WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම...



අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි කළේ... ගේම් ගහන්නනේ. හොස්ටල් එකේ කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් නෙට්වර්ක් කරගෙන Wulfenstein, Halo වලින් වෙඩි තියාගන්නවා, NFS වල කාර් පැද පැද ඉන්නවා, සමහර දවස් වල රෑ එකයි දෙකයි නිදාගනිද්දී.

කියාගෙන ආව එකෙන් පිටට ගියානේ, මේ Connectify කියන software එක ස්ථාපනය කරගත්තා ම ලේසියෙන් ම WiFi Hotspot එකක් හදාගන්න පුළුවන්. ඊටපස්සේ ඩොන්ගල් එකක් නැති යාළුවෙකුට අපේ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ලේසියෙන් ම සම්බන්ධතාවය ලබාදෙන්න පුළුවන්. Configuration කරගන්න පුළුවන් විනාඩියෙන්. ස්ථාපනය කළාට පස්සේ Hotspot name 1, Password එක දුන්නා ම task bar එකේ WiFi device පෙන්නන තැන (Notification Tray එකේ )Connectify පෙන්නනවා. එතැනින් ලේසියෙන් ම අන්තර්ජාල පහසුකම ලබාදෙන කෙනාගේ WiFi Hotspot එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕනෙත් නෑ. බලන්නකෝ ඔයාලත් කැමති නම් බාගත කරගෙන ම....

ප.ලි : Win 7 වෙන්නෝන OS එක. ඒ වගේ ම හැමෝටම WiFi තියෙන්නත් ඕන!

බාගන්න මෙතැනින්

14 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

කතන්දර - මී කතාවක්...



ඔන්න එකෝමත් එක රටක ගම ගෙදරක හිටියා ගමරාළ කෙනෙකුයි ගම වයිෆ් කෙනෙකුයි. දවසක් ගමරාළ ටවුන් එකට ගිහින් එද්දී ලස්සන කවරෙක දැම්ම පාර්සලයක් ගෙනාවා. වහලේ හිටිය මීයා මේ දිහා කෑදරෙන් වගේ බලාගෙන හිටියත් ගම වයිෆ් ඇවිත් පාර්සලේ කඩලා බැලුව ම තමයි මීයාට එලොව පොල් පෙනුනේ. පාර්සලේ ඇතුලේ තිබුණේ අළුත් ම අළුත් දිලිසෙන මී කතුරක්.

මේ අලුත් ම ගොසිප් එක ගමගෙදර හිටිය අනිත් සත්තු ත් එක්කත් බෙදාගන්න ඕන කියලා හිතුව සමාජ සේවයට ලැදි මීයා, ඉස්සර වෙලා ම ගියේ වත්ත පහළ කුණු ගොඩක් පහුරු ගාමින් හිටිය කුකුළා ළඟට. " ගමරාළ මී කතුරක් ගෙනල්ලා...ගමරාළ මී කතුරක් ගෙනල්ලා.." මීයා කෑගහලා කිව්වා. මියා දිහා යන්තම් බැලුව කුකුළා කිව්වා, "මී කතුරෙන් මට ඇති අනතුරක් නෑ උඹ පරිස්සම් වෙයං " කියලා.

ඊට පස්සේ මීයා ගියේ මඩ වළක බැහැලා හිටිය ඌරා ළඟට. "ගමරාළ මී කතුරක් ගෙනල්ලා..ගමරාළ මී කතුරක් ගෙනල්ලා..." මීයා කිව්වා. "සොරි මීයෝ මට දුකයි උඹ ගැන, ඒත් මම දෙවියන් ට කියන්නම් උඹව මී කතුරෙන් බේරලා දෙන්න කියලා " ඌරා කිව්වා එහෙම.

ඊළඟට මීයා ගියා වත්ත පහළ තණකොළ වමාරා කමින් හිටිය හරකා ළඟට. "ගමරාළ මී කතුරක් ගෙනල්ලා..ගමරාළ මී කතුරක් ගෙනල්ලා.." මීයා කෑගහලා කිව්වා. "ඒ ගැන නම් මට කරන්න දෙයක් නෑ, මොකද මට ඒකෙන් අනතුරකුත් නැති නිසා මට ප්‍රශ්නයක් නෑ..." හරකා කිව්වා.

යාළුවෝ කිව්ව කතා වලින් බලාපොරොත්තු කඩ වුණ මීයා තමන්ගේ ගුලට ගියේ කොහොමද මේ මී කතුරට ෆේස් කරන්නේ කියලා තනියම හිත හිත. එදා රෑ ගේ ඇතුලෙන් ලොකු සද්දයක් ඇහුණා, හරි... මී කතුරට ගොදුරක් අහුවෙලා. අවාසනාවට වගේ අහුවෙලා තිබුණේ සර්පයෙකුගේ වලිගේ. ඒක බලන්න කළුවරේ ම ආව ගම වයිෆ් ට තදවෙලා හිටිය සර්පයා දෂ්ඨ කළා. ගමරාළ ටක් ගාලා ගම වයිෆ් ව හොස්පිට්ල් අරන් ගියා. ගම වයිෆ් ට ටිකක් අමාරුයි. ඩොක්ටර්ස් ලා කිව්වා කුකුල් සුප් එකක් දුන්නොත් නම් වේදනාව ටිකක් අඩුවෙයි කියලා. ගමරාළ ඉක්මනට ගෙදර ගිහින් කුකුළා ව මරලා සුප් එකක් හදලා ගම වයිෆ් ට ගෙනත් දුන්නා.

ම්ම්හු... හරි ගියෙ නෑ. ඩොක්ටර්ස් ලා කිව්වා බලාපොරොත්තු තියාගන්න අමාරුයි, ගම වයිෆ් ව ගෙදර අරන් යන්න කියලා ඩිස්චාජ් කළා. මේ ආරංචිය ඇහුව ගමේ මිනිස්සු, නෑදෑයෝ ගමගෙදර පිරුණා ලෙඩා බලන්න. මේ මිනිස්සුන් ට කන්න දෙන්නත් එපැයි. ගමරාළ, ගෙදර හිටිය ඌරා ව මැරුවා. ටික දවසකින් දුක් විඳලා ගම වයිෆ් මැරුණා. ඊටපස්සේ මළගෙදර ට ගොඩාක් මිනිස්සු ආවා ගම වයිෆ් ට අවසන් ගෞරව දක්වන්න. මේ මිනිස්සුන්ට කන්න දෙන්න හරකාටත් ජීවිතේ පූජා කරන්න වුණා. තමන්ගේ යාළුවන් ට මේ සිද්ධ වුණ දේවල් මීයා ගුලේ ඉඳන් බලාගෙන හිටිය මීයා ඉබේටම ලොකු සුසුමක් හෙළුවා. අපිත් එක්ක එකට ඉන්න අයට මොනාහරි ප්‍රශ්නයක් වුණා ම ඒවා අපේ ම කියලා හිතලා විසඳගන්න උදව් නොකරන අයට මේවා හොඳ පාඩම් කියලා මීයා තනියම තමන්ටම කිව්වා!!

මට ආව ඊ මේල් එකක් දැකල තමයි කතන්දරයක් කියන්න හිතුණේ. ලෙක්චර් එකක් අස්සේ ලැබුණ පොඩි බ්‍රේක් එකකදි තමයි ඉක්මනට ටයිප් කළේ. මේ දවස් වල තත්පරෙත් මාර වටිනවා සෙමෙස්ටර් එකේ එන්ඩ් එක නිසා, ප්‍රොජෙක්ට්, එසයිමන්ට් ගොඩ ගැහිලා. දවල් රෑ නැතුව දුම් දාගෙන ඒවා කරන අස්සේ නිසා හොඳ ද මන්දා ඔන්න ඔහේ ලිව්වා. ඉතින් ඔයාලටත් ඉන්න එක එක ජාතියේ යාළුවෝ ගැන හරි කතන්දරේ ගැන හරි අදහසක් පහළින් ලියලා යන්න කැමති නම්!!!!

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ආයෙත් පටන් ගත්තා නේද බොන්න ???




" ආයෙත් පටන් ගත්තා නේද බොන්න????? මම කොච්චරවත් එපා කියලා තියෙනවද ඕවා බොන්න. තේරුම් ගන්න එපැයි ඕවා හොඳ නෑ කියලා හැමවෙලේම බොන්න. හැමදාම හවස් වෙද්දි බොනවා ඇඟේ අමාරුවට කියලා. අනේ මන්දා දැන් නම් හවස් වෙද්දී ඇඟේ අමාරුවක් තිබුණත් නැතත් බොන එක පුරුද්දක් වෙලා වගේ. ඔය විදියට බොන්න ගියොත් මොන ලෙඩේ හැදිලා නවතියි ද කියලා මට නම් හිතාගන්න බෑ..." එක දවසක හවසක අම්මා පොඩ්ඩක් කෑගහනවා ඇහිලා මමත් පොඩ්ඩක් කුස්සියට ඔලුව දාලා බැලුවා කාටද මේ කියන්නේ කියලා. " අනේ පුතේ ඔයාලාවත් කියලා බලන්නකෝ අප්පච්චිට ඔහොම බොන්න එපා කියලා" ඈ..... මටත් ටිකක් හොල්මං වගේ. මොකද අප්පච්චි සුරා සුදුවෙන් තොරයි කියලා මම දන්නවනේ හොඳටම! ඒත් ටිකකින් මීටර් වුණා මොනාද මේ කියන්නේ කියලා. " මම දවසක් හොරෙන් ඔය බෝතලේ හැංගුවා, ඒත් අප්පච්චි කොහොමහරි ඔය බෝතලේ හොයාගෙන මටත් බැන්නා " අම්මා තවත් දිගට කියනවා හිනාවෙවී...!

ඔයාලට හිතාගන්න පුළුවන්ද මොනා ගැනද මේ කියන්නේ කියලා??? ටිකක් අමාරුයි වගේ නේද? ආ.. එහෙනම් මම ම කියන්නම්කෝ. අපේ අප්පච්චි කාලෙක ඉඳන් පුරුදු වෙලා ඉන්නවා පොඩි අසනීපයක ලකුණක් හරි දැනුනු ගමන් පැනඩෝල් බොන්න. කොහොමහරි සතියකට පැනඩෝල් කාඩ් එකක් විතර ඉවර කරනවා මම හිතන්නේ. බෝතලේ කියලා කිව්වේ ඒ පැනඩෝල් දාලා තියෙන බෝතලේ. පැනඩෝල්, පැරසිටෝල් වගේ එක එක නම් වලින් පැරසිටමෝල් අඩංගු ඖෂධ වෙළඳපොලේ තියෙනවානේ. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා උණක්, හෙම්බිරිස්සාවක්, මස්පිඩු වේදනා, හිසරදය, දත් අමාරු, ඔය ගෑණු ළමයින්ගේ එක එක පුරස්න ... ආදී එකි මෙකී නොකී අමාරු සියල්ලට ම පැරසිටමෝල් අඩංගු පෙති වර්ග පාවිච්චි කරනවා වේදනා නාශකයක් විදියට.



පැරසිටමෝල් වල N(4-hydroxyphenyl) ඇසිටැමයිඩ් යන සංයෝගය අන්තර්ගත යි. සංක්‌ෂිප්තව Acetaminophen යනුවෙන් තමයි හැඳින්වෙන්නේ. පෙති, දියර, බින්දු වගේ එක එක විධි වලට එක එක ආකර්ෂණීය වෙළඳ නම් වලින් තියෙනවා. අපි බලමු කොහොමද මේ පැරසිටමෝල් වැඩ කරන්නේ කියලා.

පැරසිටමෝල් මඟින් මධ්‍ය ස්‌නායු පද්ධතියට අයත් මොළයෙහි (brain) ප්‍රොස්‌ටොග්ලැන්ඩින් (Prostoglandin) නමැති ජෛවරසායනිකය සැදීම නිශේධනය කරනවා. ඒ Cyclooxygenase නම් එන්සයිමය නිශේධනය කිරීම මඟින්. Prostoglandin වලින් තමයි වේදනාව දැනීම ත්, ශරීර උෂ්ණත්වය ඉහළ යෑමත් සිද්ධවෙන්නේ. ඒ නිසා පැරසිටමෝල් ගත්ත වෙලාවට වේදනාව දුරුවෙනවා වගේ ම උණ (Pyrexia) ගත්ත අවස්‌ථාවල දී ශරීර උෂ්ණත්වය ද පහත දමනවා. පැරසිටමෝල් මඟින් මොළයෙහි Prostoglandin නිපදවීම නිශේධනය කළ ත් පර්යන්ත පටකවල එම ජෛවරසායනිකය සැදීම නිශේධනය කරන්නේ නෑ. ඒ නිසා පැරසිටමෝල් මඟින් NSAID ඖෂධ වගේ ප්‍රදාහය (Inflammation) වළක්‌වන්නේ නෑ.

වෙනත් බොහෝ වේදනා නාශක ඖෂධ මඟින් ආමාශයේ ද Prostoglandin සැදීම නිශේධනය කරන බැවින් ආමාශයික වණ, හෝ එවන් වේදනාකාරී තත්ත්ව ඇති වුණත් පැරසිටමෝල් මඟින් ආමාශය වැනි පර්යන්ත පටකවල ප්‍රොස්‌ටොග්ලැන්ඩින් සැදීම නිශේධනය නො කරන නිසා ආමාශයික වණ හෝ උදරයේ අපහසුතා ඇති වීමක්‌ සිදු වෙන්නේ නෑ. ඒ නිසා පැරසිටමෝල් උදරයට සෞම්‍ය වූ වේදනානාශකයක්‌ කියලා කියන්න පුළුවන්.

නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගත්තා ම නම් අතුරු ආබාධ නැති තරම් ය. ඒත් කලාතුරකින්, සමේ පලු දැමීම හා වෙනත් ආසාත්මිකතා ලක්‌ෂණ ඇතිවෙන්න පුළුවන් සමහරුන්ට. පැරසිටමෝල් පොඩ්ඩොන් ට දෙන කොට නම් වෛද්‍ය උපදෙස් අනුව ම දෙන එක තමයි හොඳ ම. වැඩිහිටියන් ට උනත් දවසකට 2000mg ට වඩා ගන්න එක අනතුරුදායක වෙන්න පුළුවන්. එහෙම වුණොත් වමනයට එන ස්‌වභාවය හා වමනය, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අඩු රුධිර පීඩනය, දහඩිය දැමීම හා ඇඟ සුදුමැලි වීම වැනි ලක්‌ෂණ ඇතිවෙන්න පුළුවන් . අක්‌මා සෛලවලටත් හානි වීමේ හැකියාව තියෙනවා. කොහොමත් වකුගඩු සහ අක්මා රෝග තියෙන අය නම් හිතුමතේට පැරසිටමෝල් අඩංගු ඖෂධ ගන්න එක හොඳ නෑ. ඒ වගේ ම පැරසිටමෝල් දවස් තුනකට වඩා වෛද්‍ය උපදෙස් නැතුව ගන්නත් හොඳ නෑ. ඔන්න එහෙනම් බෙහෙත් බොන වෙලාවට ආයෙත් ටිකක් හිතන්න වෙයි!!!!

උදව් කළේ : විකිපීඩියා! ( විකිපීඩියා + SOPA සටනට ජයවේවා!!!! )

26 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Bootable CD දැන් කැලේ... !


ඉස්සර කාලේ, ඒ කිව්වේ දැනට අවුරුදු 10 කට කලින් floppy disk එකක අයිතිකාරයෙක් කියන්නේ හරිම ලොක්කෙක් විදියට තමයි අනිත් අයට පෙනුනේ. හික් හික්.. මම උනත් ඒ අය දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා තියෙනවා ඕන තරම්. මොකටද ආයේ බොරු කියන්නේ. ඒ නිසා ම සමහරු ක්ලාස් යද්දි පොත් අතේ අරන් යනවා වගේ අතේ අරන් ගියෙ ෆ්ලොපියක්. කෙල්ලන්ට පේන්න අරන් යන්නෙත් ෆ්ලොපියක්. සමහර විට ගෑණු ළමයි වුනත් හිතනවා ඇති අන්න වැඩකාරයා කියලා.

ඒ කතා කොහොම වුනත් ඒ කාලේ හැටියට ෆ්ලොපියේ 1.44 MB කියන්නේ සෑහෙන ධාරිතාවයක්. ෆ්ලොපියෙ වුනත් එක එක සයිස් තියෙනවානේ 5 1/4, 3 1/2 එහෙම කියලා. ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නෙත් ඒ වගේ එකක් තමයි! සමහරු නම් දැකලත් නැතුව ඇති. Bootable ෆ්ලොපියක් තියෙනවා නම් ඒ කාලේ හරි වටිනවා. මට මතක විදියට ඒ කාලේ වුනත් රු 50/= විතර තමයි වුණෙත්. ටික කාලයක් යද්දී ඒ කියන්නේ bootable CD එහෙම ආවම ෆ්ලොපියට තිබුණ තැන නැතිවෙලා අන්තිමට floppy drive එකට system unit එකෙනුත් එළියට යන්න වුණා.

ඊටපස්සේ OS එකක් එහෙම දාන්න ඕන වුණා ම/ format කරන්න එහෙම ඕන වුණා ම ඒකට bootable DVD එකක් ගත්ත එක තමයි කළේ. දැන් ඉතින් ඒකටත් සමුදෙන්න කාලය ඇවිත්. සමහරු නම් මේක දැනටමත් පාවිච්චි කරනවත් ඇති. බලමුද එහෙනම් අපි හැමෝම දන්න pen එක එහෙමත් නැත්තම් Flash drive එක bootable කරලා Windows 7 install කරන්න. මේකට ඕන කරන්නේ OS එකේ .iso එහෙමත් නැත්තම් image file එකක් සහ 4 GB විතර හිස් පෙන් ඩ්‍රයිව් එකක්. . මේකට පොඩි ටූල් එකක් ඕනවෙනවා Windows 7 USB/DVD download tool එක. මේක Microsoft විසින් නොමිලේ දෙන tool එකක්. ඒක මෙතනින් බාගත කරගෙන ඔයාගේ machine එකට install කරන්න. ……

ඉස්සරවෙලා ම එන ඩයලොග් බොක්ස් එකේ තියෙන්නේ ඔයාගේ .iso file එකේ location එක දෙන්නයි.




ඊළඟට අපේ booting media එක තෝරන්න ඕන. අපි USB නිසා USB device දෙන්න.



දැන් ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක පෙන්නනවා. ඒකට අර .iso file එක copy වෙන්න Begin විධානය දෙන්න.



ඔන්න කොපි වෙනවා. දැන් තියෙන්නේ එහෙනම් වැඩේ ඉස්සරහට කරගෙන යන්න.

ප.ලි: ඉස්සර කාලේ CD-ROM එකේ bootable cd එකක් තිබ්බ ම ඒක first boot device එක විදියට ගන්නවා වගේ ම දැන් එන අළුත් machine වල ගන්නේ ඒ වෙනුවට USB Port එකයි.

කොහොමත් CD එකකින් boot වෙනවට වඩා ඉක්මනට මේ විදියට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා bootable CD/DVD හොය හොය දැඟලුව කාලේ ඉවරයි. මොනාහරි ප්‍රශ්නයක් නම් කියන්නකෝ . වැඩේ ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මොනාහරි කොටලා ම යන්න පහළින්!!!

42 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මුලින් ම වෙඩි තබා ඇත්තේ බ්‍රිතාන්‍ය.....




පසුගිය දෙසැම්බර් මාසයේ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය මුළුමනින්ම අනාවරණය කරගැනීමට ඒ සඳහා යෙදවූ විශේෂ පොලිෂ් කණ්ඩායම සමත් වී ඇත. රජයේ ඉලක්කය වී තිබුණේ 2016 වන විට මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් කරගනීමයි. සංචාරක ව්‍යාපාරය සඳහා එවැනි තත්වයක් පවතිද්දී එයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් බවට එම මරණය, බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. මන්ද යත් එයට ප්‍රාදේශීය දේශපාලඥයෙකු සම්බන්ධ බවට බොහෝදෙනා සැක කළ බැවිනි.
…
සිද්ධිය මුලින් ම වාර්තා වී තිබුණු ආකාරයට එම හෝටලයේ පැවති වාර්ෂික නත්තල් සාදය සඳහා අදාළ විදේශිකයා, ඔහුගේ පෙම්වතියත් අදාළ ප්‍රාදේශීය දේශපාලඥයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිට ඇත. එහිදී ඇති වූ යම් සිද්ධියක් මත අවසානයේදී එම විදේශිකයා වෙඩී වැදී මියගොස් සිටි අතර ඔහුගේ පෙම්වතිය බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කෙරිණි. මුලින් ම බොහෝ දෙනා සැක පළ කර සිටියේ (සාක්ෂි ලබා දුන්නේ )ප්‍රාදේශීය දේශපාලඥයා ඇතුළු පිරිසක් ඔහුට පහර දී වෙඩි තබා මරා දමා ඇති බවයි. පසු ව මේ සිද්ධිය දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර මේ කාලයේදී වෙනදාට සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන තංගල්ල වෙරළ තීරය දැඩී පාළු ස්වභාවයක් ඉසිලීය. දකුණේ වූ බොහෝ සංචාරකයන් තම සංචාර අවලංගු කර සිය රටවල් බලා යනු දැකිය හැකි විය. මෙය ජාත්‍යන්තර වශයෙන් (අප)කීර්තිමත් සිද්ධියක් නිසා ම මෙම සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිෂ් කණ්ඩායමක් යොදවා තිබුණි.

එම විශේෂ පොලිෂ් කණ්ඩායම සිදු කළ විද්‍යාත්මක සාක්ෂි විමසීම වලට අදාළව සිද්ධිය මුළුමනින්ම හෙළි කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණි. සිද්ධිය සිදු වී ඇත්තේ මෙසේයි. මරණයට පත් වූ විදේශිකයා සවස සිට ම මත්පැන් පානය කරමින් සිට ඇති අතර පදමට මත් වී සිටි ඔහු ඉතාමත් අසභ්‍ය ලෙස සිය පෙම්වතියට විහිළු තහළු කර ඇත. එසේ නොකරන ලෙස මෙම සිද්ධිය බලා සිටි ප්‍රාදේශීය දේශපාලඥයා ඔහුට අවවාද කර ඇති අතර අවසානයේ දී ඔහු සිය පෙම්වතියට පහර දීමට පටන්ගෙන ඇත. සිය බල ප්‍රදේශයේ දී මෙවන්නක් සිදු වීම ඉතා අයහපත් බව සැලකූ එම ප්‍රාදේශීය දේශපාලඥයා සහ ඔහුගේ මිතුරන් එය වැලැක්වීමට උත්සහ දරා ඇත. මෙයින් ලැජ්ජවට සහ කෝපයට පත් විදේශිකයා සඟවාගෙන තබාගත් ගිනි අවියක් රැගෙන සිය දිවි හානි කරගෙන ඇත. හෙතෙම එම ස්ථානයේදී ම මරණයට පත් වී තිබූ අතර එම සිද්ධියෙන් කම්පනයට පත් වූ ප්‍රාදේශීය දේශපාලඥයා රෝහල් ගත කර ඇති අතර පෙම්වතා පහර දීමෙන් තුවාල ලත් විදේශික තරුණිය ද රෝහල් ගත කර ඇත.

මෙහිදී ගිනි අවිය සඟවා තබා ගත් එක විදේශිකයා ඔස්සේ පුළුල් පරීක්ෂණ සිදු කළ පොලිශ් කණ්ඩායම අනාවරණය කරගත්තේ ඔහු බ්‍රිතාන්‍ය පුරවැසි බව ලබාගත් ඊශ්‍රායල් ජාතිකයෙකු බවටයි. ගිනි අවි පරිහරණයේ දක්ෂයෙකු වූ ඔහු ඇතැම් විට ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නට ඇති බවයි සැක කරන්නේ. ඊට හේතුව මේ දිනවල ඇති වීමට යන ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේ දී ඒ සම්බන්ධ ව මෙරට හැසිරීම නිරීක්ෂණය කර වාර්තා ලබා දීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තොරතුරු ලැබී ඇති බැවිනි. මන්ද යත් ඉරාන-ඊශ්‍රායල් ගැටළුවේ දී මෙරට ඉතා තීරණාත්මක කාර්යභාරයක් කරන්නට ඉඩ ඇති බැවිනි.

විශේෂයෙන් ම දිවා රෑ වෙහෙසෙමින් අප රටට එරෙහිව සිදුවන්නට ගිය මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණය හෙළිකරගත් විශේෂ පොලිෂ් කණ්ඩායමට ජාතියෙ උපහාරය නිමි විය යුතු ය. මෙහිදි සිය වගකීම නොපිරිහෙලා ඉටු කළ අදාළ ප්‍රාදේශීය දේශපාලඥයා ගැන සටහනක් නොතැබුවහොත් එය අඩුපාඩුවක් විය හැක. නත්තල් රාත්‍රිය සිය නිවසේ අඹු දරුවන් සමඟ සතුටින් ගතකළ හැකි ව තිබියදීත් එම අවස්ථාව පසෙක ලා සිය බල ප්‍රදේශයේ දිවා රෑ නොබලා ඇවිද යමින් ගැටළු වලට පිළියම් ලබා දෙමින් ඔහු කර ඇති සේවය ප්‍රශංසනීය ය. තම නින්ද කැප කරමින් තම ජනතාවට සුබ රාත්‍රියක් ලබා දීම ට වෙහෙසෙන, නායකයෙකු ලෙස සැබෑවට ම ආදර්ශ ලබා දෙන මෙවැන්නන් ගැන ඔවුන් ඡන්දය ලබා දුන් ජනතාවට සැබැවින් ම ආඩම්බර විය හැක. ඒ මෙවන් දක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය දේශපාලඥයන් තවත් සිය දෙනෙකු රටට සිටියා නම් මෙරට සංවර්ධනය කර සුරපුරක් කිරීම කජ්ජක් දැයි සිතෙන තරමට ම ඔවුන් ලැබෙන වගකීම ඉටු කරන නිසා ය !!!!!!!!!!!


ප.ලි : මෙහි දැක්වෙන සියලු සිද්ධි හා චරිත හුදු මනංකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න...

20 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !