අපි ගොඩක් වෙලාවට යමක් කරන්නෙ හොඳ හෝ නරක යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. අපි ඉගෙනගත්තත්, රැකියාවක් කළත් මේ හැමදේක ම කිසියම් සැඟවුණු බලාපොරොත්තුවක්/ ගොඩක් තියෙනවා. ඒ වගේ ම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මොනාහරි කරන්නෙ ඉතා ම කලාතුරකින්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයනේ. අපි කැමතියි අපිට මහන්සියක් නැතුව ම යමක් ලැබෙනවනම්. කොහෙන්හරි සල්ලි ඇවිත් ඉබේම අපේ බැංකු ගිණුමට එකතුවෙනවානම්.... හැබැයි අපි නොදන්නවා/ නොහිතනවා වුණාට හැමෝටම තියෙනවා ඒ වගේ ගිණුමක්. අපිත් නොදැනීම ඒ එකවුන්ට් එකට එකතුවෙන දේවල් තියෙනවා අපි එදිනෙදා කරන කියන පුංචි පුංචි දේවල් නිසා. ඒ තමයි කර්මය කියන ගිණුම...
මුගලන් මහරහතන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ දවසක් දිව්‍ය ලෝකයන්හි ධර්ම චාරිකාවේ නිරත වුණා. මේ ගමනේ දී දෙවිවරුන් සමඟ සුහද පිළිසඳරෙහිත් යෙදුණා ඇතැම් අවස්ථාවල. මුගලන් මහ රහතන් වහන්සේ
"දෙව්දුවනි, මේ තරම් දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ පින කුමක් ද?" දෙව් දුව, කළ පින ඉතා සුළු එකක් වුණ නිසා ඒ ගැන කියන්නට ලජ්ජා වුණා. "දෙව්දුවනි ලජ්ජාවට පත්වන්නට කාරණා නැත. ඒ පින්කම කුමක්ද?" මුගලන් තෙරණුවෝ ආයෙත් විමසනවා. එවිට දෙව්දුව මේ විදියට පිළිතුරු දෙනවා.
“මම මිනිස් ලොව සිටිත්දි දුප්පත්ව යැපුණෙමි. පවට බියෙන් සිටියෙමි. කිසි දිනක බොරු නොකීවෙමි. සැබෑවක්ම කීවෙමි. දෙව් ලොව උපත ලැබුවේ ඒ නිසා ය.”
මුගලන් මහරහතන් වහන්සේ තවත් දිව්‍ය විමානයක් ළඟ නතර වෙලා තවත් දිව්‍ය අප්සරාවක් සමඟ පිළිසඳරෙහි යෙදුණා. ඇයගෙන් ද දිව්‍ය සම්පත් ලැබීමට කළ පින කවරේදැයි විමසුවා. එවිට ඒ දෙව්දුව "තෙරුන් වහන්ස. මම මිනිස් ලොව ඉතා අසරණව, මෙහෙකාර කෙල්ලකව සිටියෙමි. කොපමණ දුක් පීඩා ලැබූවත් කෝපය මැඩ ඉවසීමෙන් විසු බැවින් මේ දිව්‍ය සම්පත් ලැබීමි" යි කිව්වා.
මේ විදියට මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍යංගනාවන් කිහිප දෙනකුගෙන් ම තමා ලද දිව්‍ය සැපතට හේතු විමසනවා.
“මම උක් හේනක් බලා සිටි කල්හි උක් දඬු පිදීමෙන් දිව්‍ය සම්පත් ලදිමි”
“මම තියඹරා ගෙඩියක් පිදීමේ පිනෙන් දිව්‍ය ලෝකයට පැමිණීයෙමි.” ආදි ලෙස ඔවුහු පිළිතුරු දෙනවා උන්වහන්සේට.
ආපසු දෙව්රම් වෙහෙරට වැඩි මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තර බුදුරජාණන් වහන්සේට සැල කළා. එවිට බුදුරජාණන් වහන්සේ, පැහැදුණු සිතින් යුතුව සත්‍ය වචන කීමෙන්, නොකිපී ඉවසීමෙන්, සුළු හෝ යමක් දීමෙන් පවා දිව්‍ය සම්පත් ලද හැකි බව දේශනා කළා. ඒ වගේ ම උන්වහන්සේ උන්වහන්සේ මහානාම ශාක්‍යයාට, දෙව් සැප ලබන්නට කැමති නම් දේවානුස්සතිය වඩන්නටත් අවවාද කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 'දෙවියෙක් වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක් වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම චාතුර්මහා රාජිකය, තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්කොට ගන්න'... යනුවෙන්.
මේ ධර්මය ඇසෙන කොට කාටහරි හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දිව්‍යලෝක වල ඉපදීම වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යලෝක වර්ණනා කිරීමක් නොවෙයි වෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස මනුෂ්‍යයා ව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම කෙනෙක් දිව්‍යලෝක, දිව්‍යසැප කෙරෙහි ජන්දරාගය,කැමැත්ත, තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම දිව්‍යලෝක කෙරෙහි කැමැත්ත ඇති වුණාට පස්සේ කැමැත්ත උපාදානයක් හෙවත් හිතේ අල්ලාගැනීමක්/ඇලීමක් කරගෙන වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් වඩන්නේ ඉහත සශ්‍රීක දිව්‍යලෝකයක සැපවිඳින්න. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ජීවිතයේ වැඩි වශයෙන් වඩවා ගන්න කොට නොදැනුවත්වම සෝවාන් ඵලයට පත්වෙන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක් බවට පත්වෙලා මාර්ගඵලලාභී දෙවිකෙනෙක් වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. එහෙම වුණේ නැත්තම් ශ්රද්ධානුසාරි වෙලා ධම්මානුසාරී වෙලා සෝවාන් මඟට ඇතුළුවුණ කෙනෙක් විදියටයි මියයන්නේ. එයින් නිවන කරා යන මඟ වසාලන්න ආයෙත් කාටවත් ම බැහැ. බුදුරජාණන් වහන්සේ දේවානුස්සතිය වඩන්න කියලා මහානාම ශාක්‍යයාට කිව්වේ මේ හේතුව නිසයි. උදාහරණයකුත් මතක් කරන්න කැමතියි මේ දේ ප්‍රායෝගික ව වුණ. මතකයිද නන්ද කුමාරයා ව පැවිදි කළ හැටි දිව්‍යාංගනාවන් ව පෙන්නලා...
මේ විදියට සැප විඳින දෙවියන් ගැන, දුක් විඳින ප්‍රේතයන් ගැන විස්තර කියවන්න තියෙන හොඳම තැන තමයි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු විමාන වස්තු කියන කොටස. මෙතනින් සහ මෙතනිනුත් ඒ වගේ කථා දෙකක් කියවන්න පුළුවනි.
අද උඳුවප් පුර පෝය දවස. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම වගේ වැදගත් සිදුවීම් වෙලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී පාද සමය ඇරඹෙන්නෙත් උඳුවප් පුර පෝය දවසිනුයි.
ප.ලි: දිලී ගේ ඉල්ලීමක් වෙනුවෙන් අද සටහන ලියද්දි දිවයින පත්තරේ රහතුන් වැඩි මඟ ඔස්සේ අතිරේකයත්, සිළුමිණ පත්තරේ සිත්මල් යාය අතිරේකයත් උදව් වුණා. අද දෙසැම්බර් 27 වෙනිදා බ්ලොග් එකට තරමක් විශේෂ දවසක්. ඇයි දන්නවද? අදට මේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු දෙකක්... අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් අය මාත් එක්ක රැඳිලා හිටියා. ප්‍රතිචාර දැක්වුවා, වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නා, අගය කළා. ඒ හැමෝටම වෙනසක් නැතුව ම අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම නොදැනුවත්වම හරි හිත් රිදීමක් ඇතිවුණා නම් සමාව ඉල්ලනවා.
අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!
අවුරුදු දෙකක් තිස්සේ ටිකක් විතර එකම වේගෙන් ඇවිත් ටිකක් මහන්සිත් වගේ දැනෙනවා. පෝස්ට් එකසිය හතළිස් ගණනක් විතර. මුල් ම කාලේ තාක්ෂණය සම්බන්ධ ලිපි වලින් පටන් ගත්තත් අන්තිම කාලෙදි ලියැවුණේ ම දහමට සම්බන්ධ සටහන්. කාලයක් ගතවෙද්දි හැමදෙයක් ම වෙනස්වෙලා යන එක කාටත් පොදු දෙයක්නේ. ඉතින් සමහරවිට මේ මගේ 'හංස ගීතය' එහෙමත් නැත්තම් 'Swansong of the blog' වෙන්නත් ඉඩ තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් ආයෙත් දැන් ම මේ බ්ලොග් එක ලියන්න මගේ අදහසක් නෑ. ඒ නිසා ගිහින් එන්නම්. ස්තූතියි හැමෝටම ආයෙමත්!!!! ප්‍රීතිමත් නව වසරක් වේවා!
23 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !