මුවාවෙන් ද පිංකම්වල මුවාවෙන් ද ආදි යහපත් කටයුතු මාර්ගයෙන් ද පංචකාමයෙහි යෙදීම ආදිය සිදු විය හැකි ය.

2. අරතිය - කුසල් දහම් දියුණු කිරීමට ඇති අකමැත්ත, එනම්, පිං කිරීමට, භාවනාවට, සිල් ගැනීමට ආදියට ඇති අකමැත්තයි. මේ පෝයට නෙවෙයි, ලබන පෝයට ම සිල් සමාදන් වෙනවා වගේ.

3. පිපාසය, බඩගින්න - කුසල් දහම් වැඩීම මේ හේතුවෙන් පසෙක දමයි.

4. තණ්හාව -
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් කීර්ති, ප්‍රශංසාවලට ආශාවෙන් අනිත් අයට කරන උදව් (චාගය) මුවාවෙන් ද තණ්හාව වර්ධනය කර ගත හැකි ය. පරිත්‍යාගය, අත හැරීමේ මුවාවෙන් ද තණ්හාව ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රසිද්ධිය උදෙසා නිර්මාංශ වීමත් එක්තරා විදියක තණ්හාවක්.

5. ථින මිද්ධය - නිදිමත, අලසකම, කායික වශයෙන් ඇති වන කම්මැලිකම.
මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් සමාධි ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. නුවණ ලෙස ක්‍රියාත්මක වන විට භාවනා කරලා වැඩක් නැහැ, තව ඉගෙන ගන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. පරීක්ෂා කරන මුවාවෙන් ද ඇති වේ. එවිට භාවනා කරන්න කලිං හොයලා බලන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. ආත්ම ගෞරවයේ, ආරක්ෂාවේ ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. එවිට ඔය තැන්වලට ගිහිං භාවනා කරලා වැඩක් නැහැ, අභිධර්මය උගන්වන තැනකට යන්න ඕනෙ වගේ සමහරු කියන්නෙත් මේ නිසා ම තමයි.

6. බිය - එනම් ධර්මයේ හැසිරීමට අධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද ඇති බිය ය. එනම් භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙයි, සිල්වත් වෙන්න, සමාධි වඩන්න බය වුණත් කෙලෙස් පිළිබදව හෝ සසර ගැන හෝ බියක් නැහැ ඒ අයට.

7. විචිකිච්ඡාව - එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය ආදිය පිළිබද ව ද ඇති වන සැකය යි. මෙය නිසා ආර්ය මාර්ගය නො වැඩේ.

8. ගුණමකුකම හා සිතේ ඇති දැඩිබව - ගුණමකුකම තුළින් අනිත් අයගේ ගුණයන් මකා දමමින් කථා කරයි. ඊරිසියාව සිතෙහි ක්‍රියාත්මක වීම නිසා සිදු වේ. තමාගේ සිත පිරිසිදු නො වේ නම් තමා තුළ ආර්ය මාර්ගය නිවැරදි ව නො වැඩෙන්නේ කෙසේ ද යත් අපිරිසිදු රෙදි කඩකට හොදින් සායම් නොඅල්ලන්නා සේය. දැඩිබව හේතුවෙන් නම්‍යශීලි නො වීම නිසා ධර්මය නො වැඩේ. බුදු රජාණන් වහන්සේට ද නො නැමේ.

9. ලාභ, කීර්ති, ප්‍රශංසා සහ බොරුවෙන් ලැබෙන යසස - හුදකලා වූ විට ස්ත්‍රියකට හසු වීමට වඩා මේවාට හසු වීම භයානක වන්නේ ය. මේ දේවල් වලට නම් ගොඩක් දෙනා පහසුවෙන් ම බැඳිලා යනවා.

10. මානය - තමන් උසස් කර අනිත් අය පහත් කිරීම ආදිය සිදු වන්නේ මානය නිසාය. මෙය ද ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. නිහතමානි විධියෙන් ද මානය ක්‍රියාත්මක වේ.


හැබැයි මෙතනදි වරදවා වටහා ගන්න එපා මේ කියන්නෙ මාරයා ගැනයි කියලා. මාරයා කියන්නේ එක්තරා විදියක තනතුරක්, හරියට ශක්‍ර පදවිය වගේ. කාලෙන් කාලෙට එක එක්කෙනා ඒක දරනවා වගේ ම කාන්තාවකට කවදාවත් ඒ පදවිය ලැබෙන්නෙත් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඍද්ධිමත් භික්ෂූන් අතර අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේත් වරක් කකුසඳ බුරජාණන් වහන්සේ ගේ කාලයේ දුසී නමින් මාරයෙක් ව ඉඳලා බුදුන් ප්‍රමුඛ සංඝයාට බොහෝ හිරිහැර කළා කියලාත් සඳහන් වෙනවා. බෝසතාණන් වහන්සේට බුදු වීමට බාධා ඇති කිරීමට උත්සාහ කරන ලද්දේත්, ධර්මය දේශනා කිරීම වැළැක්වීමට විවිධ වෙස් රැගෙන බාධා කළේත්, බුදු රජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළේත් එම මාරයා විසිනි. එසේ ම මාරයා ට අප හමු වීමට අවශ්‍ය නො වන්නේ ඉහත කෙලෙස් ධර්ම හෙවත් දස මාර සේනාව අප තුළ නො අඩු නිසා වගේ ම අප ආර්ය මාර්ගයට තවමත් පිවිසිලා නැති නිසයි.

ප.ලි: කොහොමද යාලුවෝ ටික. හරි අපූරුවට අපි ළඟත් ඉන්නවා නේද? පුළුවන් නම් හෙට වෙසක් පෝය දවසේ උපෝසථ අෂ්ඨාංග ශීලය රකින්න උත්සහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මුළු ලෝකයේ ම සාගරයේ, ගොඩබිම තියෙන මුතු මැණික්, රන් රිදී එක තැනකට ගොඩ කළාම ලැබෙන වටිනාකම, සිල් රැකීමේ වටිනාකමෙන් සොළොස් කලාවෙන් එකක් (1/16ක්) තරම්වත් වටින්නේ නැහැ කියලා. මේ සටහන හෙට උදාවෙන වෙසක් පෝය වෙනුවෙනුයි. හැමෝටම මේ දවස් දෙක අර්ථවත් ව ගත කරන්න අවස්ථාව ලැබේවා කියන එකයි මගේ පැතුම. මට ලැබුණ ඊයකුත් උදව් වුණා මේක ලියන්න. මාරයා ගැන ලියැවුණු තවත් සටහනක් කැමතිනම් මෙතනින් බලන්න. පෝය දින විශේෂ සටහන් මෙතනින් බලන්න. එහෙනම්

…හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් ම වේවා...!

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අනේ... අතිගරු ජනාධිපතිතුමනි, දුරු රට යන්න එපා!


අපේ ජනාධිපතිතුමා පහුගිය දොහේ කොරියාවට ගියේය. ඒ සසිරි බර කොරියාවෙන් මෙරටට සිරියාව ගෙනෙන්නට විය යුතු ය. නමුත් කොරියාවට කිව්වාට ඒ දකුණු කොරියාවට මිසක උතුරු කොරියාවට නොවේය. උතුරු කොරියාවට ගිහින් ඇමරිකාව තරහා කරගන්නට එතුමා අකමැති නිසා එහෙම නොයන්නට ඇති කියලයි මට හිතෙන්නේ. නමුත් ඇමරිකාව ද ඔය කියනා තරම් ඉක්මනට අප හා කේන්ති ගනීවී යැයි සිතන්නට ද අමාරු ය. ඒ මන්ද යත් අප හා අමනාප වී ඉල්ලන් කන්නට තරම් ඇමරිකාව මෝඩ නැති නිසා ය. ඒ ඇයිද කියා කියනවා නම් බැරිවෙලාවත් අප ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කළහොත් ඇමරිකාවට වැලේ වැල් නැතිවන නිසා ය. අප ඇමරිකාවෙන් ඇතැම් භාණ්ඩ කිහිපයක් ආනයනය කරන්නේ ද ඔවුනට සහනයක් වීම පිණිසය.

උදාහරණයක් ලෙසින් කිවහොත් ඉන්ධන මිලෙන්, පොහොර, කෘමිනාශක ආදී ගැටළු වලින් පීඩිතව සිටිනා ඇමරිකානු තිරිඟු ගොවියා වස බීමෙන් ආරක්ෂා කරගන්නට ය. අනිත් අතට අප ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ නැවැත්වුවහොත් එය ඉරානයේ අහමදීන්ජාඩ් තෙල් නැවැත්තුවාක් මෙන් ලේසියට ගත නොහැකි වනු ඇත. හේතුව අප එසේ කළහොත් ඇමෙරිකානු ජනතාවට අඳින්නට රෙදිත් නැතුව යන නිසා ය. ඔය කියනා කතන්දර කෙසේ වෙතත් වසර 2500ක තරම් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපේ රටට ඉතා ම ස්වාධීන චින්තනයක් ඇති බව ඇමරිකාව හොඳින් ම දන්නා නිසා ඇමෙරිකාව, ලෝකයේ අනිත් රටවලට, ඒ කියන්නේ චීනයට, රුසියාවට, ඉරානයට දමනා සෙල්ලම් අපට දමන්නට එන්නේ නැත. ඒ වරක් අප Google ප්‍රතික්ෂේප කර gmail එකවුන්ට් වසා දමා බ්ලොග් ඉවත්කරගනිමින්, නව සෙවුම් යන්ත්‍රයක් පවා ක්ෂණික ව යොදාගෙන කොකා පෙන්නූ හැටි, ඇමෙරිකාව හෙල්ලු හැටි ඔවුන්ට කලකට අමතක නොවන නිසා ය.

මේ ඇමරිකානු කතන්දරය නිසා කියන්නට ආ කතාවත් අමතක වී යන්නට ඉඩ තිබුණත් එය ඇමරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙස මෙය කියවන පාඨකයන් නොසිතිය යුතු ය. හේතුව, මේ කතාවට ඇමරිකාවත් යන්තමින් ගෑවී ඇති නිසා ය. අතිගරු ජනාධිපතිතුමා කොරියාවට සැපත් වූ විගස ම එතෙක් මෙරට නිදා සිටි පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිළධාරීන් කළේ කුමක්ද? වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රු 8.50 කින් වැඩි කිරීමයි. අතිගරු ජනාධිපතිතුමා මේ කිසිවක් දන්නේ නැති බව නම් ඉඳුරා ම කිවයුතු ය. මේ කාලකන්නි නිළධාරීන් ගේ මේ වෑයම ජනාධිපති තුමා ඇතුළු රජයේ කීර්ති නාමය විනාශ කරමින් බහුජාතික සමාගම් වලින් කොමිස් ලබා ගැනීම ය. අතිගරු ජනාධිපතිතුමා ට කිසිවෙකු හෝ මේ බව දන්වන්නේ නැති බව නම් විශ්වාස ය. ඊට හේතුව නෑදෑ හිතමිත්‍රාදීන්ගෙන වෙන් ව දුරු රට ගොස් සිටිනා එතුමාට මෙහි කරදර ගැන කියා මනස අවුල් කිරීම නොකළ යුත්තක් නිසා ය. නමුත් එසේ කරනා ජරා ගති ඇති එකෙකු දෙන්නෙකු හෝ සිටිය හැකි ය. අතිගරු ජනාධිපති තුමා කෙසේ හෝ මේ බව දැනගත්තද මවුරටින් බොහෝ දුර සිටිනා බැවින් ද පාර්ලිමේන්තුවේ එකඟතාවය හදිසියේ ලබාගත නොහැකි හෙයින් ද එතුමා ට කළ හැකි කිසිවක් ද නැත. රජයේ ඇමතිවරුන් ද සිටින්නේ මේ මොහොතේ ඉතා ම අසරණ වි ය. ඊට හේතුව ජනතාව වෙනුවෙන් කරන්නට කිසිවක් නොමැතිවීම ය. අතිගරු ජනාධිපතිතුමා ලංකාවේ සිටියා නම් එතුමා ගේ උපදෙස් පරිදි කිසිවක් හෝ කරන්නට තිබුණත් දැන් කරන්නට දෙයක් නොමැත. මේ සියළු කාරණා දන්නා නිළධාරීන්, මේ හැම අසරණ කර කාළකන්ණි සතුටක් ලබනවාදැයි කිසිවෙකුට සිතෙන්නේ නම් එයට වැරැදි යැයි කිසිවෙකුට කිව නොහැක.

කෙසේ වෙතත් මේ හදිසි ආපදා තත්වය දැනගත් විගස අතිගරු ජනාධිපතිතුමා ගිය කාරණය අතරමඟ දමා හෝ එනු ඇත. ඉන්පසු සති දෙකක් ඇතුළත් ඉක්මන් වාර්තාවක් කැඳවනු ඇත. සති දෙකක් යනවිට ප්‍රභාකරන් නියමය ආකාරයටම අපට මේ සියල්ල අමතක වන නිසා මේ ගැන හැඟීමක් ඇති නොවනු ඇත. ඒ කාලය වනවිට මේ තත්වය අපට පුරුදු වී ඇති නිසා නැවත අත්‍යාවශ්‍ය බඩු මිල පහත හෙලා ජනජීවිතය අවුල් කිරීමට කිසිවෙකු කැමති නොවනු ඇත. මීට පෙරද අතිගරු ජනාධිපතිතුමා චීනයේ සංචාරය කරන අතරතුරේ දී නිළධාරීන් ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කළෝ ය. මීට පෙර භාණ්ඩ මිල ඉහළ ගිය අවස්ථා බොහෝමයකදී ද අතිගරු ජනාධිපතිතුමා සිටියේ රටින් පිටත ය. රටක මෙවැනි සංවේදී කාරණා, ජාවාරම්කාර නිළධාරීන් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. අතිගරු ජනාධිපතිතුමා ගේ ඉදිරි සංචාරයක් ඉලක්ක කර ගෑස් මිල ඉහළ දමන්නට මේ බහුජාතික සමාගම් වල ගැත්තන් වූ නිළධාරීන් සැරසෙන්නට ඉඩ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජීවත්වන ජනතාවක් ලෙසට මේවාට ඉඩදිය යුතු නැත. ඒ නිසා අප සියළු දෙනා එකා වන් ව ගෙන් අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ, අනේ අතිගරු ජනාධිපතිතුමනී ආයෙත් නම් පිටරට යන්න එපා කියා ය.

බැරැක් ඔබාමා, චීන ජනාධිපති හු ජින්තාවෝ, මන්මෝහන් සිං, ආදීන් හමුවීම අත්‍යාවශ්‍ය නම් ඔවුන් මෙහි ගෙන්වා ගත හැකි ය. ඒවා ඉතා ම ලේසි කාරණා ය. ඒ නිසා ජනාධිපතිතුමා අහිංසක අපගේ මේ ඉල්ලීමට කන්දෙනු ඇති බව අප උදක් ම විශ්වාස කරමු...

37 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හෙවත් ආත්මාරක්ෂාවේ නීතිය...


පුද්ගලික ආරක්ෂාව එහෙමත් නැත්තම් ආත්මාරක්ෂාව කියන දේ සම්බන්ධ නීතිය ගැන යමක් කියන්නයි හදන්නේ. අද රටේ තියෙන වාතාවරණයත් එක්ක බලද්දී නීතිය ගැන ඉගෙනගෙන නම් වැඩක් නෑ, කොහොමහරි අතපය එහාට මෙහාට වනන්න දැනගෙන හිටියානම් ඇති වගේ වුණත් කොයි එකටත් දැනගෙන ඉන්න එක හොඳයි මේ ගැන. සාමාන්‍ය ජනතාවට බලපාන මේ නීතිය කියන රාමුව ඇතුළේ ඉඳන් අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වේවි, මොකද මම කියන්න යනදේ අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට හරි ම වැදගත් නිසා. අපේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන දැනගන්න, එහෙම නම් කියවන්න මේ සටහන....

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ පහරදීමකදී පමණක්ද ?

සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් මේ ගැන දන්නේ පහරදීමක් ගැන කිව්වම විතරයි. නැහැ, ඒක වැරදියි. ශරීරයට සිදුකරන හානි වලදී ජීවිතය බේරාගැනීමට විතරක් නෙවෙයි දේපළ වලට කරන හානි වළක්වා ගන්නත් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ තමන්ගේ ජීවිත හානි/ දේපළ හානි වලක්වාගන්න විතරක්ද?

තමන්ට හැර වෙනත් පුද්ගලයෙකුට කිසිවෙකු විසින් පහරදීමක් හෝ දේපළ හානියක් කරන්නේ නම් එම අපරාධකරුවාට පහරදි ජීවිත/ දේපළ හානිය වළක්වන්න තවත් කෙනෙකුට හැකියාව තියෙනවා. වෙනත් කෙනෙකුගේ ජීවිතය අපරාධකරුවෙකුගෙන් බේරාගන්න, කාන්තාවක් ස්ත්‍රී දූෂණයකින් ගලවාගන්න, කෙනෙකුව බරපතල තුවාල කිරීමකින් බේරාගන්න, පිටස්තර පුද්ගලයෙකුගේ දේපළ සොරකමකදී දේපළ ආරක්ෂා කිරීමට (පිටස්තර පුද්ගලයා විශේෂයෙන් ආධාර නොඉල්ලුවද) බලය පාවිච්චි කරලා අපරාධකරු මෙල්ල කිරීමට සාමාන්‍ය පුරවැසියාට අයිතිය තියෙනවා.

රජයේ නිළධාරියෙක් විසින් අත්අඩංගුවට ගැනීමකදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය...

පොලිස් නිළධාරියෙකු හෝ හමුදා නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීමකදී හෝ රඳවාගෙන පහරදීමක් කරන අවස්ථාවකදී ඊට විරුද්ධ ව එම නිළධාරීන්ට පහරදීමට කිසිවෙකුට අයිතියක් නැහැ. මරණ බියක් හෝ බරපතළ තුවාල ඇතිවීමේ බියක් දැනුනද එම නිළධාරීන්ට පහරදීමට කිසිවෙකුට අයිතියක් ලැබෙන්නේ නැහැ.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් අපරාධකරුවෙකු මරාදැමිය හැකි අවස්ථා...

1. මරණීය පහරදීමක් සිදුවනවිට
2. බරපතල තුවාල සිදුවිය හැකි පහරදීමකදී
3. ස්ත්‍රී දූෂණයක් සඳහා තැත්කිරීමකදී
4. බලහත්කාරී ව අස්වාභාවික ලෙස කාමය සංසිඳවාගැනීමේ(සමලිංගික) ක්‍රියාවකදී
5. පැහැරගෙන යාමක් සිදුවනවිට
6. අයුතු ලෙස සිරකරගෙන සිටින අවස්ථාවකදී(නිදහස් කරගැනීමට රජයේ නිළධාරීන්ගේ සහය ලැබීමට ඉඩ නොමැති විට )
7. කොල්ලකෑමක් සිදුවනවිට
8. රාත්‍රියේ ගෙවල් බිඳීමක් සිදුවන විට
9. මනුෂ්‍ය වාසස්ථානයක් ගින්නෙන් හෝ පුපුරණ ද්‍රව්‍ය යොදා විනාශ කරනවිට

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් අපරාධකරුවෙකුට බරපතල තුවාල සිදුකළ හැකි අවස්ථා...

ඉහත අවස්ථාවලට නොවැටෙන සොරකම, අනර්ථය(අලාභහානි), සාපරාධී ඇතුළුවීම්, යන අවස්ථාවලදී අපරාධකරුවාට පහරදී ජීවිත සහ දේපල ආරක්ෂා කරගැනීමට සාමාන්‍ය පුරවැසියාට අයිතිය ඇත.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සඳහා වන සීමාවන්...

ඉහත සඳහන් කළ අවස්ථා සඳහා පමණක් …පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙනවා. වරදක් සිදුවීමේ කාර්යයක් ඇතිබවට සාධාරණව කල්පනා කළ හැකි තත්වයක් ඇති වූ විට …පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ආරම්භ වෙනවා. ඒ කියන්නේ අපරාධකරුවා ක්‍රියාත්මක වීමට පෙර ම වුණත් …පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරලා අපරාධකරුට පහර දෙන්න පුළුවන්. නමුත් අපරාධකරුගෙන් වෙන තර්ජනය පහ වුණ විගසින් ම, එහෙමත් නැත්තම් අපරාධකරු අඩපණ වුණ සැනින් ම පහරදීම නතර කරන්නෝන. මොකද සමහරවෙලාවට හොරෙක් ව එහෙම අල්ලගත්තම මැරෙනතුරු හැමෝම එකතුවෙලා පහරදෙන වෙලාවල් තියෙනවානේ. ඒ දේවල් නම් අනුමත කරන්න බැහැ. ඒ බව බැරිවෙලාවත් ඔප්පු වුණොත් අනියම් මිනීමැරුම් සඳහා චෝදනා එල්ලවීමේ හැකියාව තියෙනවා.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ගියවිට...

අපරාධය වැළැක්වීමට අවශ්‍ය වන අවම ප්‍රමාණයට වඩා බලය පාවිච්චි කළ විටදී හෝ ඒ ගැන පොලීසියට දැන්වීමට උවමනා තරම් අවකාශ තිබියදීත් එසේ නොකර සැකකරුවෙකුට පහරදී හෝ මරාදමා ඇති විටකදී එසේ පහරදෙන්නා/දෙන්නන් අපරාධ වරදක් සිදුකරයි. එසේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය අයුතු ලෙස භාවිතා කළ විටදී අනියම් මිනීමැරුම්/ බරපතල තුවාල සිදුකිරීම් වැනි චෝදනා වලට අධිකරණය මඟින් දඬුවම් නියම කිරීමෙ හැකියාව ඇත.

ප.ලි: සාමාන්‍ය නීතිය කියන විෂය මම ඉගෙනගන්න කැමතියි. ඒ ගැන ලියවිලා තියෙන පත්තර කෑල්ලක්වත් මම මම නොකියවා ඉන්නෙ නැහැ. කාමරේ මේසේ අස් කරද්දි දැක්කා අවු 6 ක් විතර පරණ පත්තර කෑල්ලක්. නීතීඥ අජිත් පෙරේරා මහත්තයත් එක්ක තිබුණ සාකච්ඡාවක් ගැන. මේ ඒ සංවාදය තමයි.
…එන්නට නොහැකි වුණත් සයිබරයේ සිහින අවුරුදු උළෙල සාර්ථක වේවා කියලයි මගේ පැතුම!

25 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !