ඇත්තටම මම එයාට ආදරෙයි ද...?





එයාගේ හිනාවට මගේ හිත ඇදී ලා යනවා වගේ මට දැනෙනවා ...හරි අමුතු ලස්සනක් තියෙන්නේ......
පොතක් දිගෑරගත්තත් ඒ ඇස් දෙකමයි මට මැවි මැවී පේන්නෙ..
මම සිහින ලෝකෙක අතරමං උනා...
යන එන මග පුරාවටම මගේ ඇස් හෙව්වේ ම ඒ රූපේ...
එයාව දකිද්දිම මගේ හද ගැස්ම වැඩි වෙනවා....
අනේ ඒ රූපේ මගේ ම වෙනවානම්.....
මටවත් මාව අයිති නැති ලෝකෙක මම එහෙම පැතුවා
අනේ මම වගේ මී හරකෙක්......
එයා දන්නෙවත් නෑ මම එයා ගැන හිතුව තරම්...එයා එයාගේ වැඩ පාඩුවේ කරගෙන ගියා..මම නිකම් හිතින් හදා ගත්ත ලෝකෙක අතරමං උනා...
"මොකද උඹට වෙලා තියෙන්නේ ?"
"මුකුත් නෑ..."
මම අම්මා ව මග හැරියා...
ඇත්තට ම මට මොකද මේ වෙලා තියෙන්නේ...
මම හදාගෙන හිටිය හීන ලෝකෙන් මොහොතක ට එලියට ආවා....
"ඇත්තට ම එයා කවුද ?"
"ඇයි මගේ හිත එයා නිසා මෙච්චර ම සලිත උනේ?"








"ඇත්තටම මම එයාට ආදරෙයි ද...?"
මම මගෙන් ම ප්‍රශ්න කලා.

එයා නිකම් ම නිකම් බාහිර රූපයක් විතරයි. මම හිතින් ඒ රූපය සාර දෙයක් ,සුභ දෙයක් ලෙස අරගෙන මහා පීඩාවකට පත් උනා.මගේ හිතේ හට ගත්ත තණ්හාව නිසා මම මහා දුකකට පත් උනා.මම හිතුවේ ආශ්වාදය තියෙන්නේ ඒ රූපය තුල කියලා. මට එයාව නොදැක ඉන්න බැරි උනා. ඒ නිසා එයා ඉඳීවී කියලා හිතුව තැන් පුරා ඇස් රිදෙනකල් ඒ රූපය මම හෙව්වා. මට තේරුනේ නෑ ඒ මම වැඩුවේ කාය සංඛාර කියලා. මොකද මම ඒ තරම් පෙලීමක හිටියේ. ඒ රූපේ දැක්ක ගමන් මට මොහොතක ආශ්වාදයක් දැනුනා. මම ඒ ආශ්වාදයට මුලා උනා. ඒත් ඒ ආශ්වාදය දිගට ම පවත්වගන්න බැරි දෙයක් ,වැය වෙලා යන දෙයක් බව මට ඒ කාලේ තේරුණේ නෑ. මට දැනුනේ පෙලීම විතරමයි. ඒ නිසයි මම එයාව දකින්න නැති වෙලාවට එයා ගැන ම හිත හිතා හිටියේ. මට තේරුණේ නෑ ඒ මම වැඩුවේ මනෝ සංඛාර කියලා. සමහර වෙලාවට මම යාලුවොත් එක්ක එයා ගැන කතා කලා. මට තේරුණේ නෑ ඒ මම වැඩුවේ වචී සංඛාර කියලා. මට ඕනි උනේ කොහොම හරි ඒ පෙලීම නැති කර ගන්න. ඒකයි මම ඒ තරම් සංඛාර කන්දක් වැඩුවේ. ඒත් ඒ පෙලීම නැති කර ගන්න පුළුවන් උනේ මොහොතකට විතරයි. ආයෙමත් මම ඒ ගින්නටම වැටුණා.ඉතින් මට මොහොතක් මොහොතක් පාසා අභිසංඛාර නොකර බැරි උනා.

කවද්ද මේකේ කෙලවරක් දකින්නේ ...? මේ අභිසංඛාර ව්‍රතය මහා පීඩාකාරීයි.
මම කොහොමද මේකෙන් මිදෙන්නේ...?
මොකක්ද මේ මට හැදුණු ලෙඩේ..? මම කල්පනා කලා.....
අපි හැමදාමත් බෙහෙත් කලේ රෝග ලක්ෂණයට විතරයි. ඒ හැම වෙලාවක ම රෝගය යටපත් වෙලා අපිට මොහොතක සහනයක් ලැබෙනවා. ඒත් විෂබීජය ඇඟ ඇතුලේ එහෙමමයි, කොයිම වෙලාවක හරි ආයෙත් මතුවෙනවා. එහෙනම් බෙහෙත් කල යුත්තේ රෝග ලක්ෂණයට නොවේ රෝගයටයි.
මට තිබුණු රෝග ලක්ෂණය "ආදරය", "කැමත්ත", "ඕනෑ වීම " ලෙස මම තේරුම් ගත්තා. මම මෙච්චර කාලයක් බෙහෙත් කරලා තියෙන්නේ මේ රෝග ලක්ෂණයට නේද ?
එයාව දකින්න ඕනි උනා ම මම අභිසංඛාර වැඩුවා. මොහොතක සහනයක් ලැබුණත් මගේ රෝගය සුව උනේ නෑ.
මොකක්ද ඇත්තට මේ කියන රෝගය...?
ඒ තමා "අවිද්‍යාව ".
මම එදා ඒ රූපය ආශ්වාද, සැප, සාර ලෙස නොගත්තානම් අද මට මේ තරම් පෙලීමක් නෑ නේද...?

මම එදා...
" එයාට හරි අමුතු ලස්සනක් තියෙන්නේ ", ඒ ඇස් දෙක.. හරි අහිංසකයි.." වගේ දෘෂ්ටි ගත්තේ නැත්නම්...
අනේ මං වගේ මී හරකෙක්... මට ආයේ ම හිතුනා.
මම එදා ඒ රූපය අනිච්ච, දුක්ඛ, අනත්ථ ලෙස දුටුවා නම්....
අද මට මේ තරම් ගින්නක් නෑ නේද...?
මහා මකුළු දැලකින් මිදුණාක් මෙන් ප්‍රශ්නයට පිළිතුරක් විද්‍යාවෙන් දුටුවෙමි .

නිවනම නාථයි නිවනම වෙත්වා!

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපට වැරදුනාවත් ද..?



අපි හරි නිදහසේ නේද ඉන්නෙ? අපිට කන්න හිතුණ වෙලාවට කන්න පුලුවන්. කොහෙහරි යන්න ඕන කියලා හිතුණොත් හිතෙන ඕන තැනක යන්න පුලුවන්. අද වැඩ කරන්න බෑ කියලා හිතුණොත් නිවාඩුවක් දාලා දවල් වෙනකල් නිදාගන්නත් පුලුවන්. ඉන්න හිටින්න අපේ ම නොවුණත් ගෙයක් දොරක් තියෙනව. ලෙඩට දුකට බෙහෙත් තියෙනව. අඳින්න විවිධාකාර ඇඳුම් තියෙනවා. ඉතින් අපි හරි වාසනාවන්තයි නේද? ඇත්ත. මිනිස්සු විදියට අපි හරි වාසනාවන්තයි. හැමදේම වගේ තියෙනවා. හැමදේම සර්වසම්පූර්ණ විදියට නැතත් මෙහෙම හරි ලැබෙන්න, අපි සෑහෙන්න පින් කරල ඇති. ඒත් කවදාහරි හිතුණද අපි කොහේ ඉඳන් මෙහෙ එන්න ඇත්ද කියලා. ඇත්තටම බැලුවොත් එහෙම එන්න කියලා තියෙන්නෙ තැන් කිහිපයයි. ඒ බ්‍රහ්ම ලෝකයක්, දිව්‍ය ලෝකයක්, මනුස්ස ලෝකෙ ම එහෙමත් නැත්තම් සතර අපායෙ ඉඳන් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ, සත්ත්වයා වැඩිහරියක් සතර අපාය මහගෙදර කරගෙන සැරිසරනවා කියලයි. ඒ කියන්නෙ අපි ලංකාවෙ හෝ ලෝකයේ කොයි තැනක හිටියත් නිතර ම වගේ අපේ මුල් ගෙදර/ මහගෙදරට ඇවිත් යනවා වගේ. එහෙම බලද්දි අපි ගොඩක් වෙලාවට සතර අපායෙ ඉඳන් මොකාක් ම හරි පරණ කරපු පිනක් මතුවෙලා තමයි මනුස්ස ලෝකෙට ඇවිත් ඉන්නෙ.

සතර අපාය කියන්නේ නරකය, අසුරය, තිරිසන්, ප්‍රේත කියන කොටස් වල එකතුවක්. ප්‍රේත ලෝකෙත් විවිධාකාර මට්ටම් තියෙනවා කරගත්ත කර්ම අනුව. මිනිස් ලෝකෙ වගේ ම ප්‍රේත ලෝකෙත් බලවත්, දුර්වල, පුණ්‍ය ඍද්ධි ඇති, නැති, රූපි, විරූපි ආදි වශයෙන් බෙදීම් තියෙනව. උදාහරණයක් විදියට සමහර ප්‍රේතයන්ට තමන්ගෙ ඥාතින් පින් අනුමෝදන් කරද්දි ඒවා අනුමෝදන් වෙන එක වළක්වන්න සමහර බලවත් ප්‍රේතයෝ ඒ ඒ ප්‍රේතයන්ගෙ කන් බලහත්කාරයෙන් වහගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඒ අයගෙ ආහාර විදියට ගොඩක් ප්‍රේත කොටස් මළ, මූත්‍රා, සෙම් සොටු, ගැබ් මළ ආදිය තමයි ගන්නෙ. සමහරුන්ට එහෙම වත් ආහාරයක් ලැබෙන්නේ නැහැ. බඩගින්නේ පිපාසෙන් ම තමයි දුකසේ කල් ගෙවන්නේ. මෙහෙම අහද්දී පිළිකුලක් දැනුනට ඔබ අපි හැමදෙනාම මෙහෙම තමයි මේ දීර්ඝ සසරේ ආවේ.

මුලින් සඳහන් කළා වගේ සමහර ප්‍රේතයන්ට තියෙනවා පුණ්‍ය ඍද්ධි. ඒ කියන්නෙ ඒ අයට පේනවා තමන් මොන වගේ කර්ම කරලද ප්‍රේතයෙක් වුණේ කියලා පෙර අත්බැව් බලන්න පුලුවන් හැකියාවක්. ඒ වගේ ම මේ ප්‍රේත අත්බැවෙන් පස්සෙ ඊළඟට කොහෙද ගිහින් ඉපදෙන්නෙ කියලා පෙනෙන. ඉතින් ඒ අය වැළපෙනවා තමන් මිනිස් ලෝකෙ ඉද්දි මොනවද කරගත්තෙ කියලා. සුගත තථාගත ශාසනය තියෙද්දි සසරෙන් මිදිලා යන්න උත්සහ කලේ නෑනේ කියලා කණගාටු වෙනවා. උලක් උඩ මියයමින් ඉන්න කෙනාටත් කියන්නෙ මැරෙන්න නම් එපා කියලා. මිනිස් ලෝකෙ ඉන්න තමන්ගෙ ඤාතින් සසරෙන් මිදෙන්න උත්සහවත් වෙන්නෙ නෑනෙ කියලා දුක්වෙනවා. ආයෙමත් අවස්ථාවක් ලැබුණොත් නම් මේක කරගන්නවා කියලා හිතනවා. ආයෙ නම් දුක් විඳින්න එන්නෙ නෑ කියලා හිතනවා. ඒ විදියට අනවරාග්‍ර සංසාරයේ ඔබත් මමත් කී සැරයක් හිතන්න ඇතිද? මේ මොහොතේ මරණය ආවොත් අපිට රැකවරණක් තියෙනවද? කාටහරි හිතෙන්න පුලුවන් අපි පින් කරලා තියෙනවනෙ කියලා. එතකොට හිතලා බලලා තරාදියෙ දෙපැත්තට දාලා බලන්නකො අද දවසෙ ඔබෙන් ලෝකෙට යහපත වුණ අවස්ථා සහ අයහපත වුණ අවස්ථා සිතින් කයින් වගේ ම වචනයෙනුත්. මොන පැත්තද බර වැඩි කියලා අමුතුවෙන් මතක් කළයුතු නැහැ නේද? ඉපදුණ මොහොතෙ ඉඳන් බැලුවොත් පින් සහ පව් ප්‍රමාණය අහසට පොළව වගේ. එහෙම නොවෙන අල්පයක් දෙනා ඉන්න පුලුවන්. ඉතින් එහෙම බලද්දි මරණින් පස්සෙ දිව්‍ය ලෝකෙ යයි කියලා හිතන්න අමාරුයි නේද?
ඒ නිසා මරණින් පස්සෙ දිව්‍ය ලෝකෙ ගිහින් ම කරගන්නවා කියන එක ටිකක් විතර සම්භාවිතාවය අඩුයි.

එහෙනම් මොනවද කරන්නෝන? කරන්නෝන දේ තමයි වහා වහා දහම අවබෝධ කරගන්න එක. අඩුම තරමින් සෝතාපන්න වත් වෙන්න උත්සහ කරන එක. සතර අපායෙ දුක් විඳලා විඳලා ඇවිත් දැන් ටිකක් සැප විඳින්න ලැබුණා ම අර ඔක්කොම අමතකයි. ආයෙ සුගති උපතක් ලැබුණොත් නම් කොහොමහරි මේක කරලා ඉවර කරගන්නවා කියලා ගත්ත අධිෂ්ඨානය අමතකයි. ඉතින් සැප ටිකක් ලැබිලා ඔහොම අමතක වුණානම් මහා කායික සැපයක් තියෙන දිව්‍ය ලෝකෙ ගියා ම කොහොමත් සසරින් මිදෙන්න උත්සහවත් වෙන එකක් නැහැ. ඒ නිසා යන්න ම ඕන නම් අඩුම තරමින් සෝවාන් වෙලාවත් දිව්‍ය ලෝකෙට ගියොත් නම් යම් රැකවරණයක් ලැබේවි. හැබැයි සුගත් තථාගතයාණන් වහන්සේ නම් ඇසිපිය හෙලන මොහොතක්වත් සුගතිය වර්ණනා කළේ නැහැ. අනාගාමී වුණ කෙනාටත් දේශනා කළේ වහ වහා වීර්‍යය කරලා සසරෙන් මිදිලා යන්න කියලයි. සමහර දේශකයන් වහන්සේලා කියනවා, දිව්‍ය ලෝකෙ ගිහින් සසරෙන් මිදෙමු කියලා. වරදක් දකින්නෙපා උන්වහන්සේල ගැන. උන්වහන්සේලා තුළ යම් ගුණයක් වැඩිලා ඇති මරණින් පස්සෙ දිව්‍ය තලයක ගිහින් උපත ලබන්න. උන්වහන්සේ එහෙ ගිහින් කරගනීවි. හැබැයි ඔබ සිහිනුවණින් යුතුව අහන්න. ඔබේ පව් පින් තරාදිය සිහිකරලා බලන්න. ඔබේ ගුණයන් සිහිකරලා බලන්න ප්‍රමාණවත් ලෙස වැඩිලද කියලා. ඒ කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය නිතර ඇසුරු කළ, නිතර දන්පැන් දුන්න, වෙන කිසිවකුට දෙන්න බැරි මහා අසදෘශ දානය පවා පූජා කළ කෝසල මල්ලිකාවත් මරණයෙන් පසු සතර අපායට ගියා කියන එකත් නිතර සිහිපත් කරගන්න. ඒ නිසා අපි ඉන්න අනතුර වටහාගෙන මග වඩන්න උත්සුක වෙමු. බුද්ධෝත්පාද කාලයක දහම අවබෝධ කරගන්න පුලුවන් මනුස්ස අත්බැවක ඉපදිලා ධර්මය සුරැකි ව පවතිද්දි ආර්‍යයන් වහන්සේලා දහම දේශනා කරද්දි නොදකින නොපෙනෙන ඉදිරියට නිවන කල් දානවා කියන්නේ ආත්ම වංචාවක්. ඊට වඩා අපරාදයක් නෑ ඔබ ඔබට කරගන්න. කල්ප ගණනකට ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්නත් පුලුවන්. ඒ නිසා කවුරු කොහොම කිව්වත් ඔබ ඔබ ගැන ම කල්පනා කරන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින් කළා කියලා අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්නෙ නැහැ කියලා. ඒ නිසා පින් කරගන්න පුලුවන් තරම් නිවන පහසුවෙන් කරගැනීම උදෙසා පමණක් ම. ඒ නිසා ඔබේ Smart Goal එක මේ ජීවිතයේදී ම නිවන බවට පත්කරගන්න. අනෙක් සියල්ල ඒ සඳහා උපකාරක ධර්ම බවට පත්කරගන්න. අමෘත පදය කෙරෙහි අප්‍රමාදී වෙන්න. ඉතින් තවමත් නිර්මල දහම විරාජමාන ව පවතින මේ කාලෙ සසරෙන් මිදිලා යන්න උත්සහවත් වෙමු. අවසාන වශයෙන් අපි මතක තියාගන්න ඕන කාරණය තමයි දහම අපි ව සොයාගෙන එන එකක් නැහැ කියන එක. ඒ නිසා වහ වහා නිවන දකින දහම සොයලා අහලා අවබෝධ කරගන්න අප්‍රමාදී වෙමු. තෙරුවන් සරණයි ! නිවන ම නාථයි. නිවන ම වෙත්වා!

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇයි අපි නොතෙමෙන්නේ.....


මේ දවස් වල තොරතෝංචියක් නැතුව වහිනවනේ. නියම වැඩේ කියන්නේ හැමදාම වගේ වහින්නේ ඔෆිස් එකෙන් එළියට බහින්න ඔන්න මෙන්න තියලා. ඉතින් සමහර දවස් වලට කුඩයක් තියෙන අය, නැති අය කියලා වෙනසක් නැහැ නාගෙන තමයි යන්න වෙන්නෙ. ඒ ඉතින් වැස්ස ගැන සුපුරුදු කතාව නේ. හැබැයි මේ කියන්න යන්නේ ඊට වෙනස් දෙයක්. මිනිස්සු වුණ අපි වැස්ස වෙලාවට උත්සහ කරන්නෙ මොන ම විදියකින් හරි නොතෙමී ඉන්න නේ. එක්කෝ කුඩයක් ඉහළගෙන, එහෙමත් නැත්තම් නොතෙමී ඉන්න පුළුවන් තැනකට ගිහින්, එහෙමම්මත් නැත්තම් අනුන්ගෙ කුඩයක් යටින් හරි යනවනෙ. හැබැයි දැකලා තියෙනවා නේද ගොඩක් සත්තු, ඒ කියන්නෙ එළුවෝ, හරක්, බල්ලෝ, කුකුළෝ, කුරුල්ලෝ වගේ නොයෙක් විදියෙ සත්තු වැස්ස කියලා වගක්වත් නැතුව ඔහේ තෙමි තෙමි ඉන්නවා. උන් වහිනවා කියලා නොදැන තෙමි තෙමි ඉන්නවා කියලා හිතන්නත් බැහැනේ. ඒ වුණත් පැය ගණන් හරි තෙමි තෙමි ඉන්න සත්තු ඕන තරම් ඉන්නවා...

ඉතින් ඇයි මිනිස්සු වෙන අපි නොතෙමී ඉන්න උත්සහ කරද්දි තිරිසන් සත්තු එහෙම උත්සහ කරනව දකින්න නැත්තේ?? කෙනෙක් කියාවි මිනිස්සු වෙන අපි බුද්ධියෙන් උසස් කියලා. වෙන්න පුළුවනි. ඒ බව විද්‍යාත්මක ව පහදන්නත් පුළුවන් ඇති. නමුත් කවදාවත් අපි හිතලා තියෙනවද සත්තු , මිනිස්සු විදියට එකිනෙකට වෙනස් ජාතියේ අය විදියට වෙන්වුණේ කොහොමද කියලා. ඒ ඇයි දන්නවද? ඒ අපි අතීත භවයන් (අතීත ආත්ම) වලදි කරගත්ත පින නිසාමයි ඔබත් මාත් සත්තු නොවී මිනිස්සු විදියට ඉපදුණේ. ඒ පින ම තමයි වැස්ස වෙලාවකදී ඔබත් මමත් මේ විදියට නොතෙමී ඉන්න ඕන කියලා හිතන්න පුළුවන් මට්ටමට පත් කළේ. ඒ පින නිසාමයි වැස්ස වෙලාවට ආවරණයක් සලසාගන්න උනන්දු වෙන්නෙ. ඉස්සර කළ පින අපිට මේ විදියට අපිට නොතෙමී ඉන්න උපකාර කළා ට සසරේ හැමදාමත් ඉස්සර කළ පින අපිට උපකාර කරාවි කියලා හිතන්න හොඳ නැහැ. මොකද පින කියලා කියන්නෙ ගෙවිලා යන දෙයක් නිසා, ක්ෂය වෙලා යන දෙයක් නිසා. හරියට බැංකු ගිණුමක් වගේ. කලින් තැන්පත් කළ මුදල් ටික ටිකෙන් ටික අපි අරගනිද්දි ගිණුම ක්ෂය වෙනවා වගේ... ඒ නිසා අපි අපේ බැංකු ගිණුමට මුදල් දාන්න උනන්දු වෙනවා වගේ ම, පින කියන ගිණුමත් වර්ධනය කරගන්න උනන්දු වෙන්න ඕන. එහෙම නැති වුණෝතින් අපි තිරිසන් සතුන් අතර උපදින එකක් නැහැ කියන්න කාටවත් බැහැ. එදාට මේ දැන් වගේ නොතෙමී ඉන්න උත්සහ කරන එකකුත් නැතිවේවි...

මේ ඔබට අළුතින් හිතන්නට යමක්........

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මට්ටකුණ්ඩලී කතා වස්තුව ...


සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි. පාලු සොහොනෙහි හිඳින බමුණා, මියගිය සිය පුතු ගේ සිරුර තුරුළු කරගනිමින් මහත් ශෝකයෙන් යුතු ව හඬා වැටෙයි. විටෙක තමාට ම දෙස් දෙවොල් තබාගනියි. විටෙක නිවැසියන්ට ද දොස් පවරයි. "අහෝ මා වැනි අවාසනාවන්තයෙක්, මගේ එක ම පුතා කුඩා වයසේදී ම මා හැර ගියා නොවේදෝ, මගේ පුතාට නැවත නැඟී සිටින්නේ නම් කොයිතරම් මැනවිදෝ ..." ආදී වශයෙන් හේ වැළපෙයි. මොහොතකට පෙර ජනශුන්‍ය ලෙසින් දිස් වූ සොහොනෙහි තවත් හැඬුමක් බමුණා ට ඇසෙයි. ශෝකයෙන් යුතු ව වටපිට බලන බමුණාට දකින්නට ලැබෙන්නේ අහස දෙස බලමින් හඬනා මියගිය තම පුතුගේ ම වයසේ ම වැනි කුඩා දරුවෙකි. මදක් වික්ෂිප්ත වූ බමුණා කුඩා දරුවා වෙත ගොස් ආදරයෙන් ඇමතීය.

"පුංචි දරුවෝ... ඇයි ඔයා අඬන්නේ? "

"අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් නැහැ. ඒකයි මම අඬන්නේ "

"අනේ පුතේ , ඒක සුළු දෙයක්නෙ. ඔයාට ඕන රත්තරනින් රෝද දෙකක් ද නැතිනම් රිදියෙන් රෝද දෙකක් ද කියලා මට කියන්න. මම දෙන්නම් "

"ඒ එකක්වත් නෙවෙයි, මට ඕන රෝද දෙක තමයි ඉරයි හඳයි "

"ඈ මෝඩ දරුවෝ... ඉරයි හඳයි කොහොමද රෝද හැටියට කරත්තෙකට ගන්නේ ?"

"කවදාවත් ආයෙ නොලැබෙන, ඇස් දෙකටවත් පේන්නෙ නැති දෙයක් වෙනුවෙන් අඬන මාමා ද මෝඩ නැත්තම් අර ඇස් දෙකට වත් පෙනෙන ඉර හඳ ඉල්ලලා අඬන මම ද මෝඩ? "

බමුණු තෙමේ මහත් ලැජ්ජාවට පත් විය. හැඬුම නවත්වා හෙතෙම බර කල්පනාවකට වැටිණි. "ඇත්තෙන් ම නුවණැති දරුවෙක්නෙ. වැඩිහිටියෙක්වත් නොකියන කතාවක් නෙ මේ දරුවා කිව්වේ..." ආදී කෙලවරක් නැති සිතිවිලි බමුණාට ඇතිවිය.

"ඇත්තෙන් ම පුතේ ඔබ කවුරුන් ද ?" බමුණා කුතුහලයෙන් යුතු ව විමසීය.

මෙහිදී ළමා වේශය අත්හැර සිය ප්‍රකෘති ස්වභාවයෙන් ම පෙනී සිටි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසීය. "පින්වත් බමුණ, මම මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙමි. පෙර ජීවිතයේ ඔබේ පුත්‍රයා වෙමි. ඉතා සුළු කාලයක් භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ සරණ ගොසින් මේ සා ආනුභාවයන් ලදිමි. පියාණෙනි, දැන්වත් බුදු සමිඳුන් සරණ යන්න. ඔය මසුරු බව දුරලා දන් දෙන්න. සැප ලබන්න පින් කරන්න". මෙසේ පැවසූ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සැණෙකින් අතුරුදන් විය.

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඔබත් සූදානම් ද ?


සුපුරුදු පරිදි එදිනත් බ‍්‍රාහ්මණතුමා තම පුත‍්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ‍්‍රාහ්මණතුමා වහා වහා එතැනට පැමිණියේය. ගිනි රස්නයෙන් කෝපයට පත් අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙනු බමුණා දිටීය. ඒ වන විටත් තම සෙනෙහබර පුතුගේ අවසන් සුසුම් පොද වාතලයට එක් වී හමාර බව බමුණා ට පසක් විය. දැන් කරන්නට දෙයක් නැත. පුතු මිය ගොසිනි…. ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි එක්වරම බමුණාගේ සිතට නැගුණේ. බ‍්‍රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල කුඹුරක සිටි යහළු බමුණෙකු ඇමතී ය.

***********************************************************

…බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල කියලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඒ ගමේ ගොඩක් සමගියෙන් වාසය කළ පවුලක් හිටියා. ඒ පවුලේ හිටියෙ සාමාජිකයෝ හයදෙනයි. ඒ තමයි බ‍්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, පුත‍්‍රයා, දියණිය, පුතුගේ බිරිඳත් දාසියත් කියන හයදෙනා. මේ හැමෝම ගමේ අනිත් අයට වඩා සතුටින් සමගියෙන් ඉන්න එක්තරා විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි උදේ හවස, නිතරම වගේ ජීවිතයේ යථා ස්වභාවය සිහි කරන්න ඒ අය පුරුදු වෙල හිටිය එක. ඒ තමයි තමනුත්, අනිත් ඉපදුණ සියලූ දෙනාත් මරණය උරුම කරගෙන ඉන්න බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඩීම ඒ අය පුරුද්දක් කරගෙන හිටියා.ඒ මරණානුස්සතිය කොයිතරම් දුරට පුරුදු කරලා තිබුණ ද කියන්නේ, කවුරුහරි කෙනෙක් නිවසින් එළියට යද්දි අනිත් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. ඒ විදියට අනිත් අයට අවවාද කරලා සිහිය පිහිටුවලා තමනුත් ජීවිතාපේක්ෂාවෙන් තොරව පිටත්වෙලා යනවා.

***********************************************************

"යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට දන්වන්න, ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙස”. බමුණාගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ ඉක්මනින් කුඹුරට පැමිණුන හ. අදරැති පුතුගේ, සොයුරා ගේ සැමියා ගේ නිසල සිරුර සියලූ දෙනාගේම ඇස් ඉදිරියේ දකින්නට ඇත. සියල්ලෝ ම සිටින්නේ ගැඹුරු කල්පනාවක නිමග්නව ය. සිදුවූ විපත ගැන දුකක් ශෝකයක් ඇති නමුදු කිසිවෙකුගෙන් ඒ බවක් නොපෙනෙයි. ඉකිබිඳුම් හඬකුදු ඇසෙන්නට නැත්තේ ය.

මේ ඇස් පනාපිට දකින්නට ඇතිතේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය ම නොවේදැයි ඔවුන් සිතනවා විය යුතුයි. බමුණුතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා ගිනි දැල්වීය. සියල්ලෝ නොහඬා නමුත් කිසියම් සංවේගයකින් යුතු ව එදෙස බලා සිටිති. මිය යන්නට යෙදුණු බ‍්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.

" පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.”
" නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.”
" කිම? මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”
" නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත‍්‍රයා ය.”
" අහෝ පුදුමයකි…! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”

බ‍්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.

" සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.

‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත‍්‍රයායි.”

‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?”

‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද? ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.

" නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.”

" නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?”

" ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් මා ගැන ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

ඊළඟ වාරය බිරිඳගේ ය.

" පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.”

" සොහොයුරිය, ස්ත‍්‍රීහූ නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?”

" පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.

" නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
" බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.”

" එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය… ‘ මා ඔහුට වතාවත් කළා. නමුත් ඔහු මට නිතර දඬුවම් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති.”

" එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත‍්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි.”
" එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?”
" පින්වත් බ‍්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩිය හ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත් හ.

*********************************************************************

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් මැරුණට පස්සේ ශක්තිමත් පුරුෂයෙක්, දිගහැරිය අතක් නවන්නට යන තරම් සුළු කාලයක් ඇතුලත ගිහින් තවත් තැනක උපදිනවා. ඒ නිසා තමයි බමුණු තරුණයා ට ශක්‍ර දෙවියන් විදියට ඉපදිලා තමන්ගේ ඥාතීන් හමුවෙන්න එන්න පුළුවන් වුණේ. කෙනෙක් මැරුණට පස්සෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා කියවන්න කැමති අය ඉන්නව නම් මෙතැනින් ගිහින් ඒ ලිපි‍යත් කියවන්න. මේ ජීවිතය කියන්නේ සංසාරයේ එක තාවකාලික නවාතැන්පොළක් විතරයිනෙ. ඉතින් හමුවීම්, වෙන්වීම් අප්‍රමාණයි. ඒ හැම එකක් ගානෙ ම දුක්වෙන්න ගියොත්..... ? ඒ නිසා අපි යථාර්තය තේරුම් ගන්න උත්සහ කරන්න ඕන. අපි මළගෙදරකට ගියත් කවදාවත් මේ යථාර්තය හිතන්නෙ නැහැනේ. හිතන්න උත්සහ කරන්නෙත් නැහැ නේ අපිත් මැරෙන අය කියලා. මරණානුස්සති භාවනාව ඉගෙනගන්න කැමති අය මෙතැනින් බලන්න.

මේ කතාව මම ඇහුවෙ රේඩියෝ එකෙන්. ලියන්න ඕන කියලා හිත හිතා ඉද්දි මේ කතාව ඇතුළත් ඊමේල් එකක් ආවා මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ලිව්ව. ඉතින් ලියද්දි ඒකෙනුත් යම් යම් කොටස් උපුටලා ගත්තා. ඒ ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා! සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් ලිව්වේ. පහුගිය මාස වල ටිකක් විතර කාර්යබහුල වුණත් දැන් නම් ටික ටික විවේකය තියෙනවා. ඒ නිසා ඉදිරි මාස වල දිගටම ලියන්න ලියලා තමයි හිතාගෙන ඉන්නෙ.....

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !