කාලයේ වැලි තලාවෙන් වැසී ගිය උතුම් මැණික...


සාමාන්‍යයෙන් අපි කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම ගැනනේ. රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුටක්/ ආශ්වාදයක් ලැබීම ආදී දේ ගැන තමයි අපි සාමාන්‍යයෙන් ජීවිත කාලය ඇතුළත මහන්සි වෙන්නෙ. ඒ අය අතරට මේ කියවන ඔබත් ලියන මමත් අඩුවැඩි විදියට ඇතුළත්. කෙටියෙන් ම කියනවනම් ගිහි පැවිදි බොහෝ දෙනා කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. ඒ අතරෙදි කෙනෙක් පව් කරලා සතර අපායට යන අතරතුර තවත් කෙනෙක් පින් රැස් කරලා සුගතියට යනවා. මෙහෙම වෙන හැටි, මේ චක්‍රය ලෝකයට එළිදරව් කරන්නෙ උතුම් වූ බුදුවරයෙක් ම විතරයි. ඒ නිසා මේ සටහන ඇයි බුදුවරයෙක් ලෝකයට පහළ වෙන්නෙ කියන එක ගැනයි කියන්නයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් එය මැනවින්, පැහැදිලි වෙනවා. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට උන්වහන්සේ පාවිච්චි කළා විශේෂ නමක්. ඒ තමයි ධර්ම චක්‍රය. පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පවත්වා වදාළා. එය ලෝකයේ ශ්‍රමණයකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයකුට හෝ කිසිවෙකුට හෝ නැවත වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙනුයේ චතුරාර්ය සත්‍ය ධර්මය යි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන ශ්‍රාවකයෙක් සිටියා. ඒ තමයි උතුම් වූ රහතන් වහන්සේලා අතුරින් අග්‍ර ම වෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස භාග්‍යවතුන්වහන්සේ ම හඳුන්වා දී තිබුණා.

ධම්මචක්කපවත්තන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම යි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන් පළමුවෙන්ම සෝතාපන්න වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගන්න ලැබුණා ඒ පස්වග හිමිවරුන්ටත්. ඒ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙන්.

ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන අනිකුත් ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ බිහිවුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘මහණෙනි, ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කර ගන්නට නොහැකි වීමෙන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අප දැන් අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා. එනිසා පින්වත් මහණෙනි, ධර්ම චාරිකාවේ වඩින්න. දෙනමක් එක මඟ වඩින්න එපා. ධර්ම චාරිකාවේ යෙදිලා මුල, මැද, අග කල්‍යාණ වූ මනා ප්‍රකාශයෙන් යුක්ත වූ අර්ථ සහිත වූ පිරිසුදු නිවන්මඟ දේශනා කරන්න. මෙයයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කළ අනුශාසනාව. රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා.

එයින් අපට පැහැදිලියි, චතුරාර්ය සත්‍ය දේශනා කරගෙන යාමෙන් පමණයි, මේ ධර්මය අවබෝධ කර ගන්නා ශ්‍රාවකයන් පහළ වන්නේ කියා. එම ධර්මය දේශනා කළේ නැත්නම් අවබෝධ කර ගන්න හැකියාව තිබෙන අයත් පිරිහිලා යන්න පුළුවන් බව. බුදුන් වහන්සේගේ අනුශාසනාවේ සඳහන් වනවා ඉතාම පැහැදිලි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසම බව. වෙන කිසිම දෙයක් සඳහා බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වන්නේ් නැහැ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශාසනයේ තමයි පළමු වන, දෙවන, තුන්වන, හතරවන ශ්‍රමණයන් සිටින්නේ. බාහිර සියලු ශාසන ශ්‍රමණයන්ගේන් හිස්, ශ්‍රමණයෝ නැහැ කියලා. මෙහි පළමු ශ්‍රමණයා කිව්වේ සෝතාපන්න වූ තැනැත්තාටයි. දෙවැනි ශ්‍රමණයා ලෙස සඳහන් කළේ සකෘදාගාමි වූ තැනැත්තාටයි. තුන්වැනි ශ්‍රමණයා අනාගාමි වූ තැනැත්තායි. හතරවැනි ශ්‍රමණයා රහතන් වහන්සේ යි. එහෙම නම් පැහැදිලි යි මේ සියලු මාර්ගඵල ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මිස වෙන කිසිම දෙයකින් නොවන බව. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කිරීමට පමණයි.

ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සීල, සමාධි යන ප්‍රතිපත්ති මේ ලොකේ සොයාගන්නට නැතිතරම්. එයට හේතුව තමයි සීලය කියන්නේ ආර්ය මාර්ගයේ මාර්ග අංගයක් වීම. සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පමණයි පරිපූර්ණ දේශනාවක් කරන්නේ. බුදුවරු ලොව පහළ වී නැති කාලවලදී සීලය හැටියට ලොව තිබූ ප්‍රතිපත්ති දීඝ නිකායේ දේශනාවල සඳහන් වෙනවා. අවුරුදු ගණන් කතා නොකර සිටීම, පිණ්ඩපාතයේ වැඩිය විට ගැබිණි මවු දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, කිරිදෙන මවක් දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, දානය පූජා කරන ස්ථානයේ බල්ලන් වැනි සතුන් සිටියොත් ඒ දානය ප්‍රතික්ෂේප කිරීම වැනි ප්‍රතිපත්ති තමයි, බුදුරදුන්ට පෙර යුගයේ සීලය යනුවෙන් හඳුන්වා තිබුණේ.

භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වනවිට මනාකොට සීලය ගැන දන්නා කෙනෙක් ලෝකයේ සිටියේ නැහැ. එයින් පැහැදිලියි අබුද්ධෝත්පත්ති කල සීලය ප්‍රකාශ නොවන කාලයක් බව. බුද්ධ කාලයේ ලැබෙන දුර්ලභම දේ තමයි දිගින් දිගටම යන සංසාරේ ගමන් කරන සත්ත්වයාට සතර අපායේ වැටි වැටී ගමන් කරන සත්ත්වයාට එයින් මිදිලා නිවන් මඟට පැමිණිලා සදාකාලික රැකරණය ලබන්න පුළුවන් වීම. මෙය ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.

කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා.

තවමත් අපිට උතුම් වූ ශ්‍රී සද්ධර්මය තිබෙන නිසා තවමත් කෙනෙකුට සසරින් එතෙර වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී එයින් ප්‍රයෝජන ගැනීමට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් මේ උතුම් නිකිණි පෝය දවසේ ඇතිකරගනිමු!!!

නිකිණි පුර පසළොස්වක පෝය දිනය, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම වගේ කරුණු නිසා අපට වැදගත් වෙනවා.(E කොළම)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ ගේ දේශනාවක් ඇසුරින් තමයි මේ සටහන.

පසුවදන: කොයිතරම් බිසී වෙලා හිටියත් පෝ දින විශේෂ සටහන නොදා ඉන්නෙ කොහොමද? ඒ වුණත් අයෙමත් සති කිහිපයක විරාමයක් ගන්නවා මං !!!!

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

එක හිත නැති මගේ හිතත්...


අපිට කිසිම දෙයක් ගැන එක හිතක් නැත්තම් මොකද වෙන්නෙ? හිත ඔහේ ඈතට ඈතට පාවෙලා යාවි නේද? විසිරිලා වල්මත් වුණ හිතට කවදාවත් හරියට වැඩක් කරන්න පුළුවන්කමක් නැහැනේ. එහෙම හිත අයාලෙ යන්න පුරුදු වුණොත් ලේසි දෙයක් නෙවෙයි ආයෙමත් එක තැනකට ගන්න ක. ඒ කියන්නෙ මොන ම දෙයක් ගැනවත් ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම් කිසි ම දෙයක් හරියට කරගන්න බැහැ. උදාහරණයක් විදියට එක්සෑම් එකට පාඩම් කරන නංගිලා මල්ලිලාට ඒ ගැන හිතලා එක හිතකින් පාඩම් කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් ම හතරවෙනි වතාවටත් ඒ ලෙවල් කරන්න වෙනවා... රැකියාවක් කරන කෙනෙකුට වුණත් ඒකේ පරමාර්ථය අමතක වුණොත්, වෙන දේවල් කර කර හිටියොත් ඊළඟ දවසෙ ගෙදර නවතින්න වෙනවා (රාජ්‍ය අංශයෙ හෙම නෙවෙයී). මේ ගැන පොඩි කතාවක් තියෙනවා, කියවලා ම බලන්නකෝ!!!

ඒ කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. ඔහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. ඒ ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුණා. හැබැයි ඒ පැහැදීම ඇතිවුනේ නුවණින් මෙනෙහි කරලා නම් නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. ඒ වුණත් මේ ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇති වුණ හින්දා දවසක් මේ බව ගෙදරත් කියලා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවලා තමයි ගියේ. ඉතින් ගොවියා භික්ෂුන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.

පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුනා. බිරිඳ ව මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුනා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නුපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා.මොහු තුළ අකුසල් වැඩුනා. එය ප්‍රහාණය කිරීම සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් ගොවියා තුළ තිබුණේ නැහැ. භාවනා කරන්නට වාඩි වු විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුනා. බිරිඳ මතක් වුනා. පංච කාමය මතක් වුනා.අරතිය වැඩි වුනා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා.ගොවියා රහසේම සිවුරු හැර උදැල්ලත් අරන් ගෙදර ගියා.

පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැකලා බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දීලා උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට ගොවියා ආයෙමත් කළකිරුණා. ර්‍නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද කියලා නැවතත් උදැල්ලත් අරන් පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ට ගිහින් පැවිදි වුණා.

ටික කලක් ගතවුනා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුනා. බිරිඳගේ ආදර බස් මතක් වුනා. “අනේ.... මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා.... ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම්...”. මේ භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුනේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුනේ නෑ. අවස්ථානුකුලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුනෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුනා.හොරෙන්ම පිටත් වුනා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ.ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදු වුනා. ”නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි.” කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා.

වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංඟුවා.ආයෙමත් පැවිදි වුනා. පැවිදි වුන මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත් ඒ ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා.” මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද ඒ ගැන අමතුවෙන් කලකිරෙන්නෙ?” ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුනා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.

දිනක් කුඹුරට ගිහින් නිවසට එද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුනා. කට ඇරිලා තිබුනා.කුණු කෙල වැගිරෙමින් තිබුනා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුනා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇති වුනා.“මේ උදලු කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලු කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඩේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලු කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ටමට ඕන කමක් නැහැ.” කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා ගොවියාට මහ සතුටක් ඇති වුනා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුනා. ගොවියා වසඟ වු සිතටම හසුව හිටිය කෙනෙක් නිසා චිත්තහත්ථ යන නම පටබැඳුණා.

ගොවියාට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඩගත්තා. ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා.ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා.චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි... දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද...?” කියලා ඇසුවා. ”ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ.” කියල පිළිතුරු දුන්නා.මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන ශ්‍රද්ධාව තිබුනොත් ප්‍රඥාව වැඩෙන්නෙ නැති බවයි. ඒ සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා.කාම අරමුණු වලින් ඇතිවෙන රාගයෙන් සිත තෙමා නොගත්, පින් පව් ප්‍රහාණය කළ නිදි වරමින් භාවනා කරන රහතන් වහන්සේ කෙනෙකුට කිසි දිනෙක කෙලෙසුන් බයක් හටගන්නේ නැහැ කියලා දෙවන ගාථාව වදාළා.

අනවට්ඨිතචිත්තස්ස - සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස - පඤ්ඤා න පරිපුරති

සසරෙන් එතෙර වීමට - නොපිහිටන විට මේ සිත
ඒ උතුම් සිරි සදහම් - තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතක් නොමැතිව - මහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනක - නැත නුවණ දියුණු වන්නේ

අනවස්සුතචිත්තස්ස - අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස - නත්ථි ජාගරතෝ භයං

කෙනෙකුගේ සිත තුළ - නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලක - පහර කන සිත් නැති විට
පින් පව් හැමදෙයම - දුරු කළ සිතින් සිටිනා
නිදිවරන ඒ රහතුන් - කිසිදිනක තැති නොගනිති

උපුටා ගැනීම : අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - චිත්ත වර්ගය
( අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ )

පසු වදන : මේ දවස්වල ටිකක් නෙවෙයි හොඳටම කාර්යබහුල වෙලා ඉන්නෙ. නිවාඩු පාඩුවක් ඇත්තෙම නැති තරම්!!! පස්සෙ කියන්නම්කෝ ඇයි කියලා!

39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සුප්‍රසිද්ධ වර්ණපාල තියරිය...



සාමාන්‍යෙන් කැම්පස් ඉන්න, හිටපු අය නම් මේ ගැන හොඳටම දන්නවා, සමහරු නම් පාවිච්චි කරලත් ඇති. කැම්පස් නොයන, නොගිය හරි යන්න බලාගෙන ඉන්න අයට දැනගන්නත් එක්කලා වර්ණපාල තියරිය කියන්නයි මේ හදන්නේ. මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා. ඒ කියන්නෙ මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් හොඳද. ළඟදි දවසක පත්තරේක එතුමත් එක්ක තිබුණු සාකච්ඡාවක් දැකලා තමයි මේ කතාව මතක් වුණේ.

වර්ණපාල මහත්තයා ඇහැට කනට පේන කොල්ලා කාලෙ, පේරාදෙනිය කැම්පස් ‍එකේ තමයි ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු (හික්ස්... බයට වෙන්න ඇතිනේ!). කොහොමහරි එක එක විදියෙ උපක්‍රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්... කෙල්ල නෙවෙයි කැමතිවුණේ. ඒ හැම සැරේකදිම ලැබුණු උත්තරේ වුණේ " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

හෙහ්.. ඒත් වර්ණපාල නෙවෙයි උත්සහය අතෑරියෙ. ඔන්න ඔය සිද්ධිය තමයි වර්ණපාල තියරියට පදනම වෙන්නෙ. ඉතින් වර්ණපාල කරපු වැඩේ තමයි මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම තනියම " වර්ණපාල .. හීහී වර්ණපාල .. හූ හූ වර්ණපාල " කියලා අර ගෑණු ළමයාට ඇහෙන්න කෑගහනවා. තව වර්ණපාලගෙ යාලුවෝ දෙතුන්දෙනෙකුට කියලත් මේ වැ‍ඩේම කෙරෙන්න සැලැස්සුවා. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැහැලු. එහෙම කියලා වර්ණපාල වැඩේ අතෑරලත් නැහැ, ගෑණු ළමයා යන යන තැන කෑගහනවලු. මේ කියන ගෑණු ළමයා යන්නෙ එන්නෙත් වර්ණපාල ඉන්න හොස්ටල් එක ළඟින්ලු. ඉතින් ගෑණු ළමයා එද්දි වර්ණපාල වැට අස්සෙ හැංගිලා යාළුවෝ කෑගහන විදියට කියනවලු "ආ... වර්ණපාල!!! අන්න වර්ණපාලගෙ කෙල්ල යනවෝ/ ඔය යන්නෙ වර්ණපාලගේ කෙල්ල නේද හී හී.. ආව් ආව් " කියලා. ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ ගෑණු ළමයාගෙ නමයි එකට දාලා පෝස්ටරයකුත් ගහලා. ඒ අතරෙදි අර හැමතැනදිම කෑගහන වැඩෙත් අතෑරලා නැහැ. ටික කාලයක් යද්දි කැම්පස් එක පුරා ම ප්‍රසිද්ධ වුණේ ඒ ගෑණු ළමයා වර්ණපාලගේ පෙම්වතිය විදියට. අන්තිමේට වර්ණපාලත් එක්ක යාළු නොවී බැරිතැනටම ආවලු. ගෑණු ළමයාට මේක මහා කරදරයක් වෙලා තිබුණත්, අන්තිමේට ටිකෙන් ටික වර්ණපාල ගැන හිතේ ඉඩක් වෙන්කරගන්න වුණාලු!!!!

කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ. "වර්ණපාලගේ තියරිය" විදියට හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේක තමයි. වර්ණපාල කොහොම හරි පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කියන ගෑණු ළමය ම තමයි...ඒ කියන්නේ ආදරණීය බිරිඳ වුණෙත් ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයමයි!!!

පසුවදන : දැන් ඉතින් කස්ටිය වර්ණපාලගේ තියරිය පාවිච්චි කරයිද දන්නෑ, හැබැයි ඉතින් ඔන්න වර්ණපාල තියරිය අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන මා විසින් වගකියනු නොලැබේ හොඳද!!!

50 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සුදු නෙළුම කෝ... ( කෙටිකතාව )


"මහත්තයෝ බහින්න, මෙතනින් බැහැලා අර පේන පාර දිගේ කිලෝමීටර් දෙකක් විතර ගියා ම ඔය කියන ඉස්කෝලෙ හම්බවෙනවා. පයින් තමයි යන්න වෙන්නේ. හැබැයි අත් ට්‍රැක්ටරයක් කාරිය මුලිච්චි වුණොත් නම් මහත්තයා ව දාගෙන යාවි" සීනුව නාද කළ කාරුණික කොන්දොස්තර මහතාගේ හඬින් නිදි ලොවින් පියවි ලොවට වන් මා වහා ගමන් මළු එකතු කරගන්නට යුහුසුලු වීමි. කොන්දොස්තර මහතාගේ සහයෙන් බිමට බට සැණෙකින් බසය මා තනිකර ඉගිල ගියේ තනියට දූවිලි වලාවක් පමණක් ඉතිරි කරමිනි. වලාකුලින් තොර වූ නිල්වන් අහස් කුසත් කේඬෑරී වී දුහුවිල්ලෙන් වැසී ගිය ගහකොළත් කියා පෑවේ බොහෝ කලෙකින් වැසි නොලද සෙයකි. කල්පනා ලොවින් මිදුණු මම ප්‍රධාන පාරෙන් හැරී, කුඹුරු අසබඩින් දිව ගිය ගම්සභා පාරේ සෙමින් පියනඟන්නට පටන් ගතිමි.

මහනුවර උසස් යැයි සම්මත පාසලක ඉගෙනුම ලැබූ මා හට දෙමාපියන් දෙදෙනා ම රජයේ සේවකයන් වූ නිසාවෙන් ම දෝ එතරම් ආර්ථික අහේනියක් නොවිණි. පාසල් සමය කිවයුතු විශේෂ දෙයකින් තොරව ම ගෙවී ගිය අතර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් සමත් වූ මා හට ලැබී තිබුණේ අල්ලපු වැටේ පිහිටා තිබුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි. එහෙයින් නිවසේ සිට ම කැම්පස් යාමේ වරම මට හිමි විය. පාසලේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක් ව සිට ලැබූ කීර්තිය මෙහිදීද නො අඩුව ලැබුණේ, පහසුවෙන් ම විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය කථිකයෙක් ලෙස නමක් දිනාගතිමි. නමුදු මතක් කළ යුතු එක කරුණක් ඇත. ඒ මා කිසි ලෙසකින් හෝ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ නොවූ බව ය. විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය කථිකයෙක් වූ නිසාවෙන් ම දෝ පක්ෂ දේශපාලන වේදිකාවට ගොඩ වන්නට මා ලැබූ ඇරයුම් අපමණ ය. ශිෂ්‍ය දේශපාලනයේ හෙවත් යුනියන් කිරීමේ යටි අරුත් මනා ව වටහාගෙන සිටි මා ඒ ඇරයුම් එකහෙළා ප්‍රතික්ෂේප කළෙමි. විශ්ව විද්‍යාලයේ ගතකළ තුන් අවුරුද්ද අවසානයේ ඉංග්‍රීසී විෂයෙන් දෙවන පෙළ පහළ සාමාර්ථයක් දිනාගන්නට මට අවකාශ ලැබුණු අතර නොබෝදා අතිගරු ජනාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු උපාධිධාරීන් ට රැකියා පිරිනමන වැඩපිළිවෙලේදී මට ද ඉංග්‍රීසි ගුරු පත්වීමක් ලැබී තිබූ අතර එය ලැබී තිබුණේ ලංකාවේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන මොණරාගල දිස්ත්‍රික්කයෙ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයටයි. දුප්පත් රජයේ සේවකයන් වූ මගේ දෙමව්පියන් ට දේශපාලනඥයෙකුට කියා පත්වීම වෙනස් කරගැනීමේ හැකියාවක් නොවූ අතර ඔවුන්ගේ එවන් සිතුවිල්ලකට පවා මම තරයේ විරුද්ධ වීමි.

නිතර යනෙන පාපැදි හැරෙන්නට ගම්සභා පාරේ යතුරු පැදියක් හෝ ඉඳහිට එහේ මෙහේ ගියේ කලාතුරකිනි. එහෙයින් ම මා පා ගමනින් ම ගමනාන්තයට සේන්දු වූ අතර කලින් දින මගේ පැමිණීම දන්වා එවූ විදුලි පණිවුඩය අනුව මා පිළිගන්නට පාසලේ රැඳී සිටියේ විදුහල්පතිවරයා හා තවත් තරුණ ගුරුවරයෙක් පමණි. විදුහල්පතිවරයා මගේ පියාගෙ තරම් වයසේ වූ අතර කාරුණික ප්‍රියමනාප අයෙක් විය. අනෙක් ගුරුවරයා විදුහලේ ගණිත ගුරුවරයා බව පසු ව දැනගන්නට ලැබිණි. මගේ නවාතැන්පල වූ ගුරු නිවාසයේ අනෙක් සගයා වූයේ අසිත හෙවත් පෙර කී ගණිත ගුරුවරයා ය. ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ සම්පූර්ණ ගුරු මඬුල්ල හත් අට දෙනෙකුට නොවැඩි වූ අතර සිසු පිරිස ද යටත් පිරිසෙයින් එකසිය පනහක් තරමේ විය. බොහෝ ළමෝ දෙපයට සෙරෙප්පු දැමූ අතර කහ ගැහී දුර්වර්ණ වී ගිය නිළ ඇඳුම් අධ්‍යාපනයේ සම අයිතීන් උලුප්පා පෙන්වූ කැඩපතක් බව මට හැඟුණි. හතේ පන්තියේ මා උගැන්වීම් කළ අතර ඇතැම් සිසුන් පාසැල් ආවේ දෙකට දෙවාරුවට ය. ඒ අතරින් ඉගෙනීමට දක්ෂ කෙසේ වෙතත් ඕනෑකමක් තිබූ සිසුන් අතරින් කුසුමාවතී, මා මතකයේ රැඳි චරිතයකි. ඇය පන්තියෙ සිටි පිරිසිදු මෙන් ම විනීත ම ශිෂ්‍යාව වූවා ය. උදෑසන ම පාසලට පැමිණ නෙළුම් මල් මිටියක් මල් බඳුනේ බහාලන ඈ විදුහලේ අන් ගුරුවරුන්ගේ පවා සිත් දිනා සිටියා ය. උගැන්වීමට එතරම් මහන්සියක් නොදැරිය යුතු පාසලේ මගේ කුළුපග මිතුරා වූයේ අසිත ය. විදුහල ඇරී හවස් යාමේ වැවට ගොස් නාගැනීමත් ගමේ ගොඩේ ඇවිදින්නට යාමත් අනතුරු ව රාත්‍රී ආහාරය සැකසීමත් අපගෙ දෛනික චර්යාව විය. උගැන්වීම් අතින් බැලූ කල කලාපයේ ප්‍රතිඵල අතරින් පහල මට්ටමක් පෙන්වූ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය ඉහළ මට්ටමකට ඔසවා තැබීම මගේ එක් සිහිනයක් ව තිබුණි. ඒ උදෙසා ළමෝ වෙනුවෙන් අමතර පන්ති කිරීමට මා විදුහල්පතිතුමාගෙන් අවසර ඉල්ලූ කළ මට ලැබුණේ මා උදාසීන කරවන සුළු පිළිතුරකි.

"මම හිතන්නෙ නෑ මහත්තයෝ වැඩක් වෙයි කියලා. මේකේ උන් ට ඉගෙනගන්නවට වඩා කරන්න වැඩ තියෙනවනේ. අපි වුණත් පඩි ගන්නෙ නිස්කාරණේ. දැන් බලන්න ඉස්සර අපි වාර සටහන් ලිව්වා, වැඩක් වුණාද? නෑ. කවුද ඕවා බලන්න එන්නෙ? හරියට ඉස්කෝලෙට පොත් ටික, රෙදි ටිකවත් ලැබෙන්නෙ නෑනෙ මහත්තයෝ. අනිත් එක තරුණ කාලේ ඔහොම තමයි. ටිකක් රැඩිකල් අදහස් නෙ තියෙන්නෙ. අපිත් ඔහොම තමයි ඒ කාලේ. කමක් නෑ කරලා බලන්නකෝ.. "

අමතර පන්ති යෙදු මුල් දින දෙක තුන කිහිප දෙනෙක් උනන්දුවෙන් සහභාගී වුවද සති කිහිපයක් ගතවනවිට පන්තියෙ ඩෙස් බංකු පමණක් ඉතිරි වූයේ විදුහල්පතිතුමාගේ කීම මොනවට පසක් කරමිනි. එය එසේ වුවද ගුරු නිවාසය නම් රාත්‍රියට බොහෝ වාද විවාද වලින් පිරුණු තැනක් විය.

"මට නම් හිතෙන විදියට ලංකාවේ හැරුම් ලක්ෂ්‍ය දෙකයි තිබුණේ. එකක් හතළිස් හතේ සම්මත වුණ නිදහස් අධ්‍යාපන පනත. අනිත් එක පනස් හයේ රාජ්‍ය භාෂා පනත. අසිත, උඹ මොකද ඒ ගැන කියන්නෙ?"

"මම නම් හිතන්නේ හැත්තෑ එකේ කැරැල්ලයි හැත්තෑ හතේ විවෘත ආර්ථික ක්‍රමයයි අසූනමයේ කැරැල්ලයි කියලයි. මොකද ඔය අවස්ථා තුන තිබුණෙ නැත්තම් අපි සිංගප්පූරුවක් වෙන්න තිබුණා. නැහැ කියනවද?"

"උඹ අපි වගේ සාමාන්‍ය පවුල් වල එවුන් ඉගෙනගෙන රස්සා කරන්නෙ අර හින්දා නෙවේද? අපිත් නැත්තම් මෙලහකට ගස් බඩගායි, නැත්තම් කුඹුරු කොටයි."

"ඒක හරි, ඒ වුණත් උඹයි මමයි ඉතුරු වුණාට රටට වැඩක් කරන්න හිටිය තරුණ කොල්ලො කෙල්ලො කී දාහක් නම් මැරුණද භීෂණ කාලේ? රට අවුරුදූ ගාණකින් ආපස්සට ගියෙ නැද්ද? ඒ මදිවට ජේ ආර් ලොක්කා මේ රටට කළ විනාසෙ "

"අනේ මන්දා, අපි දෙන්නා රණ්ඩු වෙයි. කාටද දැනෙන්නේ ඒක? එක අතකට වැඩකට නැති කතා නේද? ඒක නෙවෙයි අනිද්දා පෝය, මොකද කරන්නෙ? "

"මේ ළඟ ප්‍රසිද්ධ පන්සලක් තියෙනවා දෙමටමල් විහාරය කියලා. අහලා තියෙනවද ඒ ගැන? පිටිනුත් ගොඩක් සෙනඟ එනවා වන්දනාවෙ හෙම "

"කවදා කොහේදි හරි ඔය නම අහලා තියෙනවා මතකයි, ඒත් මතක නැහැ කොහෙදිද කියලා "

"දුටුගැමුණු-සද්ධාතිස්ස යුද්ධය ගැන කතන්දරේ මතකයිද? ඒ කාලේ යුද්ධෙන් පැරදිලා සද්ධාතිස්ස කුමාරයා ඇවිත් හැංගුණේ මෙහේ ලු. දුටුගැමුණු කුමාරයා ඇවිත් විහාරය වට කරගෙන හිටියලු කුමාරයට පැනලා යන්න බැරිවෙන්න. අන්තිමේ ට අපවත් වුණ හාමුදුරු කෙනෙක් අරන් යනවා වගේ සද්ධාතිස්ස කුමාරයා ව ඇඳක තියලා සිවුරක් පොරවලා එළියට අරන් ගියාලු. ඒත් දුටුගැමුණු කුමාරයා තමන්ගෙ සහෝදරයා අඳුරාගෙන ස්වාමින් වහන්සේලාගේ කරපිටින් යනවා නේද කියලා තමන් ගෙ මලයට ඔච්චම් කරලා තියෙනවා."

"අහ්.. එහෙමද? මම දැනගේන හිටියෙ නැහැනෙ. එහෙනම් පෝය දවසෙ හවස යමු. "

දිනපතා පාසලට පැමිණෙන දැරියක වූ කුසුමාවතී දින දෙකක් තිස්සේ පාසලට නාවා ය. ඊයෙ ඒ ගැන කාගෙන් හෝ විමසන්නට සිතාසිටි මුත් එය අමතක විය. අද ද ඈ නොපැමිණි හෙයින් පන්තියෙ සිටි දැරියකගෙන් ඈ ගැන විමසීමි.

"සර්, එයා මැරිලා"

මා මොහොතකට ගල් ගැසුණෙමි. හුන් අසුණෙහි ම ඇන්දට බර වූ මා හට ප්‍රකෘති සිහියට ඒමට තවත් තත්පර ගණනක් ගතවිය. තමන්ගේ සිසුවෙකු අකාලයේ මියයෑම තරම් තවත් දුකක් ගුරුවරයෙකුට තිබිය හැකිද? ඇගෙන් ම මග විස්තර අසාගත් මා විදුහල්පතිතුමාටද ඒ බැව් දන්වා අසිත ද කැටුව කුසුමාවතී ගේ නිවස බලා පිටත්වීමු. නිවසක් ලෙස හඳුන්වනවාටත් වඩා එය මඩුවක් සේ හැඳින්වූයේ නම් මැනවැයි ඇගේ නිවස දුටු කල මට සිතුණි. ඇගේ දේහය නිවස තුළ තබන්නට ඉඩකඩ මද හෙයින් ගෙමිදුලේ තාවකාලික මඩුවක් තනවා බාල ලීයෙන් කරවූ පෙට්ටියක දුර්වර්ණ වූ පාසල් ගවුමක් ම අන්දවා තබා තිබුණි. අප යනවිටත් එහි සෙනඟ හත් අට දෙනෙකුට වඩා නොවූ අතර වඩාත් ම විශ්මයට තුඩු දුන් කරුණ වූයේ නිවසින් කිසිදු හැඬුමක් නෑසීම ය. ඒ සියළු කරුණු සිත් හී තබාගෙන ඇගේ පියා යැයි පෙනීගිය කෙනෙකුන් කරා අප දෙදෙන ළංවීමු. "මේ ඉන්නේ කුසුමාවතී ගේ පන්ති බාර ඉස්කෝලෙ මහත්තයා. ඇත්තටම ලොකු උන්නැහේ මොකද කුසුමාවතී ට හදිසියේ ම වුණේ? " අසිත, මා හඳුන්වා දෙමින් විමසීය.

"මේ කෙළී හැමදාමත් ඉස්කෝලෙ ගිහින් අහවර වෙලා හවහට වැවට යනවා මහත්තයෝ මල් කඩන්න, ඒ මල් පන්සල ළඟ තියාගෙන ඉඳලා එන මිනිස්සුන්ට විකුණලා තමයි ඉස්කෝලෙට ඕන කරන අඩුම කුඩුම ටික ගන්නෙ. තව ඉතුරු වුණොත් ගෙදරටත් කීයක් හරි දෙනවා. පෙරේදත් ඒකි වෙනදා වගේ ම ඉස්කෝලෙ අහවර වෙලා ඇවිත් වැවට ගිහින් තියෙනවා මල් කඩන්න. අනිද්දා පෝය හින්දා වැඩියෙන් මල් ටිකක් කඩාගන්න කියල හිතලා මේකි ටිකක් වැව මැද්දට ගිහින් තියෙනවා මහත්තයෝ. රෑ බෝ වෙනකල් ම ගෙදර ආවෙ නැති හින්දා අපි ගමේ මිනිස්සුත් එක්කලා රෑ පානේ හුළු අතු පත්තුකරගෙන වැව පුරා හෙව්වත් හම්බවුණේ නෑ මහත්තයෝ, පහුවදා නෙළුම් මල් ටිකත් තුරුළු කරගත්තු ඒකි ගේ මිනිය වැව ඉස්මත්තට ගොඩ ගහලා තිබුණා. පවුලක් ජිවත් කරවපු කෙල්ල මහත්තයෝ..... "

පසුවදන : ප්‍රවීණ ගීත රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද රචනය කර පණ්ඩිත් අමරදේවයන් විසින් ම සංගීතවත් කරමින් ගයන්නට යෙදුණු "සුදු නෙළුම කෝ සොරබොර වැවේ " ගීතයේ වස්තු බීජය මෙම කෙටිකතාව සඳහා පාදක විය.

අහලා බලන්නකෝ මේ සින්දුවත්...

සුදු නෙළුම කෝ සොරබොර වැවේ...

42 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සැමියෙකු ලබනට වරම් නොලද්දී....


මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්නකෝ මේ කථාව...

කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් භික්ෂුණිය ගේ නම බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණින් දෙනම පිණ්ඩපාතෙ වැඩිය. දන් වැළඳුව. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.

ආර්ය වු ඉසිදාසී ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසෙ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?

විවේක තැනක දී මේ විදියට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වු ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්න. එහෙම නම්,පින්වත් බෝධි,මං මහණ වෙච්ච විදිය අහගන්න.

මගේ තාත්තා සිල්වත් කෙනෙක්,එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මාගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න. ඉතින් මං නැන්ද යි මාම යි ලඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්ද. ඔවුන් කියන දේ විතරක් ම කෙරුව. මං මගේ ස්වාමිය හරි,සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනව. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒ ගොල්ල කැමති දෙවල් හදල දීල සතුටු කරනව. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුව. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. මං පනාවත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කණ්ණාඩිය ත් අරගෙන සැමියා ළඟට යනව. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. මගේ අතින් ම බත් ඉව්ව. හැලි වලං හේදුව. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනව වගෙයි මං සැමියට කටයුතු කළේ.

එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජිවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමපියන්ට මෙහෙම කිව්ව. "මං යනව මේ ගෙදර අත් හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ." "පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. විරියවන්ත යි නෙ. කම්මැලි නෑනෙ. ඉතින් පුතේ. ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?" "ඔව්! ඇය මට වරදක් කළේ නෑ. මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනව." නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්ත. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්ව."දරුවො. ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න" මං එයාට කිසි ම වරදක් කළෙ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නේ? "අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා." කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා.

ඒ වතාවේ මගේ තාත්ත, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්න. මාසය යි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, සිල්වත් ව සිටිද්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආව. "ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්." කියල කිව්ව. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටිය. එයත් මාව අත් හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්ව. "මගේ රෙදි කඩමාල්ල යි මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නව." එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්ව. " මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්." එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. "නෑ මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනව. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ." ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්න පටන් ගත්ත. එක්කෝ මං කාටවත් නො කියා දිවි නසා ගන්නව. එක්කෝ මං මහණ වෙනව.

විනයධර,බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වු ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩිය.එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩි වෙන්න පිළියෙල කළා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පුජා කරගත්ත. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුව. "ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්න," මං තාත්තා ළඟ වැඳ ගෙන හඬා වැටුණා. "නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානව." ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්ව. " නර ශ්‍රේෂ්ඨ වු බුදු රජාණන් වහන්ස් යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න. නිවනට පත් වෙන්න." මං දෙමාපියන්ට ත්, නෑදැ පිරිසට ත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.

මට අතීත ජිවිතේ ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජිවිතේ විපාක වින්ඳේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට එක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ජ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියෙ. මං තරුණකමින් මත් වෙලා හිටිය. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින් ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් හත යි. එ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හුරල දැම්ම. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බුරු දෙනෙක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. මං කුඩා කාලේ මගේ රහසඟේ ඇට තැලුව. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ උණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි.

මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙක ගේ කුසේ ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදියට ම මාගේ ලිංගයේ ඇට තැලුව. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගරේ වීදීයේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නො වේ, පිරිමියෙකු ත් නොවේ නපුංසකයෙක්! මං ගොඩාක් දුක් වින්දා, අවුරුදු තිහේ දී මැරුණා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්.අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසය යි. මං තරුණ යි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියල. එයා මාව තමන් ගෙදරට කැඳව ගත්ත. එයාට හිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුන. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදියට කටයුතු කිරීම යි. මං දාසියක් වාගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත් හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.

අද ඇසළ පුන් පෝය දවසනේ. ඒ නිසා ම ලිව්ව විශේෂ සටහනක් තමයි මේ (දුටුගැමුණු බළකාය/ඊයකුත් උදව් කළා). බෞද්ධ ගිහියන්ගේ නිත්‍ය ශීලය වෙන පංච ශීලයේ එන කාමයේ වරදවා හැසිරීම සහ එහි විපාක ගැන තමයි කියන්න උත්සහ කළේ. ඔය කාමයේ වරදවා හැසිරීම කියන ශික්ෂා පදය සමහරු වැරදි විදියටත් අර්ථකථනය කරනවා වැරදි විදියට පසිඳුරන් පිනවීම කියලත්. නමුත් ඒක එහෙම නෙවෙයි, තමන්ගේ බිරිඳ/සැමියා හැරෙන්නට අන්‍ය ස්ත්‍රීන්/පුරුෂයන් අයථා ලෙස සේවනය තමයි එතනින් අදහස් කරන්නෙ. විස්තර වශයෙන් තවත් තියෙනවා ඒ ගැන දීර්ඝ ව. යන්න කලින් ඇසළ පෝයේ වැදගත්කමත් ඔයාලට මතක් කරන්නම්කෝ. අනිත් පෝය දින විශේෂ සටහන් බලන්න කැමති කෙනෙක් ඉන්නවානම් මෙතැනින් ගිහින් බලන්න පුළුවන්.


  • අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
  • සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
  • ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
  • තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
  • කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
  • විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

    පසුවදන : මේ ඉසිදාසී නම් රහත් තෙරණිය වදාළ ථේරි ගාථාවන්. ථේර ගාථා සියල්ල උපුටා ගන්නා ලද්දේ පූජ්‍ය කිරිබත්ගොඬ ඤාණානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද 'ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා' නම් සදහම් ග්‍රන්ථයෙනි.

මෙය උතුම් ධර්ම දානයක් ම වේවා!!!

42 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !