ඒ කාලේ දඹදිව තිබුණ රජ සිරිත තමයි අළුතින් කුමාරයෙක්/ කුමරියක් ඉපදිලා ටික දවසකින් උත්සවයක් පවත්වන එක නමක් තියන්න. ඒකට ආරාධනා ලැබෙන්නෙත් බොහෝ උගත් වියත් බ්‍රාහ්මණයන්ටයි. ඉතින් බෝසතාණන් වහන්සේත් තුසිත දිව්‍යලෝකයෙන් චුත වෙලා මහා මායා දේවියගේ කුසින් ඉපදුණාට පස්සෙ සුද්ධෝදන පිය රජතුමාත් කුමාරයාට නමක් තියන්න උත්සවයක් සූදානම් කළා. මේ උත්සවයට බ්‍රාහ්මණයන් 108 දෙනෙක් ඇවිත් හිටියා. මේ හැමෝම කුමාරයාගෙ අංග ලක්ෂණ පරීක්ෂා කරලා කිව්වේ මේ කුමාරයා අනාගතයේදි රජ වුණොත් සක්විති රජ වෙන බවත් එහෙම නැතිනම් මහණ වුණොත් උතුම් ශාස්තෲ කෙනෙක් වෙනවා කියලයි. ඊට එහා කතන්දරේ හැමෝම දන්නවනේ. අද කියන්න යන්නෙ කවුද මේ සක්විති රජ කෙනෙක් කියලා කියන්නෙ කියලයි.
අර මුලින් ම සිද්ධියේදි බ්‍රාහ්මණයෝ කොහොමද හරියටම කිව්වේ අරවගේ අනාවැකි දෙකක්? එහෙම කිව්වේ කුමාරයා ගේ අංග ලක්ෂණ එහෙමත් නැත්තම් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරලයි. මහා පුරුෂ ලක්ෂණ 32ක් කුමාරයාගෙන් දකින්න ලැබුණු නිසා තමයි ඒ බව හරියට ම කිව්වේ. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වගේම සක්විති රජ කෙනෙකුටත් මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටනවා. එතකොට කොහොමද සාමාන්‍ය රජ කෙනෙකුගෙන් සක්විති රජ කෙනෙක් වෙනස් වෙන්නෙ? සක්විති රජ බවට පත්වෙන්න නම් මහා පින් බලයක් තියෙන්න ඕන. ඒ වගේ ම රජ කෙනෙක් සක්විති වත් සම්පූර්ණ කළාට පස්සෙ තමයි සක්විති රජ කෙනෙක් බවට පත්වෙන්නෙ. එතකොට මොනවද මේ සක්විති වත් එහෙමත් නැත්තම් පුරන්න ඕන චාරිත්‍ර? ඒවා තමයි...
(1). "ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කළයුතු ය"
(2). "බලසෙනගද, ධාර්මික ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණ ගෘහපතීන්ද, සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්‍ෂා පිළියෙල කළයුතු ය"
(3). "නිගම ජනපද වාසීන්ද, මහණ බමුණන්ද, සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්‍ෂා කළයුතු ය".
(4). "සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කළයුතු ය"
(5). "සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය ලබාදීම කළයුතු ය"
(6). "සිය රටෙහි රාගාදිය දමනය කළ, සමනය කළ, විනාශ කළ යම් මහණ බමුණෙක් වෙත්ද, ඔවුන් කරා කලින් කල පැමිණ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුය. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුය"
මේ සක්විති වත් සම්පූර්ණ කරනවාත් සමඟ ම රජතුමාට මාණික්‍යරත්න හතක් පහල වෙනවා. ඒ වගේ ම සක්විති රජතුමාට ම සුවිශේෂ වුණ ලක්ෂණ හතරකුත් තියෙනවා. මෙහිදී මාණික්‍යරත්න කියන්නෙ මැණික් ම නෙවෙයි, ඒ හා සමාන වටිනා දේවල් කියන අදහසින්. මේ මාණික්‍යරත්න හත තමයි චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය සහ පරිණායක රත්නය. මේවා මොනවද කියලත් මම කෙටියෙන් කියන්නම්කෝ.
චක්‍රරත්නය කියලා කියන්නෙ කරකැවෙන මැණිකක් වගේ දෙයක් කියලයි කියන්නෙ. මේ චක්‍රරත්නය පහළ වුණාට පස්සෙ රජතුමා සිල් සමාදන් වෙලා චක්‍රරත්නයට පැන් වඩනවා. එතකොට චක්‍රරත්නය කරකැවෙමින් ගමන් කරන්න පටන්ගන්නවා. ඒත් එක්ක ම රජතුමා තමන්ගේ චතුරංගනී සේනාවත් එක්ක මැණික පසුපස ගමන් කරනවා. මේ චක්‍රරත්නය උතුරු දිශාවට ගමන් කරනවා නම් ඒ දිශාවේ ඉන්න රජවරු ඇවිත් සක්විති රජතුමාට මෙහෙම කියනවා "මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි" කියලා. එතකොට රජතුමා මේ විදියට අවවාද කරනවා. "ප්‍රාණවධ නොකළ යුතුයි. හොරකම් නොකළ යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්" ආදී වශයෙන්. ඉතින් රජවරු ඒ අවවාද පිළිගන්නවා. ඒ අනූව රාජ්‍ය පාලනය කරනවා. මේ විදියට ම අනිත් දිශාවන් වල ඉන්න රජවරුත් සක්විති රජතුමාට අවනත වෙනවා මේ චක්‍රරත්නයේ ආනුභාවයෙන්. අවසානයේ සාගරය මායිම් කරලා තියෙන මේ මුළු භූමිය ම සක්විති රජතුමාගේ අණසකට යටත් කරලා චක්‍රරත්නය නැවතත් සක්විති රජතුමාගේ මාළිගාවට ම එනවා.
එකදිගට ම ලියාගෙන ගියොත් කියවන්නත් එපාවෙයි කියලා හිතුණ නිසා කොටස් දෙකකට කඩනවා ඔන්න. ඉතිරි ටික ඊළඟ කොටසින්. අද ඉඳන් මේ ඇරඹෙන්නෙ විශේෂ සටහන් මාලාවක්. මේ ඒකේ පළමුවෙනි කොටස. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු දහයකට අඩු වෙලා ආයෙත් ආයුෂ අවුරුදු 80,000 ක් දක්වා වැඩිවෙන මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන දැනගන්න පුළුවන් ලාහිරු දහසක් දිලී...එක්ක දිගටම රැඳිලා හිටියොත්! මේ සටහන ලියන්න මනසේ ඇදි සිතුවම් සහ උතුම් ශ්‍රී සද්ධර්මය
අඩවි ත් උදව් වුණා. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරන ගමන් ම ආරාධනය මේ සමඟ දිගටම රැඳී ඉන්නයි...
43 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !