සැකයි මට ඔබේ කුමරි බඹසර...


කුමරි බඹසර, ධර්මචර්යාව, නිර්මලත්වය, පත්‍රව‍්‍රතාව, පතිවත, පතිව‍්‍රතය, පිරිසිදු බව, බඹසර, බ‍්‍රහ්මචර්යාව, ශතීත්වය ආදී එකී මෙකී නොකී විවිධාකාර නම් වලින් හඳුන්වන කුමරි බඹසර ගැන තමයි අද මාතෘකාව. ලෝකේ අනිත් රටවල කෙසේ වෙතත් පෙරදිග රටවල විශේෂයෙන් ලංකාවේ නම් හරිම වැදගත් දෙයක් කියලා සලකන දෙයක් තමයි මේ කුමරි බඹසර රැකීම. විවාහය වෙනකල් කුමරි බඹසර ආරක්ෂා කරගත්ත ගැහැණු ළමයෙක් දිහා සමාජය ගෞරවයෙන් බලනවා වගේ ම එහෙම බැරි වුණ කෙනෙකුට කඩු පොලු අමෝරාගෙන එන්නත් අපේ සුචරිතවත් සමාජය අමතක කරන්නේ නැහැ.

එහෙම කෙනෙක් දිහා බලන්නේ හරියට අයාලේ ගිය කෙනෙක් දිහා බලන අවඥා සහගත බැල්මකින් වගේ ම මීට පස්සෙ ඒ කෙනාගෙන් සමාජයට වැඩක් නැහැ වගේ හැඟීමකින් නේද? හරියට මීට පස්සේ කිසිම විශ්වාසයක් තියන්නේ නෑ වගේ. මේ හැඟීම සාධාරණ ද අසාධාරණයිද? මම නම් හිතන්නේ සමහර වෙලාවට එහෙම හරි කියලා. බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් දෙනෙක් මේ අදහසට එකඟ වෙන එකක් නැති වෙයි, ඒ වුණත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හැමෝම වගේ මගේ අදහසට එකඟ වේවි මම හිතන්නේ... එහෙනම් බලලා ම ඉන්නකෝ!




මේ පද වැල...

තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල//

ඉරා සළු පට බැඳුන නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝණ දිය
තලා අසිපත නසා එහි පණ
පසඳලිය හැකිවේද යුක්තිය

තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල

ධවල සළු පිලි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැළුනිද
ඔබේ ගත ‍රැඳි දුහුල් සළු පට
හමන සුළඟට ඉගිල යාවිද

තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල...

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: උපාලි ජයමාන්න
සංගීතය: ඩැනිස්ටර් පෙරේරා

වචන දාහකින් ප්‍රසිද්ධියේ කියන්න බැරි, කියලා කාටවත් ඒත්තු ගන්නන්න ලේසි නැති කතාවක් අමරසිරි පීරිස් මහත්මයා (පද රචකයා සහ සංගීතඥයා අමතක කරනවා නෙවෙයී විනාඩි තුන හතරක පද පේළි කිහිපයකින් අපූරුවට කියනවා. රටේ ඇතිවෙලා තියෙන අරාජික තත්වය වගේ ම එහෙම වෙන්න හේතුවත් හරියට ඔලුව අතගාලා ටොක්කක් අනිනවා වගේ කියනවා කියලා මට හිතෙනවා. ගෙදර වැඩකට මුහුදු වෙරළින් වැලි කොට්ටයක් අරගෙන යන මිනිහා ව අල්ලලා නඩු දාලා දඬුවම් දෙන ගමන් ම මහ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ගං ඉවුරු කපලා යද්දී මිනිස්සුත් හප්පාගෙන යන වැලි ටිපර් දිහා නොදැක්කා වගේ ඉන්නේ නීතියෙ ඇස් බැඳලා නිසා වෙන්නෝන. එතනින් පටන් ගත්තම ඉහළට යනකල් ම සාමාන්‍ය මනුස්සයාට මේ යන විදියට නීතියෙන් සාධාරනයක් ඉෂ්ඨ වේවිද කියන ගැටළුව කටින් කතා කරලා ඇහුවේ නැතත් පොළවේ පය ගහලා ඉන්න හැම කෙනාට ම ඇති. එහෙම නේද? තාමත් මේ සින්දුව එතරම් ජනප්‍රිය වෙලා නෑ මම හිතන්නේ... අළුත් නිසා ම. කොහොමත් නිර්භීත ව මේ වගේ සින්දුවක් නිර්මණය කිරීමේ ගෞරවය උඩ ඉන්න තුන් කට්ටුවට ම හිමිවෙන්නෝන.

ප.ලි: ෆේස්බුකියේ එහේ මෙහේ රවුමක් යද්දී දැක්කා අපූරු සින්දුවක් තියෙනවා, අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන. මම නම් මීට කලින් අහලා තිබුණේ නැහැ. විෂුවල් එකත් එක්ක බලද්දි තමයි සින්දුව ගැන නියමම හැඟීම එන්නේ කියලයි මටනම් හිතෙන්නෙ. දැන් කස්ටිය මොනාද කියන්නේ මගේ අදහස ගැන... මගේ පස්සෙනුත් පන්නයි ද දන්නෙ නෑ පොලු මුගුරු අරගෙන, කස්ටිය ව රැවැට්ටුවා කියලා!

39 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

BIOS password පරිගණක සොරුන් ගෙන් ඔබ සුරකියි...


සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි
1. Windows Password යෙදීම මඟින්
2. BIOS password යෙදීම මඟින්

මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්! BIOS password ගැන කියනවානම් ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. සමහරු දන්නවා වුණාට පාවිච්චි කරන්නෙත් නෑ. දන්නවද, Windows Password යෙදීම ආරක්ෂිතයි තමයි, නමුත් ඒකට වඩා දහස් ගුණයකින් ඔයා ආරක්ෂිතයි ඔය මුරපද දෙකම පාවිච්චි කරනවානම්.

මේ වගේ දෙයක් හදිස්සියේ ම මතක් වුණේ කැම්පස් එකේ අඳුරන මල්ලි කෙනෙකුට වුණ පොඩි අකරතැබ්බයක් නිසයි. මෑන් දවසක් බස් එකේ කැම්පස් එන ගමන් පැල්මඩුල්ල හරියෙදි බස් එක තේ බොන්න නවත්තලා. එයාත් බෑග් ටික ඉඳගෙන හිටිය සීට් එක උඩින් තියලා සිංදුවක් කියන්න ගිහින්. නිදහසේ සින්දුව කියලා පොඩ්ඩක් වටපිට කාරිය බලලා ආයෙත් බස් එකට ඇවිත් බලනකොට ලැප් බෑග් එක නෑ. බස් එකේ හිටිය හැමෝම වගේ බැහැලා ගිහින් නිසා අහන්න කවුරුවත් ඉඳලත් නෑ. හිටිය එක්කෙනා දෙන්නගෙන් අහද්දි කිව්වලු තුන් හතරදෙනෙක් ඇවිත් අරන් යනවා දැක්කා, ඒ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා නෑ. මොනවා කරන්නද ඉතින්, පාඩුව විඳගත්තා මලයා. පස්සේ හොයලා බලද්දි තමයි දැනගත්තේ එතන එහෙම බස් වල බඩු හොරකම් කරන මැර කල්ලියක් ඉන්නවා කියලා.

ඔය වෙනකල් ම මම වුණත් හිතලා තිබ්බේ නෑ පොඩ්ඩක්වත් ලැප් එකේ ආරස්සාව ගැන. ඊට පස්සෙ මම හොයලා බලලා දැනගත්ත දේවල් ඔයාලටත් …ඕනවෙන්න පුළුවන්නේ කියලා හිතලා තමයි මේ පෝස්ට් එක දාන්නේ. හරි හරි ඒ කතාව ඉවරයි, අපි යමුකෝ අපේ මාතෘකාවට. BIOS password එක මඟින් කෙරෙන්නේ CMOS වල ගබඩා කරලා තියෙන Settings වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන එකයි. තවදුරටත් කියනවා නම් පරිගණකයේ දෘඪාංග සඳහා වන පිවිසීම අවහිර කරනවා මෙයින්. එහෙමත් තේරුණේ නැත්තම් මෙහෙමයි, පරිගණකයට ඔයා නැතුව මොනවවත් වෙනස්කමක් කරන්න දෙන්නෙ නැහැ. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාගේ පරිගණකය කවුරුහරි සොරකම් කළා කියලා. අපි හිතනවා "බයවෙන්න දෙයක් නෑ, මම XXXX මෘදුකාංගය දාලානේ තියෙන්නෙ, ඒකෙන් ලැප් එක ගත්ත කෙනාගේ ෆොටෝ එකයි ඉන්න තැන ගූගල් මැප් එකකිනුයි කියලා ඊ මේල් එකක් එයිනේ"

එහෙම වේවි හොරා ඔයාගේ පරිගණකයට log වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වුණොත්!!! හැබැයි ඔයාගේ අවාසනාවට හොරා ලැප් අරගෙන Format කරනවා.... එතනදී ගූගල්ටත් ඔයාට උදව් කරන්න බැරුව යනවා. ඊට පස්සේ තියෙන්නේ හිත හදාගන්න එක විතරයි නේද? නෑ නෑ එහෙම වෙන්න ඕන නෑ දැන්... ඒක වළක්වන්න තමයි අපි BIOS password දාන්නේ. එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය Format කරන්න බැහැ. හොරාට එතකොට හොරකම් කල එකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ!

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්.

ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ නිල්පාට තිරයක් සහිත මේ වගේ Window එකක්. ඒකේ තියෙනවා Security කියලා tab 1ක්.

ඒකේ තියෙනවා තේරීම් දෙකක්. "Set User Password" සහ "Set Supervisor Password" විදියට. "Set User Password" එකෙන් කරන්නෙත් password එකක් දෙන එක තමයි , නමුත් එතනදි ඒක දන්න කෙනාට පුළුවන් CMOS Settings සඳහා ඇතුළුවෙන්න සහ බලන්න විතරයි. වෙනස්කම් කරන්න ඉඩදෙන්නෙ නැහැ.

"Set Supervisor Password" එක දන්නවනම් ඕන විදියක වෙනස්කම් කරන්න ඉඩදෙනවා. එහෙනම් තෝරන්නකෝ "Set Supervisor Password" කියන එක (ENTER ක්ලික් කරන්න). දැන් Password එක දෙන්න. ඒක ආයෙත් Confirm කරන්න. ඕන කියලා හිතෙනවා නම් "Set User Password" එකත් ඒ විදියටම දෙන්න. දැන් F10 ඔබලා Save කරන්න. ඊටපස්සේ ඔයා පරිගණකයට log වෙන හැමවෙලාවෙම වගේ ඔය Password එක අහාවි. User/Supervisor දෙකෙන් කොයි එක දුන්නත් ගැටළුවක් නැහැ.

ප.ලි: මතක තියාගන්න පුළුවන් Password එකක් දෙන්න, බැරිවෙලාවත් ඒක අමතක උණොත් ආයෙත් log වෙන එක Desktop වල නම් ඒතරම් අවුලක් නොවුණත් Laptop වල ටිකක් කරදරකාරී වැඩක්.

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Marketing නම් මාකටින්...


දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා සද්දයක් එහෙම දාලා කිව්වා එයාට බ්‍රැඩ් ගේ හැකියාව චෙක් කරන්නෝන කියලා. "මම තමාට ට්‍රයල් දවසක් දෙනවා අද. හවසට එනවා මම තමන්ගේ සේල්ස් බලන්න" එහෙම කිව්ව ප්‍රධානියා යන්න ගියා.

ඉතින් බ්‍රැඩ් ගිහින් වැඩ පටන් ගත්තා. ටික ටික හවස් වේගනත් ආවා. කිව්වා වගේ ම ලොක්කා මෙන්න එනවා හවස් වෙද්දි බ්‍රැඩ් ව බලන්න. ලොක්කා එද්දිත් බ්‍රැඩ් කස්ටමර් කෙනෙක් එක්ක කතා කරලා Shakehand කරනවා. ඉතින් ලොක්කට හරි සතුටුයි මේක දැකලා.

ප්‍රධානියා : ආ.. බ්‍රැඩ් හොඳට වැඩ කරගෙන යනවනේ. අද දවසට කොච්චර සේල්ස් කළා ද?

බ්‍රැඩ් : එකයි සර්!

ලොක්කට ටිකක් තදවුණා.

ප්‍රධානියා : සාමාන්‍යයෙන් මගේ ස්ටාෆ් එක දවසට සේල්ස් 20-30 ක් වත් කරනවා. ඒ නිසා තමුන් ට මීට වඩා හොඳට වැඩ කරන්න වේවි දිගටම ඉන්න නම්. ඒකට කමක් නෑ කියන්න ඔයාගේ සේල් එකේ වටිනාකම?

බ්‍රැඩ් : ඒක ඩොලර් 365,452 ක් වෙනවා සර්.

ලොක්කා හොල්මන් වුණා. අඩියක් දෙකක් පස්සට ගිහින්...

ප්‍රධානියා : ආ... එහෙමද? කොහොමද කියන්නකෝ ඔයා එච්චර සේල්ස් කළේ කියලා?

ඔන්න බ්‍රැඩ් කියන්න පටන් ගත්තා කතාව. ලොක්කත් වශී වෙලා වගේ අහගෙන ඉන්නවා. "සර් හවස එද්දි මෙතන හිටිය කස්ටමර් උදේ ම ෂොප් එකට ආවේ. මම එයාට විකිණුවා කුඩා ප්‍රමාණයේ බිලී කොක්කක්. ඊට පස්සෙ මධ්‍යම ප්‍රමාණයේ එකක්. ඊටත් පස්සේ ලොකු එකක්. අයේ මම එයාට දුන්නා spear gun එකක්, wetsuit එකක්, scuba gear එකක්, මාළු දැලක්, ශීතකාරක " වගේ මාළු අල්ලන්න ඕන කරන සේරම දේවල් වගේ ම බියර් කෑන් එකකුත්.

මම ඇහුවා එයාගෙන් කොහාටද මාළු අල්ලන්න යන්නේ කියලා. එයා කිව්වා මේ එහා පැත්තේ තියෙන ගඟට කියලා. ඉතින් මම කිව්වා හොඳට විනෝද වෙන්න පුළුවන් ගඟ මැදට ම ගිහින් මාළු ඇල්ලුවොත් කියලා. එයා තීරණය කළා අපෙන් බෝට්ටුවකුත් ගන්න. ඉතින් මම එයාව යැව්වා අපේ බෝට්ටු අංශෙට. එයා එතනින් එන්ජින් දෙකේ පොඩි බෝට්ටුවක් තෝරගෙන තිබුණා. ඊට පස්සේ එයා එළියට ගිහින් ඇවිත් කිව්වා මට, එයාගේ පරණ කාර් එක බෝට්ටුව ගඟ ළඟට අරන් යන්න තරම් ලොකු මදියි කියලා. ඊට පස්සේ මම එයා ව යැව්වා අපේ මෝටර් රථ අංශෙට. එහෙදි එයා අපේ තියෙන නැවක් වගේ ලොකු, TV එකක්, හීටරයක් එහෙම තියෙන සුඛෝපභෝගී කාර් එක ට මුදල් ගෙවලා තිබුණා"

ප්‍රධානියා : ඔයා ඒ ඔක්කොම විකුණුවේ බිලී කොක්කක් ගන්න ආව මනුස්සයෙකුට නේද? හරි පුදුමයි! අනර්ඝයි බ්‍රැඩ්!

බ්‍රැඩ් : නෑ සර්, ඒ මනුස්සයා ආවේ බ්ලැන්කට් එකක් ගන්න.

ප්‍රධානියා : ඈ... බ්ලැන්කට් එකක් ගන්න. ඉතින් මොකටද එයාට බිලී කොක්කක් දුන්නේ?

බ්‍රැඩ් : එයා බ්ලැන්කට් එකක් ඕඩර් කළේ කවිච්චියට දාගෙන නිදාගන්න. එයා වයිෆ් එක්ක තරහා වෙලා වලියකුත් දාගෙන ඇවිත් තියෙන්නෙ. රෑට නිදාගන්න තමයි කවිච්චියට බ්ලැන්කට් එකක් ඉල්ලුවේ. ඉතින් මම එයාට කිව්වා වයිෆ් නිසා සති අන්තේ නාස්ති කරගන්නේ නැතුව කොහෙහරි ගිහින් විනෝද වෙන්න කියලා. ඒ සැරේ තමයි මිනිහා ගඟට ගියේ මාළු බාන්න.....


ප.ලි: මේ දවස් වල දිගටම දාන්න වෙන්නේ ඊමේල් වලින් එන කතන්දර තමයි. මොනවත් නොදා ඉන්න කම්මැලිකමට යන්තම් translate කරලා දැම්මා. එක්සෑම් නම් ඉවරයි, ඒත් mini project එකේ presentation එක ඉවරවෙනකල් විවේකයක් නෑ කිසිම ඕං. ෆොටෝ එක (www.staycationnation.net)

34 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Pen එක RAM එකක් කරමු - ReadyBoost




කාලෙකින් ටෙක්නිකල් පෝස්ට් මුකුත් ම ලියන්න බැරිවුණා. මම බ්ලොග් එක පටන් ගත්තෙත් ටෙක්නිකල් මොනාහරි ගැන ලියන්න, ඒත් කම්මැලිකම තමයි ලොකුම හේතුව වෙලා තියෙන්නෙ මම හිතන්නේ. ඒ හින්දා අද හිතුවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න පෙන් එක RAM එකක් කරන හැටි කියන්න. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් ලොකු, කුඩා, බාල, මහළු, තරුණ, වැඩිහිටි, ළමා ළපටි හැමෝම ළඟ ෆෝන් එකට අමතරව තියෙන දෙයක් තමයි පෙන් එක කියලා කියන්නෙ.

සමහරුන්ට වැඩක් නැති වුණත් පෙන් එකක් පේන්න තියාගෙන එකත් කාලයක් ෆැෂන් එකක් වෙලා තිබුණානේ. කොහොම වුණත් ඔය පෙන් එකට පුළුවන් ගොළුබෙලි ගමනෙන් යන පරිගණකයට අස්ප වේගයක් දෙන්නත්. ඒ නිසා පෙන් එකේ තියෙන හිස් ඉඩෙන් ප්‍රයෝජනයක් ගත්තොත් කොහොමද? මේක Windows 7 වල තියෙන සැකසුමක්. ඒ කියන්නෙ ටිකක් විතර පරණයි නේද? Windows 8 එන්නත් දැන් ළඟයිනේ. කමක්නෑ දන්නෙ නැති/ පාවිච්චි කරන්නේ නැති අය ඇතිනේ.

හැබැයි ඉතින් පෙන් එක ෆුල් කරගෙන ඉන්න අයට නම් මේක කරන්න බැරිවෙයි ඔන්න. ඒ නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි 2GB වත් හිස් ඉඩක් තියාගන්න. මට මතක නැතිවුණානේ මේ මොකක්ද කියලා කියන්න. මේ සැකසුමට කියන්නේ ReadyBoost කියලා. පෙන් ඩ්‍රයිව් වලින් විතරක් නෙවෙයි SD Card වලින් වුණත් ReadyBoost කරන්න පුළුවන්. ගොඩක් ම ප්‍රයෝජනවත් වෙන්නේ පරිගණකය ගොඩක් ස්ලෝ අයට තමයි. ඒ කියන්නේ හාඩ් ඩිස්ක් එක ගොඩක් පිරිලා නම් එතකොට පරිගණකය හෙමීට තමයි වැඩ කරන්නේ. ReadyBoost පහසුකම එකතුකළා කියන්නේ හරියට අමතර RAM එකක් එකතු කළා වගේ තමයි. තිබුණට වඩා දැනෙන තරමකට වේගය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා ලැබෙනවා මෙයින්.

දැන් බලමු කොහොමද කරන්නේ කියලා. පොඩි වැඩ ටිකක් තියෙන්නේ. මුලින් ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්නකෝ. එතකොට ඒක Auto Play වෙලා මේ වගේ Window එකක් ඒවි. ඒකේ පහලින් ම තියෙන Speed up my system තෝරන්න.


එතකොට යන්නේ මේ වගේ තැනකට. එතනදී Use this device තේරීම දෙන්න. ඊටපස්සේ පහලින් කැමති ඉඩ ප්‍රමාණයක් දෙන්න. අඩුම තරමේ 2GB වත් දෙන්න උත්සහ කරන්න. නැත්තම් මේ වැඩෙන් තේරුමක් නැතිවේවි. මම නම් ලෝබ නැතුව අත දිග ඇරලා ම 5GB දීලා තියෙන්නෙ. ඊට පස්සෙ Apply->OK කරන්න. එච්චරයි වැඩේ.


Device එක Auto Play වෙන්නෙ නැති අයට කරන්න තියෙන්නේ …Computer ගිහින් device එක තෝරලා Properties->ReadyBoost යන එකයි. ReadyBoost ඕන නෑ කියලා හිතෙනවා නම් ආයෙම Computer ගිහින් device එක තෝරලා Properties->ReadyBoost ගිහින් Do not use this device දෙන්න. නැත්තම් පෙන් එක plug කරන සැරයක් ගානෙම පරිගණකය ඔයාගේ පෙන් එකෙන් ඔයා කලින් දුන්න ඉඩ ගන්නවා RAM එක විදියට. මතක තියාගන්න ඔයා RAM එක විදියට පෙන් එකෙන් දුන්න ඉඩ ප්‍රමාණය ඔයාට data store කරන්න පාවිච්චි කරන්න ගන්න බෑ.

4GB-8GB වගේ RAM එකක් තියෙන අයට නම් ReadyBoost වලින් වැඩක් නෑ. සාමාන්‍යයෙන් 1GB-2GB වගේ RAM එකක් තියෙනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්. ReadyBoost පහසුකම ගොඩක් active වගේ දැනෙන්නේ Games, Graphics වල වැඩ කරද්දි තමයි. බලන්නකෝ එතකොට ඒවා load වෙන්න යන කාලය ගොඩක් අඩුයි. හරියට මුල් කාලයෙන් 1/3ක් විතර ඉක්මනට load වෙනවා. අනිත් වැඩ වලදි නම් ලොකුවට දැනෙන එකක් නෑ! කරලා බලන්නකෝ මේ වැඩේ ඔයාටත් ප්‍රයෝජනවත් වේවි. එහෙනම් ඒ ගැන මොනාහරි කියලත් යන්න. වැඩ කරන්නෙ නැත්තම් ඒකත් කියන්න...........


ප.ලි: වැඩේ සැකයි වගේ නම් Start->Resource monitor ගිහින් බලන්න ReadyBoost active කරන්න කලින් සහ පස්සේ කොහොමද පෙන්නන්නේ කියලා!

38 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මැජික් බියර්...



කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
කොල්ලා : මේක මැජික් බියර් එකක්!

කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.

කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?
කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.

ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු

කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.
කොල්ලා : පොඩ්ඩක් ඉන්න

කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල...

ප.ලි: කතාව මගේ වගේ දැම්මට මටත් මේක ඊයකින් ආව එකක්. මැජික් බියර් (www.beerreviews.co.uk) එකේ ෆොටෝ එකක් තමයි හොයාගන්න හරිම අමාරු වුණේ!

26 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බත සපයන නුඹේ සිතත් කුස වාගෙම පිරුණා නම්...


ඊයේ හදිසියේ ම වෙඩිමකට යන්න උණා පොළොන්නරුව පැත්තේ. වෙන කවුරුත් නෙවෙයි නැන්දාගේ පුතා. මෑන් හදිසියේ ම කෝල් එකක් දීලා කිව්වා අහවල් දවසේ බඳිනවා, පුලුවන් නම් එන්න කියලා. හරිනම් මඟුල් කියන ඒවා පිළිවෙලකට වෙන්න ඕන වුණත් ඒ මඟුල නම් ජංජාල ගොඩයි. (ඒ ගැන කියන්න වෙනම පෝස්ට් එකක් ඕන වෙයි වගේ) ඒ යන ගමන් හදිසි වැඩකට හිඟුරක්ගොඩ නගරයට යන්න වුණා. ඒ ගිහින් එද්දි මුහුණ පෑව සිද්ධියක් තමයි මේ...



තේරුම් ගන්න පුළුවන් නේ මොකක්ද සිද්ධිය කියලා. මම ඒ පැත්තේ මලයෙකුට කිව්වා මෙහෙම සිද්ධියක් වුණා කියලා. එයා කියනවා මේ ටිකේ ම ඒ පැත්තේ ඒ වගේ උද්ඝෝෂණ, පිකටින් වලින් අඩුවක් නැතිලු. ඇත්ත. ඒ මිනිස්සු ආසාවකට මෙහෙම පාරට බහින්නේ නෑනේ ගිනි කාෂ්ඨකේ පිච්චි පිච්චි. ඒ අයගේ ප්‍රධාන ඉල්ලීම තමයි ගොවීන් ගේ වී වලට සහතික මිලක් දෙන්න කියන එක. මේ දවස්වල මහ කන්නේ අස්වනු කැපෙන්න පටන් අරන්. ඒත් දැනගන්න ලැබුණ විදියට වසර 2005 සිට වී ගොවියාට ලබා දී ඇති සහතික මිල එනම් සම්බා වී කිලෝවකට රුපියල් 30 කුත් නාඩු වී කිලෝවකට රුපියල් 28 කුත් වන සහතික මිල අද වන තුරු වැඩි වෙලා නෑ. හැබැයි ඉතින් වී මිලට සාපේක්ෂව 2005 ඉඳන් අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වල මිල නම් රොකට් වේගයෙන් ඉහළ ගිහින්. උදාහරණ කිව්වොත් පරිප්පු මිල 72% කිනුත්, මුං ඇට කිලෝවක්‌ 111% කිනුත්, සැමන් 153% හාල්මැස්‌සන් කිලෝවක්‌ 63.8% කිනුත් රතුළූණු කිලෝවක්‌ 86% කිනුත් සුදුළූණු කිලෝවක්‌ 84% කිනුත් වැඩි වෙලා.

හැමදාමත් අස්වනු කැපෙන කාලෙට රජයෙන් කියනවා රු මිලිය xxxx ප්‍රමාණයක් වී මිලදී ගන්න වෙන් කළා කියලා. ඒත් හැමදාමත් ගොවියෝ වී විකුණලා තියෙන්නේ පුද්ගලික වෙළෙන්ඳන්ට ම විතරයි. සම හරක් ට හිතෙන්න පුලුවන් එහෙනම් පුද්ගලික අංශයෙන් ඊටත් වඩා වැඩි මිලකට වී ගන්නවා ඇති කියලා. ගොඩක් තැන් වල වෙන්නේ මේකයි. ගොවියෝ අස්වනු කපලා විකුණාගන්න රජයේ මධ්‍යස්ථාන වලට වී අරගෙන ගියා ම ඒකේ ඉන්න නිළධාරීන් කියන්නේ "තවම සල්ලි ඇවිත් නෑ, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නෑ, වී තෙත වැඩියි" ඔයවගේ කතන්දර. සමහර වෙලාවට ගොවියන්ට වාහනේ ට කුලිය ගෙවන්නවත් සල්ලි නෑ. ඔය වෙලාවට තමයි මිනී කාක්කෝ වගේ ඉන්න වී කාක්කෝ එතනට වහන්නේ. උන් එතනට ඇවිල්ලා කිලෝව රු 22-23 ට ඉල්ලනවා. වී ටික ආයෙත් අරන් යන්න තව පාරක් කුලී ගෙවන්න සල්ලි නැති ගොවියෝ කරන්නේ ඉල්ලන ගානකට වී ටික දීලා හූල්ල හූල්ල ගෙදර යන එකයි. මොකද ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා වී ටික විකුණලා කන්න මොනාහරි ගේනකල්. විළි වැහෙන්න ඇඳුමක් ගන්නේ, පුංචි වුන් ට පොතක් පෑනක් ගන්නේ ඔය තුට්ටු දෙකෙන් කියලා රෑට බත් ගිල ගිල ටීවි එකෙන් මේ වගේ නිව්ස් ආසාවෙන් රස විඳින ගොඩක් අය දන්නෙ නෑ.



අනිත් කතන්දරේ තමයි වී මාෆියාව. මහවැලි කලාප/ රජරට පැතිවල ඉන්න වී මුදලාලිලා, (මේ අය ගොඩක් වෙලාවට දේශපාලනඥයන් ගේ ළඟම නෑයෝ) අර වී ටික කුණු කොල්ලෙට එකතු කරගෙන තමන්ගේ විවිධ අයථා සම්බන්ධකම් පාවිච්චි කරලා රජයේ මධ්‍යස්ථානවලට ම සහතික මිලට අධික ලාභයක් තියාගෙන විකුණනවා. ඊට පස්සේ කන්නයක් විතර පහු වුණා ම රජය, ගබඩා ටික හිස් කරගන්න කියලා අර වී ටික අඩු මිලට විකුණනවා. ඒ වී ටික මිලට ගන්නෙත් අර මුලින් කිව්ව වී මුදලාලිලාමයි. සුළු/මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ටෙන්ඩර් ඉබේම අහෝසි වෙනවා. ඊටපස්සේ ඒ වී ටික එයාලාගෙම සහල් මෝල් වලින් සහල් කරලා අධික ලාභ තියාගෙන ලස්සන පැකට් වල දාලා මිනිස්සුන්ට විකුණනවා. ඔන්න ඕක තමයි ගොඩක් වෙලාවට ගොඩක් තැන් වල සිද්ධවෙන කතන්දරේ. කොහොමද වැඩේ?

වී මිල එක තැන තිබුණත් කෘෂි ආම්පන්න, බිත්තර වී, කෘෂි රසායන හා සී සෑම, අස්වනු නෙලීම ආදිය සඳහා වියදම් ඉහල යාම නිසා ගොවීයෝ අසරණ වෙනවා ගොඩක් වෙලාවට. ගොවි මුදලාලිලා හැරෙන්න සාමාන්‍ය ගොවියෝ බොහෝ වෙලාවට ණයට තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මිනිස්සුන්ට අස්වනු ප්‍රමාණවත් මිලකට විකුණාගන්න බැරිවෙලා ණයහිමියන්ට මූණදෙන්න බැරුව වහ බීලා මැරෙනවා කියන එක ඉස්සරහට රජරට පැත්තට ගොඩක් සාමාන්‍ය දෙයක් වේවි ඉස්සරහට. අනිත් එක ටිකක් හොයලා බලන්න දෙමළ ජනයා බහුතරයක් සිටින වතුකරය හැරුණු විට විරැකියාව, දරිද්‍රතාවය, ගැබිනි හා ළමා මන්ද පෝෂණය, ළමා විවාහ, අඩු අධ්‍යාපනය වගේ සාධක ඉහල මට්ටමක තියෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොණරාගල වගේ බහුතරය ගොවියන් ඉන්න දිස්ත්‍රික්ක වල.

1970 දශකයේ අග භාගයේ ඉඳන් විවිධ රජයන් විසින් ක‍්‍රියාවට නැංවූ, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත වෙලඳපොල ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ ගොවි ජනතාවට බරපතල ප‍්‍රහාර එල්ල වුණා. මේ යටතේ වී අලෙවි මණ්ඩලය, සමුපකාර තොග වෙලඳ සංස්ථාව හා සීමා සහිත ශ‍්‍රී ලංකා අලෙවි සම්මේලනය (මාක්ෆෙඩ්) විසින් සිදු කළ වී සහ සෙසු ධාන්‍ය මිල දී ගැනීම් ක‍්‍රමානුකූලව නතර වුණා වගේම බිත්තර වී, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය සහ ගොවි උපකරණ අලෙවිය පුද්ගලික අංශය අතට මාරු වුණේ කාටවත් නොදැනී.

ගොවියෝ ඉල්ලන්නේ තමන්ගේ වී වලට සහතික මිලක්. නැතුව තෙල් මිල අඩු කරන්නවත්, නෙළුම් පොකුණක්වත්, දරුවන්ට සුපිරි පාසලක් ඉල්ලලාවත් නෙවෙයි. ඒ වෙනුවට එයාලට ලැබෙන්නේ ගොවි විශ්‍රාම වැටුප් කපා හැරීම්, වෙලාවට පොහොර සහනාධාරය නොලැබීම් වගේ දේවල් විතරයි. මිනිස්සු ගොවිතැනෙන් ඈත් වෙන්නෙත් මේ දේවල් හින්දා වෙන්නත් ඇති. දැන් ඉන්න තරුණ ප්‍රජාව ගොවිතැනෙන් ඈත් වුණා ම කවුද ඒවා ඉස්සරහට අරගෙන යන්නේ? මහවැලි ඉඩම් දැන් දැන් අක්කර ගණන් වෙන වෙන වගාවන් සඳහා බද්දට දෙන්න පටන් අරන් තියෙන්නෙත් මේ හේතුව නිසා නෙවෙයි කියලා කාටද කියන්න පුලුවන්? මෙහෙම ගියොත් පරණ කාලේ ඇති කළ ගොවි ජනපද ව්‍යාපාරය/ මහවැලි ව්‍යාපාර වල අරමුණු අද හෙටම බිඳ වැටෙන එක නම් සිකුරුයි... සමහරවිට පිටරටින් සහල් ගෙනල්ලා කෑමේ වාසනාව උණත් අපට ලැබෙන්න පුළුවන්!

ප.ලි: ෆොටෝ ගත්තේ නම් ෆෝන් එකෙන්. හැබැයි ටිකක් බයෙන්. හොරෙන් නේ ගත්තේ. ඒක කවුරුහරි දැක්කා නම් වාහනෙත් කුඩු කරගෙන එන්න වෙන්න තිබ්බා...

24 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දැනගෙන කෑව ම තමයි වටින්නේ...


සීහ කියන්නේ හරිම දක්ෂ සේනාපතියෙක්. සීහ සේනාපති කිව්ව ම ඒ කාලේ දඹදිව අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඒ තරමට ප්‍රසිද්ධයි. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සීහ සේනාපතියා ඉන්න නගරෙට. හැම තැන ම ප්‍රසිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුවත් නොකියන ධර්මයක් කියලා. ඒ නිසා මිනිස්සු හැම අතින් ම වැළ නොකැඩී ඇදිලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඉතින් මේ මහ සෙනඟ දකින සීහ සේනාපතියාටත් හිතෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා නම් හොඳයි කියලා.

හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. සීහ සේනාපතියා ව හැමෝම දැනගෙන හිටියේ නිඝණ්ඨනාථපුත්ත ගේ ශ්‍රාවකයෙක් විදියට. ඉතින් ඒ නිසා සීහ සේනාපතියා තීරණය කළා ඉස්සරවෙලා ම ගිහින් නිඝණ්ඨනාථපුත්ත තුමාගෙන් අහන්න, තමන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න ද එපා ද කියලා. එතකොට නිඝණ්ඨනාථපුත්ත කියනවා බුදුරජාණන් වහන්සේගේ නුගුණ විස්තර කරලා යන්න එපා කියලා. මොකද සීහ සේනාපතියා කියන්නේ නිඝණ්ඨනාථපුත්තගේ ප්‍රධාන පෙළේ දායකයෙක්, ඔහු තමන්ගෙන් ගිළිහුණොත් නම් වෙන්නේ ලොකු පාඩුවක් නිසා.

හැබැයි ආයෙත් ටික දවසකින් සීහ සේනාපතියාට හිතෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න. දෙවෙනි වතාවටත් නිඝණ්ඨනාථපුත්ත සීහ සේනාපතියා ව වළක්වනවා. එතකොට ආයෙත් සීහ සේනාපතියා අදහස වෙනස් කරගන්නවා. නමුත් ආයෙත් ටික දවසකින්, බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න තිබ්බනම් කියලා හිතෙනවා සීහ සේනාපතියාට. මේ සැරේ සීහ සේනාපතියා හිතනවා යන්න ද කියලා අහන්න ගියොත් නම් අනිවාර්යෙන් ම මේ සැරෙත් එපා කියනවා. ඒ නිසා අහන්නේ නැතුව හොරෙන් ම යනවා කියලා.

ඉතින් සීහ සේනාපතියාත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන සෙනඟ අතරෙම බණ අහන්න යනවා විහාරෙට. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදෙනවා. සීහ සේනාපතියා සෝවාන් ඵලයට පත්වෙනවා වගේ ම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ඊළඟ දවසෙ දවල් දානයට ආරාධනා කරනවා. ඒකට සීහ සේනාපතියා සේවකයෙකුට අණ කරනවා වෙලඳපලට ගිහින් දානෙට ඕන කරන මස් අරගෙන එන්න කියලා. ඔන්න දවල් වෙද්දි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානයට වැඩම කළා. මේ අතරෙදි නිඝණ්ඨනාථපුත්තට ආරංචි වෙනවා තමන්ගේ ප්‍රමුඛ පෙළේ ශ්‍රාවකයෙක් වුණ සීහ සේනාපතියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදිලා ඔන්න දානෙකුත් දෙන්න යනවා, ඒකට මස් එහෙමත් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දානය වළඳන අතරතුර නිඝණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයෝ හන්දි ගාණේ ගිහින් කෑගහන්න පටන් ගත්තා "ඔන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා ලොකු සතෙක් මරවලා ඔන්න දානය වලඳනවෝ... "කියලා. මේ ගැන දැනගත්ත සීහ සේනාපතියාගේ සේවකයෝ හොඳට ම බයවෙලා දානය පූජා කරමින් හිටිය සීහ සේනාපතියාට මේ ගැන ගිහින් කිව්වා. එතකොට සීහ සේනාපතියා කියනවා "ඒ අය ඉස්සර කළෙත් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන එකයි, දැනුත් කරන්නේ ඒක ම තමයි. අපි පංච ශීලයේ පිහිටලා ඉන්න අය, අපි කවදාවත් සතුන් මරන්නෙ නෑ" කියලා.

ඒ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "මහණෙනි... තමන් උදෙසා මරණ බවට තමන් දැක්කෙ නැත්තම් (අදිට්ඨ), තමන් උදෙසා මැරුවා කියලා ඇහුවේ නැත්තම් (අසුත), තමන් උදෙසා මරණ ලද බවට සැකයක් නැත්තම් (අපරිසංඛිත) අන්න ඒ කෙළවර තුනකින් පිරිසිදු 'ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය' වැළඳීම අනුදනිමි" ආදී වශයෙන්.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ගැන විස්තර කරනවා, කවුරුහරි කිව්වොත් 'බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් ගේ දානය උදෙසා අර සතුන් අල්ලන්න/ අල්ලලා අරගෙන එන්න/ මරන්න' කියලා, ඒ පුද්ගලයාට එය කියූ සැණින් පව් රැස්වෙනවා. ඊලඟට ධාර්මික ව දන් වලඳන බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවකයන් වහන්සේට චෝදනා කළොත් 'තමන් උදෙසා මැරූ සතුන්ගේ මස් කියා දැන දැන ම වලඳනවා' කියලා, ඒකත් ඒ සැණින් ම පව් රැස්වෙන පාපයක්.

ඔන්න ඔය විදියට තමයි බුදුරජාණන් වහන්සේ මාංශ වැළඳීම ගැන විග්‍රහ කළේ. මේ ගැන තියෙනවා විස්තර වශයෙන් මට මතක විදියට මජ්ඣිම නිකායේ සීහ සූත්‍රයේ වගේ ම ජීවක සූත්‍රයේත්. මම වැරදි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න. ඒ වගේ ම මේ සටහන ලියන්න පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ ගේ "ගෞතම සසුනේ පිහිට ලබන්නට" පොතත් උදව් වුණා. අද උදාවුණ මැදින් මස පුර පසලොස්වක පෝය දවස වෙනුවෙනුයි මේ සටහන ලිව්වේ. මැදින් පෝය දවසේ වැදගත්කම විදියට බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම සිද්ධ වුණේ මැදින් පෝය දවසකයි. කලින් ලිව්ව පෝය ඩේ ස්පෙෂල් සටහන් බලන්න ඕන නම් මෙතනින් යන්න.

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !